Skip to content

පටුනට යන්න

සියලුම දුක් වේදනාවල නිමාව අත ළඟයි!

සියලුම දුක් වේදනාවල නිමාව අත ළඟයි!

සියලුම දුක් වේදනාවල නිමාව අත ළඟයි!

“දෙවි පර්වතයය; දෙවිගේ වැඩ සම්පූර්ණය.”—ද්විතීය කතාව 32:4.

1, 2. (අ) සදාකල් ජීවිතය අනර්ඝ බලාපොරොත්තුවක් කියා ඔබ හිතන්නේ ඇයි? (ආ) අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් දී තිබෙන දෙවිව විශ්වාස කිරීම බොහෝදෙනෙකුට අමාරු වී තිබෙන්නේ ඇයි?

පාරාදීස පොළොවේ ඔබ භුක්ති විඳින්න යන ජීවිතය ගැන සිතින් මවා ගන්න ඔබ කැමතිද? සමහර විට ඔබ කැමති වෙන්නේ මේ අලංකාර පොළොවේ සිටින පුදුමාකාර අසංඛ්‍යාත ජීවීන් ගැන අධ්‍යනය කරමින් සෑම තැනකම සංචාරය කරන්න විය හැකියි. නැතහොත් වෙනත් අය සමඟ මේ මුළු පොළොවම අලංකාර උද්‍යානයක් බවට පත් කිරීමේ ප්‍රීතිමත් කාර්යයට හවුල්වෙන්න ඔබ කැමති ඇති. එසේත් නැත්නම් ඕනෑ තරම් කාලය තිබෙන නිසා කලාව සංගීතය හෝ ගෘහ නිර්මාණ ශිල්පය වැනි ඔබ සතු හැකියාවන් වර්ධනය කරගන්න උනන්දු විය හැකියි. ඔබ මෙයින් කුමන දෙයක් කරන්න කැමති වුණත් ඔබ වඩාත් අගය කරන්නේ යෙහෝවා දෙවි අපට පොරොන්දු වී තිබෙන “සැබෑ ජීවිතය” නැමති ඒ සදාකාල ජීවනය අත් කර ගන්නයි.—1 තිමෝති 6:19.

2 බයිබලයේ සඳහන් පාරාදීසය පිළිබඳ බලාපොරොත්තුව ගැන අන් අයට පැවසීමට ලැබීම මහත් වරප්‍රසාදයක්. කොහොම වුණත් බොහෝදෙනෙක් මෙම බලාපොරොත්තුව ගණනකට ගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ මෙය සිහිනයක් කියායි. මේ පොරොන්දුව දී තිබෙන දෙවිව විශ්වාස කිරීමට සමහරුන්ට අමාරු දෙයක් වී තිබෙන්නේ අද මිනිසුන් අද්දකින දුක් වේදනා නිසයි. ඔවුන් සිතන්නේ සර්ව බලධාරී ප්‍රේමණීය දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දුක් වේදනා හා දුෂ්ටකම් සිදු වෙන්න බැහැ කියායි. කිසිම දෙවි කෙනෙක් දුෂ්ටකම් පවතින්න ඉඩ දෙන්නේ නැති බවත් එසේ කරනවා නම් ඔහු සර්වබලධාරී දෙවි කෙනෙක් විය නොහැකි බවත් එසේත් නැත්නම් ඔහු අපි ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති කෙනෙක් බවත් ඔවුන් සිතනවා. මෙවැනි තර්ක අද බොහෝදෙනෙක් පිළිගන්නවා. සාතන් මිනිසුන්ගේ මනස් අන්ධ කර තිබෙන බව මෙයින් පැහැදිලියි.—2 කොරින්ති 4:4.

3. මිනිසුන්ට පිළිතුරු සොයාගැනීමට අමාරු ප්‍රශ්නය කුමක්ද? එයට පිළිතුරු ලබාදීමට හොඳම තත්වයේ සිටින්නේ අපි කියා පැවසිය හැක්කේ ඇයි?

