Skip to content

පටුනට යන්න

“පොරොන්දු දේශයේ” වසරක් ගෙවී ගිය අයුරු

“පොරොන්දු දේශයේ” වසරක් ගෙවී ගිය අයුරු

“පොරොන්දු දේශයේ” වසරක් ගෙවී ගිය අයුරු

බයිබලයේ සඳහන් ගෙසෙර් නම් පුරාණ නගරයේ තිබී කාගෙත් අවධානයට ලක් වූ යමක් 1908දී සොයාගනු ලැබුවා. යෙරුසලමට බටහිර දෙසින් වෙරළබඩ තීරය අසල පිහිටි එම නගරයෙන් සොයාගනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව දහවන සියවසට අයත් කියා සිතිය හැකි කුඩා මැටි පුවරුවක්. ඉපැරණි හෙබ්‍රෙව් අක්ෂරවලින් එහි ලියා තිබුණේ පුරාණ ඊශ්‍රායෙලයේ වසරක් පුරා කෘෂිකාර්මික කටයුතු සිදු වූ ආකාරය පිළිබඳ සරල සටහනක්. පසු කලෙක මෙම මැටි පුවරුව ගෙසෙර් දිනදර්ශනය නමින් ප්‍රසිද්ධියට පත් වුණා.

එම සටහන අවසානයේ අබියා යන නම සඳහන් වෙනවා. පාසැල් වියේ පසු වූ මේ ළමයා එය කාව්‍යමය ස්වරූපයකිනුයි ලියා තිබුණේ. ඔහුට පාසැලෙන් ලැබුණ පැවරුමක් සඳහා ඔහු එම විස්තරය ලියන්න ඇතැයි කියා පුරාවිද්‍යාඥයන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා. * ඒ කාලයේදී පොරොන්දු දේශයේ කෘෂිකාර්මික කටයුතු සිදු වූ ආකාරය ගැන ඒ පිරිමි ළමයා කළ විස්තරය දැනගැනීමට ඔබත් කැමතිද? ඔබ දැන් මේ ගැන කියවන විට බයිබලයේ සඳහන් සිද්ධීන් ඔබට මතක් විය හැකියි.

අස්වනු නෙළීමේ මාස දෙක

මෙම පැරණි දිනදර්ශනයේ මුලින්ම සඳහන් වන්නේ අස්වනු නෙළීමේ මාසයි. එහෙත් අස්වනු නෙළන මාස සියලු කෘෂිකාර්මික කාර්යයන්වල නිමාව නිසා එය ඊශ්‍රායෙල්වරුන් සැලකුවේ ඔවුන්ගේ වසරේ අවසාන මාස ලෙසයි. අස්වනු නෙළන ලද මාසයක් වූ ඒතානිම් වත්මන් දිනදර්ශනයේ සැප්තැම්බර්/ඔක්තෝබර් අතර තිබෙන කාලයකට සමානයි. ඒතානිම් මාසය පසු කලෙක හැඳින්වූයේ තිෂ්රි කියායි. අස්වනුවලින් බොහොමයක් නෙළා අවසන් කළ මේ කාලය මහත් ප්‍රීතිමත් කාලයක් වුණා. මේ කාලයේ පැවැත්වූ උත්සවවලට අබියාද හවුල් වෙන්න ඇති. තමන්ගේ කෙත් වතුවලින් ලැබූ අස්වැන්න සඳහා ඊශ්‍රායෙල්වරුන් ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ස්තුති කරමින් සතියක්ම ගත කළේ කූඩාරම්වලයි. අබියා ඔවුන්ගේ කූඩාරම සාදන්න ඔහුගේ පියාට උදව් වෙද්දී ඔහුට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!—ද්විතීය කතාව 16:13-15.

