Skip to content

පටුනට යන්න

අපව ‘සාදා ඇත්තේ පුදුමාකාර ලෙසයි’

අපව ‘සාදා ඇත්තේ පුදුමාකාර ලෙසයි’

අපව ‘සාදා ඇත්තේ පුදුමාකාර ලෙසයි’

“ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද!”—ගීතාවලිය 139:14, නව ලොව පරිවර්තනය, NW.

1. සෑම දෙයක්ම අහම්බෙන් සිදු වූයේ නැහැයි කියා බොහෝදෙනෙක් සිතන්නේ ඇයි?

අප වටා තිබෙන ලෝකය පුදුමාකාර දේවලින් පිරී පවතිනවා. මේ හැම දෙයක්ම බිහි වුණේ කොහොමද? මේ පිළිබඳව විවිධ මත තිබෙනවා. සමහරු සිතන්නේ මීට පිළිතුර සොයාගැනීමට නිර්මාතෘ කෙනෙකුගේ උදව් අවශ්‍ය නැහැයි කියායි. තව අය සිතන්නේ නිර්මාතෘ කෙනෙක් ගැන කතා නොකර නම් එයට පිළිතුරු දැනගන්න කොහොමටවත් නොහැකි බවයි. ඊට හේතුව ජීවය සංකීර්ණ හා විවිධත්වයකින් යුතු නිසා එය අහම්බෙන් බිහි විය නොහැකියි යන විශ්වාසය ඔවුන් තුළ තිබීමයි. තිබෙන සාක්ෂිවලට අනුව විශ්වය අහම්බෙන් බිහි විය නොහැකි බවත් ඊට බුද්ධිමත් මෙන්ම බලවත් මැවුම්කරුවෙකු සිටිය යුතු බවත් ඇතැම් විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනෙක් විශ්වාස කරනවා. *

2. යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට දාවිත්ව පෙලඹවූයේ කුමක්ද?

2 අවට ලෝකයේ තිබෙන පුදුමාකාර දේවල් වෙනුවෙන් යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබිය යුතු බව දාවිත් රජ තේරුම්ගත්තා. දාවිත් ජීවත් වුණේ විද්‍යාව අද තරම් දියුණු සමයක නොවුණත් දෙවිගේ පුදුමාකාර මැවිලි කෙරෙහි මහත් අගයක් ඔහුට තිබුණා. මැවුම්කරුවෙකු ලෙස දෙවි සතු දක්ෂතාවය ගැන දාවිත්ට මහත් පැහැදීමක් තිබුණා. තමන්ගේ ශරීරය මවා තිබෙන ආකාරය ගැන සිතා බැලීම පමණක්ම ප්‍රමාණවත් වුණා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! ඒ ගැන මා කල්පනා කරන විට මා තුළ මහත් ගරු බියක් ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ක්‍රියා පුදුමාකාරය. මම එය හොඳින් දනිමි.”—ගීතාවලිය 139:14, NW.

3, 4. යෙහෝවා දෙවිගේ මැවිලි ගැන අප ගැඹුරින් කල්පනා කළ යුත්තේ ඇයි?

3 දාවිත් එලෙස දෙවිගේ මැවිල්ල ගැන ගැඹුරින් කල්පනා කළ නිසා ඔහුට දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඇති වුණා. මේ කාලයේදී එවැනි ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගැනීමට නම් අපත් දෙවිගේ මැවිලි ගැන ගැඹුරින් කල්පනා කර බැලීම කොතරම් වැදගත්ද! ජීවයේ ආරම්භය ගැන වර්තමානයේ පාසැල්වල හා ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කරන විකෘති අදහස් නිසා අපේ ඇදහිල්ල බිඳ වැටෙන්න ඉඩ තිබෙනවා. එමනිසා මැවුම්කරුවෙකුගේ පැවැත්ම හා ඔහු කටයුතු කරන ආකාරය ගැන වෙනත් අය දරන මත අපටත් බලපාන්න පුළුවන්. එසේ වීමට ඉඩහැරීම මොන තරම් භයානකද?

