Skip to content

පටුනට යන්න

කිසිදා වෙනස් නොවන සාරධර්ම

කිසිදා වෙනස් නොවන සාරධර්ම

කිසිදා වෙනස් නොවන සාරධර්ම

හැම මිනිස් සමාජයකටම ආවේණික වූ ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, අවංකකම, කාරුණිකබව, සානුකම්පාව සහ පරාර්ථකාමිත්වය වැනි සිත්ගන්නාසුලු ගුණාංග අගය නොකරන කෙනෙක් මිහිපිට සිටිනවාද?

උසස් සාරධර්ම කාගෙන්ද?

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ සිටි උගත් මනුෂ්‍යයෙකු වූ සාවුල් ජීවත් වුණේ යුදෙව්, ග්‍රීක හා රෝම යන විවිධ සංස්කෘතීන් යටතෙයි. එම සංස්කෘතීන්ටම ආවේණික වූ සාරධර්ම පෙළක් හා නීති පද්ධතියක් තිබුණා. ඒවා කොතරම් සංකීර්ණ වුවත් සාවුල් තේරුම්ගත් එක් දෙයක් නම්, පොදුවේ මිනිසුන්ට හරි වැරැද්ද තේරුම්ගැනීමට සහජයෙන්ම හැකියාවක් තිබුණු බවයි. ඒ සහජ හැකියාව නම් අපේ හෘදය සාක්ෂියයි. සාවුල් ක්‍රිස්තියානි කෙනෙකු වීමෙන් පසු ඔහුව හැඳින්වූයේ පාවුල් කියායි. ඔහු මෙසේ පැවසුවා. “මන්ද නීතිය නොමැති ජාතීන් ස්වභාවයෙන්ම [“සහජයෙන්ම,” නව අනුවාදය] නීතියේ දේවල් කරන විට, නීතිය නොමැතිව සිටියත් ඔවුහු තමන්ටම නීතියක්ව සිටිති. ඔවුන්ගේම හෘදය සාක්ෂියද සාක්ෂි දරමින් ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ටම චෝදනා කරන විට හෝ ඔවුන්ව නිදොස් කරන විට නීතියේ සාරය ඔවුන්ගේ සිත්වල ලියා තිබෙන බව පෙන්වන්නේ ඔවුන්මය.”—රෝම 2:14, 15.

හරි වැරැද්ද තීරණය කිරීමේදී අපට “සහජයෙන්ම” ලැබී තිබෙන මඟ පෙන්වීම් පමණක්ම ප්‍රමාණවත්ද? ඉතිහාසය පුරාම අපට දකින්න තිබෙන මිනිසාගේ අසාර්ථකත්වයෙන් පැහැදිලි වන්නේ හරි වැරැද්ද නිසි ආකාරයෙන් තෝරාගෙන උසස් සාරධර්ම අනුව ජීවත් වීමට නම්, මිනිසාට වඩා බලවත් කෙනෙකුගේ මඟ පෙන්වීමක් අවශ්‍ය බවයි. බොහෝදෙනෙක් පිළිගන්නා ආකාරයට එවන් මඟ පෙන්වීම් සැපයීමට හැකි එකම තැනැත්තා මිනිසාගේ සෑදුම්කරුයි. “දෙවිගේ උපකාරය නැතුව මේ සමාජයෙන් එන පරීක්ෂාවලට මුහුණ දීමට තමන්ගේම හැකියාවෙන් නොහැකි බව” ආචාර්ය කාල් ජී. යුං පැවසුවා.—The Undiscovered Self.

ඔහුගේ නිගමනය පුරාණයේ විසූ අනාගතවක්තෘවරයෙකුගේ අදහසට එකඟයි. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23, පැරණි අනුවාදය) සියල්ලේ නිර්මාතෘ පවසන්නේ, ‘ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ දෙවි මමය’ කියායි.—යෙසායා 48:17.

රඳා පැවතිය හැකි සාරධර්ම

ඉහත සඳහන් වදන් උපුටාගෙන තිබෙන්නේ පුළුල්ව බෙදාහරින, සාරධර්මවලින් පිරි පොතක් වන ශුද්ධ බයිබලයෙන්. ලොව වටා සිටින ක්‍රිස්තියානි නොවන හා ආගමක් කෙරෙහි ලැදියාවක් නොදක්වන දශලක්ෂ ගණන් ජනයා දැනුම හා ඥානය ඉන් උකහාගෙන තිබෙනවා. ජර්මානු කවියෙකු (යොහාන් වුල්ෆ්ගෑන් වොන් ගොතේ) මෙසේ පැවසුවා. ‘මා බයිබලයට එතරම් ගරු කරන්නේ එහි ඇති සාරධර්ම පිළිපැදීමෙන් මම හොඳ මිනිසෙකු වූ නිසයි.’ හින්දු භක්තිකයෙකු වන මොහන්දාස් ගාන්ධි වරක් පැවසුවේ මෙසේයි. ‘කන්ද උඩ දේශනාවේදී [බයිබලයේ සඳහන් යේසුස්ගේ ඉගැන්වීම්වලින් කොටසක්] ඉගැන්වූ දේවල් දිය උල්පතකට සමාන කළ හැකියි. ඒ උල්පතින් අපි ඇති තරම් පානය කරනවා නම්, ඉන් ලැබෙන ප්‍රයෝජන අපටමයි.’

