Skip to content

පටුනට යන්න

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

‘දිගටම ආත්මයෙන් ගමන් [දෙවිගේ බලයෙන්] කරන්න. එවිට ඔබ කිසි මාංසික ආශාවක් ඉටු කරගන්නේ නැත.’—ගලාති 5:16.

1. වැරදි ආශාවන් පරාජය කරන්න අපිට උපකාරවත් වන්නේ කුමක්ද?

දෙවිගේ බලයට විරුද්ධව යම් පාපයක් සිදු වෙයි කියා ඇති වන කනස්සල්ලෙන් මිදෙන්න අපිට පුළුවන්. ඒ කොහොමද? පාවුල් ඒ ගැන පැවසුවේ මෙසේයි. ‘දිගටම ආත්මයෙන් [දෙවිගේ බලයෙන්] ගමන් කරන්න. එවිට ඔබ කිසි මාංසික ආශාවක් ඉටු කරගන්නේ නැත’. (ගලාති 5:16) ඒ නිසා අපේ ජීවිතයට මඟ පෙන්වන්න දෙවිගේ බලයට ඉඩහරිනවා නම් එවැනි පව්කාර ආශාවන් පරාජය කරන්න අපිට හැකියි.—රෝම 8:2-10.

2, 3. අපිට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

2 අපිට මඟ පෙන්වීමට යෙහෝවා දෙවිගේ බලයට ඉඩහරින විට අපි ඔහුට කීකරු වීමට නිතැතින්ම පෙලඹෙනවා. එවිට අපගේ පවුලේ සාමාජිකයන්ට සෙසු ක්‍රිස්තියානීන්ට දේවසේවයේදී මුණගැසෙන ජනයාට වගේම අපිට මුණගැසෙන සියල්ලන්ටම දෙවි සතුටු වන ආකාරයෙන් සලකන්න අපිට හැකි වෙනවා.

3 “දෙවිගේ දෘෂ්ටිකෝණයට” අනුව එනම් ඔහුගේ කැමැත්තට අනුව ජීවත් වීම පව් නොකර සිටීමට අපට විශාල පිටුවහලක්. (1 පේතෘස් 4:1-6) අපගේ ජීවිත ගමනට මඟ පෙන්වන්න දෙවිගේ බලයට ඉඩහරිනවා නම් සමාව ලැබිය නොහැකි පාපයක් කිරීමෙන් වැළකී සිටින්න අපිට පුළුවන්. ඊට අමතරව තව බොහෝ පැතිවලින්ද එය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කෙසේද?

දෙවිට හා යේසුස්ට සමීපව සිටින්න

4, 5. අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරීමෙන් අත් වන ප්‍රයෝජන මොනවාද?

4 අප දෙවිගේ බලයෙන් මඟ පෙන්වීම ලබන නිසා දෙවි සමඟත් යේසුස් සමඟත් සමීප මිත්‍රත්වයක් ගොඩනඟාගන්න හැකියි. මේ ගැන විස්තර කරමින් කොරින්ති සභාවේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් පවසන්නේ මෙසේයි. “දෙවිගේ ආත්මය [දෙවිගේ බලය] මාර්ගයෙන් කතා කරන කිසිවෙකු, “යේසුස් ශාප ලද්දේය!” කියා නොකියන බවත්, ශුද්ධාත්මය [දෙවිගේ බලය] මාර්ගයෙන් මිස, “යේසුස් යනු ස්වාමීන්ය!” කියා කිසිවෙකුට කිව නොහැකි බවත් ඔබ [කලින් රූප නමස්කාරයෙහි යෙදුණු අය] දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරින්ති 12:1-3) ඉහත සඳහන් පාවුල්ගේ වචනවලට අනුව යේසුස්ට ‘ශාප කිරීමට’ නැත්නම් මොනයම් ආකාරයකින් හෝ ඔහුට විරුද්ධව කතා කරන්න කෙනෙකුව පොලඹවන්නේ යක්ෂයායි. නමුත් ක්‍රිස්තියානීන් හැටියට අප, යෙහෝවා දෙවි විසින් යේසුස්ව නැවත නැඟිටෙවූ බවත් සෑම මැවිල්ලකටම වඩා ඔහුව උසස් කර ඇති බවත් පිළිගන්නවා. (ෆිලිප්පි 2:5-11) එමෙන්ම යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අපි ඇදහිල්ල තබන අතර ඔහු අපේ ස්වාමියා බවත් තේරුම්ගන්නවා.

