Skip to content

පටුනට යන්න

නැවත නැඟිටීම ගැන ඔබට විශ්වාසද?

නැවත නැඟිටීම ගැන ඔබට විශ්වාසද?

නැවත නැඟිටීම ගැන ඔබට විශ්වාසද?

‘ධර්මිෂ්ඨයන්ගේ හා අධර්මිෂ්ඨයන්ගේ නැවත නැඟිටීමක් තිබෙනවා’—ක්‍රියා 24:15.

1. මරණයෙන් ගැලවිය නොහැකි බව පවසන්නේ ඇයි?

“මරණය හා බදු ගෙවීම හැර මේ ලෝකයේ වෙන කිසිම දෙයක් ස්ථිර නැහැ” කියා අමරිකාවේ දේශපාලනඥයෙක් වූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් 1789දී පැවසුවා. කෙසේවෙතත් බදු ගෙවීම නම් බොහෝදෙනෙක් පැහැර හරිනවා. නමුත් මරණය නම් කිසිම කෙනෙකුට මග හරින්න බැහැ. අප කොතරම් වෑයම් කළත් අපේම උත්සහයෙන් මරණය නමැති සතුරාගෙන් ගැලවෙන්න බැහැ. ඊට හේතුව ෂෙයෝලය කියා හඳුන්වන මිනීවල අපිව ගිලගන්න මාන බලාගෙන සිටිනවා කියා බයිබලයේ පවසා තිබෙන නිසයි. (හිතෝපදේශ 27:20) නමුත් අපි මේ සම්බන්ධයෙන් සැනසීමක් ලබා දෙන යමක් ගැන සොයා බලමු.

2, 3. (අ) බොහෝදෙනෙක් නොදන්නේ කුමක්ද? (ආ) අපි මේ ලිපියේ සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?

2 මිය ගිය අයව අනිවාර්යයෙන්ම නැවත නැඟිටුවන බවට ස්ථිර විය හැක්කේ දෙවිගේ වචනය වන බයිබලයේ එය පොරොන්දු වී තිබෙන නිසයි. මෙම පොරොන්දුව සිහිනයක් නොවන අතර එය ඉටු කිරීමෙන් යෙහෝවා දෙවිව වළක්වන්න විශ්වයේ තිබෙන කිසිම බලයකට බැහැ. බොහෝදෙනෙක් නොදන්නා දෙයක් වන්නේ මරණය අත් නොදකින පිරිසක්ද සිටින්න යන බවයි. ඒ ළඟදීම පැමිණෙන “මහත් පීඩාවෙන්” බේරී පීවත් වන ‘මහත් සමූහයට’ අයත් අයයි. (එළිදරව් 7:9, 10, 14) ඉන් පසු ඔවුන් කිසිදාක මරණය අත් නොදැක මේ පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න යනවා. “මරණය නැති කර දමන්නේය” කියාද බයිබලයේ පවසනවා.—1 කොරින්ති 15:26.

3 “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන බව” විශ්වාස කළ පාවුල් හා සමානව අපටත් නැවත නැඟිටීම ගැන ස්ථිර විශ්වාසයක් තිබිය යුතුයි. (ක්‍රියා 24:15) නැවත නැඟිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න තුනක් අපි දැන් සලකා බලමු. පළමුව එය සිහිනයක් නොවන්නේ ඇයි? දෙවනුව එම බලාපොරොත්තුව ඔබට සහනයක් වන්නේ කොහොමද? තුන්වෙනුව එය ඔබේ ජීවිතයට දැන් බලපාන්නේ කෙසේද?

නැවත නැඟිටීම සිහිනයක් නෙවෙයි

4. නැවත නැඟිටීම දෙවිගේ අරමුණේ ප්‍රධානතම හේතුවක් වන්නේ ඇයි?

