Skip to content

පටුනට යන්න

බයිබලය අකුළන ලියවිල්ලේ සිට පොත දක්වා ආ ගමන

බයිබලය අකුළන ලියවිල්ලේ සිට පොත දක්වා ආ ගමන

බයිබලය අකුළන ලියවිල්ලේ සිට පොත දක්වා ආ ගමන

සියවස් ගණනාවක් පුරා මිනිසුන් තොරතුරු ආරක්ෂා කරගන්න විවිධ ක්‍රම භාවිත කර තිබෙනවා. ඔවුන් ඒවා ලියා තැබීමට ගල්වලින් තැනූ ස්මාරක, ගල් සහ ලී පුවරු මෙන්ම සත්ව හම් වැනි දේවල්ද භාවිත කළා. පළමුවෙනි ශතවර්ෂයේදී තොරතුරු වාර්තා කර තැබීම සඳහා මැදපෙරදිග රටවල වැඩිපුරම භාවිත වුණේ අකුළන ලියවිලි ක්‍රමයයි. ඉන්පසුව කෝඩෙක්ස් කියන ක්‍රමය ලොව පුරා ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. බයිබලය ඉතාමත් පුළුල්ව බෙදාහැරීමටද එම ක්‍රමය ඉමහත් සේ දායක වුණා. කෝඩෙක්ස් කියන්නේ කුමක්ද? එය පොදු භාවිතයට පැමිණියේ කෙසේද?

කෝඩෙක්ස් කියන්නේ වර්තමානයේ භාවිත කරන ඕනෑම ආකාරයේ පොතක මුල්ම ආකෘතියයි. ඊට පිටු තිබෙන අතර ඒවා සියල්ල එක්කර එකට අමුණා තිබුණා. එම පිටුවල දෙපැත්තේම ලිවීමට හැකි වූ අතර එය ගන කවරයකින්ද ආවරණය කර තිබුණා. මුලින්ම භාවිත කරන ලද කෝඩෙක්ස් ලියවිලි වර්තමානයේ භාවිත කරන පොත්වලට වඩා ටිකක් වෙනස්. නමුත් තවත් සොයාගැනීම්වලදී පෙනී ගොස් තිබෙන්නේ කෝඩෙක්ස් ක්‍රමය භාවිත කළ අය, එය තම අවශ්‍යතාවන්ට සහ මනාපයන්ට අනුව සකස් කරගෙන ඇති බවයි.

ලී, ඉටි සහ සත්ව හම්

මුල් කාලයේදී කෝඩෙක්ස් ලියවිලි නිර්මාණය කළේ ලෑලි පුවරු මත ඉටි ආලේප කිරීමෙනුයි. එවැනි පුවරු කිහිපයක් එක්කර පොතක් ආකාරයෙන් බඳිනු ලබනවා. ක්‍රිස්තු වර්ෂ 79දී විසූවියස් නම් ගිනිකන්ද පුපුරා යෑමේදී ඉතාලියේ පොම්පෙයි නගරයත් සමඟම හර්කියුලේනියම් නගරයත් විනාශ වුණා. එම නගරවලින්ද කෝඩෙක්ස් ක්‍රමයට සැකසූ පොත් සම්බ වී තිබෙනවා. නමුත් කාලයත් සමඟම ලීවලින් සැකසූ පිටු වෙනුවට නැවෙන සුළු ද්‍රව්‍යයන් යොදා ඔවුන් එම පිටු සකස් කළා. ලතින් භාෂාවෙන් එම පොත් හැඳින්වූයේ මෙම්බ්‍රානායි කියායි. ඊට හේතුව, කෝඩෙක්ස් පොත් සෑදීමට වැඩි වැඩියෙන් සත්ව සම් භාවිත කිරීමයි.

කෝඩෙක්ස් ක්‍රමයට සැකසූ පොත් නිර්මාණය කිරීම සඳහා පැපිරස් නමැති පන් ගස් වර්ගයද භාවිත කරනු ලැබුවා. ඒ ආකාරයට සකස් කළ පුරාණ ක්‍රිස්තියානි ලියවිලි කිහිපයක් සුරක්ෂිතව තිබී, ඊජිප්තුවේ වියළි දේශගුණයක් සහිත ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා. *

අකුළන ලියවිලිද? කෝඩෙක්ස්ද?