5 මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්යයි කියාගත් සමහරුන්, යේසුස් මිනිසෙකු ලෙස මේ පොළොවට පැමිණි බව පිළිගත්තේ නැහැ. (2 යොහන් 7-11) යේසුස්ගේ සැබෑ ඉගැන්වීම් හෙළා දැකීමට සමහරුන්ට එවැනි බොරු මත හේතු වුණා. (මාක් 1:9-11; යොහන් 1:1, 14) නමුත් අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවා නම්, ඔවුන් මෙන් නොවී ඇදහිල්ල අත්හැර යෑමෙන් වළකින්න පුළුවන්. එසේම බයිබලයේ නිවැරදි ඉගැන්වීම්වලට කිට්ටු අවධානයක් දීමෙන් දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ලබන්නත් “සත්‍යයෙහි ගමන් කරමින්” සිටින්නත් අපිට හැකි වෙනවා. (3 යොහන් 3, 4) එමනිසා, අපි ඇදහිල්ල අත්හැර යෑමකට තුඩු දෙන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කරමින් අපගේ ස්වර්ගික පියා සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට අධිෂ්ඨාන කරගනිමු.

6. දෙවිගේ බලය ක්‍රියාත්මක වන අය තුළ දැකිය හැක්කේ කිනම් ගුණාංගද?

6 රූප වන්දනාව හා නිකාය වාදය වැනි මාංසයේ ක්‍රියා පාවුල් විසින් ලැයිස්තුගත කරන්නේ වේශ්‍යාකම හා නින්දිත ක්‍රියා සමඟයි. අනික් අතට පාවුල් පැවසුවේ මෙසේයි. “ක්‍රිස්තුස් යේසුස්ට අයත් අය, මාංසය සමඟම එහි තෘෂ්ණා සහ ආශාද කණුවෙහි ඇණ ගැසුවෝය. අපි ජීවත් වන්නේ ආත්මයට [දෙවිගේ බලයට] අනුව නම්, ආත්මයට [දෙවිගේ බලයට] අනුව නිසි පිළිවෙළකින් කටයුතු කරමු.” (ගලාති 5:19-21, 24, 25) දෙවිගේ බලය තමන් තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරින අය තුළ “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” යන ගුණාංග දැකිය හැකි බවත් ඔහු සඳහන් කළා. (ගලාති 5:22, 23) දැන් අපි මේ ගුණාංග එකිනෙක සලකා බලමු.

‘එකිනෙකාට ප්‍රේම කරන්න’

7. ප්‍රේමය ඇති කෙනෙක් කටයුතු කරන්නේ කෙසේද?

