Skip to content

පටුනට යන්න

ඔබ කර තිබෙන්නේ සමාව ලැබිය නොහැකි පාපයක්ද?

ඔබ කර තිබෙන්නේ සමාව ලැබිය නොහැකි පාපයක්ද?

ඔබ කර තිබෙන්නේ සමාව ලැබිය නොහැකි පාපයක්ද?

“මරණයට පමුණුවන පාපයක් තිබේ.”—1 යොහන් 5:16.

1, 2. සමාව ලැබිය නොහැකි පාපයක් තිබෙන බව අපි දන්නේ කොහොමද?

“දෙවි මට සමාව දෙන එකක් නැහැ කියලයි මට හිතුණේ. ඒ ගැන හිත හිතා මම ගොඩාක් වද වින්දා.” කියා දැනටමත් දෙවිට සේවය කරමින් සිටින කාන්තාවක් පැවසුවා. සමාව ලැබිය නොහැකි පාපයක් ක්‍රිස්තියානියෙකු අතින් සිදු විය හැකිද?

2 යේසුස් පැවසුවේ “සෑම අන්දමේ පාපයකටම සහ අපහාස කිරීමකටම මිනිසුන්ට සමාව ලැබේ. නමුත් ශුද්ධාත්මයට [හෙවත් දෙවිගේ බලයට] විරුද්ධව කරන අපහාසයට සමාව නොලැබේ” කියායි. (මතෙව් 12:31) බයිබලයේ අපිට අනතුරු අඟවා තිබෙන්නේ මෙසේයි. “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබුණායින් පසු, අපි ඕනෑකමින්ම දිගටම පව් කරමු නම්, පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත. නමුත් ඇත්තේ විනිශ්චය ගැන බිය උපදවන අපේක්ෂාවකි.” (හෙබ්‍රෙව් 10:26, 27) යොහන්ද පැවසුවේ “මරණයට පමුණුවන පාපයක් තිබේ” කියායි. (1 යොහන් 5:16) ඒ අනුව බලද්දී යෙහෝවා දෙවිගේ බලයට එරෙහි වීමෙන්, සමාව ලැබිය නොහැකි පාපයක් ක්‍රිස්තියානියෙකු අතින් සිදු විය හැකියි. නමුත් තමන් කර තිබෙන්නේ ‘මරණයට පමුණුවන පාපයක්ද’ නැද්ද කියා තීරණය කරන්නේ කවුරුන් විසින්ද?

සමාව ලැබීමට පසුතැවිල්ල හේතු වෙයි

3. අප කළ පාපය ගැන මහත් සේ ශෝකවීමෙන් පෙනී යන්නේ කුමක්ද?

3 කළ වරදට සමාව දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ යෙහෝවා දෙවියි. ධර්මිෂ්ඨ විනිශ්චයකරු වන ඔහුට අපි හැමෝම ගණන් දිය යුතුයි. (උත්පත්ති 18:25; රෝම 14:12) සමාව ලැබිය නොහැකි පාපයක් කර තිබෙනවා නම්, දෙවි ඔහුගේ බලය තවදුරටත් අපිට ලබා දෙන්නේ නැහැ. (ගීතාවලිය 51:11) නමුත් කළ පාපය ගැන අපි මහත් සේ ශෝකවීමෙන් පෙනෙන්නේ ඒ ගැන අපි අවංකවම පසුතැවිලි වී ඇති බවයි. එහෙත් අවංක පසුතැවිල්ල කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

4. (අ) පසුතැවිල්ල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ගීතාවලිය 103:10-14හි ලබා දෙන අස්වැසිල්ල කුමක්ද?

