Skip to content

පටුනට යන්න

මහලු වියේ පවා දිගටම විශ්වාසවන්තව

මහලු වියේ පවා දිගටම විශ්වාසවන්තව

මහලු වියේ පවා දිගටම විශ්වාසවන්තව

‘යෙහෝවාගේ ගෘහයෙහි හිඳුවන ලද්දෝ මහලු වයසේදී සඵල වන්නෝය.’—ගීතාවලිය 92:13, 15.

1, 2. (අ) මහලු විය කියද්දී කෙනෙකුගේ මනසට නැඟෙන්නේ කුමක්ද? (ආ) ආදම්ගේ පාපයේ ප්‍රතිඵලවලින් මිදීම ගැන බයිබලයේ දී ඇති පොරොන්දු මොනවාද?

හලු විය යන වචනය ඇසෙන විට ඔබේ මනසට නැඟෙන්නේ කුමක්ද? රැළි ගැසුණු සම, ඇසීමේ දුර්වලතා, වෙවුලන අත පය වගේ දේවල්ද? නැත්නම් දේශනාකාරයා 12:1-7හි විස්තර කරන මහලු වියේ ‘නපුරු දවස්වලට’ ආවේනික වෙනත් දේවල් ඔබේ මනසට නැඟෙනවාද? මිනිසුන් මහලු වීම දෙවි අරමුණු නොකළ දෙයක් බව මතක තබාගන්න. නමුත් ඊට හේතුව ආදම් සහ ඒවගෙන් උරුම කරගත් පාපයයි.—රෝම 5:12.

2 කෙනෙකුගේ ජීවිතයේ අවුරුදු ගත වීම දුක්වීමට හේතුවක් නොවෙයි. මන්ද, පුද්ගලයෙක් ශාරීරිකව වර්ධනය වන්නෙත් ජීවිතයේ අද්දැකීම් ලබන්නෙත් අවුරුදු ගත වෙනවාත් සමඟයි. ආදම් කළ පාපය නිසා මිනිසුන් අවුරුදු 6000ක් පුරා අද්දකිමින් සිටින හානිය ඉතා ඉක්මනින්ම මතකයකට පමණක් සීමා වීමට නියමිතයි. ඒ වගේම යෙහෝවා දෙවි මුලින්ම අරමුණු කළ ලෙස කීකරු මිනිසුන් තම ජීවිත සතුටින් ගත කරන්න පටන්ගන්නවා. එදාට මහලු වියේ මුහුණ දෙන කටුක තත්වයන් සහ මරණය තවදුරටත් නැහැ. (උත්පත්ති 1:28; එළිදරව් 21:4, 5) ඒ කාලයේදී “එහි වැසියා: මම රෝගාතුරවෙමියි නොකියන්නේය.” (යෙසායා 33:24) ඒ විතරක් නොවෙයි, මහලු වියේ සිටින අය නැවතත් ඔවුන්ගේ “යෞවනකමට” පත් වන අතර ‘ළදරුවෙකුගේ මාංසයට වඩා ඔවුන්ගේ මාංසය අලුත්’ වීමට නියමිතයි. (යෝබ් 33:25) වර්තමානයේ අපි හැමෝටම ආදම්ගෙන් උරුම වූ පාපයේ ප්‍රතිඵල සමඟ පොර බඳින්න සිදු වී ඇති බව ඇත්තයි. නමුත් යෙහෝවා දෙවිගේ සේවකයන් වයසින් වැඩි වෙද්දී ඔවුන් සුවිශේෂී ආකාරවලින් ආශීර්වාද ලබනවා.

3. ක්‍රිස්තියානියෙකුට “මහලු වයසේදී සඵල” විය හැක්කේ කෙසේද?

