Skip to content

පටුනට යන්න

යෙප්තා යෙහෝවා දෙවිට දුන් පොරොන්දුව ඉටු කරයි

යෙප්තා යෙහෝවා දෙවිට දුන් පොරොන්දුව ඉටු කරයි

යෙප්තා යෙහෝවා දෙවිට දුන් පොරොන්දුව ඉටු කරයි

නිර්භීත සටන්කරුවෙක් තම ජාතිය නිදහස් කරගෙන ආපසු නිවස බලා එන විට ඔහුගේ දියණිය රබානක් ගෙන ප්‍රීතියෙන් නටමින් තමන්ව හමු වීමට පැමිණෙනවා. ඇයව දුටු විට ප්‍රීති වෙනවා වෙනුවට ඔහු තමාගේ ඇඳුම් ඉරාගෙන ශෝකය පළ කරයි. ඔහු කවුද? ඔහු එවැනි දෙයක් කරන්නේ ඇයි? ඔහුට දැනුණු ප්‍රීතිය තම දියණිය සමඟ බෙදා ගත්තේ නැත්තේ ඇයි? ඔහු ජය ලැබූ සටන කුමක්ද?

අපි කතා කළේ පුරාණ ඊශ්‍රායෙලයේ විසූ විනිශ්චයකරුවන්ගෙන් කෙනෙක් වන යෙප්තා ගැනයි. එහෙත් සෙසු ප්‍රශ්නවලට උත්තර දීමටත් මොහු ගැන සඳහන් වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි දේවල් ගැන දැනගැනීමටත් කලින් යෙප්තා ඔහුගේ දියණියව හමු වීමට පෙර සිදු වූ දේවල් ගැන ටිකක් සලකා බැලීමු.

ඊශ්‍රායෙලයේ අතිදුෂ්කර කාලයක්

යෙප්තා ජීවත් වුණේ ඊශ්‍රායෙලයේ දුෂ්කර තත්වයක් පැවති වකවානුවකයි. ඒ කාලයේ ඊශ්‍රායෙල්වරුන් සැබෑ දෙවිට නමස්කාර කිරීම අත් හැර දමා ශීදොන්, මෝවබ්, අම්මොන් හා පිලිස්තිය යන ජාතීන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගෙන තිබුණා. මේ නිසා යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගැනීමට අම්මොන්වරුන්ට හා පිලිස්තියයන්ට ඉඩ හැරියා. ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ව අවුරුදු 18ක් කුරිරු ලෙස පාලනය කළා. හුඟාක්ම පීඩා වින්ඳේ යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ විසූ ගිලියද්හි වැසියන්. * වෙනත් දෙවිවරුන්ට නමස්කා කිරීමෙන් තමන් කළේ වරදක් බව පසුව තේරුම්ගත් ඊශ්‍රායෙල්වරුන් පසුතැවී යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලමින් නැවතත් ඔහුට සේවය කරන්න පටන්ගත්තා. ඔවුන් වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ව පහ කර දැම්මා.—විනිශ්චයකාරයෝ 10:6-16.