4 අප යෙහෝවා දෙවිගේ මැවිල්ල ගැන වැඩි වැඩියෙන් කල්පනා කරන විට ඔහු කෙරෙහි අපට තිබෙන ප්‍රේමය හා ඔහුගේ පොරොන්දු කෙරෙහි තිබෙන විශ්වාසය තව තවත් වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට යෙහෝවා දෙවිව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීමටත් ඔහුට සේවය කිරීමටත් අප තුළ පෙලඹීමක් ඇති වෙනවා. එවැනි පෙලඹීමකින් දෙවිට සේවය කළ දාවිත්ගේ අවසන් නිගමනය වුණේ අපව “පුදුමාකාර ලෙස සාදා” තිබෙන බවයි. එම නිගමනය විද්‍යාවෙන් තහවුරු වන ආකාරය දැන් අපි විමසා බලමු.

පුදුම දනවන මාස නවයක්

5, 6. (අ) අපේ ජීවිතය ආරම්භ වුණේ කෙසේද? (ආ) අපේ වකුගඩුවලින් කෙරෙන කාර්යය විස්තර කරන්න.

5 “මාගේ වකුගඩු පවා සෑදුවේ ඔබය. ඔබ මාව මව් කුසෙහි ආවරණය කර තැබුවේය.” (ගීතාවලිය 139:13, NW) අප සියලුදෙනාගේම ජීවිතය මව් කුස තුළ ආරම්භ වුණේ අල්පෙනෙත්ති තුඩකටත් වඩා කුඩා පුංචිම පුංචි සෛලයකින්. අන්වීක්ෂයකින් පමණක් දැකගත හැකි මේ පුංචි සෛලය අතිශයින් සංකීර්ණයි. එය කුඩා රසායනාගාරයකට සමානයි! එම සෛලය ශීඝ්‍රයෙන් බෙදෙන්න පටන්ගත්තා. ජීවය පිළිසිඳ ගෙන මාස දෙකක් අවසන් වූ විට ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන් සියල්ලක්ම සෑදී හමාරයි. මින් එක් ඉන්ද්‍රියයක් වන වකුගඩු ගැන අපි දැන් සලකා බලමු. දරුවෙක් මෙලොව එළිය දකින විට ඔහුගේ වකුගඩු එහි ක්‍රියාකාරීත්වයට සූදානම්. එනම්, රුධිරය පෙරා එහි අඩංගු අපද්‍රව්‍ය හා සිරුරට අනවශ්‍ය ජලය ඉවත් කර අත්‍යවශ්‍ය දේවල් රඳවාගනියි. වකුගඩු නිරෝගී නම් සෑම විනාඩි 45කටම වරක් වැඩිහිටියෙකුගේ රුධිරයේ අඩංගු ජලය ලීටර් පහක් පමණ පෙරාහරියි.

6 රුධිරයේ අඩංගු ලවණ ප්‍රමාණය හා ආම්ලිකතාව මෙන්ම රුධිර පීඩනයද වකුගඩු මගින් පාලනය වෙයි. මෙමගින් තවත් බොහෝ වැදගත් කාර්යයන් ඉටු කරයි. උදාහරණයක් හැටියට, සිරුරට ලැබෙන විටමින් D අස්ථිවල වර්ධනයට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කර අස්ථි වෙත යවයි. එමෙන්ම ඔබේ ඇටමිදුලුවල රතු රුධිරාණු නිපදවීමට අවශ්‍ය එරිත්‍රොපොයටින් නමැති හෝමෝනය සපයා දෙන්නේද වකුගඩුයි. එසේනම් වකුගඩුවලට කළ හැකි කාර්යය ගැන මිනිසුන් පුදුම වන එක අහන්නත් දෙයක්ද! *

7, 8. (අ) කලලයේ මුල් අවදියේ වර්ධනය විස්තර කරන්න. (ආ) දරුවෙකු “පොළොවේ ගැඹුරුතම තැන්වල” වැඩෙන බව පැවසිය හැක්කේ කුමන අර්ථයෙන්ද?

