Skip to content

පටුනට යන්න

“ප්‍රඥාව ආරක්ෂාවකි”

“ප්‍රඥාව ආරක්ෂාවකි”

“ප්‍රඥාව ආරක්ෂාවකි”

“ප්‍රඥාව ලබාගැනීම රත්රන් සොයාගැනීමට වඩා කොතරම් හොඳද! රිදීවලට වඩා අවබෝධය ලබාගැනීම වටින්නේය” කියා හිතෝපදේශ 16:16හි [නව ලොව පරිවර්තනය, NW] සඳහන් වෙනවා. ප්‍රඥාව ඒ තරම්ම වටින්නේ ඇයි? “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුමෙහි ප්‍රයෝජනය මෙයයි. දැනුමත් ප්‍රඥාවත් ඇති අයගේ ජීවිත රැකෙනු ඇත.” (දේශනාකාරයා 7:12, NW) එසේනම් ප්‍රඥාව කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරන්නේ කොහොමද?

දිව්‍ය ප්‍රඥාව අත් කරගැනීමට නම් බයිබලයේ ඇති නිවැරදි දැනුම ලබාගත යුතුයි. එය අදාළ කරගත් විට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්නත් අපේ ජීවිතය රැකගන්නත් හැකි වෙනවා. (හිතෝපදේශ 2:10-12) ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවා. “ප්‍රතිපත්තිගරුක අය ගමන් කරන මහමාර්ගය නපුරෙන් ඉවතට හැරී යයි. තමන්ගේ ගමන ගැන සෝදිසියෙන් සිටින්නා තම ජීවිතය රක්ෂා කරගනියි.” (හිතෝපදේශ 16:17, NW) ඇත්තෙන්ම, ප්‍රඥාව අපේ ජීවිතය රැක දෙනවා. අපේ ආකල්ප, කතාව හා ක්‍රියාව වැනි ජීවිතයේ විවිධ පැතිවලින් දිව්‍ය ප්‍රඥාව පිළිබිඹු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන එමටයි. ඒ ගැන හිතෝපදේශ 16:16-33හි දක්වා ඇති ප්‍රඥාවන්ත වදන් මගින් පෙන්වා දෙනවා. *

“යටහත් පහත්ව සිටීම”

“තමාවම උසස් කරගැනීමද උඩඟුකමද” යන කාරණා ප්‍රඥාවට විරුද්ධයි. (හිතෝපදේශ 8:13, NW) උඩඟුකමයි, ප්‍රඥාවයි හරියට අහසට පොළොව වගෙයි. හිස උදුම්මාගත් උඩඟු ආකල්පයක් අප තුළ නොවැඩෙන්න අප වගබලා ගත යුතු අතර සැමවිටම ඥානවන්තව කටයුතු කළ යුතුයි. ක්‍රිස්තියානි සභාවේ වැඩිමනත් වගකීම් හා වරප්‍රසාද ලැබෙන විට මෙන්ම ජීවිතයේ යම් සාර්ථකත්වයන් අද්දකින විට අපි විශේෂයෙන්ම මේ ගැන පරෙස්සම් වීම වැදගත්.

“වැටෙන්න කලින් උඩඟුකමද පය පැටලෙන්න කලින් ආඩම්බර සිතක්ද ඇත.” (හිතෝපදේශ 16:18, NW) පරිපූර්ණ දේවදූතයෙකුගේ ‘වැටීමට’ එනම්, තමාවම යක්ෂයා බවට පත් කරගන්න හේතුව ඉන් අපට මතක් කර දෙනවා. (උත්පත්ති 3:1-5; එළිදරව් 12:9) වැටෙන්න පළමුවෙන් ආඩම්බර සිතක් ඔහු තුළ දිස් වූ බව බයිබලයේ පවසන නිසා අපත් පරෙස්සම් විය යුතුයි. උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානි සභාවේ අධීක්ෂණ කටයුතු සඳහා අලුතෙන් ඇදහිලිවන්තයෙකු වූ කෙනෙකුව යොදාගන්නේ නැහැ. ඊට හේතුව නම් “අහංකාරයෙන් ඉදිමී යක්ෂයාට පැමිණි විනිශ්චයට [ඔහු] නොවැටෙන පිණිසයි.” (1 තිමෝති 3:1, 2, 6) ඒ නිසා, මේ උඩඟුකම අන් අය තුළ වර්ධනය වන ලෙස කටයුතු නොකිරීමටත් අප තුළ වර්ධනය කර නොගැනීමටත් වගබලා ගැනීම කොතරම් වැදගත්ද!