3 සාතන්ගේ උපායන්වලින් සහ මේ ලෝකයේ ප්‍රඥාවෙන් මුළා වී සිටින ජනයාට උපකාර කළ හැකි තත්වයක සිටින හොඳම පිරිස වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. (1 කොරින්ති 1:20; 3:19) බොහෝදෙනෙක් බයිබලයේ සඳහන් පොරොන්දු විශ්වාස නොකිරීමට හේතුව අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔවුන් යෙහෝවා දෙවි ගැන දන්නේ නැහැ. ඔහුගේ නම සහ එහි අර්ථය දන්නේ නැහැ. ඔහු මොනවගේ කෙනෙක්ද කියාවත් මේ දක්වා ඔහුගේ සෑම පොරොන්දුවක්ම ඔහු ඉටු කර තිබෙන බවවත් ඔවුන් දන්නේ නැහැ. ඒත් “දෙවි දුක් වේදනාවලට ඉඩ හරින්නේ ඇයි?” කියා අපි දන්න නිසා “මානසික වශයෙන් අන්ධකාරයෙහි” සිටින ජනයාට මේ ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරු සොයාගැනීමට උපකාර කරන්න අපට හැකියි. මේ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි ආකාරය ගැන කලින් කලට සලකා බැලීම වැදගත්. (එෆීස 4:18) මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී ඒ සඳහා හොඳ අඩිතාලමක් දමා ගත හැකි ආකාරය ගැන මුලින්ම අපි සලකා බලමු. ඉන්පසු යෙහෝවා දෙවි මෙම කාරණය හසුරුවා තිබෙන ආකාරයෙන් ඔහුගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති දිස්වෙන ආකාරය ගැනත් සොයා බලමු.

නිවැරදි අඩිතාලමක් දැමීම

4, 5. දෙවි දුක් වේදනාවලට ඉඩ හැර තිබෙන්නේ ඇයි කියා කෙනෙක් ඇසූ විට අපි මුලින්ම කළ යුත්තේ කුමක්ද?

4 දෙවි දුක් වේදනාවලට ඉඩ හරින්නේ ඇයි කියා කෙනෙක් ඇසූ විට අපි පිළිතුරු දෙන්නේ කොහොමද? ඒදන් උයනේ සිදු වූ සිද්ධියෙන් පටන් ගෙන බොහෝ විස්තර පැවසීමට අපට පෙළඹීමක් ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී එවැනි පිළිතුරක් දීම සුදුසු විය හැකිය. කෙසේවෙතත් කෙළින් පිළිතුර දීමට පෙර හොඳ අඩිතාලමක් දමා ගැනීම අවශ්‍යයි. (හිතෝපදේශ 25:11; කොලොස්සි 4:6) මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අපි බයිබලයේ සඳහන් කරුණු තුනකට අපේ අවධානය යොමු කරමු.

5 මුලින්ම ඔහුගේ තත්වය තේරුම් ගන්න. ලෝකයේ තිබෙන දුක් වේදනා ගැන ඔහු කලකිරීමකින් කතා කරනවා නම් ඉන් පෙනී යන්නේ සමහර විට ඔහු හෝ ඔහුගේ පවුලේ කෙනෙක් යම් විපතකට මුහුණ දී තිබෙන බවයි. ඉන්පසු ඔහුගේ තත්වය අපි අවංකවම තේරුම් ගෙන තිබෙන බව පෙන්වමින් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. “හඬන අයත් සමඟ හඬන්න” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට පැවසුවා. (රෝම 12:15) ඒ පුද්ගලයා “කෙරෙහි අනුකම්පාව දක්වමින්” ඔහුව තේරුම් ගෙන තිබෙන බව ඔහුට දැනෙන විට ඔහු හොඳ ප්‍රතිචාරයක් දැක්විය හැකියි.—1 පේතෘස් 3:8.

6, 7. පුද්ගලයෙක් බයිබලයෙන් පිළිතුරු දැනගැනීම සඳහා අවංකවම ප්‍රශ්න ඇසීම ගැන අපි ඔහුව අගය කළ යුත්තේ ඇයි?