4 නැවත නැඟිටීම අනිවාර්යයෙන්ම සිදු වන බව විශ්වාස කිරීමට හේතු රාශියක් තිබෙනවා. ඉන් ප්‍රධානතම හේතුව නම් එය දෙවිගේ අරමුණට සම්බන්ධ වීමයි. මිනිසුන්ට මරණය උරුම වුණේ සාතන් ඔවුන්ව පාපයට ඇද දැමු නිසයි. සාතන් “පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්” කියා යේසුස් හැඳින්වූයේ ඒ නිසයි. (යොහන් 8:44) නමුත් යෙහෝවා දෙවි “ස්ත්‍රිය” එනම් ඔහුගේ භාර්යාව හා සමාන ස්වර්ගීක සංවිධානය මගින් ‘වංශයක්’ බිහි කරන බවත් ඒ ‘වංශය’ “මුල් සර්පයා” වන සාතන්ගේ හිස පොඩි කර ඔහුව සම්පූර්ණයෙන් විනාශ කරන බවත් පොරොන්දු වුණා. (උත්පත්ති 3:1-6, 15; එළිදරව් 12:9, 10; 20:10) දෙවි මේ වංශය ගැන කාරණා ක්‍රමානුකූලව හෙළි කරන විට පෙනී ගියේ සර්පයාගේ හිස පොඩි කරනවාට වඩා වැඩි දෙයක් ඒ වංශය මගින් සිදු කරන බවයි. බයිබලයේ මේ සම්බන්ධයෙන් පවසන්නේ “දෙවිගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම සඳහා” බවයි. (1 යොහන් 3:8) සාතන්ගේ ප්‍රධානතම ක්‍රියාවක් වුණේ ආදම් මගින් මිනිසුන්ට මරණය උරුම කර දීමයි. යෙහෝවා දෙවිගේ අරමුණ වන්නේ යේසුස් මාර්ගයෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. මේ සඳහා යේසුස්ගේ ජීවිත පූජාවත් ඔහුගේ නැවත නැඟිටීමත් අත්‍යවශ්‍ය වුණා.—ක්‍රියා 2:22-24; රෝම 6:23.

5. නැවත නැඟිටුවීම මගින් යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් වෙන්නේ කෙසේද?

5 යෙහෝවා දෙවි තම ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීමට අදිටන් කර තිබෙනවා. බොරු පැතිරවීම මගින් සාතන් දෙවිගේ නාමයට නින්දා කර තිබෙනවා. දෙවි තහනම් කළ ගසෙන් කෑවා කියා ආදම් සහ ඒව “ඒකාන්තයෙන් නොනසින” බව සාතන් පැවසුවා. එය බොරුවක්. (උත්පත්ති 2:16, 17; 3:4) එතැන් පටන් ඒ හා සමාන බොරු ගණනාවක් සාතන් කියා තිබෙනවා. උදාහරණයකට මරණයේදී ශරීරයෙන් නොමියෙන යමක් ඉතිරි වන බව ඉගැන්වීමත් එවැනි බොරුවක්. කෙසේවෙතත් යෙහෝවා දෙවි මිය ගිය අයව නැවත නැඟිටුවීම මගින් ඒ සියලුම ඉගැන්වීම් බොරු බව ඔප්පු කරනවා. එමගින් යෙහෝවා දෙවි ජීවිත ආරක්ෂකයාණන් මෙන්ම නැවත ජීවිතය ලබා දිය හැකි එකම තැනැත්තා තමන් බවද ඔප්පු කරනවා.

6, 7. මනුෂ්‍යයන්ව නැවත නැඟිටුවීම ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

6 නැවත නැඟිටුවීම සඳහා යෙහෝවා දෙවි මහත් ආශාවෙන් බලා සිටිනවා. මේ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය ගැන බයිබලයේ පැහැදිලිවම පෙන්වා දී තිබෙනවා. ඇදහිලිවන්ත මිනිසෙකු වූ යෝබ් පැවසූ මේ වදන් සලකා බලන්න. “මනුෂ්‍යයෙක් නැසුණොත් නැවත ජීවත් වන්නේද? මාගේ නිදහස පැමිණෙන තෙක් මාගේ යුද්ධයේ [වහලෙක් මෙන් , NW] සියලු දවස්වල බලා සිටින්නෙමි. ඔබ අඬගසන්නේය; මම උත්තර දෙන්නෙමි; ඔබ අතින් කළ වැඩට ඔබ ආශා වන්නේය” (යෝබ් 14:14, 15) එම වදන්වලින් අදහස් කරන්නේ කුමක්ද?

