Skip to content

පටුනට යන්න

මහලු ක්‍රිස්තියානීන් යෞවනයන්ට ආශීර්වාදයකි

මහලු ක්‍රිස්තියානීන් යෞවනයන්ට ආශීර්වාදයකි

මහලු ක්‍රිස්තියානීන් යෞවනයන්ට ආශීර්වාදයකි

“දෙවි, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශ කරන තෙක් මා මහලුව හිස පැසුණු නමුත් අත්නෑරිය මැනව.”—ගීතාවලිය 71:18.

1, 2. මහලු ක්‍රිස්තියානීන් තේරුම්ගත යුත්තේ කුමක්ද? අපි දැන් සලකා බලන්න යන්නේ කුමක්ද?

බටහිර අප්‍රිකාවේ වෙසෙන එක් වැඩිමහල් සහෝදරයෙක්, අභිෂේක ලත් මහලු සහෝදරයෙකුව බලන්න ගිය අවස්ථාවක මෙහෙම ඇසුවා. “ඉතිං ඔයාගේ සැප දුක් කොහොමද?” එවිට ඒ මහලු සහෝදරයා “මට දුවන්නත් පුළුවන්, පනින්නත් පුළුවන්” කියමින් ඒ දේවල් කරලා පෙන්නන්නත් උත්සාහ කළා. ඒත් එක්කම ඔහු මෙහෙමත් දෙයක් කිව්වා. “හැබැයි මට පියාඹන්න නම් බැහැ.” ඒ මහලු සහෝදරයා ඉන් අදහස් කළේ, තමන්ට කරන්න පුළුවන් දේ සතුටින් කළත් බැරි දේවල් කරන්න යන්නේ නැහැ කියන එකයි. එදා ඒ අභිෂේක ලත් සහෝදරයාව බලන්න ගිය වැඩිමහල්ලත් දැන් ඔහුගේ අසූ ගණන්වල පසුවෙනවා. ඒත් ඔහුට ඒ සහෝදරයා කියූ හාස්‍ය මුසු දේ තාම මතකයි.

2 මහලු කෙනෙක් දෙවිට විශ්වාසවන්තව සිටින විට එය අන්‍යයන් කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරනවා. කෙනෙකු වයසින් මුහුකුරා ගිය පමණින් ඔහු තුළ ප්‍රඥාවවත් ක්‍රිස්තියානි ගුණාංගවත් ඉබේටම ඇති වන්නේ නැහැ. (දේශනාකාරයා 4:13) බයිබලය ඒ ගැන කියන්නේ මෙසේයි. “පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක් වේ. එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බ වන්නේය.” (හිතෝපදේශ 16:31) මහලු කෙනෙක් හැටියට ඔබ, අන් අය කෙරෙහි ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද කියා තේරුම්ගෙන තිබෙනවාද? පුරාණයේ සිටි මහලු ඇදහිලිවන්තයන් යෞවන අය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම ගැන බයිබලයේ සඳහන් ආදර්ශ කිහිපයක් දැන් අපි සලකා බලමු.

ප්‍රබල බලපෑමක් ඇති කළ ආදර්ශ

3. අද දින ජීවත් වන මිනිසුන් නෝවාගේ විශ්වාසවන්තභාවයෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

3 නෝවා පෙන්වූ නොසැලෙන විශ්වාසවන්තභාවය නිසා අද දින පවා මිනිසුන් ප්‍රයෝජන අද්දකිනවා. ඔහු දේශනා කරමින් නැව සාදා එයට සතුන්ව එක්රැස් කරද්දී ඔහුට වයස අවුරුදු 600යි. (උත්පත්ති 7:6; 2 පේතෘස් 2:5) නෝවාගෙත් ඔහුගේ පවුලේ අයගෙත් ජීවිත බේරුණේ ඔවුන් දෙවිට විශ්වාසවන්තව සිටි නිසයි. එහි ප්‍රතිඵලයක් හැටියට අද ලෝකයේ ජීවත් වන සෑමදෙනාටම ඔවුන්ගෙන් පැවත එන්න හැකි වී තිබෙනවා. නෝවා ජීවත් වූ කාලයේ මිනිසුන්ගේ ආයු කාලය අදට වඩා බොහෝ සෙයින් වැඩි වුණත් ඔහුගේ මහලු කාලය දක්වාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා. එය ඉමහත් ආශීර්වාදවලට හේතු වුණා. කෙසේද?