6 දෙවනුව, එම පුද්ගලයා අවංකව ඒ ප්‍රශ්නය ඇසීම ගැන ඔහුව අගය කරන්න. එසේ ප්‍රශ්ණ කිරීමෙන් තමන්ට දෙවි කෙරෙහි විශ්වාසයක් නැති බවත් එමගින් දෙවිට අගෞරවයක් වෙන බවත් සමහරු සිතනවා. සමහරවිට එවැනි දෙයක් පූජකයෙක් ඔහුට පවසා තිබෙන්න පුළුවන්. ඒත් ඔහුට ඇදහිල්ලක් නැති බව ඉන් අදහස් කරන්නේ නැහැ. පුරාණයේ විසූ ඇදහිලිවන්තයන් පවා ඒ හා සමාන ප්‍රශ්න ඇසුවා. උදාහරණයක් ලෙස දාවිත් දෙවිගෙන් මෙසේ ඇසුවා. “යෙහෝවා, ඔබ කුමට දුරුව සිටින්නේද? දුක් ඇති කාලවලදී කුමට සැඟවී සිටින්නේද?” (ගීතාවලිය 10:1) ඒ වගේම අනාගතවක්තෘ හබක්කුක්ද මෙලෙස ප්‍රශ්න කළා. “යෙහෝවා, මා ඔබට හඬගසන්නෙත් ඔබ නාසන්නෙත් කොපමණ කල්ද? බලහත්කාරය ගැන ඔබට මොරගසමි; ඔබ නොගලවන්නේය; ඔබ මට අයුතුකම් පෙන්වන්නෙත් හිතුවක්කාරකම බලන්නෙත් මක්නිසාද? කොල්ල ගැනීම සහ බලාත්කාරය මා ඉදිරියෙහිය; භේදය තිබෙයි; විවාදයත් හටගනියි.”—හබක්කුක් 1:2, 3.

7 මේ ප්‍රශ්න ඇසූ ඔවුන් දෙදෙනාම දෙවි කෙරෙහි මහත් ගෞරවයකින් යුතුව ඔහුට විශ්වාසවන්තව සේවය කළ අයයි. මෙවැනි ප්‍රශ්න ඇසුවා කියා යෙහෝවා දෙවි ඔවුන්ව හෙළා දැක්කේ නැහැ. එය අප දන්නේ ඔවුන් ඇසූ එම ප්‍රශ්න අපේ දැනගැනීම සඳහා බයිබලයේ වාර්තා කර තිබෙන නිසයි. අදත් යම් අය දැන් පවතින දුක් වේදනාවලට හේතුව ගැන බයිබලයේ පවසා තිබෙන දේ දැන ගැනීමට ලොකු ආශාවක් දක්වන්න පුළුවන්. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අයව” යේසුස් පැසසුමට ලක් කළා. (මතෙව් 5:3) යේසුස් පොරොන්දු වූ එම සන්තෝෂය ලබා ගැනීමට වෙනත් අයට උපකාර කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද!

8. දුක් වේදනාවලට දෙවි වගකිව යුතුයි කියා මිනිසුන් සිතන්නේ කුමන වියවුල්සහගත ඉගැන්වීම් නිසාද? ඔවුන්ට සත්‍යය පහදා දීමට අපිට හැක්කේ කෙසේද?

