Skip to content

පටුනට යන්න

ඇදහිල්ල වර්ධනය කරන බයිබල් අධ්‍යාපනය

ඇදහිල්ල වර්ධනය කරන බයිබල් අධ්‍යාපනය

ඇදහිල්ල වර්ධනය කරන බයිබල් අධ්‍යාපනය

“අපේ මැවුම්කරු දේවල් දෙස බලන ආකාරය ඉගෙනගැනීමටත් ඒ අනුව බැලීමටත් පසුගිය මාස පහ තුළ අපට ලැබුණු පුහුණුවේ වටිනාකම නම් කියා නිම කරන්න බැරි තරම්!” එසේ පැවසුවේ ගිලියද් පාසැලට සහභාගි වූ එක් සහෝදරයෙක්. ඔහු 122වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් 56දෙනා අතරින් කෙනෙක්. ඔවුන්ට පැවරුම් පිරිනැමීමේ වැඩසටහන පැවතියේ 2007 මාර්තු 10වන දා වන අතර එදින ඒ සැමටම රටවල් 26කට පැවරුම් ලැබුණා.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ සහෝදර තියඩෝර් ජැරස් රැස්ව සිටි 6,205දෙනාව සාදරයෙන් පිළිගනිමින් මෙසේ පැවසුවා. “මෙම වැඩසටහනට සහභාගි වීම මගින් දෙවි සමඟ ඔබේ සබඳතාව ශක්තිමත් වන අතර ඔබේ ඇදහිල්ලත් වැඩි වන බව අපට විශ්වාසයි.” ඉන්පසු පැමිණ සිටි ශිෂ්‍යන්ගේ නව පැවරුමට උපකාර වන බයිබලයේ ඇති උපදෙස් හා දිරිගැන්වීම් ලබා දෙන කතා පහක් ඉදිරිපත් කරනු ලැබුවා.

අන්‍යයන් තුළ ඇදහිල්ල ගොඩනැංවීමට දිරිගැන්වීමේ වචන ස්වල්පයක්

එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සාමාජිකයෙකු වන ලියොන් වීවර්ගේ කතාවේ මාතෘකාව වුණේ “යහපත් දේ කරමින් සිටින්න” යන්නයි. පාසැලට සහභාගි වූ සියල්ලන්ම වසර 13ක් පමණ දෙවිට පූර්ණ කාලීනව සේවය කර තිබුණා. පූර්ණ කාලීන සේවයෙන් අදහස් වන්නේ අන් අයගේ ඇදහිල්ල වර්ධනය කිරීමට බයිබලය මාර්ගයෙන් දැනුම ලබා දීමයි. තවදුරටත් ඔහු මෙසේ පැවසුවා. “මිනිසුන්ගේ ජීවිත ගැලවීමේ සේවයක නිරත වෙන්න ලැබීම යහපත් වැඩක් වන අතර, වඩාත්ම එය යහපත් සේවයක් වන්නේ පියාණන් වන යෙහෝවා දෙවිගේ නාමයට ඉන් ප්‍රශංසාවක් ලැබෙන නිසයි.” ඉන්පසු සහෝදර වීවර් ශිෂ්‍යයන්ට දිරිගැන්නුවේ කවදාවත් ‘යහපත කිරීම අත්හරින්න’ එපා කියලයි.—ගලාති 6:8, 9.

“උපරිමය කරන්න අදිටන් කරගන්න” යන තේමාව ඔස්සේ ඊළඟ කතාව දෙනු ලැබුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඩේවිඩ් ස්ප්ලේන් විසිනුයි. ඔහු පැවසුවේ මෙයයි. “හරි ආකල්පයක් තබාගන්න. අන් අයව විනිශ්චය කිරීමට හදිසි වෙන්න එපා. ඔවුන් හා මිත්‍රශීලී වන්න. විවේචනාත්මක නොවන්න. යටහත් පහත්ව සිටින්න. සේවය කරන ප්‍රදේශයේ සිටින සහෝදරයන්ට ගරු කරන්න. පැවරුම ලබන රටට ගිය වහාම ඔබේ උපරිමය කිරීමට වගබලා ගන්න. ඔබ ‘යහපත ගැන ශුභාරංචි ප්‍රකාශ කරන’ විට යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරන බවට කිසිම සැකයක් නැහැ.”—යෙසායා 52:7, නව ලොව පරිවර්තනය.

