Skip to content

පටුනට යන්න

අර්ථවත් ජීවිතයකට මඟ

අර්ථවත් ජීවිතයකට මඟ

අර්ථවත් ජීවිතයකට මඟ

ශුද්ධ බයිබලයේ පැහැදිලිව සඳහන් වන දෙයක් නම් අර්ථවත් ජීවිතයක් සෙවීම තමාට කැමති ආකාරයට කළ නොහැකි දෙයක් බවයි. බයිබලයේ එක් ලේඛකයෙකු වූ පාවුල් පැවසුවේ අපි අපේ කැමැත්තට අනුව ජීවත් වෙමින් අපේම ආශාවන්වලට වහල් වී කටයුතු කරනවා නම් අපට “මරණය” අත් වන බවයි. අනික් අතට අප සැබෑ දෙවිට ළං වෙන්න පියවර ගත්තොත් අපට “ජීවනය හා සමාදානය” අද්දැකිය හැකි බවත් ඔහු පැවසුවා. (රෝම 8:6) අපි සැබෑ දෙවිට ළං වන විට අපට මහත් සමාදානයක් දැනෙන අතර අපගේ නිර්මාතෘ දෙවිගේ අනුමැතියද භුක්ති විඳිය හැකියි. ඒ වගේම අනාගතයේදී සදාකල් ජීවිතය නමැති ප්‍රස්තාවට මඟ විවෘත කරගත හැකියි. (රෝම 6:23; ෆිලිප්පි 4:7) මෙය ඇත්තටම අර්ථවත් ජීවිතයකට මඟ නොවේද? දේවවචනය වන බයිබලයේ අදහස් උපුටා දක්වන මෙම සඟරාව ඔබ කියවන්නෙත් සැබවින්ම අර්ථවත් ජීවිතයක් භුක්ති විඳීමට ඔබ උනන්දු වන නිසයි. එසේ උනන්දු වීම ඇත්තටම ඥානවන්ත දෙයක්. නමුත් මේ විෂය ගැන විවිධ මත තිබෙන නිසා එය හරියටම අත් කරගන්නා ආකාරය ගැන ඔබ තුළ යම් කුතුහලයක් තිබිය හැකියි. නමුත් අප අර්ථවත් ජීවිතයක් ගත කිරීම සඳහා කළ යුත්තේ මොනවාද කියා සලකා බලමු.

“ක්‍රිස්තුස්ගේ මනස”

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමේ වැදගත්කම ගැන බොහෝ දේවල් පැවසූ පාවුල්, ඒ මිත්‍රත්වය ඇති කරගත හැකි ආකාරය ගැනද පැවසුවා. පුරාණ කොරින්ති නුවරේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේ ඔහු දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කෙනෙක් හා තමාගේ ආශාවන් පසුපස යන කෙනෙක් අතර වෙනස පැහැදිලි කළා. ඔහු පැවසුවේ තමාගේ ආශාවන් පසුපස යන කෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම් පිළි නොගන්නා බවයි. එසේ පිළි නොගැනීමට හේතුව ඔහු ඒවා මෝඩ දේවල් ලෙස සැලකීමයි. අනික් අතට දෙවිගේ මඟ පෙන්වීම නිතරම ලබාගැනීමට උත්සාහ කරන කෙනෙක් තුළ “ක්‍රිස්තුස්ගේ මනස” දක්නට ලැබෙන බවත් ඔහු පැවසුවා.—1 කොරින්ති 2:14-16.

“ක්‍රිස්තුස්ගේ මනස” ඇති කෙනෙක් කීමෙන් අදහස් වන්නේ ‘යේසුස්ට තිබුණාවූ මානසික ආකල්පයම ඇති’ කෙනෙක්. (රෝම 15:5; ෆිලිප්පි 2:5) වෙනත් වචනවලින් පැවසුවොත් දෙවිට ළං වෙන්න අපි කැමති නම් දෙවිට ඉතාමත් සමීප වූ යේසුස් සිතන ආකාරයට සිතමින් ඔහුව ආදර්ශයට ගන්නා පුද්ගලයන් විය යුතුයි. (1 පේතෘස් 2:21; 4:1) යම් පුද්ගලයෙක් යේසුස් වගේ සිතන්න උත්සාහ කරද්දී ඔහු දෙවිට වඩ වඩා ළං වෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔහු “ජීවනය හා සමාදානය” හිමි කරගැනීමේ ප්‍රස්තාව උදා කරගන්නවා.—රෝම 13:14.