මේ කාලය වන විට ඔලීව ගස් පලවලින් බර වී තිබුණා. පොරොන්දු දේශයේ ජනයා ඔලීව ගෙඩි කඩාගත්තේ අතුවලට ගහලයි. වැඩිහිටියන් වෙහෙස මහන්සි වෙමින් ඔලීව ගෙඩි කඩනවා අබියා ආශාවෙන් බලා සිටින්න ඇති. (ද්විතීය කතාව 24:20) ඔහුගේ පවුලේ අය එසේ කඩාගත් ඔලීව ගෙඩිවලින් තෙල් ලබාගැනීම සඳහා ඒවා ළඟම පිහිටි ඇඹරුම් හලකට රැගෙන යන්න ඇති. ගෙදරදීම වුණත් ඔවුන්ට ඔලීව තෙල් ලබාගන්න පුළුවන් වුණා. ඒ කාලයේ විසූ සමහර අය ඔලීව ගෙඩි තළා, ජලයේ දැමීමෙන් ටික දවසකට පසු ඒ මතුපිට පාවෙන තෙල් එකතු කරගන්න ඇති. පොරොන්දු දේශයේ ජනයා මේ වටිනා තෙල් ආහාර පිසගැනීමට පමණක් නොව පහන් දැල්වීමට මෙන්ම තුවාල හා තැලීම්වලට ප්‍රතිකාර කිරීම සඳහාත් පාවිච්චි කළා. සෙල්ලම් කරන විට තුවාල වූ අබියා වගේ දඟකාර ළමයින්ටත් ඒ තෙල් ගාන්න ඇති.

වැපිරීමේ මාස දෙක

අබියාට මහත් සතුටක් ගෙන දුන් තවත් කාලයක් වූයේ වසරේ මුල් වැසි ලැබුණු කාලයයි. සීතල වැස්සේ දුව පැන සෙල්ලම් කරන්න ඔහු මහත් ආශාවක් දක්වන්න ඇති. වැස්ස කොතරම් අත්‍යවශ්‍ය දෙයක්ද කියා ඔහුගේ පියා ඔහුට කියා දෙන්න ඇති. (ද්විතීය කතාව 11:14) මාස ගණනාවක් පුරා තිබූ දැඩි අව්ව නිසා වියළුණු භූමිය වැස්සෙන් පසු බුරුල් වීම නිසා හාන්න පහසු වුණා. ගොනුන් වැනි සතුන්ව බැඳ තිබූ නඟුලේ කෙළවරේ මුවහත් තලයක් සවි කර තිබූ අතර උන් එය කුඹුරේ කෙළින් දිග අතට සිහින් තීරු සෑදෙන සේ ඇදගෙන ගියා. පුරාණ ඊශ්‍රායෙලයේ විසූ ගොවීන් බෑවුම්වල පවා වගා කරමින් හැම බිම් අඟලකින්ම ප්‍රයෝජන ගත්තා. බෑවුම්වල පස සකස් කිරීම සඳහා ඔවුන් යොදාගත්තේ උදෑල්ලකට සමාන උපකරණයක්.

සී සෑමෙන් පසු තිරිඟු හා බාර්ලි වගා කළා. ගෙසෙර් දිනදර්ශනයේ ඊළඟ මාස දෙක නම් කර තිබෙන්නේ වැපිරීමේ කාලය ලෙසයි. වපුරන්නා බීජ තමන්ගේ ඇඳුමේ නමාගත් කොටසක දමාගෙන තමන්ගේ අත හැකි තරම් දිගහැර බීජ වැපුරුවා.

අවසන් වැපිරීම සිදු කළ මාස දෙක

“යහපත් දේශය” කියාද හැඳින්වූ පොරොන්දු දේශයේ වගා කටයුතු කිසිදා නතර වුණේ නැහැ. (ද්විතීය කතාව 3:25) වැඩිම වර්ෂාපතනයක් ලැබුණු දෙසැම්බර් මාසයේදී මුළු දේශයම කොළ පැහැගැන්වී තිබුණා. මේ කාලයේදී රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග වන මුං, කඩල මෙන්ම එළවළු වර්ගද වගා කළා. මෙය ඒ දේශයේ පැවති වසරේ අවසන් වගා කිරීම වුණා. (ආමොස් 7:1, 2) මුලදී සඳහන් කළ හෙබ්‍රෙව් භාෂාවෙන් තිබූ පැරණි මැටි පුවරුවේ මේ කාලය හඳුන්වා තිබුණේ “තණබිම් වැඩෙන මාස” ලෙසයි. මෙය වෙනත් පරිවර්තනයක සඳහන් වන්නේ “අවසන් වැපිරීම” කියායි. එළවළු වර්ග බොහොමයක් වගා කළ මේ කාලයේදී ප්‍රනීත ආහාර භුක්ති විඳින්න හැකි වුණා.

