Skip to content

පටුනට යන්න

“දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න”

“දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න”

“දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න”

“නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.”—රෝම 12:21.

1. නපුර පරාජය කිරීමට අපිට හැකියි කියා නිසැක විය හැක්කේ ඇයි?

 බෑ නමස්කාරකයන්ට පීඩා කරන අයට විරුද්ධව සිටින්න පුළුවන්ද? අපිව මෙම දුෂ්ට සමාජයට ඇදගැනීමට ගන්නා වෑයමට සාර්ථකව මුහුණ දීමට අපිට පුළුවන්ද? ඔව්. එසේ පවසන්න පුළුවන් ඇයි? පාවුල් පැවසූ මේ වදන්වලින් එය මනාව පැහැදිලි වෙනවා. “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.” (රෝම 12:21) දෙවිව විශ්වාස කරමින් නපුරු බලපෑම්වලට විරුද්ධව සිටියොත් අපිට ජය ගන්න පුළුවන්. “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ අපි දිගින් දිගටම නපුරු දේවලට එරෙහිව සටන් කළොත් ඉන් ජය ගත හැකි බවයි. නමුත් කෙනෙක් ඒ සටන අත්හරිනවා නම් ඔහු අවසානයේදී මේ දුෂ්ට සමාජයේ බලපෑම්වලට සහ එහි අධිපතියා වන සාතන්ට හසු වෙනවා.—1 යොහන් 5:19.

2. අපි දැන් නෙහෙමියාගේ ජීවිතය හා සම්බන්ධ සිද්ධීන් කිහිපයක් සලකා බලන්න යන්නේ ඇයි?

2 පාවුල්ගේ එම වචනවල ඇති සත්‍යතාව, ඔහුට අවුරුදු 500කට පමණ පෙර ජීවත් වූ කෙනෙකුගේ ආදර්ශයෙන් පැහැදිලි වෙනවා. ඒ නෙහෙමියායි. ඔහු දෙවිට නමස්කාර නොකළ මිනිසුන්ගෙන් පැමිණි පීඩාවලට මුහුණ දුන්නා පමණක් නොව, ඊට විරුද්ධව සිට යහපතින් නපුර පරාජය කළා. ඔහු මුහුණ දුන් පීඩා මොනවාද? ඉන් ජය ගන්න ඔහුට පුළුවන් වුණේ කෙසේද? අපිට ඔහුගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට ඔහුගේ ජීවිතය හා බැඳුණු සිද්ධීන් කිහිපයක් අපි දැන් සලකා බලමු. *

3. නෙහෙමියා ජීවත් වුණේ මොන වගේ පසුබිමකද? ඔහු ඉටු කළේ මොන තරම් විශාල කාර්යයක්ද?

3 නෙහෙමියා සේවය කළේ අර්තක්ෂස්තා රජුගේ මාලිගාවෙයි. ඔහු යෙහෝවා දෙවිට නමස්කාර නොකළ මිනිසුන් සමඟ ජීවත් වුණත් එදා තිබූ ‘සමාජ ක්‍රමයට අනුව හැඩගැසුණේ’ නම් නැහැ. (රෝම 12:2) ඒ වගේම ඔහු යෙරුසලම් නුවර ගොඩනැඟීමේ දැවැන්ත කාර්යය සඳහා තමන් ගත කරමින් සිටි සැප පහසු ජීවිතය අත්හැර දුෂ්කර ගමනක් යෑමට පවා සැරසුණා. (රෝම 12:1) ඔහු යෙරුසලමේ ආණ්ඩුකාරයා වුණත් තමාගේ සෙනඟ සමඟ වෙහෙස වී වැඩ කළා. ඒ ගැන බයිබලයේ පවසන්නේ ඔවුන් “අලුයම් වේලේ පටන් තරු පෙනෙන තෙක්” වැඩ කරමින් සිටියා කියායි. එහි ප්‍රතිඵලයක් ලෙස යෙරුසලමේ තාප්ප ගොඩනැඟීම මාස දෙකකින් නිම වුණා. (නෙහෙමියා 4:21; 6:15) මේ කාර්යය අතරතුර ඔවුන්ට විවිධාකාර විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න සිදු වුණා. නෙහෙමියාට විරුද්ධ වුණේ කවුද? ඒ අයගේ අරමුණ වුණේ කුමක්ද?

4. නෙහෙමියාගේ විරුද්ධවාදීන්ගේ අරමුණ වුණේ කුමක්ද?