4. නෝවාගේ විශ්වාසවන්තකම නිසා අද දින සිටින දෙවිගේ සේවකයන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

4 “පොළොව පුරා පැතිර සිටින්න” යන යෙහෝවා දෙවිගේ අණට පිටුපාමින් නිම්රොද් විසින් බාබෙල් කොත ගොඩනඟද්දී නෝවාට වයස අවුරුදු 800ක් පමණ වුණා. (උත්පත්ති 9:1; 11:1-9) නිම්රොද්ගේ කැරලිගැසීමට නෝවා නම් කොයිම ආකාරයකින්වත් සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි නිම්රොද් ඇතුළු ඔහුගේ පැත්ත ගත් අයගේ භාෂාව වියවුල් කළ විට නෝවා කතා කරමින් සිටි භාෂාව වෙනස් වුණේ නැහැ කියා සිතන්න පුළුවන්. ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියේ මහලු වියේදී පමණක් නොවෙයි. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ඔහු එසේ කළා. අද දින සියලුම වයස්වල සිටින ක්‍රිස්තියානින්ට අනුගමනය කිරීමට එය කදිම ආදර්ශයක්!—හෙබ්‍රෙව් 11:7.

පවුලේ සාමාජිකයන් මත

5, 6. (අ) ආබ්‍රහම්ට වයස අවුරුදු 75දී, යෙහෝවා දෙවි කරන්න කිව්වේ කුමක්ද? (ආ) ආබ්‍රහම් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

5 ඇදහිලිවන්ත මහලු අයගේ ආදර්ශය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මත යහපත් බලපෑමක් ඇති කළ හැකියි. නෝවාට පසුව සිටි ඇදහිලිවන්තයන්ගෙන් එය දැකගන්න පුළුවන්. ඉන් එක් තැනැත්තෙක් වන්නේ ආබ්‍රහම්. ඔහුට වයස අවුරුදු 75දී යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ දේශයෙන්ද ඔබේ නෑයන් කෙරෙන්ද ඔබේ පියාගේ ගෙදරින්ද ගොස් මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න. මම ඔබෙන් මහත් ජාතියක් සාදා ඔබට ආශීර්වාද කොට ඔබේ නාමය උතුම් කරන්නෙමි.”—උත්පත්ති 12:1, 2.

6 මේ ගැන ටිකක් සිතා බලන්න. ඔබේ ගේ දොර, වතු පිටි, නෑදෑයන් සියල්ල අත්හැර නොදන්නා දේශයකට යන්න කියා කිව්වොත් ඔබ ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? දෙවි ආබ්‍රහම්ට පැවසුවේ එයයි. බයිබලය පවසන්නේ ඔහු “යෙහෝවා කී ලෙස ගියේය” කියායි. ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය කානාන් දේශයේ විදේශිකයෙකු ලෙස ජීවත් වුණා. (උත්පත්ති 12:4; හෙබ්‍රෙව් 11:8, 9) යෙහෝවා දෙවි ආබ්‍රහම්ගෙන් “මහත් ජාතියක්” බිහි කරන බවට පැවසුවත් එය සිදු වුණේ ඔහු මිය ගොස් බොහෝ කාලයක් ගත වුණාට පසුවයි. ඒ වගේම ඊසාක්ව ලැබුණෙත් ඔහු පොරොන්දු දේශයේ අවුරුදු 25ක් පමණ කාලයක් ජීවත් වුණාට පසුවයි. (උත්පත්ති 21:2, 5) එහෙත් ඔහු කලකිරී තමාගේ පරණ දේශයට නැවතත් හැරී ගියේ නැහැ. විඳදරාගැනීම සම්බන්ධයෙන් එය මොන තරම් කදිම ආදර්ශයක්ද!

7. ආබ්‍රහම්ගේ විඳදරාගැනීම ඔහුගේ පුත් ඊසාක් මත ඇති කළේ කිනම් බලපෑමක්ද? ඉන් මුළු මිනිස් වර්ගයාටම ඇති ප්‍රයෝජනය කුමක්ද?

