Skip to content

පටුනට යන්න

දෙවිට සේවය කිරීමට වූ අපේ අධිෂ්ඨානය

දෙවිට සේවය කිරීමට වූ අපේ අධිෂ්ඨානය

ජීවිත කතාව

දෙවිට සේවය කිරීමට වූ අපේ අධිෂ්ඨානය

ලීනා ඩේවිසන්

“අයියෝ, මට කිසි දෙයක් පේන්නේ නැහැ” කියලා අපි ගමන් කරමින් හිටිය කුඩා ගුවන් යානයේ නියමුවා කිව්වා. ඒත් එක්කම වගේ එයාට සිහිය නැතුව ගියා. මගේ මහත්තයා මීට ඉස්සර කවදාවත් ගුවන් යානයක ගිහිල්ලා තිබුණේ නැති නිසා, එයා කොහොමහරි ඒ ගුවන් නියමුවාගේ සිහියගන්න උත්සාහ කළා. මේ අති භයානක තත්වයෙන් අපි බේරුණේ කොහොමද කියලා මම පසුව කියන්නම්. ඊට ඉස්සරවෙලා මම කියන්නම් මේ ගුවන් යානයෙන් අපිට ලෝකයේ ඈත කොනක තියෙන පැපුවා නිව් ගිනියා කියන රටට යන්න වුණේ ඇයි කියලා.

මම ඉපදුණේ 1929, ඕස්ට්‍රේලියාවේදීයි. මගේ ළමා කාලය ගෙවුණේ එහි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි කියන නගරයේයි. මගේ තාත්තාගේ නම බිල් මස්කැට්. එයා කොමියුනිස්ට්වාදියෙක් වුණත් දෙවියන් ගැන ලොකු විශ්වාසයකිනුයි හිටියේ. මට මතකයි 1938දී සහෝදර රදෆර්ඩ් සිඩ්නි නගරයේ කතාවක් දෙන්න නියමිතව තිබුණා. ඒත් සමහර අය ඒකට විරුද්ධ වුණා. ඒත් මගේ තාත්තා සහෝදර රදෆර්ඩ්ගේ පැමිණීමට පක්ෂව කටයුතු කළා.

තාත්තා කිව්වේ “අපිට කියන්න මොනව හරි වැදගත් දෙයක් එයාට ඇති” කියලයි. ඊට අවුරුදු අටකට පස්සේ ඒ කතාවේ තිබුණු තොරතුරු ගැන වඩාත් හොඳ අවබෝධයක් අපිට ලැබුණා. තාත්තා නෝමන් බෙලොට්ටි කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර සහෝදරයාට කිව්වා අපේ ගෙදරට ඇවිල්ලා බයිබලය ගැන අපිට කියලා දෙන්න කියලා. අපේ ගෙදර හැමදෙනාම බයිබලයේ ඇති සත්‍යයට ගොඩක් ඇලුම් කරපු නිසා දෙවිට ලොකු උනන්දුවකින් සේවය කරන්න පටන්ගත්තා.

එක්දහස් නවසිය හතලිස් ගණන්වල මැදභාගයේ මගේ පාසැල් ජීවිතය අවසන් කළේ මගේ අම්මා ගොඩක් අසනීප වෙලා හිටිය නිසයි. ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න මම ඇඳුම් මැහුවා. හැම සෙනසුරාදා රෑකම වගේ මගේ අක්කා රෝස් සහ තවත් පුරෝගාමී කණ්ඩායමක් එක්ක අපි සිඩ්නි නගරයේ වීදි සේවයේ ගියා. මගේ ලොකු අයියා ජෝන්ට 1952දී ගිලියද් පාසැලෙන් පැවරුමක් ලැබුණා පකිස්තානයට ගිහිල්ලා සේවය කරන්න. ඒ නිසා මටත් ඕන වුණා මගේ අයියා වගේ සේවය කරන්න. ඉතිං ඊළඟ අවුරුද්දෙම මම ස්ථාවර පුරෝගාමී සේවය පටන්ගත්තා.

