Skip to content

පටුනට යන්න

පෘතුගීසි භාෂාවෙන් නිකුත් වූ පළමු බයිබලය “උත්සාහවන්තයා ජය ගනියි”

පෘතුගීසි භාෂාවෙන් නිකුත් වූ පළමු බයිබලය “උත්සාහවන්තයා ජය ගනියි”

පෘතුගීසි භාෂාවෙන් නිකුත් වූ පළමු බයිබලය “උත්සාහවන්තයා ජය ගනියි”

ඉහත සඳහන් කියමන 17වන සියවසේ පළ වූ ආගමික පත්‍රිකාවක මුල් පිටුවේ සඳහන් වුණා. එය වාර්තා කළේ හුවන් ෆෙරේරා ඩි අල්මේදා කියන තැනැත්තායි. ඇත්තෙන්ම මේ පුද්ගලයාට ඒ කියමන හොඳින් අදාළ වෙනවා. හේතුව, පෘතුගීසි භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීමට ඔහුගේ මුළු ජීවිතයම කැප කළ නිසයි.

අල්මේදා ඉපදුණේ 1628 පෘතුගාලයේ උතුරු ප්‍රදේශයේ ටොරි ඩී ටවාරිස් නම් ගම්මානයෙයි. ඔහුගේ කුඩා අවදියේදීම ඔහුට තම දෙමව්පියන්ව අහිමි වුණා. ඒ නිසා ඔහුව හදා වඩා ගත්තේ එම රටේ අගනුවර වන ලිස්බන්වල පදිංචිව සිටි ඔහුගේ බාප්පායි. ඔහු ක්‍රිස්තියානි නිකායක පූජකයෙක් ලෙස කටයුතු කළා. අල්මේදාට මේ ක්‍රිස්තියානි නිකායෙන් කදිම පුහුණුවක් ලැබුණු බව බොහෝදෙනා විශ්වාස කරනවා. එය ඔහුගේ සුවිශේෂී භාෂාමය හැකියාව තවත් ඔප්නැංවූවා.

යුරෝපයේ ආගමික ප්‍රතිසංස්කරණය සිදු වුණේ ඒ අතරතුර කාලයේදීයි. එමනිසා යුරෝපයේ බොහෝ රටවල්වල ජීවත් වූ අයට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්න අවස්ථාව තිබුණා. නමුත් පෘතුගාලයේ තත්වය නම් ඊට වඩා වෙනස්. එවකට එම රට රෝමානු කතෝලික පල්ලියේ බලපෑම යටතේ තිබූ නිසා පෘතුගීසි භාෂාවෙන් බයිබලයක් ළඟ තබාගැනීම පවා දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස ඔවුන් සැලකුවා. * ඒ කාලය තුළ අල්මේදා පෘතුගාලයේ ජීවත් වුණා නම්, කවදාවත් තම භාෂාමය හැකියාවන් යොදාගෙන පෘතුගීසි භාෂාවෙන් බයිබලයක් එළිදක්වන්න නම් ලැබෙන්නේ නැහැ.

පෘතුගාලයේ තත්වය එතරම්ම සුබදායක නැති නිසා වයස අවුරුදු 14දීම අල්මේදා නෙදර්ලන්තය බලා ගියා. ඉන් ටික කලකට පසු ඔහු ආසියාවට පැමිණි අතර ඉන්දුනීසියාවේ, ජකර්තාවල (කලින් හැඳින්වූයේ බටේවියා ලෙසයි) නතර වුණා.

ළා බාල පරිවර්තකයෙක්

අල්මේදා ජකර්තාවල සිට මලයාසියාවට නැවෙන් ගමන් කරද්දී, ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණියා. ඊට බලපෑවේ ඔහුට සම්බ වූ කුඩා පත්‍රිකාවකුයි. (Diferencias de la Cristiandad නම් පත්‍රිකාව) එහි රෝමානු කතෝලික සභාවේ නොයෙක් වැරදි ඉගැන්වීම් හෙළාදැක තිබුණු අතර මෙවැනි දෙයක්ද එහි සඳහන් වුණා. “දෙවිගේ මහිමය උදෙසායයි කියමින්, කාටවත් තේරෙන්නේ නැති භාෂාවක් යොදාගැනීමෙන් අහගෙන ඉන්න අයට කිසිම සෙතක් සැලසෙන්නේ නැහැ.”—1 කොරින්ති 14:9.