බයිබලය කියන්නේ රඳා පැවතිය හැකි සාරධර්ම අඩංගු පොතක් බව පාවුල් පැවසුවා. ඔහු සඳහන් කළේ “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමට ප්‍රයෝජනවත්ය” කියායි. (2 තිමෝති 3:16) එය සැබෑවක්ද?

ඔබටත් ඒ ගැන සොයා බලන්න පුළුවන්. ඊළඟ පිටුවේ සඳහන් කර ඇති බයිබල් ප්‍රතිපත්තිවලට කිට්ටු අවධානයක් දී ඉන් අත් කරගත හැකි ප්‍රයෝජන ගැන සිතා බලන්න. මෙම ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ඔබේ ජීවිතය වඩා යහපත් එකක් කරගැනීමටත් අන් අය සමඟ ඔබට තිබෙන සබඳතා වැඩි දියුණු කරගැනීමටත් හැකි ආකාරය ගැන ගැඹුරින් කල්පනා කර නොබලන්නේ ඇයි?

ඔබත් ප්‍රයෝජන ලබන්න කැමතිද?

ඊළඟ පිටුවේ සඳහන් වන්නේ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් පමණයි. මීට අමතරව අපේ සිතුවිලි, කතා බහ සහ ක්‍රියාවලට හානි පමුණුවන බොහෝ දේ ගැනද අනතුරු අඟවා තිබෙනවා.—හිතෝපදේශ 6:16-19.

මිනිස් සමාජයෙන් කිසිදා ලබාගත නොහැකි හොඳම සදාචාර ප්‍රමිති සපයන්නේ බයිබලය පමණයි. මෙම ඉගැන්වීම් පිළිගන්නා අය ඔවුන් සිතන ආකාරය වෙනස් කරගැනීම හේතුවෙන් තම ජීවිත යහපත් අතට වෙනස් කරගෙන තිබෙනවා. (එෆීස 4:23, 24) බයිබලයේ තිබෙන සාරධර්ම ඉගෙනගන්නා බොහෝදෙනෙකුට ඔවුන්ගේ හදවත්වලින් වෛරය, අගතිය, ජාති භේද වැනි නපුරු චේතනා මුලිනුපුටා දැමීමට හැකි වී තිබෙනවා. (හෙබ්‍රෙව් 4:12) සැහැසියාවෙන් හා දුෂ්ටකමින් මිදී යහපත් මිනිසුන් වීමට ඔවුන්ට උපකාරවත් වී තිබෙන්නේ බයිබල් සාරධර්මයි.

අන් අයගේ ජීවිතවලට හානි කරවන දරුණු ක්‍රියාවල නියැලුණු මිලියන ගණන් ජනයාට, ඔවුන් තුළ ගැඹුරට මුල් බැස තිබුණු එවැනි නරක පුරුදුවලින් මිදීමට හැකි වූයේ, බයිබලයේ සඳහන් සාරධර්ම ඉගෙනගැනීමෙන් පසුවයි. (1 කොරින්ති 6:9-11) බයිබල් ඉගැන්වීම් නිසා ඔවුන් වෙනස් කරගෙන තිබෙන්නේ ඔවුන්ගේ නරක පුරුදු පමණක්ම නොවෙයි. ඔවුන් ඔවුන්ගේ හදවත්, අපේක්ෂා හා පවුල් ජීවිත පවා වෙනස් කරගෙන තිබෙනවා. ලෝකය කොතරම් පිරිහීමකට ලක් වුණත්, ලොව වටා සිටින බොහෝදෙනෙක් ඔවුන්ගේ ජීවිත යහපත් අතට වෙනස් කරගෙන තිබෙන අතර මේ ප්‍රවණතාව කිසිදාක නවතින්නේ නැහැ. මේ ගැන බයිබලය පවසන්නේ මෙසේයි. “තණකොළ වියළෙයි; මල පරවේ; එහෙත් අපේ දෙවිගේ වචනය සදාකල් පවතින්නේය.”—යෙසායා 40:8.