3 දෙවිගේ වචනය ස්ථිරවම පවසන්නේ ‘යෙහෝවාගේ ගෘහයෙහි හිඳුවන ලද්දෝ මහලු වයසේදී සඵල වන්නෝය’ කියායි. (ගීතාවලිය 92:13, 15) එහිදී ගීතිකාකරු වැදගත් සත්‍යයක් සංකේතාත්මක ආකාරයකින් විස්තර කරනවා. එනම් මහලු වියේ සිටින දෙවිට පක්ෂපාත සේවකයන් දිනෙන් දින ශාරීරිකව දුර්වල වුණත් ඔවුන්ට දිගටම දෙවිගේ නමස්කාරය තුළ සඵල වෙමින් දෙවි සමඟ ඇති මිත්‍රත්වය තව තවත් වර්ධනය කරගැනීමට හැකි බවයි. එය සත්‍යක් බව පුරාණයේ හා නවීන දින ආදර්ශවලින් පැහැදිලි වෙනවා.

“අතපසු නොකොට”

4. මහලු වියේ පසු වූ ආනා දෙවි කෙරෙහි ඇති තම භක්තිය පෙන්වූයේ කෙසේද? දෙවි ඇයට ආශීර්වාද කළේ කෙසේද?

4 පළමු සියවසේ සිටි අනාගතවක්තෘවරියක් වූ ආනා ගැන සලකා බලන්න. ඇය 84වන වියේ පසු වුණත් “කිසිවිටක දේවමාලිගාවේ සිටීම අතපසු නොකොට දිවා රෑ දෙකෙහි නිරාහාරව සිට කන්නලව් කරමින් පරිශුද්ධ සේවය පිරිනැමුවා.” ඇගේ පියා ලෙවී ගෝත්‍රයට අයත් වුණේ නැහැ. ඔහු “ආෂෙර්ගේ ගෝත්‍රයට අයත්” කෙනෙක්. ඒ නිසා ඇයට දේවමාලිගාවේ නැවතී සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඇය දිනපතාම උදෑසන පූජාවට පැමිණ සවස පූජාව දක්වා එහි රැඳී සිටියා. සෑම දිනකම නොවරදවා දේවමාලිගාවේ පූජා සඳහා පැමිණීමට ඇයට කොතරම් වෑයමක් දරන්න සිදු වුණාද කියා සිතන්න! දෙවිගේ නමස්කාරය සම්බන්ධයෙන් ඇයට තිබූ උනන්දුවට දෙවි මහත් සේ ආශීර්වාද කළා. යෝසෙප් සහ මරියා, මෝසෙස්ගේ නීතියට අනුව බිලිඳු යේසුස්ව දේවමාලිගාවට ගෙන ආ අවස්ථාවේදී ඔහුව දැක ගැනීමේ මහඟු වරප්‍රසාදය ඇය ලැබුවා. ඒ අවස්ථාවේදී ඇය “දෙවිට ස්තුති කිරීමටත්, යෙරුසලමේ මිදීම ගැන බලා සිටි සියල්ලන්ට ඒ දරුවා ගැන කතා කිරීමටත් පටන්ගත්තා”.—ලූක් 2:22-24, 36-38; ගණන් කතාව 18:6, 7.

5, 6. අද දිනත් සිටින මහලු ක්‍රිස්තියානීන් ආනා හා සමානව කටයුතු කරමින් සිටින්නේ කෙසේද?

5 ඒ මහලු අනාගතවක්තෘවරිය හා සමාන අය අද අප අතරෙත් සිටිනවා. ඔවුන් නොකඩවා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන අතර සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා දෙවිට කන්නලව් කරනවා. එමෙන්ම රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන්ට තිබෙන්නේ නොනිවෙන උද්‍යෝගයක්. තම භාර්යාව සමඟ නොකඩවා රැස්වීම්වලට සහභාගිවෙමින් සිටින, අසූ ගණන්වල පසු වන සහෝදරයෙක් මෙහෙම පවසනවා. “රැස්වීම්වලට සහභාගිවෙන එක අපි පුරුද්දක් කරගෙන තියෙනවා. අපිට ඉන්න ඕනේ දෙවිගේ සෙනඟ එක්කයි. ඒ හැර වෙන කොහෙවත් ඉන්න අපිට ඕනෙ නැහැ. අපිට සහනයක් වගේම ආරක්ෂාවත් ලැබෙන්නේ ඔවුන් සමඟ සිටීම නිසයි.” එය අපි හැමදෙනාටම කොතරම් හොඳ ආදර්ශයක්ද!—හෙබ්‍රෙව් 10:24, 25.