4 පසුතැවිලි වෙනවා කීමෙන් අදහස් කරන්නේ අතීතයේ කළ පාප ගැන හෝ යම් පාපයක් කිරීමට දක්වන ආශාව සම්බන්ධයෙන් දැඩි සේ කනගාටු වීමයි. එමෙන්ම ඒ පව්කාර ක්‍රියාමාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා නම් ඉන් පෙන්වන්නේ අපි අවංකවම පසුතැවිලි වී තිබෙන බවයි. ගීතිකාකරුගේ මෙම වදන් අපිට අස්වැසිල්ලක් විය හැකියි. “අපේ පාපවලට අනුව ඔහු අපට දඬුවම් කළේ නැත. අප කළ වැරදිවලට ලැබිය යුතු විපාක ඔහු අපට දී නැත. අහස පොළොවට වඩා ඉතා ඉහළින් පිහිටා තිබෙන්නාක් මෙන් ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයට ඔහු දක්වන ප්‍රේමණීය කරුණාවද ඉතා උතුම්ය. බස්නාහිරෙන් නැගෙනහිර බොහෝ දුරස්තව තිබෙන්නාක් සේ ඔහු අපේ වැරදිද අපෙන් එපමණටම ඈත් කරන්නේය. පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබියක් ඇති අයට දයාව දක්වන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අප නිකම්ම දූවිලි බව ඔහු සිහි කරන්නේය.”—ගීතාවලිය 103:10-14, නව ලොව පරිවර්තනය, NW.

5, 6. පළමුවෙනි යොහන් 3:19-22හි මූලික අදහස කුමක්ද? එමෙන්ම යොහන් පැවසූ වදන්වල අර්ථය විස්තර කරන්න.

5 යොහන්ගේ වදන්ද මහත් සැනසීමක් ගෙන දෙයි. ඔහු පැවසුවේ මෙසේයි. “මෙයින්, අප සත්‍යතාවෙන් වන බව දැනගන්නෙමු. තවද, ඔහු ඉදිරියෙහි අපේ සිත් ස්ථිර කරගනිමු. දෙවි අපේ සිත්වලට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නේය. එහෙයින් අපේ සිත් අපට කුමක් ගැන දෝෂාරෝපණය කළත් අපේ සිත් අපි ස්ථිර කරගනිමු. ප්‍රේමණීය තැනැත්තෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවිට කතා කිරීමට අපට නිදහසක් තිබේ. තවද, අප ඔහුගේ ආඥා පවත්වන නිසාත්, ඔහු ඉදිරියෙහි ප්‍රසන්න වූ දේ කරන නිසාත්, අප ඉල්ලන ඕනෑම දෙයක් ඔහුගෙන් අපට ලැබෙන්නේය.”—1 යොහන් 3:19-22.

6 සමහරවිට විවිධ හේතූන් නිසා අපේ සිත් අපට දෝෂාරෝපණය කරනවා. මෙය අපට මහත් වේදනාවක්. නමුත් අපට එවැනි හැඟීම් ජය ගත හැකියි. ඒ කොහොමද? මුලින්ම අපි “සත්‍යතාවෙන්” කටයුතු කළ යුතුයි. ඒ සඳහා දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ කිරීමට වෑයම් දරන අතරම අවංකවම සහෝදර ස්නේහය පෙන්වීමත් අවශ්‍යයි. (1 පේතෘස් 1:22) ඒ වගේම වැරදි දේවල් නොකිරීමට මහත් සටනක් කිරීමත් අවශ්‍යයි. (ගීතාවලිය 119:11) ඊළඟට “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” බවත් ‘ඔහු සියලු දේ දන්නා බවත්’ තේරුම්ගත යුතුයි. “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” බව කීමෙන් අදහස් වන්නේ ඔහු අපේ දුර්වලකම් සොයමින් සිටිනවාට වඩා හරි දේ කිරීමට අපි දරන වෑයම අගය කරන බවයි. ඒ වගේම “ඔහු සියලු දේ දන්නේය” කීමෙන් අදහස් වන්නේ අප දරන උත්සාහය ගැන ඔහු මනා අවබෝධයකින් සිටින බවයි. එම කාරණය දැනගෙන සිටීම අපේ සිත්වලට මහත් සහනයක් ගෙන දෙනවා. එවිට ‘අපගේ සිත් අපට තවදුරටත් දෝෂාරෝපණය’ කරන්නේ නැහැ. ප්‍රතිඵලයක් ලෙස “දෙවිට කතා කිරීමට අපට නිදහසක්” ලැබෙනවා. එනම් කිසි බියක් සැකක් නැතුව ඔහුට යාච්ඤා කරන්න අපට හැකි වෙනවා. ඒ වගේම අපි ඔහුගේ ආඥා පවත්වන නිසා ඔහු අනිවාර්යයෙන්ම අපගේ යාච්ඤාවලට පිළිතුරුත් දෙනවා.