7 ආබ්‍රහම්ගේ විඳදරාගැනීම ඔහුගේ පුත් ඊසාක් මත හොඳ බලපෑමක් ඇති කළා. ඊසාක් කානාන් දේශයේ අවුරුදු 180ක්ම ගත කළේ විදේශිකයෙක් හැටියටයි. ඔහුට විඳදරාගන්න හැකි වුණේ ඔහු යෙහෝවා දෙවිගේ පොරොන්දු මත විශ්වාසය තැබූ නිසයි. ඒ ඇදහිල්ල මුලින්ම ඔහු තුළ ඇති කළේ ඔහුගේ මහලු දෙමාපියනුයි. පසුව යෙහෝවා දෙවි පැවසූ දේවල් මගින්ද ඔහුගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා. (උත්පත්ති 26:2-5) යේසුස් ක්‍රිස්තුස් ආබ්‍රහම්ගේ ‘වංශයෙන්’ පැමිණෙන බවට දෙවි දුන් පොරොන්දුව ඉටු වීම සඳහා ඊසාක්ගේ විශ්වාසවන්තකම වැදගත් කාර්යයක් ඉටු කළා. පසුව, යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන අයට යෙහෝවා දෙවි සමඟ සමගි වීමටත් සදාකාල ජීවනය ලබාගැනීමටත් ප්‍රස්තාව උදා වුණා.—ගලාති 3:16; යොහන් 3:16.

8. යාකොබ් ශක්තිමත් ඇදහිල්ලක් පෙන්වූයේ කෙසේද? කුමන ප්‍රතිඵල ඇතිවද?

8 ඊසාක්ද තම පුත් යාකොබ්ට ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න උපකාර කළා. ඒ ඇදහිල්ල යාකොබ්ගේ මහලු විය පුරාම දැකගන්න තිබුණා. ආශීර්වාදයක් ලබාගැනීමේ අරමුණින් මුළු රාත්‍රියක් පුරාම දේවදූතයෙක් සමඟ පොරබඳිද්දී යාකොබ්ට වයස අවුරුදු 97යි. (උත්පත්ති 32:24-28) එමෙන්ම වයස අවුරුදු 147දී තම පුතුන් 12දෙනාට ආශීර්වාද කිරීම සඳහා ප්‍රමාණවත් ශක්තියක් ඔහු තුළ තිබුණා. (උත්පත්ති 47:28) ඔහු පැවසූ අනාවැකි වදන් උත්පත්ති 49:1-28හි දැකගන්න පුළුවන්. එමෙන්ම ඒවා තවමත් ඉටු වෙමින් තිබෙනවා.

9. මහලු ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය මගින් ඔවුන්ගේ පවුලේ අයට ඇති කරන්නේ කිනම් බලපෑමක්ද?

9 දෙවිගේ පක්ෂපාත මහලු ඇදහිලිවන්තයන්ටත් තම පවුලේ සාමාජිකයන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළ හැකි බව මනාව පැහැදිලියි. තම අද්දැකීම්වලින්, විඳදරාගැනීමේ කදිම ආදර්ශයෙන් මෙන්ම දේවවචනය පදනම් කරගෙන දෙන උපදෙස් මගින් යෞවනයන් තුළ ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟන්නද ඔවුන්ට හැකියි. (හිතෝපදේශ 22:6) ඒ නිසා තම පවුලේ සාමාජිකයන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන්න තමන්ට හැකිය යන කාරණය මහලු ක්‍රිස්තියානීන් කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතුයි.

සෙසු නමස්කාරකයන් මත

10. යෝසෙප් තමාගේ ‘ඇටකටු ගැන දුන් ආඥාව’ කුමක්ද? එය සෙනඟට බලපෑවේ කෙසේද?

10 මහලු ඇදහිලිවන්තයන්ට හැකියි සෙසු නමස්කාරකයන් කෙරෙහිත් කදිම බලපෑමක් ඇති කරන්න. යාකොබ්ගේ පුත් යෝසෙප්ද තම මහලු කාලයේදී ඇදහිල්ල පෙන්වමින් කළ ක්‍රියාවක් නිසා, ඔහුට පසුව සිටි මිලියන ගණන් ඇදහිලිවන්තයන්ට එය විශාල බලපෑමක් ඇති කළා. ඔහුට වයස අවුරුදු 110දී ‘තමාගේ ඇටකටු ගැන ආඥාවක් දුන්නා.’ එනම් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව යද්දී තමාගේ ඇටකටුද රැගෙන යන්න කියා ඔහු පැවසුවා. (හෙබ්‍රෙව් 11:22; උත්පත්ති 50:25) යෝසෙප්ගේ මරණයෙන් පසුව වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් ඔහු දුන් ආඥාව නිසා මිදීම පිළිබඳ ඔවුන්ට තිබූ බලාපොරොත්තුව තවත් ශක්තිමත් කළා.