7 “කිසිවෙකුටවත් නොපෙනෙන සේ පොළොවේ ගැඹුරුතම තැන්වල මා වැඩුණු කල මාගේ ඇටකටු පවා ඔබෙන් සැඟවී තිබුණේ නැත.” (ගීතාවලිය 139:15, NW) ජීවයේ ආරම්භයට දායක වූ මුල්ම සෛලය දෙකට බෙදුණු අතර එසේ බෙදුණු සෛලත් දිගින් දිගටම බෙදෙන්න පටන්ගත්තා. ඒවා ස්නායු සෛල, පේශි සෛල හා චර්ම සෛල වැනි වෙනත් සෛල වශයෙන් වෙන් වෙන්න පටන්ගත්තා. එකම වර්ගයේ සෛල එකට එකතු වී පටක බවටත් පසුව ඒවා ඉන්ද්‍රියයන් බවටත් පත් වුණා. උදාහරණයක් හැටියට, අස්ථි සැකිල්ල සලකා බලමු. කලලයට සති තුනක් වෙද්දී, එය වර්ධනය වෙන්න පටන්ගන්නවා. සති හතක් වන විට කලලය අඟලක් තරම් කුඩා වුණත් වැඩිහිටියෙකු සතු අස්ථි 206ම පිහිටා තිබෙනවා. වෙනසකට තිබෙන්නේ ඒවා ශක්තිමත් ඇටකටු බවට පත් වී නොතිබීමයි. මේ සෑම දෙයක්ම සිදු වූයේ මව් කුස තුළයි. දාවිත් කී ලෙස එය හරියට පොළොව යට සඟවා ඇති දෙයක් මෙන් කිසිවෙකුට නොපෙනී සිදු වෙනවා.

8 මීට අමතරව, ශරීරයේ සෛල විවිධ වර්ගවලට බෙදී යන්නේ එම සෛලවලට ජාන මගින් ලබා දෙන පණිවිඩ මාර්ගයෙන්. ඒ ජානවලට එම පණිවිඩය යවන්න හේතු වන්නේ කුමක්ද? විද්‍යාවට පසු කාලයකදී මෙය අනාවරණය කරගැනීමට හැකි වුවත් අපේ මැවුම්කාර යෙහෝවා දෙවිට ඒවා නිවැරදිව කිව හැකි බව දාවිත් ඊළඟට පැවසූ දෙයින් හෙළි වෙනවා.

9, 10. කලලයක විස්තර දෙවිගේ ‘පොතෙහි ලියා තිබෙන්නේ’ කුමන අර්ථයෙන්ද?

9 “මා කලලයක්ව සිටියදී පවා ඔබට මාව පෙනුණේය. මාගේ කිසිම අවයවයක් සෑදෙන්නත් කලින් එකක්වත් නෑර ඒ සියල්ල ගැන ඔබේ පොතෙහි ලියා තිබිණ.” (ගීතාවලිය 139:16, NW) ඔබේ ශරීරයේ සම්පූර්ණ සැලැස්ම ඔබේ මුල්ම සෛලයේ අඩංගු වුණා. මාස නවයක් පුරා මව් කුසේ සිදු වන වර්ධනයත් ඉපදී මුල් අවුරුදු 20 හෝ ඊට වැඩි කාලයක් පුරා ඔබේ ශරීරයේ සිදු වන වර්ධනයත් පාලනය කරන්නේ මෙම මුල් සෛලයේ අඩංගු වූ සැලැස්ම මගිනුයි. මේ කාලපරිච්ඡේදය තුළ ශරීරයේ කුමන වෙනස්කම් සිදු වුණත් මේ හැම වෙනසකටම හේතු වන්නේ මේ මුල් සෛලයේ තිබූ දත්තයි.