හිතෝපදේශ 16:19හි [NW] පවසන්නේ “තමන්ව උසස් කරගන්නා අය සමඟ ලාභ බෙදාගන්නවාට වඩා නිහතමානී අය සමඟ යටහත් පහත්ව සිටීම යහපත” කියායි. මේ කියමන තුළ සත්‍යයක් ඇති බව පුරාණ බැබිලෝනියේ රජ වූ නෙබුකද්නෙෂර් කළ දෙයකින් පෙනෙනවා. ඔහු බැබිලෝනියේ පිහිටි දූරා නම් සමභූමියේ දැවැන්ත රූපයක් පිහිටෙව්වා. සමහරවිට එයින් ඔහුව නියෝජනය කරන්න ඇති. එම රූපය මීටර් 27ක් තරම් උස එකක්. (දානියෙල් 3:1) ඒ ගැන ඔහු ඉතා ආඩම්බර වුණා. එයාකාර දැවැන්ත පිළිම හා අහස උසට නැඟි ගොඩනැඟිලි දැක මිනිසුන් පුදුම වුණත් දෙවි පුදුම වෙන්නේ නැහැ. ඒ ගැන ගීතිකාකරු ගායනා කළේ මෙසේයි. “යෙහෝවා දෙවි උසස් වුවත් ඔහු යටහත් පහත් තැනැත්තා ගැන සැලකිලිමත් වන්නේය. එහෙත් උඩඟු තැනැත්තා ගැන ඔහු දන්නේ අල්පය.” (ගීතාවලිය 138:6, NW) ඇත්තෙන්ම “මිනිසුන් අතරේ උසස් දේ දෙවි ඉදිරියෙහි පිළිකුලකි.” (ලූක් 16:15) ඒ අනුව බලන කළ ‘උඩඟු දේවල්වලට මනස යොමු කරනවාට වඩා නිහතමානී දේ සොයන’ එක ඥානවන්තයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?—රෝම 12:16.

තීක්ෂ්ණ බුද්ධියෙන් අනුන්ව දිනාගන්න

ප්‍රඥාව අත් කරගැනීමෙන් අපේ කතා බහට හොඳ බලපෑමක් ඇති වෙනවා. ඒ කොහොමද? ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවා. “යම් කාරණයකදී හොඳ තීක්ෂ්ණ බුද්ධිය පාවිච්චි කරන්නාට යහපතක් සිදු වෙයි. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්නා සන්තෝෂවත්ය. ප්‍රඥාවන්ත සිතක් ඇත්තාට හොඳ අවබෝධයක් ඇතැයි පිළිගැනේ. මිහිරි ලෙස කතා කරන තැනැත්තා අන් අයගේ සිත් ඇදගනියි. හොඳ තීක්ෂ්ණ බුද්ධිය ඇති අයට එය ජීවන උල්පතකි. අඥානයන්ට හික්මවීම ලැබෙන්නේ තමුන්ගේම මෝඩකම නිසාය. ප්‍රඥාවන්තයාගේ සිත ඔහුව පොලඹවන්නේ තීක්ෂ්ණ බුද්ධිය හොඳින් පාවිච්චි කර කතා කිරීමටයි. අන් අයගේ සිත් ඇදගන්නා ලෙස කතා කිරීමටද එය උදව් වෙයි.”හිතෝපදේශ 16:20-23, NW.

තීක්ෂ්ණ බුද්ධියෙන් හා අන් අයව දිනාගන්නා ආකාරයෙන් කතා කිරීමට දිව්‍ය ප්‍රඥාව අපට උපකාර කරනවා. මෙහි අන් අයව දිනාගැනීම කියද්දී කෙනෙකුව පොලඹවන හෝ ඒත්තුගන්වන ආකාරයෙන් කතා කිරීම යන අර්ථද ගැබ් වී තිබෙනවා. ඥානවන්ත කෙනෙක් යම් කාරණාවක ‘යහපත’ හෙවත් හොඳ පැත්ත බලන අතර ඔහු නිතරම උත්සාහ කරන්නේ අන් අයගේ හොඳ ගුණාංග ගැන කතා කරන්නයි. විවාදශීලීව නැත්නම් සැර පරුෂ ලෙස කතා කරනවාට වඩා කාරුණිකව හා සිත් දිනාගන්නා ආකාරයට කතා කරනවා නම් ඉන් මොන තරම් ප්‍රයෝජන ලැබෙයිද! අන් අයව දිනාගැනීමට අමතරව තීක්ෂ්ණ බුද්ධියත් අපට අවශ්‍යයි. තීක්ෂ්ණ බුද්ධිය කියන්නේ යම් කාරණාවක් දෙස පිටාතර පෙනුමට ඔබ්බෙන් බැලීමට තිබෙන හැකියාවයි. අන් අය විඳින දුක් ගැහැට තේරුම්ගන්නත් ඔවුන් ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරය අවබෝධ කරගන්නත් එය අපට උපකාරවත් වෙනවා.