දැන් අම්මොන්වරුන් ගිලියද්හි කඳවුරක් ගසා ගනියි. ඊශ්‍රායෙල්වරුන්ද ඔවුන් සමඟ සටන් කරන්න සැරසුණත් ඔවුන්ට ප්‍රධානියෙක් නැහැ. (විනිශ්චයකාරයෝ 10:17, 18) මේ අතර කාලයේදී යෙප්තා යම් ගැටලුවකට මැදිවෙලයි හිටියේ. තණ්හාවෙන් පිරී සිටි ඔහුගේ සහෝදරයෝ ඔහුගේ උරුමය ලබාගැනීමේ අරමුණින් ඔහුව නිවසින් පන්නා දමා තිබුණා. යෙප්තා පලා ගියේ ටෝබ් නමැති දේශයටයි. ගිලියද් දේශයට නැඟෙනහිරින් පිහිටි ඒ දේශයේදී යෙප්තා පහසුවෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට හසු වෙන්න ඉඩ තිබුණා. “නිරර්ථක මනුෂ්‍යයෝ” හෙවත් තමන්ගෙන් වහල් වැඩ ගනිමින් තමන්ට පීඩා කළ ජාතියට එරෙහි වූ මනුෂ්‍යයන් යෙප්තා වටා එක්රොක් වෙන්න පටන්ගත්තා. ඔවුන් ‘ඔහු සමඟ හැසුරුණා’ කියා වාර්තාවේ සඳහන් වෙනවා. එයින් පෙනී යන්නේ යෙප්තා සතුරු ජාතීන්ට එරෙහිව දියත් කළ ප්‍රහාරවලදී ඔවුන්ද ඔහුට හවුල් වූ බවයි. යෙප්තා “බලසම්පන්න වික්‍රමාන්විත” මිනිසෙක් කියා බයිබලයේ හඳුන්වා තිබෙන්නේ සටන් කිරීමට ඔහුට සුවිශේෂ හැකියාවක් හා නිර්භීතකමක් තිබූ නිසා කියා සිතිය හැකියි. (විනිශ්චයකාරයෝ 11:1-3) අම්මොන්වරුන් සමඟ කළ සටනට නායකත්වය දුන්නේ කවුද?

‘ඇවිත් අපේ නායකයා වෙන්න’

ගිලියද්හි වැඩිමහල්ලන් යෙප්තා ළඟට ගොස් ඔහුගෙන් මෙසේ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. ‘ඇවිත් අපේ නායකයා වෙන්න.’ යෙප්තා මේ ඉල්ලීම විගස පිළිගෙන තමන්ගේ දේශයට ආපසු එයි කියා ඒ වැඩිමහල්ලන් සිතුවා නම්, ඔවුන් වැරදියි. බලන්න, යෙප්තා ඔවුන්ට දුන්න උත්තරය. ‘මා කෙරේ වෛර බැඳ මාගේ පියාගේ ගෙයින් මාව එළෙව්වේ ඔබලා නෙමෙයිද? දැන් ඔබලා පීඩාවට පැමිණි කල මොකටද මා වෙතට ආවේ.’ (විනිශ්චයකාරයෝ 11:4-7) ඒ වැඩිමහල්ලන් මුලින් යෙප්තාව එපා කර පසුව ඔහුගේ උපකාරය පැතීම මොන තරම් අසාධාරණ දෙයක්ද!

යෙප්තා නායකත්වය ගත්තේ එක් කොන්දේසියක් පිටයි. ‘යෙහෝවා දෙවි අම්මොන්වරුන්ව මා අතින් පරාජය කළොත් මම ඔබේ නායකයා වෙනවා’ කියා යෙප්තා පැවසුවා. මේ සටනේදී ජයග්‍රහණය ලැබීමෙන් පෙනී යන්නේ දෙවිගේ සහය ඔහුට තිබූ බවයි. නමුත් මේ දුෂ්කර කාලය අවසන් වීමත් සමඟ සෙනඟ සැබෑ දෙවිගේ පාලනයට යටත් වීම අත් නොහරින බවට සහතිකයක්ද ලබාගන්න යෙප්තාට අවශ්‍ය වුණා.—විනිශ්චයකාරයෝ 11:8-11.

අම්මොන්වරුන්ව මුණගැසීම

අම්මොන්වරුන් සමඟ සාකච්ඡා කර ගැටලුව විසඳාගැනීමට යෙප්තා වෑයම් කළා. අම්මොන්වරුන් තම දේශය අල්ලා ගත්තේ ඇයි කියා විමසීමට ඔහු පණිවිඩකරුවන්ව ඔවුන්ගේ රජු වෙත යැව්වා. නමුත් රජ පිළිතුරු දුන්නේ චෝදනා කරමින්. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස ලබා එන විට ඔවුන් අම්මොන්වරුන්ගේ ප්‍රදේශයේ ජනාවාස පිහිටුවා ගත් බවත් එය ආපසු තමන්ට ලබා දිය යුතු බවත් රජු පැවසුවා.—විනිශ්චයකාරයෝ 11:12, 13.

