Skip to content

පටුනට යන්න

විලාප ගී පොතෙන් විශේෂාංග

විලාප ගී පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

විලාප ගී පොතෙන් විශේෂාංග

අවුරුදු 40ක් පුරා තමන් ප්‍රකාශ කළ දෙවිගේ විනිශ්චයන් ඉෂ්ට වෙනවා යෙරෙමියා තම ඇස් පනාපිටම දකිනවා. ඔහු බොහෝ සෙයින් ඇලුම් කළ නුවර විනාශ වෙනවා දැකීම යෙරෙමියාට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද? ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදයෙහි විලාප ගී පොත ආරම්භ වෙන්නේ මේ වචන සමඟිනුයි. ‘යෙරෙමියා හිඳගෙන යෙරුසලමට සිදු වූ විනාශය ගැන බොහෝ සෙයින් හඬා වැලපුණා.’ ඔහු මෙය වාර්තා කළේ ක්‍රිස්තු පූර්ව 607දීයි. ඒ නිසා මාස 18ක් පුරා යෙරුසලම වටලා පසුව එය ගිනි තැබීම සම්බන්ධ අමිහිරි මතකයන් ඔහුගේ මනසේ දෝංකාර දෙනවා. බයිබලයේ මෙම පොතේ සඳහන් වෙන්නේ ඔහුට දැනුණ ඒ ශෝකයයි. (යෙරෙමියා 52:3-5, 12-14) එලෙස හද දනවන වචන යොදා ගනිමින් ඉතිහාසයේ වෙන කිසිම නගරයක් සම්බන්ධයෙන් විලාප කීමක් හෝ දැඩි සේ වැලපීමක් ගැන වාර්තා වන්නේ නැහැ.

කාව්‍යමය ආකාරයට ලියැවුණු විලාප ගී පොත කොටස් පහකින් යුක්තයි. එහි පළමුවෙනි කොටස් හතර වැලපීමේ ගීවලින් යුක්ත වන අතර පස්වෙනි කොටස යාච්ඤාවක ස්වරූපයෙන් ලියා ඇත. මේ පොතේ පළමු ගීතිකා හතරේ සෑම පද පේළියක්ම ආරම්භ වෙන්නේ හෙබ්‍රෙව් හෝඩියේ ඇති අක්ෂර 22හි අනු පිළිවෙළටයි. නමුත් පස්වෙනි ගීතිකාවේ ඇති පද පේළි 22 ඒ ආකාරයට ලියැවී නැහැ.—විලාප ගී 5:1.

“මාගේ ඇස් කඳුළෙන් හීන වේ”

(විලාප ගී 1:1–2:22)

“සෙනඟින් පිරුණු නුවර තනිව හිඳින හැටි! ඇය වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම් වූද දනව් අතරෙහි කුමාරිකාවක් වූද තැනැත්තී ආදායමට යටත් වූ හැටි!” යෙරුසලම ගැන එසේ විලාප කියන්න පටන්ගන්නා යෙරෙමියා, ඊට හේතුවත් මේ ආකාරයට පැහැදිලි කරනවා. “ඇගේ බොහෝ අපරාධ නිසා යෙහෝවා ඇයට පීඩා කළේය.”—විලාප ගී 1:1, 5.

යෙරුසලම් නගරය සමාන කර තිබෙන්නේ තම පුරුෂයාව සහ දරුවන්ව අහිමි වීම නිසා වැලපෙන ස්ත්‍රීයකටයි. ඇය අසන්නේ “මාගේ දුක මෙන් දුකක් තිබේදෝ” කියායි. තවදුරටත් ඇගේ සතුරන් ගැන යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කරනවා. “ඔවුන්ගේ මුළු දුෂ්ටකම ඔබ ඉදිරියට පැමිණේවා. මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක් මෙන් ඔවුන්ටත් කළ මැනව. මක්නිසාද මාගේ සුසුම්ලෑම බොහෝය. මාගේ සිත ක්ලාන්ත වේ.”—විලාප ගී 1:12, 22.

