පාවුල් පැරණි මිතුරන්ව හා සතුරන්ව හමු වෙයි
පාවුල් පැරණි මිතුරන්ව හා සතුරන්ව හමු වෙයි
සාවුල් ක්‍රිස්තියානියෙකු වීමෙන් පසු යෙරුසලමට පැමිණි මුල් අවස්ථාවේදී ඔහුට මහත් චකිතයක් දැනෙන්න ඇති. පසු කලෙකදී ඔහුව හැඳින්වූයේ පාවුල් කියායි. * ඔහු ක්‍රිස්තියානියෙකු වීමට අවුරුදු තුනකට කලින් යෙරුසලමෙන් පිට වී ගියේ යේසුස්ගේ ගෝලයන්ට තර්ජනය කිරීමේ හා ඔවුන්ව මරා දැමීමේ අරමුණ ඇතිවයි. දමස්කයේදී ඔහුට හමු වන සෑම ක්රිස්තියානියෙකුවම අල්ලාගෙන යෙරුසලමට ගෙනෙන්න ඔහුට බලය ලැබී තිබුණා.—ක්‍රියා 9:1, 2; ගලාති 1:18.
සාවුල් ක්‍රිස්තියානියෙකු වූ පසු, දෙවි විසින් නැවත නැඟිටවු ලැබූ යේසුස් කෙරෙහි තමා තැබූ ඇදහිල්ල ගැන නිර්භීතව කතා කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට දමස්කයේ සිටි යුදෙව්වන් ඔහුව මරා දමන්න තැත් කළා. (ක්‍රියා 9:19-25) යෙරුසලමේ සිටි ඔහුගේ කලින් මිතුරන් වූ යුදෙව්වන් තමන්ව සාදරයෙන් පිළිගනියි කියා සාවුල්ට බලාපොරොත්තු විය හැකි වුණාද? කෙසේවෙතත් සාවුල් වැඩියෙන්ම උනන්දු වුණේ යෙරුසලමේ සිටි යේසුස්ගේ ගෝලයන්ව හමුවීමටයි. එහෙත් එය ලෙහෙසි දෙයක් වූයේ නැහැ.
“ඔහු යෙරුසලමට පැමිණි විට ගෝලයන් හා එක් වන්න උත්සාහ කළත්, ඒ සියලුදෙනාම ඔහුට බිය වූහ. මන්ද, ඔහු ගෝලයෙකු වූ බව ඔවුහු විශ්වාස නොකළෝය” කියා බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 9:26) ගෝලයන් එසේ කළේ ඇයි කියා තේරුම්ගන්න පුළුවන්. ඔවුන් කලින් ඔහුව දැනගෙන සිටියේ ක්‍රිස්තියානීන්ට දරුණු ලෙස පීඩා කරන්නෙක් ලෙසයි. සාවුල් ක්‍රිස්තියානියෙකු වූයේ සභාවේ ඔත්තු බැලීම සඳහා කියන සැකය ඔවුන් තුළ තිබෙන්න ඇති. මේ නිසා යෙරුසලමේ විසූ ක්‍රිස්තියානීන් ඔහුව තබාගත්තේ අතේ දුරින්.
මේ අවස්ථාවේදී සාවුල්ගේ උපකාරයට පැමිණියේ බානබස්. ඔහු සාවුල්ව “ප්‍රේරිතයන්” හෙවත් යේසුස්ගේ මුල් ගෝලයන් ළඟට ගෙනාවා. සාවුල්ගේ හැරීම ගැනත් ඔහු දමස්කයේදී කළ දේශනා කිරීම ගැනත් බානබස් විශේෂයෙන්ම පේතෘස්ට (සීෆසට) සහ යේසුස්ගේ සහෝදරයා වූ යාකොබ්ට පවසන්න ඇති. (ක්‍රියා 9:27; ගලාති 1:18, 19) සාවුල්ව විශ්වාස කිරීමට බානබස්ට තිබූ සැබෑ හේතු ගැන බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. මොවුන් දෙදෙනා කලින් එකිනෙකාව දැන හඳුනාගෙන සිටියාද? පාවුල්ගේ වෙනස් වීම ගැන බානබස් දමස්කයේ සිටි ඔහු දැනහඳුනන සමහර ක්‍රිස්තියානීන් මාර්ගයෙන් දැනගෙන සිටියාද? ඇත්තටම පැවති තත්වය කුමක් වුණත් බානබස් සාවුල් කෙරෙහි තිබූ සියලුම සැක දුරු කරගෙන සිටි බව නම් පැහැදිලියි. පසුව සාවුල් පේතෘස් සමඟ දවස් 15ක් නතර වී සිටියා.