7 තමන් මිය ගිය පසු මරණය නමැති නින්දේ අනිවාර්යෙන්ම කාලයක් බලා සිටිය යුතු බව යෝබ් දැන සිටියා. “වහලෙක්” එයින් නිදහස් වීමට කාලයක් බලා සිටින්න සිදු වුණා හා සමානව ඔහුටත් මරණයෙන් නිදහස් වීමට කාලයක් බලා සිටින්න සිදු වෙන බව ඔහු දැන සිටියා. ඔහුට මරණයෙන් නිදහසක් ලැබෙන බවට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඊට හේතුව ඔහු දැන සිටියා යෙහෝවා දෙවි තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව නැවත නැඟිටුවන්න ‘ආශාවෙන්’ බලා සිටින බව. යෙහෝවා දෙවි සියලුම ධර්මිෂ්ඨන්ව නැවත නැඟිටුවන්න ආශාවෙන් බලා සිටිනවා. ඒ වගේම යෙහෝවා දෙවි අධර්මිෂ්ඨයන්වත් නැවත නැඟිටුවා ඔවුන්ටද පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙනවා. (ලූක් 23:43; යොහන් 5:28, 29) එසේ කිරීම දෙවිගේ කැමැත්ත නම් දෙවිව නවත්වන්න පුළුවන් කාටද?

8. අපේ අනාගත බලාපොරොත්තුවට දෙවි “සහතිකයක්” දී තිබෙන්නේ කෙසේද?

8 යේසුස්ගේ නැවත නැඟිටීම අපේ අනාගත බලාපොරොත්තුවට සහතිකයක්. පාවුල් ඇතන්ස් නුවර කළ කතාවේදී මෙසේ පැවසුවා. “[දෙවි] තමන් පත් කළ මිනිසෙකු මාර්ගයෙන් මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට ඔහු දවසක් නියම කර තිබේ. ඔහු ඒ මිනිසාව මළවුන්ගෙන් නැවත නැඟිටවීමෙන් සියලුදෙනාටම සහතිකයක් දී තිබේ.” (ක්‍රියා 17:31) නැවත නැඟිටීම ගැන ඇසූ සමහරුන් පාවුල්ට සමච්චල් කළත් තවත් සමහරුන් එය පිළිගෙන ඇදහිලිවන්තයන් බවට පත් වුණා. නැවත නැඟිටීම ගැන සහතිකයක් දී තිබෙන බවට පාවුල් ඉදිරිපත් කළ අදහස ඔවුන්ගේ සිත්වලට තදින් කාවැදුණා. යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවීම ඔහු කළ විශිෂ්ඨතම ආශ්චර්යන්ගෙන් එකක්. ඔහු යේසුස්ව නැවත නැඟිටවූයේ ස්වර්ගයේ ජීවත් විය හැකි බලවත් තැනැත්තෙක් ලෙසයි. (1 පේතෘස් 3:18) ඔහු කොතරම් බලවත්ද කියනවා නම් ඔහුව නැවත නැඟිටවූයේ පොළොවට පැමිණීමට පෙර සිටි තත්වයට වඩා බලවත් තත්වයකිනුයි. ඔහු දැන් අමරණීය තැනැත්තෙක් මෙන්ම බලය අතින් දෙවෙනි වන්නේ යෙහෝවා දෙවිට පමණයි. ඒ නිසා ඔහුට තම පියා භාර දෙන ඕනෑම පැවරුමක් ඉටු කිරීමේ හැකියාව තිබෙනවා. යෙහෝවා දෙවි මිනිසුන්ව පොළොවේ හෝ ස්වර්ගයේ හෝ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවන්නේ යේසුස් මාර්ගෙනුයි. “නැවත නැඟිටීමත් ජීවනයත් මමය” කියා පැවසුවේ ඒ නිසයි. (යොහන් 5:25; 11:25) යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවීම මගින් ඔහුට විශ්වාසවන්තව සේවය කරන සියලුදෙනාගේම නැවත නැඟිටුවීම තහවුරු කළා.

9. නැවත නැඟිටීම අනිවාර්යෙන්ම සිදු වන බව බයිබල් වාර්තාවලින් පැහැදිලි වන්නේ කෙසේද?

