Skip to content

පටුනට යන්න

පූජාවට වඩා දෙවිට වටින්නේ කීකරුකමයි

පූජාවට වඩා දෙවිට වටින්නේ කීකරුකමයි

පූජාවට වඩා දෙවිට වටින්නේ කීකරුකමයි

“මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන්ට පුළුවන් වන පිණිස ඔබ නුවණ ඇතුව මාගේ සිත ප්‍රීති කරන්න.”—හිතෝපදේශ 27:11.

1. අද ලොව පුරා පැතිර පවතින නැඹුරුවාව කුමක්ද?

අද බොහෝදෙනෙක් තුළ තිබෙන්නේ අකීකරුකමේ හා තමන්ට කැමති දේ කිරීමේ නැඹුරුවාවක්. එයට හේතුව කුමක්ද? ඒ ගැන පාවුල් එෆීස ක්‍රිස්තියානීන්ට පැවසුවේ මෙසේයි. “කලක් ඔබ, මේ ලෝකයේ සමාජ ක්‍රමය ලෙසද, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවය වන ආකාශයේ බලයේ පාලකයාගේ කැමැත්ත ලෙසද ඒ දේවල ගමන් කළහුය.” (එෆීස 2:1, 2) මේ “ආකාශයේ බලයේ පාලකයා” වන යක්ෂයාගේ අකීකරු ස්වභාවය මුළු ලෝකය පුරාම පතුරුවා තිබෙනවා. ඔහුගේ මේ ස්වභාවය පළමුවන සියවසේදී පමණක් නොව අදත් එය ඉතාම භයානක ආකාරයකින් පැතිරී තිබෙනවා. ඊට හේතුව පළමුවන ලෝක මහ යුද්ධ සමයේදී ඔහුව ස්වර්ගයෙන් නෙරපා දමා තිබීමයි.—එළිදරව් 12:9.

2, 3. යෙහෝවා දෙවිට කීකරු වීමට තිබෙන හේතු මොනවාද?

2 අපේ එකම පාලකයාණන්, මැවුම්කරුවාණන්, ජීවිත දායකයාණන් හා අපේ මිදුම්කරුවාණන් වන්නේ යෙහෝවා දෙවියි. එමනිසා යෙහෝවා දෙවි අපගේ කීකරුකම ලබන්න වටින බව ක්‍රිස්තියානීන් හැටියට අප දන්නවා. (ගීතාවලිය 148:5, 6; ක්‍රියා 4:24; කොලොස්සි 1:13; එළිදරව් 4:11) තම ජීවිත දායකයා හා මිදුම්කරු යෙහෝවා දෙවි බව ඊශ්‍රායෙල් ජනයා දැන සිටියා. ඒ නිසා ‘ඔබ ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබට අණ කළ ලෙස කරන්න’ කියා මෝසෙස් ඔවුන්ට පැවසුවා. (ද්විතීය කතාව 5:32) ඔවුන් දෙවිට කීකරු විය යුතු වුණත් තම එකම පාලකයා වන යෙහෝවා දෙවිට අකීකරු වුණා.

3 මුළු විශ්වයේම මැවුම්කරුට අප කීකරු විය යුත්තේ ඇයි? මේ ගැන දෙවි සාමුවෙල් මාර්ගයෙන් සාවුල් රජට මෙසේ දැනුම් දුන්නා. “පූජාවලට වඩා කීකරුකම වටිනවා.” (1 සාමුවෙල් 15:22, 23, නව ලොව පරිවර්තනය, NW) දෙවිට කීකරු වීම එතරම් වැදගත් වන්නේ ඇයි?

කීකරු වීම ‘පූජාවලට වඩා වටී’

4. අප විසින් දෙවිට දිය හැකි වටිනා දෙය කුමක්ද?

