Skip to content

පටුනට යන්න

එසකියෙල් පොතෙන් විශේෂාංග—පළමුවන කොටස

එසකියෙල් පොතෙන් විශේෂාංග—පළමුවන කොටස

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

එසකියෙල් පොතෙන් විශේෂාංග—පළමුවන කොටස

ක්‍රිස්තු පූර්ව 613දී අනාගතවක්තෘ යෙරෙමියා යුදයේ සිටි අතර, ඔහු යෙරුසලමට පැමිණීමට නියමිත විනාශය ගැන හා යුදා දේශය පාළු කිරීම ගැන නිර්භීතව ප්‍රකාශ කරයි. මේ වෙද්දී බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජ සමහර යුදෙව්වන්ව වහලුන් ලෙස ගෙන ගොස් තිබුණා. ඔවුන් අතර සිටි දානියෙල් සහ ඔහුගේ මිතුරන් රජුගේ මාලිගාවේ නිලධාරීන් ලෙස සේවය කළා. වහලුන් ලෙස සිටි බොහෝ යුදෙව්වන් ජීවත් වුණේ “කල්දිවරුන්ගේ දේශයේ” කෙබාර් ගංගාව අසලයි. (එසකියෙල් 1:1-3) මේ කාලයේදී තමයි යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් 30-හැවිරිදි එසකියෙල්ව, අනාගතවක්තෘවරයෙකු හැටියට පත් කළේ.

එසකියෙල් තම පොත ලියා අවසන් කළේ, ක්‍රි.පූ. 591දීයි. එහි අවුරුදු 22ක් පුරා සිදු වූ සිද්ධීන් වාර්තා කර තිබෙනවා. එසකියෙල් තම පොතේ තොරතුරු ඉතා නිවැරදිව වාර්තා කර ඇති බව සාක්ෂිවලින් පෙනී යනවා. උදාහරණයක් ලෙස තමාට දෙවිගෙන් අනාවැකි ලැබුණු වර්ෂය, මාසය සහ දිනය ඔහු නිවැරදිව සඳහන් කළා. එසකියෙල් පොත මූලිකවම කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළමු කොටසේ සඳහන් වෙන්නේ යෙරුසලමේ විනාශය ගැනයි. අවට ජාතීන්ට විරුද්ධව කළ ප්‍රකාශයන් ගැන දෙවැනි කොටසේ සඳහන් වෙනවා. තුන්වෙනි කොටසට ඇතුළත් වෙන්නේ සැබෑ නමස්කාරය යළි පිහිටුවීම ගැනයි. මේ ලිපියේ එසකියෙල් පොතේ 1:1–24:27 දක්වා ඇති විශේෂාංග ගැන සාකච්ඡා කරනවා. ඒවාට දර්ශන, අනාවැකි සහ රඟ දැක්වීම් ඇතුළත් වී තිබෙනවා.

“ඔබ මුරකාරයෙකු කළෙමි”

(එසකියෙල් 1:1–19:14)

යෙහෝවා දෙවි එසකියෙල්ට දර්ශනයක් මාර්ගයෙන් තම තේජස දකින්න සලස්වනවා. ඉන්පසුව දෙවි ඔහුගේ පැවරුම භාර දෙමින් මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල් වංශයට ඔබ මුරකාරයෙකු කළෙමි. ඒ නිසා මාගේ කටින් කී වචනය අසා මාගේ නමින් ඔවුන්ට අවවාද කරන්න.” (එසකියෙල් 3:17) යෙරුසලමේ වටලෑම සහ එමගින් ඇති වන බලපෑම් ගැන අනාවැකි පවසද්දී, ඒවා මිනිසුන් ඉදිරියේ රඟ දක්වන්න කියා දෙවි එසකියෙල්ට පැවසුවා. යෙහෝවා දෙවි, එසකියෙල් මාර්ගයෙන් යුදා දේශය සම්බන්ධයෙන් මෙසේ පවසනවා. “බලව, මම, මම්ම ඔබට කඩුවක් පමුණුවා ඔබේ උස් තැන් නැති කරන්නෙමි.” (එසකියෙල් 6:3) එහි වැසියන් ගැන ඔහු පැවසුවේ “දඬුවමේ දවස ඔබට පැමිණියේය” කියායි.—එසකියෙල් 7:7.

