Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි මෙන් අන් අය කෙරෙහි සැලකිල්ල දක්වන්න

යෙහෝවා දෙවි මෙන් අන් අය කෙරෙහි සැලකිල්ල දක්වන්න

යෙහෝවා දෙවි මෙන් අන් අය කෙරෙහි සැලකිල්ල දක්වන්න

‘දෙවි ඔබ ගැන සලකන නිසා ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.’ (1 පේතෘස් 5:7) එය දැනගැනීම මොන තරම් සැනසිල්ලක්ද! යෙහෝවා දෙවි තම සෙනඟ ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන නිසා ඔහුගේ මුදු මොළොක් හස්තයේ රැකවරණය ලබන්න අපටත් පුළුවන්.

අපත් අන් අය කෙරෙහි එවැනි සැලකිල්ලක් දැක්වීමට නම් අප එම ගුණාංගය වර්ධනය කරගත යුතුයි. නමුත් අප අසම්පූර්ණ අය නිසා අන් අය ගැන සැලකිල්ලක් දැක්වීමේදී සමහර මලපත්වලට හසු වෙන්නත් පුළුවන්. අපි ඒ මලපත් ගැන කතා කරන්න කලින් යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සැලකිලිමත් වන ආකාරය ගැන ටිකක් සොයා බලමු.

යෙහෝවා දෙවිව එඬේරෙකුට සමාන කරමින් ඔහු දක්වන සැලකිල්ල ගැන ගීතිකාකාර දාවිත් මෙන්න මෙහෙම ගායනා කළා. ‘යෙහෝවා මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. ඔහු නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වන්නේය; නිශ්චල වූ දිය අසලින් මා ගෙන යන්නේය; ඔහු මාගේ සිත ප්‍රාණවත් කරන්නේය. මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි නපුරකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය.’—ගීතාවලිය 23:1-4.

බැටළු රැළක් රැකබලා ගැනීම මොන වගේ කාර්යයක්ද කියා එඬේරෙක් වූ දාවිත් හොඳ හැටි දැන සිටියා. එඬේරෙක් තම බැටළුවන්ව හිවලුන්, වලසුන්, සිංහයන් වැනි වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්නවා. රැළ විසිරී යා නොදී එකට තබාගන්නා එඬේරා නැති වූ බැටළුවන් සොයා යනවා. වෙහෙසට පත් බැටළුවන්ව ඔහුගේ ඇකයේ හොවාගෙන යන අතර ලෙඩ වූ හා තුවාල වූ උන්ව බලාගන්නවා. බීමට වතුර ගෙනැවිත් දෙනවා. මේ හැම දෙයක්ම කළත් එඬේරා බැටළුවන්ට එක දෙයක් කරන්නේ නැහැ. උන්ගේ නිදහස නැති වන ආකාරයෙන් උන්ව පාලනය කරන්නේ නැහැ. එහෙත් උන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා.

යෙහෝවා තම සෙනඟව රැකබලා ගන්නෙත් ඒ ආකාරයටමයි. පේතෘස් කීවේ, ‘ඔබව දෙවිගේ බලයෙන් ආරක්ෂා කරනු ලබන්නේය’ කියායි. මෙහිදී ‘ආරක්ෂා කරනු ලබනවා’ කීමෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවිගේ නිරන්තර අවධානය ඔවුන් කෙරෙහි ඇති බවයි. (1 පේතෘස් 1:5) ඔහු එවන් අවධානයක් යොමු කරන්නේ අප කෙරෙහි දක්වන අව්‍යාජ සැලකිල්ල හා අපට උදව් අවශ්‍ය ඕනෑම විටක එය ලබා දීමට කැමැත්තෙන් සිටින නිසයි. කෙසේවෙතත්, දෙවි අපව මවා තිබෙන්නේ තීරණ ගැනීමේ නිදහස ඇතිව නිසා, ඔහු අපගේ කාරණා කටයුතුවලදී හා අපේ තීරණවලදී අනිසි ලෙස මැදිහත් වන්නේ නැහැ. මෙය අප ආදර්ශයට ගන්නේ කෙසේද?