මුල් ක්‍රිස්තියානීන් පළමුවෙනි සියවසේ අගභාගය දක්වා අකුළන ලියවිලි භාවිත කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. නමුත් කෝඩෙක්ස් ක්‍රමයට කැමති වූ අය සහ අකුළන ලියවිලි භාවිතයට හුරු වූවන් අතර පළමුවෙනි සියවසේ අගභාගයේ සිට තුන්වන සියවස දක්වා යම් මත ගැටුම් ඇති වී තිබෙනවා. ඊට හේතුව සම්ප්‍රදායන්ට ඇලී සිටි අය අකුළන ලියවිලි ක්‍රමය අත්හැර කෝඩෙක්ස් ක්‍රමයට පුරුදු වෙන්න කැමති වුණේ නැති නිසයි. අකුළන ලියවිල්ලක් භාවිත කරන්නේ කොහොමද කියා සලකා බලන්න. මුලින්ම ඔවුන් පැපිරස්වලින් හෝ සත්ව හම්වලින් පිටු සාදාගන්නවා. ඉන්පසු එම පිටු එකිනෙක හරස් අතට අලවාගැනීමෙන් එය පටියක ආකාරයෙන් සකසා, පසුව එය රෝල් කර එනම් හකුළා භාවිතයට ගන්නවා. එම පටියේ ඇතුල් පැත්ත තීරුවලට බෙදා එහි තොරතුරු ලියනු ලැබුවා. වාර්තා කළ තොරතුරුවලින් අවශ්‍ය කොටස කියවීමට නම් පාඨකයා එය දිගහැර අවශ්‍ය ස්ථානය සොයාගත යුතුයි. පසුව එය නැවත හකුළා තැබිය යුතුයි. (ලූක් 4:16-20) යම් කතාවක් හෝ වාර්තාවක් අකුළන ලියවිල්ලක සටහන් කිරීමේදී ඒ සඳහා එවැනි ලියවිලි එකකට වඩා භාවිත කරන්න සිදු වුණා. ඒ නිසා එය භාවිත කිරීමේදී පාඨකයා යම් අපහසුතාවලට මුහුණ දුන්නා. දෙවෙනි සියවසේ සිට ක්‍රිස්තියානීන්, අකුළන ලියවිලිවල ලියා තිබූ දේවවචනය කෝඩෙක්ස් ආකාරයට සකස් කරගත් පොත්වල ලියන්න කැමති වුණත්, අකුළන ලියවිලි ක්‍රමයද සියවස් ගණනාවක් පුරා දිගටම පැවතුණා. විද්වතුන් පවසන ආකාරයට ක්‍රිස්තියානීන් එලෙස කෝඩෙක්ස් ක්‍රමය බහුලව යොදාගැනීම, එය පුළුල්ව ව්‍යාප්ත වීමට මහත් සේ දායක වුණා.

කෝඩෙක්ස් ක්‍රමය භාවිතයේදී ඇති ප්‍රයෝජන ඉතා පැහැදිලියි. එහි තොරතුරු විශාල ප්‍රමාණයක් ඇතුළත් කිරීමට හැකි අතර පහසුවෙන් එහා මෙහා ගෙන යෑමටද පුළුවන්. ඒ කාලයේ සිටි අයගෙන් බොහෝදෙනෙක් එහි ඇති ප්‍රයෝජන දැන සිටි අතර අකුළන ලියවිලි භාවිතය අත්හැරීමට අදිමදි කළා. කෙසේනමුත් විවිධ හේතු නිසා කෝඩෙක්ස් භාවිතය ක්‍රමානුකූලව ජනප්‍රිය වෙන්න පටන්ගත්තා.

අකුළන ලියවිලිවලට සාපේක්ෂව කෝඩෙක්ස් ක්‍රමය ඉතා ලාභදායී වුණා. එහි එක පිටුවක දෙපැත්තේම සටහන් කරන්න පුළුවන්. විවිධ විෂයන් ඇතුළත් පොත් කිහිපයක් වුණත් එකට එකතු කර එක පොතක් ආකාරයෙන් සකස් කරන්නත් හැකියාව තිබෙනවා. ලිඛිත වාර්තාවේ තමන්ට අවශ්‍ය කොටස ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පෙරළා සොයාගැනීමට කෝඩෙක්ස් ක්‍රමය භාවිත කළ අයට හැකි වුණා. විශේෂයෙන්ම ඒ හේතුව නිසා ක්‍රිස්තියානීන්ට සහ නිතීඥයන් වැනි අයට එය ඉතා ප්‍රයෝජනවත් වුණා කියා තවත් අය ප්‍රකාශ කරනවා. බයිබල් පද රාශියක් ඇතුළත් පහසුවෙන් ගෙන යෑමට හැකි ලියවිල්ලක් ඇතිව සිටීම ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානීන්ට තම දේවසේවයේදී ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. එහි තිබූ තවත් ලක්ෂණයක් වන්නේ එය ලීවලින් සෑදූ ගන කවරයකින් ආවරණය කර තිබීමයි. ඒ නිසා එය අකුළන ලියවිලිවලට වඩා කලක් පැවතුණා.

කෝඩෙක්ස්වල සටහන් කළ තොරතුරු පහසුවෙන් කියවීමටද හැකියි. තුන්වන සියවසේ අගභාගයේ සිටි, තමන් ක්‍රිස්තියානීන්යයි ප්‍රකාශ කළ සමහරුන් අතර ශුද්ධ ලියවිලි ඇතුළත් කුඩා ප්‍රමාණයේ එවැනි පොත් භාවිත වුණා. ඒ කාලයේ සිට බයිබලය, කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් පිටපත් බිලියන ගණනක් කෝඩෙක්ස් ක්‍රමයට සකසා තිබෙනවා.

බයිබලයේ සඳහන් දෙවිගේ මඟ පෙන්වීම් සොයා බැලීම අද දින ඉතා පහසු කාර්යයක් වී තිබෙනවා. එම උපදෙස් පරිගණකයෙන්, පොත් වශයෙන්, පටිගත කරන ලද කැසට් හෝ සීඩී තැටි මගින්ද ලබාගත හැකියි. ඔබ මේ කුමන ක්‍රමය යොදාගෙන බයිබලය කියෙව්වත් එය දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය තව තවත් වැඩි කරන්න දායක වන ආකාරයෙන් භාවිත කරන්න.—ගීතාවලිය 119:97, 167.

[පාදසටහන]

^ 6 ඡේ. මුරටැඹ 1962 අගෝස්තු 15 කලාපයේ 501-5 දක්වා පිටුවල ඇති “මුල් ක්‍රිස්තියානීන් භාවිත කළ කෝඩෙක්ස් ලියවිලි” යන කොටස බලන්න.—සිංහලෙන් නැත.

[15වන පිටුවේ පින්තූර]

බයිබලය බෙදාහැරීමට කෝඩෙක්ස් ක්‍රමය මහත් සේ ඉවහල් වුණා