සීත කාලය නිම වී දේශගුණය ටිකෙන් ටික උණුසුම් වෙද්දී රට කොට්ටං (ආමන්ඩ්) ගස්වල සුදු හා රෝස පැහැති මල් හටගත්තේ වසන්ත කාලය ළඟ බවට ඉඟි කරමිනුයි. මඳ උණුසුමක් තිබෙන ජනවාරි මාසයේ මුල් භාගයේදීම වසන්තය ආරම්භ වෙන්න ඇති.—යෙරෙමියා 1:11, 12.

හණ කැපීමේ මාසය

ඊළඟට අබියා සඳහන් කරන්නේ හණ ගස් ගැනයි. හණ ගැන කතා කරන විට, අබියා ජීවත් වෙන්න අවුරුදු සිය ගණනකට කලින් කඳුකර යූදා දේශයේ නැඟෙනහිර පිහිටි නගරයක සිදු වූ දෙයක් ඔබට මතක් වෙනවා ඇති. ඒ නගරය නම් යෙරිකෝවයි. එහි විසූ රාහබ් ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනාට සැඟවෙන්න කියා පැවසුවේ ඇගේ නිවසේ පියස්ස උඩ වියළීම සඳහා අහුරා තිබූ ‘හණමිටි අතරේයි.’ (යෝෂුවා 2:6) ඊශ්‍රායෙල්වරුන්ට හණ හුඟාක් ප්‍රයෝජනවත් වුණා. හණ වැඩියෙන්ම යොදාගත්තේ රෙදි විවීම සඳහායි. හණවලින් කෙඳි ලබාගැනීම සඳහා මුලින්ම කළේ ඒවා ටික දවසක් වතුරේ පල් වෙන්න හැරීමයි. සමහරුන් කළේ හැමදාම උදේට හණ පින්නේ දැමීමයි. එහෙත් හණ පොකුණක හෝ අගලක දැමීමෙන් ඉක්මනින් ඒවා පල් කරගන්න පුළුවන් වුණා. ඉන්පසු පහසුවෙන් ඒවායේ කෙඳි ඉවත් කරගනු ලැබුවා. මෙම කෙඳිවලින් සාදාගත් රෙදි රුවල්, කූඩාරම් හා ඇඳුම් මැසීමට යොදාගත්තා. හණවලින් ලාම්පුවල තිරද සෑදුවා.

ගෙසෙර් නම් ප්‍රදේශයේ ජලය එතරම් නොතිබූ නිසා එහි හණ වැවුනා කියා ඇතැමුන් පිළිගන්නේ නැහැ. තවත් අය පවසන්නේ හණ වගා කළේ අවුරුද්දේ අවසන් භාගයේ පමණක් කියායි. ගෙසෙර් දිනදර්ශනයේ “හණ” සඳහා යොදා තිබෙන හෙබ්‍රෙව් වචනය ගවයන්ට ආහාර සඳහා දුන් ‘තණකොළ වර්ගයකට’ සමානයි කියා සමහරුන් විශ්වාස කරනවා.