දරුවන් කෙරෙහි සැලකිල්ල දැක්වීමේදී දෙවිව අනුකරණය කරන්න

දෙමාපියන් තම දරුවන් කෙරෙහි සැලකිල්ලක් දක්වමින් ඔවුන්ව රැකබලා ගත යුත්තේ ‘දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයක්’ නිසයි. (ගීතාවලිය 127:3) දරුවන් කෙරෙහි සැලකිල්ල දැක්වීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ට හිතෙන ආකාරය හා හැඟෙන ආකාරය තේරුම්ගෙන ඒ අනුව ඔවුන් සමඟ ක්‍රියා කිරීමයි. දෙමාපියන් තම දරුවන් කැමති අකැමති දේවල් ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ඔවුන්ගේ හැම පියවරක් පියවරක් ගානෙම ඔවුන්ව පාලනය කිරීම හරියට එඬේරෙක් තම බැටළුවන්ගේ බෙල්ලේ ලනුවක් ගැටගසා ඇදගෙන යන්නාක් වැනියි. එඬේරෙක් කිසිදාක එසේ කරන්නේ නැහැ. යෙහෝවා දෙවිද කිසි විටෙකත් එලෙස කරන්නේ නැහැ.

“මම කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ ‘ඔයා ඒක කරන්න ඕනෙ’ ‘ඕක කරන්න එපා’ කියල මගේ දරුවන්ට නියෝග කරන්නයි. මං හිතුවේ අම්මා කෙනෙක් හැටියට ඒක මගේ වගකීම කියලයි. මං කිසිමදාක ඒගොල්ලන් කළ කිසිම දෙයක් අගය කළේ නැහැ. ඇත්තම කියනවා නම්, මං ඒගොල්ලන් එක්ක කතා බහ කළේ ගොඩාක් අඩුවෙන්” කියා මරිකෝ * පිළිගත්තා. ඇගේ දුව තම මිතුරියන් සමඟ දුරකථනයෙන් පැය ගණන් කතා කළත් මව සමඟ කතා බහ කළේ නැති තරම්. “මගේ දුව මිතුරු මිතුරියන් එක්ක කතා කරද්දී ‘ඔව් මට තේරෙනවා,’ ‘ඒක ඇත්ත’ වගේ වචන පාවිච්චි කිරීමෙන් ඇය ඔවුන්ගේ තත්වය තේරුම්ගත් බව මම වටහාගත්තා. අන්න එතකොටයි මට තේරුණේ මම දුවව තේරුම්ගන්න ඕනෙ කියලා. ඊට පස්සේ මම දුවත් එක්ක කතා කරද්දී එයාගේ හිතේ තියෙන දේවල් තේරුම්ගන්න ඒ වගේ යෙදුම් පාවිච්චි කළා. වැඩි කල් යන්න කලින් අපි දෙන්නත් හොඳ යාළුවෝ වුණා. අපි ගොඩාක් වෙලා කතා කර කර ඉන්න පුරුදු වුණා.” මෙයින් ඉතාමත්ම වැදගත් කරුණක් හෙළි වෙනවා. එනම්, අදහස් හුවමාරුව කියන්නේ දෙදෙනෙක් අතර සිදු වන සංවාදයක් මිස එක්කෙනෙක් විතරක්ම කතා කරන එක නෙවෙයි.

දරුවන්ගේ හිතේ සැඟවී තිබෙන හැඟීම් සහ ආශාවන් එළියට ඇදගැනීමට දෙමාපියන් සෑම වෑයමක්ම දැරිය යුතුයි. අනිත් අතට දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වන්නේ ඔවුන්ගේම ආරක්ෂාව සඳහා බව දරුවන් තේරුම්ගත යුතුයි. දේවවචනයේ දරුවන්ට පවසා තිබෙන්නේ දෙමාපියන්ට කීකරු වන ලෙසයි. ඉන් අත් වන ප්‍රයෝජනය ගැන එහි ඊළඟට මෙසේ පවසනවා. “ඔබට ශුභසිද්ධ වනු ඇත. ඔබ පොළොවෙහිදී බොහෝ කල් ජීවත් වනු ඇත.” (එෆීස 6:1, 3) දෙමාපියන්ට යටත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දරුවන්ගේ සිත්වලට තදින් කාවැදී ඇත්නම්, කීකරු වීම ඔවුන්ට අපහසු දෙයක් වන්නේ නැහැ.

රැළ රැකබලා ගැනීමේදී දෙවිව අනුකරණය කරන්න

යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාව කෙරෙහි ප්‍රේමණීය ලෙස සැලකිල්ල දක්වනවා. ඒ බව යේසුස් සභාවේ හිස හෙවත් මූලිකයා ලෙස තම රැළ රැකබලා ගැනීමට වැඩිමහල්ලන්ට මඟ පෙන්වා තිබීමෙන් පැහැදිලි වෙනවා. (යොහන් 21:15-17) බයිබලය ලියූ මුල් භාෂාවට අනුව අවේක්ෂකයා යන වචනයේ තේරුම හොඳින් රැකබලා ගැනීම යන්නයි. මෙය කරන ආකාරය ගැන පේතෘස් වැඩිමහල්ලන්ට උපදෙස් දුන්නේ මෙසේයි. “ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද, වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙන්ද, දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.”—1 පේතෘස් 5:2, 3.

ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට කරන්න තිබෙන්නේද එඬේරුන්ගේ කාර්යයට සමාන කාර්යයක්. ඇදහිල්ල දුර්වල අයට උදව් කරන්නත්, බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවිතය යළි හැඩගස්වා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔවුන්ට දෙන්නත් වැඩිමහල්ලන් උත්සුක වෙනවා. මීට අමතරව සභාවේ සාමය පවත්වාගැනීම, රැස්වීම් හා දේවසේවය සැලසුම් කිරීම වැනි බොහෝ වගකීම්ද වැඩිමහල්ලන්ට පැවරී තිබෙනවා. —1 කොරින්ති 14:33.

කෙසේවෙතත් වැඩිමහල්ලන් සභාව කෙරෙහි ‘අනිසි ලෙස බලය පැවැත්වීමේ’ මලපතට වැටීමේ අවදානම ගැන පේතෘස් මතක් කර දුන්නා. මෙසේ විය හැකි ආකාරයක් නම් වැඩිමහල්ලන් සභාවේ සමහර කාරණා සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස නීති පැනවීමයි. සභාව ආරක්ෂා කරගැනීමට තිබෙන දැඩි වුවමනාව නිසා වැඩිමහල්ලන් සමහරවිට අන්තයටම යන්න ඉඩ තිබෙනවා. මීට උදාහරණයක් ලෙස එක් ආසියානු රටක වැඩිමහල්ලන් රාජ්‍යශාලාවේ කවුරුන් කා සමඟ කතා කළ යුතුද යන්න ගැන නීති දැම්මා. වැඩිමහල්ලන් සිතුවේ එම නීති දැමීම මගින් සභාවේ සාමය රැකෙයි කියායි. ඔවුන්ගේ චේතනාව හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් ඔබ සිතන්නේ මොකක්ද? ඔවුන් ඇත්තටම යෙහෝවා දෙවිව අනුකරණය කරමින් සිටියා කියා ඔබ සිතනවාද? බලන්න පාවුල් මේ සම්බන්ධයෙන් සිතූ ආකාරය. ඔහු කිව්වේ “ඔබේ ඇදහිල්ල කෙරෙහි අපි පාලකයන් වෙනවා නොව, ඔබේ ප්‍රීතිය සඳහා ඔබත් සමඟ හවුල් සේවකයෝ වන්නෙමු. මන්ද, ඔබ ස්ථිරව සිටින්නේ ඔබේම ඇදහිල්ල නිසාය” කියායි. (2 කොරින්ති 1:24) අප තුළ අඩු පාඩුකම් තිබුණත් යෙහෝවා දෙවි අප සියලුදෙනාවම විශ්වාස කරනවා. එය ආදර්ශයට ගනිමින් අවංක සැලකිල්ලක් දක්වන වැඩිමහල්ලන් බයිබලය මත පදනම් නොවූ නීති පැනවීමෙන් වැළකී සිටිනවා.

තවද සභාවේ සාමාජිකයන් විශ්වාසයෙන් වැඩිමහල්ලන් සමඟ පවසන කාරණා සම්බන්ධයෙන් රහසිගතභාවය රැකිය යුතුයි. බයිබලය පවසන්නේ මෙසේයි. “ඔබේ අසල්වාසියා සමඟම ඔබේ කාරණය කතා කරන්න; අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.” (හිතෝපදේශ 25:9) මේ මලපතට හසු නොවීමට වගබලා ගන්නා වැඩිමහල්ලන් එම ප්‍රතිපත්තිය නිතරම මතකයේ තබාගන්නවා.

ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි සභාව මිනිසෙකුගේ ශරීරයට සමාන කළා. ‘දෙවි ශරීරය එක් කළේ එහි කිසි භේදයක් නැතිව, එහි අවයව එකිනෙකාට එකම සැලකිල්ල දක්වන පිණිසය.’ (1 කොරින්ති 12:12, 24-26) ‘එකිනෙකාට එකම සැලකිල්ල දක්වන්න’ කියද්දී අප සභාවේ එකිනෙකා කෙරෙහි හද පත්ලෙන්ම සැලකිල්ලක් දැක්විය යුතු බව අඟවනවා.—ෆිලිප්පි 2:4.