9 නැවත නැඟිටීම ගැන ඇසින් දුටු සාක්ෂි තිබෙන අතර ඒවා ගැන දේවවචනයේ වාර්තාද කර තිබෙනවා. මරණයෙන් නැවත නැඟිටුවා මේ පොළොවේ ජීවත් වූ අට දෙනෙක් ගැන බයිබලයේ විස්තාරක්මක ලෙස වාර්තා වෙනවා. ඒවා සිදු වුණේ රහසිගතව නොව නමුත් අන් අය ඉදිරියේයි. ලාසරස්ව දින හතරකට පසුව යේසුස් නැවත නැඟිටුවන අවස්ථාවේදී ලාසරස්ගේ පවුලේ අය ඇතුළු හිත මිතුරන්, අසල්වාසින් එය දැක්කා. යේසුස්ව මේ පොළොවට එවනු ලැබුවේ දෙවි බවට එය ප්‍රබල සාක්ෂියක් වූ අතර ආගමික නායකයන්ට පවා එය පිළිගන්න සිදු වුණා. ආගමික නායකයන් යේසුස් කළ මේ ක්‍රියාව අගය කරනවා වෙනුවට යේසුස්ව මෙන්ම ලාසරස්වද මැරීමට මං සෙව්වා. (යොහන් 11:17-44, 53; 12:9-11) නැවත නැඟිටීම අනිවාර්යයෙන්ම සිදු වන බවට අපිට කිසිම සැකයක් නැහැ. දෙවි අතීතයේදී සිදු කළ එම නැවත නැඟිටීම් වාර්තා කර තිබෙන්නේ එයින් අපට සහනයක් ලබා ගැනීමටත් අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් කර ගැනීමටත් හැකි වීම සඳහායි.

නැවත නැඟිටීමේ බලාපොරොත්තුවෙන් ලැබෙන සහනය

10. බයිබලයේ සඳහන් නැවත නැඟිටීමේ වාර්තාවලින් අපට සහනයක් ලබා ගන්න පුළුවන් කෙසේද?

10 මරණය අභියස සිටින කෙනෙකුට සහනයක් ලබා ගත හැක්කේ කෙසේද? ස්ථීර වශයෙන්ම සහනයක් ලැබිය හැකි එක් ක්‍රමයක් නම් බයිබලයේ සඳහන් නැවත නැඟිටුවීම් පිළිබඳ තිබෙන වාර්තායි. එවැනි වාර්තා කියවීම, ඒවා ගැන මෙනෙහි කිරීම සහ එම සිද්ධීන් සිතින් මවා ගැනීම මගින් මේ බලාපොරොත්තුව ගැන ඔබේ විශ්වාසය තවත් තහවුරු වෙනවා නිසැකයි. (රෝම 15:4) මේවා නිකම්ම කතන්දර නෙවෙයි. නිශ්චිත කාලයක නිශ්චිත ස්ථානයක ජීවත් වූ පුද්ගලයන් මෙය සැබෑවටම අද්දැක්කා. බයිබලයේ වාර්තා වී තිබෙන මුල්ම නැවත නැඟිටීම ගැන දැන් කෙටියෙන් සලකා බලමු.

11, 12. (අ) සාරෆෙත් හි වැන්දඹුව අද්දැක්ක ඛේදජනක සිද්ධිය කුමක්ද? ඇය මුලින් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) දෙවි එලියාට බලය දුන්නේ කුමක් කිරීමටද?