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගත හැකි අයුරු

අප ක්‍රිස්තුස්ගේ මනස ලබාගන්න කලින් ඒ මනස තේරුම්ගන්න අවශ්‍යයි. වෙනත් වචනවලින් කියනවා නම් දෙවිට ළං වෙන්න අපි යේසුස් සිතන ආකාරය තේරුම්ගන්න අවශ්‍යයි. අවුරුදු 2,000කට පමණ පෙර ජීවත් වූ කෙනෙකු සිතන ආකාරය දැනගන්නේ කොහොමද? උදාහරණයකට අපේ රටේ ඉතිහාසයේ සඳහන් ප්‍රසිද්ධ කෙනෙකු ගැන අප තොරතුරු දැනගන්නේ කෙසේද කියා සිතන්න. අපි ඔහු ගැන සඳහන් පොත් පත් කියවනවා. ඒ හා සමානව යේසුස්ගේ ජීවිතය ගැන ලියවී ඇති තොරතුරු කියවීමෙන් අපට ක්‍රිස්තුස්ගේ මනස ගැන බොහෝ දේවල් දැනගත හැකියි.—යොහන් 17:3.

ශුද්ධ බයිබලයේ යේසුස්ගේ ජීවිතය ගැන ඓතිහාසික වාර්තා හතරක් ඇතුළත් වෙනවා. ඒවා මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන අය විසින් ලියනු ලැබුවා. එම පොත් හතර හොඳින් කියවා බැලුවොත් යේසුස් සිතූ ආකාරය, ඔහු විදහා පෙන්වූ හැගීම්, ඔහු ක්‍රියා කළේ මොන චේතනාවෙන්ද යන කාරණා ගැන තේරුම්ගත හැකියි. මේ දේවල් ගැන ගැඹුරින් සිතා බැලීමට ඔබ කාලය ගත්තොත් යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද කියන කාරණය ගැන ඔබේ මනසේ පැහැදිලි පින්තූරයක් මැවෙයි. සමහරවිට ඔබ දැනටමත් යේසුස්ගේ අනුගාමිකයෙකු විය හැකියි. එසේවුවත් මෙම පොත් කියවා ඒ තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කරන විට “අපේ ස්වාමීන්ද ගැලවුම්කරුද වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවෙහි හා ඔහු ගැන දැනුමෙහි දිගටම වර්ධනය වන්න” ඔබට හැකි වෙයි.—2 පේතෘස් 3:18.

දැන් අපි මෙම පොත් හතරෙන් යම් තොරතුරු බිඳක් සලකා බලමු. එසේ කිරීමෙන් යේසුස් දෙවිට කිට්ටු කෙනෙක් වුණේ මොන හේතු නිසාද කියා අපිට තේරුම්ගත හැකියි. ඒ සමඟම මේ ප්‍රශ්නය ගැනද සිතා බලන්න. එනම්, ‘යේසුස් තැබූ ආදර්ශය මට අනුගමනය කළ හැක්කේ කෙසේද’ යන්නයි.—යොහන් 13:15.

දෙවිගේ බලය අත්‍යවශ්‍යයි

ලූක් නම් ලේඛකයා පවසන්නේ යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී දෙවිගේ බලය ඔහු පිට වගුරුවනු ලැබූ බවයි. ඔහු දෙවිගේ බලයෙන් “පූර්ණ” කෙනෙක් කියා කිව්වොත් නිවැරදියි. (ලූක් 3:21, 22; 4:1) යේසුස් පවා තම අනුගාමිකයන්ට අවධාරණය කළේ දෙවිගේ බලය ලබාගෙන එහි මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි. (උත්පත්ති 1:2; ලූක් 11:9-13) මේ කාරණය මතක තබාගැනීම ඉතා ප්‍රයෝජනදායකයි. ඒ ඇයි? අපට ක්‍රිස්තුස්ට තිබුණු මනසට සමාන මනසක් ඇති කරගන්න අවශ්‍ය නම් අපේ මනස එනම් අප සිතන ආකාරය වෙනස් කරගත යුතුයි. එසේ කළ හැක්කේ දෙවිගේ බලයෙන් පමණයි. (රෝම 12:1, 2) කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඔහු තුළ “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම-දමනය” යනාදි යහපත් ගුණාංග දකින්න ලැබෙනවා. (ගලාති 5:22, 23) ඒවා දෙවිට ළංව සිටින කෙනෙකු තුළ අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන ගුණාංගයි. එසේනම් දෙවිට ළංවීමට අපි දෙවිගේ බලය ලබාගෙන එහි මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කළ යුතුයි.

