Skip to content

පටුනට යන්න

“භාෂාවෙන් වෙන් වුණත් ප්‍රේමයෙන් බැඳී”

“භාෂාවෙන් වෙන් වුණත් ප්‍රේමයෙන් බැඳී”

“භාෂාවෙන් වෙන් වුණත් ප්‍රේමයෙන් බැඳී”

මිනිසුන් කවුරුත් පාහේ ඉතාමත් ආශාවෙන් බලා සිටින්නේ දුක් කරදරවලින් තොර සාමකාමී කාලයක් උදාවන තුරුයි. එවන් කාලයක් කවදා හෝ උදා වෙයිද? ඒ කොහොමද? වර්තමානයේ අද්දකින ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද?

වර්ෂ 2006දී, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් සංවිධානය කළ “ගැලවීම අත ළඟයි” යන තේමාවෙන් යුත් සමුළුවලදී ඉහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට හැකි වුණා.

සංවිධානය කළ ජාත්‍යන්තර සමුළු නවයකට, විවිධ රටවලින් දහස් ගණන්දෙනා පැමිණියා. එම සමුළු පැවැත්වුණේ ජූලි සහ අගෝස්තු මාසවලයි. චෙක් සමූහාණ්ඩුවේ අගනුවර වන ප්‍රාග්, ස්ලෝවැක් ජනරජයේ බ්‍රැටිස්ලාවා, පෝලන්තයේ * කොර්සොව් සහ පොස්නෑන් නගරවලත් ඒවා පැවැත්වුණා. එමෙන්ම ජර්මනියේ ඩෝට්මන්ඩ්, ෆ්රෑන්ක්ෆර්ත්, හැම්බර්ග්, ලිප්සිග් සහ මියුනිච් යන නගරවලත් එම සමුළු පැවැත්වූ අතර ඒ සඳහා සහභාගි වූ මුළු සංඛ්‍යාව 3,13,000යි.

එම සමුළු අතරතුර දකින්න තිබුණේ කුමන ස්වභාවයක්ද? ජන මාධ්‍යයන්ගෙන් ඊට ලැබුණේ කවර ප්‍රතිචාරයක්ද? සමුළුවට සහභාගි වූ අයට අවසානයේදී ඒ ගැන හැඟුණේ කෙසේද?

සමුළුවලට පෙර සූදානම

වෙනත් රටවලින් පැමිණි අය සහ එම රටේම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් මහත් උනන්දුවකින් බලා සිටියේ එම අමතක නොවන අවස්ථාව උදාවන තුරුයි. පැමිණෙන අමුත්තන්ට නවාතැන් පහසුකම් සූදානම් කරන එක එතරම් ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. උදාහරණයකට කොර්සොව්හි පැවති සමුළුවට නැඟෙනහිර යුරෝපයෙන් පැමිණි අමුත්තන් 13,000 දෙනෙකුට නවාතැන් පහසුකම් ලබා දීමට පෝලන්තයේ සහෝදර සහෝදරියන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ අමුත්තන් පැමිණියේ ආර්මේනියාව, බෙලරස්, එස්තෝනියාව, ජෝර්ජියා, කසක්ස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියා, මෝල්දාවියාව, රුසියාව, ටජිකිස්තානය, තුර්ක්මෙනිස්තානය, යුක්‍රේනය, එක්සත් ජනපදය සහ උස්බෙකිස්තානය වැනි රටවල්වලිනුයි.

වෙනත් රටවල්වලින් පැමිණි අයට මේ සඳහා මාස කිහිපයකට කලින් සිටම සුදානම් වීමට සිදු වුණා. උදාහරණයකට රුසියාවේ සිටි ටැටිආනා නම් පූර්ණ කාලීන සේවයේ නියැලුණු සහෝදරියට, කිලෝමීටර් 10,500ක් දුර මේ ගමන යන්න අවුරුද්දකට කලින් සිටම මුදල් එකතු කරන්න සිදු වුණා. ඇය පැය පහක් ගුවන් යානයෙනුත් දින තුනක් පමණ දුම්රියෙනුත් අවසානයේදී පැය 30ක් බස්රථයෙනුත් ගමන් කළා.