4 ඒ විරුද්ධවාදීන් වූයේ යුදය අවට ජීවත් වූ බලපුළුවන්කාර මිනිසුන් වූ සන්බලාට්, ටෝබියා සහ ගෙෂෙම් යන අයයි. ඔවුන් දෙවිගේ සෙනඟට සතුරුකම් පෑ නිසා “ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ශුභසිද්ධිය සඳහා මනුෂ්‍යයෙකු ආ බව අසා ඉතා ශෝක” වුණා. (නෙහෙමියා 2:10, 19) ඔවුන් මේ විශාල කාර්යය නැවැත්වීමට නපුරු ක්‍රම යොදාගත්තා. ඒ දේවල් මගින් නෙහෙමියා පරාජයට පත් වෙයිද?

‘කෝප වී අතිශයින් උදහස්ව’

5, 6. (අ) නුවර ගොඩනැඟීමේ කාර්යයට නෙහෙමියාගේ සතුරන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) නෙහෙමියා, සතුරන්ගේ බලපෑම්වලට බිය නොවුණේ ඇයි?

5 නෙහෙමියා තම සෙනඟව දිරිගන්වමින් ‘යෙරුසලමේ පවුර ගොඩනඟන්ට එන්න කියා’ පැවසුවා. එවිට සෙනඟ ‘අපි නැඟිට ගොඩනඟමු’ කියා ප්‍රතිචාරය දැක්වූවා. ඒ ගැන නෙහෙමියා වාර්තා කළේ ‘ඔවුහු තමන්ගේ සිත් මේ යහපත් වැඩට ධෛර්යය කරගත්තා’ කියායි. නමුත් විරුද්ධවාදීන් සෙනඟට “නින්දා කොට හෙළාදැක” මෙසේ පැවසුවා. ‘ඔබ කරන මේ දෙය කුමක්ද? රජුට විරුද්ධව කැරලි ගසනවාද?’ ඔවුන්ගේ නින්දා කිරීම්වලට සහ බොරු චෝදනාවලට නෙහෙමියා භය වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ට පැවසුවේ ‘ස්වර්ගයෙහි දෙවි අපව සඵල කරනවා. ඒ නිසා ඔහුගේ මෙහෙකරුවෝ වූ අපි නැඟිට මේ නුවර ගොඩනඟන්නෙමු’ කියායි. (නෙහෙමියා 2:17-20) නෙහෙමියා දිගටම මේ ‘යහපත් වැඩයේ’ නියැලීමට අධිෂ්ඨාන කරගත්තා.

6 එක් විරුද්ධවාදියෙක් වූ සන්බලාට් ‘ඉතා කෝප වී මේ බෙලහීන යුදෙව්වෝ කුමක් කරද්ද? ඔවුන් දවා ගිය කසළ ගොඩවලින් ගල් ඔසවා ගන්නෝදැයි’ කියා ඇසුවා. ටෝබියාද ඔහු සමඟ එක් වී පැවසුවේ ‘ඔවුන්ගේ ගොඩනැඟිල්ල පිට සිවලෙකු නැග්ගොත් මේ ගල් පවුර බිඳ වැටෙන්නේය’ කියායි. (නෙහෙමියා 4:1-3) ඒ විරුද්ධවාදීන්ගේ වාචික ප්‍රහාරවලට නෙහෙමියා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

7. විරුද්ධවාදිකම්වලට නෙහෙමියා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

7 නෙහෙමියා විරුද්ධවාදීන්ගේ නින්දා කිරීම් නිසා සැලුණේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවිගේ ආඥා පිළිපදිමින් පළිගැනීමෙන් වැළකී සිටියා. (ලෙවී කතාව 19:18) ඔහු මේ කාරණය දෙවිට භාර දෙමින් මෙසේ යාච්ඤා කළා. ‘අපේ දෙවි, ඇසුව මැනව, අප සුළු කොට සිතනු ලැබූ නිසා ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ හිස පිටට හරවන්න.’ (නෙහෙමියා 4:4) ඉන් පැහැදිලි වුණේ “පළිගැනීම හා විපාක දීම මාගේය” කියා යෙහෝවා දෙවි පැවසූ වදන් කෙරෙහි ඔහු පූර්ණ විශ්වාසයක් තැබූ බවයි. (ද්විතීය කතාව 32:35) මෙසේ ඔවුන් දිගටම පවුර ගොඩනැගීමේ කාර්යයේ හවුල් වූ අතර කිසිම විරුද්ධවාදියෙකුටවත් එය නවත්වන්න ඉඩ දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට ‘මනුෂ්‍යයන් වැඩට කැමති වූ නිසා මුළු පවුර එහි උස ප්‍රමාණයෙන් භාගයක් උසට ගොඩනඟනු ලැබුවා.’ (නෙහෙමියා 4:6) සැබෑ නමස්කාරයට විරුද්ධ වූ අය අවසානයේදී පරාජයට ලක්වුණා. අපිටත් නෙහෙමියාව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

