Skip to content

පටුනට යන්න

විඳදරාගැනීමෙන් යුතුව බලා සිටින්න

විඳදරාගැනීමෙන් යුතුව බලා සිටින්න

විඳදරාගැනීමෙන් යුතුව බලා සිටින්න

‘ඔබේ ඇදහිල්ලට විඳදරාගැනීම එකතු කරන්න.’—2 පේතෘස් 1:5-7.

1, 2. විඳදරාගැනීම කියන්නේ කුමක්ද? අපට එය අවශ්‍ය වන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ මහත් දවස ඉතාම ආසන්නයි. (යෝවෙල් 1:15; ශෙපනියා 1:14) එදාට මුළු විශ්වයම පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය තහවුරු වීමට නියමිතයි. එතෙක් ක්‍රිස්තියානීන් හැටියට වෛරයට, අපහාසවලට, පීඩාවලට පමණක් නොව මරණයට පවා අපි ගොදුරු වීමට ඉඩ තිබෙනවා. (මතෙව් 5:10-12; 10:22; එළිදරව් 2:10) විඳදරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ එවැනි පීඩාකාරී තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාවයි. ‘ඔබේ ඇදහිල්ලට විඳදරාගැනීම එකතු කරන්න’ කියා පේතෘස් උනන්දු කළෙත් ඒ නිසයි. (2 පේතෘස් 1:5, 6) අපිට විඳදරාගැනීම අවශ්‍ය වන්නේ ඇයි? යේසුස් පැවසුවේ “ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාව” කියායි.—මතෙව් 24:13.

2 මේ කාලයේදී අසනීප, වියෝදුක ඇතුළු වෙනත් පීඩා පරීක්ෂාවලටද අපි මුහුණ දෙනවා. එවන් පීඩා නිසා අපි අපේ ඇදහිල්ල අත්හැර දැමුවොත් එය යක්ෂයාට මොන තරම් ජයග්‍රහණයක්ද! (ලූක් 22:31, 32) නමුත් යෙහෝවා දෙවිගේ උපකාර ඇතිව එවන් පරීක්ෂා විඳදරාගැනීමට අපට හැකියි. (1 පේතෘස් 5:6-11) තම ඇදහිල්ල බිඳ නොගෙන විඳදරාගැනීමෙන් යුතුව බලා සිටි ක්‍රිස්තියානීන්ගේ ජීවිත අද්දැකීම් කිහිපයක් අපි දැන් සලකා බලමු.

අසනීප බාධාවක් කර නොගත් ඔවුන්

3, 4. අසනීප මැද යෙහෝවා දෙවිට ඇදහිලිවන්තව සේවය කිරීමට අපිටත් හැකි බව පෙන්වන උදාහරණයක් දෙන්න.

3 දෙවි අපගේ අසනීප ආශ්චර්යවත් ලෙස සුව නොකළත් ඒවා දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. (ගීතාවලිය 41:1-3) ෂැරන්ගේ අද්දැකීම සලකා බලන්න. “මම ඉපදෙනකොටම මගේ මොළයේ කොටසක් දරුණු ආබාධයකට ලක් වෙලා තිබුණා. (cerebral palsy) මට මතක ඇති කාලයේ ඉඳන්ම මම රෝද පුටුවට සීමා වෙලයි හිටියේ. ඒ අසනීපය මගේ ළමා කාලය මගෙන් උදුරාගත්තා.” එහෙත් පරිපූර්ණ සෞඛ්‍යයක් පිළිබඳ යෙහෝවා දෙවිගේ පොරොන්දු ඇයට නව බලාපොරොත්තුවක් ලබා දුන්නා. කතා බහ කරන්න හෝ ඇවිදින්න අපහසු වුණත් ඇය දේවසේවයේ හවුල් වීමෙන් ලබන්නේ අපමණ සතුටක් බව දැනට අවුරුදු 15කට කලින් ඇය පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. “දවසින් දවස මගේ සෞඛ්‍ය දුර්වල වේගන යන බව ඇත්තයි. ඒත් මම අද ජීවත් වෙන්නේ යෙහෝවා දෙවිත් එක්ක තිබෙන මිත්‍රත්වය නිසයි. දෙවිගේ සෙනඟ සමඟ ඇසුරු කරන්න ලැබීමත් නොකඩවාම ඔහුගේ උපකාර ලැබීමත් නිසා මම සිටින්නේ කියන්න බැරි තරම් සතුටකින්!”