දැඩි වේදනාවෙන් සිටින යෙරෙමියා මෙසේ පවසනවා. “[යෙහෝවා දෙවි] තමන්ගේ තද උදහසින් ඊශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳදැමුවේය. තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්තේය. වටකර නාස්ති කරන්නාවූ ඇවිළෙන්නාවූ ගින්නක් මෙන් ඔහු යාකොබ් දැවුවේය.” තමාට ඇති දරාගත නොහැකි ශෝකය ප්‍රකාශ කරමින් අනාගතවක්තෘ තවදුරටත් මෙසේ පවසනවා. “මාගේ ඇස් කඳුළෙන් හීන වේ. බඩවැල් කැලඹී තිබේ. . . . මාගේ අක්මාව බිම වැගුරුණේය.” එම නගරය පසු කර යන්නන් පවා පුදුමයෙන් ඒ දෙස බලමින් කියන්නේ මෙසේයි. “අලංකාරකමේ සම්පූර්ණත්වය හා මුළු පොළොවේ ප්‍රීතියයයි කී නුවර මේකද?”—විලාප ගී 2:3, 11, 15.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:15—යෙහෝවා දෙවි ‘මිදි යන්ත්‍රයකින් මෙන් යූදාගේ කන්‍යා දුවව පෑගුවේ’ කෙසේද? කන්‍යා දුවකට සමාන යෙරුසලම නගරය බබිලෝනිවරුන් විසින් විනාශ කරද්දී මහා පරිමාණයේ ලේ වැගිරවීමක් සිදු වුණා. එය හරියට මිදි යන්ත්‍රයක මිදි පෑගීමකට හෝ පොඩි කිරීමකට සමාන කරන්න පුළුවන්. යෙහෝවා දෙවි ඒ සම්බන්ධයෙන් අනාවැකි පළ කර තිබූ අතර එය සිදු වීමටද ඉඩහැරියා. ඒ අර්ථයෙන් යෙහෝවා දෙවි ‘මිදි යන්ත්‍රයකින් මෙන් ඇයව පෑගුවා’ කියන්න පුළුවන්.

2:1—“ඊශ්‍රායෙල්ගේ අලංකාරය අහසින් පොළොවට හෙළා” දමනු ලැබුවේ කෙසේද? “ස්වර්ගයන් පොළොවට වඩා උස්ව තිබෙන” නිසා “අහසින් පොළොවට හෙළා” කීමෙන් සමහර අවස්ථාවලදී අදහස් වන්නේ උසස් තත්වයක තිබූ දෙයක් පහත් කිරීමයි. “ඊශ්‍රායෙල්ගේ අලංකාරය” හෙවත් තේජස සහ බලය ඊට ලැබුණේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි. නමුත් යෙරුසලමේ විනාශයෙන් සහ යූදා පාළුවට යෑමෙන් එය ඔවුන්ට අහිමි වුණා.—යෙසායා 55:9.

2:1, 6—යෙහෝවා දෙවිගේ “පාපුටුව” යනු කුමක්ද? දේවමාලිගාව ‘පැල්පතක්’ මෙන් වුණේ කෙසේද? (නව ලොව පරිවර්තනය) ගීතිකාකරු වරක් මෙසේ ගායනා කළා. “ඔහුගේ මණ්ඩපවලට යන්නෙමු. ඔහුගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.” (ගීතාවලිය 132:7) ඉන් පැහැදිලි වෙන්නේ විලාප ගී 2:1හි සඳහන් ‘පාපුටුව’ යනු දෙවිගේ ගෘහය, එනම් යෙරුසලමේ තිබූ දේවමාලිගාව බවයි. බබිලෝනිවරුන් ‘දෙවිගේ ගෘහයට ගිනි තැබුවේ’ මිදිවත්තක තිබූ පැලකට ගිනි තබන්නාක් මෙනි. එයාකාරයෙන් දෙවිගේ ගෘහය පැල්පතකට සමාන කර තිබෙනවා.—යෙරෙමියා 52:12, 13.