10 දාවිත්ගේ කාලයේදී අණ්වීක්ෂ තිබුණේ නැති නිසා ඔහුට සෛල ගැන හෝ ජාන ගැන අවබෝධයක් තිබුණේ නැහැ. එනමුත් තම ශරීරයේ වර්ධනය ගැන ගැඹුරින් සිතූ විට, එවැනි දෙයක් වීමට නම් කලින් කළ සැලැස්මකට අනුව එය විය යුතු බව ඔහු තේරුම්ගත්තා. කලලයක් වැඩෙන ආකාරය ගැන දාවිත්ට යම් දැනුමක් තිබෙන්න ඇති. ඒ නිසා එය වැඩීමේදී සැලැස්මකට හා කාලසටහනකට අනුව සිදු වන බව ඔහුට ඒත්තු ගොස් තිබුණා. දෙවිගේ “පොතෙහි ලියා තිබිණ” කියා කාව්‍යමය ආකාරයකට ඔහු විස්තර කළේ එම සැලැස්මයි.

11. අපේ ශරීරයේ අංග ලක්ෂණ තීරණය වන්නේ කුමකින්ද?

11 ඔබේ උස, මුහුණේ ලක්ෂණ, ඇස්වල හා හිසකෙස්වල පාට සහ මෙවැනි තවත් බොහෝ අංගලක්ෂණ ඔබට උරුම වූයේ ඔබේ දෙමාපියන්ගෙන් හා මුතුන්මිත්තන්ගෙනුයි. ඒ සෑම දෙයක්ම තීරණය වුණේ ඔබේ ජාන මගිනුයි. ඔබේ සෑම සෛලයකම ජාන දස දහස් ගණනක් තිබෙන අතර ඒ හැම ජානයක්ම DNAවලට (ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය) සම්බන්ධ වී තිබෙනවා. සෛලයක් බෙදෙන සෑම අවස්ථාවකදීම අලුත් සෛලයට DNAවල තිබෙන තොරතුරු ලැබෙනවා. ඔබේ ජීවිතයද ඔබේ ශරීරයේ හැඩහුරුකම්ද දිගටම රැකෙන්නේ ඒ නිසයි. අපේ නිර්මාතෘගේ ප්‍රඥාව හා බලය කොතරම්ද කියා මින් පැහැදිලි වෙනවා!

අද්විතීය වූ මනස

12. මිනිසා සතුන්ට වඩා වෙනස් වන්නේ කුමන පැතිවලින්ද?

12 “ඔබේ අදහස් කොතරම් අනර්ඝද! දෙවියනි, ඔබේ ඒ වටිනා අදහස් ගණන් කළ නොහැකි තරම්ය! මා ඒවා ගණින්නේ නම්, ඒවා වැලිවලටත් වඩා වැඩිය.” (ගීතාවලිය 139:17, 18අ, NW) සතුන්ව පවා මවා තිබෙන්නේ පුදුමාකාර ලෙසයි. සමහර සතුන්ගේ සංවේදන හා සහජ හැකියාවන් මිනිසුන්ගේ හැකියාවන්ට වඩා ඉහළයි. ඒත් යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ට සිතීමේ හැකියාව දුන් අතර ඒවා අන් සියලුම හැකියාවන් අබිබවා යයි. “සතුන් හා මිනිසුන් අතර සමානතා තිබුණද කල්පනා කිරීමේ හා භාෂාවක් යොදාගෙන අදහස් හුවමාරු කිරීමේ හැකියාව අතින් මිහිපිට සිටින කිසිම ජීවියෙකුට වඩා මිනිසා අද්විතීයයි” කියා එක් විද්‍යා පොතක සඳහන් වෙනවා. එහි තවදුරටත් මෙසේද පවසා තිබෙනවා. “අපේ ශරීරය හැදුණේ කොහොමද, මිනිසාගේ ආරම්භය සිදු වුණේ කොහොමද වැනි ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමේ කුතුහලයත් අප තුළ තිබෙනවා.” දාවිත් ගැඹුරින් කල්පනා කළේද මෙවැනිම ප්‍රශ්න ගැනයි.

