Skip to content

පටුනට යන්න

බාසිල්ලයි තම සීමාවන් දැන කටයුතු කළ මිනිසෙක්

බාසිල්ලයි තම සීමාවන් දැන කටයුතු කළ මිනිසෙක්

බාසිල්ලයි තම සීමාවන් දැන කටයුතු කළ මිනිසෙක්

‘මම කොහොමද මගේ ස්වාමීන්ට බරක් වෙන්නේ?’ ඊශ්‍රායෙල්හි රජ වූ දාවිත්ට එම වදන් පැවසුවේ අවුරුදු 80ක් වයසැති මිනිසෙකු වූ බාසිල්ලයි විසින්. බයිබලයේ ඔහුව විස්තර කරන්නේ ‘ඉතා ධනවත් පුද්ගලයෙක්’ හැටියටයි. (2 සාමුවෙල් 19:32, 35, නව ලොව පරිවර්තනය, NW) ඔහු ජීවත් වුණේ යොර්දාන් ගඟට දකුණු දිගින් පිහිටි ගිලියද් කියන කඳුකර ප්‍රදේශයේයි.—2 සාමුවෙල් 17:27; 19:31.

බාසිල්ලයි දාවිත්ට එවැනි දෙයක් පැවසුවේ කුමන තත්වයක් යටතේද? ඊට හේතුව කුමක්ද?

රජුට විරුද්ධව කැරැල්ල

දාවිත් රජ දැන් සිටින්නේ ඉතාමත් අනතුරුදායක තත්වයකයි. ඊට හේතුව ඔහුගේ පුත් අබ්සලොම් ‘ඊශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනාගෙන’ රජකම පැහැරගන්න උත්සාහ කිරීමයි. තම පියාට සහය දෙන ඕනෑම කෙනෙකුව මරා දමන්න අබ්සලොම් පසුබට නොවන බව නම් පැහැදිලියි. ඒ නිසා දාවිත් සහ ඔහුගේ සේවකයන් වහාම යෙරුසලමෙන් පිටමං වෙනවා. (2 සාමුවෙල් 15:6, 13, 14, NW) ඉන්පසුව දාවිත් යොර්දානට නැඟෙනහිරින් පිහිටි මහනායිම් කියන ප්‍රදේශයට පැමිණෙන අතර, බාසිල්ලයිව මුණගැසෙන්නේ එහිදීයි.

බාසිල්ලයි සහ තවත් මිනිසුන් දෙදෙනෙකු වන ෂෝබි සහ මාකීර්, දාවිත්ටත් ඔහුගේ සෙනඟටත් ඇති තරම් කෑම බීම සහ ඉඳුම් හිටුම් සපයනවා. තම ආගන්තුකයන් පත් වී සිටින දුෂ්කර තත්වය තේරුම්ගන්නා මෙම පක්ෂපාත සහයකයන් තිදෙනා ඔවුන්ට මෙසේ පවසනවා. “පාළුකරයේ ඉන්න නිසා සෙනඟට ගොඩක් මහන්සි දැනෙනවා ඇති. ඔවුන්ට බඩගිනි ඇති. තිබහත් ඇති.” ඉන්පසුව ඔවුන් තිරිඟු, බාර්ලි, පිටි, බැදපු ධාන්‍ය, වියළි ධාන්‍ය, බෝංචි, පරිප්පු, මීපැණි, කේජු, බැටළුවන් සහ තවත් දේවල් සැපයීමෙන් තමන්ට හැකි උපරිමයෙන් ඔවුන්ට සංග්‍රහ කරනවා.—2 සාමුවෙල් 17:27-29, NW.

මෙවැනි අවස්ථාවක දාවිත්ට උපකාර කිරීම ජීවිතය අනතුරේ හෙළන වැඩක්. දාවිත් රජට උපකාර කරන කිසිම කෙනෙකුට අබ්සලොම් යහතින් ඉන්න දෙයි කියා නම් හිතාගන්න අමාරුයි. එවැනි තත්වයක් යටතේ රජට උපකාර කරන්න බාසිල්ලයිට විශාල ධෛර්යයක් අවශ්‍ය වුණා.

තත්වයන් වෙනස් වෙයි

වැඩි කල් නොගොස් දාවිත්ගේ සේවකයන් හා අබ්සලොම්ගේ කැරලිකාර කණ්ඩායම අතර ගැටුමක් ඇති වෙනවා. මහනායිම් ප්‍රදේශයට කිට්ටුවෙන් තිබෙන්න ඇති එෆ්‍රායිම් වනාන්තරයේ සිදු වෙන එම සටනින් අබ්සලොම්ගේ සේනාව පරාජය වන අතර ‘මහත් සෙනඟක් එහිදී මැරුම් කනවා.’ පරාජය හමුවේ අබ්සලොම් පලා යන්න උත්සාහ කළත් වැඩි වෙලා යන්න කලින් ඔහුවත් ඝාතනය කරනවා.—2 සාමුවෙල් 18:7-15, NW.