2:16, 17—විලාප ගී පොතේ 2:16 සහ 17 ඡේද හෙබ්‍රෙව් හෝඩියේ අක්ෂර පිළිවෙළට සඳහන් වී නැත්තේ ඇයි? බයිබලය ලියූ අය කාව්‍යයන් රචනා කරද්දී එසේ කළේ හෙබ්‍රෙව් හෝඩියේ අක්ෂර පිළිවෙළට අනුවයි. එසේ කිරීමෙන් පාඨකයාට එය පහසුවෙන් මතකයට නැඟිය හැකියි. නමුත් ඇතැම් අවස්ථාවලදී එසේ කිරීමෙන් එහි නියම අර්ථය යටපත් විය හැකියි. එවිට ඔවුන් ඒ ක්‍රමය අනුගමනය කළේ නැහැ. ලේඛකයන් මුල් තැන දුන්නේ වාර්තා කරන තොරතුරුවල නියම අර්ථය කාවැද්දවීමටයි. එයාකාරයේ අක්ෂර අනුපිළිවෙළ වෙනස් වී ඇති ස්ථාන තුන්වන සහ හතරවන ගීතිකාවලත් දැකිය හැකියි.—විලාප ගී 3:46, 49; 4:16, 17.

2:17—යෙරුසලම සම්බන්ධයෙන් ඉෂ්ට වුණේ යෙහෝවා දෙවි පැවසූ කුමන ‘වචනයද?’ පෙනෙන ආකාරයට මෙහි සඳහන් කර ඇති දෙය යොමු දක්වන්නේ ලෙවී කතාව 26:17හි ඇති මෙම වචනවලටයි. එහි පවසන්නේ මෙසේයි. “මමද මාගේ මුහුණ ඔබට විරුද්ධව යොමු කරන්නෙමි. ඔබද සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. ඔබට වෛර කරන්නෝ ඔබ කෙරෙහි අධිපතිකම් කරන්නෝය. කිසිවෙකු නොඑළවන කල ඔබ දුවන්නහුය.”

අපට ගත හැකි පාඩම්:

1:1-9. යෙරුසලම නමැති කන්‍යාව රාත්‍රියේදී අධික ලෙස ශෝකයෙන් වැලපීම නිසා ඇගේ දෙකම්මුල් කඳුළින් තෙත් වෙලා. ඇගේ දොරටු පාළුවට ගිහිල්ලා. ඇගේ පූජකයන්ද සුසුම්ලමින් සිටියි. ඇගේ කන්‍යාවන් සිතේ මහත් වේදනාවෙන් පසුවන අතර ඇයද සිටින්නේ කියාගත නොහැකි දුකකිනුයි. ඒ සියල්ලට හේතුව කුමක්ද? ඒ ඇය එළිපිටම කළ පාප නිසයි. ඇගේ අපවිත්‍රකමේ කැළැල, වස්ත්‍රයක කුණු තවරා ගත් ස්ත්‍රීයකට සමානයි. ඉන් ඔප්පු වන්නේ පව් කිරීමේ ප්‍රතිඵලය ප්‍රීතිය නොව කඳුළ, සුසුම්ලෑම, ශෝකය සහ කලකිරීම පමණක් බවයි.

1:18. යෙහෝවා දෙවි වැරදිකරුවන්ට දඬුවම් කරන්නේ යුක්තිසහගතවයි.

2:20. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට අකීකරු වුණොත් ඔවුන් මතට ශාපයන් පැමිණෙන බව කලින් අනතුරු අඟවා තිබුණා. ඊට ඔවුන් තමන්ගේම “පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස” කන බවට යෙහෝවා දෙවි දුන් අනතුරු ඇඟවීමද ඇතුළත්. (ද්විතීය කතාව 28:15, 45, 53) යෙහෝවා දෙවිට අකීකරු වීම මොන තරම් අඥාන ක්‍රියාවක්ද!