8 තුන්වෙනුව, ලෝකයේ පවතින දුක් පීඩාවලට වගකිව යුත්තේ දෙවි නොවෙයි කියා අප ඔහුට පැහැදිලි කර දිය යුතුයි. බොහෝදෙනෙක් සිතන්නේ මේ ලෝකය පාලනය කරන්නේ දෙවි කියායි. දෙවි ඈත අතීතයේදීම මිනිසුන් අද අද්දකින තත්වය සැලසුම් කර තිබුණා කියා ඔවුන් විශ්වාස කරනවා. ඒවගේම දෙවි ඇතිකර තිබෙන මෙම තත්වය කාටවත් විස්තර කළ නොහැකි අභිරහසක් බවත් ඔවුන් සිතනවා. නමුත් සැබෑව එය නෙවෙයි. එසේ සිතීමෙන් ඔවුන් දෙවිට අගෞරවය කරනවා වගේම අද පවතින දුක් වේදනාවලට වගකිව යුතු තැනැත්තා දෙවි කියා චෝදනා කරනවා. මේ නිසා අපි ඔවුන් සිතන ආකාරය බයිබලයේ උගන්වා තිබෙන දේ මගින් නිවැරදි කළ යුතුයි. (2 තිමෝති 3:16) මේ දුෂ්ට ලෝකයේ පාලකයා සාතන් මිස යෙහෝවා දෙවි නෙවෙයි. (1 යොහන් 5:19) යෙහෝවා දෙවි කිසිවෙකුගේ අනාගතය කලින් නියම කර නැහැ. හරි වරැද්ද තෝරාගැනීමේ නිදහස දෙවි සෑම කෙනෙකුටම දී තිබෙනවා. (ද්විතීය කතාව 30:19) මිනිසුන් අද්දකින දුක් වේදනාවලට වගකිව යුත්තේ දෙවි නෙවෙයි. ඔහු දුෂ්ටකම හෙළා දකින අතර අයුක්තිසහගත ලෙස දුක් පීඩා විඳින අයට ඔහු අනුකම්පා කරනවා.—යෝබ් 34:10; හිතෝපදේශ 6:16-19; 1 පේතෘස් 5:7.

9. දෙවි දුක් වේදනාවලට ඉඩ දී තිබෙන්නේ ඇයි කියා විස්තර කර දීමට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා දී තිබෙන පොත් පත් මොනවාද?

9 ඔබ එවැනි අඩිතාලමක් දැමුවාට පසු යෙහෝවා දෙවි තවමත් දුෂ්ටකමට ඉඩ හැර තිබෙන්නේ ඇයි කියා දැන ගැනීමට ඔබට සවන්දෙන පුද්ගලයා සුදුසු තත්වයක සිටිනවා. ඔබට මේ සඳහා උපකාර කිරීමට අවශ්‍ය පොත් පත් රාශියක් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා දී තිබෙනවා. (මතෙව් 24:45-47) උදාහරණයක් හැටියට, වර්ෂ 2006දී පැවැත්වූ “දෙවිට කීකරු සේවකයෝ” නැමති දිස්ත්‍රික් සමුළුවේදී දුක් වේදනාවල නිමාව අත ළඟයි! යන පත්‍රිකාව මුදා හැරියා. මෙම පත්‍රිකාව කියවා එහි තොරතුරුවලට හොඳින් හුරුවෙන්න ඔබට හැකියි. තවද බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත භාෂා 157කින් තිබෙන අතර මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට එහි සම්පූර්ණ පරිච්ඡේදයක්ම වෙන් කර තිබෙනවා. මෙම ප්‍රකාශන හොඳින් භාවිත කරන්න. දෙවිගේ පාලන අයිතිය ගැන ඒදන් උයනේදී ඇති වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් දේ සහ එය යෙහෝවා දෙවි එයාකාරයෙන් හැසිරෙව්වේ ඇයි කියාත් සරලව එම පරිච්ඡේදයේ විස්තර කර තිබෙනවා. මෙම විෂය ගැන ඔබ එම පුද්ගලයා සමඟ සාකච්ඡා කිරීම මගින් ඔහු දැනගත යුතු වඩාත්ම වැදගත් දෙයක්, එනම් යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති ගැන දැනගන්න ඔහුට අවස්ථාව උදා වෙනවා.

දෙවිගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති

10. දෙවි දුක් වේදනාවලට ඉඩ හැර තිබීම ගැන තේරුම් ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු ඇයි? එය වටහාගන්න නම් කුමන දේ ඔවුන් දැන ගත යුතුද?