මේ ජාත්‍යන්තර සමුළු පැවැත්වූ ක්‍රීඩාංගණ දෙවිට නමස්කාර කිරීම සඳහා සුදුසු තත්වයකට ගෙන ඒමට දහස් ගණන්දෙනා වෙහෙස නොබලා වැඩ කළා. (ද්විතීය කතාව 23:14) උදාහරණයකට ලිප්සිග්හි සමුළුව පැවැත්වූ ක්‍රීඩාංගණය සමුළුවට පෙරත් ඉන්පසුවත් ශුද්ධ පවිත්‍ර කිරීමට සහෝදරයන් එකඟ වුණා. මේ නිසා ක්‍රීඩාංගණය භාර බලධාරීන් කිව්වේ නඩත්තුව සඳහා අය කිරීමට නියමිත මුදල් ඔවුන්ගෙන් අය නොකරන බවයි.

ආරාධනා කිරීම

ලොව පුරා රටවල් බොහෝමයක “ගැලවීම අත ළඟයි” යන සමුළුවට පුළුල් ප්‍රචාරයක් දෙනු ලැබුවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලැබූ සමුළුවලට සහභාගි වූ අයද මහත් උනන්දුවෙන් මෙම ප්‍රචාරයට හවුල් වුණා. සමුළුව ආරම්භ වීමට පෙර දිනයේදීත් සහෝදර සහෝදරියන් හවස්වන තුරුම මෙම කාර්යයේ නියැලුණා.

පෝලන්තයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන බොග්ඩෑන්ට කොර්සොව්වල පැවැත්වීමට නියමිත සමුළුවට යන්න ආශාවක් දැක්වූ මහලු කෙනෙක්ව මුණගැසුණා. නමුත් ඒ මහලු පුද්ගලයා කිව්වේ කිලෝමීටර් 120ක් තරම් දුර යන්න ප්‍රමාණවත් මුදල් ඔහු ළඟ නැහැ කියායි. ඒත් සමුළුවට යෑම සඳහා කුලියට ගත් බස්රථයේ එක් හිස් ආසනයක් තිබුණ නිසා බොග්ඩෑන් කිව්වා “සල්ලි ඕනේ නැහැ. අපි කියන තැනට උදේ 5:30ට ආවොත් ඔයාට පුළුවන් අපිත් එක්කම යන්න” කියලා. එම ආරාධනය පිළිගත් ඔහු සමුළුවට සහභාගි වීමෙන් පසුව මෙසේ පැවසුවා. “ඒ සමුළුවෙන් පස්සේ මම තීරණය කළා මීට වඩා යහපත් කෙනෙක් වෙන්න.”

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සහෝදරයන් නැවතී සිටියේ ප්‍රාග් නගරයේ හෝටලයකයි. එම හෝටලයේම නැවතී සිටි තවත් පුද්ගලයෙක් ඒ සහෝදරයන්ට කිව්වේ තමුන්ද එම සමුළුවට ගිය බවයි. මේ නගරයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දහදෙනෙක්ම තමාට ආරාධනා කළ නිසා සමුළුවට එන්න තමාට ආශාවක් ඇති වුණා කියා ඔහු පැවසුවා. ඔහු ඒ ගැන කොතරම් සතුටු වුණාද කියනවා නම්, බයිබලය ගැන තවදුරටත් ඉගෙනගන්න ඔහු පෙලඹුණා.—1 තිමෝති 2:3, 4.

ඇදහිල්ල ශක්තිමත් කරන සමුළුවක්

බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගනිමින්, ජීවිතයේ පැන නඟින අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද කියා මෙම සමුළුවේදී සාකච්ඡා කළා.