ඊශ්‍රායෙලයේ ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබූ යෙප්තා අම්මොන්වරුන්ගේ රජ කළ චෝදනා බොරු බව පෙන්වා දුන්නා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වී එන විට අම්මොන්, මෝවබ් හා ඒදොම් යන ජාතීන්ට කිසිම හිරිහැරයක් නොකළ බව ඔහු අම්මොන්වරුන්ට පැහැදිලි කළා. මතභේදයට තුඩු දී තිබූ දේශය ඒ කාලයේදී අම්මොන්වරුන්ට අයිති වෙලා තිබුණේ නැහැ. ඒ දේශය හිමි කරගෙන සිටියේ අමෝරියයන් විසිනුයි. දෙවි ඔවුන්ගේ රජ වූ සීහොන්ව පරාජය කර ඒ දේශය ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා. තවද මීට කලින් ඊශ්‍රායෙල්වරුන් ඒ දේශයේ අවුරුදු 300ක් ජීවත් වෙලා තිබුණා. අම්මොන්වරුන් දැන් ඒ දේශයට අයිතිවාසිකම් කියන්නේ ඇයි?—විනිශ්චයකාරයෝ 11:14-22, 26.

ඊශ්‍රායෙල්වරුන් පීඩා විඳීමට හේතු වූ ප්‍රධානතම කාරණය ගැනත් යෙප්තා අවධානය යොමු කළා. සැබෑ දෙවි කවුද? යෙහෝවා දෙවිද නැත්නම් ඊශ්‍රායෙල්වරුන් පදිංචි වී සිටි දේශවල ජනයා ඇදහූ දෙවිවරුන්ද? කෙමොෂ් නමැති දෙවිට බලයක් තිබුණා නම් තමන් ඇදහූ ජනයාව ඔවුන්ගේ දේශයේ තබා ගන්නේ නැද්ද? ඇත්තෙන්ම එදා සිදු වුණේ බොරු නමස්කාරයත් සැබෑ නමස්කාරයත් අතර සටනක් කියා කිව හැකියි. මේ බව යෙප්තා පැවසු මේ වදන්වලින් පෙනී යනවා. “විනිශ්චයකාර වූ යෙහෝවා ඊශ්‍රායෙල් පුත්‍රයන් හා අම්මොන් පුත්‍රයන් අතරෙහි අද දවසෙහි විනිශ්චයකාරයා වන්නේය.”—විනිශ්චයකාරයෝ 11:23-27.

යෙප්තා පැවසූ දෙයට අම්මොන්වරුන්ගේ රජ සවන් දුන්නේ නැහැ. ඉන්පසු සිදු වූ දේ ගැන වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවාගේ ආත්මය යෙප්තා කෙරෙහි පැමිණියේය. ඔහු ගිලියද්ද මනස්සේද ගිලියද්හි මිශ්පාද පසු කර ගොස් ගිලියද්හි මිශ්පාහි සිට අම්මොන් පුත්‍රයන් වෙත පැමිණියේය.” යෙප්තා මේ සටනට ඊශ්‍රායෙලයේ බලවත් මිනිසුන්වද හවුල් කරවා ගන්න ඇති.—විනිශ්චයකාරයෝ 11:28, 29.

යෙප්තා වූ පොරොන්දුව

මහත් ඕනෑකමින් යෙහෝවා දෙවිගේ උපකාරය පැතූ යෙප්තා ඔහුට මෙසේ යාච්ඤා කළා. “ඔබ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙන්නේ නම් මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් කෙරෙන් හැරී එන කල මාගේ ගෙයින් පිටත්ව මා ඉදිරියට එන කවුරුන් නුමුත් යෙහෝවාගේ වන්නේය; මම එය දවන පූජාවක් කොට පුදන්නෙමි.” මෙයට පිළිතුරු දුන් දෙවි ඒ සටනේදී යෙප්තාට උපකාර කළා. ඒ නිසා ඔහුට අම්මොන්වරුන්ගේ නගර 20කට පහර දී ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ව මර්ධනය කරමින් ‘මහත් සෙනඟක් මරා’ දැමුවා.—විනිශ්චයකාරයෝ 11:30-33.