සමාව ලැබෙනවාද නැද්ද?

7. යම් පාපයකට සමාව ලැබිය හැකිද නොහැකිද කියා තීරණය වන්නේ කුමකින්ද?

7 එය තීරණය වන්නේ පුද්ගලයා කර තිබෙන්නේ මොන වගේ පාපයක්ද යන්න මත නොවෙයි. ඒ වෙනුවට එම පුද්ගලයා ඒ පාපය කරද්දී තමාගේ සිත කොතරම් දැඩි කරගෙන සිටියාද එමෙන්ම ඔහු එම පාපයේ නියැලුණේ මොන චේතනාවෙන්ද යන කාරණා මතයි. අප බරපතළ පාපයක් කර පසුතැවිලි වී සිටියත්, ඒ ගැන තවමත් දැඩි කනස්සල්ලකින් පසු වෙනවා නම්, මෙම කාරණා දැනගැනීම ඇත්තටම මහත් සහනයක්. මෙය තහවුරු කරගැනීමට අපි දැන් බයිබලයෙන් උදාහරණ කිහිපයක් සලකා බලමු.

8. මුල් සියවසේ සිටි සමහරෙක් සමාව ලැබිය නොහැකි ආකාරයේ පව් කළේ කෙසේද?

8 යෙහෝවා දෙවිව මහිමයට පමුණුවන්න යේසුස් ආශ්චර්යයන් සිදු කළා. දෙවිගේ බලය යේසුස් තුළින් ක්‍රියාත්මක වන ආකාරය ඔහුට වෛර කළ යුදෙව් ආගමික නායකයන් හොඳින්ම තේරුම්ගත්තා. එසේ දැන දැනත් ඔවුන් පැවසුවේ යේසුස් බලවත් ක්‍රියා කරන්නේ යක්ෂයාගේ බලයෙන් කියායි. එසේ දෙවිගේ බලයට අපහාස කිරීම මගින් ඔවුන් සමාව ලැබිය නොහැකි පාපයක් කළා. යේසුස් පැවසූ ලෙස “මේ සමාජ ක්‍රමයේදීවත් පැමිණෙන්න තිබෙන කාලයේදීවත්” ඒ සඳහා ඔවුන්ට සමාව ලැබෙන්නේ නැහැ.—මතෙව් 12:22-32.

9. දේවඅපහාසය කියන්නේ කුමක්ද? ඒ ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

9 දේවඅපහාසය කියන්නේ නිග්‍රහාත්මක ලෙස දෙවිට විරුද්ධව කතා කිරීමයි. දෙවිගේ බලයට විරුද්ධව කතා කිරීම හරියට යෙහෝවා දෙවිට විරුද්ධව කතා කරනවා හා සමානයි. පසුතැවිල්ලකින් තොරව දිගින් දිගටම එසේ කිරීම සමාව ලැබිය නොහැකි පාපයක්. යේසුස් ඉහත සඳහන් වචන පැවසීමට හේතු වූයේ පරිසිවරු හිතාමතාම දෙවිගේ බලයට විරුද්ධව අපහාස කරමින් පව් කළ නිසයි. එමනිසා යේසුස් පැවසුවේ මෙසේයි. “ශුද්ධාත්මයට [හෙවත් දෙවිගේ බලයට] විරුද්ධව අපහාස කරන කිසිවෙකුට කිසිදාක සමාවක් නැත. ඔහු සදාකාලික පාපයට වරදකරුවෙකු වන්නේය.”—මාක් 3:20-29.

10. යූදස්ව “විනාශයේ පුත්‍රයා” කියා යේසුස් හැඳින්වූයේ ඇයි?