‘මාගේ හඬගැසීමට ඔබගේ කන නොසැඟෙව්ව මැනව’

(විලාප ගී 3:1–5:22)

විලාප ගී 3වන පරිච්ඡේදයේ ඊශ්‍රායෙල් ජාතියව විස්තර කර තිබෙන්නේ ‘මනුෂ්‍යයෙක්’ ලෙසටයි. ඔහු ඉමහත් දුෂ්කරතා මැද පවා මෙසේ ගායනා කරනවා. “යෙහෝවා බලා සිටින්නවුන්ටත් ඔහු සොයන ආත්මයටත් ඔහු යහපත්ය.” ඔහු සැබෑ දෙවිට යාච්ඤා කරමින් මෙසේ අයැදිනවා. “ඔබ මාගේ හඬ ඇසුවේය. මාගේ හුස්ම ඇරීමටත් හඬගැසීමටත් ඔබගේ කන නොසැඟෙව්ව මැනව.” තම සතුරන්ගේ අපහාස කිරීම්වලට අවධානය දෙන්න යයි කියමින් ඔහු මෙසේ පවසනවා. “යෙහෝවා, ඔවුන්ගේ අතින් කළ ක්‍රියා ලෙසම ඔබ ඔවුන්ට විපාක දෙන්නේය.”—විලාප ගී 3:1, 25, 56, 64.

මාස 18ක් පුරා යෙරුසලම වැටලීමෙන් ඇති වූ කටුක ප්‍රතිඵල ගැන තමාට හැඟෙන ආකාරය යෙරෙමියා වැලපෙමින් පැවසුවේ මෙසේයි. “මක්නිසාද කිසිවෙකු විසින්වත් පීඩා කරනු නොලැබ ඇසිල්ලකින් මෙන් විනාශ කරනු ලැබූ සොදොම්හි පාපයට වඩා මාගේ සෙනඟගේ දුවගේ අයුතුකම මහත්ය.” ඔහු තවදුරටත් කියන්නේ “සාගින්නෙන් මැරෙන්නවුන්ට වඩා කඩුවෙන් මැරුම් කන්නෝ වාසනාවන්තයෝය. මක්නිසාද ඔවුහු කෙතේ ඵල නැති නිසා පීඩිතව ක්ෂය වී යති” කියායි.—විලාප ගී 4:6, 9.

මෙහි පස්වන ගීතිකාව ලියැවී ඇත්තේ යෙරුසලමේ වැසියන්ම දෙවිට කන්නලව් කරන ස්වරූපයකටයි. එහි සඳහන් වෙන්නේ මෙසේයි. “යෙහෝවා, අපට පැමිණි දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.” ඔවුන් තම විපත්ති ගැන මතක් කරමින් දෙවිට මෙසේ අයැදිනවා. “යෙහෝවා, ඔබ සදාකාලයටම සිටින්නේය. ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතී. . . . යෙහෝවා, ඔබ දෙසට අප හැරෙව්ව මැනව. එවිට අපි හැරෙන්නෙමු. ආදියේ මෙන් අපේ දවස් අලුත් කළ මැනව.”—විලාප ගී 5:1, 19, 21.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

3:16—“ඔහු බොරළුවලින් මාගේ දත් බින්දේය” කීමෙන් අදහස් වන්නේ කුමක්ද? එක් පොතක සඳහන් වන්නේ මෙයයි. ‘යුදෙව්වන්ව වහල්කමට ගෙන යන අතරතුර ඔවුන්ට රොටි පුලුස්සන්න සිදු වුණේ බිම හාරා ගත් වලවල්වලයි. එහිදී ඔවුන්ගේ කෑමට කුඩා ගල්කැට මිශ්‍ර වුණා.’ එයාකාරයෙන් පිලිස්සූ රොටි කෑම නිසා සමහරුන්ගේ දත් කැඩෙන්න ඇති.