7 ප්‍රේමය පෙන්වීමට දෙවිගේ බලය අපිට උපකාර කරනවා. ප්‍රේමය පෙන්වන කෙනෙක් තමන්ට වඩා අන් අය ගැන සැලකිලිමත් වෙනවා. එමෙන්ම අන් අය ගැන ගැඹුරු ස්නේහයක්ද දක්වනවා. බයිබලයේ පවසන්නේ “දෙවි ප්‍රේමයය” කියායි. ඊට හේතුව නම් ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් උතුම්ම ආදර්ශය ඔහු නිසයි. යෙහෝවා දෙවි මුළු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තම පුත්‍රයාගේ ජීවිතය දුන්නා. එසේ කිරීමෙන් දෙවි සහ යේසුස් පෙන්වූයේ මොන තරම් ප්‍රේමයක්ද! (1 යොහන් 4:8; යොහන් 3:16; 15:13; රෝම 5:8) අපි යේසුස්ගේ අනුගාමිකයන් නම් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. (යොහන් 13:34, 35) එසේ කරන්න කියාද බයිබලයේ අණ කර තිබෙනවා. (1 යොහන් 3:23) ප්‍රේමය ඇති කෙනෙක් බොහෝ ඉවසිලිවන්තයි. කරුණාවන්තයි. ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වෙන්නේ නැහැ. අවිනීතව හැසිරෙන්නේ නැහැ. තමන්ගේම කාරණා සොයන්නේ නැහැ. එමෙන්ම ප්‍රේමය ඇති කෙනෙක් ඉක්මනින් කෝප වෙන්නේ නැහැ. අමනාපයක් සිතේ තබාගන්නේත් නැහැ. එවැනි කෙනෙක් අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවන අතර සත්‍යය ගැන ප්‍රීති වෙනවා. සියල්ල දරාගන්නවා. සියල්ල විශ්වාස කරනවා. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. සියල්ල විඳදරාගන්නවා. එමෙන්ම මේ ප්‍රේමය කිසි කලක පහව යන්නේ නැහැ.—1 කොරින්ති 13:4-8.

8. සෙසු නමස්කාරකයන්ට අපි ප්‍රේම කළ යුත්තේ ඇයි?

8 අප තුළ ප්‍රේමය කියන ගුණාංගය වර්ධනය වීමට දෙවිගේ බලයට ඉඩහරිනවා නම් දෙවිට නමස්කාර කිරීමේදීත් අසල්වැසියන් සමඟ කටයුතු කිරීමේදීත් ඒ ගුණාංගය අප තුළ දැකගන්න පුළුවන්. (මතෙව් 22:37-39) යොහන් පැවසුවේ මෙසේයි. “ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි. තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි. මිනී මරන කිසිවෙකු තුළ සදාකාල ජීවනය පවතින්නේ නැති බව ඔබ දන්නහුය.” (1 යොහන් 3:14, 15) ඊශ්‍රායෙල් කාලයේදී යම් කෙනෙකු අතින් අත් වැරැද්දකින් කෙනෙක් මරණයට පත් වුණා නම් ආරක්ෂක නුවරකට දුව ගොස් එහි රැකවරණය ලබන්න හැකි වුණා. නමුත් ඔහු එසේ කළේ වෛරයක් පිරිමැසීමට නම් ඔහුට කිසිම සමාවක් ලැබුණේ නැහැ. (ද්විතීය කතාව 19:4, 11-13) අපිත් දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලබනවා නම් දෙවිටත්, සෙසු නමස්කාරකයන්ටත් සහ පොදු ජනයාටත් ප්‍රේම කරන්න පෙලඹෙනවා.

“යෙහෝවා කෙරෙහි ප්‍රීතිය ඔබගේ ශක්තිය වේ”

9, 10. ප්‍රීතියෙන් සිටින කෙනෙක් අද්දකින්නේ කුමක්ද? එමෙන්ම ප්‍රීති වීමට අපිට තිබෙන හේතු මොනවාද?

9 බයිබලයේ යෙහෝවා දෙවිව විස්තර කර තිබෙන්නේ “සන්තෝෂවත් දෙවි” හැටියටයි. (1 තිමෝති 1:11; ගීතාවලිය 104:31) ඔහුගේ පුත්‍රයා වන යේසුස්ද ඔහුට සේවය කිරීමෙන් ඉමහත් ප්‍රීතියක් අද්දැක්කා. (ගීතාවලිය 40:8; හෙබ්‍රෙව් 10:7-9) එමනිසා යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රීති වීම අපිට මහත් ශක්තියක්.—නෙහෙමියා 8:10.