6 අසූ ගණන්වල පසු වන ජේන් කියන වැන්ඳඹු සහෝදරියගේ අද්දැකීමත් සලකා බලන්න. ඇය මේ වගේ දෙයක් පවසනවා. “යෙහෝවා දෙවිගේ නමස්කාරය තුළ මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න මම හරි ආසයි.” සමහරවිට ඇය දුකින් සිටින අවස්ථාද තිබෙනවා. ඒ වුණත් ඇය දෙවිට කඩිසරව සේවය කරමින් සිටින නිසා මහත් ප්‍රීතියක් ලබනවා. තවදුරටත් ඇය පවසන්නේ, විවිධ රටවල සිටින සෙසු ක්‍රිස්තියානීන්ව බැහැදැක ඔවුන් සමඟ දේශනා සේවයේ හවුල් වීමෙන් ලොකු දිරිගැන්වීමක් ලබන බවයි. සමහරවිට ඇය සිටින ප්‍රදේශයේ භාෂාව ඇය නොදන්නවා වුණත් බයිබලයේ ඇති පණිවුඩය කෙරෙහි අන් අයගේ අවධානය ලබාගන්න ඇයට හැකි වුණා. ඊට අමතරව ඇය අවශ්‍යතාව වැඩි සභාවක අවුරුදු ගණනාවක් සේවය කර තිබෙනවා. එම රැස්වීම්වලට යන්න එන්න ඇයට පැය දෙකක් පමණ ගත වුණා වගේම අලුත් භාෂාවක් ඉගෙනගන්නත් සිදු වුණා.

මනස ක්‍රියාශීලීව තබාගන්න

7. මහලු වියේ පසුවුණත් දෙවි සමඟ තමාට ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගන්න තිබූ ආශාව මෝසෙස් පෙන්වූයේ කෙසේද?

7 පුද්ගලයෙක් ජීවිතයේ අද්දැකීම් ලබන්නේ කාලයත් සමඟමයි. (යෝබ් 12:12) නමුත් දෙවි සමඟ මිත්‍රකම කාලයත් සමඟ ඉබේටම ඇතිවන දෙයක් නම් නොවෙයි. එමනිසා යම් කලකට පෙර ඉගෙනගත් දේවල්වලින් පමණක් සෑහීමට පත් වෙනවා වෙනුවට නොකඩවා “ඉගෙනගැන්මෙහි දියුණු” වීමට දෙවිගේ සේවකයන් උත්සාහ කරනවා. (හිතෝපදේශ 9:9) යෙහෝවා දෙවි මෝසෙස්ව තෝරාගත් අවස්ථාවේදී ඔහුට වයස අවුරුදු 80යි. (නික්මයාම 7:7) ඒ කාලයේ මිනිසෙකුගේ සාමාන්‍යය ආයු කාලය සමඟ සසඳද්දී අවුරුදු 80ක් ජීවත් වීම විශේෂ දෙයක්. ඔහුම ඒ ගැන මෙසේ පැවසුවා. “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය. නොහොත් ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය.” (ගීතාවලිය 90:10) ඒ වුණත් දේවල් ඉගෙනගැනීමට ඔහු තම වයස බාධාවක් කරගත්තේ නැහැ. යෙහෝවා දෙවිගේ සේවය තුළ මෝසෙස් බොහෝ වරප්‍රසාද භුක්ති වින්ඳ අතර බැරෑරුම් වගකීම් පවා ඉසිලුවා. එසේ අවුරුදු ගණනාවක් දෙවිට සේවය කිරීමෙන් පසුව පවා මෝසෙස් යෙහෝවා දෙවිගෙන් බැගෑපත්ව මෙසේ ආයාචනා කළා. “මා විසින් ඔබ අඳුනන පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්වන ලෙස ඉල්ලමි.” (නික්මයාම 33:13) මහලු වුණත් යෙහෝවා දෙවි සමඟ තමන්ට ඇති මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගන්න මෝසෙස්ට මොන තරම් ආශාවක් තිබුණාද!