8. (අ) අපිට බොරු චෝදනා එල්ල කරන විට නෙහෙමියාගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද? (ආ) පළි නොගැනීමේ ප්‍රයෝජන පෙන්වන ඔබ අද්දුටු හෝ අසා ඇති අද්දැකීමක් විස්තර කරන්න.

8 අද දිනත් අපි විරුද්ධවාදීන්ගේ අපහාස කිරීම්වලට ලක් වෙනවා. එය පාසැලෙන්, රැකියා ස්ථානයෙන් හෝ සමහරවිට පවුලෙන් පවා එන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී “නිශ්ශබ්දව සිටින්ට කාලයක්” ඇත කියන ප්‍රතිපත්තිය අදාළ කරගැනීම ඉතා වටිනවා. (දේශනාකාරයා 3:1, 7) නෙහෙමියා මෙන් අපිත් අපහාසාත්මක වචනවලින් බැණවැදීමෙන් ඔවුන්ගෙන් පළිගන්න උත්සාහ කරන්නේ නැහැ. (රෝම 12:17) ඒ වෙනුවට, “මම විපාක දෙන්නෙමි” කියා පවසා ඇති දෙවිගේ වදන් කෙරෙහි විශ්වාස කරනවා නම්, අපි යාච්ඤාවෙන් දෙවිට ඒ කාරණය භාර දෙනවා. (රෝම 12:19; 1 පේතෘස් 2:19, 20) ඒ ආකාරයට කටයුතු කිරීමෙන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට සහ මිනිසුන්ව ගෝලයන් කිරීමට අපට ලැබී තිබෙන පැවරුම නතර කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. (මතෙව් 24:14; 28:19, 20) විරුද්ධවාදිකම් නිසා අධෛර්යයට පත් නොවී දේශනා සේවයේ හවුල් වන සෑම වාරයකදීම අපි පෙන්වන්නේ විරුද්ධවාදීන්ගේ බලපෑම්වලට අප හසු වී නැති බවයි. එලෙස අපි නෙහෙමියාගේ ආදර්ශය අනුකරණය කරනවා.

‘අප විසින් ඔවුන් මරා’

9. විරුද්ධවාදීන් නෙහෙමියාට තර්ජනය කළේ කෙසේද? නෙහෙමියා කළේ කුමක්ද?

9 යෙරුසලමේ “පවුර හරිගස්සන බවත් එහි බිඳුම් අසුරන්ට පටන්ගත්” බවත් සතුරන් දුටු විට ඔවුන් සෙනඟට විරුද්ධව පහර දෙන්න සූදානම් වුණා. යුදෙව්වන් හැම අතින්ම සතුරු ජාතීන්ගෙන් එනම් උතුරෙන් සමාරිවරුන්ගෙන්ද නැඟෙනහිරෙන් අම්මොන්වරුන්ගෙන්ද දකුණින් අරාබියයන්ගෙන්ද බස්නාහිරෙන් අෂ්දොද්වරුන්ගෙන්ද වට වී සිටියා. බැලූ බැල්මට දෙවිගේ සෙනඟට කිසිම බලාපොරොත්තුවක් නැති බව පෙනෙන්න තිබුණත් නෙහෙමියා පැවසුවේ ‘අපි අපේ දෙවිට යාච්ඤා කරමු’ කියායි. නමුත් සතුරන් මෙසේ පැවසුවා. ‘අපි ඔවුන් මැදට පැමිණ ඔවුන්ව මරා වැඩ නවත්වමු.’ ඒ නිසා නුවර ගොඩනඟමින් සිටි සේවකයන්ට “කඩු හෙල්ල සහ දුනු” රැගෙන නුවර ආරක්ෂා කරන්න කියා නෙහෙමියා උපදෙස් දුන්නා. මේ සතුරු ජාතීන් හමුවේ යුදෙව්වන් අසරණයි කියා පෙනෙන්න තිබුණත් නෙහෙමියා පැවසුවේ මෙසේයි. ‘භය නොවෙන්න. . . . උතුම් වූ භය උපදවන්නාවූ යෙහෝවා දෙවිව සිහි කරන්න.’—නෙහෙමියා 4:7-9, 11, 13, 14.