10 දෙවිගෙන්ම ලැබී තිබෙන ත්‍යාගයක් බඳු ප්‍රීතිය කියන ගුණාංගය අපට ඉමහත් තෘප්තියක් ගෙන දෙනවා. අපි එය අද්දකින්නේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම එනම් කරදරවලට පීඩාවලට සහ නොයෙකුත් තත්වයන්ට මුහුණ දෙන විට දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැදීමෙනුයි. දෙවි ගැන දැනගැනීමෙන් අප ලබන්නේ මොන තරම් ප්‍රීතියක්ද! (හිතෝපදේශ 2:1-5) දෙවි සමඟ තිබෙන්නාවූ අපගේ ප්‍රීතිමත් සබඳතාවට පදනම වන්නේ නිවැරදි දැනුම ලැබීමත්, යෙහෝවා දෙවි කෙරෙහි සහ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමත්ය. (1 යොහන් 2:1, 2) ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයට අයත් වී සිටීමත් ප්‍රීතියට හේතුවක්. (ශෙපනියා 3:9; හග්ගයි 2:7) අපගේ අනාගත බලාපොරොත්තුව ගැන ශුභාරංචිය දේශනා කිරීමේ වරප්‍රසාදය තව හේතුවක්. (මතෙව් 6:9, 10; 24:14) අපිට ඇති සදාකාල ජීවනයේ බලාපොරොත්තුවත් ප්‍රීතියට හේතුවක් නොවේද? (යොහන් 17:3) එවැනි පුදුමාකාර අනාගත අපේක්ෂාවන් අපව ප්‍රීතියෙන් ඉපිල යෑමට සලස්වයි.—ද්විතීය කතාව 16:15.

සමාදානය සහ බොහෝ ඉවසීම ඇතිව සිටින්න

11, 12. (අ) සමාදානයෙන් කටයුතු කරන කෙනෙක් මොන වගේද? (ආ) දෙවිගේ සමාදානයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

11 දෙවිගේ බලය මගින් අප තුළ ඇති වන තවත් ගුණාංගයක් වන්නේ සමාදානයයි. එවැනි කෙනෙක් අනවශ්‍යය ලෙස කනස්සලු නොවන සන්සුන් මනසකින් යුත් පුද්ගලයෙක්. බයිබලයේ අපිට මෙවන් සහතිකයක් දී තිබෙනවා. “යෙහෝවා දෙවි තම සෙනඟට සමාදානය දීමෙන් ආශීර්වාද කරයි.” (ගීතාවලිය 29:11, නව ලොව පරිවර්තනය, NW; 1 කොරින්ති 14:33) තම අනුගාමිකයන්ට යේසුස්ද පැවසුවේ මෙසේයි. “මම ඔබට සමාදානය තබා යමි. මාගේ සමාදානය ඔබට දෙන්නෙමි.” (යොහන් 14:27) එවන් සාමයක් ඔහුගේ අනුගාමිකයන්ව ශක්තිමත් කළේ කෙසේද?

12 යේසුස් තම අනුගාමිකයන්ට දුන් සමාදානය ඔවුන් තුළ තිබූ බිය තුනී කළ අතර ඔවුන්ගේ සිත් සන්සුන්ව තබාගැනීමට උපකාර කළා. (යොහන් 14:26) අද දිනත් දෙවිගේ බලය අපිට ලැබෙන විට කිසිවකට සම කළ නොහැකි “දෙවිගේ සමාදානය” අප අද්දකිනවා. එය අපගේ මනසට සහ හදවතට මහත් සහනයක්. (ෆිලිප්පි 4:6, 7) ඉන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් වන්නේ සෙසු ක්‍රිස්තියානීන් සමඟත් වෙනත් අය සමඟත් සන්සුන්ව හා සමාදානයෙන් කටයුතු කිරීමට හැකි වීමයි.—රෝම 12:18; 1 තෙසලෝනික 5:13.

13, 14. බොහෝ ඉවසිලිවන්ත පුද්ගලයෙක් මොන වගේද? එමෙන්ම අප එය පෙන්විය යුත්තේ ඇයි?