10 දැන් අපි යූදස් ඉස්කාරියොත් කළ පාපය ගැන සලකා බලමු. ඔහුට භාරදී තිබූ මුදල් පෙට්ටියෙන් සොරකම් කරමින් ඔහු දිගින් දිගටම වංක ලෙස කටයුතු කළා. (යොහන් 12:5, 6) එපමණක්ද නොව, යේසුස්ව රිදී මිල 30කට පාවා දීමටත් ඔහු කුමන්ත්‍රණය කළා. කළ පාපය ගැන කනගාටු වුණත් ඔහු කිසිවිටෙක පසුතැවිලි වුණේ නැහැ. ඒ හේතුවෙන් ඔහු නැවත නැඟිටීමට සුදුස්සෙක් වුණේ නැහැ. යේසුස් ඔහුව “විනාශයේ පුත්‍රයා” ලෙස හැඳින්වූයේ ඒ නිසයි.—යොහන් 17:12; මතෙව් 26:14-16.

තම පව්වලට සමාව ලැබූ අය

11-13. දාවිත් රජ කළ පාපය කුමක්ද? එමෙන්ම දෙවි ඒ කාරණය විනිශ්චය කළ ආකාරයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 සමහර ක්‍රිස්තියානීන් තම බරපතළ පව්වලට පසුතැවිලි වී වැඩිමහල්ලන්ගෙන් උපකාර ලබා තිබෙනවා. නමුත් තමන් කළ පාපයේ බරපතළකම නිසා ඔවුන්ගේ සිත් ඔවුන්ට තවමත් දොස් තබනවා විය හැකියි. (යාකොබ් 5:14) අපත් එවැනි කෙනෙක් නම් බයිබලයේ සඳහන් බරපතළ පව්වලට සමාව ලැබූ කිහිපදෙනෙකුගේ උදාහරණ සලකා බැලීම වටිනවා.

12 බරපතළ ලෙස පව් කළ දාවිත් රජගේ සිද්ධිය දැන් සලකා බලමු. දිනක් සුරූපි කාන්තාවක් වූ බැත්ෂෙබා නාමින් සිටිනවා රජවාසලේ සඳලුතලයේ සිටි දාවිත් දුටුවා. ඔහු ඇයව තමා වෙත කැඳවා ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා. පසුව ඇය ගැබ්ගෙන ඇති බව දාවිත් දැනගත් විට එම පාපය වසං කිරීමට කපටි සැලැස්මක් යෙදුවා. එය නම් මේ ගැන කිසිවක් නොදත් ඇගේ පුරුෂයා වූ උරියාව කැඳවා ඔහු මත්වන තුරු බොන්න දී බැත්ෂෙබා සමඟ සයනය කිරීමට පෙලඹවීමයි. ඒ උපාය අසාර්ථක වූ විට නැවතත් ඔහුව යුද්ධයට යවා සැලසුම් සහගත ලෙස මරණයට පත් කළා. ඉන්පසු, දාවිත් බැත්ෂෙබාව විවාහ කරගත් නමුත් ඇය වැදූ දරුවා මිය ගියා.—2 සාමුවෙල් 11:1-27.

13 මේ බරපතළ කාරණය විනිශ්චය කළේ යෙහෝවා දෙවි විසින්මයි. දෙවි දාවිත්ට සමාව දුන්නා. ඔහුගේ පසුතැවිල්ල සහ රාජ්‍යය පිළිබඳව ඔහු සමඟ දෙවි කළ ගිවිසුම ඊට හේතු වූවා විය යුතුයි. (2 සාමුවෙල් 7:11-16; 12:7-14) බැත්ෂෙබාද අවංකව පසුතැවිලි වූ බව නිසැකයි. ඒ නිසා යේසුස්ගේ මුතුන් මිත්තෙක් වූ සලමොන් රජගේ මව වීමේ වරප්‍රසාදය ඇය ලැබුවා. (මතෙව් 1:1, 6, 16) අපිත් බරපතළ පව් කර ඇත්නම් දෙවි අපේ අවංක පසුතැවිල්ල සැලකිල්ලට ගන්නා බව මතක තබාගනිමු.

14. දෙවි සමාව දීමට කොතරම් ලැදි කෙනෙක්ද?