විවාහය සහ වෙනත් රටක සේවය

ඔය කාලයේදීම තමයි මට ඕස්ට්‍රේලියා ශාඛා කාර්යාලයේ සේවය කරපු ජෝන් ඩේවිසන්ව මුණ ගැහුණේ. ඔහු හරිම යටහත් පහත්, ගුණ යහපත් සහෝදරයෙක්. ඒ නිසා එයාට මගේ හිත ඇදිලා ගියා. දෙවන ලෝක මහා යුද්ධය අතරතුර කාලයේ යුද්ධයට හවුල් නොවීම නිසා එයා තුන්වතාවක්ම හිරබත් කාලත් තියෙනවා. අපි දෙන්නාගෙම අධිෂ්ඨානය වුණේ ජීවිතය පුරාම යෙහෝවා දෙවිට සේවය කරන්නයි.

අපි විවාහ වුණේ 1955 ජූනි මාසයේදීයි. ඊට පස්සේ අපි තීරණය කෙරුවා බස් රථයක් මිල දී ගන්න. අපිට ඕන වුණේ ඒක අපේ ජංගම නිවස කරගෙන, ඕස්ට්‍රේලියාවේ ඉතා දුර බැහැර ප්‍රදේශවලට ගිහිල්ලා සේවය කරන්නයි. ඊළඟ අවුරුද්දේදී ඕස්ට්‍රේලියාවට ඉහළින් පිහිටා තිබූ නිව් ගිනියාවේ ඊසානදිග ප්‍රදේශයේ සේවය කරන්න කැමති සාක්ෂිකරුවන්ට ඉදිරිපත් වෙන්න කියා නිවේදනයක් කෙරුවා. * ඒ ප්‍රදේශයේ මීට පෙර කවදාවත් ශුභාරංචිය දේශනා කරලා තිබුණේ නැති නිසා අපි එක පයින් එහෙ යන්න කැමති වුණා.

ඒ කාලයේදී නිව් ගිනියාවට යන්න තිබුණ එකම ක්‍රමය නම් එහෙ රස්සාවක් හොයාගැනීමයි. වැඩි කල් යන්න ඉස්සරවෙලා ජෝන්ට නිව් ගිනියාවට අයිති නව බ්‍රිතාන්‍ය කියන කුඩා දූපතේ ලී මෝලක රස්සාවක් හොයාගන්න පුළුවන් වුණා. සති කිහිපයකට පස්සේ අපේ අලුත් පැවරුම සඳහා අපි පිටත් වුණා. අපි මුලින්ම ගියේ නව බ්‍රිතාන්‍යයේ රබවුල් කියන ප්‍රදේශයටයි. ඒ 1956 ජූලි මාසයේදීයි. දැන් අපිට වෝටර්ෆෝල් බේ කියන ප්‍රදේශයට යන්න ඕනෙ. ඒත් බෝට්ටුවක් එනකල් දවස් හයක් බලාගෙන ඉන්න සිද්ධ වුණා.

වෝටර්ෆෝල් බේවල අපේ සේවය

දවස් කිහිපයක දුෂ්කර මුහුදු ගමනකින් පස්සේ අපි වෝටර්ෆෝල් බේවලට ආවා. එය රබවුල් කියන ප්‍රදේශයෙන් කිලෝමීටර් 240ක් දකුණට වෙන්න පිහිටා තිබෙන විශාල බොක්කක්. ලී මෝල තිබුණේ ඒ ප්‍රදේශයෙයි. අපි ආව දවසෙම හවස සියලුම සේවකයන් රෑ කෑමට මේසෙ වටේ ඉඳගත්තා. ඔය අතර ලී මෝලේ වැඩ බලන නිලධාරියා ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඩේවිසන් මහත්මයා සහ මහත්මිය, මේ සමාගමේ වැඩ කරන අය, තමන්ගේ ආගම මොකක්ද කියලා කියන එක මෙහෙ තියෙන නීතියක්.”

ඒ වගේ නීතියක් මෙහෙ නැහැ කියලා අපි දැනගෙන හිටියා. නමුත් දුම්පානය කිරීම අපි ප්‍රතික්ෂේප කරපු නිසා ඒ අය අපි දිහා කොයිවෙලෙත් බැලුවේ හරිම සැකෙන්. ඒ කොහොමවුණත් “අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලා ජෝන් කිව්වා. ඊට පස්සේ තිබුණේ ලොකු නිහඬතාවයක්. එතන හිටිය මිනිස්සු දෙවන ලෝක මහා යුද්ධයට සහභාගි වෙලා තිබුණා. ඒ යුද්ධයට සාක්ෂිකරුවන් සහභාගි වුණේ නැති නිසා ඔවුන්ට අපි ගැන තිබුණේ වැරදි ආකල්පයක්. අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා දැනගත්ත දවසේ ඉඳලා ඒ අය අපිට සැලකුවේ හරිම අකරුණාවන්ත විදිහටයි.