8 තම ජීවිතයේ අනූ ගණන්වල පසු වූ දානියෙල් කළේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

8 තම ජීවිතයේ අනූ ගණන්වල පසු වූ දානියෙල්ද ශුද්ධ ලියවිල්ලට අයත් ලෙවී කතාව, යෙසායා, යෙරෙමියා, හොෂෙයා සහ ආමොස් යන ‘පොත්’ හොඳින් අධ්‍යයනය කළා. ඒ නිසා දෙවිට උනන්දුවෙන් යාච්ඤා කිරීමට එය ඔහුව පෙලඹෙව්වා. (දානියෙල් 9:1, 2) එවිට, ගැලවුම්කරු සහ සැබෑ නමස්කාරයේ අනාගතය පිළිබඳ තොරතුරු හෙළි කිරීමෙන් යෙහෝවා දෙවි ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා.—දානියෙල් 9:20-27.

9, 10. තම මනස් ක්‍රියාශීලීව තබාගන්න බොහෝදෙනෙක් කර තිබෙන්නේ කුමක්ද?

9 මෝසෙස් සහ දානියෙල් මෙන් දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ දේවල්වලට අවධානය දීමෙන් අපගේ සිතීමේ හැකියාව හොඳ මට්ටමක තබාගන්න පුළුවන්. එනම් අපගේ මනස ක්‍රියාශීලීව තබාගන්න පුළුවන්. බොහෝදෙනෙක් අද දින එසේ කරමින් සිටිනවා. උදාහරණයකට මහලු ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන වර්ත් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන සෑම ප්‍රකාශනයක්ම අධ්‍යයනය කරන්න උත්සාහ කරනවා. (මතෙව් 24:45) ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. “බයිබලයේ ඇති සත්‍යයට මම හරිම කැමතියි. සත්‍යයයේ ආලෝකය දවසින් දවස වැඩි වෙන විදිහ දැක්කාම මට පුදුම හිතෙනවා.” (හිතෝපදේශ 4:18) අවුරුදු 60ක් පුරා පූර්ණ කාලීන සේවයේ නිරත වන සහෝදර ෆ්‍රෙඩ් පවසන්නේ, සෙසු සහෝදර සහෝදරියන් සමඟ බයිබලයේ තොරතුරු බෙදාගැනීමෙන් තම ඇදහිල්ල ශක්තිමත් වුණා කියායි. ඔහු මෙසේද පවසනවා. “බයිබලය කියන්නේ මට ජීවමාන පොතක්. එහි තිබෙන තොරතුරු හරියට බැබළෙන වටිනා මැණික් වගෙයි. ඒ මැණික් සියල්ලම එකට තැබුවාම හරියට ලස්සන ආභරණයක් වගෙයි.”—2 තිමෝති 1:13.

10 කෙනෙක් මහලු වියේ පසුවෙනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුට අලුත් දේවල් ඉගෙනගැනීමට බැහැ කියන එක නොවෙයි. හැට හැත්තෑ ගණන් හෝ අසූ ගණන්වල පසු වූ අයට අලුත් භාෂාවක් ඉගෙනගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර සාක්ෂිකරුවන් අලුත් භාෂාවක් ඉගෙනගෙන තිබෙන්නේ වෙනත් භාෂා කතා කරන මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමේ අරමුණ ඇතිවයි. (මාක් 13:10) වයස අවුරුදු 60 ගණන්වල පසු වන සහෝදර හැරී සහ ඔහුගේ බිරිඳ අලුත් භාෂාවක් ඉගෙනගෙන පෘතුගීසි භාෂාව භාවිත කරන ප්‍රදේශයක සේවය කරන්න තීරණය කළා. “වයසට යද්දී දේවල් කරන එක එතරම්ම ලෙහෙසි නැහැ. ඒත් අපි ඒ උත්සාහය අත්හරින්නේ නැහැ.” ඔවුන් අත් නෑර උත්සාහ කිරීම නිසා පෘතුගීසි භාෂාවෙන් බයිබල් පාඩම් පවත්වන්න හැකි වුණා. දැන් ඔහු ඒ භාෂාවෙන් දිස්ත්‍රික්ක සමුළුවල කතා දීලත් තියෙනවා.

