Skip to content

පටුනට යන්න

අපි රැස්වීම්වලට යා යුත්තේ ඇයි?

අපි රැස්වීම්වලට යා යුත්තේ ඇයි?

අපි රැස්වීම්වලට යා යුත්තේ ඇයි?

විවාහ වී අවුරුදු 20කට පසු හිටි හැටියේම ක්‍රිස්ටීන්ගේ ස්වාමිපුරුෂයා ඇයවත් පුතුන් හත්දෙනාවත් ඔවුන්ගේ එකම දියණියවත් අත්හැර දමා ගියා. ඒ වන විට බාලයාගේ වයස අවුරුදු 7ක් වූ අතර වැඩිමලාගේ වයස අවුරුදු 18ක් වුණා. “දැන් ඉතින් හැම තීරණයක්ම ගන්න වෙන්නේ මට තනිවමයි. මට තිබුණු වගකීම් කන්දරාව හින්දා ලොකු කලකිරීමක් දැනුණා. මම හිටියේ සෑහෙන උපකාර අවශ්‍ය තත්වයකයි” කියා ඇය පැවසුවා. ඒ කාලයේදී ඇයට උපකාර ලැබුණේ කොහෙන්ද?

මේ ගැන ඇය මෙසේ පවසනවා. “මගෙත් දරුවන්ගෙත් ජීවිත ආරක්ෂා වුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට නිතිපතාම ගිය නිසයි. රැස්වීම්වලදී අපේ සහෝදර සහෝදරියන්ගෙන් ලොකු දිරිගැන්වීම් ලැබුණා. ඒ වගේම දේවවචනයෙන් නිවැරදි මඟ පෙන්වීම් ලැබුණා. අපි නිතිපතා රැස්වීම් ගිය නිසා අපේ ජීවිතයේ සෑම වැදගත් කාරණයකදීම අපට උපකාරවත් වුණ ගොඩාක් දේවල් අපි රැස්වීම්වලින් ඉගෙනගත්තා.”

අද අපි ජීවත්වන “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල” අපි හැම කෙනෙක්ටම විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. (2 තිමෝති 3:1) මේ කාලයේ අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා යෙහෝවා දෙවිගේ නමස්කාරයේ අතිවැදගත් අංගයක් වන රැස්වීම්වලට යෑම අත්‍යවශ්‍යය දෙයක් බව ක්‍රිස්ටීන් මෙන් ඔබත් පිළිගන්නවා ඇති. සතිපතා පවත්වනු ලබන සභා රැස්වීම් පහට යෑමෙන් දෙවි කෙරෙහි තිබෙන ඔබේ ප්‍රේමය තවත් වැඩි වන අතර අනාගතය පිළිබඳ ඔබේ බලාපොරොත්තුවද තව තවත් ශක්තිමත් වෙයි. එමෙන්ම ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය බයිබලය මත පදනම් වූ මඟ පෙන්වීම්ද රැස්වීම්වලින් ඔබට ලැබෙනවා.

ඒත් සෑම රැස්වීමකටම සතිපතා යන එක අමාරුයි කියා සමහරුන් සිතනවා. දවස අවසානයේදී ඔවුන්ට දැඩි වෙහෙසක් දැනෙනවා. පිළිවෙලකට ඇඳගෙන යම් දුරක් ගෙවා රැස්වීම්වලට යෑමට ඔවුන් අදිමදි කරන්න පුළුවන්. සමහරුන්ට රැකියා ස්ථානයේ වැඩ නිසා රැස්වීම්වලට යා නොහැකි වී තිබෙනවා. සෑම රැස්වීමකටම ගියොත් තමන්ගේ ආදායම අඩු වෙන්න පුළුවන්. නැත්නම් රැකියාව නැති වෙන්න ඉඩ තිබෙනවා කියා ඔවුන් සිතිය හැකියි. මේ නිසා ඔවුන් රැස්වීම් අතපසු කරනවා. තවත් සමහරු රැස්වීම් අතපසු කරන්නේ රැස්වීම්වලට පැමිණීමෙන් ලබනවාට වඩා වැඩි ප්‍රබෝධයක් විනෝදය ගෙන දෙන යම් දේවල නියැලීමෙන් ලබන්න පුළුවන් කියා සිතන නිසයි.