ඒ සටනින් පසු යෙප්තා ආපසු නිවසට පැමිණෙන විට ඔහු මුණගැසෙන්නේ ඔහුගේ එකම දරුවාවයි. මේ එකම දියණියට ඔහු හුඟාක් ආදරය කළා. තම දියණියව දුටු විට ඔහුට ඇති වූ හැඟීම ගැන වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු ඇය දුටු විට තමන් වස්ත්‍ර ඉරා: අනේ මාගේ දියණියෙනි, ඔබ මා ඉතා පහත් කළෙහිය; ඔබ මා කලඹන තැනැත්තියක්ය; මක්නිසාද මම යෙහෝවාට කී දේ වෙනස් කළ නොහැක්කෙමි.”—විනිශ්චයකාරයෝ 11:34, 35.

යෙප්තා ඇත්තටම ඇගේ දියණියව පූජා කළාද? නැහැ. දෙවිට වූ පොරොන්දුවේදී එවැනි දෙයක් ඔහුගේ සිතේ තිබුණේ නැහැ. මිනිසුන්ව පූජා කිරීම යෙහෝවා දෙවි දැඩි සේ හෙළා දකිනවා. මෙවැනි දුෂ්ට පුරුදු තිබුණේ කානානිවරුන් අතරේයි. (ලෙවී කතාව 18:21; ද්විතීය කතාව 12:31) යෙප්තා එම පොරොන්දු දුන් අවස්ථාවේදී දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වුණා. එමෙන්ම ඔහුගේ වෑයම්වලට දෙවි ආශීර්වාද කළා. යෙප්තාගේ ඇදහිල්ල ගැනත් දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ඔහු කළ කාර්යය ගැනත් බයිබලයේ පැසසුමට ලක් කර තිබෙනවා. (1 සාමුවෙල් 12:11; හෙබ්‍රෙව් 11:32-34) මේ නිසා යෙප්තා මිනිස් පූජාවක් ඔප්පු කිරීමට පොරොන්දු වූවා කියා කොහොමටවත් පැවසිය නොහැකියි. යම් පුද්ගලයෙකුව යෙහෝවා දෙවිට ඔප්පු කරනවා කියා පොරොන්දු වූ විට යෙප්තාගේ සිතේ තිබුණේ කුමක්ද?

ඔහුගේ සිතේ තිබුණේ තමන්ට මුණගැසෙන තැනැත්තාව ඔහුගේ හෝ ඇගේ ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා ලබා දෙන බවයි. යෙහෝවා දෙවිගේ සේවය වෙනුවෙන් යම් අයව ලබා දෙන බවට පොරොන්දු වීම ගැන මෝසෙස්ට දෙන ලද නීතියේද සඳහන් වී තිබුණා. උදාහරණයක් හැටියට, දේවමාළිගාවේ සේවය කළ ස්ත්‍රීන් වතුර ඇද්දා කියා සිතිය හැකියි. (නික්මයාම 38:8; 1 සාමුවෙල් 2:22) ඔවුන් ඉටු කළ සේවය ගැන බයිබලයේ එතරම් තොරතුරු සඳහන් වෙන්නේ නැහැ. එය කෙටි කලකට කළ සේවයක්ද කියාවත් දැනගන්න නැහැ. යෙප්තා දෙවිට පොරොන්දු වන විට ඔහුගේ සිතේ තිබෙන්න ඇත්තේ එවැනි විශේෂ කාර්යයක් සඳහා තමන්ට මුණගැසෙන තැනැත්තාව ලබා දෙන බව විය හැකියි. ඔහු ඒ තැනැත්තාව දෙවිට ලබා දෙන්නේ සැමදාම සේවය කිරීමට බවත් ඔහුගේ පොරොන්දුවෙන් පෙනී යනවා.