ක්‍රිස්තු පූර්ව 612දී දේවමාලිගාවේ සිදු වන පිළිකුල් දේවල් එසකියෙල් දර්ශනයක් මගින් දකිනවා. පිළිකුල් ක්‍රියාවල හවුල් වෙන අයව දෙවි තම බලවත් ස්වර්ගික හමුදාව යොදාගෙන විනාශ කිරීමට නියමිතයි. එසකියෙල් දකින ‘මනුෂ්‍යයෝ හයදෙනාගෙන්’ නියෝජනය වන්නේ ඔවුන්වයි. එම විනාශයෙන් ගැලවෙන්නේ “නළල්වල ලකුණක්” ඇති අය පමණයි. (එසකියෙල් 9:2-6) නමුත් ඊට කලින් “ගිනි අඟුරුවලින්” සංකේතවත් කරන දෙවිගේ විනිශ්චයේ පණිවුඩය දේශය පුරාම ප්‍රකාශ කළ යුතු වුණා. (එසකියෙල් 10:2) ‘දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් පිටට පමුණුවන්නෙමියි’ කියා යෙහෝවා දෙවි පැවසුවත් තමන්ට පක්ෂපාත වූ අයව රැස් කිරීමට ඔහු පොරොන්දු වෙනවා.—එසකියෙල් 11:17-21.

එසකියෙල් බැබිලෝනියේ සිටින විට යෙරුසලමේ සිටින ශෙදකියා රජ ඇතුළු නුවරවැසියන් පලා යන ආකාරය රඟ දක්වයි. එහි සිටින බොරු අනාගතවක්තෘවරුන්ව හා රූප නමස්කාරයේ නියැලුණු අයව හෙළාදැක තිබෙනවා. යුදා රාජ්‍ය සමාන කර තිබෙන්නේ කිසිකමකට නැති මිදිපැළයකටයි. එවැනි තත්වයක් හමුවේ ඔවුන් ඊජිප්තුවේ සහය පැතුවත් එය නිෂ්ඵල දෙයක් බව දෙවි රාජාලියෙකු සම්බන්ධයෙන් දුන් උපමාවෙන් පැහැදිලි වෙනවා. නමුත් එම උපමාව අවසන් වෙන්නේ මේ ප්‍රීතිමත් පොරොන්දුව සමඟිනුයි. ‘යෙහෝවා දෙවි ළා දළුවක් කපා ගෙන උස් වූ කන්දක් පිට එය සිටුවන්නේය.’ (එසකියෙල් 17:22) නමුත් යුදයේ තත්වය නම් ඊට වඩා වෙනස්. හේතුව ඔවුන්ට ‘ආණ්ඩු කරන්ට සවි ඇති දණ්ඩක්’ නැති නිසයි.—එසකියෙල් 19:14.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:4-28—දෙවිගේ ස්වර්ගික රථයෙන් සංකේතවත් වන්නේ කුමක්ද? එයින් සංකේතවත් වන්නේ දේවදූතයන්ගෙන් යුත් දෙවිගේ ස්වර්ගික සංවිධානය වන අතර එය ක්‍රියාත්මක වෙන්නේ දෙවිගේ බලය මගිනුයි. මෙහි ධාවකයා යෙහෝවා දෙවිව නියෝජනය කරනවා. ඔහුට විස්තර කළ නොහැකි ආකාරයක තේජසක් තිබෙනවා. එහි දැකිය හැකි දේදුන්න මගින් ඔහු කොතරම් සන්සුන්ව කටයුතු කරනවාද යන්න කියා පානවා.

1:5-11—ජීවීන් සතරදෙනා කවුද? ස්වර්ගික රථය ගැන එසකියෙල් දකින දෙවැනි දර්ශනයෙන් ඒ ජීවීන් සතරදෙනා කෙරුබ්වරුන් බව ඔහු තේරුම්ගන්නවා. (එසකියෙල් 10:1-11; 11:22) එහිදී එසකියෙල් ගවයාගේ මුහුණ විස්තර කරන්නේ ‘කෙරුබ් මුහුණ’ ලෙසයි. (එසකියෙල් 10:14) ගවයාගෙන් නියෝජනය වෙන්නේ බලයයි. ඒ හා සමානව කෙරුබ්වරුන්ද ඉතා බලවත් දේවදූතයන් වන නිසා ඔහු එසේ පැවසීම වඩා උචිතයි.