4 මේ විශ්වයේ තිබෙන සියලුම සම්පත් යෙහෝවා දෙවිගේ නම් ඔහුට යමක් දෙන්න අපට හැකිද? ඉතාම වටිනා දෙයක් දෙන්න අපට හැකියි. මේ වටිනා දෙය කුමක්ද? ඒ ගැන හිතෝපදේශ 27:11හි පවසන්නේ මෙසේයි. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන්ට පුළුවන් වන පිණිස ඔබ නුවණ ඇතුව මාගේ සිත ප්‍රීති කරන්න.” ඒ වටිනා දෙය වන්නේ දෙවිට කීකරු වීමයි. මිනිසා පීඩා පරීක්ෂාවලට මුහුණ දෙන විට ඔහු දෙවිට විශ්වාසවන්තව නොසිටින බව සාතන් චෝදනා කළා. අපේ තත්වයන් හා පසුබිම් කුමක් වුණත් සාතන්ගේ ඒ චෝදනාව බොරු බව ඔප්පු කළ හැකියි. මෙය මොන තරම් කදිම වරප්‍රසාදයක්ද!

5. මිනිසුන් අකීකරු වන විට දෙවිට එය දැනෙන්නේ කෙසේද?

5 අප ගන්නා හැම තීරණයක් ගැනම යෙහෝවා දෙවි සැලකිලිමත්. අප අකීකරු වන විට යෙහෝවා දෙවිට මහත් දුකක් දැනෙන්නේ අප ගන්නා තීරණය අනුවණ එකක් නිසයි. (ගීතාවලිය 78:40, 41) උදාහරණයක් හැටියට දියවැඩියා රෝගියෙක්ට ඔහුගේ යහපත තකා විශේෂ ආහාර වට්ටෝරුවක් දී ඇතත්, ඔහු එය නොසලකා ඔහුගේ රෝගයට අහිතකර දේවල් කනවා කියා සිතන්න. සැලකිල්ලෙන් ප්‍රතිකාර කරන පවුලේ වෛද්‍යවරයාට ඒ ගැන කොහොම හැඟෙයිද? ඒ හා සමානව, මිනිසාගේම යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා දී තිබෙන මඟ පෙන්වීම් නොතකා තමන්ට අකීකරු වෙද්දී දෙවිට දුකක් දැනෙන්නේ එසේ කිරීමෙන් අප ලබන පල විපාක ඔහු හොඳින්ම දන්නා නිසයි.

6. දෙවිට කීකරු වීම සඳහා අපට කුමක් උදව් වෙයිද?

6 දෙවිට කීකරු වීම සඳහා අපට කුමක් උදව් වෙයිද? එදා සලමොන් රජ මෙන් අපටත් “කීකරු සිතක්” ඇති කරගන්න උදව් කරන්න කියා අප දෙවිගෙන් අයැදිය යුතුයි. සලමොන් රජට කීකරු සිතක් අවශ්‍ය වුණේ ඊශ්‍රායෙල්වරුන්ව විනිශ්චය කිරීමේදී ‘හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටයි.’ (1 රාජාවලිය 3:9, NW) අද අප ජීවත් වන ලෝකය අකීකරුකමෙන් පිරී තිබෙන බැවින් ‘හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමට’ අපටත් “කීකරු සිතක්” අවශ්‍යයි. දෙවි ඒ සඳහා අපට බයිබලය, පොත් පත්, ක්‍රිස්තියානි රැස්වීම් හා වැඩිමහල්ලන් මාර්ගයෙන් උපකාර කර තිබෙනවා. “කීකරු සිතක්” ඇති කරගැනීම සඳහා දී ඇති මේ සැපයුම්වලින් අප උපරිම ප්‍රයෝජන ගන්නවාද?

7. සත්ව පූජාවලට වඩා කීකරුකම යෙහෝවා දෙවිට වටින්නේ ඇයි?