10. (අ) නෙහෙමියාගේ සතුරන් හදිසියේම සටන නතර කළේ ඇයි? (ආ) නෙහෙමියා ගත් ඥානවන්ත ක්‍රියා මාර්ගය කුමක්ද?

10 නමුත් හදිසියේම දේවල් වෙනස් වෙන්න පටන්ගත්තා. සතුරන් සිය සටන අත්හැරලා! ඔවුන් එහෙම කළේ ඇයි? එයට හේතුව පැහැදිලි කරමින් නෙහෙමියා පැවසුවේ ‘දෙවි ඔවුන්ගේ කල්පනාව නිරර්ථක කළා’ කියායි. ඒ වුණත් මේ සතුරන් තවමත් තර්ජනයක් බව නෙහෙමියා තේරුම්ගත්තා. එමනිසා ඊට ගැළපෙන ආකාරයට ඉඳි කරන්නන්ගේ වැඩ කොටස ඥානවන්තව සකස් කළා. එතැන් පටන් ඔවුන් ‘එක අතකින් වැඩ කරමින් අනික් අතින් ආයුධය රැගෙන සිටියා.’ හදිසි සතුරු ප්‍රහාරයකදී අනතුරු ඇඟවීම සඳහා ‘හොරණෑවක් පිඹින්නෙකුවද’ පත් කළා. ඒ සියල්ලටම වඩා නෙහෙමියා ඔවුන්ට මේ දිරිගැන්වීම ලබා දුන්නා. “අපේ දෙවි අප උදෙසා සටන් කරන්නේය.” (නෙහෙමියා 4:15-20) එමගින් දිරිගැන්වුණු සෙනඟ දිගටම මේ දැවැන්ත කාර්යයේ හවුල් වුණා. ඉන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

11. දේශනා සේවය තහනම් කර තිබෙන රටවල්වල ක්‍රිස්තියානීන් ක්‍රියා කර ඇත්තේ කෙසේද? ඔවුන් යහපතෙන් නපුර පරාජය කරන්නේ කෙසේද?

11 ඇතැම් අවස්ථාවලදී ක්‍රිස්තියානීන්ද දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. සමහර රටවල්වල දෙවිගේ සෙනඟට විරුද්ධව නැඟී සිටින අය අධිකයි. ඒ නිසා බැලූ බැල්මට දෙවිගේ සෙනඟට කිසිම බලාපොරොත්තුවක් නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. නමුත් ‘දෙවි තමන් උදෙසා සටන් කරන බව’ ඔවුන් දන්නවා. දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දී බලවත් සතුරන්ගේ ‘කල්පනාවන් නිරර්ථක’ කරන බව ඔවුන්ගේ අද්දැකීමයි. සමහර රටවල්වල දේශනා සේවය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. නමුත් එදා නුවර ගොඩනැඟූ අය තමන්ගේ කාර්යය ඥානවන්තව සකස් කළා හා සමානව දෙවිගේ සේවකයන්ද දේශනා කරන ආකාරය තත්වයන්ට අනුව සකස් කරගන්නවා. නමුත් ඔවුන් කෙදිනකවත් අවි ආයුධ අතට ගන්නේ නැහැ. (2 කොරින්ති 10:4) දරුණු විරුද්ධවාදිකම් ආවත් ඔවුන් දේශනා සේවය නතර නොකිරීමෙන් පෙන්වන්නේ තමන් ‘දිගටම යහපතෙන් නපුර පරාජය’ කරන බවයි.—1 පේතෘස් 4:16.

‘එන්න අපි රැස්වෙමු’

12, 13. (අ) නෙහෙමියාගේ සතුරන් යොදාගත් උපාය කුමක්ද? (ආ) ඔවුන් කළ ආරාධනය නෙහෙමියා ප්‍රතික්ෂේප කළේ ඇයි?

12 නෙහෙමියාගේ සතුරන් තමන්ගේ උත්සාහයන් අසාර්ථක වූ බව තේරුම්ගත් නිසා තවත් කපටි උපක්‍රම තුනක් යොදාගත්තා. ඒවා මොනවාද?