මේ නිසා රැස්වීම්වලට නිතිපතා යෑමට තිබෙන හේතු අපි කලින් කලට සලකා බැලීම වැදගත්. ඒ හේතු මොනවාද? රැස්වීම්වලින් ප්‍රබෝධයක් ලැබීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා මතෙව් 11:28-30හි සඳහන් යේසුස් කළ ප්‍රේමණීය ආරාධනාවක් ගැන සලකා බලමු. එහි මෙසේ සඳහන් වෙනවා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.”

“මා වෙතට එන්න”

“මා වෙතට එන්න” කියා යේසුස් කළ ආරාධනාව අපි පිළිගන්න බව පෙන්විය හැකි එක් ක්‍රමයක් වන්නේ නිතිපතා රැස්වීම්වලට යෑමයි. රැස්වීම්වලට යෑමට අපිට ඕනෑ තරම් හොඳ හේතු තිබෙනවා. මේ බව යේසුස් වෙනත් අවස්ථාවක පැවසූ මෙම වදන්වලින් පෙනී යනවා. “දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මාගේ නාමයෙන් කොතැනක හෝ රැස්ව සිටියොත් එතැන ඔවුන් අතරෙහි මම සිටිමි.”—මතෙව් 18:20.

යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න කියා ඔහු විවිධ පුද්ගලයන්ට ආරාධනා කළා. යේසුස් සමඟ කිට්ටු ඇසුරක් භුක්ති විඳීමේ අවස්ථාව ඔවුන් ඉදිරියේ තිබුණා. සමහරුන් යේසුස්ගේ ආරාධනාව විගස පිළිගත්තා. (මතෙව් 4:18-22) එහෙත් සමහරුන් මිල මුදල් සෙවීම වැනි වෙනත් දේවල් සෙවීමට ගිය නිසා එම ආරාධනාව පිළිගත්තේ නැහැ. (මාක් 10:21, 22; ලූක් 9:57-62) තමන්ගේ අනුගාමිකයන් වූ අයව දිරිමත් කරමින් යේසුස් මෙසේ පැවසුවා. “ඔබ මාව තෝරාගත්තා නොව, මම ඔබව තෝරාගෙන පත් කළෙමි.”—යොහන් 15:16.

යේසුස්ට ඔහුගේ මරණයෙන් හා නැවත නැඟීමෙන් පසුව තවදුරටත් මිනිසෙකු හැටියට ඔහුගේ ගෝලයන් සමඟ සිටීමට හැකි වුණේ නැහැ. එහෙත් ඔහු ස්වර්ගයේ සිට ඔවුන්ගේ සේවයට මඟ පෙන්වීම් ලබා දුන්නා. එමෙන්ම තමන් දුන් උපදෙස් ඔවුන් කොතරම් දුරට පිළිපදිනවාද කියා නිරීක්ෂණය කළා. මේ අර්ථයෙන් බලන කළ යේසුස් ඔවුන් සමඟ සිටියා කියා පැවසිය හැකියි. යේසුස් ඔහුගේ නැවත නැඟීමෙන් අවුරුදු 70කට පමණ පසුව කුඩා ආසියාවේ පිහිටි සභා සතට උපදෙස් මෙන්ම දිරිගැන්වීම්ද ලබා දුන්නා. ඒ සභාවල සිටි අයගේ හොඳ පැති මෙන්ම දුර්වල පැති ගැනද යේසුස්ට හොඳ දැනුමක් තිබූ බව ඔහු ඒ සභා ගැන පැවසූ දේවලින් පැහැදිලි වෙනවා.—එළිදරව් 2:1–3:22.