7 සත්ව පූජාවලට වඩා කීකරුකම බොහෝ සේ වටිනවා කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ බව ඔබට මතකද? (හිතෝපදේශ 21:3, 27; හොෂෙයා 6:6; මතෙව් 12:7) සත්ව පූජා ඔප්පු කරන්න කියා අණ කළේ දෙවිමයි. ඒ නිසා ඒ පූජාවන් අඩුවෙන් තක්සේරු කරන්න පුළුවන්ද? මෙහිදී අපි මේ ප්‍රශ්න සිතා බැලීම වැදගත්. යමෙක් සත්ව පූජාවක් ඔප්පු කරන්නේ අවංකවම දෙවිව සතුටු කිරීමේ චේතනාවෙන්ද නැත්නම් නිකම්ම චාරිත්‍රයක් හැටියටද? දෙවිට නමස්කාර කරන කෙනෙක් අවංකවම දෙවිව සතුටු කිරීමට ආශාවක් දක්වනවා නම් ඔහු දෙවි අණ කර තිබෙන සෑම දෙයකටම කීකරු වීමට නිතරම උත්සාහ කරනවා. මේ අනුව බලන කල, ඇත්තෙන්ම දෙවිට වටින්නේ සත්ව පූජා නොව අප මුළු හදවතින්ම ඔහුට කීකරු වීමයි.

ආදර්ශවත් නොවූ කෙනෙක්

8. දෙවි සාවුල්ව රජකමෙන් පහ කිරීමට තීරණය කළේ ඇයි?

8 සාවුල් රජ පිළිබඳව බයිබලයේ වාර්තා කර ඇති සිද්ධියකින් කීකරුකම කොතරම් වැදගත්ද කියා පෙන්වා තිබෙනවා. ඊශ්‍රායෙල්හි රජ ලෙස තමන්ව තෝරාගත් අවස්ථාවේදී සාවුල්ට හැඟුණේ ‘තමන් ඉතාම සුළු කෙනෙකු’ කියායි. කල් යත්ම ඔහු උඩඟු වී තමාගේම මතයේ එල්බගෙන සිටි නිසා ඔහුට නිවැරිදි තීරණ ගන්න බැරි වුණා. (1 සාමුවෙල් 10:21, 22; 15:17) එක් වතාවකදී සාවුල්ට පිලිස්තිවරුන් සමඟ සටන් කරන්න සිදු වුණා. එවිට සාමුවෙල් ඔහුට දැන්වූයේ යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමටත් අවශ්‍ය අනෙකුත් මඟ පෙන්වීම් දීමටත් තමන් එන තුරු ඉන්න කියායි. අපේක්ෂා කළ වේලාවට සාමුවෙල් නොපැමිණි නිසා සෙනඟ විසිර යන්න පටන්ගත්තා. මෙය දුටු සාවුල් රජ ‘දවන පූජාව පූජා කළා.’ මෙය යෙහෝවා දෙවිට ඉතා පිළිකුල් දෙයක් වුණා. සාමුවෙල් ප්‍රමාද වූ නිසා දෙවිගෙන් ආශීර්වාද ලබාගැනීම සඳහා ‘අකමැත්තෙන් හෝ පූජාව ඔප්පු කරන්න’ සිදු වුණා කියා සාවුල් නිදහසට කරුණු කියන්න පටන්ගත්තා. ඔහු එසේ කළේ කීකරු වීමට වඩා පූජා ඔප්පු කිරීම වැදගත් කොට සැලකූ නිසයි. එවිට සාමුවෙල් ඔහුට පැවසුවේ මෙසේයි. “ඔබ අඥාන ලෙස ක්‍රියා කළෙහිය; ඔබේ දෙවි වූ යෙහෝවා ඔබට අණ කළ ආඥාව නොපැවැත්වූවෙහිය.” යෙහෝවා දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක සාවුල්ට ඔහුගේ රජකම නැති වුණා.—1 සාමුවෙල් 10:8; 13:5-13.

9. දෙවිට අකීකරු වීම සාවුල්ගේ පුරුද්ද වූ බව පැවසිය හැක්කේ ඇයි?