යෙප්තාගේ දියණිය මෙන්ම පසු කලෙක සාමුවෙල් නම් කුඩා පිරිමි දරුවාද තම දෙමාපියන් දෙවිට වූ පොරොන්දු ඉටු කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. (1 සාමුවෙල් 1:11) යෙප්තා මෙන්ම ඇගේ දියණියද යෙහෝවා දෙවිට පක්ෂපාතව සේවය කළා. තම පියා වූ පොරොන්දුව ඉටු කිරීමේ අවශ්‍යතාව ඇය තේරුම්ගත්තා. මේ පොරොන්දුව නිසා ඇය කවදාවත් විවාහ වුණේ නැහැ. විවාහ වී දරුවන් ලබා තම පවුලේ පෙළපත් නාමය හා උරුමය දිගටම ගෙන යෑමට සෑම ඊශ්‍රායෙලිතයෙක් තුළම දැඩි ආශාවක් තිබුණා. ඇය ශෝක වුණේ එම ප්‍රස්තාව නොලැබී යෑම ගැනයි. ඒ පොරොන්දුව නිසා යෙප්තාට ඔහු බොහෝ සේ ආදරය කළ එකම දරුවා සමඟ ජීවත් වීමේ අවස්ථාවත් අහිමි වුණා.—විනිශ්චයකාරයෝ 11:36-39.

මේ තරුණියගේ ජීවිත කාලය නාස්ති වෙලා ගියේ නැහැ. යෙහෝවා දෙවිගේ ගෘහයේ පූර්ණ කාලීනව සේවය කිරීම උතුම් වරප්‍රසාදයක් වූ අතර ඉන් මහත් තෘප්තියක්ද ලැබිය හැකි වුණා. එමෙන්ම එය ඇයට දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා ලැබුණු කදිම ප්‍රස්තාවක්ද වුණා. මේ නිසා අන් අය ඇයව පැසසුමට ලක් කළා. “ගිලියද්හි යෙප්තාගේ දුව සිහිවීම පිණිස අවුරුද්දකට හතර දවසක් බැගින් අවුරුදුපතා ඊශ්‍රායෙල් දූවරුන්ගේ යාම ඊශ්‍රායෙල් අතරේ සිරිතක් විය” කියා බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. (විනිශ්චයකාරයෝ 11:40) තම දියණිය යෙහෝවා දෙවිට සේවයකරනවා දැකීමෙන් යෙප්තා මහත් ප්‍රීතියක් ලැබුවාට සැකයක් නැහැ.

මේ කාලයේද යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතර සිටින බොහෝදෙනෙක් පුරෝගාමීන්, මිෂනාරිවරුන්, සංචාරක අවේක්ෂකයන් හා බෙතල් සේවකයන් වශයෙන් පූර්ණ කාලීනව දෙවිට සේවය කිරීමට ඉදිරිපත් වී සිටිනවා. මෙවැනි අයට තම පවුලේ අයව නිතර බැහැදැකීමට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒත් මේ අයටත් ඔවුන්ගේ පවුල්වල අයටත් තමන් දෙවිට පිරිනමන සේවය ගැන ප්‍රීති විය හැකියි.—ගීතාවලිය 110:3; හෙබ්‍රෙව් 13:15, 16.

දෙවිගේ මඟ පෙන්වීම්වලට පිටුපෑම

යෙප්තාගේ කාලයේ සිදු වූ දේවල් සොයාබැලීමේදී, ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙක් දෙවිගේ මඟපෙන්වීම්වලට පිටු පෑ බව අපිට පෙනී යනවා. යෙප්තාට දෙවිගේ ආශීර්වාද ලැබී තිබෙන බව පැහැදිලිව දකින්න තිබියදීත් එප්‍රායිම්වරුන් ඔහු සමඟ දබරයක් ඇති කරගත්තා. සටනට යන්න තමන්ට අඬගැසුවේ නැත්තේ ඇයි කියා ඔවුන් ඇසුවා. පසුව ඔවුන් යෙප්තාත් සමඟ ඔහුගේ නිවසත් ගිනිබත් කරන්න සිතුවා.—විනිශ්චයකාරයෝ 12:1.