අල්මේදා එමගින් වටිනා පාඩමක් ඉගෙනගත්තා. එය නම් ආගම්වල සිදු වන වැරදි අවම කරන්න තියෙන හොඳම ක්‍රමය නම් මිනිසුන්ට ඔවුන්ගේම භාෂාවෙන් බයිබලයක් ලබා දීමයි. ඔහු මලයාසියාවට පැමිණි පසු තම ආගම අත්හැර වෙනත් ක්‍රිස්තියානි ආගමකට සම්බන්ධ වුණා. (ඕලන්ද ප්‍රතිසංස්කෘත සභාව) මේ කාලයේදීම වගේ ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් තිබූ බයිබලයට අයත් සුවිශේෂ පොත් පෘතුගීසි භාෂාවට පරිවර්තනය කළා. පසුව ඒවා “සත්‍යය දැනගැනීමට උනන්දුවක් දැක් වූ අයට” ලබා දුන්නා. *

ඉන් අවුරුදු දෙකකට පමණ පසු අල්මේදා තවත් විශාල කාර්යයකට අතගැසුවා. ඒ, ලතින් භාෂාවෙන් තිබූ ග්‍රීක් ශුද්ධ ලියවිල්ල පෘතුගීසි භාෂාවට පරිවර්තනය කිරීමේ බැරෑරුම් කාර්යයටයි. ඔහු අවුරුද්දකටත් වඩා අඩු කාලයකින් මෙය පරිවර්තනය කර අවසන් කළා. අවුරුදු 16ක කොලු ගැටයෙක් ඒ වගේ දෙයක් කරයි කියලා නම් හිතන්නත් අමාරුයි! ඒ විතරක් නෙමෙයි එය මුද්‍රණය කිරීම සඳහා ඔහු නිර්භීතව මෙහි පිටපතක් ඉන්දුනීසියාවේ ජකර්තාවල සිටි ඕලන්ද ආණ්ඩුකාරවරයාටත් යැව්වා. ජකර්තාහි ඕලන්ද සභාව මෙම පිටපත් ඕලන්දයට යැවූ අතර එහි මෙම පිටපත් බාරගැනීමට සිටි පුද්ගලයා මිය ගියා. ඒ හේතුවෙන් එම පිටපත් අතුරුදහන් වුණා.

ශ්‍රී ලංකාවේ පිහිටි ඕලන්ද සභාව වෙනුවෙන්ද පිටපතක් ලබා දෙන මෙන් 1651දී ඕලන්ද සභාව අල්මේදාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ඔහුගේ මුල් පිටපත උපයෝගී කරගන්න ඔහුට සිදු වුණා. නමුත් ඔහුගේ මුල් පිටපත අතුරුදහන් වී ඇති බව ඔහු දැනගත්තා. ඒත් එයින් ඔහු අධෛර්යයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කලින් යොදාගත් සටහන් සොයාගෙන, සුවිශේෂ පොත් හතර සහ ක්‍රියා පොත නැවතත් පරිවර්තනය කළා. ඒ වෑයම වෙනුවෙන් ජකර්තාවල පිහිටා තිබූ ඕලන්ද සභාවේ මූලස්ථානය ඔහුට සුළු මුදලක් පරිත්‍යාග කළා. ඒත් අල්මේදාගේ මිතුරෙක් ඒ ගැන පැවසුවේ “ඔහු දරපු මහන්සියට සරිලන මුදලක් ඔහුට දුන්නේ නැහැ” කියායි.

ඔහුගේ පරිවර්තන කාර්යයන් එතරම් අගය කළ බවක් පෙනෙන්න නොතිබුණත්, අල්මේදා “නව තෙස්තමේන්තුව” පෘතුගීසි භාෂාවට පරිවර්තනය කිරීමේ වැඩකටයුතු කරගෙන ගියා. වර්ෂ 1654දී ඔහු මුද්‍රණ කටයුතු සඳහා මේ පිටපත් නැවතත් ඕලන්ද සභාවට ලබා දුන්නා. ඒත්, අතින් ලියන ලද පිටපත් කිහිපයක් සභාවලට යැව්වා ඇරෙන්න ඔවුන් ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් පෙන්වූයේ නම් නැහැ.

කතෝලික සභාවේ විරෝධය මැද

ඊළඟ අවුරුදු දහය තුළ අල්මේදා මිෂනාරි සේවය තුළ කාර්යබහුලව කටයුතු කළා. වර්ෂ 1656දී ඔහුව පූජකයෙක් ලෙස පත් කළ අතර, ශ්‍රී ලංකාව තුළ ඔහුගේ සේවය දියත් කළා. එහිදී ඔහු අලියෙකුගෙන් තම ජීවිතය බේරාගත්තේ අනූනවයෙන්. පසුව ඉන්දියාවේ සංචාරය කළ පළමු රෙපරමාදු මිෂනාරිවරයා වූයෙත් ඔහුයි.