සැබෑ ක්‍රිස්තියානීන්ට සභාවේ එකිනෙකා කෙරෙහි හදපත්ලෙන්ම සැලකිල්ලක් දැක්විය හැකි එක් ආකාරයක් නම් ඔවුන් වෙනුවෙන් නිතිපතා යාච්ඤා කිරීමයි. තවත් ආකාරයක් නම්, අවශ්‍යතාව පැනනඟින සැමවිටම ප්‍රායෝගික උපකාර සැපයීමට සූදානමින් සිටීමයි. අන් අයගේ ප්‍රේමණීය සැලකිල්ල නිසා ටාඩාටාකා නමැති තරුණයා ලැබූ ප්‍රයෝජන සලකා බලන්න. ඔහු වයස අවුරුදු 17දී බව්තීස්ම වුණා. එතකොට පවුලෙන්ම යෙහෝවා දෙවිට නමස්කාර කරමින් සිටියේ ඔහු පමණයි. නමුත් ක්‍රිස්තියානි සභාවෙන් ලැබුණු උපකාර ගැන ඔහු තම මතකය අවදි කරන්නේ මෙසේයි. “අපේ සභාවේ සිටි එක පවුලක් මට නිතරම ඔවුන්ගේ නිවසට ආරාධනා කළා. කෑමක් බීමක් හැදුවත් සාදයක් පැවැත්වුවත් මාව ඒගොල්ලන්ගේ පවුලේ කෙනෙක් හැටියටයි සැලකුවේ. මම හැමදාම උදේට ඉස්කෝලෙ යන්න කලින් ඒගොල්ලන්ගේ ගෙදරට ගිහිං දිනපද සාකච්ඡාවට හවුල් වෙනවා. ඉස්කොලෙදි ඇති වන ප්‍රශ්නවලට වගේම පීඩනවලට මුහුණ දෙන හැටි ඔවුන් මට කියා දුන්නා. අපි ඒ ගැන යාච්ඤා කළා. අනිත් අය ගැන ප්‍රේමණීය සැලකිල්ලක් දක්වන්නේ කොහොමද කියලා මම මුලින්ම ඉගෙනගත්තේ මේ පවුලේ අයගෙනුයි.” එදා ඉගෙනගත් දේවල් ටාඩාටාකාට අද බොහෝ සෙයින් උදව් වී තිබෙනවා. ඔහු අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරනවා. අන් අය කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දැක්වීම මොන තරම් ප්‍රතිඵලදායකද?

නමුත් අන් අය කෙරෙහි සැලකිල්ලක් දැක්වීමේදී පරෙස්සම් විය යුතු තවත් මලපතක් ගැන පාවුල් සඳහන් කළා. සමහර ස්ත්‍රීන් ‘ඕපාදූප කියන්න හා අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්න’ ඉගෙනගෙන තිබූ බව ඔහු සඳහන් කළා. (1 තිමෝති 5:13) ඒ නිසා අනිත් අයගේ කාරණාවලට අනවශ්‍ය ලෙස ඇඟිලි නොගැසීමට අප වගබලා ගත යුතුයි. අන් අය ගැන සැලකිලිමත් වීම හොඳ දෙයක් වුණත් එක අන්තයකට බර වුණොත් අප ‘නොකිව යුතු දේවල් පවා කියන්න’ ඉඩ තිබෙනවා. සමහරවිට අන් අයගේ කාරණා දැඩි සේ විවේචනය කරන තත්වයට පවා පත් වෙන්න පුළුවන්.

කන්න බොන්න කැමති දේ හා විවේකය ගත කිරීමට කැමති ආකාරය වැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් එක් එක් ක්‍රිස්තියානිවරයාගේ කැමැත්ත හා අකමැත්ත එකිනෙකට වෙනස්. බයිබල් ප්‍රතිපත්ති නමැති රාමුව තුළ තමන් කැමති දේ කිරීමට හැමෝටම නිදහස තිබෙනවා. රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් අවවාද කළේ මෙසේයි. “මෙතැන් පටන් එකිනෙකාව විනිශ්චය නොකර සිටිමු. . . . සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු.” (රෝම 14:13, 19) සභාවේ සිටින අය ගැන සැලකිල්ලක් දක්වන බව පෙන්විය හැක්කේ අන් අයට උදව් කරන්න සූදානමින් සිටීමෙන් මිස අන් අයගේ කාරණාවලට ඇඟිලි ගැසීමෙන් නොවෙයි. අන් අය ගැන සැලකිල්ල දක්වා පවුල තුළත් සභාව තුළත් ප්‍රේමය හා එක්සත්කම වැඩෙන්න සලස්වන්න. මේ ආකාරයට යෙහෝවා දෙවිව අනුකරණ කරන්න!

[පාදසටහන]

^ 9 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවේ.

[19වන පිටුවේ පින්තූරය]

දරුවන්ව අගය කිරීමෙන් හා ඔවුන්ගේ තත්වය තේරුම්ගැනීමෙන් ඔවුන්ට හිතෙන හා හැඟෙන දේවල් එළියට ඇදගන්න