දැන් දාවිත්ගේ රජකමට කිසිම තර්ජනයක් නැහැ. ඔහු සමඟ පලා ගිය පක්ෂපාත සේවකයන්ට බියෙන් ජීවත් වෙන්නත් කිසිම හේතුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔවුන් රජට දැක්වූ පක්ෂපාතකම නිසා ඔහුගේ ගෞරවයට ඔවුන් පාත්‍ර වී ඇති අතර ඔහුගේ සිතද දිනාගෙන තිබෙනවා.

දාවිත් නැවතත් තම සේවකයන් සමඟ යෙරුසලම බලා පිටත් වෙන්න සූදානම්. ඒ අවස්ථාවේදී ‘ගිලියද්හි වැසියෙකු වන බාසිල්ලයි රොගේලීම් සිට පැමිණ රජුව යොර්දාන් ගඟ ළඟට කැඳවාගෙන යනවා.’ එහිදී දාවිත් රජ මහලු බාසිල්ලයිට මේ වගේ ආරාධනයක් කරනවා. “ඔබත් මාත් එක්ක ගඟෙන් එගොඩ වී යෙරුසලමට යන්න එන්න. මම ඔබව බලාගන්නම්.”—2 සාමුවෙල් 19:15, 31, 33, NW.

බාසිල්ලයි තමාට කළ උදව් උපකාර දාවිත් බොහෝ සෙයින් අගය කළ බවට නම් කිසිම සැකයක් නැහැ. දාවිත්ට අවශ්‍ය වුණේ බාසිල්ලයි තමන්ට කළ උදව්වට නිකම්ම කන්න බොන්න දීමෙන් ඔහුට ප්‍රතිඋපකාර කරන්න නොවන බව පැහැදිලියි. ධනවත් පුද්ගලයෙකු වූ ඔහුට කෑම බීම අතින් කිසිම හිඟයක් තිබුණේ නැහැ. නමුත් තමා සමඟ රජවාසලේ වාසය කරන්න කියා එම මහලු මිනිසාට ඔහු ආරාධනා කළේ, ඔහු සතුව තිබූ කදිම ගුණාංග නිසා විය හැකියි. ඒ කෙසේවෙතත් රජවාසලේ ස්ථිර සාමාජිකයෙකු හැටියට කටයුතු කිරීමත් රජුගේ ආශ්‍රය භුක්ති විඳීමට ලැබෙන එකත් බාසිල්ලයිට මොන තරම් ගෞරවයක්ද!

තම සීමාව දැන

“මට තව ජීවත් වෙන්න තියෙන්නේ කෙටි කාලයයි. මම රජ්ජුරුවන් එක්ක යෙරුසලමට යෑමෙන් වැඩක් වෙන්නේ නැහැ. මට දැන් වයස අවුරුදු අසූවක් වෙනවා. ඒ නිසා ඔබේ සේවකයා වන මට දැන් හොඳ නරක තෝරන්න බැහැ. මට කන බොන දේවල රසවත් හරියට දැනෙන්නේ නැහැ. ගායක ගායිකාවන්ගේ ගීත රස විඳින්නත් බැහැ.” (2 සාමුවෙල් 19:34, 35, NW) එසේ කියමින් බාසිල්ලයි දාවිත්ගේ ආරාධනය ඉතාමත් කාරුණික ලෙස ප්‍රතික්ෂේප කළා. ඔහු එසේ කළේ ඇයි?

ඊට එක් හේතුවක් විය හැක්කේ ඔහුගේ වයස නිසා අද්දුටු සීමාවන් විය හැකියි. එමෙන්ම තමන් එතරම් කාලයක් ජීවත් වෙන එකක් නැහැ කියාත් බාසිල්ලයිට හැඟෙන්න ඇති. (ගීතාවලිය 90:10) තමන්ට හැකි උපරිමයෙන් දාවිත්ට උපකාර කළ ඔහු තමන්ට කළ නොහැකි දේවල් මොනවද කියාත් හොඳින් තේරුම්ගත්තා. ඉන් පෙනී යන්නේ බාසිල්ලයි තමන්ට කීර්තිය හෝ උසස් තත්වයක් ලබාගැනීමට උත්සාහ කළේ නැති බවයි. තම පියාගේ රජකම බලෙන් ලබාගන්න උත්සාහ කළ අභිලාෂකාමී අබ්සලොම්ට වඩා බාසිල්ලයි පෙන්වූයේ මොන තරම් නිහතමානිකමක්ද!—හිතෝපදේශ 11:2.