9 සාවුල් රජ එම සිද්ධියෙන් පාඩමක් ඉගෙනගත්තාද? නැහැ. සිදු වූ තවත් දෙයක් සලකා බලමු. අමලෙක්වරු අතීතයේදී අහිංසක ඊශ්‍රායෙල්වරුන්ව කිසිම හේතුවක් නැතුව මරා දමා තිබූ නිසා ඔවුන්වත් ඔවුන්ගේ සියලු සතුන්වත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්න කියා දෙවි සාවුල්ට අණ කළා. ‘හවිලා පටන් ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දීමෙන්’ සාවුල් ඒ අණට කීකරු වුණා. සාවුල් රජ සාමුවෙල්ව මුණගැසුණු අවස්ථාවේදී ප්‍රීතියෙන් මෙසේ පැවසුවා. “යෙහෝවාගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. යෙහෝවාගේ ආඥාව ඉෂ්ට කළෙමි.” නමුත් දෙවිගේ අණට සම්පූර්ණයෙන් කීකරු නොවූ සාවුල් හා ඔහුගේ සෙනඟ ආගග් රජ හා “බැටළුවන්ගෙනුත් ගොනුන්ගෙනුත් තර වූ සතුන්ගෙනුත් බැටළු පැටවුන්ගෙනුත් ඉතා හොඳ සතුන් හා අනික් හොඳ දේවල්” විනාශ නොකර ඉතිරි කරගත්තා. සාවුල් රජ තම අකීකරු ක්‍රියාව සාධාරණීකරණය කරමින් කතා කළේ මෙසේයි. “දෙවි වූ යෙහෝවාට පූජා කරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද හොඳවුන් ඉතිරි කරගත්තෝය.”—1 සාමුවෙල් 15:1-15.

10. සාවුල් සිතට නොගත්තේ කුමක්ද?

10 ඒ අවස්ථාවේදී සාමුවෙල් සාවුල්ට මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි සතුටට පත් වන්නේ කුමකින්ද? යෙහෝවා දෙවිට කීකරු වීමද නැතහොත් යාග පූජා හා දවන පූජාවලටද? පූජාවලට වඩා කීකරුකම වටිනවා. බැටළුවන්ගේ තෙලට වඩා දෙවිගේ හඬට සවන් දීම වටිනවා.” (1 සාමුවෙල් 15:22, 23, NW) දෙවි ඒ සතුන්ව ඒ වන විටත් මරා දමන්න තීරණය කර තිබුණා. එමනිසා ඒ සතුන්ව පූජා කිරීමෙන් කිසිම පලක් වන්නේ නැහැ.

සැමවිටම කීකරු වන්න

11, 12. (අ) දෙවිව සතුටු කිරීමට අප ගන්නා වෑයම් ඔහු සලකන්නේ කෙසේද? (ආ) යමෙක් තමන්වම රවටාගත හැක්කේ කෙසේද?

11 තම පක්ෂපාත සේවකයන් පීඩා මැද වුණත් ඔහුට විශ්වාසවන්තව සිටිනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. මහජනයාගේ උදාසීන ප්‍රතිචාර මැද ශුභාරංචිය දේශනා කිරීමත්, ජීවිතය ගැට ගසාගැනීමට විශාල සටනක යෙදෙන අතරේ රැස්වීම් පැමිණීමට දරන වෙහෙසත් ඔහු අගය කරනවා. එවැනි පැතිවලින් දෙවිට කීකරු වන විට ඔහුගේ සිත සතුටු වෙනවා. ප්‍රේමයෙන් පෙලඹී යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට අප ගන්නා වෑයම ඔහුට බොහෝ සෙයින් වටියි. මිනිසුන් අප දරන වෑයම් එතරම් ගණන් නොගත්තත් මුළු සිතින්ම දෙවිට පුද කරන සේවය ඔහු අගය කරන අතර ඒවා කිසිදා අමතක කරන්නේ නැහැ.—මතෙව් 6:4.

