Skip to content

පටුනට යන්න

ඇදහිල්ලෙන් දුෂ්කරතා ජයගත් මවක්

ඇදහිල්ලෙන් දුෂ්කරතා ජයගත් මවක්

ඇදහිල්ලෙන් දුෂ්කරතා ජයගත් මවක්

“ඕගොල්ලන් මේ ලියුම කියවනවා නම්, ඒ කියන්නේ මම ජීවතුන් අතර නැහැ කියන එකයි.”

කාමන් දියණියන් තිදෙනෙකුගේ සෙනෙහෙබර මවක්. එමෙන්ම ඇය භක්තිවන්ත ක්‍රිස්තියානි කාන්තාවක්. ඇය අවුරුදු 25, 19 සහ 16වන වියේ පසු වූ තම දියණියන් තිදෙනාට ලියූ ලිපිය ආරම්භ කළේ ඉහත සඳහන් හද සසල කරවන වදන් පෙළෙනුයි. ඇයට මුහුණ දීමට සිදු වූ සැත්කම අසාර්ථක වීම නිසා ඇය කනගාටුදායක ලෙස මිය ගියා.

තම ලේ කිරි කර පොවා හදා වඩා ගත් දරුවන්ගෙන් වෙන් වී ජීවිතෙන් සමුගැනීමට සිදු වෙන බව දැනගැනීම ඕනෑම මවකට දරාගන්න බැරි දුකක්. නමුත් කාමන් නමැති මවට හැකි වුණා මේ දුක දරාගන්න. ඒ යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහු දී ඇති පොරොන්දු කෙරෙහිත් ඇයට දැඩි විශ්වාසයක් තිබුණු නිසයි. මරණයට පෙර තම දියණියන්ට ඇය ලියූ ලිපිය කියවීමෙන් දෙවි කෙරෙහි කොතරම් ඇදහිල්ලක් ඇයට තිබුණාද කියා පැහැදිලි වෙනවා. එහි සඳහන් වුණේ මෙයයි.

“මම මුලින්ම කියන්න කැමතියි, මං ඕගොල්ලන්ට ගොඩක් ආදරෙයි කියලා. ඕගොල්ලන් වගේ දරුවන් තුන්දෙනෙක්ව මට ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔය තුන්දෙනා ගැන මට හරිම ආඩම්බරයි.

“දෙවි පොරොන්දු කරලා තියෙන පාරාදීස පොළොව එන කල්ම ඕගොල්ලොත් එක්ක ඉන්න මම ආසයි. . . . ඒත් නොහිතන විදිහට දේවල් වෙනස් වෙනවා. මම යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා දිගටම ඇදහිලිවන්තව ඉන්න ඕගොල්ලන්ට උදව් කරන්න කියලා. අපි කොච්චර දුක් මුසු දේවල්වලට මුහුණ දුන්නද? ඒත් යෙහෝවා දෙවි කවදාවත් අපිව අතහැරියේ නැහැ. . . . ඒ නිසා දිගටම දෙවි තම සංවිධානය මගින් ලබා දෙන උපදෙස් විශ්වාස කරන්න. සභාවටත්, වැඩිමහල්ලන්ටත් සහයෝගය දෙන්න. පුළුවන් උපරිමයෙන් දේශනා සේවයේ යන්න. හැම සහෝදර සහෝදරියකටම ආදරෙන් සලකන්න.

“සමහරවිට මම ඕගොල්ලන්ව තේරුම් ගත්තේ නැති වෙලාවල් තිබිලා ඇති. නැත්නම් මගේ හිතේ ඔයාලට තිබුණු ආදරය කියාගන්න බැරි වෙන්න ඇති. ඒ හැම දේකටම මට සමාවෙන්න. . . . ඔය තුන්දෙනාටම නොයෙකුත් ඕනෑ එපාකම් තියෙනවා කියලා මම දන්නවා. හැබැයි යෙහෝවා දෙවි ඕගොල්ලන්ටත් වඩා ඒ ගැන දන්න නිසා ඔහුම ඒ දේවල් බලාගනියි. දිගටම විඳදරාගත්තොත් දෙවි අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ආශීර්වාද කරයි.

“පාරාදීස පොළොවේ ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව කවදාවත් නැති කරගන්න එපා. මම යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ අන්තිමය වෙන කම් විශ්වාසවන්තව ඉන්න ඔය තුන්දෙනාටම උදව් කරන්න කියලයි. . . . මම දන්නවා මේ දුක දරාගන්න අමාරුයි කියලා. ඒත් දුක් වෙන්න එපා. අපි වෙන් වෙන්නේ ටික කාලෙකට විතරයි. මම ඕගොල්ලන්ට ආදරෙයි!”

ඕනෑම කෙනෙකුට නොසිතූ අවස්ථාවක අනපේක්ෂිත දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි. පුරාණයේ ජීවත් වූ සාලමොන් රජ මෙහෙම පැවසුවේ ඒ නිසයි. “නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම් සියලුදෙනා පිට පැමිණේ.” (දේශනාකාරයා 9:11, නව ලොව පරිවර්තනය) යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාටම පාවුල්ට තිබූ මෙම නිසැකකම ඇතුව සිටිය හැකියි. “මරණයටවත්, . . . වෙන කිසි මැවිල්ලකටවත්, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බව මට සම්පූර්ණයෙන්ම විශ්වාසය.”—රෝම 8:38, 39; හෙබ්‍රෙව් 6:10.