13 ඔවුන් මුලින්ම උත්සාහ කළේ නෙහෙමියාව රවටන්නයි. විරුද්ධවාදීන් කිව්වේ ‘එන්න, අපි ඕනෝ නම් සමභූමියේ ගම්වලින් එකක රැස්වෙමු’ කියායි. ඕනෝ කියන නගරය පිහිටා තිබුණේ සමාරිය හා යෙරුසලම අතරේයි. අවශ්‍ය නම් නෙහෙමියාට මෙහෙම හිතන්න තිබුණා. ‘සටන් කරනවාට වඩා කතා කරලා මේ ප්‍රශ්නෙ විසඳගන්න එක හොඳයි.’ ඒත් ඔහු එම ආරාධනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළේ, ‘ඔවුන් තමන්ට නපුරක් කරන්ට’ සිතාගෙන සිටින බව නෙහෙමියා තේරුම්ගත් නිසයි. මෙසේ අවස්ථා හතරකදීම ඔහු සතුරන්ගේ ආරාධනයන් ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේ කපටි උපාය හොඳ හැටි හඳුනාගත්තා. එනිසා ඔහු රැවටුණේ නැහැ. ඔවුන් සමඟ කතා කරන්න එන්න කියා ඔහුට කොතරම් ආරාධනා කළත් ඔහු කිව්වේ ‘මට එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැර දමා ඔබ වෙතට එන තෙක් වැඩය නවතින්නේ කුමටදැයි’ කියායි. සතුරන්ගේ උපාය අසාර්ථක වූ අතර, නෙහෙමියා දිගටම තම කාර්යයට අවධානය දුන්නා.—නෙහෙමියා 6:1-4.

14. තමාට විරුද්ධව බොරු චෝදනා නැඟූ අයට නෙහෙමියා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

14 දෙවැනි උපාය වූයේ නෙහෙමියාට විරුද්ධව බොරු චෝදනා නැඟීමයි. නෙහෙමියා, අර්තක්ෂස්තා රජට විරුද්ධව ‘කැරලි ගසනවා’ කියා ඔවුන් පැවසුවා. නැවතත් තමන් සමඟ “එක්ව මන්ත්‍රණය කරගන්ට එන්න” කියා ඒ විරුද්ධවාදීන් නෙහෙමියාට ආරාධනා කළා. තම සතුරන්ගේ අරමුණ තේරුම්ගත් නෙහෙමියා මෙවරත් එම ආරාධනය ප්‍රතික්ෂේප කළා. ‘වැඩ නොකරන ලෙස ඔවුන්ගේ අත් බෙලහීන වන්නේයයි කියමින් ඔවුහු සියල්ලෝ අප භයගන්වන්ට කැමැත්තෙන් සිටින බව’ නෙහෙමියා තේරුම්ගත්තා. මේ අවස්ථාවේදී ඔවුන්ගේ බොරු චෝදනාවලට එරෙහි වෙමින් නෙහෙමියා කිව්වේ ‘ඔබ කියන ලෙස කිසිවක් නොකරන ලද නමුත් ඒ දේ ඔබේ සිතින්ම උපදවා ගත්තේය’ කියායි. නෙහෙමියා, දෙවිගේ උපකාරය පතමින් මෙසේ අයැදුවා. “මාගේ අත් සවි කළ මැනව.” දෙවිගේ උපකාරයෙන් මේ සෑම නපුරු උපායකින්ම ජය ගෙන, නුවර ගොඩනැඟිමේ කාර්යය දිගටම කරන්න පුළුවන් කියා ඔහු විශ්වාස කළා.—නෙහෙමියා 6:5-9.

15. අනාගතවක්තෘවරයෙක් ලෙස පෙනී සිටි ෂෙමායා නෙහෙමියාට පැවසුවේ කුමක්ද? නෙහෙමියා එය ප්‍රතික්ෂේප කළේ ඇයි?