යේසුස් මිහිපිට සේවය කළ කාලය පුරාම මෙවැනි ගුණාංග විදහා පෙන්නුවා. සමාජයේ තැළී පොඩි වී සිටි අය සමඟ යේසුස් ප්‍රේමයෙන්, කරුණාවන්තකමින් හා යහපත්කමින් නිතරම කටයුතු කළා. (මතෙව් 9:36) උදාහරණයක් හැටියට යොහන්ගේ පොතේ විස්තර කර ඇති මේ සිද්ධිය සලකා බලන්න. යේසුස් “එතැනින් යද්දී, උපතින්ම අන්ධව සිටි මිනිසෙකුව දුටුවේය. එවිට ඔහුගේ ගෝලයෝ, ‘රබ්බි, මේ මිනිසා අන්ධව ඉපදීමට පව් කළේ කවුද? ඔහුද නැත්නම් ඔහුගේ දෙමාපියන්ද?’ යයි ඔහුගෙන් ඇසූහ. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය: ‘මිනිසාවත් ඔහුගේ දෙමාපියන්වත් පව් කළේ නැත. නමුත් මෙසේ වී තිබෙන්නේ දෙවිගේ ක්‍රියා ඔහු තුළ ප්‍රකාශ වන පිණිසය. දිවා කාලය තිබෙද්දී මාව එවූ තැනැත්තාගේ වැඩ අප විසින් කළ යුතුය. මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය පැමිණෙයි. මා ලෝකයේ සිටින තෙක්, මම ලෝකයේ ආලෝකය වෙමි.’ ඔහු මේ දේවල් කී පසු, බිමට කෙළ ගසා, ඒ කෙළවලින් මැටි පිඩක් සෑදුවේය. ඉන්පසු ඔහු එම මැටි පිඩ ඒ මිනිසාගේ ඇස් මත තබා, ‘ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න’ යයි ඔහුට කීවේය. (සිලෝම් පරිවර්තනය කළ විට එහි අර්ථය ‘එවන ලද’ යන්නයි.) ඔහු ගොස් සෝදාගෙන ආපසු පැමිණි විට ඔහුට පෙනීම ලැබී තිබිණ. එබැවින් අසල්වැසියෝද ඔහු හිඟන්නෙකුව සිටි බව මීට කලින් දැක තිබුණු අයද කතා කොට, ‘මේ ඉඳගෙන සිඟා කෑ මිනිසා නොවේද?’ යයි ඇසූහ.”—යොහන් 9:1-8.

මේ සිද්ධියෙන් අපට ක්‍රිස්තුස්ගේ මනස ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? පළමුව, ඔහු කිසි හව්හරණක් නැති අයට විශේෂ අවධානයක් දී ඔවුන්ට මහත් ආදරයෙන් හා කරුණාවෙන් සැලකූ බවයි. දෙවනුව, අනුන්ට උපකාර කිරීමට ඔහුම මුල පිරූ බවයි. ඔබටත් යේසුස්ගේ මේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන්ද? යේසුස් ජනතාවට සැලකූ ආකාරයට ඔබටත් අන් අයට සැලකිය හැකිද? ඔවුන්ට අවශ්‍ය උපකාර දෙන්න පුළුවන්ද? ඔවුන්ට දීප්තිමත් අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් දිය හැකිද? එසේ නැත්නම්, අපි වැඩි අවධානයක් දෙන්නේ යම් වැදගත් පුද්ගලයන්ට විතරද? කෙසේනමුත් අපි සියලුදෙනාම යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරමු.—ගීතාවලිය 72:12-14.