4 “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන මෙන්” පාවුල් තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියා. (1 තෙසලෝනික 5:14) ජීවිතය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැතිකම දැඩි කලකිරීමකට හේතු විය හැකියි. ෂැරන්ට හැඟුණෙත් ඒ විදිහටමයි. ඇය පවසන්නේ මෙසේයි. “මගේ අසනීපය නිසා මම මානසිකව වැටිලයි හිටියේ. ඒ නිසා අවුරුදු තුනක් පුරා මම ගොඩාක් දුක් වින්දා. මේ කාලයේදී තමයි වැඩිමහල්ලන් මට අවශ්‍ය සැනසීම ලබා දුන්නේ. මගේ අසනීප තත්වය තේරුම් අරගෙන ඒ සමඟ කටයුතු කරන්න අවශ්‍ය උපකාරයද මුරටැඹ සඟරා මගින් ලැබුණා. ඔහුගේ සේවකයන් මුහුණ දෙන තත්වය හොඳින්ම තේරුම්ගන්නා දෙවි, ඔවුන්ට අවශ්‍ය උපකාර සපයන බව නම් මට හොඳටම විශ්වාසයි.” (1 පේතෘස් 5:6, 7) යෙහෝවා දෙවිගේ මහත් දවස පැමිණෙන තෙක් බලා සිටින ඇය තවමත් දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා.

5. දැඩි මානසික පීඩනයක් දරාගත් කෙනෙකු සම්බන්ධ උදාහරණයක් දෙන්න.

5 ජීවිතයේ මුහුණ දුන් කටුක අද්දැකීම් නිසා තවත් සමහර ක්‍රිස්තියානීන් දැඩි මානසික පීඩනයකින් පෙළෙනවා. දෙවන ලෝක මහා යුද්ධයේ කුරිරුකම සියැසින් දුටු හාලි එවැනි කෙනෙක්. ඔහු නිතරම පාහේ නින්දෙන් කෑගැසුවේ මෙහෙමයි. “ඔන්න බලාගෙන, ඔතනින් අයින් වෙන්න.” ඒත් එක්කම ඔහු තිගැස්සී ඇහැරෙන්නේ හොඳටම දහඩිය දාගෙනයි. නමුත් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමේ ප්‍රතිඵලයක් හැටියට කල් යත්ම එවැනි නපුරු සිහින දැකීම ටිකෙන් ටික අඩු වී ගියා.

6. එක් ක්‍රිස්තියානියෙක් මානසික ගැටලුවකට මුහුණ දුන්නේ කෙසේද?

6 තවත් ක්‍රිස්තියානියෙක් මානසික ගැටලුවකින් පීඩා වින්දා. ඒ නිසා ඔහුට දේශනා සේවයේ හවුල් වීම විශාල අභියෝගයක් වුණා. නමුත් ඔහු නොකඩවාම එහි හවුල් වුණේ ඉන් තමාගෙත් අන් අයගෙත් ජීවිත ගැලවෙන බව තේරුම්ගත් නිසයි. (1 තිමෝති 4:16) ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “සමහර අවස්ථාවලදී ඊළඟ නිවසට ගොස් දොරට තට්ටු කරන්න තරම්වත් ධෛර්යයක් මට තිබුණේ නැහැ. නමුත් කල් යද්දී මට ඇති වූ එවැනි සිතුවිලි පාලනය කරගෙන සේවයේ හවුල් වෙන්න හැකි වුණා. ඒ විදිහට නිතර නිතර සේවයේ හවුල් වීමෙන් මගේ ඇදහිල්ල දිගටම පවත්වාගෙන යන්නත් මට පුළුවන් වුණා.” රැස්වීම්වලට පැමිණෙන එක ඔහුට විශාල අභියෝගයක් වුණත් සහෝදරයන්ව ඇසුරු කිරීමේ වටිනාකම තේරුම්ගත් ඔහු ඒ අභියෝගයත් ජය ගත්තා.—හෙබ්‍රෙව් 10:24, 25.