10 මිනිසුන්ට තමන්ව පාලනය කරගැනීමට යෙහෝවා දෙවි ඉඩ හැර තිබීම ගැන තේරුම් ගැනීමට උපකාර කරන විට දෙවිගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති කෙරෙහි ගෙහිමියාගේ අවධානය යොමු කරන්න. දෙවි බලවත් කෙනෙක් කියා බොහෝදෙනෙක් දන්නවා. ඒවගේම ඔහුව සර්ව බලධාරී දෙවි කියා හඳුවන බවත් දන්නවා. නමුත් බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන්නේ අයුක්තියට හා දුක් වේදනාවලට නිමාවක් ගෙන ඒමට දෙවි තම බලය පාවිච්චි නොකරන්නේ ඇයි කියායි. ඔවුන් එසේ සිතන්නේ දෙවිගේ පෞද්ගලිකත්වයේ වෙනත් පැති වන ශුද්ධකම, යුක්ති සහගත බව, ප්‍රඥාවන්ත බව හා ප්‍රේමණීය බව යන පැති ගැන එතරම් දැනුමක් ඔවුන්ට නැති නිසා වෙන්න පුළුවන්. යෙහෝවා දෙවි ඔහුගේ පෞද්ගලිකත්වයේ මේ හැම පැත්තක්ම විදහා පෙන්වන්නේ සම්පූර්ණව හා සමබරවයි. “දෙවිගේ වැඩ සම්පූර්ණය” කියා බයිබලයේ පවසා තිබෙන්නේ ඒ නිසයි. (ද්විතීය කතාව 32:4) මේ කාරණය සාකච්ඡා කරන විට දෙවිගේ පෞද්ගලිකත්වයේ මෙම පැතිවලට මූලික අවධානය දිය හැක්කේ කෙසේද? මේ ගැන උදාහරණ කිහිපයක් සලකා බලමු.

11, 12. (අ) ආදම් සහ ඒව පව් කළ විට ඔවුන්ට සමාව දීම විසඳුමක් නොවුණේ ඇයි? (ආ) දෙවි සදාකාලයටම පාපය පවතින්න ඉඩ නොදෙන්නේ ඇයි?

11 ආදම් සහ ඒවට කළ පාපයට සමාව දෙන්න දෙවිට තිබුණා නේද? ආදම් සහ ඒව කිසිම පාපයක් නොතිබුණු පරිපූර්ණ පුද්ගලයන්. ඔවුන් දෙවිගේ පාලනයට විරුද්ධ වී සාතන්ගේ මඟ පෙන්වීමට කීකරු වුණේ හිතාමතාමයි. ඔවුන් තමන් කළ පාපය ගැන පසුතැවිලි නොවීම පුදුමයට කාරණයක් නෙවෙයි. කොහොම වුණත් ඔවුන්ට සමාව දීමට දෙවිට තිබුණා නේද කියා ඇසීම හරියට දෙවි ඔහුගේ ප්‍රමිති බාල කර ඔවුන් කළ පාපයත් ඔවුන් ඇති කළ කැරැල්ලත් ගණන් නොගෙන ඉන්න තිබුණා නේද කියා අසනවාට සමානයි. දෙවි එසේ නොකළේ ඔහු ශුද්ධ දෙවි කෙනෙක් වන නිසයි.—නික්මයාම 28:36; 39:30.

12 බයිබලයේ දෙවිගේ ශුද්ධකම ගැන බොහෝ වාර ගණනක් සඳහන් කර තිබුණද මේ දුෂිත ලෝකයේ දෙවිගේ ශුද්ධකම ගැන වටහාගෙන තිබෙන්නේ අතළොස්සක් වීම කනගාටුවට කරුණක්. යෙහෝවා දෙවි ශුද්ධ මෙන්ම පාපයෙන් සම්පූර්ණයෙන්ම දුරුව සිටින දෙවි කෙනෙක්. (යෙසායා 6:3; 59:2) දෙවි පාපය නැති කර දැමීමට කටයුතු යොදා තිබෙන අතර එය දිගටම පවතින්න ඉඩ හරින්නේ නැහැ. දෙවි පාපය පවතින්න දිගටම ඉඩ හරිනවා නම් අපට අනාගතය ගැන කිසිම බලාපාරොත්තුවක් තබා ගන්න බැහැ. (හිතෝපදේශ 14:12) දෙවි නියමිත කාලයේදී ඔහුගේ සියලු මැවිලි පාපයෙන් තොර ශුද්ධ තත්වයකට ගෙන එනවා. ඔහු ශුද්ධ දෙවි කෙනෙක් නිසා එය සිදු වන බව ස්ථීරයි.

