දිවේ බලේ
දිවේ බලේ
ජිරාෆ්ගේ දිව අඟල් 18ක් පමණ දිගයි. ඒ වගේම එය ඕනෑම අතකට නමන්න හරවන්නත් පුළුවන්. උස අතුවල තියෙන කොළ කඩා ගන්න තරම් හැකියාවකුත් එයට තියෙනවා. නිල් තල්මසාගේ දිව පමණක් අලියෙකුගේ බරට සමානයි. එය සොලවන්න විතරක් කොතරම් ශක්තියක් යොදවන්න ඕනෙද කියා නිකමට සිතා බලන්න!
ඒ සතුන්ගේ දිවේ ප්‍රමාණය, බර සහ ශක්තිය ගැන කල්පනා කරලා බලද්දී අපේ දිව ඒ අහලකින්වත් තියන්න බැහැ. ඒත් තවත් අතකින් අපේ දිව ඒ හැමදේකටම වඩා බලවත්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මරණයද ජීවිතයද දිවේ බලයෙන් වේ.” (හිතෝපදේශ 18:21) එහි ඇති සත්‍යතාව තහවුරු කරමින් මිනිස් දිවේ ඇති මාරාන්තික බලය ගැන අපි කොතෙකුත් අසා ඇති. ඉන් අමූලික බොරු ගොතමින් බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් අහිංසක මිනිස් ජීවිත නැති නාස්තිකර තිබෙනවා.
සිත රිදවන වචනවලින්, කාලයක් පුරා පැවති ශක්තිමත් මිත්‍රත්වයන් පවා විනාශ කර දමා තිබෙනවා. එමෙන්ම තවත් කෙනෙකුගේ සිත තලා පොඩි කරන්න රළු වචනවලට හැකියි. පුරාණයේ සිටි යෝබ් නමැති මිනිසා සිතේ දැවෙන ශෝකයෙන් මෙසේ ඇසුවේ ඒ නිසයි. “කොපමණ කල් ඔබ මාගේ ආත්මය වෙහෙසමින් වචනවලින් මා කැබලි කොට කඩන්නහුද?” (යෝබ් 19:2) පාලනයකින් තොර වූ දිවක ඇති විනාශකාරී බලය ගැන යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ් මෙවැනි දෙයක් වාර්තා කළා. “දිවද කුඩා අවයවයකි. එහෙත් එය ලොකුවට පුරසාරම් දොඩන්නේය. බලන්න! ඉතා විශාල වනාන්තරයකට ගිනි තබන්න ඕනෑ කරන්නේ කොතරම් කුඩා ගින්නක්ද! එසේය, දිව ගින්නකි.”—යාකොබ් 3:5, 6.
අනික් අතට කෙනෙකුව ජීවත් කරවීමේ බලයද දිව සතුයි. කෙනෙකුගේ හැඟීම් තේරුම්ගෙන පැවසූ සැනසිලිදායක වචන නිසා, සිය දිවි හානි කරගැනීමට උත්සාහ කළ අයව ගලවා ගන්න හැකි වී තිබෙනවා. අසහනයෙන් පෙළෙන අයටද ඉන් සහනය ලබා දී තිබෙනවා. යහපත් මඟ පෙන්වීම්වලට අවනත වීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය සහ නොයෙකුත් අපරාධවල හවුල් වූ අය අකල් මරණයෙන් බේරී තිබෙනවා. ඇත්තෙන්ම ඥානවන්තව හසුරුවන දිවක් “ජීවනදායක ගහකි.” එමෙන්ම “නිසි කලට කී වචනයක් රිදී පෙට්ටිවල රන් පල මෙනි.”—හිතෝපදේශ 15:4; 25:11.
වරක් යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට සහ බයිබලයේ ඇති සත්‍යය අන් අයට ඉගැන්වීමට තරම් අපගේ දිව පාවිච්චි කළ හැකි හොඳ ක්‍රමයක් තවත් නැහැ.—මතෙව් 24:14; 28:19, 20.