11 මේ සිද්ධිය සිතින් මවා ගන්න. සාරෆෙත් නගරයේ ජීවත් වූ වැන්දඹුවකගේ නිවසේ උඩුමහලේ සති දෙක තුනක කාලයක් පුරා එලියා නවාතැන් ගෙන සිටිනවා. කාලයක් තිස්සේ තිබුණු නියඟය හා සාගතය නිසා එම ප්‍රදේශයේ පැවතියේ දුෂ්කර තත්වයක්. මේ නිසා බොහෝදෙනෙක් මිය ගියා. සාගතය නිසා වැන්දඹුවට සහ ඇගේ පුතාට ඉතිරි වී තිබුණේ තව එක ආහාර වේලක් පමණයි. ඒත් මේ වැන්දඹුවට තිබුණු ඇදහිල්ල නිසා යෙහෝවා දෙවි එලියා මගින් ආශ්චර්යක් කරමින් කාලයක් පුරා ඇයට අවශ්‍ය තෙල් සහ පිටි එලියා ලබා දුන්නා. කලක් ගත වූ පසු එම වැන්දඹුවගේ පුතා බරපතළ රෝගයකින් හදිස්සියෙන් මිය ගියා. ඒ වැන්දඹුව කොතරම් අසරණ වෙන්න ඇද්ද! සැමියෙකුගේ රැකවරණයක් නැතිව ඇය ගත කළේ කටුක ජීවිතයක්. දැන් ඇයට සිටි එකම පුතාත් මිය ගිහින්. දරාගත නොහැකි දුකකින් සිටි නිසා ඇය එලියාටත් ඔහුගේ දෙවි වන යෙහෝවාටත් දොස් නැඟුවා. දෙවිගේ අනාගතවක්තෘවරයා දැන් කුමක් කරයිද?

12 වැන්දඹුව නැඟු බොරු චෝදනාවට කලබල වී එලියා ඇයට දොස් නැඟුවේ නැහැ. “ඔබේ පුත්‍රයා මට දෙන්න” කියා පැවසූ එලියා දරුවාවත් රැගෙන උඩු මහලට ගොස් දරුවාව නැවත ජීවත් කරවන්න කියා දිගටම යාච්ඤා කළා. අවසානයේදී දෙවි දරුවාව ජීවත් කෙරෙව්වා. දරුවා නැවතත් හුස්ම ගන්නවා දකිද්දීත් ඔහු ඇස් ඇර බලනවා දකිද්දීත් එලියාගේ මුහුණේ දිස් වූ සතුට ගැන ටිකක් සිතා බලන්න. ඉන් පසු එලියා දරුවාව මවට භාර දෙමින් මෙසේ පැවසුවා. “බලන්න, ඔබේ පුතා ජීවත්ව සිටී.” සිතේ ඇති වූ නිම් හිම් නැති සතුට විස්තර කරන්න ඇයට වචන නැහැ. එලියාට ස්තුති කරමින් ඇය පැවසූවේ මෙසේයි. “ඔබ දෙවිගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන යෙහෝවාගේ වචනය සැබෑ බවත් දැන් දනිමි.” (1 රාජාවලිය 17:8-24) ඇයට යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහුගේ නියෝජිතයා කෙරෙහිත් තිබුණු විශ්වාසය එතැන් පටන් තවත් වැඩි වුණා.

13. එලියා වැන්දඹුවගේ පුතාව නැවත නැඟිටුවීමේ සිද්ධිය අද අපට සහනයක් වන්නේ ඇයි?

13 එවැනි වාර්තාවක් ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙන් මොන තරම් සහනයක් අද්දකින්න පුළුවන්ද? මරණය නමැති සතුරාව දෙවිට පරාජය කළ හැකි බව කොයිතරම් පැහැදිලිද! ඒ වැන්දඹුව අද්දැක්කා හා සමාන සතුටක් මිලියන ගණනක් දෙනා තමන්ගේ ප්‍රේමණීයන්ව නැවත නැඟිටුවන විටත් අද්දකින්න යන දවස ගැන සිතේ මවා ගන්න. දෙවි තම පුත්‍රයා මගින් මුළු පොළොවේම නැවත නැඟිටුවීම් සිදු කරන විට ස්වර්ගයේ සියලු දෙනාද මහත් ප්‍රීතියක් අද්දකිනවා. (යොහන් 5:28, 29) ඔබ ප්‍රේම කරන කෙනෙක් ඔබට මරණය නිසා අහිමි වී තිබෙනවාද? යෙහෝවා දෙවිට ඒ තැනැත්තාව නැවත ජීවත් කරවීමට හැකි බවත් ඔහු එසේ කිරීමට ආශාවෙන් සිටින බවත් දැන සිටීම මොන තරම් සහනයක්ද!