13. (අ) දෙවි සිතන ආකාරය තේරුම් ගැනීමට කිරීමට දාවිත්ට හැකි වූයේ කෙසේද? (ආ) දාවිත්ගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?

13 මිනිසා සතුන්ට වඩා අද්විතීය වීමට තවත් ප්‍රබල හේතුවක් නම් මිනිසාට දෙවි සිතන ආකාරය අවබෝධ කරගැනීමේ හැකියාව තිබීමයි. * මිනිසුන්ට මෙම අද්විතීය හැකියාව ලැබී තිබෙන්නේ “දෙවි තම ස්වරූපයෙන්” ඔවුන්ව මැවූ නිසයි. (උත්පත්ති 1:27, NW) දාවිත් ඔහුට දෙවිගෙන් ලැබුණු මේ වරප්‍රසාදයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. අවට ලෝකයේ දිස්වන දේවල් මගින් දෙවිගේ පැවැත්ම ගැන සහ ඔහුගේ යහපත් ගුණාංග ගැන කියාපාන බව තේරුම්ගත් දාවිත් ඒ දේවල් ගැඹුරින් කල්පනා කළා. දෙවි ගැනත් ඔහුගේ පුදුමාකාර ක්‍රියා ගැනත් හෙළි කළ ශුද්ධ ලියවිල්ලේ මුල් පොත් ඔහු සතුව තිබුණා. දෙවිගේ සිතුවිලි, ඔහුගේ ගුණාංග සහ ඔහුගේ අරමුණු තේරුම්ගැනීමට දාවිත්ට මේ ලියවිලි උපකාරවත් වුණා. මැවිල්ල ගැන ගැඹුරින් කල්පනා කිරීමෙනුත් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙනුත් දෙවි ඔහු සමඟ ක්‍රියා කළ ආකාරයෙනුත් ලැබූ අද්දැකීම් දෙවිට ප්‍රශංසා කිරීමට දාවිත්ව පෙලඹුවා.

ඇදහිල්ල ඇති කරගැනීමට නම් . . .

14. දෙවි කෙරෙහි ඇදහිල්ල ඇති කරගැනීම සඳහා ඔහු ගැන සියලුම දේ දැනගැනීම අවශ්‍ය නොවන්නේ මන්ද?

14 දෙවිගේ මැවිලි හා ශුද්ධ ලියවිලි ගැන දාවිත් වැඩි වැඩියෙන් කල්පනා කරද්දී ඔහු තේරුම්ගත් දෙයක් නම් යෙහෝවා දෙවිගේ ප්‍රඥාව හා ඔහුගේ හැකියාවන් මිනිස් මනසට ග්‍රහණය කරගැනීමට බැරි තරම් උතුම් බවයි. (ගීතාවලිය 139:6) අපේ අද්දැකීමත් එයමයි. දෙවිගේ සියලු පුදුමාකාර මැවිලි ගැන අපට සම්පූර්ණයෙන් දැනගැනීමට කිසිදාක හැකි වන්නේ නැහැ. (දේශනාකාරයා 3:11; 8:17) නමුත් එදා මෙදා තුර සිටි දෙවි ගැන සත්‍යය දැනගැනීමට කැමති අයට දෙවි ශුද්ධ ලියවිල්ල හා මැවිල්ල තුළින් ඇති තරම් සාක්ෂි සපයා තිබෙනවා. එම සාක්ෂි අවබෝධ කරගෙන ඇදහිල්ල ගොඩනඟා ගැනීමට ඔවුන්ට හැකියි..—රෝම 1:19, 20; හෙබ්‍රෙව් 11:1, 3.