දේශනා සේවයේදීත් බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දීත් අප කතා කරන ආකාරයෙන් ප්‍රඥාව විදහා පෙන්විය යුතුයි. අන් අයට බයිබල් සත්‍යයන් උගන්වන විට අපේ අරමුණ විය යුත්තේ නිකම්ම තොරතුරු කියා දීම නොව ඔවුන්ගේ හදවතට කතා කිරීමයි. එසේ කරන්න නම් ඔවුන්ට ඒත්තුගන්වන ආකාරයෙන් කතා කිරීම අත්‍යවශ්‍යයි. ‘විශ්වාස කිරීමට පෙලඹෙව්වාවූ’ දේවල්වල දිගටම යෙදී සිටින්න කියා පාවුල් වරක් තිමෝතිට අවධාරණය කළා.—2 තිමෝති 3:14, 15.

එක් ශබ්දකෝෂයකට අනුව ග්‍රීක භාෂාවේ ‘පෙලඹවීම’ යන වචනයෙන් අදහස් කරන්නේ “තර්කාණුකූලව කාරණා පහදා දෙමින් කෙනෙකු සිතන ආකාරයේ වෙනසක් ඇති කිරීමයි.” (An Expository Dictionary of New Testament Words) කෙනෙකු සිතන ආකාරය වෙනස් කිරීම සඳහා තර්කානුකූලව කාරණා පහදා දීමට නම් එම තැනැත්තාගේ සිතුවිලි, ආශාවන්, හැකියාවන් මෙන්ම පසුබිම වැනි කාරණා ගැන මතුපිටින් දකිනවාට වඩා ඔබ්බට ගොස් දකින්න අපිට හැකියාව තිබිය යුතුයි. ‘ඇසීමට ඉක්මන් වීමෙන් හා කතා කිරීමට ප්‍රමාද වීමෙන්’ එසේ කළ හැකි බව බයිබලය පවසනවා. (යාකොබ් 1:19) ප්‍රශ්න අසා ඔහු පවසන දේවල්වලට හොඳින් සවන් දීමෙන් එම අරමුණ ඉටු කරගත හැකියි.

පාවුල් මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. (ක්‍රියා 18:4) “එෆීසයේ පමණක් නොව මුළු ආසියා ප්‍රදේශයේ හැම තැනකම වාගේ සෑහෙන පිරිසකට එය ඒත්තුගන්වා, ඔවුන්ව වෙනත් මතයකට හරවාගත් බව” පාවුල්ට විරෝධය පෑ දෙමේත්‍රියස් නම් රිදීකරුවා පවා පිළිගත්තා. (ක්‍රියා 19:26) එම දක්ෂතාව ගැන පාවුල් ආඩම්බර වුණාද? නැහැ. ඒ වෙනුවට දේශනා සේවය ‘[දෙවිගේ] ආත්මයත් බලයත් විදහාපෙන්වමින්’ කළ එකක් බව ඔහු පිළිගත්තා. (1 කොරින්ති 2:4, 5) යෙහෝවා දෙවිගේ බලයේ උපකාරය අපටත් තිබෙනවා. අප හැම විටකම දෙවි මත විශ්වාසය තබනවා නම් දේවසේවයේදී තීක්ෂ්ණ බුද්ධියෙන් හා අන් අයට ඒත්තු යන ආකාරයෙන් කතා කිරීමට අවශ්‍ය උපකාර ඔහු සපයනවා.