අපිට ශීතකරණයකුයි ලිපකුයි ලැබෙන්න තිබුණත් වැඩ බලන ඒ නිලධාරියා අපිට ඒවා දුන්නේ නැහැ. ඒ නිසා අපේ කෑම නරක් වුණා. අපිට උයන්න සිද්ධ වුණේ කැලේ තිබිලා හම්බ වුණු කැඩුණු ලිපකයි. අපිට අලුත් කෑම විකුණන්න එපා කියලා ගමේ අයටත් කියලා තිබුණු නිසා ලැබුණු එළවළුවලින් සෑහීමට පත් වෙන්න සිද්ධ වුණා. අපිව ඔත්තුකාරයෝ කියලත් ලේබල් ගහලා තිබුණා. ඒ විතරක් නෙවෙයි අපි බයිබලය ගැන අනිත් අයට දේශනා කරනවද කියලත් ඔවුන් හොඳ සෝදිසියෙනුයි හිටියේ. ඒ මදිවට මට මැලේරියාවත් හැදුණා.

ඒ මොනවාවුණත් අපේ අරමුණ ඉෂ්ට කරන්න අපි අධිෂ්ඨාන කරගත්තා. ඒ ලී මෝලේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සේවකයන් දෙන්නෙක් හිටියා. අපි ඒ අයට කිව්වා ඔවුන්ගේ භාෂාව අපිට උගන්වන්න කියලා. අනික් අතට අපි ඒ අයට බයිබලයේ සත්‍යය ගැන ඉගැන්නුවා. සති අන්තවල අපි එහෙ “ලස්සන තැන්” බලන්න දුර ඈත ප්‍රදේශවලට ගියා. ඒ යද්දී මඟ දිගට හමුවෙන අයට උපායශීලීව සාක්ෂි දැරුවා. අපේ බයිබල් පාඩම් තමයි අපි දේශනා කරපු පණිවිඩය පරිවර්තනය කෙරුවේ. ඉතාමත් වේගයෙන් ගලා ගෙන යන දියපාරවල් ඇති සහ ඉවුරුවල අව්ව තපින ලොකු කිඹුලන් ඉන්න ගංගාවල් හරහා යන්නත් තිබුණා. එකම අවස්ථාවකදී ඇරෙන්න උන්ගෙන් අපිට වැඩි කරදරයක් වුණේ නැහැ.

ඉගැන්වීමට ක්‍රම සෙවීම

දේශනා කිරීමේ අවශ්‍යතාව වැඩි වෙද්දී, අපි ශුභාරංචිය කුඩා පත්‍රිකාවල සටහන් කරලා කැමති අයට ඒවා බෙදාහැරියා. ඒවා පරිවර්තනය කරන්න අපිට මුලින්ම උපකාර කළේ ලී මෝලේ හිටිය අපේ බයිබල් ශිෂ්‍යයනුයි. අපි බොහෝ දවස්වල රෑට ඒවා සිය ගණනක් ටයිප් කරලා ගම්මුන්ට සහ බෝට්ටුවල යද්දී අපිව පහුකරගෙන ගිය අයට බෙදලා දුන්නා.

අද්දැකීම්ලත් සංචාරක සහෝදරයෙක් වන ජෝන් කට්ෆර්ත් 1957දී අපිව බලන්න ආවා. ඒක අපිට ලොකු දිරිගැන්වීමක් වුණා. * අකුරු කියවන්න දන්නේ නැති අයට පින්තූර භාවිත කරලා බයිබලයේ ඇති සත්‍යය උගන්වන එක සාර්ථක ක්‍රමයක් කියලා කිව්වා. ජෝන් මගේ මහත්තයත් එක්ක එකතුවෙලා බයිබලයේ ඇති මූලික ඉගැන්වීම් විස්තර කරන ආකාරයේ සරල පින්තූර පෙළක් අඳින්න පටන්ගත්තා. ඊට පස්සේ අපි ඒ පින්තූර තවත් කොපි පොත්වල සටහන් කෙරුවා. ඒ වෙනුවෙන් අපිට පැය ගණන් ගත කරන්න සිද්ධ වුණා. පසුව හැම බයිබල් ශිෂ්‍යයෙකුටම ඒවා එක බැගින් දුන්නා. ඒ අය අනිත් අයට දේශනා කෙරුවේ ඒ පින්තූර පොත්වලිනුයි. ක්‍රමානුකූලව මේ ක්‍රමය රට පුරාම ව්‍යාප්ත වුණා.