දවස් 15ක් පේතෘස් සමඟ නතර වී සිටියි
සාවුල්ට දේශනා කිරීම සඳහා පැවරුම කෙළින්ම ලැබුණේ යේසුස්ගෙන්. මේ නිසා මිනිසුන්ගෙන් ඒ සඳහා අවසර ගත යුතු වුණේ නැහැ. මේ බව ඔහු ගලාතිවරුන්ට ලියූ ලිපියේදී අවධාරණය කළා. (ගලාති 1:11, 12) කෙසේවෙතත්, යේසුස් පොළොවේ සිටි කාලයේදී කළ සේවය ගැන වැඩි විස්තර දැනගැනීමේ වැදගත්කම සාවුල් තේරුම්ගෙන තිබුණා. පේතෘස් සමඟ ගත කළ කාලය තුළ යේසුස් ගැන වඩාත් හොඳින් දැනගැනීමට ඔහුට හැකි වුණා. (ලූක් 24:12; 1 කොරින්ති 15:3-8) පේතෘස්ගෙන් හා යාකොබ්ගෙන් අසා දැනගැනීමට බොහෝ දේවල් සාවුල්ට තිබෙන්න ඇති. එමෙන්ම සාවුල් දුටු දර්ශනය හා ඔහුගේ හැරීම ගැන ඔවුන්ටත් ඔහුගෙන් අසන්න බොහෝ දේ තිබෙන්න ඇති.
කලින් මිතුරන් සාවුල්ව මරන්න තැත් කරයි
මුල්ම ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයා ලෙස සලකනු ලබන්නේ ස්තේපන්වයි. ඔහු “‘නිදහස ලැබූවන්ගේ සිනගෝගය’ ලෙස හැඳින්වූ සිනගෝගයෙන්ද, සිරේනියන්වරු හා ඇලෙක්සැන්ඩ්රියන්වරු අතරින්ද සිලීසියාවෙන් සහ ආසියාවෙන්ද ඇතැම් මිනිස්සු” සමඟ වාද කළා. දැන් සාවුල් නිර්භීතව සාක්ෂි දරමින් ‘ග්‍රීක බස කතා කරන යුදෙව්වරුන් සමඟ වාද කරනවා.’ ඔවුන් දැක්වූ ප්‍රතිචාරය මොන තරම් දරුණුද කියනවා නම් ඔවුන් සාවුල්ව මරන්න පවා තැත් කළා.—ක්‍රියා 6:9; 9:28, 29.
තමාගේ ජීවිතයේ සිදු වූ ප්‍රබල වෙනස ගැන පැහැදිලි කර දී, යේසුස් ගැන ඔවුන්ට පහදා දෙන්න සාවුල් උත්සාහ කළ බවට සැකයක් නැහැ. කෙසේවෙතත් ඔවුන් ඔහුව ද්‍රෝහියෙක් ලෙස සලකමින් සතුරුකම් පාන්න පටන්ගත්තා.
තමන් සිටි අනතුරුදායක තත්වය ගැන සාවුල් වටහාගෙන සිටියාද? දේවමාලිගාවේ යාච්ඤා කරමින් සිටියදී ඔහු සිහි මූර්ඡා වූ බවත්, යේසුස්ව දර්ශනයකින් දුටු බවත් බයිබල් වාර්තාවේ අපිට කියවීමට තිබෙනවා. “පමා නොවී, ඉක්මනින් යෙරුසලමෙන් පිටත් වන්න. මන්ද, මා ගැන ඔබ දෙන සාක්ෂිය ඔවුහු නොපිළිගන්නෝය” කියා යේසුස් ඔහුට පැවසුවා. ඉන්පසු සාවුල්, “ස්වාමිනි, මා සිනගෝගයක් සිනගෝගයක් පාසා ඔබව අදහාගත් අයව කලින් සිරගත කළ බවත් තැළූ බවත් ඔවුහු හොඳින්ම දනිති. එමෙන්ම, ඔබේ සාක්ෂිකරු වූ ස්තේපන්ගේ ලේ වැගිරවූ විට, මමත් ළඟ සිට එය අනුමත කරමින්, ඔහුව නැති කර දැමූ අයගේ පිට වස්ත්‍ර මුර කළෙමි” කියා යේසුස්ට පැවසුවා.—ක්‍රියා 22:17-20.
එම වචනවලින් පෙනී යන්නේ සාවුල් ඔහු සිටි අනතුරුදායක තත්වය තේරුම්ගෙන සිටි බවයි කියා ඇතමුන් සිතනවා. පාවුල් මෙවැනි යමක් පවසන්න ඇතැයි කියා තවත් සමහරුන් සිතනවා. ‘මමත් ඔවුන් වගේ ක්‍රිස්තියානීන්ට කාලයක් පීඩා කෙරුවා. ඔවුන් ඒක හොඳින්ම දන්නවා. මගේ හැරීම ගැන ඔවුන් බැරෑරුම්ව හිතලා බලයි. සමහරවිට මට පුළුවන් වෙයි ඔවුන්ට සත්‍යය පහදලා දෙන්න.’ කෙසේවෙතත් ඔවුන් සාවුල්ව සැලකුවේ මිථ්‍යාදෘෂ්ටිකයෙක් ලෙසයි. මේ නිසා සාවුල් පවසන දේවල් ඒ යුදෙව්වන් පිළිගන්නේ නැති බව යේසුස් දැනගෙන සිටියා. යේසුස් ඔහුට මෙසේ පැවසුවේ ඒ නිසයි. “යන්න. මන්දයත් මම ඔබව දුර බැහැර සිටින ජාතීන් වෙතට යවන්නෙමි.”—ක්‍රියා 22:21, 22.