මෙහිදී බයිබලයේ වාර්තා වී තිබෙන බලාපොරොත්තුව මගින් මහලු, වියෝ දුකෙන් පෙළෙන්නන් සහ ලෙඩ දුක් හෝ වෙනත් ඕනෑම ආකාරයක දුෂ්කරතා අද්දකින්නන්ට කදිම දිරිගැන්වීම් ලබා දුන්නා. (ගීතාවලිය 72:12-14) ඒ වගේම විවාහකයන්ට තම යුග දිවිය සාර්ථකව ගත කළ හැකි ආකාරය ගැනත්, දෙමව්පියන්ට තම දරුවන්ව හොඳින් හදා වඩා ගත හැකි ආකාරය ගැනත් බයිබලයේ සඳහන් උපදෙස් මතක් කරනු ලැබුවා. (දේශනාකාරයා 4:12; එෆීස 5:22, 25; කොලොස්සි 3:21) එමෙන්ම නරක මිතුරන්ගෙන් එන බලපෑම්වලින් යෞවනයන් ආරක්ෂා විය යුත්තේ කෙසේද කියාත් “යොවුන් වියට ආවේණික වූ ආශාවලින් පලා යන්න” පුළුවන් කොහොමද කියාත් මෙහිදී පහදා දුන්නා.—2 තිමෝති 2:22.

ජාත්‍යන්තර සහෝදරත්වයක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම්වලදීත්, සමුළුවලදීත් බයිබලයේ සඳහන් කදිම උපදෙස්වලින් ප්‍රයෝජන ලබනවා. (2 තිමෝති 3:16) නමුත් මේ ජාත්‍යන්තර සමුළුවලට වෙනත් රටවල්වලිනුත් සාක්ෂිකරුවන් පැමිණෙන නිසා ඒවා රැස්වීම්වලට වඩා වෙනස්. මේ සෑම සමුළුවකම එකම තොරතුරු සාකච්ඡා කරනු ලැබූ අතර එය විවිධ භාෂාවලට පරිවර්තනය කරනු ලැබුවා. මෙහිදී පාලක මණ්ඩලයේ සහෝදරයන්ද කතා ඉදිරිපත් කළා. ඒ වගේම විවිධ රටවල්වලින් පැමිණි සහෝදරයන් එම රටවල්වල සේවය සිදු වෙන ආකාරය ගැන දුන් වාර්තා සමුළුවට ආ අයගේ උනන්දුව තවත් වැඩි කළා. එම කතාද විවිධ භාෂාවලට පරිවර්තනය කරනු ලැබුවා.

සමුළුවට ආ අය වෙනත් රටවල්වලින් පැමිණි සහෝදර සහෝදරියන්ව හමුවීමට මහත් ආශාවකින් සිටියා. එක් සහෝදරයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “එහි සිටි අය විවිධ භාෂා කතා කළත් ඔවුන්ගේ සංස්කෘතියද එකිනෙකට වෙනස් වුණත් එය ඔවුන්ගේ එකමුතුකමට නම් බාධාවක් වුණේ නැහැ. ඒ වෙනුවට එහි ප්‍රීතිය තව තවත් වැඩි වුණා.” මියුනිච්වල පැවති සමුළුවට සහභාගි වූ කෙනෙක් මෙහෙම කිව්වේ ඒ නිසයි. “භාෂාවෙන් වෙන් වුණත් ඔවුන් ප්‍රේමයෙන් බැඳී සිටිනවා.” භාෂාව හා රට වෙනස් වුණත් මෙහි පැමිණ සිටි සියලුදෙනාටම එක් දෙයක් අවබෝධ වුණා. ඒ ඔවුන් සැබෑ මිතුරන් අතරේ සිටින බවයි.—සෙකරියා 8:23.