7. තවත් සමහර ක්‍රිස්තියානීන් විඳදරාගැනීම පෙන්වා තිබෙන්නේ කුමන පැතිවලින්ද?

7 සමහර ක්‍රිස්තියානීන්ට යම් දේවල් ගැන හෝ යම් තත්වයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් තිබෙන්නේ අසාමාන්‍ය බියක්. එවැනි කෙනෙක් යම් පිරිසක් ඉදිරියේ කතා කිරීමට හෝ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට දක්වන්නේ මහත් මැළිකමක්. එවැනි අයට රැස්වීම්වලදී අදහස් දැක්වීම හෝ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතා ඉදිරිපත් කිරීම මොන තරම් අභියෝගයක් විය හැකිද? නමුත් ඔවුන් විඳදරාගැනීමෙන් යුතුව එසේ කිරීම අපිට මහත් දිරිගැන්වීමක්!

8. මානසික ගැටලුවකට සාර්ථකව මුහුණ දෙන්න විශේෂයෙන්ම උපකාරවත් වන්නේ කුමක්ද?

8 මානසික ගැටලු විඳදරාගැනීම සඳහා කෙනෙකුට ප්‍රමාණවත් නින්ද සහ විවේකය උපකාරයක් විය හැකියි. අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමද යෝග්‍යයි. නමුත් යාච්ඤාපූර්වකව යෙහෝවා දෙවි මත රඳා සිටීම ඒ සියල්ලටම වඩා උපකාරයක්. ඒ ගැන ගීතාවලිය 55:22හි [නව ලොව පරිවර්තනය, NW] පවසන්නේ මෙසේයි. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු ඔබව උසුලන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.” එමනිසා ‘ඔබේ මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.’—හිතෝපදේශ 3:5, 6, NW.

වියෝදුක දරාගත් ඔවුන්

9-11. (අ) අපි ආදරය කරන කෙනෙකු මිය ගිය විට ඒ දුක දරාගන්න කුමක් උපකාරවත් වෙයිද? (ආ) ඒ සම්බන්ධයෙන් ආනා ආදර්ශයක් තබන්නේ කෙසේද?

9 පවුලේ සාමාජිකයෙක් මිය යෑම දැඩි වේදනාවට හේතුවක්. තම ආදරණීය බිරිඳ වූ සාරා මිය ගිය විට ආබ්‍රහම් හඬා වැලපුණා. (උත්පත්ති 23:2) පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්ද තම මිත්‍ර ලාසරුස් මිය ගිය විට ‘කඳුළු සැලුවා.’ (යොහන් 11:35) අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට දුකක් දැනීම ස්වාභාවිකයි. නමුත් අපි ‘බලාපොරොත්තුවක් නැති අන් අය මෙන් ශෝක’ වෙන්නේ නැහැ. (1 තෙසලෝනික 4:13) ඊට හේතුව නැවත නැඟිටුවීමක් තිබෙන බව ක්‍රිස්තියානීන් විශ්වාස කරන නිසයි.—ක්‍රියා 24:15.