නැවත නැඟිටීම ඔබේ ජීවිතයට දැන් බලපාන අයුරු

14. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

14 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔබේ ජීවිතයට දැන් බලපාන්නේ කෙසේද? ඔබ පීඩා, අභියෝග හා අනතුරවලට මුහුණ දෙන විට මෙම බලාපොරොත්තුවෙන් ඔබට ශක්තියක් ලබා ගත හැකියි. මරණයට ඇති බිය නිසා දෙවි කෙරෙහි තිබෙන ඔබේ විශ්වාසය නැති කර ගන්නවා දකින්නයි සාතන්ට අවශ්‍ය වෙන්නේ. “ප්‍රාණය වෙනුවට තමාට තිබෙන සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය” කියා සාතන් පැවසූ දෙයින් එය පැහැදිලියි. (යෝබ් 2:4) සාතන් එම චෝදනාව කළේ ඔබ ඇතුළු සියලුම මනුෂ්‍යයන්ටයි. ඔබේ ජීවිතය අනතුරේ තිබෙන මොහොතකදී ඔබ දෙවිට සේවය කිරීම අත් හරිනවාද? මතක තියගන්න ස්වර්ගීක පියාණන්ගේ කැමත්ත කිරීමට තිබෙන අධිෂ්ඨානය ස්ථිරව තබා ගන්න ඔබට උපකාරවත් වන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුවයි.

15. අපේ ජීවිතය අනතුරේ තිබෙන විට මතෙව් 10:28හි සඳහන් යේසුස්ගේ වදන් අපට සහනයක් වන්නේ කෙසේද?

15 “ශරීරය නසන නමුත් ජීවය නසන්න නොහැකි අයට බිය නොවන්න. එහෙත් ජීවයද ශරීරයද යන දෙකම ගෙහෙන්නාවෙහි විනාශ කළ හැකි තැනැත්තාට බියව සිටින්න” කියා යේසුස් පැවසුවා. (මතෙව් 10:28) අපි සාතන්ටවත් පොළොවේ සිටින ඔහුගේ නියෝජිතයන්ටත් බිය විය යුතු නැහැ. සමහර අය අපට අනතුරක් කරන්න හෝ මරණයට පත් කරන්න පවා ඉඩ තිබෙනවා. ඔවුන්ට කරන්න පුළුවන් දරුණුම දේ අපව මරණයට පත් කිරීමයි. ඒත් එය තවකාලිකයි. යෙහෝවා දෙවිට හැකියි ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන්ට නැවත ජීවිතය ලබා දෙන්න. ඒ නිසා අප ගරු බිය දැක්විය යුත්තේ යෙහෝවා දෙවිට පමණයි. යම් කෙනෙකුට සදාකාල විනාශය නියම කරමින් ඔහුගේ සියලු අනාගත බලාපොරොත්තු ඔහුගෙන් ඉවත් කළ හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. ඒත් යෙහෝවා දෙවි කිසි කෙනෙකුට එවැනි දෙයක් සිදු වෙනවා දකින්න කැමති නැහැ. (2 පේතෘස් 3:9) දෙවිගේ සේවකයන් හැටියට අපට හැමවිටම සුරක්ෂිතභාවයේ හැඟීමක් දැනෙන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නිසයි. අප ඇදහිලිවන්තව ඉන්න තාක් කල් අපට සදාකාල ජීවනය ගැන ස්ථිර විය හැකියි. එය වළක්වන්න සාතන්ටවත් ඔහුගේ නියෝජිතයන්ටවත් බැහැ.—ගීතාවලිය 118:6; හෙබ්‍රෙව් 13:6.

16. ජීවිතයේ ප්‍රධාන තැන දිය යුතු දේවල් තීරණය කිරීමේදී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔබට බලපාන්නේ කෙසේද?