වෝටර්ෆෝල් බේ ප්‍රදේශයේ අවුරුදු දෙකහමාරක් වැඩ කළායින් පසුව අපි බාරගත් කොන්ත්‍රාත්තුව අවසන් වුණා. ඒත් එක්කම අපිට මේ රටේ දිගටම ජීවත් වෙන්න බලධාරීන්ගේ අවසරය ලැබුණා. ඊට පස්සේ දිගටම පූර්ණ කාලීන සේවකයන් හැටියට කටයුතු කිරීමට ලැබුණු ආරාධනය අපි පිළිගත්තා.

නැවතත් රබවුල්වලට

අපි රබවුල් ප්‍රදේශයට ගමන් කරද්දී රෑ බෝවුණ නිසා අපේ බෝට්ටුව කොකෝවා වගා කරන ප්‍රදේශයක් අසල නතර කෙරුවා. ඒක අයිතිව තිබුණේ වයසක යුවළකටයි. ඔවුන් එම ව්‍යාපාරය නවතා ඕස්ට්‍රේලියාවට යන්න තීරණය කරලා තිබුණ නිසා, අපි දෙන්නගෙන් ඇහුවා ඒකෙ වැඩ බලාගන්න පුළුවන්ද කියලා. ඒක නම් හොඳ අවස්ථාවක් තමයි. ඒත් අපි දෙන්නා එදා රෑ ඒ ගැන ටිකක් කල්පනා කෙරුවා. ඊට පස්සේ අපි තේරුම්ගත්තා, අපි නිව් ගිනියාවට ආවේ සල්ලි හම්බ කරන්න නෙවෙයිනේ කියලා. දිගටම පුරෝගාමීන් හැටියට සේවය කරන්න අපි අධිෂ්ඨානය කළා. ඊළඟ දවසේ අපේ තීරණය අපි ඒ දෙන්නට කියලා නැවතත් අපේ ගමන ආරම්භ කෙරුවා.

රබවුල්වලට ආවට පස්සේ, අපිට වෙනත් රටවල්වලින් ඇවිත් හිටිය සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුව මුණගැහුණා. එහෙ ජිවත් වූ මිනිසුන් ශුභාරංචියට ලොකු උනන්දුවක් දක්වපු නිසා ගොඩක් බයිබල් පාඩම් පටන්ගන්නත් පුළුවන් වුණා. එහෙදි අපි රැස්වීම් පැවැත්වුවේ කුලියට ගත්ත ශාලාවකයි. ඒකට 150දෙනෙක් විතර සහභාගි වුණා. ඒ අයගෙන් වැඩිදෙනෙක් සත්‍ය නමස්කාරය පිළිඅරගෙන, ඒ රටේ අනික් ප්‍රදේශවලත් ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වුණා.—මතෙව් 24:14.

අපි, රබවුල්වල ඉඳලා කිලෝමීටර් 50ක් විතර ඈතින් තිබුණු වුනාබල් කියන ප්‍රදේශයේ හිටිය උනන්දුව දැක්වපු අයව බලන්නත් ගියා. වැඩි කල් යන්න ඉස්සරවෙලා ඒ අය ප්‍රදේශයේ සිටි බලපුළුවන්කාර කතෝලික පූජකයෙකුගේ අවධානයට ලක් වුණා. දවසක් ඔහුගේ සගයෝ ටිකක් එකතුකරගෙන ඇවිල්ලා අපි කරමින් හිටිය බයිබල් පාඩම් කඩාකප්පල් කරලා දාලා අපිවත් ගමෙන් එළවලා දැම්මා. ඊළඟ සතියේ තත්වය තවත් නරක අතට හැරෙන බව අපිට තේරුණු නිසා අපි ඒ ප්‍රදේශයේ පොලිසියේ සහය පැතුවා.