14 යෙහෝවා සමාව දීමට කොතරම් ලැදි දෙවි කෙනෙක්ද කියා යූදාහි මනස්සේ රජුගේ සිද්ධියෙන්ද මනාව පැහැදිලියි. ඔහු කරන තරමක් කළේ දෙවිට ඉතාම පිළිකුල් ක්‍රියාවන්. බාල් දේවතාවුන්ට පූජාසන ගොඩනැඟූ ඔහු “අහසේ සියලු සේනාවන්ට” නමස්කාර කළා. දේවමාලිගාවේ මණ්ඩප දෙකෙහිත් බොරු දෙවිවරුන් සඳහා පූජාසන ඉදි කළා. තමාගේ පුත්‍රයන්ව ගිනි මැදින් යවා පූජා කළා. භූතයන් හා සම්බන්ධ චාරිත්‍රවල යෙදෙන්න ජනයාව පෙලඹෙව්වා. ‘යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශ කළ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට යූදාටත් යෙරුසලෙම් වැසියන්ටත් මුළාව යන්නට මනස්සේ සැලැස්සුවා.’ ඒ ගැන අනාගතවක්තෘවරුන් දුන් අනතුරු ඇඟවීම් ඔහු ගණනකටවත් ගත්තේ නැහැ. අන්තිමේදී අෂූරියේ රජු ඔහුව වහල්භාවයට ගෙන ගියා. එහිදී මනස්සේ යෙහෝවා දෙවිට ඉතා ඕනෑකමින් යාච්ඤා කරමින් අවංකවම පසුතැවිලි වුණා. දෙවි ඔහුට සමාව දී නැවතත් රජකමට පත් කළ අතර එතැන් සිට ඔහු සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව සඳහා කටයුතු කළා.—2 ලේකම් 33:2-17.

15. දෙවි අතිශයින් සමාව දෙන බව පෙන්වන්නේ කුමන සිද්ධියෙන්ද?

15 ඊට ශතවර්ෂ ගණනාවකට පසුව සිටි පේතෘස්ද බරපතළ පාපයක් කළා. ඒ, තමන් යේසුස්ව හඳුනන්නේ නැහැයි කියා පැවසීමයි. (මාක් 14:30, 66-72) නමුත් යෙහෝවා දෙවි පේතෘස්ටත් අතිශයින් සමාව දුන්නා. (යෙසායා 55:7) ඒ ඇයි? ඔහු අවංකවම පසුතැවිලි වූ නිසයි. (ලූක් 22:62) පසුව පෙන්තකොස්ත දවසේදී රැස්ව සිටි සමූහයාට යේසුස් පිළිබඳව ප්‍රබල සාක්ෂියක් දීමට යෙහෝවා දෙවි පේතෘස්ව යොදාගත්තා. දෙවි ඔහුට සමාව දුන් බවට එයම සාක්ෂියක්. (ක්‍රියා 2:14-36) ඒ අනුව බලද්දී අදදින සිටින ක්‍රිස්තියානියෙකු අවංකව පසුතැවිලි වන විට දෙවි ඔහුට සමාව නොදෙයි කියා සිතීමට හේතුවක් තිබෙනවාද? මේ ගැන ගීතිකාකරු පැවසුවේ මෙසේයි. “යාහ් දෙවියනි, ඔබ අපේ වැරදි සොයනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, එක්කෙනෙකුවත් ඉතුරු වෙයිද? ඇත්තටම සමාව දෙන්නේ ඔබය.”—ගීතාවලිය 130:3, 4, NW.

කනස්සල්ල තුනී කරගැනීම

16. දෙවි අපට සමාව දෙන්නේ කුමන හේතූන් සැලකිල්ලට ගෙනද?

16 තමාගේ පාපයට සමාවක් ලැබෙන එකක් නැහැයි කියා සිතීමෙන් ඇති වන කනස්සල්ල තුනී කරගැනීමට ඉහත සිද්ධීන් අපට උපකාරවත් වෙනවා. එයින් අපට පෙනී යන්නේ යෙහෝවා දෙවි පසුතැවිලි වන පව්කාරයන්ට ඇත්තටම සමාව දෙන බවයි. මෙහිදී වැදගත්ම දෙය වන්නේ සමාව ඉල්ලා හද පත්ලෙන්ම කරන යාච්ඤාවයි. එසේ කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතු අතර දෙවි දයානුකම්පිත බව අපි විශ්වාස කළ යුතුයි. එමෙන්ම පව් කිරීමට අප තුළ ඇති නැඹුරුවාව දෙවි දන්නා බවත් අපි විශ්වාසවන්තව කාලයක් පුරා ඔහුට කළ සේවය ඔහු අමතක නොකරන බවත් තේරුම්ගත යුතුයි. යෙහෝවා මහත් කරුණාවෙන් යුත් දෙවි කෙනෙක් නිසා ඔහු අපට සමාව දෙන බවට සම්පූර්ණයෙන්ම නිසැක වෙන්න අපිට පුළුවන්.—එෆීස 1:7.