12 දෙවිව සතුටු කිරීමට නම් අපි අපේ ජීවිතයේ සෑම කාරණයකදීම ඔහුට කීකරු විය යුතුයි. දෙවිට නමස්කාර කරන නිසා අපට ඕනෑ ආකාරයට ඔහුගේ ප්‍රමිති බාල කරන්න අපට හැකියි කියා අපවම රවටා නොගත යුතුයි. උදාහරණයක් හැටියට කෙනෙක් දෙවිට කරන සේවයේ විවිධ අංගවල යෙදෙන නිසාම දුරාචාරය ඇතුළු බරපතළ වැරදි කළත් දෙවිගේ විනිශ්චයෙන් තමාට බේරෙන්න පුළුවන් කියා නොසිතිය යුතුයි. තමන්ව මෙලෙස රවටාගැනීම මොන තරම් මෝඩකමක්ද!—ගලාති 6:7, 8.

13. අපේ ජීවිතයේ අන් අයගේ අවධානයට ලක් නොවන කාරණාවලදී පවා කීකරුකම පරීක්ෂණයට ලක් විය හැක්කේ කෙසේද?

13 අපිට අපි ගැනම මෙවැනි සෝදිසියක් කරගන්න පුළුවන්. ‘අන් අයගේ අවධානයට ලක් නොවන කාරණාවලදී පවා යෙහෝවා දෙවිට කීකරු වෙනවාද?’ යේසුස් පැවසුවේ “ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව කටයුතු කරන්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව කටයුතු කරන්නේය. ඉතා සුළු දේ ගැන අධර්මිෂ්ඨව කටයුතු කරන්නා මහත් දේ ගැනත් අධර්මිෂ්ඨව කටයුතු කරන්නේය” කියායි. (ලූක් 16:10) අන් අයගේ අවධානයට ලක් නොවන ස්ථානයක් වන ‘අපේ නිවසේදී පවා අප සම්පූර්ණ සිතින්’ යෙහෝවාට කීකරු වෙනවාද? (ගීතාවලිය 101:2) අපි නිවසේ සිටින විට වුවද අපගේ කීකරුකම පරීක්ෂණයට ලක් වෙන්න පුළුවන්. අතීතයේදී අශික්ෂිත දර්ශන නැරඹීමට කෙනෙකු ඒ සඳහාම වෙන්වූ ස්ථානයකට යා යුතු වුණා. එහෙත් අද බොහෝදෙනෙකුගේ නිවෙස්වල අන්තර්ජාල පහසුකම් තිබෙන නිසා තමන්ගේම නිවසේදී එවැනි දෙයක් නැරඹිය හැකියි. එමනිසා යේසුස් මේ ගැන කළ අනතුරු ඇඟවීම අපි සිතට ගමු. “කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ [එනම් අනාචාරයේ] යෙදී ඇත.” මෙම උපදෙසට අනුව අප කාමුක හැඟීම් ඇති කරන දර්ශනයක් දෙස නිකමටවත් නොබැලීමට වගබලා ගනිමු. (මතෙව් 5:28; යෝබ් 31:1, 9, 10; ගීතාවලිය 119:37; හිතෝපදේශ 6:24, 25; එෆීස 5:3-5) සැහැසියාව ඉස්මතු කර දක්වන රූපවාහිනි වැඩසටහන් අප නරඹනවාද? යෙහෝවා දෙවි “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ” කරන බව බයිබලයේ පවසා තිබෙනවා. (ගීතාවලිය 11:5, NW) අන් අය ළඟ පාතක නැති විට ප්‍රමාණය ඉක්මවා බියර් වයින් ඇතුළු මත්පැන් පානය කිරීම ගැන අපට හැඟෙන්නේ කොහොමද? බයිබලයේ හෙළාදැක තිබෙන්නේ බේබදුකම පමණක් නොවෙයි. පුරුද්දක් ලෙස “බොහෝ වයින්” පානය කිරීමත් හෙළාදැක තිබෙනවා.—තීතස් 2:3; ලූක් 21:34, 35; 1 තිමෝති 3:3.

14. අපි මුදල් සම්බන්ධ කාරණාවලදී දෙවිට කීකරු වන්නේ කෙසේද?