එප්‍රායිම්වරුන්ට තමන් අඬගැසුවත් ඔවුන් ආවේ නැහැ කියා යෙප්තා පැවසුවා. ඒ කොහොමවුණත් ඔවුන්ට ජය ලබා දුන්නේ දෙවියි. ඒ වන විට එප්‍රායිම්වරුන් කලකිරී සිටියේ ගිලියද්වරුන් යෙප්තාව නායකයා ලෙස තෝරාගැනීමේදී ඒ ගැන ඔවුන්ගෙන් විමසුවේ නැති නිසාද? එප්‍රායිම්වරුන් පෑ විරෝධයෙන් පෙනී යන්නේ ඔවුන් යෙහෝවා දෙවි ගත් ක්‍රියා මාර්ගයට විරුද්ධ වූ බවයි. මේ නිසා ඔවුන්ට විරුද්ධව සටන් කරනවා හැරෙන්න වෙනත් දෙයක් කරන්න යෙප්තාට ඉතිරි වී තිබුණේ නැහැ. ඒ සටනේදී එප්‍රායිම්වරුන් පරාජය වුණා. පලා යමින් සිටි එප්‍රායිම්වරුන්ට “ෂිබ්බොලෙත්” නමැති වචනය හරියට උච්චාරණය කිරීමට නොහැකි වීම නිසා ඔවුන්ව පහසුවෙන් හඳුනාගත හැකි වුණා. ඒ සටනේදී එප්‍රායිම්වරුන් 42,000ක් මරුමුවට පත් වුණා.—විනිශ්චයකාරයෝ 12:2-6.

එය ඊශ්‍රායෙල් ඉතිහාසයේ මොන තරම් ඛේදජනක කාලයක් වූවාද! ඔත්නියෙල්, ඒහුද්, බාරාක් හා ගිඩියොන් යන විනිශ්චයකාරයන් යුද්ධවලින් ජයගැනීමෙන් පසු සාමකාමී කාලයක් උදා වුණා. එහෙත් මේ අවස්ථාවේදී සාමයක් උදා වූ බව සඳහන් වෙන්නේ නැහැ. අපි සලකා බැලූ වාර්තාව අවසන් වන්නේ මේ වදන් සමඟිනුයි. “යෙප්තා සාවුරුද්දක් ඊශ්‍රායෙල් විනිශ්චය කළේය. එකල ගිලියද්හි යෙප්තා නැසී ගිලියද්හි නුවරවලින් එකක තැන්පත් කරන ලද්දේය.”—විනිශ්චයකාරයෝ 3:11, 30; 5:31; 8:28; 12:7.

මේ හැම දෙයකින්ම අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම කුමක්ද? යෙප්තා ඔහුගේ ජීවිතයෙන් වැඩි හරියක් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔහු සැමවිටම දෙවිට විශ්වාසවන්තව සිටියා. මේ නිර්භීත මිනිසා යෙහෝවා දෙවි ගැන නිතර සඳහන් කළා. උදාහරණයක් හැටියට ඔහු ගිලියද්හි වැඩිමහල්ලන්ටද, අම්මොන්වරුන්ටද, ඔහුගේ දියණියටද, එප්‍රායිම්වරුන්ටද කතා කළ අවස්ථාවලදී මෙන්ම දෙවිට ඔහු පොරොන්දුවක් වූ අවස්ථාවේදීද යෙහෝවා යන දෙවිගේ නාමය සඳහන් කළා. (විනිශ්චයකාරයෝ 11:9, 23, 27, 30, 31, 35; 12:3) යෙප්තාගේ ඇදහිල්ලට දෙවි ආශීර්වාද කළා. ඔහුවත් ඔහුගේ දියණියවත් සැබෑ නමස්කාරය නඟා සිටුවීමට යොදාගත්තා. අන් අය දෙවිගේ ප්‍රමිති නොසලකා හැරිය කාලයක යෙප්තා ඒවාට එකඟව ක්‍රියා කළා. යෙප්තා මෙන් ඔබත් යෙහෝවා දෙවිට සැමවිටම කීකරු වෙනවාද?

[පාදසටහන]

^ 5 ඡේ. අම්මොන්වරුන් ඉතාමත් කුරිරු සෙනඟක්. ඔවුන් මේ සිද්ධියට අවුරුදු 60කට පමණ පසු ගිලියද් දේශයට අයත් නගරයක වැසියන්ගේ දකුණු ඇස උගුලා දමන බවට තර්ජනය කළා. පසුකලෙක ඔවුන් ගිලියද්හි විසූ ගර්භණී කාන්තාවන්ව කඩුවලින් කපා දැම්මා කියා අනාගතවක්තෘ ආමොස් සඳහන් කළා.—1 සාමුවෙල් 11:2; ආමොස් 1:13.