“සිතින් ඥානවන්ත අය බුද්ධිමත්” යන කියමන බොරුවක් නෙවෙයි. (හිතෝපදේශ 16:21) තීක්ෂ්ණ බුද්ධිය ඇත්තාට එය ‘ජීවන උල්පතක්.’ එහෙත් අඥානයා ‘ප්‍රඥාව සහ හික්මවීම සුළු කොට තකනවා.’ (හිතෝපදේශ 1:7, NW) ඔවුන් දිව්‍ය ප්‍රඥාව සුළු කිරීමෙන් අත් වන ප්‍රතිඵලය කුමක්ද? “අඥානයන්ට හික්මවීම ලැබෙන්නේ තමුන්ගේම මෝඩකම නිසාය” කියා සලමොන් රජ පැවසුවා. (හිතෝපදේශ 16:22, NW) සාමාන්‍යයෙන් අඥානයන්ට හික්මවීම් ලැබෙන්නේ දැඩි දඬුවම් ස්වරූපයෙන්. එවැනි අය නිතරම පාහේ කරදරේ වැටෙන අතර ලජ්ජාව, බෝ වන රෝග සහ අකල් මරණයට පවා ගොදුරු වෙනවා.

අපේ කතාවේදී ප්‍රඥාවන්ත වීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජන ගැන කතා කරමින් සලමොන් රජ පවසන්නේ මෙසේයි. “ප්‍රසන්න වචන මී වදයක් මෙනි. ඒවා යමෙකුට මිහිරිබවක්ද ඔහුගේ ඇටවලට සුවයක්ද ගෙන දෙයි.” (හිතෝපදේශ 16:24, NW) මී පැණි මිහිරියි. පෝෂණයෙන් අනූනයි. ඒ හා සමානව ප්‍රසන්න කතා බහද සවන් දෙන්නාට ප්‍රාණවත්බවක් ගෙන දෙන අතර දිරිගන්වනසුලුයි. මී පැණි ශරීර සෞඛ්‍යයට හිතකරයි. ඒ හා සමානව එවැනි වචන අන් අයගේ ඇදහිල්ල ගොඩනංවයි.—හිතෝපදේශ 24:13, 14.

‘නිවැරදියයි පෙනෙන මඟේ’ නොයන්න

“යම් මාර්ගයක් නිවැරදියයි යමෙකුට පෙනුණත් එය කෙළවර වන්නේ මරණයෙනි” කියා සලමොන් රජ පවසනවා. (හිතෝපදේශ 16:25, NW) දෙවිගේ නීති උල්ලංඝනය කරන අන්දමේ තීරණ ගැනීමට පොලඹවන බොරු තර්ක විතර්ක පිටුපස යෑමට එරෙහිව මෙහි අපට අනතුරු අඟවා තිබෙනවා. මිනිසුන්ට හරියයි පෙනුණත් ඒවා දෙවිගේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැනි විය හැකියි. තමා ගන්නා තීරණය නිවැරදියි කියා සිතීමෙන් තමාවම රවටාගැනීමට සාතන් අපව පොලඹවනවාද විය හැකියි. එවැනි තීරණ කෙනෙකුගේ විනාශයට මඟ පාදයි.

ඥානවන්ත හදවතක් තිබෙනවා නම් ඒ වගේම බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගැනීමට පුහුණු කළ හෘදය සාක්ෂියක් තිබෙනවා නම් තමාවම රවටාගැනීම නමැති උඟුලෙන් ආරක්ෂා වෙන්න අපට හැකියි. අප ජීවිතයේ කුමන තීරණයක් ගත්තත් හරි දේ හා වැරදි දේ පිළිබඳව දෙවි දී තිබෙන ප්‍රමිතිවලට එකඟව එය කරනවා නම් එමගින් අපට විශාල ආරක්ෂාවක් ලැබෙනවා.

‘වෙහෙසී වැඩ කරන්නේ කුසගින්න නිවාගන්නයි’

“වෙහෙස මහන්සි වී වැඩ කරන්නා තමාගේ කුසගින්න නිවාගන්න වැඩ කරයි. ඔහුගේ කුසගින්න නිසා එසේ කිරීමට ඔහු පෙලඹෙයි.” (හිතෝපදේශ 16:26, NW) සලමොන් රජ පවසන ආකාරයට වෙහෙසී වැඩ කිරීමට කෙනෙකුව පොලඹවන්නේ ඔහුට දැනෙන කුසගින්නයි. කුසගින්න නිවාගැනීමට තිබෙන ආශාවේ ඇති වරදක් නැහැ. එය ස්වභාවිකයි. එය ප්‍රයෝජනදායකයි. කෙසේවෙතත් වැරදි නොවන එම ආශාව කෑදරකම බවට පත් වුණොත් කුමක් සිදු වෙයිද? එවිට සිදු වන්නේ කෑමක් උයාගැනීමට අවුළවා ගන්නා පුංචි ගිනිමැලයක් ලැව් ගින්නක් බවට පත් වුණොත් වෙන දෙයමයි. මහා විනාශයක්! කෑදරකම කියන්නේ පාලනයකින් තොරව ආහාර පාන ගැනීමට ඇති නැඹුරුවාවයි. මෙවැනි අනතුරු වටහාගන්නා බුද්ධිමත් තැනැත්තා වැරදි නොවන ආශාවල් ගැන වුණත් හොඳ අවධානයකින් සිටිනවා.