2:6—එසකියෙල්ව අවස්ථා කිහිපයකදීම ‘මනුෂ්‍ය පුත්‍රයා’ කියා හඳුන්වා තිබෙන්නේ ඇයි? එසකියෙල්ව ඒ ආකාරයට හඳුන්වන්නේ මේ පණිවුඩය ලබා දෙන යෙහෝවා දෙවි සහ ඔහු අතර කොතරම් වෙනසක් තිබෙනවාද කියා පෙන්වීමටයි. යේසුස් ක්‍රිස්තුස්වත් අවස්ථා 80කදී පමණ ඒ ආකාරයටම හඳුන්වා තිබෙනවා. ඉන් පෙන්නුම් කළේ ඔහු පොළොවට පැමිණියේ සාමාන්‍ය මිනිසෙකුගේ ස්වරූපයෙන් බවයි.

2:9–3:3—‘හැඬීම හා දුක’ ඇතුළත් ලියවිල්ල එසකියෙල්ට මිහිරි දෙයක් වුණේ ඇයි? එයට හේතු වුණේ තම පැවරුම සම්බන්ධයෙන් එසකියෙල්ට තිබූ ආකල්පයයි. යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කිරීමට ලැබීම ඔහු සැලකුවේ මහත් වරප්‍රසාදයක් ලෙසයි.

4:1-17—යෙරුසලම වටලෑමේ ප්‍රතිඵලය එසකියෙල් ඇත්තටම රඟ දැක්වූවාද? කෑම පිසීමට අවශ්‍ය ඉන්ධන ගැන එසකියෙල් දෙවිට කළ ඉල්ලීමෙන් සහ දෙවි ඊට පිළිතුරු ලබා දීමෙන් පෙනෙන්නේ ඔහු ඇත්තටම එය රඟ දැක්වූ බවයි. එහිදී එසකියෙල් ඔහුගේ වම් ඇලයට හැරී සිටියේ, ක්‍රි.පූ. 997 සිට 607 දක්වා අවුරුදු 390ක් තිස්සේ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යය කළ වැරදි වෙනුවෙනුයි. එසකියෙල් දකුණු ඇලයට හැරී සිටියේ, ක්‍රි.පූ. 647දී යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් ලෙස පත් කළ දා සිට ක්‍රි. පූ. 607 දක්වා අවුරුදු 40ක් තිස්සේ යුදා වංශය කළ වැරදි උදෙසායි. ඒ සඳහා ගතවූ දින 430 පුරාම එසකියෙල් කෑම කෑවෙත් වතුර බිව්වෙත් සුළු ප්‍රමාණයකින් පමණයි. ඉන් පෙන්වූයේ බැබිලෝනිවරුන් යෙරුසලම වටලනු ලබන විට මහත් සාගතයක් ඇති වෙන බවයි.

5:1-3—එසකියෙල් තම හිසකෙස් ස්වල්පයක් හුළඟට විසි කිරීමෙන් සහ ඒවා රෙදි කොනේ බැඳගැනීමෙන් සංකේතවත් වුණේ කුමක්ද? එයින් ඔහු පෙන්නුම් කළේ අවුරුදු 70ක් පුරා පාළුවට ගිය තම දේශයට යුදෙව්වන් නැවතත් පැමිණ දෙවිට නමස්කාර කරන්න යන බවයි.—එසකියෙල් 11:17-20.

17:1-24—මහත් රාජාලීන් දෙදෙනා කවුද? කඩා දමනු ලැබූ කිහිරි ගසේ ළා අතු වූයේ කවුද? යෙහෝවා දෙවි විසින් සිටුවනු ලබන “ළා දළුව” වූයේ කවුද? රාජාලීන් දෙදෙනාගෙන් නියෝජනය වුණේ බැබිලෝනියේ සහ ඊජිප්තුවේ පාලකයන්වයි. පළමු රාජාලියා පැමිණ කිහිරි ගසේ දළු කඩා දමනවා. එනම් දාවිත්ගේ පෙළපතින් පැමිණෙන යෙහෝයාකිම් රජ වෙනුවට ශෙදකියා රජුව පත් කළා. එවිට ශෙදකියා රජ, නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටිනවා වෙනුවට තවත් රාජාලියෙකුගෙන් උපකාරය පතනවා. ඒ ඊජිප්තුවයි. නමුත් ඉන් කිසිම ප්‍රයෝජනයක් අත් වන්නේ නැති අතර ඔහුව බැබිලෝනියේ වහල්භාවයට ගෙන යනවා. එහිදී ඔහු මිය යනවා. යෙහෝවා දෙවි සිටුවන “ළා දළුව” වන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඔහුව යෙහෝවා දෙවි “උස් වූ උතුම් වූ කන්දක් පිට” සිටුවනු ලබනවා. එය ස්වර්ගික ‘සියොන් කන්දයි.’ එමගින් ඔහු “හොඳ කිහිරි” ගසක් බවට පත්වී මුළු මිනිස් වර්ගයාටම ආශීර්වාද ගෙන එනවා.—එළිදරව් 14:1.