10 නමුත් වියෝදුක දරාගැනීමට කෙනෙකුට උපකාර කරන්නේ කුමක්ද? අපේ කිට්ටු මිතුරෙක් දුර ගමනක් ගියායයි සිතන්න. ඔහුව යළි දැකීමට අපිට අවස්ථාවක් තිබෙනවා නම් ඒ වෙන්වීම ගැන දිගු කාලයක් පුරා හඬා වැලපෙන්නේ නැහැ. ඒ හා සමානව මිය ගිය අයට නැවත නැඟිටීමක් තිබෙන නිසා ඔවුන්ව යළි දකින්න අපිට පුළුවන්. ඒ නිසා දිගු කලක් පුරා අධික ශෝකයෙන් දුක් විඳින්න අවශ්‍ය නැහැ.—දේශනාකාරයා 7:1.

11 “සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතිව කටයුතු කිරීම වියෝදුක දරාගැනීමට මහත් උපකාරයක්. (2 කොරින්ති 1:3, 4) මුල් සියවසේ විසූ ආනා නමැති වැන්දඹු ස්ත්‍රිය ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. විවාහ වී තම ස්වාමිපුරුෂයා සමඟ ඇයට ජීවත් වීමට හැකි වුණේ අවුරුදු හතක් පමණයි. නමුත් ඇයට වයස අවුරුදු 84දීත් දේවමාලිගාවේ යෙහෝවා දෙවිට පරිශුද්ධ සේවය පිරිනමමින් සිටියා. (ලූක් 2:36-38) වියෝදුක සහ තනිකම මකාගන්න එවැනි භක්තිවන්ත ජීවිතයක් ගත කිරීම ඇයට උපකාරවත් වුණා. ඒ හා සමානව දේවසේවය වැනි නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල නිතිපතා හවුල් වීම මගින් වියෝදුක තුනී කරගන්න අපටත් පුළුවන්.

විවිධාකාර පරීක්ෂාවලට මුහුණ දෙමින්

12. සමහර ක්‍රිස්තියානීන්ට පවුල් ජීවිතය හා සම්බන්ධ කුමන පරීක්ෂා විඳදරාගැනීමට සිදු විය හැකිද?

12 පවුල් ජීවිතය හා සම්බන්ධ පරීක්ෂා විඳදරාගන්නත් තවත් ක්‍රිස්තියානීන්ට සිදු වී තිබෙනවා. උදාහරණයක් හැටියට එක් විවාහ සහකරුවෙක් අනාචාරයේ යෙදුණොත් පවුලේ අනිත් අයට එය මොන තරම් කම්පනයක්ද! සිත්තැවුල සහ කම්පනය නිසා නිර්දෝෂී සහකරුවා නොකා නොබී හඬා වැලපෙමින් විඳින වේදනාව මොන තරම්ද! එහි ප්‍රතිඵලයක් හැටියට සුළු දෙයක් පවා හරියට කරගැනීමට ඒ සහකරුවාට නොහැකි විය හැකියි. ඒ විතරක් නොවෙයි ශාරීරිකව දුර්වල වීම මෙන්ම මානසික ඇද වැටීම වැනි හේතු නිසා දෙවිට කරන නමස්කාරය පවා අතපසු විය හැකියි. එමෙන්ම දරුවන්ගේ මනස්වලට එය මොන තරම් දරුණු පහරක් වෙයිද!

13, 14. (අ) සලමොන්ගේ යාච්ඤාවෙන් ඔබ ලබන දිරිගැන්වීම කුමක්ද? (ආ) දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා අප යාච්ඤා කළ යුත්තේ ඇයි?