11. මහලු ක්‍රිස්තියානීන් කර තිබෙන යහපත් දේවල් ගැන කල්පනා කර බැලීම වැදගත් වන්නේ ඇයි?

11 තමන් සිටින තත්වය නිසා හෝ දුර්වල සෞඛ්‍ය නිසා මහලු වයසේ සිටින සෑම කෙනෙකුටම ඒ ආකාරයේ අභියෝග බාරගන්න බැරි බව ඇත්තයි. එසේනම් මහලු අයගේ කදිම ආදර්ශ අපි සලකා බලන්නේ ඇයි කියලා ඔබ සිතයි. සෑම කෙනෙකුම එකම ආකාරයේ දේවල් කළ යුතුයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට තබාගත යුතු ආකල්පය තේරුම්ගැනීමට පාවුල්ගේ උපදෙස උපකාරවත් වෙනවා. ඔහු හෙබ්‍රෙව් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ලිව්වේ මෙසේයි. “ඔවුන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵලය දෙස හොඳින් බලා ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න.” (හෙබ්‍රෙව් 13:7) යෙහෝවා දෙවිට සේවය කිරීමට එම මහලු ක්‍රිස්තියානීන්ව පොලඹවා තිබෙන්නේ ඔවුන් තුළ ඇති ශක්තිමත් ඇදහිල්ලයි. ඒ ගැන කල්පනා කර බැලීමෙන් දිරිගැන්වීමක් ලැබීමට හා ඔවුන්ගේ ඇදහිල්ල අනුගමනය කිරීමට අපිට හැකියි. සේවය කිරීමට තමන්ව පෙලඹුවේ කුමක්ද කියා අවුරුදු 87ක් වයසැති සහෝදර හැරී පවසනවා. “මම ජීවත් වෙලා ඉන්න ටිකේ යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න සහ ඒ කාලය හොඳින් පාවිච්චි කරන්න මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.” මේ ලිපියේ කලින් සඳහන් කළ සහෝදර ෆ්‍රෙඩ් පවසන්නේ තම බෙතෙල් පැවරුම හොඳින් ඉටු කිරීමෙන් තමන් ලොකු සතුටක් ලබන බවයි. ඔහු කියන්නේ මෙසේයි. “යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න ඔබට පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා සොයා බලන්න. පසුව දිගටම එය කරන්න.”

සැමවිටම කැපවීමට එකඟව

12, 13. මහලු වියේදී ඇතිවන කටුක තත්වයන් හමුවේ පවා බාසිල්ලයි දේවභක්තිය පෙන්වූයේ කෙසේද?