13 සමාදානය ඇති පුද්ගලයෙකු සතු තවත් ගුණාංගයක් වන්නේ බොහෝ ඉවසිලිවන්තකමයි. තමන්ව කුපිත කරවන අවස්ථාවලදී ඔහු ඉවසීමෙන් කටයුතු කරයි. නැත්නම් වරද කළ තැනැත්තා එය නිවැරදි කරගනීවි යන අපේක්ෂාවෙන් යුතුව එය දරාගනියි. යෙහෝවා දෙවිද බොහෝ ඉවසිලිවන්තයි. (රෝම 9:22-24) යේසුස්ද එම ගුණාංගය කදිමට විදහා පෙන්නුවා. එය ක්‍රියාවෙන් පෙන්වීමෙන් අපටත් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “එහෙත් මට දයාව පෙන්වනු ලැබුවේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය සඳහා ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි තම ඇදහිල්ල තබන අය වෙනුවෙන් ආදර්ශයක් වීමටය. එමගින් ඔහු, ප්‍රධාන පව්කාරයා වූ මා මාර්ගයෙන් තම මුළු මහත් ඉවසිල්ල පෙන්වන්නේය.”—1 තිමෝති 1:16.

14 අන් අය හිතන්නේ බලන්නේ නැතිව කරන කියන දේවල් දරාගැනීමට බොහෝ ඉවසිලිවන්තකම අපට උපකාර වෙනවා. ක්‍රිස්තියානීන්ට පාවුල් උනන්දු කළේ “සියල්ලන් ගැන බොහෝ සෙයින් ඉවසන” ලෙසයි. (1 තෙසලෝනික 5:14) අප අතින්ද නිතරම වැරදි සිදු වන නිසා අප කැමති වන්නේ අන් අය අප සමඟ ඉවසීමෙන් කටයුතු කරනවාටයි. ඒ නිසා ‘ප්‍රීතියෙන් යුක්තව බොහෝ ඉවසිලිවන්තව’ කටයුතු කිරීමට අපි අධිෂ්ඨාන කරගනිමු.—කොලොස්සි 1:9-12.

කරුණාවන්තකම සහ යහපත්කම පෙන්වන්න

15. කරුණාවන්තකම පෙන්විය හැක්කේ කෙසේද? ඊට උදාහරණ දෙන්න.

15 අපගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් අන් අය ගැන අව්‍යාජ උනන්දුවක් දක්වද්දී අපි පිළිබිඹු කරන්නේ කරුණාවන්තකමයි. යෙහෝවා දෙවි සහ යේසුස් යන දෙදෙනාම කරුණාවන්තයි. (රෝම 2:4; 2 කොරින්ති 10:1) අපත් එම ගුණාංගය විදහා පෑම ඔවුන් අපේක්ෂා කරනවා. (මීකා 6:8; කොලොස්සි 3:12) දෙවි ගැන නොදන්නා අය පවා ‘අසාමාන්‍ය වූ මානව දයාවක්’ හෙවත් කරුණාවක් පෙන්වා තිබෙනවා. (ක්‍රියා 27:3; 28:2) ඔවුන් එසේ කළා නම් දෙවිගේ බලයේ උපකාරය ඇතිව කරුණාව පෙන්වීමට අපිටත් හැකි බව නිසැකයි.

16. අපි කරුණාව පෙන්විය යුතු අවස්ථා මොනවාද?

16 කෝපවීමට සාධාරණ හේතු තිබියදී පවා කරුණාවන්තව කටයුතු කිරීමට අපට හැකියි. “කෝප වුණත් පව් නොකරන්න” යන උපදෙස දුන් පාවුල් තවදුරටත් පවසන්නේ “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට, එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.” (එෆීස 4:26, 27, 32) ඒ අනුව පරීක්ෂාවලට මුහුණ දෙන අයට කරුණාව දැක්වීමට අපි විශේෂයෙන්ම මතක තබාගත යුතුයි. තවදුරටත් ක්‍රිස්තියානියෙක් ‘යහපත්කමෙත් ධර්මිෂ්ඨකමෙත් සැබෑකමෙත්’ මාර්ගයෙන් ඉවත්ව යෑමේ අවදානමක් ඇති බව වැඩිමහල්ලෙක් දකිනවා නම් තත්වය කුමක්ද? ඔහුගේ හෝ ඇයගේ හිත රිදෙයි යන බිය නිසා බයිබලයෙන් නිසි මඟ පෙන්වීමක් නොදෙයි නම් එය ඉතාම අකාරුණික ක්‍රියාවක්.—එෆීස 5:9.