ඔබත් ‘දෙවිගේ වචනයෙන්’ ප්‍රයෝජන ගන්න කැමතිද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සාරධර්ම ඔබට කියා දීමට ආශාවෙන් බලා සිටිනවා. මෙය ඔබේ ජීවිතයට බොහෝ ප්‍රයෝජන අත් කර දෙනවාට කිසිම සැකයක් නැහැ. එම සාරධර්ම පිළිපදිමින් ජීවත් වීමේ ප්‍රයෝජන මොනවාද? වර්තමානයේදී දෙවිගේ අනුමැතිය ලබන්නත්, කිසිදා වෙනස් නොවන සාරධර්ම රජයන දෙවිගේ පාලනය යටතේ සැමදා ජීවත් වන්නත් ඔබට හැකි වෙයි.

[6වන පිටුවේ කොටුව]

කිසිදා වෙනස් නොවන ප්‍රතිපත්ති

අන් අයට සැලකිය යුතු ආකාරය. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය මෙයයි.”—මතෙව් 7:12.

ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) “ප්‍රේමය, යමෙකුගේ අසල්වැසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමයෙන් නීතිය ඉටු වේ.”—රෝම 13:10.

අන් අයට ගෞරව කරන්න. “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

සාමකාමී වන්න. “එකිනෙකා අතර සමාදානය රකින්න.” (මාක් 9:50) “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.” (රෝම 12:18) “එබැවින්, සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු.”—රෝම 14:19.

සමාව දෙන්න. “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.” (මතෙව් 6:12) ‘එකිනෙකාට කරුණාවද, ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.’—එෆීස 4:32.

විශ්වාසවන්ත කෙනෙකු වන්න. ‘ඔබේ යෞවන කාලයේ භාර්යාව කෙරෙහි සතුටු වෙන්න. සැමදාම ඇගේ ආදරයෙන් ප්‍රීතිමත් වෙන්න. ඔබ අන් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රීතිමත් වන්නේ මක්නිසාද?’ (හිතෝපදේශ 5:15-20) “ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව කටයුතු කරන්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව කටයුතු කරන්නේය. ඉතා සුළු දේ ගැන අධර්මිෂ්ඨව කටයුතු කරන්නා මහත් දේ ගැනත් අධර්මිෂ්ඨව කටයුතු කරන්නේය.” (ලූක් 16:10) “භාරකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්තව සිටීමයි.”—1 කොරින්ති 4:2.

අවංක වන්න. “දුෂ්ට තරාදිය සහ හොර පඩි මල්ල මා ළඟ නම් පිරිසිදු වන්නෙම්ද?” (මීකා 6:11) “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමති හෙයින් අපට අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට ස්ථිරය.”—හෙබ්‍රෙව් 13:18.

සාධාරණ මෙන්ම සත්‍යවාදී වෙන්න. “නපුරට ද්වේෂ කරන්න; යහපතට ප්‍රේම කරන්න; දොරටුවේදී යුක්තිය ස්ථිර ලෙස පවත්වන්න.” (ආමොස් 5:15) “තම තමාගේ අසල්වාසියාට සියල්ලෝ සැබෑව කියන්න; ඔබේ දොරටුවලදී සැබෑකමෙත් සමාදානයෙත් යුක්තිය ඉෂ්ට කරන්න.” (සෙකරියා 8:16) “ඔබ දැන් බොරු කීම අත්හැර දමා තිබෙන හෙයින්, ඔබ එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.”—එෆීස 4:25.

කඩිසර වන්න. ‘තමාගේ වැඩවල කඩිසර කෙනෙක් දකින්නෙහිද? ඔහු රජුන් ඉදිරිපිට සිටින්නේය.’ (හිතෝපදේශ 22:29) “ඔබේ කාර්යයෙහි කම්මැළි නොවන්න.” (රෝම 12:11) “ඔබ කුමක් කළත්, මිනිසුන්ට නොව, යෙහෝවාට කරන්නාක් මෙන් මුළු හදවතින්ම එය කරන්න.”—කොලොස්සි 3:23.

මුදු මොළොක් වන්න, සානුකම්පිත වන්න, කාරුණික වන්න. “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.”—කොලොස්සි 3:12.

යහපතින් නපුර පරාජය කරන්න. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.” (මතෙව් 5:44) “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.”—රෝම 12:21.

දෙවි වෙනුවෙන් ඔබේ උපරිමය කරන්න. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය.”—මතෙව් 22:37, 38.

[පින්තූර]

බයිබලයේ සාරධර්ම පිළිපැදීමෙන් ප්‍රීතිමත් විවාහයක්, පවුලේ අය අතර කිට්ටු බැඳීමක් සහ හොඳ මිත්‍රත්වයන් පවත්වාගත හැකියි