අපට ගත හැකි පාඩම්:

2:6-8; 3:8, 9, 18-21. විරුද්ධවාදීන්ගේ තර්ජන හමුවේ පවා අපි නිර්භීතව දෙවිගේ විනිශ්චයේ පණිවුඩය ඔවුන්ටත් පැවසිය යුතුයි. පීඩාවලට මුහුණ දෙන විට අපි ශක්තිමත් පර්වතයක් මෙන් සිටිය යුතුයි. ඉන් අදහස් කරන්නේ, අපි කිසි අනුකම්පාවක් නොදක්වන දැඩි හදවත් සහිත පුද්ගලයන් විය යුතුයි කියලා නෙවෙයි. යේසුස් අන් අයට ශුභාරංචිය ගැන කතා කරන්න පෙලඹුණේ මනුෂ්‍යයන් කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසා බැවින් අපිත් එලෙසම ක්‍රියා කළ යුතුයි.—මතෙව් 9:36.

3:15. එසකියෙල්ට තම පැවරුම ලැබුණු විට ඔහු ‘තෙලාබිබ්වල සත් දවසක් විස්මයට පත්ව සිටිමින්’ දෙවිගේ පණිවුඩය ගැන ගැඹුරින් කල්පනා කළා. ඒ හා සමානව අපිත් බයිබලයේ ඇති ගැඹුරු දේවල් අධ්‍යයනය කරන්න හා මෙනෙහි කරන්න කාලය ගත යුතුයි.

4:1–5:4. දෙවි දුන් අනාවැකි රඟ දක්වන්න එසකියෙල්ට ධෛර්යය හා නිහතමානිකම අවශ්‍ය වුණා. ඒ හා සමානව දෙවිගෙන් ලැබෙන පැවරුම් ඉටු කිරීමේදී අපිත් නිහතමානීව සහ ධෛර්යවත්ව කටයුතු කළ යුතුයි.

7:4, 9; 8:18; 9:5, 10. දෙවිගේ විනිශ්චයට ලක් වෙන අය ගැන අපි දුක් විය යුතු නැහැ.

7:19. මේ දුෂ්ට සමාජ ක්‍රමය මතට දෙවිගේ විනිශ්චය පැමිණෙන විට මුදල්වලින් කිසිම පලක් වෙන්නේ නැහැ.

8:5-18. ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන කෙනෙක් ඇත්තෙන්ම භයානකයි. බයිබලයේ එවැනි අය ගැන මෙසේ සඳහන් වෙනවා. “දේව අභක්තිකයා තමාගේ කටින් තමාගේ අසල්වාසියා නැති කරයි.” (හිතෝපදේශ 11:9) එවැනි කෙනෙක් කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න අපි කවදාවත් හිතන්නවත් හොඳ නැහැ.

9:3-6. ‘මහත් පීඩාවෙන්’ ගැලවීමට නම් දෙවිට කැප වී බව්තීස්ම වූ අය හැටියට අපිට සැබෑ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයක් තිබිය යුතුයි. එය හරියට ලකුණක් හා සමානයි. (මතෙව් 24:21) තීන්ත කූඩුව අතැතිව සිටින ලියන්නාගෙන් අද දින නියෝජනය වෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. ඔවුන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයෙහි හවුල් වීමෙන් ලකුණු කිරීමේ කාර්යයෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනවා. අපිත් ගැලවීමේ ලකුණ දිගටම තබාගැනීමට නම් ඉතා උනන්දුවෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කාර්යයට සහය දිය යුතුයි.

12:26-28. තමා පැවසූ දේ පිළි නොගත් අයට ‘යෙහෝවා දෙවිගේ වචනවලින් එකක්වත් පමා නොවන්නේය’ කියා පවසන්න එසකියෙල්ට සිදු වුණා. මේ දුෂ්ට සමාජ ක්‍රමය මතට දෙවි තම විනිශ්චය ගෙන එන්නට කලින් අපිත් ඔහු කෙරෙහි විශ්වාසය තබන්න හැකි උපරිමයෙන් මිනිසුන්ට උපකාර කළ යුතුයි.

