Skip to content

පටුනට යන්න

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේදී ලැබූ ජයග්‍රහණයක්

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේදී ලැබූ ජයග්‍රහණයක්

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේදී ලැබූ ජයග්‍රහණයක්

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුසියානු සමූහාණ්ඩුවට විරුද්ධව ප්‍රංශයේ ස්ටෑස්බර්ග්හි පිහිටි මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ නඩුවක් පැවරුවා. මෙම අධිකරණය විසින් 2007 ජනවාරි 11වනදා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් ඒකමතික තීන්දුවක් ලබා දුන්නා. මෙම තීන්දුව මගින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික නිදහසත් සාධාරණ නඩු විභාගයක් ඉල්ලීමට තිබෙන ඔවුන්ගේ අයිතියත් තහවුරු කරනු ලැබුවා. මේ නඩුවට හේතු වූ සිද්ධිය ගැන දැන් අපි සලකා බලමු.

රුසියාවේ චෙලියබින්ස්ක් නගරයේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක සිටින අයගෙන් බොහෝදෙනෙක් බිහිරි අයයි. ඔවුන් රැස්වීම් පැවැත්වූයේ කුලියට ගත් වෘත්තීය පුහුණු පාසැලකයි. වර්ෂ 2000 අප්‍රියෙල් 16වන ඉරිදා ඔවුන් රැස්වීමක් පවත්වමින් සිටි අවස්ථාවේදී, එම ප්‍රදේශයේ පිහිටි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය සමඟ පැමිණි උසස් පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් එම රැස්වීම කඩාකප්පල් කළා. නීතිමය අවසරක් නැතිව රැස්වීම් පවත්වනවා කියා බොරු චෝදනා එල්ල කළ කොමසාරිස්වරිය රැස්වීම අතර මඟ නතර කළා. ඉන්පසු ඔවුන් 2000 මැයි 1වනදා සාක්ෂිකරුවන් එම පාසැලට දී තිබූ බද්ද අහෝසි කිරීමටත් පියවර ගත්තා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම නගරයේ උසාවියක නඩුවක් පැවරුවත් එයින් පලක් වුණේ නැහැ. රුසියානු ව්‍යවස්ථාව, මානව හිමිකම් සුරැකීමේ ගිවිසුම හා මූලික අයිතිවාසිකම් මගින් ආගමික නිදහස හා එකට එක්රැස්වීමේ නිදහස සහතික කර තිබෙනවා. මේ පදනම මත මුලින්ම දිස්ත්‍රික් උසාවියකද ඉන්පසු ප්‍රාදේශීය අභියාචනාධිකරණයකද නඩු පැවරුවා. මීට පෙර, එනම් 1999 ජූලි 30වනදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙනත් නඩුවකදී මෙවැනි තීන්දුවක් දී තිබුණා.‘තම හෘදයසාක්ෂියට එකඟව ක්‍රියා කිරීමේ හා ආගමික රැස්වීමකට හවුල් වීමේ නිදහස ගැන රුසියානු නීතියේ සඳහන් වෙනවා. එම නීතියේ සඳහන් ‘බාධාවකින් තොරව’ යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ ආගමික උත්සව පැවැත්වීමට අවසර දී තිබෙන ස්ථානයක එවැනි උත්සවයක් පැවැත්වීමේදී බලධාරීන්ගෙන් අවසරගැනීම අවශ්‍ය නැති බවයි.’ මෙවැනි නීතියක් තිබුණත් ප්‍රාදේශීය උසාවිවල පවරන ලද නඩුවලින් පලක් වුණේ නැහැ.

පසුව එම නඩුව වර්ෂ 2001 දෙසැම්බර් 17වනදා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණණයට යොමු කළා. එහිදී මෙම නඩුව විභාග කළේ 2004 සැප්තැම්බර් 9වනදායි. පහත සඳහන් වන්නේ එම නඩු තීන්දුවෙන් උපුටාගත් කොටස් කිහිපයක්.

“ආණ්ඩුවේ නිලධාරීන් 2000 අප්‍රියෙල් 16වනදා පැමිණිකාර පාර්ශ්වය පවත්වමින් තිබූ ආගමික රැස්වීම නියමිත වේලාවට කලින් නතර කර දැමීම ඔවුන්ගේ ආගමික නිදහසට බාධා කිරීමක් බව මෙම අධිකරණයට පෙනී යනවා.”

“නීතිමය අවසරයක් තිබෙන තැනක පවත්වමින් තිබූ ආගමික රැස්වීමක් කඩාකප්පල් කර තිබෙන බව පැහැදිලිව පෙනී යනවා.”

“ආගමික රැස්වීමක් පැවැත්වීම සඳහා බලධාරීන්ගෙන් අවසරගැනීම අවශ්‍ය නැති බව රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් නඩු තීන්දු මගින් පෙනී යනවා.”

“මේ අනුව කොමසාරිස්වරිය හා ඇගේ ආධාරකරුවන් 2000 අප්‍රියෙල් 16වනදා පවත්වන ලද රැස්වීමට බාධා කිරීමෙන් ගිවිසුමේ 9වන වගන්තිය [ආගමික නිදහස] කඩ කර තිබෙනවා.”

‘ප්‍රාදේශීය අධිකරණ මෙම නඩුව සාධාරණ හා අපක්ෂපාත ලෙස විභාග කර නැති බව පෙනී යනවා. ගිවිසුමේ 6වන වගන්තිය [සාධාරණ නඩු විභාගයක් ඉල්ලීමේ අයිතිය] කඩ කර තිබෙනවා.’

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේදී තමන් ලැබූ ජයග්‍රහණය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. (ගීතාවලිය 98:1) එම තීන්දුව මගින් කොතරම් බලපෑමක් ඇති කළ හැකිද? මේ ගැන අදහස් දක්වමින් ආගමික හා මහජන ප්‍රතිපත්ති ආයතනයේ සභාපති ජෝශප් කේ. ග්‍රිබොස්කි මෙසේ සඳහන් කළා. “මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ සාමාජිකත්වය දරන සියලුම රටවල ආගමික නිදහසට මෙම වැදගත් තීන්දුව බලපානවා.”