11. මහලු මෝසෙස් යෝෂුවා මත කිනම් බලපෑමක් ඇති කරන්න ඇතිද?

11 යෝසෙප්ට තිබූ ඇදහිල්ලෙන් ප්‍රයෝජන ලැබූ තවත් කෙනෙක් තමයි මෝසෙස්. වයස අවුරුදු 80දී යෝසෙප්ගේ ඇටකටු ඊජිප්තුවෙන් රැගෙන යෑමේ වරප්‍රසාදය ඔහුට ලැබුණා. (නික්මයාම 13:19) ඒ කාලයේදී තමාට වඩා වයසින් බාල යෝෂුවාව මෝසෙස්ට මුණගැසුණු අතර එතැන් සිට අවුරුදු 40ක් පුරාම යෝෂුවා මෝසෙස්ගේ සේවකයා ලෙස කටයුතු කළා. (ගණන් කතාව 11:28) මෝසෙස් සමඟ සීනයි කන්දට නැඟීමට ඔහුට අවස්ථාව ලැබුණු අතර ගල් පුවරු දෙක අතැතිව මෝසෙස් නැවතත් පැමිණෙන විට ඔහුව හමු වීමට යෝෂුවා එහි සිටියා. (නික්මයාම 24:12-18; 32:15-17) යෝෂුවාට මොන තරම් ප්‍රඥාවන්ත උපදෙස් සහ මඟ පෙන්වීම් මෝසෙස්ගෙන් ලැබෙන්න ඇද්ද කියා ටිකක් සිතා බලන්න!

12. යෝෂුවා තම ජීවිත කාලය පුරාම ඊශ්‍රායෙල් සෙනඟට කදිම බලපෑමක් කළේ කෙසේද?

12 යෝෂුවාද තමන් ජීවත්ව සිටි කාලය මුළුල්ලේම ඊශ්‍රායෙල් සෙනඟට මහඟු දිරිගැන්වීමක් ලබා දුන්නා. විනිශ්චයකාරයෝ 2:7හි මෙසේ පවසනවා. “යෙහෝවා ඊශ්‍රායෙල්හි කළ සියලු මහත් ක්‍රියා දුටුවාවූ යෝෂුවාගේද යෝෂුවාට පසුව සිටි වැඩිමහල්ලන්ගේද සියලු දවස්වලදී සෙනඟ යෙහෝවාට සේවය කළෝය.” යෝෂුවාගේ සහ අනිකුත් වැඩිමහල්ලන්ගේ මරණයෙන් පසු අවුරුදු 300ක කාලයක් පුරා මෙම සෙනඟ ජාතියක් හැටියට සත්‍ය නමස්කාරය සහ බොරු නමස්කාරය අතර අතරමං වී සිටියා. එය සාමුවෙල් අනාගතවක්තෘගේ කාලය දක්වා පැවතුණා.

‘ධර්මිෂ්ඨ’ මිනිසෙක් වූ සාමුවෙල්

13. සාමුවෙල් ‘ධර්මිෂ්ඨකම ඉටු කළේ’ කෙසේද?

13 සාමුවෙල් මිය යන විට ඔහුගේ වයස ගැන බයිබලයේ කිසිවක් සඳහන් වන්නේ නැහැ. නමුත් පළමුවෙනි සාමුවෙල් පොතේ අවුරුදු 102ක් පුරා සිදු වූ සිද්ධීන් වාර්තා වී ඇති අතර ඉන් බොහෝමයක් දේවල් සාමුවෙල් දැක තිබෙනවා. හෙබ්‍රෙව් 11:32, 33හි අනාගතවක්තෘවරුන් සහ විනිශ්චයකරුවන් ‘ධර්මිෂ්ඨකම ඉටු කළා’ කියා සඳහන් වෙනවා. එය සත්‍යයක්. වැරදි මාර්ගයේ ගිය අයව නිවැරදි මාර්ගයට ගෙන එන්න සහ වැරදි ක්‍රියා මාර්ග මඟහරින්නත් ඔහු උපකාර කළා. (1 සාමුවෙල් 7:2-4) ඔහු එය කළේ කෙසේද? තම ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවිට පක්ෂපාතව සිටීමෙනුයි. (1 සාමුවෙල් 12:2-5) ඔහු රජවරුන්ට පවා ඔවුන්ගේ වැරදි පෙන්වා දෙන්න බය වුණේ නැහැ. (1 සාමුවෙල් 15:16-29) ඒ විතරක් නෙවෙයි, සාමුවෙල් ‘මහලුව පැසුණු හිසකේ’ ඇතිව සිටි කාලයේදී පවා අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඒ ගැන ඔහුම පවසන්නේ මෙසේයි. “මම ඔබ වෙනුවෙන් යාච්ඤා නොකළොත් එය යෙහෝවා දෙවිට විරුද්ධව කරන වරදක්. එවැනි දෙයක් මට හිතන්නවත් බැහැ.”—1 සාමුවෙල් 12:2, 23. නව ලොව පරිවර්තනය.