14:12-23. ගැලවීම අත් කරගැනීම අපේ පෞද්ගලික වගකීමක්. අපි වෙනුවෙන් ගැලවීම ලබා දෙන්න වෙන කාටවත් බැහැ.—රෝම 14:12.

18:1-29. අපි කරන ක්‍රියාවල ප්‍රතිඵල සම්බන්ධයෙන් වග කිව යුත්තේ අපිමයි.

“එය පෙරළන්නෙමි, පෙරළන්නෙමි, පෙරළන්නෙමි”

(එසකියෙල් 20:1–24:27)

වහල්භාවයේ හත්වන අවුරුද්දේ, එනම් ක්‍රි.පූ. 611දී ඊශ්‍රායෙලයේ වැඩිමහල්ලන් “යෙහෝවාගෙන් විචාරණ” පිණිස එසකියෙල් වෙතට එනවා. ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන් කාලයක් තිස්සේ කැරලි ගැසූ ආකාරය ගැන දීර්ඝ විස්තරයකට කන් දෙන්න ඔවුන්ට සිදු වුණා. ඒ වගේම දෙවි ඔවුන්ට විරුද්ධව සිය කඩුව යොදාගන්නා බවට වූ අනතුරු ඇඟවීමටත් ඔවුන් ඇහුම්කන් දෙනවා. (එසකියෙල් 20:1; 21:3) ශෙදකියා සම්බන්ධයෙන් දෙවි මෙවැනි දෙයක්ද පැවසුවා. “මකුටය ගලවා ඔටුන්න පහකරන්න. මේක තවත් ඒකම නොවන්නේය. නීචයා උසස් කරන්න. උසස් අය පහත් කරන්න. මම එය පෙරළන්නෙමි, පෙරළන්නෙමි, පෙරළන්නෙමි. ඒක අයිතිකාර වූ අය එනතුරු ඒක තවත් නොවන්නේය. මම ඒක ඔහුට දෙන්නෙමි.”—එසකියෙල් 21:26, 27.

ඔහොලා එනම් ඊශ්‍රායෙල්ගේ සහ ඔහොලිබා වන යූදාගේ පාපය හෙළි කිරීමට නියමිතයි. ඊශ්‍රායෙල්ව මේ වන විටත් ‘ඇගේ ආදර ඇත්තන් වන අෂ්ෂුරියයන්ගේ අතට පාවා’ දීලා. (එසකියෙල් 23:9) යූදා දේශයත් ඉතා ඉක්මනින්ම පාළු කිරීමට නියමිතයි. ක්‍රි.පූ. 609දී මාස 18ක් පුරා සිදුවීමට නියමිත වටලෑම ඇරඹෙනවා. අවසානයේදී මේ නුවර වෙනත් ජාතියක් විසින් අල්ලාගනු ලබනවා. ඒ නිසා යුදෙව්වන් කොතරම් කම්පනයට පත් වෙනවාද කියනවා නම්, ඔවුන් කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත් වෙනවා. නමුත් ‘ගැලවෙන අයගෙන්’ ඒ පිළිබඳව තොරතුරක් ලැබෙන තෙක්, දෙවිගේ පණිවුඩය ඒ වන විටත් බැබිලෝනියේ සිටින කිසිම යුදෙව්වෙකුටවත් ඔහු නොපැවසිය යුතුයි.—එසකියෙල් 24:26, 27.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

21:3—යෙහෝවා දෙවි කොපුවෙන් ගෙනෙන්නාවූ “කඩුව” කුමක්ද? එම “කඩුව” යෙරුසලම සහ යුදය විනාශ කිරීම සඳහා යෙහෝවා දෙවි පාවිච්චි කිරීමට යන නෙබුකද්නෙෂර් ඇතුළු ඔහුගේ භටයනුයි. එයට දෙවිගේ බලවත් දේවදූතයන්ද අයත් වෙනවා.

24:6-14—හැළියේ ඇති මළකඩවලින් නියෝජනය වෙන්නේ කුමක්ද? (නව ලොව පරිවර්තනය) යෙරුසලම් නගරය සමාන කර තිබෙන්නේ කට ලොකු හැළියකටයි. එහි ඇති මළකඩවලින් නියෝජනය කළේ නුවරේ පැවති පිරිහුණු සදාචාරමය වාතාවරණයයි. ඒ අතර අපවිත්‍රකම්, පහත් හැසිරීම හා ලේ වැගිරීම් දකින්න තිබෙනවා. ඒ සියල්ලටම එහි සෙනඟ වග කිව යුතුයි. ඇගේ පාපය කොතරම් මහත්ද කියනවා නම් එම හැළිය හිස් කර එය කොතරම් රත් කළත් එහි ඇති මළකඩ ඉවත් වුණේ නැහැ.

