Skip to content

පටුනට යන්න

එසකියෙල් පොතෙන් විශේෂාංග—දෙවන කොටස

එසකියෙල් පොතෙන් විශේෂාංග—දෙවන කොටස

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

එසකියෙල් පොතෙන් විශේෂාංග—දෙවන කොටස

ක්‍රිස්තු පූර්ව 609දී නෙබුකද්නෙශර් රජ යෙරුසලම අවසාන වතාවට වටලෑම ඇරඹුවා. ඒ වන තුරු බැබිලෝනියේ වහලුන්ව සිටි යුදෙව්වන්ට එසකියෙල් ප්‍රකාශ කළ පණිවුඩයේ තේමාව වුණේ, යෙරුසලමේ විනාශයයි. නමුත් දැන් ඔහු ප්‍රකාශ කරන පණිවුඩයේ තේමාව වන්නේ එම නගරයේ වැටීම ගැන සතුටු වන ජාතීන්ට පැමිණීමට නියමිත විනාශයයි. වටලෑම ඇරඹී මාස 18කට පසු ඔහුගේ තේමාව යළිත් වතාවක් වෙනස් මුහුණුවරක් ගන්නවා. එනම් සැබෑ නමස්කාරය යළි පිහිටුවීමයි.

එසකියෙල් 25:1–48:35 [නව ලොව පරිවර්තනය, NW] දක්වා සඳහන් වන්නේ ඊශ්‍රායෙලය අවට ජීවත් වූ ජාතීන් සම්බන්ධ අනාවැකි හා දෙවිගේ සෙනඟගේ මිදීම ගැනයි. * එහි සඳහන් තොරතුරු වාර්තා වී තිබෙන්නේ ඒවා සිදු වූ පිළිවෙළටමයි. නමුත් එසකියෙල් 29:17-20හි ඇති තොරතුරු පමණක් සිදු වූ පිළිවෙළටම වාර්තා වී නැහැ. හේතුව එම පද හතරේ ඇතුළත් වන්නේ ඊජිප්තුවට සිදුවීමට යන දේ ගැන අනාවැකියක්. කෙසේනමුත් දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියවුණු පොතක් හැටියට ‘ජීවමාන, බලවත්’ පණිවිඩයක් එහි ඇතුළත්.—හෙබ්‍රෙව් 4:12.

‘පාළු වී තිබුණු ඒ දේශය දැන් ඒදන් උයන හා සමාන වීමට නියමිතයි’

(එසකියෙල් 25:139:29, NW)

යෙරුසලමට සිදු වූ විනාශය ගැන මෝවබ්, අම්මොන්, ඒදොම්, පිලිස්තිය, තීර් සහ සීදොන් වැනි ජාතීන් සතුටු වුණා. ඒ නිසා යෙහෝවා දෙවි එසකියෙල් මාර්ගයෙන් ඔවුන්ට විරුද්ධව අනතුරු අඟවනවා. ඒ වගේම දෙවි ඊජිප්තුවට විරුද්ධවත් අනතුරු අඟවනවා. දෙවි ‘පාරාවෝවත් ඔහුගේ ජනතාවවත්’ සමාන කර තිබෙන්නේ ‘බැබිලෝනියේ රජුගේ කඩුවෙන්’ කපා දැමීමට නියමිත රූස්ස ගසකටයි.—එසකියෙල් 31:2, 3, 12; 32:11, 12, NW.

ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ වී මාස හයකට පමණ පසු ඉන් බේරුණු පුද්ගලයෙක් බැබිලෝනියේ සිටින එසකියෙල් වෙතට පැමිණ “සතුරන් නුවර අල්ලාගෙන ඇත” කියා පවසනවා. එසකියෙල් ‘තවදුරටත් නිහඬව සිටින්නේ නැහැ.’ (එසකියෙල් 33:21, 22, NW) ඒ වෙනුවට ඔහු යුදෙව් වහලුන් සම්බන්ධයෙන් දෙවි ප්‍රකාශ කළ බලාපොරොත්තුව ඇති කරවන මේ පණිවුඩය දැනුම් දෙනවා. “ඔවුන් වෙනුවෙන් එක එඬේරෙකු පත් කරන්නෙමි. ඔහු එනම් මාගේ සේවක දාවිත් උන්ව පෝෂණය කරන්නේය.” (එසකියෙල් 34:23, NW) ඒදොම් විනාශ වීමට නියමිතයි. නමුත් පාළුවට ගිය යූදා දේශය නැවතත් “ඒදන් උයන හා සමාන” වෙන්න යනවා. (එසකියෙල් 36:35, NW) යළිත් තම දේශය බලා යන සෙනඟව “ගොග්” එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට දෙවි පොරොන්දු වෙනවා.—එසකියෙල් 38:2, NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