බාර්ලි අස්වැන්න නෙළන ලද මාසය

සෑම වසරකම හණ කපන මාසයෙන් පසු පැමිණෙන මාසයේදී බාර්ලි කරල් පූදිනවා අබියා දැක්කා. ඔහුගේ දිනදර්ශනයේ ඔහු ඊළඟට සඳහන් කරන්නේ බාර්ලි ගැනයි. මේ මාසය හෙබ්‍රෙව් දිනදර්ශනයේ අබීබ් මාසයට සමානයි. අබීබ් යන වචනයේ අර්ථය “කොළ පැහැති කරල්” යන්නයි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කර තිබුණා. “අබීබ් මස සලකා ඔබේ දෙවි වූ යෙහෝවාට පාස්කු මංගල්‍යය පවත්වන්න.” (ද්විතීය කතාව 16:1) පසු කලෙක අබීබ් මාසය නීසාන් කියා හඳුන්වන්න යෙදුණා. මේ මාසය වර්තමානයේ මාර්තු අග හා අප්‍රියෙල් මුල කොටස්වලට සමානයි. මේ මාසයේ ආරම්භය තීරණය කිරීමේදී බාර්ලි කරල් හොඳින් පැහී තිබෙන කාලය සැලකිල්ලට ගන්න ඇති. අද පවා ඉපැරණි සම්ප්‍රදායන් අනුගමනය කරන යුදෙව්වන් අලුත් අවුරුද්ද ලෙස සලකන්නේ බාර්ලි පැහෙන කාලයයි. බාර්ලි කරල් මිටියක් යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සොලවන්න කියා ඊශ්‍රායෙල්වරුන්ට අණ කර තිබුණා.—ලෙවී කතාව 23:10, 11.

බාර්ලි ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙකුගේ එදිනෙදා ජීවිතයට නැතුව බැරි දෙයක් වුණා. දුප්පත් අය රොටි සෑදීමට බොහෝවිට යොදාගත්තේ තිරිඟු පිටිවලට වඩා ලාභ වූ බාර්ලි පිටියි.—එසකියෙල් 4:12.

අස්වනු නෙළා මැන දීමේ මාසය

වැසි නොලැබුණු කාලවලදී පොරොන්දු දේශයේ බෝග වගාවන් ආරක්ෂා වුණේ පින්න නිසයි. (උත්පත්ති 27:28; සෙකරියා 8:12) අධික අව් රශ්මියක් තිබෙන මාසවලදී බෝග වර්ග රාශියකට තරමක සුළඟක් අවශ්‍ය වුණා. උතුරු දෙසින් හමන තෙත ගතියෙන් යුත් සීතල සුළඟ ධාන්‍යවල වැඩීමට දායක වෙන්න ඇති. එහෙත් එම සුළඟ මල් හටගත් පලතුරු වගාවන්ට හානිකර වුණා. මල් පිපීමට හා ඒවා පරාගනය වීමට උපකාරවත් වුණේ දකුණින් හමන උණුසුම් වියළි සුළඟයි.—හිතෝපදේශ 25:23; සලමොන්ගේ ගීතිකාව 4:16.

පරිසරයට හිතකර ලෙස කාලගුණය හැසිරවිය හැකි තැනැත්තා වන යෙහෝවා දෙවි පොරොන්දු දේශයට ආශීර්වාද කළා. අබියාගේ දවස්වලදී ඒ දේශය තිබූ ආකාරය ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. එය “තිරිඟුද යවද [බාර්ලි] මිදි වැල්ද අත්තික්කා ගස්ද දෙළුම්ද ඇති දේශයක්ය; ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයක්ය.” (ද්විතීය කතාව 8:8) යෙහෝවා දෙවි ආශීර්වාද කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ප්‍රඥාවන්ත සාලමොන් රජගේ පාලන කාලයේදී ඒ දේශයේ වෙන කිසිදාක නොපැවති සමෘද්ධිමත් තත්වයක් තිබුණු බවඅබියාගේ සීයා ඔහුට කියා දෙන්න ඇති.—1 රාජාවලිය 4:20.