12 මහලු වයසත් සමඟම ඇති වන දුර්වල සෞඛ්‍ය තත්වයන්වලට මුහුණ දීම අමාරු විය හැකියි. නමුත් එවැනි තත්වයන් යටතේදී පවා දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකියි. දාවිත්ගේ කාලයේ විසූ ගිලියද්වරයෙක් වූ බාසිල්ලයි ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. තම ජීවිතය බේරාගැනීමට දාවිත් අබ්සලොම්ගෙන් පලා ගිය විට අසූ හැවිරිදි බාසිල්ලයි දාවිත්ටත් ඔහුගේ හමුදාවටත් කන්න බොන්න ඉන්න හිටින්න දී ආගන්තුක සත්කාරය දැක්වූවා. දාවිත් නැවත යෙරුසලමට හැරී යන විට බාසිල්ලයිද දාවිත්ව ඇරලවන්න යොර්දාන් ගඟ ළඟට ගියා. එවිට රජ වාසලේ සේවය කිරීමේ වරප්‍රසාදය දාවිත් ඔහුට පිරිනැමුවා. බාසිල්ලයි කිව්වේ කුමක්ද? “මට දැන් වයස අවුරුදු අසූවක් වෙනවා. ඒ නිසා ඔබේ සේවකයා වන මට දැන් හොඳ නරක තෝරන්න බැහැ. මට කන බොන දේවල්වල රසවත් හරියට දැනෙන්නේ නැහැ. ගායක ගායිකාවන්ගේ ගීත රස විඳින්නත් බැහැ. . . . හැබැයි ඔබේ සේවකයා වන කිම්හාම් මෙතැන ඉන්නවා. මගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කැමති නම් ගඟෙන් එගොඩට යද්දී ඔහුව එක්කගෙන යන්න. ඔබට හොඳයි කියා හිතන දෙයක් ඔහු වෙනුවෙන් කරන්න.”—2 සාමුවෙල් 17:27-29; 19:31-40, නව ලොව පරිවර්තනය.

13 මහලු වියේදී යම් කටුක තත්වයන්වලට මුහුණ දීමට සිදු වුණත් යෙහෝවා දෙවි විසින් පත් කළ රජුට උපකාර කිරීමට බාසිල්ලයි, තමන්ට කළ හැකි දේ කළා. දැන් ඔහුට පෙර මෙන් රස දැනීමේ සහ ඇසීමේ හැකියාව නැති නිසා ඔහු ඒ ගැන කලකිරුණේ නැහැ. ආත්මාර්ථකාමී නොවූ බාසිල්ලයි තමන්ට දාවිත් ඉදිරිපත් කළ ඒ කදිම ප්‍රස්තාව තම සේවක කිම්හාම්ට ලබා දුන්නා. ඉන් ඔහු පෙන්වූයේ ඇත්තටම තමන් ඇතුළාන්තයෙන් කුමනාකාරයේ පුද්ගලයෙක්ද කියන එකයි. ඔහු හා සමානව නිතරම අන් අය ගැන සිතන, ත්‍යාගශීලී බොහෝ මහලු ක්‍රිස්තියානීන් අප අතරද සිටිනවා. ඔවුනුත් සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කරමින් සිටිනවා. “එවැනි පූජා ගැන දෙවි සතුටු” වෙනවා කියා ඔවුන් දන්නවා. එලෙස කටයුතු කරන මහලු ක්‍රිස්තියානීන් අප අතර සිටීම ඇත්තෙන්ම මොන තරම් ආශීර්වාදයක්ද!—හෙබ්‍රෙව් 13:16.

14. ගීතාවලිය 37:23-25හි ඇති වචන දාවිත් රචනා කළේ මහලු වයසේදී නිසා, එය වඩාත් අර්ථාන්විත දෙයක් වන්නේ කෙසේද?

14 අවුරුදු ගණනාවක් පුරා දාවිත්ද විවිධ තත්වයන්වලට මුහුණ දුන්නා. ඒ වුණත් දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ව රැකබලා ගැනීම කෙදිනකවත් නතර කරන්නේ නැහැ කියන දැඩි විශ්වාසය ඔහුට තිබුණා. ගීතාවලිය 37වෙනි පරිච්ඡේදය ලෙස අපි හඳුන්වන ගීතිකාව ඔහු රචනා කළේ ඔහුගේ ජීවිතයේ අවසන් දවස්වලදීයි. තම වීණාව අතැතිව සිටින දාවිත් හැඟීම් බරව මේ ගීතිකාව ගායනා කරනවා ඔබගේ මනසේ මවා ගන්න. “මනුෂ්‍යයෙකුගේ ගමන යෙහෝවා කරණකොටගෙන ස්ථිර වෙයි. ඔහු ඔහුගේ මාර්ගය ගැන ප්‍රීති වන්නේය. ඔහු වැටෙන නමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද යෙහෝවා ස්වකීය හස්තයෙන් ඔහුට ආධාර කරන්නේය. මම යෞවනව සිටියෙමි. දැන් මහලුව සිටිමි. එසේ වී නමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවත් ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටුවෙමි.” (ගීතාවලිය 37:23-25) දෙවිගේ බලයෙන් ලියැවුණු එම ගීතිකාවේ දාවිත් මහලු බව සඳහන් කිරීම යෝග්‍ය දෙයක් බව යෙහෝවා දෙවි දැක්කා. ඒ ගීතිකාව තුළ මොන තරම් ගැඹුරු සිතුවිලි මුසු වී තිබෙනවාද!

