Skip to content

පටුනට යන්න

මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?

මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?

මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?

අප මිය ගිය විට අපගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම නැති වී යනවාද? එසේ නැත්නම් අපගේ සිරුර දිරාපත් වී පොළොවට පස් වී ගියත්, අප තුළ නොනැසී දිගටම ජීවත් වන නොපෙනෙන යමක් ඇද්ද?

ලොව පුරාම හැම ආගමකම පාහේ මේ ජීවිතයට පසු ජීවිතයක් හෝ භවයක් හෝ ඇති බව පවසනවා. බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ පුද්ගලයෙක් මිය ගියායින් පසු ඔහුගේ “ආත්මය” නොනැසී පවතිනවා කියායි. එසේ නැත්නම් ඔහුගේ සිතුවිලි කල්පනා යනාදිය දිගටම පවතින බවයි. ඔබ විශ්වාස කරන්නේ කුමක්ද? අපගේ භෞතික ශරීරයට අමතරව නොපෙනෙන ආත්මයක් අප තුළ තිබෙනවාද? මරණයේදී ඒ ආත්මය ශරීරයෙන් පිට වී යනවාද? ඇත්තටම සිදු වන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ශුද්ධ බයිබලයෙන් ලබාගත හැකියි. එනමුත් ඇතැම් සිංහල බයිබල්වල “ආත්මය” යන වචනය භාවිත වී ඇති නිසා යම් වියවුලක් හටගෙන තිබෙනවා. එමනිසා බයිබලය මුලින්ම ලියද්දී භාවිත කළ වචනවල නියම තේරුම අවබෝධ කරගැනීම වැදගත්. ඇතැම් සිංහල බයිබල්වල “ආත්මය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවල මූලික අදහස “හුස්ම” නැත්නම් “සුළඟ” යන්නයි. මින් අදහස් කරන්නේ නිකම්ම හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් නොවෙයි. කෙනෙක් හුස්ම ගන්නේ නැත්නම් ඔහු මිය යනවා. බයිබලයේ “හුස්ම නැති ශරීරය මැරී” තිබෙන බව පවසන්නේ ඒ නිසයි. (යාකොබ් 2:26) මෙයින් පැහැදිලි වන්නේ “හුස්ම” යන වචනය භාවිත කර තිබෙන්නේ සිරුරට පණ ලබා දෙන දේ විස්තර කිරීමටයි. එය නම් ජීව බලයයි.

මෙම ජීව බලය අපගේ පෙණහලු තුළ ගමන් කරන වාතයට වඩා වෙනස් දෙයක්. මෙය පැහැදිලි කරගැනීමට කෙනෙකුගේ හුස්ම ගැනීම නතර වන විට සිදු වන දේ සලකා බලන්න. කෙනෙකුගේ හුස්ම ගැනීම නතර වුණත් කෙටි වේලාවක් ඇතුළත ඔහුට කෘත්‍රිම ශ්වසනය ලබා දී නැවතත් ඔහුව ජීවත් කරවිය හැකියි. එසේ කළ හැක්කේ ඔහුගේ ජීව බලය ඔහුගේ සිරුරේ සෛලවලින් ඒ වන විටත් ඉවත්ව නොතිබුණු නිසයි. එනමුත් කෙනෙක් දිගටම හුස්ම නොගෙන සිටියොත් එම ජීව බලයද නැති වී යයි. එය හරියට ඉටිපන්දමක් නිවා දමන විට එහි දැල්ල නැති වී යන්නාක් මෙනි. ඉන්පසුව ඔහුව නැවත ජීවත් කරවීමට කොතරම් වෙහෙසක් දැරුවත් එය සාර්ථක වන්නේ නැහැ. කොතරම් කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නත් පණ නැති ඒ සෛල යළිත් ජීවත් කරවන්න බැහැ. එමනිසා මෙම අදහස විස්තර කිරීමට “ආත්මය” යන්න භාවිත කරනවා වෙනුවට වඩාත් නිවැරදිව භාවිත කළ යුත්තේ “ජීව බලය” යන්නයි. පුද්ගලයෙකුගේ සහ ඔහුගේ සිරුරේ තිබෙන සෛලවල පණ රැකෙන්නේ මේ ජීව බලය මගිනුයි. අප පිළිසිඳගන්නා අවස්ථාවේදී අපේ දෙමව්පියන්ගෙන් අපට ඒ ජීව බලය ලැබෙනවා. අප මෙලොවේ එළිය දැක්කායින් පසු අපට ඒ ජීව බලය දිගටම රඳවාගැනීමට හැකි වන්නේ හුස්ම ගැනීම මගිනුයි.—ගීතාවලිය 104:29.