14 අප සෑම කෙනෙක්ම සැලකිලිමත් විය යුතු තවත් පැත්තක් තිබෙනවා. එනම් මුදල් සම්බන්ධ කාරණායි. උදාහරණයක් ලෙස අපි ඉක්මනින් පොහොසත් වීමේ අටියෙන් වංචා පවා සිදු විය හැකි යම් ව්‍යාපාර කටයුතුවලට අත ගසන්න ඉඩ තිබෙනවා. බදු ගෙවීම පැහැර හැරීම සඳහා විවිධ ක්‍රම පවා සොයා බලන්න ඔබ පෙලඹෙනවාද? එසේත් නැත්නම් “සියල්ලන්ට දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදු” දෙන්න යන ආඥාව හැකි උපරිමයෙන් පිළිපදිනවාද?—රෝම 13:7.

කීකරුකම උපදින්නේ ප්‍රේමයෙනි

15. දෙවිගේ ආඥාවලට ඔබ කීකරු වන්නේ ඇයි?

15 දිව්‍ය නීතිවලට කීකරු වීමෙන් ආශීර්වාද ලැබිය හැකියි. උදාහරණයකට, දුම්කොළ භාවිත නොකිරීමෙන්, සදාචාර ජීවිතයක් ගත කිරීමෙන්, රුධිරයෙන් වැළකී සිටීමෙන් අපට බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකියි. ඊට අමතරව, බයිබලයේ අඩංගු ප්‍රතිපත්ති අපේ ජීවිතයේ වෙනත් පැතිවලට අදාළ කරගැනීමෙන් අපට ආර්ථික හා පවුල් ගැටලු අවම කරගැනීමටත් සමාජයේ අන් අය සමඟ සාමකාමී සබඳතාවක් පවත්වාගැනීමටත් හැකි වෙනවා. (යෙසායා 48:17) මෙවැනි ප්‍රයෝජනවලින් පෙනී යන්නේ දෙවිගේ නීති කොතරම් ප්‍රායෝගිකද කියායි. අප දෙවිට කීකරු වන්නේ ආත්මාර්ථකාමී චේතනාවෙන් නොව ඔහුට තිබෙන ප්‍රේමය නිසයි. (යෝබ් 1:9-11; 2:4, 5) අප කීකරු විය යුත්තේ කාටද කියා තීරණය කිරීමට දෙවි අපට නිදහස දී තිබෙනවා. නමුත් අප යෙහෝවා දෙවිට කීකරු වන්නේ දෙවිව සතුටු කරන්නත් හරි දේ කිරීමට තිබෙන කැමැත්තත් නිසයි.—රෝම 6:16, 17; 1 යොහන් 5:3.

16, 17. (අ) යේසුස් හද පත්ලෙන්ම දෙවිට කීකරු වුණේ කෙසේද? (ආ) අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

16 ප්‍රේමයෙන් පෙලඹී හදපත්ලෙන්ම යෙහෝවා දෙවිට කීකරු වීම පිළිබඳ හොඳම ආදර්ශය සැපයුවේ යේසුස්. (යොහන් 8:28, 29) යේසුස් පොළොවේ සිටියදී ‘තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්තා.’ (හෙබ්‍රෙව් 5:8, 9) එසේ කළේ ඔහු “වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු” වීමෙනුයි. (ෆිලිප්පි 2:7, 8) යේසුස් ස්වර්ගයේ සිටි විට කීකරු කෙනෙක් වුවද ඔහුගේ කීකරුකම පොළොවේදීත් පරීක්ෂණයට ලක් වුණා. එමනිසා යේසුස් තම අභිෂේක ලත් සහෝදරයන්ටත් යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල තබන සියලු මිනිස් වර්ගයාටත් උත්තම පූජකයෙක් ලෙස සේවය කිරීම සඳහා හොඳම තත්වයක සිටිනවා.—හෙබ්‍රෙව් 4:15; 1 යොහන් 2:1, 2.

