Skip to content

පටුනට යන්න

ඔබ දකින්නේ අඳුරු අනාගතයක්ද?

ඔබ දකින්නේ අඳුරු අනාගතයක්ද?

ඔබ දකින්නේ අඳුරු අනාගතයක්ද?

සාමාන්‍යයෙන් මිනිසුන් බොහෝ දේවල්වලට බියක් දක්වනවා. උදාහරණයක් ලෙස සමහර අය අනාගතයේදී මේ පොළොවට කුමක් වෙයිද කියා බියෙන් සිටිනවා. “වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීම, ගංවතුර හා හිම තට්ටු දියවීම වැනි දේවල් නිසා පොළොවේ දේශගුණය වෙනස් වන බව” වර්ෂ 2006, අප්‍රියෙල් 3වෙනිදා ටයිම්ස් සඟරාවේ වාර්තා කර තිබුණා.

වර්ෂ 2002 මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මගින් වාර්තාවක් (Global Environment Outlook-3) සකස් කළා. එම වාර්තාව සකස් කිරීම සඳහා 1,000කගෙන් පමණ සහය ලබා ගෙන තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාවකට අනුව එහි මෙසේ වාර්තා වෙනවා. ‘පොළොවේ පැවැත්ම සඳහා තීරණයක් ගත යුතු කාලයකයි දැන් අප සිටින්නේ. අද මිනිසුන් ගන්නා තීරණ නිසා වනාන්තර, සාගර, කඳු ගංගා හා සත්වයන්ට අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවේ පැවැත්ම රඳා තිබෙන්නේ එම තීරණ මතයි.’

අද පරිසරයට සිදු වී තිබෙන හානිය මිනිසුන් කනස්සල්ලෙන් සිටීමට බලපා තිබෙන එක් හේතුවක් පමණයි. මුළු ලෝකයේම ජනයා ත්‍රස්තවාදී ප්‍රහාර නිසා බියට පත් වෙලා. කැනඩාවේ රහස් ඔත්තු සේවයේ සහය අධ්‍යක්ෂක මෙසේ පැවසුවා. “කොයි මොහොතේ මොන වගේ විපත්තියක් වෙයිද කියා දන්නේ නැති නිසා අපි මුළු රෑම අවදියෙන් සිටිනවා.” අපව කනස්සලට පත් කරන්න අපි එදිනෙදා අහන දකින ප්‍රවෘත්ති ටිකම ප්‍රමාණවත්.

වෙහෙස මහන්සි වී වැඩ කරන බොහෝ අය තමන්ගේ රැකියා අහිමි වීමේ අවදානමට මුහුණ දෙනවා. සමහර කර්මාන්ත ශාලා වසා දැමීම, රැකියා ස්ථානයේ තිබෙන තරඟකාරී බව හා ස්වාමියා විසින් වුවමනාවට වඩා වැඩියෙන් දේවල් අපේක්ෂා කිරීම වැනි හේතු නිසා තමන්ගේ රැකියා ගැන ස්ථිර විශ්වාසයක් තබන්න බැහැ. තමන්ගේ මිතුරන් තමන්ව ආශ්‍රයෙන් කපා දමයි යන බියෙන් බොහෝ යෞවනයන් පසු වෙනවා. සමහර දරුවන් සිතනවා තමන්ගේ දෙමාපියන් තමන්ට ආදරේ නැහැයි කියා. අද මේ අය ජීවත් වන ලෝකය ගැන කියන්න පුළුවන් මොනවාද? “අද්දැකීම් නැති මේ යෞවනයන්ට තමාගේ ගෙයින් පිට ලෝකය පෙනෙන්නේ මහ භයානක අඳුරු තැනක් ලෙසයි” කියා එක් මවක් පැවසුවා. අද පහත වැටෙන සදාචාරය තමන්ගේ දරුවන්ටද බලපාන නිසා බොහෝ දෙමාපියන් සුසුම්ලනවා.

තමන් වැටෙයිදෝ කියන බිය නිසා මහලු අය උස් තැනකට නඟින්න බයයි. එමෙන්ම මඟ තොටේදි අනතුරකට ලක් වේ දෝ කියන බියත් ඔවුන්ට තිබෙනවා. “ඔවුහු උස් වූ දෙයට භය වන්නෝය; භීතිය මාර්ගයෙහි වන්නේය” කියා මහලු අය ගැන බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 12:5) සැමෝම භයානක ලෙඩ රෝග නිසා බියෙන් පසු වෙනවා. මාරාන්තික වෛරස් උණ, පිළිකා මෙන්ම බෝවෙන රෝග ගැන අසන්න ලැබෙන විට, ඒවා අපිට හෝ අපේ පවුලේ අයට වැළඳෙයිද කියා අප තුළ බියක් ඇති විය හැකියි. හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින ශක්තිමත් අය පවා අසනීප වී දුර්වල වෙනවා දකින විට අපිටත් එවැනි රෝගයක් ඇති වෙයිද කියා ලොකු බයක් අපිට දැනෙන්න පුළුවන්. ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැති අසනීප වූ කෙනෙක්ව දකින විට ඇති වන්නේ මොන තරම් දුකක්ද!

බොහෝ හේතු නිසා මිනිසුන් බියෙන් ජීවත් වන මේ අඳුරු ලෝකයේ අනාගතය දෙස බලාපොරොත්තු සගතව බැලීමට හේතුවක් තිබෙනවාද? එලෙස බැලීමට අපට කුමක් උපකාරවත් විය හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අපට ඊළඟ ලිපියෙන් දැනගන්න පුළුවන්.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Jeroen Oerlemans/Panos Picture