13, 14. ඒදන් උයනේදී කරළිකරුවන්ව දෙවි විනාශ නොකළේ ඇයි?

13 ඒදන් උයනේදී කැරළිකරුවන්ව විනාශ කර දමා අලුත් ආරම්භයක් ඇති නොකළේ ඇයි? අවශ්‍ය නම් දෙවිට ඒ දේ කරන්න බලය තිබුණා. දෙවි තම බලය යොදාගෙන අනාගතයේදී සියලුම දුෂ්ටකම් නැති කර දමනවා. එසේ නම් මුළු විශ්වයේම වැරදිකරුවන් තුන් දෙනෙක් පමණක් සිටියදී එසේ නොකළේ ඇයි? ඔහු එසේ කළා නම් පාපය මුළු මිනිස් වර්ගයාට උරුම නොවෙන්නත් අද මේ පොළොවේ තිබෙන දුක් වේදනා නොපවතින්නත් තිබුණා නේද කියා සමහරුන් සිතනවා. දෙවි එලෙස ක්‍රියා නොකළේ ඇයි? ද්විතීය කතාව 32:4හි පවසා තිබෙන්නේ “දෙවිගේ සියලු මාර්ග සාධාරණය” කියායි. යෙහෝවා දෙවිට වඩා යුක්තිසහගත කෙනෙක් නැහැ. ඒ වගේම “යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය.” (ගීතාවලිය 37:28) ඔහු එදා ඒදන් උයනේදී කැරළිකරුවන්ව විනාශ නොකළේ ඔහු යුක්තියට ප්‍රිය කරන දෙවි කෙනෙක් නිසයි. අපි එසේ පවසන්නේ ඇයි?

14 සාතන් ප්‍රශ්න කළේ පාලනය කිරීමට ඔහු සතු අයිතිය ගැනයි. යෙහෝවා යුක්තිසහගත දෙවි කෙනෙක් නිසා දෙවිට අවශ්‍ය වුණේ සාතන් කළ චෝදනාවට යුක්තිය ඉටු වෙන ආකාරයේ සාධාරණ පිළිතුරක් දීමටයි. කැරළිකරුවන් කළ වරදට ඔවුන්ව ඒ අවස්ථාවේදීම විනාශ කළ යුතු වුණත් ඔවුන් මතු කළ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ඉන් ලැබෙන්නේ නැහැ. එමගින් සිදු වෙන්නේ ඔහුගේ බලය තහවුරු වීම පමණයි. ඒත් සාතන් දෙවිගේ බලය ගැන ප්‍රශ්න කළේ නැති නිසා එවැනි දෙයක් කිරීම අවශ්‍ය වුණේ නැහැ. තවද ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන්ගෙන් මේ පොළොව පිරී යෑමත් ඒක යටත් කර ගැනීමත් දෙවිගේ අරමුණ වූ බව ඔහු ඔවුන්ට දන්වා තිබුණා. (උත්පත්ති 1:28) දෙවි ආදම් සහ ඒවව විනාශ කළා නම් මනුෂ්‍යයා සඳහා වූ ඔහුගේ අරමුණ හිස් වචන බවට පත් වීමට ඉඩ තිබුණා. යෙහෝවා දෙවි යුක්තිසහගත දෙවි කෙනෙක් නිසා එවැනි දෙයක් කවදාවත් සිදු වෙන්න ඉඩ හරින්නේ නැහැ. දෙවි අරමුණු කළ දේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවාමයි.—යෙසායා 55:10, 11.

15, 16. මිනිසුන් ඒදන් උයනේ ඇති වූ ප්‍රශ්නය ගැන ඔවුන්ගේම විසඳුම් ඉදිරිපත් කරන විට ඔවුන්ට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?