යේසුස් ඔහුගේ එක් එක් අනුගාමිකයා ගැන දැනටත් ඉමහත් සැලකිල්ලක් දක්වන බව ඔහු දුන් මෙම පොරොන්දුවෙන් පැහැදිලි වෙනවා. “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:20) අද අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේයි. මේ නිසා යේසුස්ගේ ආරාධනාව පිළිගනිමින් ඔහුව අනුගමනය කිරීම කොතරම් වැදගත්ද! එම ආරාධනාව අපි පිළිගන්න බව පෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ නිතිපතා රැස්වීම්වලට යෑමයි. යේසුස් කැමති අපි ඔහු කියන දේ අහනවා දකින්නයි. ‘ඔහුගෙන් ඉගෙනගන්නවා’ දකින්නයි. බයිබලය පදනම් කරගෙන කරනු ලබන සාකච්ඡා හා කතා ඇතුළත් රැස්වීම්, අද ඔහු අපිට උගන්වන එක් ක්‍රමයක්. (එෆීස 4:20, 21) ඔබත් “මා වෙතට එන්න” කියා යේසුස් කළ ආරාධනාව පිළිගෙන තිබෙන කෙනෙක්ද?

“වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි”

රැස්වීම්වලට යන්න තිබෙන එක් වැදගත් හේතුවක් වන්නේ ඒවායින් අපිට දිරිගැන්වීම් ලැබීමයි. (හෙබ්‍රෙව් 10:24, 25) අපි හැම කෙනෙක්ම විවිධාකාරවලින් ‘වෙහෙසට පත් වී බරින් පීඩිත’ වී සිටිනවා. අසනීප වැනි හේතු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා විය හැකියි. ඒත් රැස්වීම්වලට පැමිණීමෙන් අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ලබන්න ඔබට පුළුවන්. (රෝම 1:11, 12) උදාහරණයක් හැටියට රැස්වීම්වල ප්‍රශ්නෝත්තර සාකච්ඡාවලදී සෙසු සහෝදර සහෝදරියන් ඉදිරිපත් කරන අදහස්වලින් ඔබේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. එමෙන්ම රැස්වීම්වලට පැමිණීමෙන් බයිබලය මත පදනම් ඔබේ බලාපොරොත්තුව නිතර සිහිපත් වෙනවා. තවද පීඩා දුෂ්කරතා විඳදරාගන්න අයගේ ඇදහිල්ල දැකගන්නත් හැකි වෙනවා. ඒ හැම දෙයක්ම දුෂ්කරතාවලට හොඳින් මුහුණ දෙන්නත් ඔබේ ගැටලුවලින් යටපත් නොවී, ඒවා දෙස සමබර ලෙස බැලීමටත් ඔබට උපකාරවත් වෙනවා.

දිගු කාලයක් පුරා අසනීප වී සිටින සහෝදරියක් පවසන මේ වදන් ගැන ටිකක් සිතන්න. “මගේ අසනීප තත්වය නිසා ටික කාලයක් මම රෝහලේ නතර වෙලා හිටියා. ගෙදර ආවට පස්සේ රැස්වීම්වලට යන එක ටිකක් අමාරු දෙයක් හැටියටයි මට හිතුණේ. ඒත් මගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න නම් මම රැස්වීම්වලට යන්න ඕනෙ කියලා හිතුවා. සෙසු සහෝදර සහෝදරියන්ගේ මිත්‍රත්වය හා ප්‍රේමය අද්දැකීමෙන් කලින් ලැබූ ප්‍රීතිය නැවත ලබන්න මට පුළුවන් වුණා. යෙහෝවා දෙවි සහ යේසුස් රැස්වීම්වලින් උගන්වන දේවල් නිසා මගේ ජීවිතයට අර්ථවත් බවක් ලැබෙනවා.”

“මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය”

“මාගෙන් ඉගෙනගන්න” කියාද යේසුස් පැවසූ බව සැලකිල්ලට ගන්න. අපි ඔහුගේ ගෝලයන් වී සිටින්නේ අපි ඔහුගෙන් ඉගෙනගන්න නිසයි. එමෙන්ම අපි දෙවිට කැප වී බව්තීස්ම වන විට යේසුස්ගේ වියගහ අපි කරට ගන්නවා. (මතෙව් 28:19, 20) දිගටම යේසුස්ගේ ගෝලයෙකු හැටියට සිටීමට නම් නිතිපතා රැස්වීම්වලට පැමිණීම ඉතාමත් වැදගත්. ඊට හේතුව යේසුස් ගැනත් ඔහු ඉගැන්වූ දේවල් ගැනත් අපි ඉගෙනගන්නේ රැස්වීම්වලින් වන නිසයි.

යේසුස් අපිට උසුලන්න කියා පැවසූ බර කුමක්ද? ඉන් අදහස් කරන්නේ දෙවිගේ කැමැත්ත කිරීමයි. යේසුස්ද මේ බර උසුලනවා. (යොහන් 4:34; 15:8) දෙවිගේ ආඥාවලට කීකරු වීම සඳහා වෑයමක් දැරීම අවශ්‍යයි. නමුත් මේ බර උසුලන්න බැරි තරම් මහත් බරක් නෙවෙයි. මෙය මහත් බරක් මෙන් පෙනෙන්නේ අපි එය තනියම උසුලන්න හදනවා නම් පමණයි. කෙසේවෙතත් අපි දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරනවා නම්, රැස්වීම්වලදී ඉදිරිපත් කරනු ලබන බයිබලය මත පදනම් තොරතුරු හොඳින් සිතට ගන්නවා නම් “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙවි අපිට සපයන බව නිසැකයි. (2 කොරින්ති 4:7) රැස්වීම්වලට සූදානම් වීමෙන් හා සහභාගි වීමෙන් දෙවි කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය තව තවත් වැඩි වෙයි. අපි ප්‍රේමයෙන් පෙලඹී දෙවිට කීකරු වන විට ඔහුගේ ආඥා අපි සලකන්නේ “බරක්” හැටියට නෙවෙයි.—1 යොහන් 5:3.

මුදල් ප්‍රශ්නවලට, අසනීපවලට හා වෙනත් ගැටලුවලට හැම කෙනෙක්ම පාහේ මුහුණ දෙනවා. කෙසේවෙතත් අපි වෙනත් අය මෙන්ම මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විට අපේම හැකියාවන් හා බුද්ධිය මත රඳා සිටින්නේ නැහැ. යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා සපුරාලන නිසත් ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපකාර සපයන නිසත් අපි “කනස්සලු” විය යුතු නැහැ. ‘කනස්සලු නොවී’ සිටීමට රැස්වීම් අපිට උපකාරවත් වෙනවා. (මතෙව් 6:25-33) මෙයින් පෙනී යන්නේ රැස්වීම් දෙවි අපිට ප්‍රේමය පෙන්වන එක් ආකාරයක් බව නොවේද?

‘මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකි’

දේවවචනය ගැන සාකච්ඡා කළ ස්ථානයක් වූ සිනගෝගයට යෑමට යේසුස් පුරුදු වී සිටියා. එහි ගිය එක් අවස්ථාවකදී යේසුස් යෙසායාගේ ලියවිල්ල ගෙන, ඉන් කොටසක් මෙසේ කියෙව්වා. “යෙහෝවාගේ ආත්මය මා කෙරෙහි ඇත. මන්ද ඔහු මා අභිෂේක කර තිබෙන්නේ දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිසය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස හා අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බව දේශනා කිරීමටත්, තැළී පීඩිතව සිටින්නන්ව නිදහස් කර යැවීමට හා යෙහෝවාගේ පිළිගැනීමේ අවුරුද්ද ගැන දේශනා කිරීමටත්ය.” (ලූක් 4:16, 18, 19) ඉන්පසු යේසුස් “ඔබ මේ දැන් ඇසූ ශුද්ධ ලියවිලි පාඨය අද ඉටු වී ඇත” කියා පවසමින් එම වදන් අදාළ වන ආකාරය පහදා දුන් විට එතැන සිටි අයට මොනතරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද!—ලූක් 4:21.