14, 15. යාච්ඤාව සම්බන්ධයෙන් සාමුවෙල්ගේ කදිම ආදර්ශය අනුකරණය කිරීමට මහලු ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

14 ඔහුගේ ආදර්ශයෙන් පැහැදිලි වෙන්නේ මහලු ක්‍රිස්තියානීන්ට සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි යහපත් බලපෑමක් කළ හැකි එක් විශේෂ ආකාරයක් ගැනයි. ඔවුන් දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වුණත් වෙනත් ඕනෑම ආකාරයක සීමාවන් අද්දැක්කත් අන් අය වෙනුවෙන් යාච්ඤා කරන්න මහලු ක්‍රිස්තියානීන්ට හැකියි. ඔබ වැනි ඇදහිලිවන්තයන්ගේ යාච්ඤා, ක්‍රිස්තියානි සභාව කෙරෙහි මොන තරම් බලපෑමක් ඇති කරනවාද කියා ඔබ දන්නවාද? යේසුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙන් ඔබේ පව්වලට සමාව ලබාගෙන තිබෙන නිසා දෙවි ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක ඔබ සිටිනවා. එමෙන්ම කාලයක් පුරා විඳදරාගෙන තිබෙන නිසා ඔබේ ඇදහිල්ල “පරීක්ෂාවට ලක්වීමෙන්” තවත් ශක්තිමත් වී තිබෙනවා. (යාකොබ් 1:3; 1 පේතෘස් 1:7) එමනිසා “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ අයැදීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා බලවත්ය” කියන කාරණය කිසි විටෙකත් අමතක කරන්න එපා.—යාකොබ් 5:16.

15 ශුභාරංචිය දේශනා කිරීම වෙනුවෙන් සහ සභාවේ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔබ කරන යාච්ඤා ඉතා වටිනවා. සෑම කාරණයකදීම දෙවිට පක්ෂපාතව කටයුතු කිරීම නිසා ඇතැම් ක්‍රිස්තියානීන්ව සිරගත කර තිබෙනවා. තවත් අය ස්වාභාවික විපත්, යුද්ධ සහ වාර්ගික ගැටුම්වලට ගොදුරු වී තිබෙනවා. එමෙන්ම වැරදි දේවල් කිරීමට තිබෙන නැඹුරුවාවන් සමඟ තවත් අය සටන් කරමින් සිටින අතර විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන අයද සිටිනවා. (මතෙව් 10:35, 36) ඒ අය ඇතුළු සභාවන් රැකබලා ගන්නා අවේක්ෂකයන් වෙනුවෙනුත් ඔබ නොකඩවා කරන යාච්ඤා ඔවුන්ට මහත් උපකාරයක්. (එෆීස 6:18, 19; කොලොස්සි 4:2, 3) එදා සිටි එපෆ්‍රස් කළාක් මෙන් ඔබේ යාච්ඤාවලදීත් සෙසු ඇදහිලිවන්තයන් ගැන සඳහන් කිරීම කොතරම් යහපත් දෙයක්ද!—කොලොස්සි 4:12.

අලුත් පරම්පරාවට ඉගැන්වීම

16, 17. ගීතාවලිය 71:18හි පුරෝකථනය කර තිබුණේ කුමක්ද? එය සත්‍යයක් වී තිබෙන්නේ කෙසේද?

