‘ආකාශයේ විශ්වාසවන්ත සාක්ෂිකරු’
‘ආකාශයේ විශ්වාසවන්ත සාක්ෂිකරු’
කවියන් හා ගීත රචකයන් සුන්දරත්වයේ සංකේතයක් ලෙස චන්ද්‍රයා ගැන වර්ණනා කර තිබෙනවා. උදාහරණයක් හැටියට බයිබලයේ ඇති එක් ගීතයක “පුර සඳ මෙන් ශෝභමාන” වූ යුවතියක් ගැන සඳහන් කරනවා. (සලමොන්ගේ ගීතිකාව 6:10, නව ලොව පරිවර්තනය, NW) එක් ගීතිකාකරුවෙක් කාව්යාකාරයෙන් එය හඳුන්වන්නේ “අහසේ පිහිටි විශ්වාසවන්ත සාක්ෂිකරු” කියායි. (ගීතාවලිය 89:37, NW) චන්ද්‍රයාව එසේ උපමා කිරීමට හේතුව කුමක්ද?
පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රයා සෑම දින 27.3කට වරක්, එය තිබූ තැනට නොවරදවාම නැවත පැමිණෙනවා. මේ හේතුව නිසා එය විශ්වාසය තැබිය හැකි නැතහොත් වෙනස් නොවනසුලු ආදී වශයෙන් හඳුන්වනවා. කොහොමවුණත් චන්ද්‍රයා “අහසේ පිහිටි විශ්වාසවන්ත සාක්ෂිය” කියා ගීතිකාකරු සඳහන් කරද්දී ඊට වඩා ගැඹුරු අදහසක් ඔහුගේ මනසේ තිබුණා විය හැකියි. ඔහු කාව්‍යමය ආකාරයෙන් පවසමින් සිටියේ අනාගතයේදී පිහිටුවීමට නියමිත දේවරාජ්‍යය ගැනයි.—මතෙව් 6:9, 10.
දැනට අවුරුදු 3000කට පමණ පෙර ඊශ්‍රායෙලයේ රජ වූ දාවිත් සමඟ යෙහෝවා දෙවි රාජ්‍යයක් පිළිබඳ ගිවිසුමකට එලඹුණා. (2 සාමුවෙල් 7:12-16) එම ගිවිසුමේ අරමුණ වුණේ දාවිත්ගේ රාජකීය පෙළපතේ උරුමක්කරුවා වන යේසුස්ගේ රාජ්‍යය සදාකල් පවතින බව තහවුරු කිරීමයි. (යෙසායා 9:7; ලූක් 1:32, 33) දේවරාජ්‍යය ගැන ගීතිකාකරු පවසන්නේ මෙසේයි. “සඳ මෙන්ද අහසේ පිහිටි විශ්වාසවන්ත සාක්ෂිකරු මෙන්ද එය සැමදා ස්ථිරව පවතින්නේය.”—ගීතාවලිය 89:36, 37, NW.
එසේනම් සදහටම පවතින ක්‍රිස්තුස්ගේ පාලනයට චන්ද්‍රයා ඉතාමත් උචිත උදාහරණයක්. (උත්පත්ති 1:16) එම රාජ්‍යය ගැන දානියෙල් 7:14හි [NW] පවසන්නේ මෙසේයි. “ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යයද කිසිදාක විනාශ නොවන්නේය.” එම රාජ්‍යය ගැනත් ඉන් මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද ගැනත් මතක් කර දීමට චන්ද්‍රයා කදිම සාක්ෂියක්!
[32වන පිටුවේ හිමිකම් විස්තර]
Moon: NASA photo