අල්මේදා රෙපරමාදු ආගම වැළඳගෙන විදේශ රටවල සේවය කළ නිසා, පෘතුගීසි භාෂාව කතා කළ බොහෝදෙනා ඔහුව සැලකුවේ ඇදහිල්ල අත්හැරිය කෙනෙකු හැටියටයි. අල්මේදා විසින් කතෝලික සභාවේ පූජකයන්ගේ දූෂිත ක්‍රියා කලාපයන් හෙළා දැක්කා වගේම පල්ලියේ වැරදි ඉගැන්වීම්ද නිර්භීතව හෙළි කළා. ඒ නිසා කතෝලික මිෂනාරිවරුන් සහ අල්මේදා අතර බොහෝ වාද විවාදයන් හටගත්තා. අවසානයේදී ඒ මතගැටුම් 1661දී උච්චාවස්ථාවට පැමිණි අතර, ඉන්දියාවේ ගෝවා නම් නගරයේ පිහිටි කතෝලික සභාව විසින් අල්මේදාට මරණ දඬුවම නියම කළා. අල්මේදාව අල්ලාගැනීමට නොහැකි වූ නිසා ඔවුන් ඔහුට සමාන රුවක් නිර්මාණය කර ඊට ගිනි තැබුවා. ඒ නිසා ඕලන්දයේ ආණ්ඩුකාරයා විසින් අල්මේදාව නැවතත් ඉක්මනින්ම ඉන්දුනීසියාවට ගෙන්වා ගත්තා.

ඔහු ඉතාමත් උද්‍යෝගීමත් මිෂනාරිවරයෙක් වුණත් බයිබලය පෘතුගීසි භාෂාවට පරිවර්තනය කිරීමට වූ ඔහුගේ ආශාව නම් අඩු වුණේ නැහැ. පූජකයන් සහ සාමාන්‍ය ජනයා යන දෙකොටසටම බයිබලය කියවා තේරුම්ගන්න නොහැකි බව දැකීම නිසා බයිබලය පරිවර්තනය කිරීමට වූ ඔහුගේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වුණා. වර්ෂ 1668දී අල්මේදා විසින් සකස් කළ එක් ආගමික පත්‍රිකාවක තම පාඨකයන්ට මෙවැනි දෙයක් පැවසුවා. ‘ඔබගේම භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කෙනෙක් විසින් තවත් කෙනෙකුට දීමට හැකි උතුම්ම ත්‍යාගය සහ වටිනාම වස්තුවත් එයයි.’

අල්මේදාගේ ඊළඟ අභියෝගය

වර්ෂ 1676දී අල්මේදා “නව තෙස්තමේන්තුවේ” පරිවර්තන පිටපතක් සංශෝධනය කිරීම සඳහා ජකර්තාවල පිහිටි ඕලන්ද සභාවේ මූලස්ථානයට යැව්වා. එහි ආරම්භයේදී අල්මේදා සහ සංශෝධකයින් අතර තරමක හැලහැප්පීම් දකින්න තිබුණා. අල්මේදාගේ ජීවිත කතාව ගැන වාර්තා කළ තැනැත්තෙක් පැවසුවේ, සංශෝධක කණ්ඩායමේ සමහරුන්ට එම පරිවර්තනයේ සියුම් වෙනස්කම් සහ ලියා තිබූ විලාශය නිසා එය තේරුම්ගන්න අපහසු වෙන්න ඇති කියායි. අල්මේදා යොදාගත් භාෂාවේ මට්ටමත් ඊට හේතු වුණා. බයිබලය සඳහා යොදාගත යුත්තේ එදිනෙදා භාවිත කරන කථික ශෛලියක්ද නැතිනම් බොහෝදෙනෙකුට නොතේරෙන උසස් භාෂා ශෛලියක්ද? බයිබලය පරිවර්තනය කිරීමේ අවසානයක් දැකීමට ඔහුට තිබූ ඉමහත් උද්‍යෝගය, අවසානයේදී බොහෝ ඝට්ටනවලට මඟ පෑදුවා.