15. අපේ ඇදහිල්ල හා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න.

15 දෙවි කෙරෙහි ඇදහිල්ලක් ඇති කරගැනීමට ජීවය හා විශ්වය බිහි කළ ඉතා බුද්ධිමත් කෙනෙක් සිටිනවා කියා පිළිගැනීම පමණක්ම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා දෙවි ජීවමාන කෙනෙක් බව විශ්වාස කිරීමත් අත්‍යවශ්‍යයි. අප ඔහුව හඳුනාගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වනවාට ඇත්තටම දෙවි කැමතියි. (යාකොබ් 4:8) අපි මෙය උදාහරණයකින් පැහැදිලි කරගනිමු. පියෙක් තම දරුවාට දක්වන ආදරය ගැන සැක කරන කෙනෙක් ඒ දරුවාට කරදරයක් වූ විටක පියා උදව් කරන එකක් නැහැයි කියා පවසන්න ඉඩ තිබෙනවා. තමන්ට පියා විශ්වාසයි කියා ඔහුට ඒ මොහොතේම ඔප්පු කරන්න සාක්ෂි නොතිබෙන්න පුළුවන්. එහෙත් කාලයක් පුරා පියා සමඟ ගත කිරීමෙන් පසු පියාගේ ගුණාංග ගැන හොඳින්ම දැන සිටින ඒ දරුවාට තම පියාව සියයට සියයක්ම විශ්වාසයි. ඒ හා සමානව, යෙහෝවා දෙවි ගැන බයිබලයෙන් ඉගෙනගැනීමෙන්, ඔහුගේ මැවිලි ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙන් හා අපගේ යාච්ඤාවලට දෙවි සවන් දුන් ආකාරය මතක් කරගැනීමෙන් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට අපට හැකි වී තිබෙනවා. දෙවිව වඩ වඩා දැනගැනීමටත් ඔහුට සදාකාලයටම ප්‍රශංසා කිරීමටත් අපව පොලඹවන්නේ ඔහු කෙරෙහි තිබෙන ප්‍රේමය හා භක්තියයි. අප හැමෝටම අත් කරගත හැකි වටිනාම දේ එයයි.—එෆීස 5:1, 2.

මැවුම්කරුගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න

16. යෙහෝවා දෙවි සමඟ දාවිත්ට තිබූ මිත්‍රත්වයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

16 “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවත දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වද දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ ඇද්දැයි බලා මට සදහටම මඟ පෙන්වන්න.” (ගීතාවලිය 139:23, 24, NW) තමා කරන කියන හිතන පතන සෑම දෙයක්ම යෙහෝවා දෙවි හොඳින් දැන සිටින බව දාවිත් තේරුම් ගත්තා. (ගීතාවලිය 139:1-12; හෙබ්‍රෙව් 4:13) කුඩා දරුවෙක් තම ආදරණීය දෙමාපියන්ගේ තුරුළේ ලබන රැකවරණය මොන තරම්ද! යෙහෝවා දෙවි ගැන දාවිත්ට තිබූ ගැඹුරු අවබෝධය නිසා ඔහුටත් එවැනිම රැකවරණයක් දැනුණා. දෙවි සමඟ තිබූ මිත්‍රත්වය බොහෝ සෙයින් අගය කළ දාවිත්ට එය දිගටම පවත්වාගැනීමට දැඩි ඕනෑකමක් තිබුණා. ඔහු එසේ කළේ දෙවිගේ ක්‍රියා ගැන ගැඹුරින් මෙනෙහි කිරීමෙන් හා නොකඩවා යාච්ඤා කිරීමෙනුයි. දාවිත් ලියූ බොහෝ ගීතිකාවලට ඇතුළත් වන්නේ යාච්ඤායි. මෙයට 139වෙනි ගීතිකාව කදිම උදාහරණයක්. මෙනෙහි කිරීම හා යාච්ඤාව යෙහෝවා දෙවිට ළංවීමට අපටත් උපකාර වෙනවා.