යාච්ඤාව අත්‍යවශ්‍යයි

යේසුස් ගැන ලියා ඇති වාර්තාවල නිතරම ඔහු දෙවිට යාච්ඤා කළ ආකාරය ගැන සඳහන් වෙනවා. (මාක් 1:35; ලූක් 5:16; 22:41) මිහිපිට සේවය කළ කාලයේදී යේසුස් යාච්ඤාව සඳහා වෙනම කාලයක් වෙන් කළා. ඔහුගේ ගෝලයෙක් වූ මතෙව් පැවසුවේ ‘යේසුස් සමූහයන් යවා, යාච්ඤා කරන පිණිස තනිව කන්දට නැඟී ගිය’ බවයි. (මතෙව් 14:23) තම පියාණන්ට නිතරම මෙලෙස කතා කිරීමෙන් යේසුස් ශක්තිමත් වුණා. (මතෙව් 26:36-44) ඒ හා සමානව දෙවිට ළං වෙන්න කැමැත්තක් දක්වන අපිත් දෙවිට යාච්ඤා කරන්න විශේෂ වෑයමක් දැරිය යුතුයි. අපි එසේ කළ යුත්තේ දෙවි සමඟ අපේ මිත්‍රත්වය එමගින් තවත් ශක්තිමත් වන බව දන්නා නිසායි. මීට අමතරව වඩ වඩා යේසුස් වගේ සිතන්න එය උපකාරවත් වෙනවා.

ඇතැම් අවස්ථාවලදී යේසුස් දිගු වේලාවක් යාච්ඤා කළා. (යොහන් 17:1-26) තමාගේ මුල්ම ගෝලයන් 12දෙනා තෝරාගන්න කලින් යේසුස් ‘යාච්ඤා කරන පිණිස කන්දට ගොස්, රාත්‍රිය මුළුල්ලේම දෙවිට යාච්ඤා කරමින්’ සිටියා. (ලූක් 6:12) අපිත් අනිවාර්යයෙන්ම මුළු රාත්‍රියම යාච්ඤා කළ යුතු බව මෙයින් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙයින් අදහස් කරන්නේ යේසුස් හා සමානව ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට පෙර ඒ ගැන දෙවිට යාච්ඤාවෙන් පවසන්න අපි ප්‍රමාණවත් කාලයක් වෙන් කරගත යුතු බවයි. මෙසේ තීරණ ගැනීමේදී දෙවිගේ මඟ පෙන්වීම සැලකිල්ලට ගන්නා විට අපි තව තවත් ඔහුට ළං වෙනවා.

යේසුස් යාච්ඤා කරද්දී තමාගේ හැඟීම් විවෘතව ප්‍රකාශ කළා. ඔහු මිය ගිය දවසට කලින් රාත්‍රියේදී ඔහු කළ යාච්ඤාව ගැන ලූක් පැවසුවේ මෙසේයි: “ඔහුට දැඩි සිත් වේදනාවක් ඇති වී, ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා කරන්නට විය. ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී බිම වැටිණ.” (ලූක් 22:44) මීට කලිනුත් යේසුස් ඕනෑකමින් යාච්ඤා කරන්න ඇති. නමුත් ඔහු තමාගේ ජීවිතයේ දරුණුම පරීක්ෂණයට මුහුණ දුන් ඒ මොහොතේදී “වඩාත් ඕනෑකමින්” යාච්ඤා කළා. ඒ යාච්ඤාවට පිළිතුරුත් ඔහුට ලැබුණා. (හෙබ්‍රෙව් 5:7) දෙවිට ළං වෙන්න උත්සාහ දරන අපිත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. අප ඉතා දරුණු පරීක්ෂාවලට මුහුණ දෙන විට දෙවිගේ මඟ පෙන්වීම හා උපකාර ඉල්ලමින් “වඩාත් ඕනෑකමින්” යාච්ඤාවේ යෙදී සිටිය යුතුයි.

යේසුස් යාච්ඤාවට ළැදි වූ කෙනෙක් නිසා ඔහුගේ ගෝලයන් ඔහුව අනුකරණය කරන්න උත්සාහ දැරුවා. එමනිසා “ස්වාමිනි, . . . යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න” කියා ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටියා. (ලූක් 11:1) අදත් දෙවිගේ මඟ පෙන්වීම ගැඹුරින් අගය කරන අපි යේසුස් යාච්ඤා කළ ආකාරය ආදර්ශයට ගත යුතුයි. මෙයින් පැහැදිලි වන්නේ දෙවිට ළංවීමට යාච්ඤාව අත්‍යවශ්‍ය බවයි.