16 ස්වර්ගික බලාපොරොත්තුවක් තිබෙන “කුඩා රැළ” පොළොවේ ජීවත් වීමට නියමිත “වෙනත් බැටළුවන්ට” කදිම පුහුණුවක් ලබා දෙනවා. (ලූක් 12:32; යොහන් 10:16) මෙය ගීතාවලිය 71:18හි කලින්ම සඳහන් වෙලා තිබෙන්නේ මෙසේයි. “දෙවි, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශ කරන තෙක් මා මහලුව හිස පැසුණු නමුත් අත්නෑරිය මැනව.” ඒ වචනවලට එකඟව අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තම ස්වර්ගික පැවරුමට යෑමට පෙර පොළොවේ සිටින වෙනත් බැටළුවන්ට වගකීම් දැරීම සඳහා කදිම පුහුණුවක් ලබා දෙමින් සිටිනවා.

17 ගීතාවලිය 71:18හි සඳහන් වන පරිදි “මතු පැමිණෙන සියල්ලන්ට” ඉගැන්වීම, අභිෂේක ලත් අයගෙන් පුහුණුව ලබා තිබෙන වෙනත් බැටළුවන්ටත් අදාළයි. තමන් ගැන අන් අයට සාක්ෂි දැරීමේ මහඟු වරප්‍රසාදය යෙහෝවා දෙවි මහලු ඇදහිලිවන්තයන්ට විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙනවා. (යෝවෙල් 1:2, 3) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් තමන් ඉගෙනගෙන තිබෙන සත්‍යය වෙනත් බැටළුවන් අගය කරනවා. ඒ විතරක් නෙවෙයි එම සත්‍යය දෙවිගේ නවක සේවකයන්ට ඉගැන්වීමටද ඔවුන් සිටින්නේ මහත් උනන්දුවකිනුයි.—එළිදරව් 7:9, 10.

18, 19. (අ) යෙහෝවා දෙවිගේ මහලු සේවකයන්ට තිබෙන වටිනා මතක සටහන් මොනවාද? (ආ) ඔවුන්ට නිසැක විය හැක්කේ කුමක් ගැනද?

18 තවමත් ජීවතුන් අතර සිටින අභිෂේක ලත් සහ වෙනත් බැටළුවන්ට අයත් මහලු සාමාජිකයන්ට ඉතිහාසයේ සිදු වූ විශේෂ සිද්ධීන් තවමත් මතකයි. උදාහරණයකට ඒ කාලයේ පෙන්වූ “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” නැරඹූ කිහිපදෙනෙක් තවමත් සිටිනවා. ඒ වගේම වර්ෂ 1918දී සිරභාරයට ගනු ලැබූ පෙරමුණ ගෙන ක්‍රියා කළ සහෝදරයන්ව පෞද්ගලිකව දන්නා සහෝදරයන්ද තවමත් සිටිනවා. ගුවන්විදුලිය මාර්ගයෙන් ශුභාරංචිය දේශනා කළ කාලයේ වොච්ටවර් ගුවන්විදුලි සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සාමාජිකයන්ද තවමත් අප අතර සිටිනවා. ආගමික නිදහස වෙනුවෙන් සාක්ෂිකරුවන් මහාධිකරණවල පෙනී සිටි අවස්ථාවන් මෙන්ම ඒකාධිපති පාලන යටතේ පවා සැබෑ නමස්කාරය වෙනුවෙන් ස්ථිරව සිටි ආකාරයන් ගැනත් පවසන්න සමහරුන්ට හැකියි. එමෙන්ම සත්‍යය පිළිබඳ අවබෝධය ක්‍රමානුකූලව වැඩි වර්ධනය වුණේ කෙසේද කියා කියන්නත් තවත් මහලු ක්‍රිස්තියානීන්ට හැකියි. ඔවුන්ට ඇති එම වටිනා අද්දැකීම් කන්දරාවෙන් ප්‍රයෝජන ගන්න කියා බයිබලය අපිට දිරිගන්වන්නේ ඒ නිසයි.—ද්විතීය කතාව 32:7.