13 එවැනි පරීක්ෂා විඳදරාගැනීමට අවශ්‍ය උපකාර යෙහෝවා දෙවි අපිට ලබා දෙනවා. (ගීතාවලිය 94:19) දෙවි තම සෙනඟගේ යාච්ඤාවලට සවන් දෙන බව යෙරුසලමේ දේවමාලිගාව කැප කරද්දී සලමොන් රජ කළ යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. ඔහු දෙවිට කන්නලව් කළේ මෙසේයි. “මුළු ඊශ්‍රායෙල් සෙනඟම එකතු වී හෝ ඔවුන්ගෙන් එක්කෙනෙක් හෝ ඒ ගැන කරන ඕනෑම යාච්ඤාවකටද ඔබේ කරුණාව ඉල්ලා ඔවුන් කරන ඕනෑම අයැදීමකටද සවන් දෙන්න. ඒ එක් එක්කෙනා තම තමාගේ සිතේ ඇති වන වේදනාව නිසා මේ ගෘහය වෙතට දෑත් ඔසවා යාච්ඤා කරන කල, දෙවියනි, ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ට සමාව දී ඔවුන් කළ ක්‍රියාවලට අනුව විපාක දෙන්න. මන්ද මනුෂ්‍යයන්ගේ සිත හොඳින්ම දන්නේ ඔබ පමණි. එවිට, ඔබ අපේ මුතුන්මිත්තන්ට දුන් දේශයේ ඔවුන් ජීවත්ව සිටින තාක්කල් ඔබ කෙරෙහි ගරුබිය ඇතිව ඔවුන් කල් ගෙවනු ඇත.”—1 රාජාවලිය 8:38-40, NW.

14 දෙවිගේ බලයේ උපකාර ඉල්ලා යාච්ඤා කිරීමත් විශාල සහනයක්. (මතෙව් 7:7-11) එම බලය ක්‍රියාත්මක වීම නිසා ප්‍රීතිය හා සමාදානය වැනි ගුණාංග අප තුළ වර්ධනය වෙනවා. (ගලාති 5:22, 23) යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙන විට අපිට දැනෙන්නේ මොන තරම් සහනයක්ද! එවිට වැලපීම වෙනුවට ප්‍රීතියත් සංවේගය වෙනුවට මනසේ සාමයත් අපිට ලැබෙනවා.

15. කනස්සල්ල අඩු කරගැනීමට උපකාරවත් වන්නේ කුමන බයිබල් වගන්තිද?

15 දැඩි පරීක්ෂා හමුවේ යම් කනස්සල්ලක් ඇති වීම සාමාන්‍යයයි. නමුත් යේසුස්ගේ මෙම වචන සිතට ගැනීමෙන් කනස්සල්ල අඩු කරගැනීමට අපිට හැකියි. ඔහු පැවසුවේ ‘කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න. පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ’ කියායි. (මතෙව් 6:25, 33, 34) පාවුල්ද අපිට උනන්දු කරන්නේ ‘දෙවි අප ගැන සලකන නිසා, අපේ සියලු කරදර ඔහු පිට තබන්න’ කියායි. (1 පේතෘස් 5:6, 7) ගැටලුවක් නිරාකරණය කරගැනීමට උත්සාහ කිරීම හොඳ දෙයක්. ඒ සඳහා අපිට හැකි දේ කළාට පසු ඒ ගැන ළතවෙවී සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඒ වෙනුවට දෙවිට යාච්ඤා කිරීම අපිට උපකාරයක්. ගීතිකාකරු ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු කෙරෙහි රඳා පවතින්න. එවිට ඔහු නිසි උපකාරය සපයයි.”—ගීතාවලිය 37:5, NW.

16, 17. (අ) කනස්සල්ලෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපිට හැකියාවක් නැත්තේ ඇයි? (ආ) ෆිලිප්පි 4:6, 7හි ඇති උපදෙස අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