මිනිසුන් ඇතුළුව සියලුම සත්වයන් තුළ තිබෙන ජීව බලය එක සමානද? මේ ප්‍රශ්නයට බයිබලයේ පැහැදිලි පිළිතුරක් තිබෙනවා. මිනිසුන් ඇතුළුව සියලුම සත්වයන් තුළ ක්‍රියාත්මක වන්නේ එක සමාන ජීව බලයක් බව පෙන්වා දෙමින් ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසුවේ මෙසේයි: “මනුෂ්‍ය පුත්‍රයන්ට සිදු වන දේ මෘගයන්ටත් සිදු වේ. එකම දෙයක් ඔවුන්ට සිදු වේ. එකෙක් නසින්නාක් මෙන් අනිකාද නසියි. එසේය, ඔවුන් සියල්ලන්ටම එක හුස්මකි. මෘගයාට වඩා මනුෂ්‍යයාට කිසි උතුම්කමක් නැත. . . . සියල්ලෝම එක තැනකට යති. සියල්ලෝම ධූලියෙන් වී සියල්ලෝම ධූලියට හැරී යති.” (දේශනාකාරයා 3:19, 20) එසේනම් සතුන් හා මිනිසුන් දෙගොල්ලන් තුළ ක්‍රියාත්මක වන්නේ එක සමාන ජීව බලයක්.

මෙම ජීව බලය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරගැනීම සඳහා උදාහරණයක් සලකා බලමු. යම් විදුලි උපකරණයක විදුලි බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන සිතන්න. විදුලි බලයේ ක්‍රියාකාරිත්වය තුළින් විදුලි බුබුළුවක්, විදුලි පංකාවක්, ගුවන් විදුලියක්, රූපවාහිනියක් හෝ පරිගණකයක් ක්‍රියාත්මක කළ හැකියි. මෙම උපකරණ තුළ විදුලි බලය ක්‍රියාත්මක වන නිසා එමගින් ඒ ඒ උපකරණයට ආවේණික වූ කාර්යයන් ඉටු කරගත හැකියි. නමුත් ඒ උපකරණ එසේ ක්‍රියාත්මක වුණා කියා විදුලි බලය කිසිවිටකත් විදුලි බුබුළුවක්, විදුලි පංකාවක් හෝ පරිගණකයක් බවට පත් වන්නේ නැහැ. එය නිකම්ම බලයක් පමණයි. ඒ වගේම තමයි ජීව බලයත්. එයට හැඟීම්, දැනීම් නැහැ. එමනිසා ජීවමාන පුද්ගලයෙකුගේ ගතිලක්ෂණ එයට හිමි වන්නේ නැහැ. මිනිසුන් හා සතුන් යන දෙගොල්ලන් තුළම ක්‍රියාත්මක වෙන්නේ එක හා සමාන ජීව බලයක්. එමනිසා මිනිසෙක් හෝ සත්වයෙක් හෝ මිය යන විට ඉතිරි වන කිසිම දෙයක් වෙනත් භවයකට හෝ ආත්මයකට හෝ ගමන් කරන්නේ නැහැ. නොනැසී පවතින ආත්මයක් කියා දෙයක් නැහැ.

