අර්න්ස්ට් ග්ලූක් අතගැසූ දැවැන්ත කාර්යය
අර්න්ස්ට් ග්ලූක් අතගැසූ දැවැන්ත කාර්යය
මීට අවුරුදු 300කට පමණ පෙර ජීවත් වූ අර්න්ස්ට් ග්ලූක් නම් තැනැත්තා වැඩිදෙනෙක් අතනොගැසූ කාර්යයක් පටන්ගත්තා. එම කාර්යය නම් ඔහු නොදැන සිටි භාෂාවකට බයිබලය පරිවර්තනය කිරීමයි.
ග්ලූක් 1654දී පමණ ඉපදුණේ ජර්මනියේ හාලෙහි පිහිටි කුඩා නගරයකයි. ඔහුගේ පියා ලූතරන් පල්ලියේ පූජකයෙක් වුණා. ආගමට ලැදි පවුලක ඇති දැඩි වූ ග්ලූක් දෙවි ගැන ඉගෙනගැනීමට කුඩා කාලයේ පටන් දැක්වූවේ මහත් උනන්දුවක්. වයස අවුරුදු 21ක් වූ විට ඔහු ජර්මනියේදී ආගම ගැන ගැඹුරින් හදාරා වර්තමානයේ ලැට්වියා නමින් හඳුන්වන නගරයේ පදිංචියට ගියා. ඒ කාලයේදී ඒ රටේ බොහෝදෙනෙක් අධ්‍යාපනය ලබා තිබුණේ නැහැ. ලැට්වියන් භාෂාවෙන් තිබුණේ පොත් පත් කිහිපයක් පමණයි. මේ ගැන ග්ලූක් සඳහන් කළේ මෙසේයි. “මම තරුණ කාලේ ලැට්වියාවට ආපු දවස්වල මම දැක්ක එක අඩුවක් තමයි, ලැට්වියන් භාෂාවෙන් බයිබලයක් නොතිබීම. . . . ඒ හින්දා මේ භාෂාව හොඳට ඉගෙනගන්න මම දෙවි ඉදිරියේ අදිටන් කරගත්තා.” ලැට්වියාවේ ජනයාට ඔවුන්ගේම භාෂාවෙන් සම්පූර්ණ බයිබලයම කියවීමේ අවස්ථාව ලබා දීමට ඔහු තීරණය කළා.
පරිවර්තනයට සූදානම් වීම
ග්ලූක් ජීවත් වූ ප්‍රදේශය එදා හැඳින්වූයේ ලිවෝනියාව කියායි. එමෙන්ම එය පාලනය කළේ ස්වීඩනය විසිනුයි. ස්වීඩනයේ රජ එහි ඔහුගේ නියෝජිතයා හැටියට පත් කළේ එහි වැසියෙකු වූ යොහානස් ෆිෂර් නම් තැනැත්තාවයි. අධ්‍යාපනය දියුණු කිරීමටත් මුදල් ඉපයීමටත් ඔහු තුළ මහත් උනන්දුවක් තිබුණා. ග්ලූක් ලැට්වියන් භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ අදහස ෆිෂර්ට ඉදිරිපත් කළා. ෆිෂර්ට රිගා නම් අගනුවර මුද්‍රණාලයක් තිබුණා. ලැට්වියන් භාෂාවෙන් බයිබලය මුද්‍රණය කිරීමෙන් අධ්‍යාපනය දියුණු කිරීමට මෙන්ම මුදල් ඉපයීමටද වූ ඔහුගේ අරමුණ ඉටු කරගැනීමේ අවස්ථාව ඔහුට විවෘත වුණා. ඔහු ස්වීඩනයේ XIවන චාල්ස් රජුගෙන්