16 පාවුල් මෙසේ පැවසුවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7) ආදම්ගෙන් උරුම කරගත් පාපය නිසා කනස්සල්ලෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපිට හැකියාවක් නැහැ. (රෝම 5:12) උදාහරණයක් හැටියට තම පුත් ඒසව්, දෙවිට නමස්කාර නොකළ හිත්තීය කාන්තාවන් විවාහ කරගැනීම නිසා ඇදහිලිවන්ත ඊසාක්ට සහ රෙබෙකාට ‘ජීවිතය තිත්ත වුණා.’ (උත්පත්ති 26:34, 35, NW) තිමෝති සහ ත්‍රොෆිමස් වැනි ක්‍රිස්තියානීන්ට තිබූ අසනීප, ඔවුන්ගේ කනස්සල්ලට හේතු වූ බවට සැකයක් නැහැ. (1 තිමෝති 5:23; 2 තිමෝති 4:20) සෙසු ක්‍රිස්තියානීන් ගැන පාවුල්ටත් නිරන්තර බරක් හෙවත් යම් කනස්සල්ලක් දැනුණා. (2 කොරින්ති 11:28) ඒ වුණත් ‘යාච්ඤා අසන තැනැත්තා’ තමන්ට ප්‍රේම කරන සියල්ලන්ට උපකාර කරන්න නිතරම සූදානම්.—ගීතාවලිය 65:2, NW.

17 යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන තෙක් විඳදරාගැනීමෙන් යුතුව බලා සිටිනවා නම් ‘සමාදානයේ දෙවිගෙන්’ සහනය සහ උපකාරය ලබන්න අපිටත් හැකියි. (ෆිලිප්පි 4:9) යෙහෝවා දෙවි ‘දයාන්විතය, කරුණාවන්තය.’ “යහපත්ය. සමාව දීමට කැමැත්තෙන් සිටින්නේය.” “අප නිකම්ම දූවිලි බව ඔහු සිහි කරන්නේය.” (නික්මයාම 34:6; ගීතාවලිය 86:5; 103:13, 14; NW) එමනිසා ‘අපගේ ඉල්ලීම් [දෙවිට] දන්වමු.’ එවිට කිසිවෙකුට සිතාගන්නවත් බැරි ආකාරයට “දෙවිගේ සමාදානය” අපට ලැබෙයි. ඉන් අප තුළ පුදුමාකාර සන්සුන්කමක් ඇති කරවයි.

18. යෝබ් 42:5හි සඳහන් ආකාරයට දෙවිව ‘දකින්න’ පුළුවන් කෙසේද?

18 පීඩා මැද අපි කරන යාච්ඤාවලට පිළිතුරු ලැබෙන විට අපිට දෙවිගේ අනුමැතිය ඇති බව තේරුම්ගන්න පුළුවන්. එසේ පීඩා විඳි පුද්ගලයෙක් වන යෝබ් යෙහෝවා දෙවිට පැවසුවේ “කනින් ඔබ ගැන ඇසීමි. එහෙත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි” කියායි. (යෝබ් 42:5) දෙවි ‘දකින්න’ අපිට හැක්කේ අපේ අවබෝධය නමැති ඇස්වලිනුයි. ඒ කොහොමද? විශේෂයෙන්ම අපේ පීඩාවලදී දෙවි අපි සමඟ සිට අපිට උපකාර කර තිබෙන ආකාරය තේරුම්ගැනීමෙනුයි. දෙවි මිතුරෙකු සේ අප ළඟින්ම සිටින බව දැනගැනීමෙන් අප තුළ ඇතුළාන්ත සාමයක් ඇති කරයි.

19. ‘අපේ සියලු කරදර දෙවි පිට තැබීමෙන්’ අත් වන ප්‍රයෝජන මොනවාද?

19 පීඩාවලට මුහුණ දෙන විට ‘අපේ සියලු කරදර දෙවි පිට තබනවා’ නම් අපේ සිත්ද මනස්ද ආරක්ෂා කරන ඇතුළාන්ත සාමයක් භුක්ති විඳින්න පුළුවන්. එමගින් නොසන්සුන්බව, භය සහ සාංකාව අපෙන් දුරු වන අතර, තවදුරටත් අපගේ මනස ව්‍යාකූලත්වයෙන් හෝ කනස්සල්ලෙන් පෙළෙන්නේ නැහැ.