මෘදු ගුණැති, “ප්‍රධාන එඬේරා” වන යේසුස් මේ කාලයෙත් ඔහුගේ අනුගාමිකයන්ව රැකබලා ගන්නවා. (1 පේතෘස් 5:1-4) ඔහුගේ මඟ පෙන්වීම යටතේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලොවපුරා පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල එඬේරුන් මෙන් සේවය කිරීම සඳහා වැඩිමහල්ලන්ව පත් කර තිබෙනවා. (මතෙව් 24:45-47; තීතස් 1:5-9) මොවුන් මෘදු ලෙස “දෙවිගේ රැළ රැකබලා” ගන්න අතර රැස්වීම්වලට නිතිපතා පැමිණීමෙන් කදිම ආදර්ශයක් තබනවා. රැස්වීම්වලට පැමිණීමෙන් හා සහභාගි වීමෙන් “තෑගි වශයෙන්” දී තිබෙන මේ පුරුෂයන්ව ඔබත් අගය කරන බව පෙන්විය හැකියි.—ක්‍රියා 15:30-33; 20:28; එෆීස 4:8, 11, 12)

“ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත”

රැස්වීම්වලට පැමිණීමෙන් ප්‍රාණවත්භාවයක් ලැබීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද? එක් දෙයක් නම් “ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න” කියා යේසුස් දුන් උපදෙස පිළිපැඳීමයි. (ලූක් 8:18) යේසුස් පොළොවේ සිටි කාලයේදී ඔහුගෙන් ඉගෙනගන්න මහත් ආශාවක් දැක්වූ මිනිසුන් ඔහුට හොඳ අවධානයක් දුන්නා. ඔහු පැවසූ උදාහරණ පැහැදිලි කර දෙන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකි වුණා.—මතෙව් 13:10-16.

රැස්වීම්වල ඉදිරිපත් කරනු ලබන කතාවලට හොඳින් සවන් දීමෙන් ඔබටත් ඒ ජනයාව ආදර්ශයට ගන්න පුළුවන්. (මතෙව් 5:3, 6) කථිකයා ඔහුගේ කතාවේ කරුණු ගොඩනඟන ආකාරය තේරුම්ගැනීමට වෑයම් කරනවා නම් හොඳ අවධානයකින් ඔහුට සවන්දීමට ඔබට හැකියි. ඔබේ සිතින් මෙම ප්‍රශ්න අසා ගන්න. ‘මේ තොරතුරු මට අදාළ කරගන්න පුළුවන් කොහොමද? අන් අයට උපකාර කිරීම සඳහා මේ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද? මේ කරුණු පැහැදිලි කරන්න මට පුළුවන් කොහොමද?’ කථිකයා ඔහුගේ කතාවේ මූලික කරුණු තහවුරු කිරීමට යොදාගන්න බයිබල් පද ඔබේ බයිබලයෙන් පෙරළා බලන්න. ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයක් දෙන තරමට රැස්වීම්වලින් ඔබ ලබන ප්‍රබෝධයද වැඩි වෙයි.

රැස්වීමෙන් පසුව ඉගෙනගත් දේවල් අනිත් අයත් එක්ක කතා කරන්න. ඒවා අදාළ කරගත හැකි ආකාර ගැන සිතන්න. එකිනෙකා සමඟ දිරිගන්වනසුලු අදහස් බෙදාගැනීමෙන් රැස්වීවලින් මහත් ප්‍රබෝධයක් ලබන්න පුළුවන්.

රැස්වීම්වලට යෑමට අපිට හොඳ හේතු තිබෙන බව අපි කවුරුත් පිළිගන්නවා. රැස්වීම්වලට යෑමෙන් ලබන ප්‍රයෝජන ගැන අපි සාකච්ඡා කළා. මේවා නැවත සලකා බලා ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘“මා වෙතට එන්න” කියා යේසුස් කළ ආරාධනාව මම පිළිගෙන තිබෙනවාද?’

[11වන පිටුවේ පින්තූර]

රැස්වීම්වලට යෑමට ඔබට බාධාවක් වෙන්නේ මොනවාද?