17, 18. යහපත් කෙනෙකුව විස්තර කරන්න. එමෙන්ම යහපත්කම වර්ධනය කරගැනීමේ ඇති ප්‍රයෝජන මොනවාද?

17 දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් හටගන්නා තවත් ගුණාංගයක් වන්නේ යහපත්කමයි. යහපත් කෙනෙක් කියන්නේ උසස් සදාචාර ප්‍රමිතිවලින් හෙබි ඉතාම ප්‍රතිපත්ති ගරුක කෙනෙකුටයි. මේ සම්බන්ධයෙන් උතුම්ම ආදර්ශය සපයන්නේ යෙහෝවා දෙවියි. (ගීතාවලිය 25:8; සෙකරියා 9:17) යේසුස්ද දෙවිගේ උසස් සදාචාර ප්‍රමිතිවලට ඉමහත් ගෞරවයක් දැක්වූවා. වරක් “යහපත් ගුරුතුමෙනි” කියා ආමන්ත්‍රණය කළ අවස්ථාවේදී, තමාව “යහපත්” යන පදවියෙන් අමතනවාට ඔහු කැමති වුණේ නැහැ. (මාක් 10:17, 18) ඉන් පැහැදිලි වන්නේ යහපත්කමේ උතුම්ම ආදර්ශය වන්නේ යෙහෝවා දෙවි බව යේසුස් තේරුම්ගෙන තිබූ බවයි.

18 උරුම කරගත් පව්කාර ස්වභාවය නිසා යහපත්කම් කිරීම අභියෝගයක්. (රෝම 5:12) ඒ වුණත් යහපත්කම් කරන්න උගන්වන්න කියා දෙවිට යාච්ඤා කිරීමෙන් ඒ අභියෝගය ජය ගන්න අපට පුළුවන්. (ගීතාවලිය 119:66) රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් පැවසුවේ ‘මාගේ සහෝදරයෙනි, ඔබ සියලු දැනුමෙන් පූර්ණව, යහපත්කමෙන්ද පිරී සිටින බවත්, මම විශ්වාස කරමි’ කියායි. (රෝම 15:14) ක්‍රිස්තියානි අවේක්ෂකයන්ද “යහපතට ප්‍රේම කරන” අය විය යුතුයි. (තීතස් 1:7, 8) අපිට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවා නම් අප යහපත්කම් කිරීමට ලැදි අය බව හැමෝම දැනගන්නවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපගේ යහපත් ක්‍රියා වෙනුවෙන් දෙවි අපිට ආශීර්වාද කරනවා.—නෙහෙමියා 5:19; 13:31.

“කුහකකමින් තොර ඇදහිල්ලක්”

19. හෙබ්‍රෙව් 11:1හි ඇදහිල්ල විස්තර කර තිබෙන්නේ කෙසේද?

19 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමේදී ඇති වන තවත් ගුණාංගයක් වන්නේ ඇදහිල්ලයි. ඇදහිල්ල යනු “බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය; නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.” (හෙබ්‍රෙව් 11:1) මැවුම්කරුවෙක් සිටින බවට ඇති තරම් සාක්ෂි අප අවටින් සොයාගන්න පුළුවන්. මේ හේතුවෙන් අපගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි අනාගතයේදී ඉෂ්ට කරන්න පොරොන්දු වී තිබෙන දේවල් ඉෂ්ට වුණා හා සමාන විශ්වාසයක් අපට තිබෙනවා. එයාකාර ඇදහිල්ලක් විදහා පෙන්වීමට හැකි වන්නේ අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරියොත් පමණයි.