20, 21. (අ) පීඩාවලට මුහුණ දෙන විට සන්සුන්කම අද්දැකිය හැකි බව ස්තේපන්ගේ සිද්ධියෙන් පෙනෙන්නේ කෙසේද? (ආ) එවැනි තත්වයන්වලදී සන්සුන්ව කටයුතු කළ වර්තමාන අද්දැකීම් විස්තර කරන්න.

20 යේසුස්ගේ ගෝලයෙක් වූ ස්තේපන් දරුණු පරීක්ෂා හමුවේ පවා ඉතා සන්සුන්ව කටයුතු කළා. යුදෙව් මහාධිකරණය ඉදිරියේ තමාගේ අවසාන සාක්ෂිය ඉදිරිපත් කරද්දී ‘ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණක් මෙන් වෙනවා ඔවුන් දැක්කා.’ (ක්‍රියා 6:15) ඉන් පැහැදිලි වන්නේ ඒ අවස්ථාවේදී ඔහු ඉතාමත් සන්සුන්ව සහ කලබලයකින් තොරව සිටි බවයි. යේසුස්ගේ මරණයට වගකිව යුත්තේ එම විනිශ්චයකරුවන් බව ස්තේපන් පවසද්දී “එය තදින්ම ඔවුන්ගේ සිතට වැදී, ඔවුහු ඔහුට විරුද්ධව දත්මිටි කන්න” පටන්ගත්තා. නමුත් ස්තේපන් ‘අහස දෙස බැලූ විට, ඔහු ශුද්ධාත්මයෙන් [හෙවත් දෙවිගේ බලයෙන්] පූර්ණව සිටි නිසා දෙවිගේ තේජසද දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටගෙන සිටිනවාද දුටුවා.’ ඉන් මහත් ශක්තියක් ලැබූ ඔහු මරණය දක්වාම විශ්වාසවන්තභාවය රැකගත්තා. (ක්‍රියා 7:52-60) වර්තමානයේදී එවැනි ආශ්චර්යයවත් දේවල් සිදු නොවුණත් පීඩා හමුවේ දෙවි දෙන සමාදානය අත් කරගන්න අපිටත් පුළුවන්.

21 දෙවන ලෝක මහා යුද්ධයේදී නාට්සි භටයන් අතින් මරණයට ලක් වූ ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුට ඒ ගැන හැඟුණු ආකාරය සලකා බලන්න. අධිකරණයේදී තමන්ට ලැබුණු තීන්දුව ගැන කෙනෙක් පැවසුවේ මෙසේයි. “මට මරණ දණ්ඩනය නියම කළ විට මම සවන් දී ගෙන සිටියා. ඒ වෙලාවේදීම ‘මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න’ කියාත් අපේ ස්වාමි වූ යේසුස් කියපු තවත් දේවල් කිහිපයකුත් මම මතක් කරගත්තා. ඒ එක්කම වගේ තීන්දුව ප්‍රකාශ කර අවසන් වුණා. . . . හැබැයි, දැන් ඒ හැම දෙයක්ම අතීතයක් විතරයි. මට වටින්නේ මගේ හිතේ තිබෙන සාමය සහ මට දැනෙන සන්සුන්කමයි.” හිස ගසා දැමීමට නියම වූ තවත් තරුණ ක්‍රිස්තියානියෙක් තම දෙමාපියන්ට ලිව්වේ මෙසේයි. “මට ඕනෙ නම් මගේ හිත වෙනස් කරගන්න තව වෙලාව තියෙනවා. ඒත්, යේසුස්ට පිටුපාලා ජීවත් වීමෙන් ඇති වැඩක් තියෙනවද? නමුත් මම මගේ ජීවිතය අවසන් කරන්නේ සන්සුන්වත් හිතේ සතුටෙනුත් බව ඔයගොල්ලන් දැන් දන්නවා.” යෙහෝවා දෙවි එවැනි පක්ෂපාත සේවකයන්ට අවශ්‍ය උපකාර ලබා දෙන බවට නම් කිසිම සැකයක් නැහැ.