ඊළඟ කතාව ඉදිරිපත් කළේ සහෝදර ලොරන්ස් බවන් විසිනුයි. ගිලියද් පාසැලේ ආරම්භය සිදු වූයේ දෙවන ලෝක මහා යුධ සමයේදී බව ඔහු පෙන්වා දුන්නා. එසේ කිරීමට හැකි වුණේ යෙහෝවා දෙවිගේ අනාවැකිමය වචනය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබූ නිසා බව ඔහු තවදුරටත් සඳහන් කළා. (හෙබ්‍රෙව් 11:1; එළිදරව් 17:8) එවක් පටන් ගිලියද් පාසැලට සහභාගි වන ශිෂ්‍යයන්ගේ ඇදහිල්ල එම පුහුණුව මගින් තව තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා වඩාත් උද්‍යෝගයෙන් සත්‍යය ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

“ඔබ මට යමෙකුව සිහිගන්වනවා” යන තේමාව ඔස්සේ ඊළඟට කතා කළේ ගිලියද් උපදේශකයෙකු වූ සහෝදර මාර්ක් නූමැර්. ඔහු ශිෂ්‍යයන්ට පෙන්වා දුන්නේ එලිෂා මෙන් ඔවුන්ටත් තම පැවරුමේදී ඇදහිල්ල හා නිර්භීතකම අවශ්‍ය බවයි. ඉන්පසු 1 රාජාවලිය 19:21 මත පදනම්ව ඔහු පැවසුවේ “යම් වෙනස්කම් කිරීමටත්, තම පෞද්ගලික දේවල් පසෙකලා යෙහෝවා දෙවිගේ අරමුණ ගැන අන්‍යයන්ට පැවසීමටත් එලිෂා මුල් තැන දුන්න” බවයි. ඒ අනුව ඔහු ශිෂ්‍යයන්ට දිරිගැන්නුවේ එලිෂා මෙන් තම පැවරුමේදී උද්‍යෝගයෙන් දිගටම සේවය කරන්න කියායි.

ඇදහිල්ල නිසා කතා කරන්න පෙලඹී

සති අන්තවලදී මෙම ශිෂ්‍යයන් දේවසේවයෙහි හවුල් වුණා. ඔවුන් නොයෙක් අද්දැකීම් ලැබුවා. ගිලියද් පාසැලේ තවත් උපදේශකයෙකු වන වොලස් ලිවරන්ස්ගේ කතාවේදී එම ශිෂ්‍යයන් ලවා ඔවුන් ලැබූ අද්දැකීම් නිරූපණය කර පෙන්වන්නත් සැලැස්සුවා. ඔහුගේ තේමාව වුණේ “අප ඇදහිල්ල පෙන්වූ හෙයින් කතා කරන්නෙමු” යන්නයි. එය දෙනු ලැබුවේ දෙවෙනි කොරින්ති 4:13හි ඇති පාවුල්ගේ වචන පදනම් කරගෙනයි.

ඇමෙරිකාවේ බෙතෙල් පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු වන සහෝදර ඩැනියෙල් බාර්න්ස් සහ චාල්ස් වුඩි වෙනත් රටක සේවය සම්බන්ධයෙන් අද්දැකීම් ලත් සහෝදර සහෝදරියන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ඔවුන් කියා සිටියේ යෙහෝවා දෙවි ඔවුන් ගැන සැලකිල්ල දක්වා සේවය හොඳින් කරගෙන යෑමට ඔවුන්ට ආශීර්වාද කළ බවයි. (හිතෝපදේශ 10:22; 1 පේතෘස් 5:7) ඒ අතර සිටි වෙනත් රටක සේවය කරන සහෝදරයෙකුගේ අදහස මෙයයි. “යෙහෝවා දෙවි මොන තරම් අපි ගැන සැලකිල්ලක් දක්වනවාද කියා ගිලියද් පාසැලෙන් ලැබුණ අධ්‍යාපනයෙන්ම අපිට පැහැදිලියි. එයින් අපේ ඇදහිල්ල ශක්තිමත් වුණා. වෙනත් රටක සේවය කරන අය ඇතුළු දෙවිගේ සෑම සේවකයෙකුම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන නිසා අපි හැමෝටම ඇදහිල්ල අත්‍යවශ්‍යයි.”