මරණයේදී සිදු වන දේ

දේශනාකාරයා 12:7හි පවසන ආකාරයට කෙනෙක් මිය යන විට “දූවිල්ල එය තිබූ භූමියටද ජීව බලය එය දුන් සැබෑ දෙවි වෙතටද හැරී” යනවා.(නව ලොව පරිවර්තනය) ඇතැම් සිංහල පරිවර්තනවල පවසන්නේ “ආත්මය ඒක දුන්නාවූ දෙවි වෙතට හැරී” යන බවයි. නමුත් මුල් භාෂාවේ භාවිත කර තිබූ වචනයේ අර්ථයට අනුව “ආත්මය” වෙනුවට නිවැරදි ලෙස භාවිත කළ යුත්තේ “ජීව බලය” යන්නයි. එසේනම් ජීව බලය එය දුන් දෙවි වෙතට හැරී යනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එම ජීව බලය අභ්‍යවකාශය හරහා දෙවි වෙතට ගමන් කරන බව ඉන් අදහස් කරන්නේ නැහැ. මෙය උපමාලංකාරයක්. අතීතයේ ජීවත් වූ දුෂ්ට ඊශ්‍රායෙල් ජාතියට අනාගතවක්තෘ මලාකි තුළින් යෙහෝවා දෙවි පැවසූ දෙයින් මෙය අපට තේරුම්ගන්න පුළුවන්. දෙවි පැවසුවේ මෙසේයි: “මා වෙතට හැරී එන්න. මමත් ඔබ වෙතට හැරී එන්නෙමි.” (මලාකි 3:7) ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි තමන් වෙතට හැරී එන්න කියා පැවසුවේ තම දුෂ්ටකම්වලින් ඉවත් වී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමේ අවශ්‍යතාව කාවැද්දීමටයි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය වෙතට හැරී එනවා කීමෙන් අදහස් වන්නේ ඔහු නැවතත් ඔවුන්ට ආශීර්වාද කරන බවයි. මෙම අවස්ථා දෙකේදීම එක් තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කිරීමක් අදහස් කරන්නේ නැහැ. “හැරී” ඒම භාවිත කර තිබෙන්නේ යම් වෙනසක් සිදුවීම දැක්වීමටයි. මෙයින් පැහැදිලි වන්නේ බයිබලය “හැරී” ඒම යන යෙදුම භාවිත කරද්දී එය අනිවාර්යයෙන්ම වචනානුසාරයෙන්ම ගත නොහැකි බවයි. ඇතැම් අවස්ථාවලදී එය උපමාලංකාරයක් ලෙසද භාවිත කර තිබෙනවා.

එසේනම් කෙනෙක් මිය ගියොත් ඒ පුද්ගලයාට නැවතත් ජීවත් වීමේ අවස්ථාව එනම් ඒ ජීව බලය ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. මේ අනුව ඒ පුද්ගලයාට අනාගතයේදී නැවත වරක් ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවාද නැද්ද යන්න රඳා පවතින්නේ දෙවි මතයි.