15 තුන්වෙනුව ඔවුන් ෂෙමායා කියන ඊශ්‍රායෙලිතයාව යොදාගෙන, දෙවිගේ නීතිය කඩ කරන්න නෙහෙමියාව පොලඹවන්න උත්සාහ කළා. ෂෙමායා ඔහුට කිව්වේ ‘අද රාත්‍රියේ ඔබව මරන්ට එන නිසා අපි දෙවිගේ ගෘහයේ මන්දිරයට ඇතුල්ව මන්දිරයේ දොරවල් පියාගනිමු’ කියායි. දේවමාලිගයට ඇතුල් වීමට අවසර තිබුණේ පූජකයන්ට පමණයි. එමනිසා එසේ කිරීමෙන් දෙවිගේ නීතිය කඩ කරන්න නෙහෙමියා කැමති වුණේ නැහැ. දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයෙක් කවදාවත් දෙවිගේ නීති කඩ කරන්න කාවවත් පොලඹවන්නේ නැහැ කියලා ඔහු දැනගෙන සිටියා. ෂෙමායා කිව්වේ නෙහෙමියාව මරන්න සතුරන් එන නිසා තම ජීවිතය ගලවාගැනීමට දෙවිගේ ගෘහයේ සැඟවෙන්න කියලයි. ෂෙමායා ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් “දෙවි ඔහු නොඑව් බව” තේරුම්ගත් නෙහෙමියා ඔහු පැවසූ දෙය ප්‍රතික්ෂේප කළා. ඔහු කිව්වේ ‘මා වැනි කෙනෙක් පලා යා යුතුද? මා වැනි කවරෙක් ජීවිතය රක්ෂා කරගන්නා පිණිස දේවමාලිගාවට ඇතුල් වේද? මම ඇතුල් නොවන්නෙමියි’ කියායි. ප්‍රතිඵලයක් හැටියට ගොඩනැඟීමේ කාර්යය සාර්ථකව කරගෙන ගියා. ඒ ගැන බයිබලයේ වාර්තා වෙන්නේ, ‘එලුල් මාසේ විසිපස්වෙනිදා පනස් දෙදවසකින් පවුර නිම වුණා’ කියායි.—නෙහෙමියා 6:10-15; ගණන් කතාව 1:51; 18:7.

16. (අ) සැබෑ මිතුරන් නොවන, අපිට විරුද්ධව බොරු චෝදනා නඟන සහ සැබෑ සහෝදරයන් නොවන අය සමඟ අපි කටයුතු කළ යුත්තේ කෙසේද? (ආ) නිවසේ, පාසැලේ හෝ රැකියා ස්ථානයේ, දෙවිගේ ප්‍රතිපත්ති බාල කිරීමට පැමිණෙන නැඹුරුවාවන් ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?

16 නෙහෙමියා මෙන් අපිත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. උදාහරණයකට සැබෑ මිතුරන් මෙන් පෙනී සිටියත් එසේ නොවන අයගෙන්, බොරු චෝදනා නඟන්නන්ගෙන් සහ සහෝදරයන් මෙන් මවාපාන අයගෙන් එය පැමිණිය හැකියි. දෙවිගේ සේවය වෙනුවෙන් අප වැය කරන කාලයෙන් ටිකක්, මුදල් රැස් කරගන්නත් යොදවන්න කියා අපේ මිතුරන් ලෙස පෙනී සිටින අය කියන්න පුළුවන්. නමුත් ඔවුන් එසේ පවසන්නේ, අපි දෙවිට කරන සේවය අඩපණ කිරීමේ අරමුණ ඇතුවයි. කොහොමවුණත් අපි රාජ්‍යයට මුල් තැන දෙන නිසා එවැනි දේවල්වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. (මතෙව් 6:33; ලූක් 9:57-62) අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා කියා බොරු චෝදනා නඟන්නන් පවසන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපිත් නෙහෙමියා මෙන් නීතිය මගින් ඒ චෝදනා බොරු බව පෙන්වා තිබෙනවා. එවැනි තත්වයන් හමුවේ පවා දෙවිගේ උපකාරය ලැබෙන බවට අපිට නිසැකයි. (ෆිලිප්පි 1:7) නරක බලපෑම් සැබෑ සහෝදරයන් මෙන් මවාපාන අයගෙන්ද පැමිණිය හැකියි. එය හරියට යුදෙව්වෙක් වූ ෂෙමායා දෙවිගේ නීතය කඩ කරන්න නෙහෙමියාව පෙලඹවීමට ගත් උත්සාහය හා සමානයි. ඔවුන් කලින් දෙවිට සේවය කළත්, දැන් ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසමින් උත්සාහ කරන්නේ අපව දෙවිගේ නීති කඩ කරන්න පොලඹවන්නයි. නමුත් අපේ ජීවිතය රැකෙන්නේ දෙවිගේ නීති කඩ කිරීමෙන් නොව ඒවා පැවැත්වීමෙන් බව අපි දන්නවා! (1 යොහන් 4:1) මේ සෑම තත්වයකදීම දෙවිගේ උපකාරයෙන් අපිට ජය ගන්න පුළුවන්.