15 ඒදන් උයනේදී මතු වූ ප්‍රශ්නය දෙවිට වඩා ප්‍රඥාවන්ත ලෙස හැසිරවිය විය හැකි කෙනෙක් සිටිනවාද? සමහර අය ඒදන් උයනේ ඇති වූ කැරැල්ල හැසිරවිය යුතු ආකාරය ගැන ඔවුන්ගේම “විසඳුම්” දීමට ඉඩ තිබෙනවා. එසේ කිරීමෙන් ඔවුන් පෙන්වන්නේ මේ ප්‍රශ්නය දෙවි හැසිර වූ ආකාරයට වඩා ප්‍රඥාවන්ත ලෙස හසුරුවන්න ඔවුන්ට හැකි බව නොවේද? සමහරවිට ඔවුන් එසේ කරන්නේ දුෂ්ට චේතනාවෙන් නොවෙන්න පුළුවන්. ඒත් ඔවුන් එසේ කරන්නේ යෙහෝවා දෙවි ගැනත් ඔහු සතු ප්‍රඥාව ගැන ඔවුන් නොදැන සිටින නිසා විය හැකියි. පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියු විට ඔහු පරිශුද්ධ රහස ඇතුළු දෙවිගේ ප්‍රඥාව ගැන ගැඹුරින් කතා කළා. මෙම පරිශුද්ධ රහස වන්නේ දේවරාජ්‍යයේ රජු වන යේසුස් මාර්ගයෙන් දෙවිට කීකරු මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවා ගැනීමයි. එසේම දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීමටත් වු දෙවිගේ අරමුණත් එයට සම්බන්ධයි. දෙවි ඔහුගේ එම අරමුණ සැලසුම් කළ ආකාරයෙන් දැකිය හැකි දෙවිගේ ප්‍රඥාව ගැන පාවුල්ට හැඟුණු ආකාරය රෝමවරුන්ට ලියූ එම ලිපියේ අවසානයේ සඳහන් කළ මෙම වචනවලින් පෙනී යනවා. “එකම ප්‍රඥාවන්ත දෙවි වන ඔහුට, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සදහටම මහිමය අත් වේවා!”—රෝම 11:25; 16:25-27.

16 යෙහෝවා දෙවි තරම් ප්‍රඥාවන්ත වෙන කිසිකෙනෙක් මේ විශ්වයේම නැති බව පාවුල් දෙවිව “එකම ප්‍රඥාවන්ත” තැනැත්තා ලෙස හැඳින්වීමෙන් පැහැදිලියි. විශ්වයේ හැසිරවීමට තිබූ අමාරුම ප්‍රශ්නය හැසිරවිය යුතු ආකාරය ගැන පැවසීමට පාපය උරුම කරගෙන තිබෙන මිනිසුන්ගෙන් හැක්කේ කාටද? “සිතින් ප්‍රඥාවන්ත” දෙවි කෙරෙහි අපිට ඇති ගරුබිය අන් අය තුළත් ඇති කිරීමට අපි උපකාර කරමු. (යෝබ් 9:4) යෙහෝවා දෙවිගේ ප්‍රඥාව තේරුම් ගන්නා තරමට දෙවි කාරණා හසුරුවන ආකාරය ගැන පූර්ණ විශ්වාසය තැබීමට අපට හැකි වෙනවා.—හිතෝපදේශ 3:5, 6.

යෙහෝවා දෙවිගේ ප්‍රධානතම ගුණාංගය

17. දෙවිගේ ප්‍රේමය පිළිබඳව පුළුල්ව දැන ගැනීම දුක් වේදනා විඳින අයට සහනයක් වන්නේ කෙසේද?