17. පාපයේ බරපතළකම නිසා යාච්ඤා කරන්න හිත දෙන්නේ නැත්නම් කුමක් කළ යුතුද?

17 පාපයේ බරපතළකම නිසා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය පලුදු වීම හේතුවෙන් අපිට යාච්ඤා කරන්න තරම්වත් හිත දෙන්නේ නැත්නම් කුමක් කළ යුතුද? ඒ සම්බන්ධයෙන් යාකොබ් මෙවැනි පිළිතුරක් දෙනවා. “ඔහු සභාවේ වැඩිමහල්ලන්ව කැඳවාගනීවා! ඔවුහු යෙහෝවාගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින්, ඔහු උදෙසා යාච්ඤා කරත්වා! එවිට, අසනීපයෙන් පෙළෙන්නා ඇදහිල්ලේ යාච්ඤාව මගින් සනීප වන්නේය. යෙහෝවා ඔහුව නැඟිටුවන්නේය. තවද ඔහු පව් කර තිබේ නම්, ඔහුට කමා කරනු ලබන්නේය.”—යාකොබ් 5:14, 15.

18. සභා සමාජිකත්වයෙන් ඉවත් කළ පමණින් යම් කෙනෙක් සමාව ලැබිය නොහැකි පාපයක් කළා කියා කිව නොහැක්කේ ඇයි?

18 පසුතැවිලි නොවන පව්කාරයෙක්ව සභා සමාජිකත්වයෙන් ඉවත් කළ පමණින් ඔහු සමාව ලැබිය නොහැකි පාපයක් කළා කියා කිව නොහැකියි. කොරින්ති සභාවේ සිටි එවැනි අභිෂේකලත් ක්‍රිස්තියානියෙකු ගැන පාවුල් ලිව්වේ මෙසේයි. “බහුතරය විසින් දුන් මේ තරවටුව එවැනි මිනිසෙකුට ප්‍රමාණවත්ය. එබැවින්, යම් හෙයකින් හෝ එවැනි මිනිසෙකු අධික ශෝකයේ ගිලී නොයන පිණිස දැන් ඔබ, ඔබේ කරුණාවෙන් ඔහුට කමා කර ඔහුව සනසන්න.” (2 කොරින්ති 2:6-8; 1 කොරින්ති 5:1-5) පව් කළ තැනැත්තා දෙවිට සමීප වීම සඳහා ක්‍රිස්තියානි වැඩිමහල්ලන් විසින් ලබා දෙන බයිබලයේ මඟ පෙන්වීම් පිළිගැනීම අවශ්‍යයි. එමෙන්ම ඔවුන් “පසුතැවිල්ල පෙන්වන පල උපදවන්න” එනම් ක්‍රියාවෙන් එය පෙන්වන්නත් අවශ්‍යයි.—ලූක් 3:8.

19. ‘ඇදහිල්ලේ ශක්තිමත්ව’ සිටීමට උපකාර කරන්නේ කුමක්ද?