16 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහි ස්තීර විස්වාසයක් තියෙනවානම් එය අපි ජීවිතය දෙස බලන ආකාරය සකස් කර ගැනීමට උපකාරවත් වෙනවා. ඒ වගේම “අප ජීවත් වුණත් මිය ගියත් අප යෙහෝවාගේය” කියා අප තේරුම් ගන්නවා. (රෝම 14:7, 8) ඒ නිසා අපේ ජීවිතයේ ප්‍රධාන තැන දිය යුතු දේවල් ගැන තීරණය කිරීමේදී පාවුල්ගේ මේ උපදෙස මතක තබා ගනිමු. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” (රෝම 12:2) බොහෝදෙනෙක් තම ආශාවන් ඉටු කර ගැනීම සඳහා දැඩි වෑයමක් දරන්නේත් ඒවා පසු පස නොඉවසුම් ආකාරයකින් හඹා යන්නේත් ජීවිතය කෙටි බව සිතන නිසයි. ඔවුන් යම් නමස්කාරයක හවුල් වුණත් එය කරන්නේ ‘දෙවිගේ පරිපූර්ණ කැමැත්තට’ අනුව නෙවෙයි.

17, 18. (අ) ජීවිතය ගැන දේවවචනයේ පවසා තිබෙන්නේ කුමක්ද? ඒත් දෙවි කැමති අපි කුමක් ලබනවා දකින්නද? (ආ) යෙහෝවා දෙවිට සැමදා ප්‍රශංසා කරන්න අපි පෙළඹෙන්නේ ඇයි?

17 ජීවිතය කෙටි බව කවුරුත් දන්නවා. අපි ජීවත් වන්නේ අවුරුදු 70ක් හෝ 80ක පමණ කාලයක් වන අතර “එය වහාම ගත වෙයි; අපිද ඉගිලී යමු.” (ගීතාවලිය 90:10) මනුෂ්‍යයාගේ දවස් තණකොළවලටද පහව යන සෙවණැල්ලකටද ගසාගෙන යන සුළඟකටද සමාන කළ හැකියි. (ගීතාවලිය 103:15; 144:3, 4) මිනිසුන් ජීවිතයේ මුල් දශක කිහිපය තුළ හැදී වැඩී දැනුම සහ අද්දැකීම් ලබාගන්නේ ඊළඟ දශක කිහිපය පුරා ලෙඩ දුක්වලින් පෙළී අවසානයේ මරණය අද්දකින්නද? දෙවිගේ අරමුණ එය නෙවෙයි. ඔහු මිනිසුන්ව මැව්වේ සදාකල් ජීවත් වීමටයි. බයිබලයේ පවසන්නේ “සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය” කියායි. (දේශනාකාරයා 3:11) එවැනි බලාපොරොත්තුවක් දී එය ඉටු කර නොදීමට තරම් දෙවි කෲර කෙනෙක්ද? නැහැ, එය කිසිසේත් වෙන්න බැහැ. “මන්ද දෙවි ප්‍රේමයය.” (1 යොහන් 4:8) මිය ගොස් සිටින අයව නැවත නැඟිටීම මගින් දෙවි ඔවුන්ට සදාකාල ජීවිතය ලබා දෙනවා.

18 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නිසා අපේ අනාගතය සුරක්ෂිතයි. අපේ ජීවිතයේ සියලුම ආශාවන් මේ කෙටි කාලය තුළදී අත් කර ගැනීමට වෙහෙසිය යුතු නැහැ. ඒ වගේම මේ පහව යන ලෝකය ‘මුළුමනින්ම භුක්ති විඳින්නත්’ අපි බලාපොරොත්තු වෙන්නේද නැහැ. (1 කොරින්ති 7:29-31; 1 යොහන් 2:17) එලෙස ක්‍රියා කරන්නේ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති අයයි. අපි යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් අපට සදාකාල ජීවිතයක් ලැබෙන අතර සැමදා දෙවිට ප්‍රශංසා කරමින් ජීවිතය සතුටින් භුක්ති විඳින්න හැකි වෙනවා. ස්ථිරයෙන්ම නැවත නැඟිටීම ලබා දෙන යෙහෝවා දෙවිට සැමදා ප්‍රශංසා කරමු!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපට හැඟිය යුත්තේ කෙසේද?

• නැවත නැඟිටීම සිහිනයක් නොවන බවට තිබෙන හේතු මොනවාද?

• නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔබට සහනයක් වන්නේ කෙසේද?

• නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔබේ ජීවිතයට දැන් බලපාන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන්ව නැවත නැඟිටුවන්න ආශාවෙන් සිටින බව යෝබ් දැන සිටියා

[29වන පිටුවේ පින්තූරය]

“බලන්න, ඔබේ පුතා ජීවත්ව සිටී”