Skip to content

පටුනට යන්න

ඒ මේ අත ගසාගෙන යන සාරධර්ම

ඒ මේ අත ගසාගෙන යන සාරධර්ම

ඒ මේ අත ගසාගෙන යන සාරධර්ම

එක් ග්‍රීක ප්‍රබන්ධ කථාවක ඩයෝජිනිස් නම් මිනිසෙක් ගැන සඳහන් වෙනවා. ඔහු ක්‍රිස්තු පූර්ව හතර වන සියවසේ ග්‍රීසියේ ඇතන්ස් නගරයේ විසූ දාර්ශනිකයෙක්. ඔහු මහ දවාලේ ලන්තෑරුමක් අතැතිව ගුණගරුක කෙනෙක් සොයමින් පාරක් පාරක් ගානේ ඇවිද්ද බවත් ඔහුට එහෙම කෙනෙක් කිසිම දවසක හමු නොවුණු බවත් මේ ප්‍රබන්ධ කථාවේ කියවෙනවා.

මේ කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. ඒ වුණත් ඩයෝජිනිස් අද හිටියා නම් ගුණගරුක කෙනෙකුව සොයාගන්න එක එදාට වඩා අද දුෂ්කර එකක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඊට හේතුව වත්මන් සමාජය සම්මත සාරධර්ම නොසලකා හරින බවක් පෙනෙන්න තිබීමයි. මේ බව ආණ්ඩුවල මෙන්ම ක්‍රීඩා හා ව්‍යාපාරික වැනි ක්ෂේත්‍රවලද පැතිර පවතින වංචා දූෂණවලින් පැහැදිලියි. පවුල තුළද එවැනි තත්වයක් තිබීම කනගාටුදායකයි. එදා අපේ දෙමාපියන්ගේ කාලේ ඉහළින් අගය කළ සාරධර්ම අද බොහෝදෙනෙක් ගණන් ගන්නේ නැහැ. එවන් සාරධර්ම අදට ගැළපෙන්නේ නැත්නම් ඒවා අහක දමනවා. තවත් සමහර සාරධර්ම වචනයට පමණක් සීමා වෙලා.

“සියලු මිනිසුන් සම්මතයක් හැටියට හොඳයි කියා පිළිගත් සාරධර්ම තවදුරටත් දකින්න නැහැ. තමන්ගේ ජීවිතවලට මඟ පෙන්වීමක් ලබා දීමට කිසිම කෙනෙකුට නොහැකිය යන මතය වෙන කවරදාකටත් වඩා අද කාලයේ ප්‍රචලිතව තිබෙන බව” ආගමික විශාරදයෙක් වන ඇලන් වොල්ෆ් පැවසුවා. (Los Angeles Times Jonathan Glover) එමෙන්ම පසු ගිය වසර 100 තුළ මෙතරම් කුරිරු සැහැසියාවකට හේතු වූයේ ආගමික සහ පිළිගත් සාරධර්මවල බිඳ වැටීමයයි කියාද වාර්තා වෙනවා.

සාරධර්ම ගැන විවිධ මති මතාන්තර තිබුණත් හරි වැරැද්ද පිළිබඳ නිවැරදි ප්‍රමිතිය සොයා බැලීමට තවමත් සමහරුන් කැමතියි. යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වන ෆෙඩරිකෝ මේයර් පැවසුවේ “මුළු ලෝකයම හරි වැරැද්ද පිළිබඳ ස්ථිර ප්‍රමිතියක් ගැන පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා” කියායි. නමුත් පොදුවේ මිනිසුන් හරි වැරැද්ද අතර වෙනස හඳුනා නොගත් පමණින් හරි ප්‍රමිතියක් නැතැයි යන්න අදහස් නොවෙයි.

හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිති හැමෝම එක සේ පිළිගන්නේ නැහැ. අද බොහෝදෙනෙක් හිතන්නේ හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිති තත්වයන්වලට අනුව හා සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන බවයි. මේ මතය වඩා යහපත් අය වෙන්න හෝ සාදාචාර සම්පන්න අය වෙන්න මිනිසාට උපකාරවත් වී නැහැ.

ඉතිහාසඥයෙක් වන පෝල් ජොන්සන් පැවසුවේ ඉහත සඳහන් මතය ‘මිනිසුන්ගේ ප්‍රතිපත්ති බාල කිරීමටත් හරි වැරැද්ද පිළිබඳව ඔවුන්ට තිබෙන වගකීම් මඟහැරීමටත් හේතු වී තිබෙනවා’ කියායි. විශේෂයෙන්ම මෙය සිදු වී තිබෙන්නේ 20වන සියවසේ සිටයි.

එසේනම් ‘හරි වැරැද්ද පිළිබඳ එකම සම්මත නීති මාලාවක්’ සොයාගෙන හැමෝටම ඒ අනුව ජීවත් වන්න පුළුවන්ද? අපේ ජීවිතයට ස්ථාවරයක් ලබා දෙමින් අනාගතයට බලාපොරොත්තුවක් එක් කරන, කාලය සමඟ වෙනස් නොවන සාරධර්ම පද්ධතියක් ලබා දීමට හැකි පොතක් තිබෙනවාද? අපට ඊළඟ ලිපියෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න පුළුවන්.