“අයහපත් මඟක” නොයන්න

ගින්නෙන් පිලිස්සුනොත් දැඩි වේදනාවක් දැනෙනවා. ඒ හා සමානව අපගේ වචනවලින් පවා අන් අයට දැඩි වේදනාවක් ඇති විය හැකියි. අනිත් අයගේ අඩුපාඩුකම් ගැන ඕපාදූප පතුරුවන අය ගැන සලමොන් රජ මෙසේ පවසනවා. “කිසි කමකට නැති මිනිසා නපුරු දේ පිටතට දමයි. ඔහුගේ තොල් දැවෙන ගින්නක් මෙනි. කූට උපක්‍රම යොදන තැනැත්තා අනුන්ව කොටවයි. කේලාම් කියන්නා කිට්ටු මිත්‍රයන්ව ඈත් කරයි.”හිතෝපදේශ 16:27, 28, NW.

කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්නා “කිසි කමකට නැති” කෙනෙක්. අප අන් අයගේ හොඳ දකින්න නිතරම වෑයම් කළ යුතු අතර ඔවුන් ගැන ගෞරවයක් ජනිත වන ආකාරයෙන්ද අන් අය සමඟ කතා කළ යුතුයි. හානිකර ඕපාදූප කතා නොකළත් ඒවා පතුරුවන අයට කන් දුන්නාට කමක් නැද්ද? එවැනි අයට සවන් දීමෙන් සිදු වන්නේ පදනමක් නැති සැක මතු වී මිතුරන් අතරත් සභාව තුළත් බෙදීම් ඇති වීමයි. අප බුද්ධිමත් නම් එවැනි අයට සවන් දෙන්නේ නැහැ.

කෙනෙකුව වැරදි මඟකට යොමු කරන රැවටීම් ගැන සලමොන් රජ ඊළඟට අනතුරු අඟවනවා. “දරුණු කෙනෙක් තම අසල්වාසියාව රවටා, අයහපත් මඟක ඔහුව යවයි. ඔහු කූට උපක්‍රම යොදන පිණිස ඇස්වලින් ඉඟි කරයි. තොල් හපාගෙන තම උගුල සම්පූර්ණයෙන්ම අටවයි.”හිතෝපදේශ 16:29, 30, NW.

සැහැසියාවේ ඇති ආකර්ෂණීය බව සැබෑ ක්‍රිස්තියානීන්ටත් බලපෑ හැකිද? අද ජීවත් වන බොහෝදෙනෙක් අන් අයව රැවටීම සඳහා “කූට උපක්‍රම” යොදා තිබෙනවා. එසේ කිරීම සඳහා සැහැසියාව ඔවුන්ට හොඳ ඇමක්. සැහැසියාවට ඍජුවම සම්බන්ධ නොවුණත් අපටත් හොරා ඉතාම සියුම් ලෙස ඊට ආකර්ෂණය වීමට තිබෙන නැඹුරුවාව ගැන කුමක් කිව හැකිද? සැහැසියාව කැපීපෙනෙන්න සලස්වන විනෝදාස්වාදය හා ක්‍රීඩාවලට අද සිටින මිලියන ගණන් ජනයා දක්වන්නේ පුදුමාකාර ලොල්කමක්. මේ ගැන බයිබලයේ දී තිබෙන අනතුරු ඇඟවීම මෙයයි. “ප්‍රඥාවන්තයන් සමඟ යන්නා ප්‍රඥාවන්ත වෙයි. නමුත් අඥානයන් ඇසුරු කරන්නා කරදරයේ වැටෙයි.” (හිතෝපදේශ 13:20, NW) දිව්‍ය ප්‍රඥාව අපට ඇත්තටම ලොකු ආරක්ෂාවක්!