පිටපත් සංශෝධකයින්ගේ මන්දගාමී ස්වභාවය නිසා හෝ වාද විවාද නිසා මේ වැදගත් කාර්යය ප්‍රමාද වුණා. අවුරුදු හතරක් ගත වුණත් ඔවුන් තවමත් වාද විවාද කරමින් සිටියේ ලූක්ගේ සුවිශේෂයේ මුල් පරිච්ඡේද කිහිපය ගැනයි. ඒ ගැන කලකිරුණු අල්මේදා, සංශෝධකයින්ගේ අනුදැනුම නැතිව වුවත් නෙදර්ලන්තයට පිටපත් යැවූ අතර එහිදී ඒවා මුද්‍රණය කර බෙදාහරින්න කියා ඉල්ලා සිටියා.

සංශෝධකයින්ගේ විරෝධතා මැද වුණත් 1681දී අල්මේදාගේ පරිවර්තනය ඇම්ස්ටර්ඩම්වලදී මුද්‍රණය කෙරුණු අතර ඊළඟ අවුරුද්දේදී එහි පළමු පිටපත් ජකර්තාවලටත් ලැබුණා. නමුත් නෙදර්ලන්තයේ සිටි සංශෝධකයින්ගේ අතින් ඔහුගේ පරිවර්තනයේ බොහෝ වෙනස්කම් සිදු කර ඇති බව දැනගත් විට අල්මේදාට කොතරම් කලකිරීමක් ඇති වෙන්න ඇද්ද! නෙදර්ලන්ත සංශෝධකයින්ට පෘතුගීසි භාෂාව ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා පරිවර්තනයේ යම් ස්ථානවල තිබූ අලංකාරය බොඳ වූ අතර නියම අදහසද යටපත් වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඕලන්ද රජයත් අසතුටු වූ අතර පිටපත් සියල්ල විනාශ කරන්න ඔවුන් නියෝග කළා. නමුත් නෙදර්ලන්ත සංශෝධකයින් අතින් සිදු වූ දෝෂ නිවැරදි කිරීම සඳහා සමහර පිටපත් විනාශ නොකරන්න කියා අල්මේදා ඉල්ලා සිටියා. ඊට එකඟව නිවැරදි පරිවර්තනයක් එළිදැක්වෙන තුරු ඒ පිටපත් යොදාගනු ලැබුවා.

ජකර්තාවල සිටි සංශෝධකයින් නැවතත් අල්මේදාගේ පරිවර්තනවලට අවධානය දෙන්න පටන්ගත් අතර පසුව අල්මේදා පරිවර්තනය කරන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි සංශෝධනය කිරීමත් ආරම්භ කළා. අල්මේදා නැවතත් නොඉවසීමෙන් කටයුතු කරයි යන බිය නිසා සංශෝධනය කළ අවසන් පිටපත් පල්ලිය භාරයේ තැබුවා. මේ ක්‍රියාවටත් අල්මේදා තම අප්‍රසාදය පළ කළා.

අවුරුදු ගණනාවක් පුරා වෙහෙස වී වැඩ කිරීම සහ උණුසුම් දේශගුණයක් සහිත රටක ජීවත් වීම ඔහුගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපෑවා. වර්ෂ 1689දී දුර්වල වෙමින් පවතින සෞඛ්‍ය නිසා ඕලන්ද පල්ලියේ ක්‍රියාකාරකම්වලින් සමුගත් ඔහු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීමට තම ජීවිතයේ ඉතිරි කාලය කැප කළා. නමුත් 1691දී එසකියෙල්ගේ පොතේ අවසන් පරිච්ඡේදවල පරිවර්තන කටයුතුවල යෙදී සිටියදී ඔහු මිය යෑම ඉතාමත් කනගාටුවට හේතුවක්.

අල්මේදාගේ මරණයට ටික කලකට පෙර, එනම් 1693දී “නව තෙස්තමේන්තුවේ” දෙවෙනි සංස්කරණයේ කටයුතු අවසන් කළ අතර මුද්‍රණය සඳහා යවනු ලැබුවා. නමුත් එම පරිවර්තනයත් එතරම් දැනුම් තේරුම් නැති සංශෝධකයින් විසින් විකෘති කර තිබුණා. එක් පොතක ජී. එල්. සැන්ටොස් ෆෙරේරා කියන තැනැත්තා මෙසේ වාර්තා කළා. “අල්මේදාගේ එම අනර්ඝ පරිවර්තනයේ සැලකිය යුතු වෙනස්කම් දෙවෙනි වතාවට සංශෝධනය කළ අය විසින් කර තිබුණා. පළමු සංශෝධකයින්ගේ අවධානයෙන් බේරී තිබුණු දේවල් ඔවුන් විසින් වෙනස් කළා පමණක් නොව එහි මුල් අර්ථය බොඳ කර, අලංකාරයද විනාශ කළා.”එම පොත A Biblia em Portugal.