17. (අ) දාවිත් තමන්ගේ සිත යෙහෝවා දෙවිට පරීක්ෂා කර බලන්න කියා පැවසුවේ ඇයි? (ආ) අපට තීරණ ගැනීමේ නිදහස තිබුණද එය අපේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?

17 දෙවිගේ ස්වරූපයෙන් අපව මවා තිබෙන නිසා අපට තීරණ ගැනීමේ නිදහස තිබෙනවා. මේ නිසා අපට හොඳ හෝ නරක තෝරාගෙන ඒ අනුව ක්‍රියා කිරීමට හැකියි. එහෙත් තීරණ ගැනීමට තිබෙන නිදහස සමඟ අප කරන කියන දේවල් ගැන ගණන් දීමක්ද කළ යුතුයි. හිත් වේදනා ගෙන දෙන වැරදිවලින් වැළකී සිටීමට දාවිත්ට වුවමනා වුණා. ඒ වගේම තමන්ව දුෂ්ටයන්ගේ ගණයට වැටෙනවාට ඔහු කොහොමටවත් කැමති වුණේ නැහැ. (ගීතාවලිය 139:19-22) යෙහෝවා දෙවිට සියලු දේ දැකිය හැකි බව තේරුම්ගත් දාවිත් ඉතා යටහත් පහත්ව දෙවිගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ හද පත්ලේ සැඟවී ඇති තම සිතුවිලි පරීක්ෂා කර ජීවනයට යන මාර්ගයේ තමන්ව ගෙන යන ලෙසයි. දෙවිගේ ප්‍රතිපත්ති අප සෑම කෙනෙකුටම අදාළ වෙනවා. ඒ නිසා අපි හැමෝම හරි තීරණ ගත යුතුයි. එසේ කරයි කියා යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එසේ කිරීමෙන් දෙවිගේ අනුමැතිය ලැබෙන අතර බොහෝ ප්‍රයෝජනද අත් වෙනවා නිසැකයි. (යොහන් 12:50; 1 තිමෝති 4:8) යෙහෝවා දෙවි සමඟ දිගටම ගමන් කිරීමෙන් දරුණු පීඩා ප්‍රශ්න හමුවේ පවා අපේ සිතේ සාමය ඇතිව ක්‍රියා කිරීමට අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:6, 7.

සියල්ලේ නිර්මාතෘව අනුකරණය කරමු

18. මැවිල්ල දෙස බලා මෙනෙහි කළ දාවිත් පැමිණි නිගමනය කුමක්ද?

18 දාවිත් තරුණ එඬේරෙකු ලෙස වැඩි කාලයක් ගත කළේ එළිමහනේයි. එවැනි බොහෝ අවස්ථාවලදී ඔහු රාත්‍රි අහස දෙස බලා ඒ සෑම දෙයකින්ම දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන ආකාරය ගැන කල්පනා කළා. “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ඔහු දෑතින් කළ දේ ගැන ගුවන් තලය පවසයි. සෑම දිවා කාලයක්ම මේ ගැන පවසයි. සෑම රාත්‍රියක්ම දැනුම ප්‍රකාශ කරයි.” (ගීතාවලිය 19:1, 2, NW) මේ සියල්ලක්ම පුදුමාකාර ලෙස මැවූ තැනැත්තා ගැන සොයා බැලීමටත් ඔහුව අනුකරණය කිරීමටත් අවශ්‍ය බව දාවිත් වටහාගත්තා. අපිත් එසේම කරමු.