4:3, 10—යෙරෙමියා ‘තම සෙනඟගේ දුවව’ ‘වනයේ පැස්බරුන්ට’ සමාන කරන්නේ ඇයි? යෝබ් 39:16හි සඳහන් වන්නේ පැස්බරා “ඇගේ පැටවුන් ඇයට අයිති නොවූවාක් මෙන් ඇය උන්ට විරුද්ධව තදකම් පායි” කියායි. ඔවුන්ගේ බිත්තරවලින් පැටවුන් එළියට පැමිණියාට පසුව මව් පැස්බරා තම සහකරුවාට පැටවුන්ව භාර දී සෙසු මව් පැස්බරුන් සමඟ කෑම සොයා යයි. නමුත් අනතුරකදී ඔවුන් කරන්නේ කුමක්ද? දෙදෙනාම තම පැටවුන් අත්හැර දමා පැන යයි. බබිලෝනිවරුන් යෙරුසලම වැටලීමෙන් පසුව එහි දරුණු සාගතයක් ඇති වුණා. මව්වරුන්ට තම දරුවන් කෙරෙහි තිබූ මහත් සෙනෙහස ඒ අවස්ථාවේදී නැති වුණා. එය හරියට වනයේ සිටින පැස්බරුන්ගේ තත්වයට සමානයි. නමුත් කැලේ ඉන්න සිවල් දෙනුන් ඊට වඩා කොතරම් වෙනස්ද!

5:7—ආදිපියවරුන්ගේ වැරදිවලට දෙවි ඔවුන්ගෙන් පැවත එන්නන්ගෙන් පළිගන්නවාද? නැහැ. දෙවි එසේ ඔවුන්ට දඬුවම් කරන්නේ නැහැ. බයිබලයේ ඒ ගැන පවසන්නේ “එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙනු ඇත” කියායි. (රෝම 14:12) කොහොමවුණත් ආදිපියවරුන්ගේ වැරදිවල ප්‍රතිඵල පසුව පැමිණෙන පරම්පරාවල අය අද්දකින්න පුළුවන්. උදාහරණයකට රූප නමස්කාර කළ ඊශ්‍රායෙල්වරුන් ගැන කල්පනා කරන්න. ඔවුන්ගේ ඒ ක්‍රියා කලාපය නිසා පසුව සිටි ඇදහිලිවන්ත ඊශ්‍රායෙලිතයන්ටත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කිරීම දුෂ්කර දෙයක් වුණා.—නික්මයාම 20:5.

අපට ගත හැකි පාඩම්:

3:8, 43, 44. යෙරුසලම මත විනාශය පැමිණි කාලයේදී එහි වැසියන් උපකාරය ඉල්ලා යෙහෝවා දෙවිට කන්නලව් කළත් දෙවි ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ ඇයි? ඔවුන් දිගටම දෙවිට පිටුපාමින් සිටි අතර ඔවුන්ගේ වැරදි ගැන පසුතැවිලි වුණේ නැති නිසයි. දෙවි අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීමට නම් අපි ඔහුට කීකරු විය යුතුයි.—හිතෝපදේශ 28:9.

3:20. යෙහෝවා දෙවි “මුළු පොළොව කෙරෙහි ඉතාම උසස්” තැනැත්තා වුණත් “ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට” ඔහුම යටහත් වෙනවා. (ගීතාවලිය 83:17; 113:5, 6) යෙහෝවා දෙවි මිනිසුන් සිටින තත්වය තේරුම්ගෙන ඔවුන්ට අවශ්‍ය උපකාර සහ දිරිගැන්වීම් දෙන්න කැමැත්තෙන් සිටින බව යෙරෙමියා හොඳින් තේරුම්ගෙන තිබුණා. අපගේ සැබෑ දෙවි යෙහෝවා සර්වබලධාරී, සියලු ප්‍රඥාවෙන් පූර්ණ දෙවි කෙනෙක් පමණක් නොව ඔහු ඉතා යටහත් පහත් කෙනෙක් වීම ගැන අපි කොතරම් සතුටු විය යුතුද!

3:21-26, 28-33. අපිට දරුණු වේදනා විඳදරාගත හැක්කේ කෙසේද? යෙහෝවා දෙවි තම ප්‍රේමණීය කරුණාව මහත් සේ පෙන්වා තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. අපි මතක තබාගත යුතු තවත් දෙයක් නම් අපිට ජීවත් වීමට ලැබී ඇති අවස්ථාවම මහඟු වරප්‍රසාදයක් බවයි. ඒ නිසා අපි කොඳුරන්නේ නැතිව මහත් විඳදරාගැනීමකින් යෙහෝවා දෙවි දෙන ගැලවීම බලා සිටිමු. එමෙන්ම අපි අපේ “කට ධූලියේ තබා” ගත යුතුයි. ඉන් අදහස් කරන්නේ අපි එම පරීක්ෂා කොඳුරන්නේ නැතිව විඳදරාගැනීමයි. යෙහෝවා දෙවි ඒවාට ඉඩහරින්නේ හොඳ හේතු ඇතිවයි කියන කාරණය අපි තේරුම්ගන්න අවශ්‍යයි.