එදා කෝපයෙන් කෑගසමින්, හරිම පහත් විදිහට අපිට බනිමින් කතෝලිකයන් බොහෝ පිරිසක් සැතපුම් ගණනක් දුරට පාරෙ හිටියා. තවත් අය අපිට ගල් ගහන්නත් ලැහැස්තිවෙලයි හිටියේ. මේ අතර ඒ පූජකයා ගම්වාසීන් සිය ගණනක්ව රැස් කරලා තිබුණා. අපිට අපේ රැස්වීම් පවත්වන්න සම්පූර්ණ අයිතිය තියෙනවා කියා පොලිසිය කිව්වා. ඊට පස්සේ පොලිසිය ඒ සෙනඟ මැද්දෙන් අපිට යන්න පාර හදලා දුන්නා. නමුත් අපේ රැස්වීම පටන්ගත්තත් එක්කම වගේ පූජකයා සෙනඟව කුලප්පු කරලා එව්වා. නමුත් එකරොත්තට කඩා වැදුණු ඒ සෙනඟව පාලනය කරන්න පොලිසියට බැරි වුණ නිසා එක පොලිස් නිලධාරියෙක් ඉක්මනින්ම අපිට ආරක්ෂාව දීලා කාර් එක ළඟට අරගෙන ගියා.

ඒ වුණත් ඒ මිනිස්සු ආයෙත් අපිව වටකරගෙන අසභ්‍ය විදිහට බනිමින්, කෙළ ගහමින්, අත් මිටමොළවමින් කෝපයෙන් පුපුරන්න පටන්ගත්තා. ඒ අතර පූජකයා අත් දෙක බැඳගෙන හිනහවෙවී හිටියා. අපි එතනින් බේරිලා ගියාට පස්සේ ඒ පොලිස් නිලධාරියා කිව්වා මේ වගේ දෙයක් නම් මගේ ජීවිතේටවත් මම දැකලා නැහැ කියලා. ඒ කලහකාරී පිරිසට ගමේ බොහෝදෙනෙක් බය වුණත් එක බයිබල් ශිෂ්‍යයෙක් සත්‍යය වෙනුවෙන් ඔහුගේ ස්ථාවරය අත්හැරියේ නැහැ. එදා ඉඳලා නව බ්‍රිතාන්‍යයේ සිය ගණනක්දෙනා අරගෙන තියෙන්නෙත් ඒ ස්ථාවරයමයි.

නිව් ගිනියාවේ වර්ධනය

වර්ෂ 1960 නොවැම්බර් මාසයේදී අපිට නිව් ගිනියාවේ උතුරු වෙරළ තීරයේ විශාල නගරයක් වන මඩාං කියන ප්‍රදේශයට පැවරුමක් ලැබුණා. එහෙදි අපිට පුදුම විදිහට රැකියා අවස්ථා ලැබුණා. එක ඇඳුම් ආයතනයක, රෙදි ගබඩාවේ කළමනාකරු හැටියට වැඩ කරන්න කියලා මගෙන් ඉල්ලා හිටියා. තවත් කෙනෙක් කිව්වා මට ඇඳුම් මහන්න කියලා. වෙනත් රටකින් ඇවිල්ලා හිටිය කාන්තාවක් මට කිව්වා මගේම කියලා ඇඳුම් කඩයක් අරින්න ඇය උදව් කරන්නම් කියලා. හැබැයි අපිට තිබුණේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ඉලක්කයක් නිසා අපි කාරුණිකව ඒ හැම යෝජනාවක්ම ප්‍රතික්ෂේප කළා.—2 තිමෝති 2:4.

මඩාංවල සත්‍යට උනන්දුව දක්වපු අය බොහෝදෙනෙක් හිටියා. ඒ නිසා එහි අලුත් සභාව ඉක්මනින්ම දියුණු වුණා. අපි පයින්, යතුරුපැදියෙන් දුර ඈත ගම්වලට ගිහිල්ලා දවස් කිහිපයක් එක දිගට දේශනා කෙරුවා. රාත්‍රිය ගත කළේ පාර දෙපැත්තේ කුඩා පැල්පත්වල තිබුණු පිදුරු ගොඩවල් උඩයි. අපි යද්දී අරගෙන ගියේ ටින් කෑම, බිස්කට්, මදුරු දැල් වගේ අත්‍යවශ්‍යම දේවල් විතරයි.