29:8-12—වසර 40ක ඊජිප්තුවේ පාළුවීම ඇරඹුණේ කවදාද? යෙරුසලම ක්‍රි.පූ. 607දී විනාශ වීමෙන් පසුව සමහර යුදෙව්වන් යෙරෙමියාගේ අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කරමින් ඊජිප්තු දේශයට පලා ගියා. (යෙරෙමියා 24:1, 8-10; 42:7-22) නමුත් නෙබුකද්නෙශර් රජ පැමිණ ඊජිප්තුව යටත් කරගත් නිසා ඉන් ඔවුන්ට කිසිම යහපතක් සිදු වුණේ නැහැ. වසර 40ක් පුරා ඊජිප්තු දේශය පාළුවට ලක් වුණේ යෙරුසලමේ විනාශයෙන් පසුව විය හැකියි. ඉතිහාසයේ ඒ පිළිබඳව සඳහන් වී නැතත් යෙහෝවා දෙවි එය පැවසූ නිසා එය ඉටු වූ බවට අපට ස්ථිර විය හැකියි.—යෙසායා 55:11.

29:18—බැබිලෝනීය භටයන් ‘සෑම කෙනෙකුගේම හිස්වලින් කෙස් ඉවත් වුණේත් සෑම උරහිසකම හම ගියෙත්’ කෙසේද? තීර් දේශය වටලෑම නෙබුකද්නෙශර්ගේ භටයන්ට ඉතා අමාරු වෙහෙසකර කාර්යයක් වුණා. ඔවුන් දිගු කාලයක් පුරා හිස් වැසුම් පැළඳ සිටි නිසා ඔවුන්ගේ කෙස් ගැලවුණා වගේම පවුරු සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය උසුලාගෙන යෑම නිසා ඔවුන්ගේ උරහිස්වල හම ගියා.—එසකියෙල් 26:7-12, NW.

අපට ගත හැකි පාඩම්:

29:19, 20. තීර් වැසියන් තම වස්තුවෙන් වැඩි කොටසක් රැගෙන ඔවුන්ගේ දූපතට පලා ගිය නිසා නෙබුකද්නෙශර් රජට තීර්වලින් ලබාගත හැකි වුණේ වටිනා දේවලින් සුළු ප්‍රමාණයක් පමණයි. ඒ නිසා යෙහෝවා දෙවි “ඔහුගේ හමුදා බල ඇණියට කුලී වශයෙන්” ඊජිප්තුවේ වස්තුව ලබාගැනීමට ඉඩහැරියා. නෙබුකද්නෙශර් රජ බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අහංකාර පාලකයෙක් වුණත් දෙවි ඔහු සමඟ කටයුතු කළ ආකාරයෙන් අපිට කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ආණ්ඩු අපි වෙනුවෙන් කරන සේවාවන් සඳහා අපිත් බදු ගෙවිය යුතුයි. පාලකයන් කුමනාකාරයේ අය වුණත් එම මුදල් කුමන දේ සඳහා යෙදෙව්වත් අපි දිගටම බදු ගෙවිය යුතුයි.—රෝම 13:4-7.

33:7-9. නවීන දින මුරකරු පන්තියෙන් නියෝජනය වන අභිෂේක ලත් අය සහ ඔවුන්ට සහයෝගය දක්වන සෙසු ක්‍රිස්තියානීන්ද අත් නෑර රාජ්‍යයේ ශුභාරංචිය ගැන දැනුම් දෙමින් “මහත් පීඩාව” ගැනද අනතුරු ඇඟවිය යුතුයි.—මතෙව් 24:21.

33:10-20. අපේ ගැලවීම රඳා පවතින්නේ නපුරු මාර්ගයෙන් හැරී යෙහෝවා දෙවි නියම කර ඇති “සාධාරණ” මාර්ගයේ ගමන් කරමින් ඔහුගේ ආඥාවලට කීකරු වීම මතයි.

36:20,21. යුදෙව්වන්ව ‘දෙවිගේ ජනතාව’ ලෙස පිළිගෙන තිබුණත් ඔවුන් දෙවිට අකීකරු වීමෙන් වෙනත් ජාතීන් ඉදිරියේ දෙවිගේ නම කෙලෙසුවා. අපිත් ඔවුන් මෙන් කෙදිනකවත් නමට පමණක් දෙවිගේ සේවකයන් නොවිය යුතුයි.

36:25, 37, 38. අපි දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳින නිසා ‘ශුද්ධ වූ රැළකට’ සම්බන්ධ වීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙනවා. එම රැළේ සාමාජිකයන් හැටියට පවිත්‍රව සිටීමට අපි වෑයම් කළ යුතුයි.

