Skip to content

පටුනට යන්න

දුෂ්ටකමට නිමාවක් නැද්ද?

දුෂ්ටකමට නිමාවක් නැද්ද?

දුෂ්ටකමට නිමාවක් නැද්ද?

බිම වැටී තිබුණු යමක් කුඩා දරුවෙකුගේ නෙත ගැටෙයි. ඒ ගැන කුතුහලයෙන් සිටින ඔහු එය අහුලා ගනියි. එය තමාට මරණය ගෙන දෙන බිම් බෝම්බයක් බව ඒ දරුවා දන්නේ නැහැ. මවක් තම අලුත උපන් කිරිකැටියාව කුණු බක්කියක දමා යයි. රැකියාවෙන් ඉවත් කළ සේවකයෙක් නැවත එහි පැමිණ දකින දකින හැමදෙනාටම වෙඩි තබා, පසුව සිය දිවි හානි කරගනියි. සැමගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් අසරණ දරුවන්ට ලිංගික අතවර කරයි.

වර්තමානයේ එවැනි සිදුවීම් සාමාන්‍ය දේවල් බවට පත්ව තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. ඒත් සමඟම අපිට අසන්න ලැබෙන සමූල ඝාතන සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ ප්‍රවෘත්ති නිසා අපි තව තවත් කලකිරීමට පත් වෙනවා. වර්ෂ 1995දී පළ වූ එක් පුවත් පතක මෙසේ සඳහන් වුණා. “මෙය යක්ෂයාගේ ශතවර්ෂයයි.” එහි තවදුරටත් සඳහන් වුණේ “ජාතිය, ආගම සහ උස් පහත් භේද නිසා මිලියන ගණන් දෙනා එකිනෙකාව මරාගන්නට පෙලඹුණු මෙවන් යුගයක් නම් මින් පෙර කවදාවත් තිබී නැහැ” කියායි.

ඒ විතරක් නෙවෙයි, අප හුස්ම ගන්නා වාතය දූෂණය කරමින්, පොළොව විනාශ කරමින් එහි ඇති සම්පත් නැති නාස්ති කර තිබෙනවා. සමහර සත්ව වර්ග මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මිනිසා දායක වී තිබෙනවා. එවැනි දුෂ්ට කෲර තත්වයන් ඉවත් කර මේ පොළොව ජීවත් වීමට සුදුසු තැනක් කිරීමට මිනිසාට කවදා හෝ හැකි වෙයිද? නැත්නම් එය මකුළු දැලෙන් හුළඟ නවත්වන්න ගන්නා උත්සාහයක් වගේ වෙයිද? එසේ වාර්තා කළේ ලෝකයේ පවතින දුෂ්ට තත්වයන් ගැන පුළුල්ව අධ්‍යයනයක යෙදුණු මහාචාර්යවරයෙකි. “මේ පවතින තත්වය ඉක්මනින්ම වෙනස් කරන්න මට ලොකු වුවමනාවක් තියෙනවා. ඒත් ඒ වගේ දෙයක් වෙයි කියලා හිතාගන්න පුළුවන් හෝඩුවාවක්වත් පේන තෙක් මානයක නැහැ.” ඔබටත් එසේම හැඟෙනවා ඇති.

අද දින ලෝක තත්වය, කුණාටුවකට හසු වී ගසාගෙන යන නැවකට සමාන කරන්න පුළුවන්. එහි නාවිකයන් නැව වෙනත් දිශාවකට යාත්‍රා කරවීමට උත්සාහ කරනවා. ඔවුන් මොන තරම් උත්සාහ කළත් නැව පාලනය කරන්න ඔවුන්ට බැහැ. එහි තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබෙනවා.

අද පවතින තත්වයට යම් තාක් දුරකට හේතුව වන්නේ වැරදි කිරීමට මිනිසා තුළ ඇති පෙලඹීමයි. (රෝම 3:23) නමුත් මෙතරම් දුෂ්ට දේවල් සිදු වන්නේ මිනිසාගේ වරදින් පමණක්මද? නැත්නම් එසේ කිරීමට මිනිසාව පොලඹවන යම් නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙනවාද? එසේ නම් ඉන් ආරක්ෂා වීමට අපිට හැක්කේ කෙසේද? මෙම වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපියේ සඳහන් වෙනවා.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Heldur Netocny/​Panos Pictures