සාවුල් සිටි අනතුරුදායක තත්වය තේරුම්ගත් සෙසු ක්‍රිස්තියානීන් ඔහුව සිසේරියේ පිහිටි වරාය වෙත රැගෙන ගොස්, කිලෝ මීටර් 500ක දුරකින් පිහිටි ටාසස් නම් නගරයට පිටත් කර හැරියා. ටාසස් කියන්නේ සාවුල් උපන් නගරයයි. (ක්‍රියා 9:30) ඔහු ආපසු යෙරුසලමට පැමිණියේ ඉන් වසර කිහිපයකට පසුවයි.
සාවුල් විගස යෙරුසලමෙන් පිට වී යෑම ඇත්තෙන්ම ක්‍රිස්තියානි සභාවට ආරක්ෂාවක් වෙන්න ඇති. කලින් ක්‍රිස්තියානීන්ට පීඩා කළ මොහු තවදුරටත් එහි සිටියා නම් මහත් කලබලයක් සිදුවීමට ඉඩ තිබුණා. සාවුල් පිටත්ව යෑමෙන් පසු “මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව ගොඩනැඟෙමින් සාමකාමී කාලයක් උදා විය. සභාව යෙහෝවාට භයෙන් හා ශුද්ධාත්මයෙන් ලැබුණු සැනසීමට අනුව ක්‍රියා කරද්දී, එය නොකඩවා වර්ධනය විය.”—ක්‍රියා 9:31.
උගත හැකි පාඩම්
මුල් සියවසේදී මෙන් මේ කාලයේද කල්පනාවෙන් වැඩ කළ යුතු අවස්ථාවලට අපි මුහුණ දිය හැකියි. සභාවට පැමිණෙන අමුත්තන් දෙස අපි සැකයෙන් බලන්න අවශ්‍ය නැහැ. එහෙත් සමහර අවස්ථාවලදී වංක පුද්ගලයන් යෙහෝවා දෙවිගේ සෙනඟගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට හෝ සභාවට හානි කිරීමට මං සෙවිය හැකියි. මේ නිසා ප්‍රෝඩාකාරයන්ගේ උගුල්වලට හසු නොවීම සඳහා අපි කල්පනාකාරීව සිටිය යුතුයි.—හිතෝපදේශ 3:27; 2 තිමෝති 3:13.
ක්‍රිස්තියානීන් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තවත් පැත්තක් ගැන සාවුල් යෙරුසලමේ දේශනා කළ අවස්ථාවේදී ජනයා දැක්වූ ප්‍රතිචාරයෙන් පෙනී යනවා. සමහර ප්‍රදේශවල ජනයාට හෝ අපේ මිතුරන්ද ඇතුළුව සමහර පුද්ගලයන්ට සාක්ෂි දැරීම අනතුරුදායක විය හැකියි. සමහරවිට අපි පහරදීම්වලට ලක්වීමට ඉඩ තිබෙනවා. ඔවුන්ට සාක්ෂි දැරීමෙන් අපේ ඇදහිල්ල හා ප්‍රතිපත්ති පවා බිඳ වැටෙන්න පුළුවන්. අපි දේශනා කරන වේලාවන් හා රැස්වෙන ස්ථාන මාරු කිරීම වැනි ක්‍රම අනුගමනය කිරීමෙන් එවන් අනතුරු වළක්වාගන්න පුළුවන්.—හිතෝපදේශ 22:3; මතෙව් 10:16.
මේ දුෂ්ට මිනිස් සමාජය විනාශ වීමට කලින් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම අඛණ්ඩව ඉදිරියට ඇදී යන බව නිසැකයි. සාවුල් ඔහුගේ පැරණි මිතුරන්ට මෙන්ම කලින් සතුරන්ව සිටි අයටද “ස්වාමීන්ගේ නාමයෙන් නිර්භීතව කතා” කිරීමෙන් අප සඳහා තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද!—ක්‍රියා 9:28.
[පාදසටහන]
^ 2 ඡේ. අද සාවුල්ව බොහෝදෙනෙක් හඳුන්වන්නේ පාවුල් යන නමින්. කෙසේවෙතත් මේ ලිපියේ සඳහන් බයිබල් පද රාශියක ඔහුව හඳුන්වා තිබෙන්නේ සාවුල් යන යුදෙව් නමින් බව සැලකිල්ලට ගන්න.—ක්‍රියා 13:9.
[16වන පිටුවේ පින්තූරය]
සාවුල් යෙරුසලමට පැමිණීමෙන් පසු ග්‍රීක බස කතා කළ යුදෙව්වන්ට නිර්භීතව සාක්ෂි දැරුවා