15. මහලු වියේ අභියෝගවලට මුහුණ දුන්නත් ඇදහිල්ල සම්බන්ධයෙන් යොහන් කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

15 මහලු විය ඇතුළු ජීවිතයේ විවිධ තත්වයන්ට මුහුණ දුන් නමුත් ඇදහිල්ල සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ තවත් කෙනෙක් සිටිනවා. ඒ යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන්. අවුරුදු 70කට කිට්ටු කාලයක් පුරා ඔහු දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් සිටියා. නමුත් “දෙවි ගැන කතා කළ නිසාත්, යේසුස් ගැන සාක්ෂි දැරූ නිසාත්” පසුව ඔහුව පැට්මොස් කියන දූපතට පිටුවහල් කළා. (එළිදරව් 1:9) ඒ වුණත් ඔහුට ඉදිරියේදී කරන්න තව බොහෝ වැඩ තිබුණා. ඇත්තෙන්ම බයිබලයේ ඇති ඔහුගේ නම සඳහන් පොත් යොහන් ලියනු ලැබුවේ ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදීයි. පැට්මොස් කියන දූපතේදී ගරුබිය දනවන දර්ශන පෙළක් ඇතුළත් එළිදරව් කිරීමක් යොහන්ට දෙනු ලැබූ අතර ඔහු ඒවා ඉතා පරෙස්සමින් වාර්තා කළා. (එළිදරව් 1:1, 2) නෙර්වා කියන රෝම පාලකයාගේ කාලයේදී ඔහුව නිදහස් කෙරුණු බව පෙනෙන්න තිබෙනවා. ඔහු තම නම සඳහන් සුවිශේෂය සහ කුඩා ලිපි තුන ලියනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 98දී පමණ විය හැකියි. ඒ වන විට ඔහුට වයස අවුරුදු 90ත් 100ත් අතර වෙන්න ඇති.

විඳදරාගැනීමේ නොමැකෙන වාර්තාවක්

16. කතා කිරීමේ හැකියාව අහිමි වුණත් යෙහෝවා දෙවිට ඇති තම භක්තිය පෙන්වන්න මහලු අයට හැක්කේ කෙසේද?

16 තමන්ට කරන්න හැකි දේ සීමා වෙන්නේ කොයි මොහොතේද සහ කොයි ආකාරයෙන්ද කියා කියන්න බැහැ. උදාහරණයකට සමහරුන්ට කතා කිරීමේ හැකියාව අහිමි වී තිබෙනවා. එහෙත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය සහ මහත් කරුණාව ගැන ඔවුන් නිතර සතුටින් සිහිපත් කරනවා. කතා කරල කියන්න බැරි වුණත් ඔවුන්ගේ හදවතින් ඔවුන් දෙවිට මෙසේ පවසනවා. “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රිය වෙම්ද! දවස් මුළුල්ලේ මාගේ භාවනාව ඒකමය.” (ගීතාවලිය 119:97) එමෙන්ම යෙහෝවා දෙවිද “ඔහුගේ නාමය සිහි” කරන අයව හොඳින් දන්නවා. තමාගේ ප්‍රතිපත්තිවලට කිසිම සැලකිල්ලක් නොදක්වන මිනිසුන්ට වඩා මොවුන් වෙනස් නිසා දෙවිට ඔවුන්ව බොහෝ සෙයින් වටිනවා. (මලාකි 3:16; ගීතාවලිය 10:4) ඒ අනුව බලද්දී අපගේ හදවතේ ඇති හැඟීම් දැක යෙහෝවා දෙවි සතුටු වෙනවා යන කාරණය දැන සිටීමම මොන තරම් සැනසීමක්ද!—1 ලේකම් 28:9; ගීතාවලිය 19:14.