අපට ගත හැකි පාඩම්:

20:1, 49. ඊශ්‍රායෙලයේ සිටි වැඩිමහල්ලන් එසකියෙල්ට දැක්වූ ප්‍රතිචාරයෙන් පැහැදිලි වුණේ ඔවුන් එම වචන සැක කළ බවයි. අපි කෙදිනකවත් ඔවුන් මෙන් දිව්‍ය අනතුරු ඇඟවීම් සැක නොකරමු.

21:18-22. නෙබුකද්නෙෂර් රජ යෙරුසලම් නගරය වටලන්න පෙර භූතමය මඟ පෙන්වීම් පැතුවා. එමගින් භූතයන් නෙබුකද්නෙෂර් රජුට කුමක් පැවසුවත්, දෙවි අනිවාර්යයෙන්ම ඔහුව යොදාගෙන යෙරුසලමට දඬුවම් කරනවා. ඉන් පැහැදිලි වෙන්නේ දෙවිගේ කැමැත්තට බාධා කරන්න භූතයන්ටවත් බැරි බවයි.

22:6-16. යෙහෝවා දෙවි නින්දා කරන්නන්ව, පහත් හැසිරීම්වල යෙදෙන අයව, තම බලය අනිසි ලෙස යොදාගන්නා අයව හා අල්ලස් ගන්නන්ව දැඩි ලෙස හෙළාදකිනවා. එමනිසා එවැනි දේවල් ප්‍රතික්ෂේප කිරීමට වූ අපේ අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගනිමු.

23:5-49. පුරාණයේ සිටි දෙවිගේ සෙනඟ දේශපාලනමය සම්බන්ධතා ඇති කරගත් නිසා අවසානයේදී ඔවුන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්නත් පටන්ගත්තා. අපගේ ඇදහිල්ල විනාශකර දැමිය හැකි ලෝකයේ මිත්‍රත්වයන් ඇති කරගැනීමෙන් අපි වළකිමු.—යාකොබ් 4:4.

“දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය”

එසකියෙල් පොතේ මුල් පරිච්ඡේද 24න් අපිට කොතරම් වටිනා පාඩම් ඉගෙනගත හැකිද! එහි වටිනා ප්‍රතිපත්ති අඩංගුයි. දෙවිගේ අප්‍රසාදයට ලක් වීමට හේතු විය හැකි දේවල් ගැනත්, ඔහුගේ දයාව අද්දැකිය හැකි ආකාරය ගැනත්, දුෂ්ටයන්ට දිගටම අනතුරු ඇඟවිය යුත්තේ ඇයි කියාත් එහි පැහැදිලි කරනවා. යෙරුසලමට පැමිණීමට නියමිත විනාශය ගැන කලින්ම දෙවි අනතුර ඇඟවීමෙන් ඔහු තමා ගැනම පැවසූ මේ වදන් කොතරම් සත්‍යයද කියා පෙනී යනවා. “මම අලුත් දේ ප්‍රකාශ කරමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා ඔබට කියා දෙන්නෙමි.”—යෙසායා 42:9.

එසකියෙල් 17:22-24 සහ 21:26, 27හි වාර්තා වී ඇති අනාවැකි යොමු දක්වන්නේ ස්වර්ගයේ දේවරාජ්‍යය පිහිටුවීම කෙරෙහියි. එම පාලනය තුළින් පොළොව සම්බන්ධයෙන් ඇති දෙවිගේ කැමැත්ත ඉටු වෙනවා. (මතෙව් 6:9, 10) ඒ තුළින් අපිට ලැබෙන ආශීර්වාද දෙස විශ්වාසයකින් හා මහත් අපේක්ෂාවකින් බලා සිටිමු! ඒ වගේම “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය” කියන කාරණය කිසිදා අමතක නොකරමු!—හෙබ්‍රෙව් 4:12.

[12වන පිටුවේ පින්තූරය]

ස්වර්ගික රථයෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද?

[14වන පිටුවේ පින්තූරය]

දේශනා සේවයේ උනන්දුවෙන් සහභාගි වීමෙන් අපිටත් දිගටම “ලකුණ” ඇතුව සිටින්න පුළුවන්