17 “දෙවි ප්‍රේමයය.” (1 යොහන් 4:8) අපව දෙවි වෙතට වඩාත් ළං කරවන්නේත් මේ දුෂ්ට සමාජයේ කරදරවලින් දුක් විඳින අයට සහනයක් ලැබෙන්නේත් යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ ප්‍රධානතම ගුණාංගය වන ප්‍රේමය මගිනුයි. පාපය මගින් ඇති කර ඇති මහත් විනාශය ගැන දෙවි කටයුතු කළ ආකාරයෙන් දෙවිගේ ශ්‍රේෂ්ඨ ගුණාංගය වන ප්‍රේමය දක්නට ලැබෙනවා. ආදම් සහ ඒවගෙන් පාපය උරුම වී ඇති අයට බලාපොරොත්තුවක් දීමට යෙහෝවා දෙවි කටයුතු කළේ ප්‍රේමය නිසයි. එපමණක්ද නොව මිනිසුන්ට දෙවි වෙතට ළඟා වීමටත් දෙවිගේ අනුමැතිය ලත් තැනැත්තන් වීමටත් හැකි වුණේ දෙවි ප්‍රේමය පෙන්වූ නිසයි. තම පුත්‍රයාව දීම මගින් මනුෂ්‍ය වර්ගයාව මුදවා ගැනීමටත් පාපය සම්පූර්ණයෙන්ම දුරු කර ඔවුන්ට සදාකාල ජීවිතයක් ලබා දීමටත් දෙවි පෙළඹුණේ ප්‍රේමය නිසයි. (යොහන් 3:16) සාතන්ව ප්‍රතික්ෂේප කර දෙවිගේ පාලනයට යටත් වීමට මනුෂ්‍යයන්ට තෝරා ගැනීමට අවශ්‍ය තරම් කාලය දී තිබෙන්නේත් ඔහුගේ ප්‍රේමය නිසයි.—2 පේතෘස් 3:9.

18. අප ප්‍රීති විය යුත්තේ අපට කුමන විෂය ගැන හරි දැනුමක් තිබීම ගැනද? අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමන විෂය ගැනද?

18 ආගමික නිකායක පූජකයෙක් දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සිදු වූ විපත සිහිකිරීම පිණිස පැවත්වූ එක් රැස්වීමකදී “දෙවි දුක් වේදනා පවතින්න ඉඩ හැර තියෙන්නේ ඇයි කියා අපි දන්නේ නැහැ” කියා පැවසුවා. මොනතරම් කනගාටුදායක තත්වයක්ද! මේ විෂය සම්බන්ධයෙන් අපිට හරි දැනුමක් තිබීම ගැන අප කොතරම් සන්තෝෂ විය යුතුද? (ද්විතීය කතාව 29:29) යෙහෝවා දෙවි යුක්තිසහගත, ප්‍රඥාවන්ත හා ප්‍රේමණීය දෙවි කෙනෙක් වන නිසා ළඟදීම මේ සියලු දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන බවට අපට ස්ථීරයි. ඔහු අපට එය පොරොන්දු වී තිබෙනවා. (එළිදරව් 21:3, 4) ඒත් පසුගිය සියවස් ගණනාව පුරා මිය ගිය අය ගැන කුමක් කිව හැකිද? ඒදන් උයනේදී දෙවි ප්‍රශ්නය හැසිර වූ ආකාරය නිසා ඔවුන් සිටින්නේ බලාපොරොත්තුවක් නැති තත්වයකද? නැහැ. දෙවි සතු ප්‍රේමය ඔවුන්ව නැවත නැඟිටුවන්න ඔහුව පොළොඹවනවා. අපි ඊළඟ ලිපියේදී ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවි දුක් වේදනාවලට ඉඩ හැර තිබෙන්නේ ඇයි කියා අසන කෙනෙකුට පිළිතුරු දිය හැක්කේ කෙසේද?

• ඒදන් උයනේදී ඇති වූ තත්වය හැසිර වූ ආකාරයෙන් දෙවිගේ ශුද්ධකම හා යුක්තිසහගත බව ඔප්පු වෙන්නේ කෙසේද?

• යෙහෝවා දෙවිගේ ප්‍රේමය ගැන මිනිසුන්ට පුළුල්ව දැන ගැනීමට උපකාර කළ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

දුක් වේදනාවලින් කලකිරී සිටින අයට උපකාර කරන්න

[23වන පිටුවේ පින්තූර]

ඇදහිලිවන්ත දාවිත් සහ හබක්කුක් දෙවිගෙන් අවංකවම ප්‍රශ්න ඇසුවා