20. පව් කිරීමට අපට හේතු වන්නේ කුමක්ද? මාංසයේ ක්‍රියා මොනවාද? එමෙන්ම ඒවාට එරෙහි විය හැක්කේ කෙසේද?

20 අනෙක් අතට අපේ ඇදහිල්ලේ යම් අඩුවක් තිබෙනවා නම් එය ‘පහසුවෙන් අපව පාපයට’ ඇද දමන්න පුළුවන්. (හෙබ්‍රෙව් 12:1) මාංසයේ ක්‍රියා ලෙස හඳුන්වන ධන සම්පත් රැස් කරගැනීමට තිබෙන ආශාව සහ බොරු ඉගැන්වීම් වැනි දේවල් මගින් අපගේ ඇදහිල්ල බිඳ දැමිය හැකියි. ඊට එරෙහි වීමට නම් දෙවිගේ බලයේ උපකාර අපට තිබිය යුතුමයි. (කොලොස්සි 2:8; 1 තිමෝති 6:9, 10; 2 තිමෝති 4:3-5) අදදිනත් දෙවිගේ සේවකයන්ට ඔහුගේ බලයේ මඟ පෙන්වීම් ලැබෙන විට අතීතයේ සිටි ඇදහිලිවන්තයන් මෙන් ඊට විරුද්ධ විය හැකියි. (හෙබ්‍රෙව් 11:2-40) එසේ කරන විට අප තුළ ‘කුහකකමින් තොර වූ ඇදහිල්ලක්’ වර්ධනය වන අතර ඉන් අන් අයවද ශක්තිමත් කිරීමට අපට හැකි වෙනවා.—1 තිමෝති 1:5; හෙබ්‍රෙව් 13:7.

මෘදුකම සහ ආත්ම දමනය පෙන්වන්න

21, 22. මෘදු පුද්ගලයෙක්ව විස්තර කර තිබෙන්නේ කෙසේද? එමෙන්ම අප එය විදහා පෙන්විය යුත්තේ ඇයි?

21 මෘදු පුද්ගලයෙක් කටයුතු කරන්නේ සන්සුන් මුදු මොළොක් ආකාරයටයි. මෙයද දෙවිගේ තවත් ගුණාංගයක්. ඔහුගේ පුත් යේසුස්ද මෘදු ගුණාන්විත කෙනෙකු හැටියට යෙහෝවා දෙවිගේ ගුණාංග එයාකාරයෙන්ම විදහා පෙන්වූවා. (මතෙව් 11:28-30; යොහන් 1:18; 5:19) එසේනම් දෙවිගේ සේවකයන් වන අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

22 ‘සියල්ලන් කෙරෙහි මෘදුකම පෙන්වන්න’ කියා දෙවි සෑම ක්‍රිස්තියානියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. (තීතස් 3:2) ශුභාරංචිය දේශනා කිරීමේදීද අප මෙය විදහා පෙන්වන්න අවශ්‍යයයි. වැඩිමහල්ලන්ටද උපදෙස් දී තිබෙන්නේ වැරදි කරන අයව “මෘදුකමින්” යුතුව යහමඟට ගෙනෙන ලෙසයි. (ගලාති 6:1) අප සියලුදෙනාටම ක්‍රිස්තියානි එක්සත්කම උදෙසා “යටහත් පහත් වූ මනසකින්ද, මෘදුකමින්ද” කටයුතු කරන්න අවස්ථාව තිබෙනවා. (එෆීස 4:1-3) මෙම ගුණාංගයත් අප තුළ විදහා පෙන්වීමට හැකි වන්නේ අපිට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරියොත් පමණයි.