ශුභාරංචිය දේශනා කිරීම අත්‍යවශ්‍යයි

මාක්ගේ වාර්තාවේ යේසුස් අසනීපව සිටි බොහෝදෙනෙකුව රෑ බෝ වන තුරු සුව කළ අයුරු සඳහන් වෙනවා. ඊළඟ දවසේ උදේ පාන්දරින්ම ඔහු හුදෙකලා වී යාච්ඤා කරන විට ගෝලයන් ඔහු ළඟට ඇවිත් සුවයක් බලාපොරොත්තුවෙන් බොහෝදෙනෙකු රැස්ව සිටින බව පැවසුවා. නමුත් යේසුස් ඔවුන්ට පැවසුවේ, “අපි වෙන තැනකට යමු. අසල පිහිටි ගම්බද නුවරවලත් මා දේශනා කරන පිණිස එතැනට යමු. මන්ද මා පිටත්ව ආවේ මේ සඳහා” කියායි. (මාක් 1:32-38; ලූක් 4:43) මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කිරීම යේසුස් වැදගත් දෙයක් හැටියට සැලකුවත්, ඔහුගේ ප්‍රධාන කාර්යය වුණේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමයි.—මාක් 1:14, 15.

අද දිනත් ක්‍රිස්තුස්ගේ මනස ඇති අයගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ අන් අයට දේවරාජ්‍යය ගැන පැවසීමයි. තමාගේ අනුගාමිකයන් වෙන්න කැමති හැමදෙනාටම යේසුස් පැවසුවේ මෙසේයි: “එබැවින් ඔබ ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. . . . මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) ඔහු මෙහෙමත් පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) ලොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමේ මෙම කාර්යය ඉටු වෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් බව දේවවචනය අපට පැහැදිලි කරනවා. එමනිසා එම කාර්යයට අවංකව හවුල් වන සෑම කෙනෙක්ම දෙවිට ළංව සිටින කෙනෙක් බව පැවසිය හැකියි.—ක්‍රියා 1:8.

ලොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමට මිලියන ගණනකගේ සහයෝගය අවශ්‍යයි. (යොහන් 17:20, 21) ඒ නිසා එම සේවයේ හවුල් වන අය දෙවිට ළංව සිටින අය පමණක් නොව ලෝක ව්‍යාප්තව හොඳින් සංවිධානය වූ සෙනඟක් විය යුතුයි. යේසුස්ගේ අඩිපාරේ ගමන් කරමින් ලොව පුරාම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නේ කවුරුන්ද කියා ඔබට හඳුනාගත හැකිද?

ඔබේ ජීවිතය අර්ථවත්ද?

සැබවින්ම දෙවිට ළංව සිටින කෙනෙක් තුළ තිබිය යුතු වෙනත් ලක්ෂණත් තිබෙනවා. එනමුත් ඔබ දැනටමත් සලකා බැලූ පැති ගැන කුමක් කිව හැකිද? ඔබ ඒ දේවල් කරමින් සිටිනවාද? එයට පිළිතුර දැනගන්න ඔබෙන් මෙසේ අසාගන්න: ‘මම නිතිපතා දෙවිගේ වචනය වන බයිබලය කියවා, කියවන දේ ගැන ගැඹුරින් සිතා බලනවාද? දෙවිට ප්‍රිය කෙනෙකු තුළ තිබිය යුතු ගුණාංග මගේ ජීවිතයේ දකින්න තිබෙනවාද? මම යාච්ඤාවට ළැදි කෙනෙක්ද? දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරා දේශනා කරන අය සමඟ ඇසුරු කරන්න මට ආශාවක් තිබෙනවාද?’

ඔබ දෙවිට කොතරම් ළැදි කෙනෙක්ද කියා තීරණය වන්නේ ඔබ අවංක ආත්ම සෝදිසියක් කළොත් පමණයි. එසේ කළොත් සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ඔබට දැනුත් සදහටත් භුක්ති විඳිය හැකියි. එවිට ඔබට “ජීවනය හා සමාදානය” හිමි වෙනවා නොඅනුමානයි.—රෝම 8:6; මතෙව් 7:13, 14; 2 පේතෘස් 1:5-11.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙවිට ළැදි කෙනෙක් . . .

◆ දේවවචනයට ඇලුම් කරයි

◆ දෙවිට ප්‍රිය ගුණාංග විදහා පෙන්වයි

◆ දෙවිට නිතරම හා අවංකව යාච්ඤා කරයි

◆ අන් අයට ශුභාරංචිය ගැන කියා දෙයි

[5වන පිටුවේ පින්තූරය]

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගන්න බයිබලය ඔබට අත්වැලක්