අගය ප්‍රකාශ කිරීම

පෝලන්තයේ පැවති කාලගුණ තත්වය ජාත්‍යන්තර සමුළුවට පැමිණ සිටි අයට අභියෝගයක් වුණා. එම දවස්වල වර්ෂාවට පමණක් නොව අධික සීතලටද මුහුණ දෙන්න ඔවුන්ට සිදු වුණා. ඒ දවස්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 14ක් දක්වා පහත වැටුණා. “මෙච්චර සීතල කාලගුණයක් තිබුණු සමුළුවකට නම් මම මීට කලින් කවදාවත් ගිහිල්ලා තිබුණේ නැහැ. කොච්චර සීතලද කියනවා නම් මට හරියට අවධානය දෙන්නත් බැරි වුණා. ඒ වුණත් සහෝදරයන් දක්වපු සැලකිල්ල, ආගන්තුක සත්කාරය, මිත්‍රශීලිභාවය නිසා ඒ සමුළුව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ” කියා එක්සත් ජනපදයෙන් පැමිණි සහෝදරයෙක් පැවසුවා.

පෝලන්ත භාෂාවෙන් නව ප්‍රකාශන දෙකක් මුදාහැරීම නිසා ඔවුන්ගේ සතුට තවත් වැඩි වුණා. [Insight on the Scriptures, Live With Jehovah’s Day in Mind] මෙය හරියට වර්ෂාව සහ සීතල දරාගැනීම නිසා ඔවුන්ට ලැබුණු අගනා ත්‍යාගයන් හා සමානයි.

මෙම ජාත්‍යන්තර සමුළුවට පැමිණි අයට එය අමතක නොවන එකක් වෙන්න තවත් හේතු තියෙනවා. චෙක් සමූහාණ්ඩුවෙන් පැමිණි ක්‍රිස්ටීනා කියන සහෝදරිය වෙනත් රටවලින් පැමිණි අමුත්තන්ට සංග්‍රහ කරන්න බොහෝ සෙයින් මහන්සි වී වැඩ කළා. ඇය පවසන්නේ මෙහෙමයි. “වෙනත් රටවලින් පැමිණි සාක්ෂිකරුවන් අපෙන් සමුගන්නා අවස්ථාවේදී එක් සහෝදරියක් මාව පැත්තකට අරගෙන ගිහිල්ලා මාව වැලඳගෙන මෙහෙම කිව්වා. ‘ඔයාලා අපිව බොහොම හොඳට බලාගත්තා. අපේ ළඟටම ඔයාලා කෑම බීම ගෙනල්ලා දුන්නා. ඔයාලා පෙන්නපු මේ මහත් ප්‍රේමයට ඔයාලාට බොහොම ස්තුතියි.’” තවත් සහෝදරයෙක් ඒ ගැන මෙහෙමත් පවසනවා. “ආගන්තුකයන් 6,500දෙනෙකුට දවල් ආහාරය සපයන්න අපිට පැවරුණා. ඒ වගේ දෙයක් ගැන අපිට කලින් අද්දැකීමක් නම් තිබුණේ නැහැ. නමුත් කුඩා දරුවන් ඇතුළු බොහෝදෙනෙක් ඒ කාර්යය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා දැක්කම ඒක විශාල දිරිගැන්වීමක් වුණා.”

යුක්‍රේනයේ සිටි කොර්සොව්වල පැවති සමුළුවට පැමිණි සහෝදරියක් පැවසුවේ මෙසේයි. “අපේ සහෝදර සහෝදරියන් අපිට පෙන්වූ ආගන්තුක සත්කාරයට සහ ප්‍රේමණීය සැලකිල්ලට කොහොම ස්තුතිවන්ත වෙන්නද කියලා හිතාගන්න බැහැ.” ෆින්ලන්තයෙන් පැමිණි අවුරුදු අටක් වයසැති අනිකා කියන කුඩා දැරිය පෝලන්තයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මෙවැනි ලිපියක් එව්වා. “මේ සමුළුව මම හිතුවටත් වඩා හරිම ලස්සන එකක්. යෙහෝවා දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් වීම මොන තරම් වරප්‍රසාදයක්ද! ලෝකය පුරාම අපිට යාළුවෝ ඉන්නවා.”—ගීතාවලිය 133:1.