බයිබලය පරිවර්තනය කිරීම සඳහා අවසර ඉල්ලුවා. රජ ඊට අවසර දුන්නා පමණක් නොව ඒ සඳහා මුදල්ද ලබා දීමට කැමැත්ත පළ කළා. රජු විසින් 1681 අගෝස්තු 31වනදා සම්මුතියක් අත්සන් කිරීමත් සමඟම පරිවර්තන කටයුතු ආරම්භ කෙරුණා.එම අවසර ලැබෙන තෙක් ග්ලූක් පරිවර්තනය සඳහා සූදානම් වෙමිනුයි සිටියේ. ජර්මනියේ උපත ලැබූ කෙනෙකු හැටියට ඔහු ලැට්වියානු බයිබලය පරිවර්තනය කිරීමේදී මාර්ටින් ලූතර්ගේ පරිවර්තනයද යොදාගන්න ඇති. නමුත් ග්ලූක් මහත් උනන්දුවක් දැක්වූයේ එවකට තිබූ හොඳම පර්වර්තනය බිහි කිරීමටයි. ඒ සඳහා බයිබලය මුලින්ම ලියන ලද හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවලින් ලැට්වියන් භාෂාවට පරිවර්තනය කළ යුතුයි කියා ඔහු තීරණය කළා. ඒ භාෂා දෙක ගැන ඔහුට හොඳ දැනුමක් නොතිබූ නිසා ඒවා ඉගෙනගැනීමට ඔහු ජර්මනියේ හැම්බර්ග් නගරයට ගියා. ඔහු එහි සිටි කාලයේදී ඔහුට ලිවෝනියානු ජාතික පූජකයෙකු හමු වූ බව පෙනී යනවා. ලැට්වියන් භාෂාව මෙන්ම බයිබලය ලියා තිබූ ග්‍රීක භාෂාවද ඉගෙනගැනීමට ග්ලූක්ට ඔහුගෙන් මහත් උපකාරයක් ලැබෙන්න ඇති කියා සිතිය හැකියි.
දැරූ වෙහෙසේ ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටින්න සිදු වෙයි
භාෂාව ඉගෙනගැනීමෙන් පසු ග්ලූක් 1680දී ආපසු ලැට්වියාවට පැමිණ දේවගැතියෙකු ලෙස සේවය කිරීමට පටන්ගත්තා. වැඩි කලක් යන්න කලින් ඔහු බයිබලය ලැට්වියන් භාෂාවට පරිවර්තනය කිරීමට පටන්ගත්තා. වර්ෂ 1683දී ඔහුට විශාල ප්‍රදේශයක් භාර දේවගැතියෙකු ලෙස නව පත්වීමක් ලැබුණා. ඔහු බයිබලය පරිවර්තනය කළේ එහි පිහිටි නගරයක සිටයි.
බයිබලයේ සඳහන් යෙදුම් හා සංකල්ප සඳහා ඒ කාලයේදී ලැට්වියන් භාෂාවේ වචන තිබුණේ නැහැ. මේ නිසා ග්ලූක් පරිවර්තනයේදී සමහර ජර්මන් වචන භාවිත කළා. බයිබලය ලැට්වියන් භාෂාවට පරිවර්තනය කිරීමේදී ඔහුට හැකි උපරිමය ඔහු කළා. ඔහු හොඳ පරිවර්තනයක් කළ බව විද්වතුන් පිළිගන්නවා. ඔහු ලැට්වියන් භාෂාවට අලුත් වචන පවා හඳුන්වා දුන් අතර එම වචනවලින් සමහරක් අදත් ලැට්වියාවේ බහුලව භාවිත කරනු ලබනවා. “උදාහරණය,” “මංගල්‍යය,” “යෝධයා” හා “ඔත්තු බැලීම” වැනි වචන සඳහා අද තිබෙන ලැට්වියන් වචන මුලින්ම හඳුන්වා දුන්නේ ඔහුයි.