දේශනා කිරීමට ගිය ගමනකදී මඩාංවල සිට කිලෝමීටර 50ක් උතුරින් පිහිටි ටලීඩිජ් කියන ගමේ උනන්දුව දැක්වපු පිරිසක්ව බලන්න අපි ගියා. ඒ කණ්ඩායම දියුණු වෙනවාත් එක්කම යම් අභියෝගයකුත් මතු වුණා. බයිබල් පාඩම් පැවැත්වීම ප්‍රදේශයේ පාසැලේ විදුහල්පති ඔවුන්ට තහනම් කළා. ඊට පස්සේ ඔහුගේ බලපෑම නිසා පොලිසිය ඇවිත් ඔවුන්ගේ ගෙවල් විනාශ කරලා ඔවුන්ව කෑලේට එළවලා දැම්මා. ඒත් ඒ අසල ජීවත් වූ ගම්මුලාදෑනියෙක් ඔහුගේ ඉඩමක ජීවත් වෙන්න ඔවුන්ට ඉඩහැරියා. කාලයාගේ ඇවෑමෙන් මේ කරුණාවන්ත ගම්මුලාදෑනියත් බයිබලය පාඩම් කරන්න කැමති වූ අතර පසුව ඒ ප්‍රදේශයේම රාජ්‍ය ශාලාවකුත් ඉඳි කරන්න පුළුවන් වුණා.

පරිවර්තන සහ චාරිකා සේවයේ

වර්ෂ 1956දී අපි නව බ්‍රිතාන්‍යයට ඇවිල්ලා අවුරුදු දෙකක් ගතවුණාට පස්සේ මෙලනේසියන් පිජින් කියන භාෂාවට අපගේ ප්‍රකාශන පරිවර්තනය කරන්නට ආරාධනයක් ලැබුණා. අපි අවුරුදු ගණනක්ම මේ සේවයේ හවුල් වුණා. ඊට පස්සේ 1970දී අපිට ලැබුණු පැවරුම වුණේ පැපුවා නිව් ගිනියාවේ අගනුවර වූ පොර්ට් මොර්ස්බිවල පිහිටා තිබුණු අපගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමයි. අපි එහෙදීත් භාෂා පරිවර්තකයන් හැටියට සහ භාෂාව උගන්වන්නන් හැටියට සේවය කළා.

ඉන්පසුව අපි නැවතත් සංචාරක සේවය සඳහා 1975දී නව බ්‍රිතාන්‍යයට ආවා. එදා ඉඳලා ගත වූ අවුරුදු 13 පුරාම ගුවන්යානයෙන්, බෝට්ටුවෙන්, වාහනයෙන් සහ පයින් මේ රටේ ගිය නැති තැනක් නැතිතරම්. අපේ ජීවිත අනූනවයෙන් බේරුණු අවස්ථා ඕන තරම් තිබුණා. ඊට, මම මුලින්ම සඳහන් කළ සිද්ධියත් ඇතුළත් වෙනවා. එදා අපි නව බ්‍රිතාන්‍යයේ කැන්ඩ්‍රියන්වලට ළං වෙද්දී ඒ ගුවන් නියමුවා හොඳටම අසනීප වුණා. මේ වෙද්දී ගුවන්යානය ගන කැලෑවල් උඩින් ස්වයංක්‍රීයව පියාසර කරමින් තිබුණා. සිහි නැතිව හිටිය ගුවන් නියමුවාව අවධි කරවන්න ජෝන් නොසෑහෙන්න උත්සාහ කළා. අන්තිමේදී කොහොම හරි ඔහුට සිහිය ආවා. ඊට පස්සේ ඔහු අමාරුවෙන් ගුවන්යානය බිමට බෑවා. හැබැයි ඔහු ආයෙත් කලන්තෙ දාලා වැටුණා.

සේවය කරන්න තවත් අවස්ථා

ඊට අවුරුදු කිහිපයකට පස්සේ 1988දී නැවතත් පෝර්ට් මෝස්බිවල තිබුණු ශාඛා කාර්යාලයේ, පරිවර්තන කණ්ඩායමේ කටයුතු අධීක්ෂණය කරන්න අපිව පත් කළා. එහි 50දෙනෙක් විතර හිටියා. නවක පරිවර්තකයන්ව පුහුණු කරන්නද අපිට අවස්ථාවක් ලැබුණා. අපි එකිනෙකා නවාතැන් ගත්තේ පුංචි කාමරවලයි. ජෝනුයි මමයි නිතරම වගේ අපේ කාමරයේ දොර ඇරලයි තිබ්බේ. ඒ නිසා අපේ කාමරය පහුකරගෙන යන එන අය එක්ක ටිකක් කතා බහ කරලා ඔවුන්ව දිරිගන්වන්න සහ දැන හඳුනා ගන්න අපිට පුළුවන් වුණා. එහෙම කරපු නිසා අපි අනිත් අයට ගොඩක් කිට්ටු වුණා වගේම ප්‍රේමය සහ සැලකිල්ල දක්වන්නත් පුළුවන් වුණා.