17 අප ගැන කුමක් කිව හැකිද? දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දීම ගැන ආදර්ශයක් දුන් යේසුස්ව අනුකරණය කරන්න අපටත් පුළුවන්. (1 පේතෘස් 2:21) වැරදි තීරණයක් ගන්න දැඩි පීඩනයක් හෝ පෙලඹීමක් ඇති වන මොහොතක යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමය නිසා ඔහුගේ ආඥා පැවැත්වීමෙන් අපට විශාල තෘප්තියක් ලබාගත හැකියි. (රෝම 7:18-20) මෙම ආඥා පැවැත්වීමට, සත්‍ය නමස්කාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන අයට දුර්වලකම් තිබුණත් ඔවුන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමත් අයිතියි. (හෙබ්‍රෙව් 13:17) අපේ ජීවිතයේ පෞද්ගලික කාරණාවලදීත් දෙවිගේ අණ පනත්වලට කීකරු වීම ඔහුගේ හදවතට ඉතාම ප්‍රසන්නයි.

18, 19. හද පත්ලෙන්ම දෙවිට කීකරු වීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද?

18 අප යෙහෝවා දෙවිට දිගටම කීකරු වන විට පැමිණෙන පීඩා ප්‍රශ්න විඳදරාගෙන අපේ පක්ෂපාතකම රැකගැනීමට සිදු විය හැකියි. (ක්‍රියා 5:29) මිනිසුන්ට දේශනා කර සත්‍ය උගන්වන්න කියා දෙවි දී තිබෙන ආඥාවට කීකරු වීම සඳහාත් මේ දුෂ්ට සමාජයේ අවසානය දක්වාත් විඳදරාගත යුතුයි. (මතෙව් 24:13, 14; 28:19, 20) එමෙන්ම යක්ෂයාගේ ලෝකයෙන් අපට මොන තරම් දරුණු පීඩන පැමිණියත් සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්ව ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම සඳහාත් අපට විඳදරාගැනීම අවශ්‍යයි. මෙවැනි පැතිවලින් යෙහෝවා දෙවිට කීකරු වීමට අප දරන සෑම වෑයමක්ම ඔහු දකිනවා. දෙවිට මුළු හදවතින්ම කීකරු වීමට නම් යහපත් දේවල් කෙරෙහි ඇලුම්කමක් වර්ධනය කරගත යුතු අතර අපේ පව්කාර නැඹුරුවාවන්ට එරෙහිව දැඩි සටනක් කළ යුතුයි.—රෝම 12:9.

19 යෙහෝවා දෙවි අප වෙනුවෙන් කර තිබෙන දේවල් අගය කර ඔහුට සැබවින්ම ප්‍රේම කරනවා නම් ‘ඔහු තමන්ව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවට පත්වෙන’ බව අපට ස්ථිරයි. (හෙබ්‍රෙව් 11:6) අප දෙවි වෙනුවෙන් විවිධ කැපවීම් කළ යුතුයි. ඒවා දෙවිට ප්‍රසන්නයි. නමුත් දෙවිට වඩා වටින්නේ ඔහුට තිබෙන ප්‍රේමය නිසා අප ඔහුට මුළු හදවතින්ම කීකරු වෙනවා දැකීමයි.—හිතෝපදේශ 3:1, 2.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අප විසින් යෙහෝවා දෙවිට දිය හැක්කේ කුමක්ද?

• සාවුල් රජ සිදු කළ වැරදි මොනවාද?

• කීකරුකම පූජාවට වඩා වටිනා බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද?

• දෙවිට කීකරු වීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

සැලකිලිමත් වෛද්‍යවරයෙක් දෙන උපදෙස් රෝගියා පිළි නොගන්නා විට ඔහුට හැඟෙන්නේ කෙසේද?

[28වන පිටුවේ පින්තූරය]

සාවුල් රජ කෙරෙහි දෙවි අප්‍රසාදය පළ කළේ ඇයි?

[30වන පිටුවේ පින්තූරය]

අන් අයගේ අවධානයට ලක් නොවන අවස්ථාවලදී පවා දෙවිගේ අණ පනත්වලට එකඟව ක්‍රියා කරනවාද?