3:27. යෞවනයෙකුගේ ඇදහිල්ලට විරුද්ධව පැමිණිය හැකි පීඩාවලට සහ සමච්චල් කිරීම්වලට ඔහු සාර්තකව මුහුණ දිය යුතුයි. එසේවුණත් “යෞවන කාලේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත” ගෙනදෙනවා. ඒ කොහොමද? යෞවන කාලයේදී යම් දුෂ්කර තත්වයන්ට මුහුණ දීම, ඉදිරියේදි ඇති විය හැකි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන නිසයි.

3:39-42. අපගේම වැරදි නිසා දුක් විඳීමට සිදු වන විට ‘කෙඳිරීම’ ඥානවන්ත දෙයක් නොවේ. ඒ වෙනුවට ‘අපේ මාර්ග සොයා විමසා යෙහෝවා දෙවි වෙතට නැවත හැරෙමු.’ ඥානවන්තම දේ වන්නේ පසුතැවිලි වී නිවැරදි මාර්ගයේ ගමන් කිරීමයි.

යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න

යෙරුසලමේ වැසියන් විනාශ වුණේ ඔවුන්ගේම වරදින් බවත් ඔවුන් තම පාප පිළිගත් බවත් මෙම පොතේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවිට යෙරුසලම සහ යුදා දේශය කෙරෙහි තිබූ ආකල්පය ඒ තුළින් පැහැදිලිව දැක ගන්න පුළුවන්. එම ජාතිය යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ ආකාරය ගැන සහ වැරදි මාර්ගයෙන් හරි මාර්ගයට පැමිණීමට ඔවුන් දැක්වූ ආශාව ගැනත් මේ පොතේ රචනා කර තිබෙනවා. යෙරෙමියා ඇතුළු සුළු පිරිසක් ඇරෙන්න එදා සිටි බහුතරයකට එවැනි හැඟීමක් තිබුණේ නැහැ.

යෙරුසලමේ පැවති තත්වය ගැන යෙහෝවා දෙවිට හැඟුණු ආකාරය විලාප ගී පොතේ සඳහන් වෙනවා. යෙරුසලම විනාශවීමෙන් සහ යුදා දේශය පාළුවට යෑමේ සිද්ධියෙන් අපිට වැදගත් කරුණු දෙකක් ඉගෙනගන්න පුළුවන්. පළමුවැන්න නම් යෙහෝවා දෙවිට කීකරු වීමේ ඇති වැදගත්කම සහ දෙවිගේ කැමැත්තට පිටුපෑමේ ඇති භයානකකමයි. (1 කොරින්ති 10:11) දෙවැන්න, අපිට යෙරෙමියාගේ ආදර්ශයෙන් දැකගන්න පුළුවන්. (රෝම 15:4) කිසිම බලාපොරොත්තුවක් නැහැයි කියා පෙනෙන්නට තිබෙන අවස්ථාවලදී පවා දැඩි ශෝකයෙන් සිටි යෙරෙමියා යෙහෝවා දෙවි දෙන ගැලවීම දෙස බලා සිටියා. ඒ හා සමානව අපිත් යෙහෝවා දෙවි කෙරෙහි සහ ඔහුගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීම කොතරම් වැදගත්ද!—හෙබ්‍රෙව් 4:12.

[9වන පිටුවේ පින්තූරය]

තමා ප්‍රකාශ කළ විනිශ්චයේ පණිවුඩය ඉටු වෙනවා යෙරෙමියා දැක්කා

[10වන පිටුවේ පින්තූරය]

මෙම කොරියානු සහෝදරයන්, මිනිසුන්ට වඩා දෙවිට කීකරු වීම නිසා ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වුණා