19 සමාව ලැබිය නොහැකි පාපයක් කළා කියා සිතීමට හේතු විය හැක්කේ කුමක්ද? අනවශ්‍ය ලෙස ඒ ගැන කල්පනා කිරීම හා දුර්වල සෞඛ්‍ය තත්වය ඊට හේතු විය හැකියි. එවැනි අවස්ථාවලදී යාච්ඤාව සහ ප්‍රමාණවත් විවේකය උපකාරයක් වෙයි. දෙවිට කරන සේවය නතර කිරීමට මෙවැනි තත්වයන් සාතන් අතකොළුවක් සේ යොදාගනිමින් අපව අධෛර්යට පත් කළ හැකි බැවින් අපි පරෙස්සම් විය යුතුයි. දෙවි දුෂ්ටයෙක්වත් විනාශ වෙනවාට කැමති නැහැ. එසේනම් ඔහුට නමස්කාර කරන ඔහුගේ සේවකයන් විනාශ වෙනවාට ඔහු කොහොමටවත් කැමති වෙයිද? ඒත් ‘මට කවදාවත් දෙවිගෙන් සමාව ලැබෙන එකක් නැහැ’ කියා තවමත් හිතෙනවා නම් කෙනෙකුට කුමක් කළ හැකිද? අත්නෑර දෙවිගේ වචනයෙන් පෝෂණය ලබන්න ඔහු අදිටන් කරගත යුතුයි. ඒ සඳහා විශේෂයෙන්ම බයිබලයේ ගීතාවලිය වැනි පොත් කියවීම මහත් සහනයක් ගෙන දෙයි. දිගටම ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම සහ ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වීමත් අත්‍යවශ්‍යයි. එසේ කිරීම සමාව ලැබිය නොහැකි පාපයක් කළාය යන බියෙන් සහ කනස්සල්ලෙන් ගොඩ ඒමට මෙන්ම ‘ඇදහිල්ලේ ශක්තිමත්ව’ සිටීමටද අපට උපකාර කරයි.—තීතස් 2:2.

20. තමන් සමාව ලැබිය නොහැකි පාපයක් කර නැති බව තේරුම්ගැනීමට උපකාර කරන්නේ කුමක්ද?

20 තමන් දෙවිගේ බලයට විරුද්ධව පාපයක් කර ඇතැයි කියා බියෙන් පෙළෙනවා නම් මෙවැනි ප්‍රශ්න අසාගැනීම උචිතයි. ‘මම හිතාමතාම දෙවිගේ බලයට විරුද්ධව කටයුතු කර තිබෙනවාද? මම දෙවිගේ සත්‍යය ඉගැන්වීම් එපා කළ ඇදහිල්ල අත්හළ කෙනෙක්ද? මම මගේ පාපය ගැන අවංකවම පසුතැවිලි වී තිබෙනවාද? දෙවි මට සමාව දෙනවා කියලා විශ්වාසද?’ මෙසේ තමන්ගෙන්ම ප්‍රශ්න කිරීමේදී බොහෝදෙනෙක් වටහාගන්නා දෙයක් වන්නේ තමන් දෙවිගේ බලයට විරුද්ධව හිතාමතා පව් කර නැති බවත් සත්‍යය ඉගැන්වීම් අත්හැර නැති බවත්ය. ඒ වෙනුවට ඔවුන් පසුතැවිලි වී ඇති නිසා යෙහෝවා දෙවි තමන්ට සමාව දී ඇති බවත් ඔවුන් තේරුම්ගනියි. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් සමාව ලැබිය නොහැකි පාපයක් කර නැති බවයි.

21. ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

21 තමන් සමාව ලැබිය නොහැකි පාපයක් කර නැති බව දැනගැනීම මොන තරම් සහනයක්ද! නමුත් දෙවිගේ බලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්න සලකා බැලිය යුතුයි. ‘මට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද? එය මා තුළ ක්‍රියාත්මක වන බව මට වැටහෙනවාද?’ ඊළඟ ලිපියෙන් මේ ගැන සලකා බලමු.

ඔබට මතකද?

• සමාව ලැබිය නොහැකි පාපයක් තිබෙන බව අපි දන්නේ කොහොමද?

• පසුතැවිල්ල කියන්නේ කුමක්ද?

• යේසුස්ගේ කාලයේදී දෙවිගේ බලයට විරුද්ධව පව් කළේ කවුද?

• සමාව ලැබිය නොහැකි පාපයක් කර ඇතැයි යන බියෙන් ගොඩ එන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

යේසුස් බලවත් ක්‍රියා කරන්නේ යක්ෂයාගේ බලයෙන්යයි පැවසූ අය දෙවිගේ බලයට විරුද්ධව පව් කළා

[18වන පිටුවේ පින්තූරය]

යේසුස්ව හඳුනන්නේ නැහැයි කියා පැවසුවත් පේතෘස් කළේ සමාව ලැබිය නොහැකි පාපයක් නොවේ