විඳදරාගන්න ඔබටත් පුළුවන්

22, 23. දෙවිගේ මහත් දවස විඳදරාගැනීමෙන් යුතුව බලා සිටිනවා නම් ඔබට නිසැක විය හැක්කේ කුමක් ගැනද?

22 අපි සාකච්ඡා කළ ආකාරයේ පීඩාවන්ට ඔබ මුහුණ දී නැතිව ඇති. නමුත් සෑම මිනිසෙක් සම්බන්ධයෙන්ම යෝබ් පැවසූ දෙය සැබෑවක්. ඔහු කිව්වේ “මව් කුසින් උපන් සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ස්වල්ප කලකටය. එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත” කියායි. (යෝබ් 14:1, NW) ඔබ ඔබේ දරුවන්ට දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගැනීමට වෙහෙස මහන්සි වී උපකාර කරන දෙමව්පියෙක් විය හැකියි. ඔවුන්ට පාසැලේදී විවිධ පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වී දෙවිට පක්ෂපාත බව ඔප්පු කරන විට එය ඔබගේ හදවත මොන තරම් සතුටු කරනවාද! ඔවුන් පමණක් නොව ඔබත් රැකියා ස්ථානයේ නොයෙක් දුෂ්කරතාවන්ට හා වැරදි දේවල් කිරීමට පොලඹවන තත්වයන්ට මුහුණ දෙනවා විය හැකියි. නමුත් ‘යෙහෝවා දෙවි දිනපතා ඔබේ බර උසුලාගෙන යන’ නිසා ඒවා විඳදරාගැනීමට ඔබටත් පුළුවන්.—ගීතාවලිය 68:19, NW.

23 ‘ඒ වගේ පීඩාවක් ආවොත් ඊට මුහුණ දෙන්න මට පුළුවන් වෙයිද?’ කියා සමහරවිට ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ඔබ දෙවිට කරන සේවයත් ඔහුගේ නාමයට පෙන්වන ප්‍රේමයත් ඔහු කෙදිනකවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 6:10) ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ උපකාරය ඇතිව, ඇදහිල්ලට එරෙහිව පැමිණෙන පරීක්ෂා ජය ගන්න අපිට පුළුවන්. ඒ නිසා ඔබේ යාච්ඤාවේදීත් ඔබේ ජීවිතයේ සෑම කාරණයකදීත් දෙවිගේ කැමැත්ත කිරීමට වූ ඔබගේ ආශාව පිළිබිඹු කරන්න. එසේ කරමින් දෙවිගේ මහත් දවස විඳදරාගැනීමෙන් යුතුව බලා සිටිනවා නම් යෙහෝවා දෙවිගේ ආශීර්වාද සහ උපකාර ඔබට ලැබෙන බව නිසැකයි.

ඔබට මතකද?

• ක්‍රිස්තියානීන්ට විඳදරාගැනීම අවශ්‍ය වන්නේ මන්ද?

• අසනීප සහ වියෝදුක දරාගැනීමට අපට උපකාර කරන්නේ කුමක්ද?

• පරීක්ෂා විඳදරාගන්න යාච්ඤාව උපකාරයක් වන්නේ කෙසේද?

• දෙවිගේ මහත් දවස විඳදරාගැනීමෙන් යුතුව බලා සිටින්න අපිට පුළුවන් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

වියෝදුක දරාගැනීමේදී දෙවි කෙරෙහි විශ්වාසය තැබීම මහත් උපකාරයක්

[31වන පිටුවේ පින්තූරය]

ඇදහිල්ලට එරෙහිව පැමිණෙන පරීක්ෂා ජය ගන්න යාච්ඤාව අපිට ශක්තියක්