අස්වනු නෙළීම ගැන සඳහන් කිරීමෙන් පසු ගෙසෙර් දිනදර්ශනයේ දැක්වෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් විය හැක්කේ “මැන දීම” කියා ඇතමුන් සිතනවා. අස්වැන්නෙන් කොටසක් කෙතේ අයිතිකරුටද සේවකයන්ටද මැන දීම හෝ බද්දක් ලෙස තවත් කොටසක් මැන දීම සඳහන් කිරීමේදී එම වචනය යොදාගන්න ඇති. කෙසේවෙතත් තවත් විද්වතුන් පිරිසක් පවසන ආකාරයට එම හෙබ්‍රෙව් වචනයෙන් අදහස් විය හැක්කේ “මංගල්‍යය” යන්නයි. එයින් වක්‍රව යොමු දැක්වෙන්නේ බයිබලයේ සඳහන් සති මංගල්‍යයටයි. එය පවත්වනු ලැබුවේ සීවාන් (මැයි/ ජූනි) මාසයේදීයි.—නික්මයාම 34:22.

කොළ කැඩීමේ මාස දෙක

ඊළඟට අබියා දිනදර්ශනයේ සඳහන් කරන්නේ මිදි වැල්වලට සාත්තු කිරීම ගැනයි. පල දරන කාලයේදී මිදි පොකුරුවලට හොඳින් අව් රශ්මිය වැටෙන සේ මිදි වැල්වල තිබෙන වැඩි පුර කොළ කඩා දැමුවා. සමහරවිට අබියාද මේ කාර්යයේ හවුල් වෙන්න ඇති. (යෙසායා 18:5) ඉන්පසු පැමිණියේ මිදි නෙළන කාලයයි. ඒ කාලය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙන්න ඇද්ද! හොඳට ඉදුණු මුල්ම මිදි පොකුරුවලින් කඩාගත් මිදි කන විට රස නහර පිනා ගිය බවට කිසිම සැකයක් නැහැ. මෝසෙස් පොරොන්දු දේශයට යැවූ ඔත්තුකරුවන් 12දෙනා ගැන අබියා අසා තිබෙන්න ඇති. ඒ ඔත්තුකරුවන් පොරොන්දු දේශය මොන වගේ යහපත් දේශයක්ද කියා බලන්න ගියේ එහි මිදි වතුවල ප්‍රථම පල ඉදෙන කාලයේදීයි. ඒ දේශයෙන් ගෙනා එක මිදි පොකුරක් මොන තරම් විශාලද කියනවා නම් ඒක උසුලාගෙන එන්න මිනිස්සු දෙන්නෙක් අවශ්‍ය වුණා.—ගණන් කතාව 13:20, 23.

වසන්ත සමයේ පලතුරු නෙළන මාසය

අබියාගේ දිනදර්ශනයේ අවසානයට සඳහන් වන්නේ ගිම්හානයේ නෙළන පලතුරු ගැනයි. පුරාණ මැද පෙරදිග දේශවල ගිම්හාන සමය පලතුරුවලින් පිරි කාලයක් වුණා. අබියාගේ කාලයෙන් පසු යෙහෝවා දෙවි ‘ඊශ්‍රායෙල් සෙනඟගේ අන්තිමය පැමිණ තිබූ’ බව විචිත්‍රවත්ව විස්තර කිරීමේදී ගිම්හාන සමයේ කඩාගත් පලතුරු කූඩයක් ගැන සඳහන් කළා. (ආමොස් 8:2) හෙබ්‍රෙව් භාෂාවෙන් ගම්හාන සමයේ කඩාගත් පලතුරු සහ “අන්තිමය” යන වචන යමක අවසානය ගැන සඳහන් කිරීමේදී යොදාගත්තා. යෙහෝවා දෙවිව අත්හැරිය ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ අන්තිමය පැමිණ තිබූ බවත් ඔහුගේ විනිශ්චය ආසන්න බවත් එයින් සිහිගන්වන්න ඇති. අබියා සඳහන් කළ පලතුරු අතර අත්තික්කාද තිබුණා කියා සිතිය හැකියි. වසන්ත සමයේ නෙළාගත් අත්තික්කා වියළා අනුභවය සඳහා කුට්ටිවලට කපාගත හැකි කෑමක් සාදාගන්න ඇති. සමහර අවස්ථාවලදී අත්තික්කා තලපයක් ලෙස සාදා තුවාලවලට ප්‍රතිකාර කරන්න යොදාගන්නත් ඇති.—2 රාජාවලිය 20:7.