යොහානස් ෆිෂර් පරිවර්තන කටයුතුවල ප්‍රගතිය ගැන ස්වීඩනයේ රජුට කලින් කලට දැනුම් දුන්නා. ඔහු රජු සමඟ හුවමාරු කළ ලිපිවලින් පෙනී යන්නේ ග්ලූක් 1683වන විට ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලි පරිවර්නතය අවසන් කර තිබූ බවයි. තමන් අතගැසූ දැවැන්ත කාර්යය නිමාවට පත් කරමින් ග්ලූක් 1689දී සම්පූර්ණ බයිබලයම ලැට්වියන් භාෂාවට පරිවර්තනය කළා. * නමුත් ආණ්ඩුව විසින් ලැට්වියන් බයිබලය මහජනයාට බෙදාහැරීමට අවසර දෙනු ලැබුවේ 1694දීයි. මේ නිසා මෙය ප්‍රකාශයට පත් කිරීම සඳහා සෑහෙන කාලයක් බලා සිටීමට සිදු වුණා.
බයිබලය ලැට්වියන් භාෂාවට පරිවර්තනය කිරීමට ග්ලූක්ට කාගෙවත් උපකාරයක් ලැබුණේ නැද්ද කියා ඇතැම් ඉතිහාසඥයන් සැක පහළ කර තිබෙනවා. ඔහු ලූතර්ගේ පරිවර්තනය ඒ සඳහා යොදාගත් බවට නම් සැකයක් නැහැ. එමෙන්ම එවකට ලැට්වියන් භාෂාවට පරිවර්තනය කර තිබූ බයිබලයේ ඇතැම් කොටස්වල යම් සකස් කිරීම් කර ඔහු ඒවා තම පරිවර්තනයට ඇතුළත් කළා. කෙසේවෙතත් එවැනි උපුටාගැනීම් තිබෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. තවත් පරිවර්තකයන් ඊට හවුල් වුණාද? ග්ලූක්ට පරිවර්තන කටයුතුවලට සහය වීමට සිටියේ එක් සහයකයෙක් පමණයි. අනිත් අය කළේ සෝදුපත් කියවීම හා එහි ගුණාත්මකභාවය ගැන සොයා බැලීමයි. එහෙත් ඔවුන් කෙළින්ම පරිවර්තනයට හවුල් වූ බවක් පෙනෙන්න නැහැ. මේ නිසා මෙම බයිබලයේ එකම පරිවර්තකයා හැටියට සැලකිය හැක්කේ ග්ලූක්ව පමණයි.
ග්ලූක්ගේ පරිවර්තනය ලිඛිත ලැට්වියන් භාෂාවේ දියුණුවට මහත් පිටිවහලක් වුණා. එහෙත් ඊටත් වඩා වැදගත් දෙය නම් ලැට්වියාවේ ජනයාට ඔවුන්ගේම භාෂාවෙන් දේවවචනය කියවා ජීවනයට මඟ සලසන දැනුම ලබාගැනීමට හැකිවීමයි. අර්න්ස්ට් ග්ලූක් ඔවුන් වෙනුවෙන් කළ දෙය ලැට්වියාවේ ජනයා අමතක කර නැහැ. බයිබලය ලැට්වියන් භාෂාවට කළ පරිවර්තනය සිහි කිරීම සඳහා ඔහු ඕක් ගස් දෙකක් සිටෙව්වා. ලැට්වියාවේ ජනයා ඒ ගස් දෙක අවුරුදු 300කට වැඩි කාලයක සිට අද දක්වා රැකබලා ගන්නේ මහත් ආශාවකින්. ඔහු බයිබලය පරිවර්තනය කළ නගරයේ කුඩා කෞතුකාගාරයක විවිධ බයිබල් පරිවර්තන තැන්පත් කර තිබෙනවා. මේවා අතර ග්ලූක්ගේ පරිවර්තනයේ මුල්ම මුද්‍රණයේ පිටපතක්ද දැකිය හැකියි. එම නගරයට ගියොත් මෙම බයිබලය සමඟ 1689 වසර සඳහන් සංකේතයක් දකින්න පුළුවන්. එම සංකේතය ඔහුට අයිති එකක්. ඔහු මෙම පරිවර්තනය නිම කළේ ඒ වසරේදීයි.