පරිවර්තනය නිම වෙයි

අල්මේදාගේ මරණයත් සමඟම පෘතුගීසි බයිබලය සංශෝධනය කිරීම සහ එය මුද්‍රණය කිරීමත් ඇණ හිටියා. නමුත් 1711දී ලන්ඩනයේ ක්‍රිස්තියානි සංවිධානයක් විසින් ඔහුගේ පරිවර්තනයට නැවතත් ජීවයක් ලබා දුන්නා. ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයේ සේවය කළ ඩෙන්මාර්ක් ජාතික මිෂනාරි කණ්ඩායමකගේ ඉල්ලීම පිට “නව තෙස්තමේන්තුවේ” තුන්වෙනි සංස්කරණය එළිදක්වන්න කටයුතු සංවිධානය කළා. ඊට මූල්‍යමය උපකාර සැපයූවේ ලන්ඩනයේ ක්‍රිස්තියානි සංවිධානයයි.

ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයේදී, එම බයිබලයේ මුද්‍රණ කටයුතු කිරීමට ලන්ඩනයේ ක්‍රිස්තියානි සංවිධානය තීරණය කළා. මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය රැගත් නැවක් ඉන්දියාව බලා පිටත් වුණා. එම නැවේ, පෘතුගීසි භාෂාවෙන් එවකට තිබූ අල්මේදාගේ පරිවර්තනයේ දෙවන සංස්කරණයේ පිටපත් කිහිපයක්ද රැගෙන එමින් තිබුණා. නමුත් ගමන අතරතුරදී ප්‍රංශ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුවීම හේතුවෙන් එම නැව බ්‍රසීලයේ රියෝ ඩි ජැනිරෝ වරායේ අත්හැර ගොස් තිබුණා. ඒ ගැන සැන්ටොස් ෆෙරේරා පවසන්නේ මෙසේයි. “මුද්‍රණ උපකරණ ඇතුළු සියලු දේ අසුරා තිබූ එම පෙට්ටි සියල්ලක්ම කිසිම හානියකින් තොරව නැවේ තිබුණා. පසුව එම නැව නැවතත් ඉන්දියාව බලා ගමන් කළා. සිදු වුණේ හරිම පුදුම දෙයක්. එය හරියට ප්‍රාතිහාර්යක් වගෙයි.” ඉන් පසුව එහි සිටි මිෂනාරිවරුන් අල්මේදාගේ බයිබල් පරිවර්තනයේ ඉතිරි පොත් පරිස්සමෙන් සංශෝධනය කර මුද්‍රණය කළා. පෘතුගීසි භාෂාවෙන් පළ වූ සියලුම පොත් ඇතුළත් මුල්ම බයිබලය එළිදැක්වූයේ 1751දීයි. එනම් අල්මේදා, බයිබලය පරිවර්තනය කිරීම ආරම්භ කර අවුරුදු 110ක් ගත වුණාට පසුවයි.

ප්‍රතිඵලය තවමත් ජීවමානයි

පොදු ජනයාට පෘතුගීසි භාෂාවෙන් බයිබලයක් තිබීමේ අවශ්‍යතාව ගැටවරයෙක් වූ අල්මේදාට හොඳින්ම වැටහී ගියා. ඒ තුළින් බයිබලයේ ඇති සත්‍යය හොඳින් වටහාගැනීමට හැකි බවත් ඔහු තේරුම්ගත්තා. කතෝලික පල්ලියෙන් පැමිණි විරුද්ධවාදීකම්, නොයෙකුත් පුද්ගලයන්ගෙන් සහ සංවිධානවලින් පැමිණි ප්‍රශ්න සහ ඔහුගේම දුර්වල ශරීර සෞඛ්‍ය යටතේ පවා එම කාර්යය නොකඩවාම කරගෙන යෑමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. ඔහුගේ එම අධිෂ්ඨානයට කදිම ප්‍රතිඵල ලැබුණා.