19 යෞවන ක්‍රිස්තියානීන්ට ආදර්ශයක් වෙන්න කියා මහලු ඇදහිලිවන්තයන්ට උනන්දු කර තිබෙනවා. (තීතස් 2:2-4) ඔබගේ විඳදරාගැනීම, යාච්ඤාව සහ වටිනා උපදෙස් මගින් අන් අය මත ඇති කරන යහපත් බලපෑම ඔබට දැන් නොපෙනෙනවා විය හැකියි. උදාහරණයකට නෝවා, ආබ්‍රහම්, යෝසෙප්, මෝසෙස් සහ වෙනත් අයගේ විශ්වාසවන්ත සේවය අන් අය මත ඇති කළ බලපෑම ඔවුන්ද නොදකින්න ඇති. නමුත් ඔවුන්ගේ ශක්තිමත් ඇදහිල්ල සහ විශ්වාසවන්තභාවය කොතරම් පිරිසකගේ යහපතට හේතු වී තිබෙනවාද! ඒ හා සමානව ඔබගේ ආදර්ශයෙනුත් යෞවන පරම්පරාව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි.

20. අවසානය දක්වාම තම බලාපොරොත්තුව ශක්තිමත්ව තබාගන්නා අය ඉදිරියේ තිබෙන ආශීර්වාද මොනවාද?

20 ඔබ ‘මහත් පීඩාවෙන්’ බේරී හෝ නැවත නැඟිටීම තුළින් “සැබෑ ජීවිතය” නමැති ත්‍යාගය ලබද්දී එය මොන තරම් පුදුමාකාර අද්දැකීමක් වෙයිද! (මතෙව් 24:21; 1 තිමෝති 6:19) දහස් අවුරුදු පාලනය කාලයේදී යේසුස් විසින් මහලු වියේ සිටින්නන්ව නැවතත් තරුණභාවයට ගෙන එන ඒ ප්‍රීතිමත් කාලය ගැන ටිකක් හිතන්න! හැම උදෑසනකම ඔබ අවදි වන්නේ මහත් ප්‍රබෝධයකිනුයි. එදාට ඔබගේ පෙනීම, ඇසීම සහ පිටාතර පෙනුම යන මේ සියල්ලම දිනෙන් දින අලුත් වෙමින් තිබෙන බව ඔබට දැනේවි! (යෝබ් 33:25; යෙසායා 35:5, 6) දෙවිගේ නව පිළිවෙළ තුළ ජීවත් වීමට වරප්‍රසාදය ලබන අය සදහටම යෞවනභාවයෙන් සිටීමට නියමිතයි. (යෙසායා 65:22) එමනිසා අපට ඇති බලාපොරොත්තුව ස්ථිරව තබාගනිමින් අවසානය දක්වාම යෙහෝවා දෙවිට අපගේ මුළු ජීවිතයෙන්ම සේවය කිරීමට අධිෂ්ඨාන කරගනිමු. යෙහෝවා දෙවි තම පොරොන්දු සියල්ලක්ම ඉටු කරන බවට අපිට කිසිම සැකයක් නැහැ. ඔහු තම පොරොන්දු ඉටු කරන්නේ අපිට සිතාගන්නවත් නොහැකි ආකාරයෙනුයි.—ගීතාවලිය 37:4; 145:16.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• නෝවාගේ නොසැලෙන විශ්වාසවන්තභාවයෙන් මුළු මිනිස් වර්ගයා ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

• දෙවිගේ පුරාණ සේවකයන්ගේ ඇදහිල්ල ඔවුන්ගෙන් පැවතෙන්නන්ට බලපෑවේ කෙසේද?

• යෝසෙප්, මෝසෙස්, යෝෂුවා සහ සාමුවෙල් ඔවුන්ගේ මහලු වයසේදී අන් අයව ශක්තිමත් කළේ කෙසේද?

• මහලු අයට මතු පරම්පරාව සඳහා දිය හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම්ගේ විඳදරාගැනීම ඊසාක් මත කදිම බලපෑමක් ඇති කළා

[28වන පිටුවේ පින්තූරය]

මෝසෙස්ගෙන් ලැබුණු ප්‍රඥාවන්ත උපදෙස් යෝෂුවාට මහත් දිරිගැන්වීමක් ගෙන දුන්නා

[29වන පිටුවේ පින්තූරය]

අන් අය වෙනුවෙන් ඔබ කරන යාච්ඤා මගින් ඔවුන් ප්‍රයෝජන ලබනවා

[30වන පිටුවේ පින්තූරය]

ඇදහිලිවන්ත මහලු ක්‍රිස්තියානීන්ට සවන් දීමෙන් යෞවනයන්ට ප්‍රයෝජන ලැබිය හැකියි