ඔහුගේ පසුකාලීන කෘති
පසුව ග්ලූක් රුසියානු භාෂාවද ඉගෙනගත්තා. බයිබලය ඒ භාෂාවටද පරිවර්තනය කිරීම තමන්ගේ ඊළඟ ආශාව බව ඔහු 1699දී සඳහන් කළා. ඔහු 1702දී ලියූ ලිපියක සඳහන් වූ පරිදි ලැට්වියන් බයිබලය යළි සංශෝධනය කිරීමටද ඔහු පටන්ගෙන තිබුණා. එහෙත් බයිබලය පරිවර්තනය කිරීම සඳහා එතෙක් පැවති හිතකර පරිසරය නැති වී ගියා. දිගු කාලයක් පුරා පැවති සාමකාමී කාලය පහ වී ගොස් ලැට්වියාව යුධ පිටියක් බවට පත් වුණා. වර්ෂ 1702දී රුසියානු හමුදාව ලැට්වියාවේ පාලනය ස්වීඩනයෙන් පැහැරගත්තා. ග්ලූක්ව ඔහුගේ පවුලේ අය සමඟ රුසියාවට පිටුවහල් කළා. * ඒ බිහිසුණු කාලයේදී ඔහු සංශෝධනය කළ ලැට්වියන් බයිබලයේ සහ ඔහුගේ රුසියානු පරිවර්තනයේ අත්පිටපත් නැති වුණා. අවසානයේදී ඔහු මොස්කව්හිදී 1705දී මිය ගියා.
ලැට්වියන් හා රුසියානු භාෂාවෙන් පසු කලක කළ බයිබල් පරිවර්තනයන්වල පිටපත් නැති වී යෑම මහත් පාඩුවක්. කෙසේවෙතත් අද ලැට්වියන් බයිබලය කියවන අය ග්ලූක්ගේ මුල්ම පරිවර්තනයෙන් ප්‍රයෝජන ලබනවා.
අර්න්ස්ට් ග්ලූක් බයිබලය පරිවර්තනය කිරීමේ දැවැන්ත කාර්යයට අතගැසූ බොහෝදෙනෙක් අතරින් එක් කෙනෙක් පමණයි. ඔවුන් අතගැසූ කාර්යයේ ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ සෑම ජන පිරිසකටම දේවවචනය කියවා එහි තිබෙන අනර්ඝ සත්‍යයන් දැනගැනීමට හැකි වී තිබෙනවා. භාෂා 2,000කට වැඩි ගණනකට බයිබලය පරිවර්තනය කර තිබීමෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ලෝකයේ සෑම තැනකම වාසය කරන සියලුදෙනාටම තමන් ගැන දැනගැනීමට ප්‍රස්තාවක් දී තිබෙන බව නොවේද!
[පාදසටහන්වල]
^ 10 ඡේ. එහෙත් වර්ෂ 1611දී ප්‍රකාශයට පත් කළ කිං ජේම්ස් වර්ෂන් බයිබලය සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීම සඳහා විද්වතුන් 47දෙනෙකු හවුල් වෙලත් අවුරුදු හතක් ගත වුණා.
^ 14 ඡේ. ග්ලූක් දරුකමට හදාගත් දියණියව ඔහුගේ මරණින් පසු රුසියාවේ අධිරාජ්‍යයා වූ මහ පීටර් සාර් විසින් විවාහ කරගත්තා. මහ පීටර් සාර් 1725දී මිය යෑමෙන් පසුව ඇය රුසියාවේ අධිරාජ්‍යවරිය බවට පත් වුණා.
[13වන පිටුවේ පින්තූරය]
ග්ලූක්ගේ පරිවර්තනය
[14වන පිටුවේ පින්තූරය]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ග්ලූක් බයිබලය පරිවර්තනය කළ නගරයේ ජනයාට බයිබලය ගැන උගන්වයි