විරුද්ධවාදිකම් මැද දෙවිට සේවය කිරීම

17, 18. (අ) සාතන් ඇතුළු ඔහුගේ නියෝජිතයන් උත්සාහ කරන්නේ කුමක් කිරීමටද? (ආ) ඔබගේ අධිෂ්ඨානය කුමක්ද? ඒ ඇයි?

17 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඔවුන් ‘සාක්ෂි දැරූ පණිවිඩය නිසා ඔහුගෙන් [සාතන්ගෙන්] ජය ගත්තෝය’ කියායි. (එළිදරව් 12:11) ඉන් පෙනී යන්නේ නපුරුකමේ උල්පත වන සාතන්ව පරාජය කිරීමත් සාක්ෂි දැරීමේ කාර්යයත් අතර සම්බන්ධයක් තිබෙන බවයි. එම කාර්යයේ හවුල් වෙන සියලුමදෙනාට එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහ ‘මහත් සමූහයේ’ සාමාජිකයන්ට සාතන් දිගටම පීඩා කරන්නේ ඒ නිසයි.—එළිදරව් 7:9; 12:17.

18 සාතන් ගෙනෙන විරුද්ධවාදිකම්වලට වාචික ප්‍රහාර, ශාරීරික වධ හිංසා හෝ කපටි උපායන් ඇතුළත් වෙනවා. ඒ කුමන ක්‍රමය යොදාගත්තත් ඔහුගේ අරමුණ වෙන්නේ අපි දෙවිට කරන සේවය නතර කිරීමයි. නමුත් ඔහු අනිවාර්යයෙන්ම පරදිනවාමයි. හේතුව, දෙවිගේ සේවකයන් පුරාණයේ සිටි නෙහෙමියාව ආදර්ශයට ගනිමින් ‘දිගටම යහපතෙන් නපුර පරාජය කරන’ නිසයි. ඒ කෙසේද? රාජ්‍යයේ ශුභාරංචිය අන් අයට පැවසීම මගිනුයි. යෙහෝවා දෙවි නතර කරන්න කියන තුරු අපි එය දිගටම කරනවා.—මාක් 13:10; රෝම 8:31; ෆිලිප්පි 1:27, 28.

[පාදසටහන]

^ 2 ඡේ. එම සිද්ධීන්වල පසුබිම දැනගැනීම සඳහා නෙහෙමියා 1:1-4; 2:1-6, 9-20; 4:1-23; 6:1-15 යන පද බලන්න.

ඔබට මතකද?

• අතීතයේ මෙන්ම අද දිනත් දෙවිගේ සේවකයන් මුහුණ දෙන්නේ කුමනාකාරයේ විරුද්ධවාදිකම්වලටද?

• නෙහෙමියාගේ සතුරන්ගේ අරමුණ වුණේ කුමක්ද? අද දිනත් දෙවිගේ සේවකයන්ගේ සතුරන් උත්සාහ කරන්නේ කුමක් කිරීමටද?

• අපිට දිගටම යහපතින් නපුර පරාජය කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නෙහෙමියා පොතෙන් අපට ඉගෙනගත හැකි පාඩම්

දෙවිගේ සේවකයන් මුහුණ දෙන තත්වයන්

• අපහාස

• තර්ජන

• නොමඟ යැවීම්

විරුද්ධවාදිකම් පැමිණෙන්නේ,

• සැබෑ මිතුරන් නොවන අයගෙන්

• බොරු චෝදනා නඟන අයගෙන්

• සැබෑ සහෝදරයන් මෙන් මවාපාන අයගෙන්

දෙවිගේ සේවකයන් නපුර පරාජය කරන්නේ,

• දෙවි දී තිබෙන කාර්යයෙහි දිගටම හවුල් වීමෙනුයි

[27වන පිටුවේ පින්තූරය]

දැඩි විරුද්ධවාදිකම් මැද නෙහෙමියා ඇතුළු ඔහුගේ සේවකයන් පවුර ගොඩනැඟුවා

[31වන පිටුවේ පින්තූරය]

දෙවිගේ සේවකයන් නිර්භීතව ශුභාරංචිය දේශනා කරනවා