මගේ ජීවිතේට ලොකු වේදනාවක් ගෙන දුන් දෙයකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඒ වර්ෂ 1993දී හෘදයාබාධයකින් ජෝන්ව මට අහිමි වීමයි. ඒක මගේ ජීවිතයට තදින්ම බලපෑවා. අපි විවාහ වෙලා ගත වූ අවුරුදු 38 පුරාම යෙහෝවා දෙවිට සේවය කළේ එකටමයි. යෙහෝවා දෙවිගේ ශක්තියෙන් දිගටම සේවය කරන්න මම අධිෂ්ඨාන කරගත්තා. (2 කොරින්ති 4:7) මගේ කාමරයේ දොර මම තාමත් ඇරලයි තියෙන්නේ. යෞවන අය තාමත් මාව බලන්න එනවා. ඒ නිසා කලකිරෙන්නේ නැතිව දේවල් කරගෙන යන්න ඒ සහෝදර ආශ්‍රය මට ලොකු උපකාරයක්.

එන්න එන්නම දුර්වල වේගන යන මගේ සෞඛ්‍ය නිසා 2003දී නැවතත් ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට ආරාධනයක් ලැබුණා. දැන් මට අවුරුදු 77යි. නමුත් මම තාමත් එහි පරිවර්තන අංශයේ පූර්ණ කාලීනව සේවය කරනවා වගේම දේශනා සේවයෙත් කාර්යබහුලව සිටිනවා. සත්‍යය නමස්කාරය තුළ සිටින මගේ දරුවන් සහ මුණුබුරු මිණිබිරියන් වගේ අය ඉන්න නිසා මම ඉන්නේ හරිම සන්තෝෂයෙන්.

බෙතෙල් නිවසේ මගේ කාමරයේ දොර මම තාමත් ඇරලයි තියෙන්නේ. ඒ නිසා යන එන අය නිතරම වගේ මාව බැහැදකින්න එනවා. හැබැයි බැරිවෙලාවත් මගේ දොර වහලා තිබුණොත් ඒ අය තට්ටු කරලා බලනවා මම හොඳින්ද කියලා. මගේ අධිෂ්ඨානය නම් ජීවිතයේ අවසන් හුස්ම හෙළන තෙක් මගේ දෙවි යෙහෝවාට කරන සේවය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කිරීමයි.—2 තිමෝති 4:5.

[පාදසටහන්වල]

^ 10 ඡේ. ඒ කාලයේ මේ රටේ නැඟෙනහිර පැත්ත කොටස් දෙකකට බෙදී තිබුණා. එහි දකුණු කොටස පැපුවා ලෙසත් උතුරු කොටස නිව් ගිනියා ලෙසත් හැඳින්වූවා. අද දින එම රටේ බටහිර කොටස ඉන්දුනීසියාවටත් නැඟෙනහිර කොටස පැපුවා නිව් ගිනියාවටත් අයත්ව පවතිනවා.

^ 19 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 1958 ජූනි 1 මුරටැඹ කලාපයේ 333-6 දක්වා පිටුවල ඇති සහෝදර ජෝන් කට්ෆර්ත්ගේ ජීවිත කතාව බලන්න.—සිංහලෙන් නැත.

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නිව් ගිනියා

ඕස්ට්‍රේලියාව

සිඩ්නි

ඉන්දුනීසියාව

පැපුවා නිව් ගිනියා

ටලීඩිජ්

මඩාං

පෝර්ට් මෝස්බි

නව බ්‍රිතාන්‍යය

රබවුල්

වුනාබල්

වයිඩ් බේ

වෝටර් ෆෝල් බේ

[හිමිකම් විස්තර]

Map and globe: Based on NASA/Visible Earth imagery

[17වන පිටුවේ පින්තූරය]

ජෝන් සමඟ, වර්ෂ 1973 ලායි නිව් ගිනියාහී පැවති සමුළුවකදී

[20වන පිටුවේ පින්තූරය]

පැපුවා නිව් ගිනියාවල ශාඛා කාර්යාලයේදී, 2002