17. දෙවිට බොහෝ කලක් පුරා සේවය කරන අය සතු සුවිශේෂී දේ කුමක්ද?

17 දශක ගණනාවක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කර ඇති අය සතුව යම් වටිනා දෙයක් තිබෙනවා. එය නම් විඳදරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති නොමැකෙන වාර්තාවයි. එය කිසිවිටෙකවත් අව තක්සේරු නොකළ යුතුයි. යේසුස් ඒ ගැන කිව්වේ මෙසේයි. “විඳදරාගැනීම නිසා ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේය.” (ලූක් 21:19) සදාකාල ජීවනය ලැබීමට නම් විඳදරාගැනීම අත්‍යවශ්‍යයි. ‘දෙවිගේ කැමැත්ත කරමින්’ තම විශ්වාසවන්තභාවය ඔප්පු කර ඇති මහලු ක්‍රිස්තියානීන්ට දෙවිගේ “පොරොන්දුවේ ඉටුවීම” බලා සිටීමට හැකියි.—හෙබ්‍රෙව් 10:36.

18. (අ) මහලු අය ගැන යෙහෝවා දෙවි ප්‍රසන්න වන්නේ ඇයි? (ආ) ඊළඟ ලිපියේ අපි සාකච්ඡා කරන්නේ කුමක් ගැනද?

18 දෙවිගේ සේවය තුළ ඔබට කළ හැකි ප්‍රමාණය කුමක් වුණත් එය ඔහු සලකන්නේ ඉතාමත් වටිනා දෙයක් හැටියටයි. මහලු වීමත් සමඟම “පිටාතර මිනිසා” එන්න එන්නම දුර්වල වුණත් “ඇතුළාන්ත මිනිසා” දිනෙන් දින අලුත් වෙනවා. (2 කොරින්ති 4:16) ඔබ අතීතයේදී කළ සේවය යෙහෝවා දෙවි අගය කරනවා. නමුත් ඔබ දැන් පවා ඔහු වෙනුවෙන් කරමින් සිටින දෙයද දෙවි අගය කරන බවට කිසිම සැකයක් නැහැ. (හෙබ්‍රෙව් 6:10) එවැනි විශ්වාසවන්ත අයගේ ඇදහිල්ලෙන් අන් අය ප්‍රයෝජන ලබන ආකාරය ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අද දින සිටින මහලු ක්‍රිස්තියානීන්ට ආනා තැබූ කදිම ආදර්ශය කුමක්ද?

• දෙවිට සේවය කරන්න වයස බාධාවක් නොවන්නේ ඇයි?

• මහලු කෙනෙකුට දිගටම දේවභක්තිය ඇතිව සිටින්න පුළුවන් කොහොමද?

• මහලු අය යෙහෝවා දෙවිට කරන සේවය ඔහු සලකන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

යුදෙව්වන් වහලුන්ව සිටින කාලය මහලු දානියෙල් අවබෝධ කරගත්තේ ‘පොත්’ අධ්‍යයනය කිරීමෙනුයි

[25වන පිටුවේ පින්තූර]

නොකඩවා රැස්වීම්වලට පැමිණීම, උනන්දුවෙන් රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීම සහ අලුත් දේවල් ඉගෙනගැනීම සම්බන්ධයෙන් මහලු ක්‍රිස්තියානීන් තබන්නේ කදිම ආදර්ශයක්