අන්‍යයන්ගේ ඇදහිල්ල වර්ධනය කරමින්

“සහෝදරයන්ව ගොඩනංවන්න” යන තේමාව ඔස්සේ අවසාන කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සැමුවෙල් හර්ඩ් විසිනුයි. එහිදී ශිෂ්‍යයන් ලැබූ අධ්‍යාපනයේ අරමුණ ගැන ඔහු පෙන්වා දුන්නා. ඔහු කිව්වේ “යෙහෝවා දෙවිට ප්‍රශංසා වන ආකාරයෙන් ඔබේ දිව පාවිච්චි කරන්න. ඔබේ නව පැවරුමේදී අන්‍යයන්ට ඔහුගේ සත්‍යතාවන් උගන්වන්න. එකිනෙකාගේ ඇදහිල්ල වර්ධනය කරන්න” කියායි. කෙසේවෙතත් අන්‍යයන්ට හානියක් වන ආකාරයෙනුත් එය යොදාගත හැකි නිසා එයින් වැළකිය යුතු බව ඔහු ශිෂ්‍යයන්ට සිහිගැන්වූවා. (හිතෝපදේශ 18:21; යාකොබ් 3:8-10) යේසුස් අන් අයව දිරිගැන්වීමට තම දිව පාවිච්චි කළා. එමනිසා ඔහුව ආදර්ශයට ගන්න කියා ශිෂ්‍යයන්ට උනන්දු කළා. එක් අවස්ථාවකදී යේසුස්ට සවන් දුන් පසු ඔහුගේ ගෝලයන් එකිනෙකාට මෙසේ පැවසුවා. “ඔහු . . . ශුද්ධ ලියවිල්ල හොඳාකාරයෙන් පහදා දෙද්දීත් අපේ සිත් දැවුණා නොවේද?” (ලූක් 24:32) “ගොඩනංවනසුලු දේවල් පවසනවා නම් සහෝදර සහෝදරියන්ව දිරිගැන්වීමට ඔබටත් හැකියි” කියා සහෝදර හර්ඩ් පැවසුවා.

ඉන්පසු සිදු වූයේ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ පැවරුම් ලබා දීමයි. ඉන්පසු එක් ශිෂ්‍යයෙක් සියලුම ශිෂ්‍යයන් වෙනුවෙන් අගය පළ කරන ලිපියක් කියෙව්වා. එහි සඳහන් වූයේ මෙයයි. “අපේ පැවරුම විශ්වාසයෙන් සහ වගකීමකින් යුතුව කළ යුතු බව අපි ඉගෙනගත්තා. එක් එක්කෙනා විවිධ රටවලට ගොස් තමන්ට අදාළ පැවරුම ඉටු කරද්දී, අපේ බලාපොරොත්තුව වන්නේ උතුම් ගුරුවරයා වන යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන දීමට අපේ උපරිමය කිරීමයි.” ඒත් එක්කම සබය සිසාරා අත්පොළොසන් හඬ නැඟුණා. මෙම ගිලියද් පාසැලට සහභාගි වූ සියලුදෙනාගේම ඇදහිල්ල වර්ධනය වුණ බව නම් නිසැකයි.

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ගොඩනංවනසුලු දේවල් පවසනවා නම් සහෝදර සහෝදරියන්ව දිරිගැන්වීමට ඔබටත් හැකියි”

[15වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 9

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 26

ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 56

වයසේ සාමාන්‍යය: 33.4

සත්‍යය තුළ සිටින වසර ගණනේ සාමාන්‍යය: 16.8

පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින වසර ගණනේ සාමාන්‍යය: 13

[16වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 122වන පන්තිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තු ගත කර තිබෙනවා.

(1) හවිට්, ආර්.; ස්මිත් පී.; මාර්ටිනෙස්, ඒ.; පොට්සොබෝන්, එස්.; කිටාමෝරා, වයි.; ලෝඩ්, සී. (2) ෆීඩ්ලර්, අයි.; බීස්ලෙ, කේ.; මැත්කවේෂ්, සී.; බෙල්, ඩී.; ලිපින්කෝට්, ඩබ්ලිව්. (3) සයිට්ස්, ඩබ්ලිව්.; ඇන්ඩර්සන්, ඒ.; ටෝව්ස්, එල්.; ෆුසානෝ, ජී.; රොද්‍රිගේස්, සී.; යූ, ජේ. (4) සොබෝමෙහින්, එම්.; තොමස්, එල්.; ගැසන්, එස්.; ඩව්බ, වී.; බර්ටෝ, ඒ.; වින්, සී.; ඩොබ්‍රවෝල්ස්කි, එම්. (5) යූ, ජේ.; ඩව්බ, ජේ.; මික්සර්, එච්.; නිව්ටන්, එම්.; රොද්‍රිගේස්, එෆ්.; මික්සර්, එන්. (6) ලෝඩ්, එම්.; ලිපින්කෝට්, කේ.; මාර්ටිනෙස්, ආර්.; හෝබ්, ඒ.; ස්කැම්ප්, ආර්.; පොට්සොබෝන්, එල්.; ටෝව්ස්, එස්. (7) හවිට්, එස්.; කිටාමෝරා, යූ.; නිව්ටන්, ඩී.; හෝබ්, ජේ.; සයිට්ස්, ජේ.; තොමස්, ඩී. (8) සොබෝමෙහින්, එල්.; මැත්කවේෂ්, ජේ.; ෆුසානෝ, බී.; වින්, ජේ.; ස්කැම්ප්, ජේ.; ඇන්ඩර්සන්, ඩී.; ඩොබ්‍රවෝල්ස්කි, ජේ. (9) ෆීඩ්ලර්, පී.; බෙල්, ඊ.; බීස්ලෙ, බී.; ස්මිත්, බී.; බර්ටෝ, පී.; ගැසන්, එම්.