ගෙසෙර් දිනදර්ශනය ඔබට ප්‍රයෝජනවත් වන අයුරු

යොවුන් වියේ පසු වූ අබියා ඔහු විසූ දේශයේ ජනයා වගා කළ ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න ඇති. සමහර අවස්ථාවල ඒවාට හවුල් වෙන්න පවා ඇති. ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් හැම කෙනෙක්ම පාහේ කෘෂිකාර්මික කටයුතුවල නියැලුණා. සමහරවිට ඔබ කෘෂිකර්මාන්තයට සම්බන්ධ නොවන කෙනෙක් වුණත් පැරණි ගෙසෙර් නගරයේ තිබී සොයාගත් මේ මැටි පුවරුවේ සඳහන් දේවල් බයිබලය කියවන විට ඔබට හුඟාක් ප්‍රයෝජනවත් විය හැකියි. එහි සිද්ධීන් හොඳින් සිතේ මවාගන්නත් අර්ථය හොඳින් තේරුම්ගන්නත් එය ඔබට උපකාරවත් වෙනවා නිසැකයි.

[පාදසටහන]

^ 3 ඡේ. ගෙසෙර් දිනදර්ශනයේ හා බයිබලයේ මාස දක්වා තිබෙන ආකාරයේ සුළු වෙනස්කම් තිබෙනවා. එමෙන්ම පොරොන්දු දේශයේ විවිධ පළාත්වල ඇතැම් වගා කටයුතු සිදු වන්න ඇත්තේ තරමක් වෙනස් කාලවල කියා සිතිය හැකියි.

[11වන පිටුවේ කොටුව]

ගෙසෙර් දිනදර්ශනයේ මාස වෙන් කර තිබුණේ මෙලෙස විය හැකියි:

“මිදි සහ ඔලීව අස්වනු නෙළීමේ මාස

වැපිරීමේ මාස

තණබිම් වැඩෙන මාස

හණ කපන මාසය

බාර්ලි නෙළන මාසය

තිරිඟු නෙළා මැන දීමේ මාසය

අතු පාහින මාස

පලතුරු නෙළන මාසය.”

[නම:] අබියා *

[පාදසටහන]

^ 41 ඡේ. Based on Textbook of Syrian Semitic Inscriptions, Volume 1, by John C. L. Gibson, 1971.

[හිමිකම් විස්තර]

Archaeological Museum of Istanbul

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

නීසාන් (අබීබ්)

මාර්තු—අප්‍රියෙල්

ඉයියාර් (ශීව්)

අප්‍රියෙල්—මැයි

සීවාන්

මැයි—ජූනි

තම්මුස්

ජූනි—ජූලි

ආබ්

ජූලි—අගෝස්තු

එලුල්

අගෝස්තු—සැප්තැම්බර්

තිෂ්රි (ඒතානිම්)

සැප්තැම්බර්—ඔක්තෝබර්

හෙෂ්වන් (බූල්)

ඔක්තෝබර්—නොවැම්බර්

කිස්ලෙව්

නොවැම්බර්—දෙසැම්බර්

තේබෙත්

දෙසැම්බර්—ජනවාරි

ෂෙබාට්

ජනවාරි—පෙබරවාරි

අදාර්

පෙබරවාරි—මාර්තු

වියදාර්

මාර්තු

[හිමිකම් විස්තර]

Farmer: Garo Nalbandian

[8වන පිටුවේ පින්තූරය]

ගෙසෙර්හි කළ කැනීම්

[හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com

[10වන පිටුවේ පින්තූර]

ආමන්ඩ් ගස

[10වන පිටුවේ පින්තූර]

හණ

[හිමිකම් විස්තර]

Dr. David Darom

[10වන පිටුවේ පින්තූරය]

බාර්ලි

[හිමිකම් විස්තර]

U.S. Department of Agriculture