නිරීක්ෂකයන්ගේ අදහස්

එම සමුළුව සඳහා වෙනත් රටවලින් පැමිණි සාක්ෂිකරුවන්ට යම් ලස්සන තැන් නරඹන්න පහසුකම් සැලසුම් කර තිබුණා. උදාහරණයකට බවේරියන් කියන ප්‍රදේශයේ තිබූ රාජ්‍ය ශාලා නරඹන්නත් ඔවුන් සැලසුම් කර තිබූ අතර එහි සිටි සාමාජිකයන්ද ඔවුන්ව ඉතාමත් සාදරයෙන් පිළිගත්තා. එක් කණ්ඩායමකට මඟ පෙන්වූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන තැනැත්තියක්, සහෝදරයන්ගේ එකමුතුකම දැකලා ගොඩක් පුදුම වුණා. ඇය පැවසුවේ මෙයයි. “සාක්ෂිකරුවන් අඳින පළඳින විදිහ අනිකුත් සංචාරකයන්ට වඩා හුඟක් විනීතයි. ඔවුන් අතර පහත් වචන ඇහෙන්න තිබුණේ නැහැ. ඒ වගේම සංචාරයේ මූලිකත්වය අරගෙන කටයුතු කරපු අයටත් ඒ අය හොඳින් සහයෝගය දුන්නා. ඔවුන් පළමු වතාවට මුණගැසුණත් ඔවුන් අතර තිබුණ මිත්‍රත්වය දැකලා මම පුදුම වුණා.”

ප්‍රාග්හි පැවති සමුළුවේ තොරතුරු අංශයේ සේවය කළ සහෝදරයෙක් මෙසේ පවසනවා. “ඉරිදා උදෑසන වැඩ බලන පොලිස් නිලධාරියෙක් සමුළු භූමියට පැමිණියා. එහි පැවති සාමකාමී වාතාවරණය දුටු ඔහු තේරුම්ගත්තේ තමන්ට එහි කිරීමට කිසි දෙයක් නැති බවයි. මේ ස්ථානයේ සිදු වෙන්නේ කුමක්ද කියා අහල පහළ අය තමන්ගෙන් ඇසූ බවද මේ නිලධාරියා පැවසුවා. එහි සිටින්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියා ඔහු පැවසූ විට අසල්වාසීන් එතරම් කැමැත්තක් පෙන්වූයේ නැහැ. නමුත් ඒ නිලධාරියා ඔවුන්ට පැවසුවේ ‘අඩු තරමෙන් මිනිස්සුන්ගෙන් භාගයක්වත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වගේ වුණා නම් පොලිසියක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නැහැ’”කියායි.

බොහෝදෙනෙක් දැනටමත් ගැලවී ඇත!

පොළොව මත සිටින සියලුම සංස්කෘතීන්ට අයත් මිනිසුන්ව සාමයෙන් සහ එක්සත්කමෙන් එකිනෙකාට ළං කරවීමට බයිබලයට හැකි වී තිබෙනවා. (රෝම 14:19; එෆීස 4:22-24; ෆිලිප්පි 4:7) ඒ බව “ගැලවීම අත ළඟයි” යන ජාත්‍යන්තර සමුළු මගින් මනාව ඔප්පු වුණා. ලොව පුරාම වසංගතයක් මෙන් පැතිරී තිබෙන අන් අයව පහත් කොට සැලකීම, වෛරය සහ ජාති භේද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම මුළු පොළොවම එවැනි තත්වයන්ගෙන් තොර ස්ථානයක් වන කාලය එන තෙක් ඔවුන් ඉතා ඕනෑකමින් බලා සිටිනවා.