19. තමන්ව “පුදුමාකාර ලෙස සාදා” තිබෙන නිසා තරුණ මහලු සැමට ඉගෙනගත හැක්කේ කුමක්ද?

19 දාවිත් තරුණයෙක්ව සිටි අවදියේදීත් තම මැවුම්කරුව සිහි කළා. තම පියාගෙන් උගත් මේ දේ තරුණයන්ගේ දිරිගැන්වීම පිණිස සාලමොන් රජ මෙසේ ලියා තැබුවා. “යොවුන් වියේදී ඔබේ උදාර මැවුම්කරුව අමතක නොකරන්න. . . . සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” (දේශනාකාරයා 12:1, 13, NW) තමාව “පුදුමාකාර ලෙස සාදා” තිබෙන බව දාවිත් තමන්ගේ යෞවන කාලයේදීම තේරුම්ගත්තා. මේ දැනගැන්මට අනුව ජීවත් වීමෙන් දාවිත්ට ඔහුගේ ජීවිත කාලය පුරාම මහත් ප්‍රයෝජන ලැබුණා. අප තරුණ වුණත් මහලු වුණත් අපි අපේ උදාර මැවුම්කරුට ප්‍රශංසා කරමින් ඔහුට සේවය කරනවා නම් වර්තමානයේදී මෙන්ම අනාගතයේදීද අපේ ජීවිතය ප්‍රීතිමත් එකක් වෙනවාට සැකයක් නැහැ. යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගනිමින් ඔහුගේ ප්‍රමිති පිළිපදින අයට බයිබලය මෙසේ පොරොන්දු වෙනවා. ‘යෙහෝවා දෙවි අවංක බව පවසමින් ඔවුහු මහලු වයසේදී සඵල වෙමින් සාරවත් වන්නෝය. සශ්‍රීක වන්නෝය.’ (ගීතාවලිය 92:14, 15) අපේ මැවුම්කරුගේ පුදුමාකර මැවිලි සැමදා භුක්ති විඳීමේ ප්‍රීතිමත් අපේක්ෂාව අප ඉදිරියෙහි තිබෙනවා. එය කිසිදා අමතක නොකරමු.

[පාදසටහන්වල]

^ 1 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ 2004 ජූලි 8 පිබිදෙව්! කලාපය බලන්න.

^ 6 ඡේ. වැඩි විස්තර සඳහා 1997 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ “ඔබේ වකුගඩු ජීවිතය සුරැකීමට පෙරහනක්” නමැති ලිපිය බලන්න.

^ 13 ඡේ. ගීතාවලිය 139:18ආ කොටසෙහි දාවිත් පැවසූ දෙයින් ඔහු අදහස් කරන්නට ඇත්තේ ඔහු නින්දට යන තුරු මුළු දවස පුරාම දෙවිගේ අදහස් ගණන් කළත් පසුවදා අවදි වෙලත් ගණන් කරන්න තව බොහෝ දේ ඔහුට ඉතුරුව තිබුණා යන්නයි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• අපව “පුදුමාකාර ලෙස සාදා” තිබෙන බව කලලය වැඩෙන ආකාරයෙන් පෙනෙන්නේ කෙසේද?

• යෙහෝවා දෙවි සිතන ආකාරය ගැන අප ගැඹුරින් කල්පනා කළ යුත්තේ ඇයි?

• අපේ ඇදහිල්ල හා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අතර ඇති සම්බන්ධය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

බිලිඳෙකු මව් කුස තුළ වැඩෙන්නේ පෙර සැලසුමකට අනුවයි

DNA

[හිමිකම් විස්තර]

Unborn fetus: Lennart Nilsson

[24වන පිටුවේ පින්තූරය]

ආදරණීය පියෙකුව විශ්වාස කරන දරුවන් මෙන් අපිටත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා

[25වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ පුදුමාකාර ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීම මගින් ඔහුට ප්‍රශංසා කිරීමට දාවිත් පෙලඹුණා