උදාහරණයකට යේසුස් ගැන සලකා බලමු. ඔහු මිය ගිය අවස්ථාව ගැන වාර්තා වන්නේ මෙයාකාරයටයි. “යේසුස් මහත් හඬකින් කෑගසා, අවසන් හුස්ම හෙළීය.” (මතෙව් 27:50) මේ අවස්ථාව ගීතාවලිය පොතේ පුරෝකථනය කර තිබුණේ යේසුස් තම පියාණන්ගේ ‘අතට තම ජීවිතය භාර දෙන’ බවයි. තම ජීවිතය දෙවිට භාර දෙනවා කියද්දී ඔහු ඒ අවස්ථාවේදීම ස්වර්ගයේ සිටි තම පියාණන් වෙතට ගිය බවක් අදහස් වන්නේ නැහැ. යේසුස් තම අවසන් හුස්ම හෙළූ විට එයින් අදහස් කළේ ඔහුගේ ජීව බලය ඔහුගෙන් නැති වී ගිය බවයි. ප්‍රතිඵලයක් ලෙස ඔහු මිය ගියා. දෙවි ඔහුව නැවත නැඟිටුවන තෙක් ඔහු මරණය නමැති නින්දෙහි සැතපී සිටියා. (දේශනාකාරයා 9:5, 10) යේසුස්ව නැවත නැඟිටෙවූ විගස ඔහු ස්වර්ගයට ගියේ නැහැ. ඔහු “දවස් හතළිහක් පුරා” තම ගෝලයන් “ඉදිරියේ පෙනී සිටිමින්” “තමා ජීවමානව සිටින බවට ස්ථිර සාක්ෂි” දුන්නා. ඔහුව ස්වර්ගයට “ඔසවාගනු” ලැබුවේ ඉන් අනතුරුවයි. (ක්‍රියා 1:3, 9) එසේනම් යේසුස් මිය යද්දී, පියාණන්ගේ අතට තම ජීවිතය භාර දුන්නා කීමෙන් අදහස් කරන්නේ තමාව නැවතත් ජීවත් කරවයි යන පූර්ණ විශ්වාසය ඔහු දෙවි මත තැබුවා යන කාරණයයි.

බයිබලයේ සඳහන් පොරොන්දුව

මරණයේදී සිදු වන දේ බයිබලයේ ඉතා පැහැදිලිව විස්තර කර තිබෙනවා. කිසි කෙනෙක් තුළ ආත්මයක් කියා දෙයක් නැහැ. මිනිසුන් ඇතුළු සියලුම සතුන් ජීවත් වන්නේ ජීව බලයේ ක්‍රියාකාරිත්වය නිසයි. ඒ ජීව බලය සිරුර තුළ ආරක්ෂා වී පවතින්නේ හුස්ම ගැනීම නමැති ක්‍රියාවලිය මගිනුයි. එමනිසා කෙනෙක් මිය යන විට කිසිම දෙයක් නොනැසී පවතින්නේ නැහැ.

කෙනෙක් මිය යන විට අනාගතයේදී ජීවත් වීම සඳහා ඔහුට තිබෙන එකම බලාපොරොත්තුව නැවත නැඟිටීමයි. බයිබලයේ ඒ ගැන පොරොන්දු වී ඇත්තේ මෙයයි: “මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. . . . එවිට [ඔවුහු] පිටතට එන්නෝය.” (යොහන් 5:28, 29) එමනිසා වියෝදුකින් පෙළෙන අයට දෙවි දී ඇති ඒ පොරොන්දුවෙන් සැබවින්ම සහනයක් ලැබිය හැකියි. අමරණීය ආත්මයක් ගැන තිබෙන විශ්වාසයන්ගෙන් නම් එවැනි සහනයක් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම එය මිථ්‍යාවක්.

නැවත නැඟිටීම ගැනත් එයින් මිනිසාට ලැබෙන ප්‍රයෝජන ගැනත් නිවැරදි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්. ඒ සමඟම අප දෙවි හා යේසුස් ගැනත් නිවැරදි දැනුමක් ලබාගත යුතුයි. (යොහන් 17:3) ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා සතුටින් සිටින්නේ බයිබලය තුළින් දෙවි ගැනත් ඔහු දී තිබෙන පොරොන්දු ගැනත් නිවැරදි අවබෝධයක් ඔබට ලබා දීමටයි. එමනිසා ඔවුන්ව හමුවීමට හෝ මෙම සඟරාවේ සඳහන් ප්‍රධාන කාර්යාලයේ ලිපිනයට ලියන්න හෝ ඔබට හැකියි.

[4වන පිටුවේ පින්තූර]

මේ සැමදෙනා තුළම ජීව බලය ඇත

[හිමිකම් විස්තර]

Goat: CNPC—Centro Nacional de Pesquisa de Caprinos (Sobral, CE, Brasil)