විවිධ රටවලින් පැමිණි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඇති එකමුතුකම එහි පැමිණ සිටි අයට හොඳින් දැකගන්න පුළුවන් වුණා. එය හොඳින්ම පැහැදිලි වුණේ සමුළුව අවසන් වූ දවසේදීයි. අත්පොළසන් දී තම ප්‍රීතිය බෙදාගත් ඔවුන් තම අලුත් යාළුවන්ව සිප වැලඳගෙන ඔවුන්ගේ ඡායාරූපද ගනු ලැබුවා. (1 කොරින්ති 1:10; 1 පේතෘස් 2:17) සියලුම දුක් කරදරවලින් ගැලවීම අත ළඟ බව තහවුරු වූ ඔවුන් නැවතත් තම නිවස්වලට හැරී ගියේ “ජීවනයේ වචනය” තදින් අල්ලාගැනීමේ දැඩි අධිෂ්ඨානය ඇතුවයි.—ෆිලිප්පි 2:15, 16.

[පාදසටහන]

^ 4 ඡේ. පෝලන්තයේ පැවති තවත් සමුළු හයක් සහ ස්ලෝවැකියාවල එක් සමුළුවකුත් සමගාමීව පැවැත්වුණු අතර ඉදිරිපත් කළ සමහර තොරතුරු නවීන තාක්ෂණය මගින් ශ්‍රවණය කිරීමට සැලැස්වූවා.

[10වන පිටුවේකොටුව⁄පින්තූරය]

භාෂා විසිපහක් එක භාෂාවක් මෙන්

ජාත්‍යන්තර සමුළු නවයම ඉදිරිපත් කරනු ලැබුවේ එම රටේ භාෂාවෙන්මයි. ජර්මනියේ පැවැත්වූ සමුළුවලදී ඒ රටේ භාෂාව ඇතුළු තවත් භාෂා 18කින් තොරතුරු ඉදිරිපත් කෙරුණා. ඩෝට්මන්ඩ්වල සමුළු අරාබි, ෆර්සි, පෘතුගීසි, ස්පාඤ්ඤ සහ රුසියානු භාෂාවලින් පැවැත්වූවා. ෆ්රෑන්ක්ෆර්ත්වල පැවති සමුළුව ඉංග්‍රීසි, ප්‍රංශ, සර්බියානු සහ ක්‍රොඒෂන් භාෂාවෙන්ද, හැම්බර්ග්වල පැවති සමුළුව ඩැනිෂ්, ඩච්, ස්විඩීන සහ දෙමළ භාෂාවෙන්ද ලිප්සිග්වල සමුළුව චීන, පෝලන්ත සහ තුර්කි භාෂාවෙන්ද, මියුනිච්වල පැවති සමුළුව ග්‍රීක්, ඉතාලි සහ ජර්මානු සංඥා භාෂාවෙන්ද පැවැත්වුණා. ප්‍රාග්වල පැවති සමුළුව චෙක්, ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවෙන්ද, බ්‍රැටිස්ලාවාවල පැවති සමුළුව ඉංග්‍රීසි, හංගේරියානු, ස්ලෝවැක් භාෂාවෙන් සහ ස්ලෝවැක් සංඥා භාෂාවෙන්ද පැවැත්වුණා. කොර්සොව්වල පැවැත්වූ සමුළුව පෝලන්ත, රුසියානු, යුක්‍රේනියානු සහ පෝලන්ත සංඥා භාෂාවෙන්ද, පොස්නෑන්වල සමුළුව පෝලන්ත සහ ෆීනිෂ් භාෂාවෙන්ද පවත්වනු ලැබුවා.

ඒ සමුළු විවිධ භාෂා විසිපහකින් පැවැත්වුණත් එහි සිටි සියලුදෙනා ප්‍රේමයෙන් එකට බැඳී සිටීම මොන තරම් අගනා දෙයක්ද!

[9වන පිටුවේ පින්තූරය]

ක්‍රොඒෂන් භාෂාව කතා කරන අයට තමන්ගේම භාෂාවෙන් “නව ලොව පරිවර්තනය” ලැබීම ඔවුන්ගේ ප්‍රීතියට හේතු වුණා