බාසිල්ලයි එවැනි තීරණයක් ගන්න තවත් හේතුවක් විය හැක්කේ තමන්ගේ වයස, දෙවි විසින් පත් කළ රජුගේ වැඩ කටයුතුවලට යම් බාධාවක් වෙයි කියා සිතූ නිසා විය හැකියි. ඔහු රජුගෙන් මෙසේ ඇසුවා. “මම කොහොමද මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට බරක් වෙන්නේ?” (2 සාමුවෙල් 19:35, NW) යම් ආකාරවලින් දාවිත්ට උපකාර කිරීමට තමන්ට හැකි වුණත් ඊටත් වඩා වැඩියෙන් ඔහුට උපකාර කිරීමට තරුණයෙකුට හැකි බව බාසිල්ලයි හිතුවා විය හැකියි. ඒ අනුව ඔහු තමාගේම පුත්‍රයා ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවා. “ඔබේ සේවකයා වන කිම්හාම් මෙතැන ඉන්නවා. මගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කැමති නම් ගඟෙන් එගොඩට යද්දී ඔහුව එක්කගෙන යන්න. ඔබට හොඳයි කියා හිතන දෙයක් ඔහු වෙනුවෙන් කරන්න.” ඒ යෝජනාව ගැන කෝප වෙනවා වෙනුවට දාවිත් ඊට එකඟ වුණා. ගඟෙන් එතෙර වෙන්න කලින් දාවිත් ‘බාසිල්ලයිව සිපගෙන ඔහුට ආශීර්වාද කළා.’—2 සාමුවෙල් 19:37-39, NW.

සමබර වන්න

සමබරව කටයුතු කිරීම සම්බන්ධයෙන් බාසිල්ලයිගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. උදාහරණයකට, අපිට දෙවිගේ සේවය තුළ ලැබෙන විශේෂ සේවා වරප්‍රසාදයන් සහ වගකීම් ගැන සිතා බලන්න. විවේකීව ජීවිතය ගත කරන්න කැමති නිසා, සභාව තුළ වැඩි වගකීම් දරන්න ලැබෙන අවස්ථාවන් ප්‍රතික්ෂේප කරන්න හෝ ඒ සඳහා වෑයම් කිරීමෙන් වැළකී සිටීමට පෙලඹෙනවාද? එසේත් නැත්නම් වගකීම් දරන්න තරම් තමන් සුදුසු නැහැ කියා සිතනවාද? ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ප්‍රඥාව දෙවිගෙන් ඉල්ලනවා නම් අපගේ අඩු පාඩු සකස් කරගන්න ඔහු අපිට උපකාර කරනවා නියතයි.—ෆිලිප්පි 4:13; යාකොබ් 4:17; 1 පේතෘස් 4:11.

සීමාවන් දැන කටයුතු කිරීම සම්බන්ධයෙන්ද බාසිල්ලයි අපිට හොඳ ආදර්ශයක්. උදාහරණයක් හැටියට, සභාව තුළ දැනටමත් බොහෝ වගකීම් දරමින් කටයුතු කරන සහෝදරයෙක් ගැන හිතන්න. තමන් දැනට දරමින් සිටින වගකීම්වලට වඩා වැඩියෙන් භාරගැනීමෙන්, තම පවුලේ අයට දිය යුතු අවධානය නොලැබී යෑමේ අවදානමක් තිබෙන බව ඔහු තේරුම්ගන්න ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී එය භාරගැනීමෙන් වළකින ඔහු තම සීමාව දැන කටයුතු කරන සමබර ක්‍රිස්තියානියෙක් බව පෙන්වනවා.—ෆිලිප්පි 4:5; 1 තිමෝති 5:8.

බාසිල්ලයි ඉතාම ධෛර්යවන්ත, පක්ෂපාත, ත්‍යාගශීලී මෙන්ම තම සීමාවන් දැන කටයුතු කළ පුද්ගලයෙක්. ඒ සියල්ලකට වඩා යෙහෝවා දෙවිගේ නමස්කාරය හා බැඳි කාරණාවලට මුල් තැන දීම ඔහුගේ ජීවිතයේ කැපීපෙනෙන ගුණාංගයක්. (මතෙව් 6:33) ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට අපිත් අධිෂ්ඨාන කරගනිමු.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

දාවිත්ට උපකාර කිරීම සඳහා අවුරුදු 80ක් වූ බාසිල්ලයි ඉතාමත් වෙහෙසකර ගමනක යෙදුණා

ගිලියද්

රොගේලීම්

සුක්කොත්

මහනායිම්

යොර්දාන් ගඟ

ගිල්ගාල්

යෙරිකෝව

යෙරුසලම

එෆ්‍රායිම්

[13වන පිටුවේ පින්තූරය]

බාසිල්ලයි දාවිත්ගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේ ඇයි?