අල්මේදා එදා දේශනා කළ ප්‍රදේශවල පෘතුගීසි භාෂාව කතා කරන මිනිසුන් ප්‍රමාණය අඩුවෙමින් පැවතුණත් ඔහු පරිවර්තනය කළ බයිබලය නම් අද දක්වාම පවතිනවා. දහනවවන ශතවර්ෂයේදී බ්‍රිතාන්‍ය සහ තවත් විදේශීය බයිබල් සංවිධාන මෙන්ම අමෙරිකානු බයිබල් සංවිධාන විසින් පෘතුගාලය සහ බ්‍රසීලයේ මුහුදු තීරයේ නගරවල අල්මේදාගේ බයිබලයේ පිටපත් දහස් ගණනින් බෙදාහැරියා. එහි ප්‍රතිඵලයක් හැටියට පෘතුගීසි භාෂාව කතා කරන සමාජය තුළ අල්මේදාගේ බයිබල් පරිවර්තනය පදනම් කරගෙන සකස් කර ඇති බයිබලය ඉතා ජනප්‍රිය වුණා.

අපි සියලුදෙනාම අල්මේදා වැනි මුල් බයිබල් පරිවර්තකයන්ට අපගේ කෘතඥතාව පළ කළ යුතුයි. නමුත් ඊටත් වඩා අපි ස්තුතිවන්ත විය යුත්තේ එය අපට ලබා දුන් යෙහෝවා දෙවිටයි. ඔහුගේ “කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:3, 4) මේ සියල්ල අවසානයේදී පැහැදිලි වන කාරණය නම් අපගේ ප්‍රයෝජනයට බයිබලය මෙතෙක් ආරක්ෂා කර දී ඇත්තේ යෙහෝවා දෙවි බවයි. එමනිසා අපි සියලුදෙනාම අපගේ ස්වර්ගික පියාණන්ගෙන් ලද එම ‘වටිනා වස්තුව’ ඉතා අගය කරමින් උනන්දුවෙන් එය අධ්‍යයනය කරමු.

[පාදසටහන්වල]

^ 4 ඡේ. ක්‍රිස්තු වර්ෂ 1550න් පසු කාලයේදී පොදු ජනයාගේ භාෂාවෙන් පරිවර්තනය කළ බයිබල් භාවිත කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩි තහංචි පනවා, තහනම් පොත් ලැයිස්තුවක්ද නිකුත් කළා. එක් විශ්වකෝෂක සඳහන් වන ආකාරයට “ඔවුන් මෙලෙස පියවර ගැනීම නිසා අවුරුදු 200ක පමණ කාලයක් පුරා කතෝලිකයන් අතර බයිබලය පරිවර්තනය කිරීමේ කටයුතු බොහෝ දුරට ඇණ හිටියා.”—එම විශ්වකෝෂය The New Encyclopaedia Britannica.

^ 8 ඡේ. අල්මේදා පරිවර්තනය කළ බයිබලය පසු කාලවලදී ප්‍රතිසංස්කරණය කළ අය ඔහු කතෝලික සභාවේ පූජකයෙක් බව පෙන්නුම් කරනවා. නමුත් එය සැබෑවක් නොවේ. යම් පදවියක් වරදවා වටහාගැනීම හේතුවෙනුයි එසේ කතෝලික පූජකයෙක් ලෙස හඳුන්වා තිබෙන්නේ.

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙවිගේ පෞද්ගලික නාමය

බයිබල් පරිවර්තකයෙක් හැටියට අල්මේදා හෙබ්‍රෙව් භාෂාවෙන් ඇති දෙවිගේ නාමය යොදාගෙන තිබීම විශේෂ දෙයක්. ඉන් පෙනී යන්නේ ඔහු මෙම පරිවර්තනය නිවැරදි එකක් කරා ගෙන එන්න කොතරම් කැපවීමකින් කටයුතු කළාද යන්නයි.

[හිමිකම් විස්තර]

Cortesia da Biblioteca da Igreja de Santa Catarina (Igreja dos Paulistas)

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අත්ලන්තික් සාගරය

පෘතුගාලය

ලිස්බන්

ටොරි ඩී ටවාරිස්

[18වන පිටුවේ පින්තූරය]

දහහත්වන ශතවර්ෂයේදී බටේවියා ප්‍රදේශය

[හිමිකම් විස්තර]

From Oud en Nieuw Oost-Indiën, Franciscus Valentijn, 1724

[18, 19වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1681දී පෘතුගීසි භාෂාවෙන් මුල් වරට ප්‍රකාශයට පත් කළ “නව තෙස්තමේන්තුවේ” මුල් පිටුව

[හිමිකම් විස්තර]

Courtesy Biblioteca Nacional, Portugal