23, 24. ආත්ම දමනය කියන්නේ කුමක්ද? එමෙන්ම එය අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

23 අපේ සිතුවිලි, කතා බහ හා ක්‍රියා ගැන නිරන්තර අවධානයකින් සිටින්න ආත්ම දමනය අපට උපකාර කරනවා. යෙරුසලම විනාශ කළ බැබිලෝනිවරුන් සමඟ කටයුතු කරද්දී යෙහෝවා දෙවි ‘ඔහුවම පාලනය කරගත්තා.’ (යෙසායා 42:14, NW) තමන් විඳි දුක් පීඩා හමුවේ ආත්ම දමනය විදහා පෑමෙන් යේසුස්ද අපට ‘ආදර්ශයක් තැබුවා.’ එමනිසා පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ ඔබේ ‘දැනුමට ආත්ම දමනය එකතු කරගන්න’ කියායි.—1 පේතෘස් 2:21-23; 2 පේතෘස් 1:5-8.

24 ආත්ම දමනය විදහා පෑම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් අනිවාර්යයෙන්ම අපේක්ෂා කර තිබෙනවා. (තීතස් 1:7, 8) ඇත්තෙන්ම දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා නම් අප සියලුදෙනාටම එම ගුණාංගය විදහා පෙන්වීමට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අප ලිංගික දුරාචාරය, අසභ්‍ය කතා බහ ඇතුළු යෙහෝවා දෙවි හෙළා දකින ඕනෑම දෙයකින් වැළකී සිටිනවා. අපේ කතා බහෙන් හා හැසිරීමෙන් ආත්ම දමනය විදහා පෙන්වන විට අප තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩහැර ඇති බව හැමදෙනාම දකිනවා.

දිගටම දෙවිගේ බලයට ඉඩහරින්න

25, 26. දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලැබීමෙන් දැනුත් අනාගතයේදීත් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

25 අපට මඟ පෙන්වන්න දෙවිගේ බලයට ඉඩහරිනවා නම් අප උද්‍යෝගිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (ක්‍රියා 18:24-26) අප, ඇසුරට ප්‍රියමනාප පුද්ගලයන් වන අතර විශේෂයෙන්ම සෙසු නමස්කාරකයන්ට අපව ඇසුරු කිරීමෙන් මහත් ප්‍රබෝධයක් මෙන්ම දිරිගැන්වීමක්ද ලැබෙයි. (ෆිලිප්පි 2:1-4) අප සියලුදෙනාම ආශා කරන්නේ එවැනි අය බවට පත් වෙන්න නොවෙයිද?

26 මේ දූෂිත ලෝකය තුළ දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කිරීම පහසු දෙයක් නොවෙයි. (1 යොහන් 5:19) ඒ වුණත් මිලියන ගණන්දෙනා එසේ කරමින් සිටිනවා. දෙවි අපට ඔහුගේ බලය ලබා දෙන නිසා අපි ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමු. එය අපිට දැනුත් සදාකාලයටත් මහත් ප්‍රීතියට හේතුවක් වෙයි.—ගීතාවලිය 128:1; හිතෝපදේශ 3:5, 6.

ඔබට මතකද?

• දෙවිගේ බලයේ මඟ පෙන්වීමට කීකරු වන විට දෙවි හා යේසුස් සමඟ අපට ඇති වන්නේ කුමනාකාර සබඳතාවක්ද?

• දෙවිගේ බලයේ මඟ පෙන්වීම ඇති අය විදහා පෙන්වන්නේ කුමන ගුණාංගද?

• අන් අය සමඟ කටයුතු කරන විටදී අපි පෙන්විය යුත්තේ කිනම් ගුණාංගද?

• දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට කීකරු වීම දැනුත් සදාකාලයටත් ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට සෙසු ක්‍රිස්තියානීන්ට ප්‍රේම කරන්න අප පෙලඹෙනවා

[24වන පිටුවේ පින්තූරය]

වචනයෙන් සහ ක්‍රියාවෙන් අන් අය ගැන අව්‍යාජ උනන්දුවක් දැක්වීමෙන් කරුණාව පෙන්වන්න