කිසිදාක ‘අයහපත් මඟක’ නොගිය සැමදා ඥානවන්තයන්ගේ ඇසුරේ සිටි කෙනෙකු ගැන කුමක් කිව හැකිද? ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ එවන් කෙනෙක් යෙහෝවා දෙවි ඉදිරියේ ඉතාම ප්‍රශංසනීය වන අතර අන් අයගේද ගෞරවයට පාත්‍ර වෙනවා. හිතෝපදේශ 16:31හි [NW] පවසන්නේ ‘ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැසුණු හිස ඔහුට අලංකාර ඔටුන්නක්’ බවයි.

අනිත් අතට පාලනයකින් තොර කෝපය දෙවි දැඩි සේ හෙළාදකිනවා. කායින් තම සහෝදරයා වූ ආබෙල් සමඟ ‘දැඩි ලෙස කිපී ඔහුට පහර දී ඔහුව මරා දැමූ’ බව බයිබලයේ වාර්තා වෙනවා. (උත්පත්ති 4:1, 2, 5, 8) එමනිසා සමහර අවස්ථාවලදී අප තුළ සාධාරණ කෝපයක් ඇති වුණත් එය පාලනය කරගැනීමට අප වගබලා ගත යුතුයි. මේ ගැන හිතෝපදේශ 16:32හි [NW] පවසන්නේ මෙසේයි. “ඉක්මනින් කේන්ති නොයන්නා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය. ආත්ම දමනය ඇත්තා නුවරක් අල්ලාගන්නෙකුට වඩා බලවත්ය.” මේ අනුව බලද්දී තමාගේ කෝපය පාලනය කර නොගැනීම බෙලහීනකමක්. එය වැරදි මඟක යන්න එවැනි කෙනෙකුව පොලඹවයි.

‘දෙවි අපට තීරණය පෙන්වයි’

“ඔඩොක්කුවට දාදු කැට දමන නමුත් ඉන් ගත යුතු තීරණය පෙන්වන්නේ යෙහෝවා දෙවිය” කියා සලමොන් රජ පවසනවා. (හිතෝපදේශ 16:33, NW) පුරාණ ඊශ්‍රායෙල් කාලයේදී දෙවිගේ තීරණය දැනගැනීමට දාදු කැට දැමුවා. දාදු කැට කියන්නේ කුඩා ගල් කැට විශේෂයක්. මුලින්ම කළේ යම් කාරණයක් සම්බන්ධයෙන් ඔවුන් යෙහෝවා දෙවිගෙන් පිළිතුරක් ඉල්ලීමයි. ඊළඟට, ඔවුන් කෙනෙකුගේ ඔඩොක්කුවට දාදු කැට දමනවා. එහිදී ලැබුණු ප්‍රතිඵලය ඔවුන් දෙවිගේ පිළිතුර හැටියට පිළිගත්තා.

දෙවි තමාගේ අදහස් තම සෙනඟට දැන්වීම සඳහා අද දාදු කැට යොදාගන්නේ නැහැ. නමුත් ඒ සඳහා ඔහු අද භාවිත කරන්නේ ඔහුගේ වචනය වන බයිබලයයි. අපත් දිව්‍ය ප්‍රඥාව අත් කරගැනීමට කැමති නම් බයිබලයේ ඇති නිවැරදි දැනුම ලබාගැනීම අත්‍යවශ්‍යයි. එමනිසා, අපි පුරුද්දක් හැටියට දිනපතාම බයිබලය කියවන එක අත්නාරිමු.—ගීතාවලිය 1:1, 2; මතෙව් 4:4.

[පාදසටහන]

^ 3 ඡේ. හිතෝපදේශ 16:1-15 දක්වා තොරතුරු 2007 මැයි 15 මුරටැඹ කලාපයේ 17-20 දක්වා පිටුවල සාකච්ඡා කර තිබෙනවා.

[8වන පිටුවේ පින්තූරය]

ප්‍රඥාව රත්රන්වලට වඩා බොහෝ සෙයින් වටින්නේ ඇයි?

[9වන පිටුවේ පින්තූරය]

දේවසේවයේදී අන් අයට කාරණා ඒත්තුගැන්වීමට උපකාර කරන්නේ කුමක්ද?

[10වන පිටුවේ පින්තූරය]

“කිසි කමකට නැති මිනිසා නපුරු දේ පිටතට දමයි”

[11වන පිටුවේ පින්තූරය]

කෝපය පාලනය කර නොගත්තොත් එය කෙනෙකුව ‘අයහපත් මඟක ගෙන යයි’

[12වන පිටුවේ පින්තූරය]

සැහැසියාවට පුළුවන් ඒ වෙතට අපව ඇදගන්න