38:1-23. මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරවලින් යෙහෝවා දෙවි අපව ආරක්ෂා කරන බව දැනගැනීමට ලැබීම මොන තරම් සහනයක්ද! ගොග් යනු “මේ ලෝකයේ පාලකයායි.” එනම් සාතන් නමැති යක්ෂයායි. ඔහුට එම නම ලැබුණේ ස්වර්ගයෙන් ඔහුව පලවාහැරීමත් සමඟයි. මාගොග් දේශය යනු ඔහුවත් ඔහුගේ පැත්ත ගත් භූතයන්වත් හෙළා ඇති පොළොවයි.—යොහන් 12:31; එළිදරව් 12:7-12.

“මා ඔබට පෙන්වන දේට ඔබේ සිත යොමු කරන්න”

(එසකියෙල් 40:1–48:35, NW)

මේ වන විට යෙරුසලම විනාශ වී අවුරුදු 14ක් ගෙවී ගොස් තිබුණු අතර තවත් අවුරුදු 56ක් යුදෙව්වන් වහලුන් ලෙස සිටිය යුතු වුණා. (එසකියෙල් 40:1; යෙරෙමියා 29:10) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි 50-හැවිරිදි එසකියෙල්ව දර්ශනයක් මගින් ඊශ්‍රායෙල් දේශයට ගෙන ගොස් ඔහුට මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රය, ඔබේ දෑස් විවර කර බලන්න. ඔබේ සවන් යොමු කරන්න. මා ඔබට පෙන්වන දේට ඔබේ සිත යොමු කරන්න.” (එසකියෙල් 40:2-4, NW) එම දර්ශනය මගින් දේවමාලිගාවක් දකින්න ලැබීම ගැන එසකියෙල් කොතරම් සන්තෝෂ වෙන්න ඇද්ද!

එසකියෙල් දර්ශනයෙන් දකින මහිමාන්විත දේවමාලිගාව අවට ප්‍රධාන දොරටු හයක්, භෝජන ශාලා 30ක්, දවන පූජා සඳහා ඉදි කළ පූජාසනයක්, ශුද්ධස්ථානයක්, අතිශුද්ධස්ථානයක් හා ලීයෙන් තැනූ පූජාසනයක්ද තිබෙනවා. එමෙන්ම දේවමාලිගාවේ සිට ජල දහරාවක් ‘ගලාගෙන’ යන බවත් එසකියෙල් දකිනවා. (එසකියෙල් 47:1, NW) තවදුරටත් එක් එක් ගෝත්‍රයට බිම් කොටස් බෙදා දෙන ආකාරයද ඔහු දකිනවා. නැඟෙනහිර සිට බස්නාහිර දක්වා දිවෙන එම බිම් කොටස් අතරේ යූදා හා බෙන්ජමින්ගේ බිම් කොටස් දෙක පිහිටා තිබෙන්නේ එකිනෙකට කිට්ටුවෙනුයි. එම බිම් කොටස් දෙක අතර ඇති බිම් තීරුවේ ‘යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයත්,’ යෙහෝවා දෙවි එහි වාසය කරයි යන ‘නුවරත්’ පිහිටා තිබුණා.—එසකියෙල් 48:9, 10, 15, 35, NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

40:347:12—දර්ශනයෙන් දුටු දේවමාලිගාවෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද? එම දේවමාලිගාව සැබෑ එකක් නෙවෙයි. එසේනම් ඉන් සංකේතවත් කළේ කුමක්ද? එම දේවමාලිගාව මනා පිළිවෙළකට තිබුණා හා සමානව අද දිනත් සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවි ඇති කර තිබෙන සැලැස්ම මනා පිළිවෙළකට තිබෙන බව ඉන් සංකේතවත් කරනවා. (එසකියෙල් 40:2; මීකා 4:1; හෙබ්‍රෙව් 8:2; 9:23, 24) එදා වහල්භාවයේ සිටි යුදෙව්වන්ට මෙම දර්ශනය යම් බලාපොරොත්තුවක් ගෙන දුන්නා. මන්ද සැබෑ නමස්කාරය යළි පිහිටුවන්න යන බව සහ සෑම කෙනෙකුටම දේශයේ උරුමයක් ලැබෙන්න යන බව එම දර්ශනයෙන් පෙන්නුම් කළ නිසයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙන ‘අන්තිම දවස්වලදීද’ එම දර්ශනය ඉටු වෙනවා. (2 තිමෝති 3:1; එසකියෙල් 44:10-16; මලාකි 3:1-3) කෙසේවෙතත් එම දර්ශනයේ සම්පූර්ණ ඉටුවීම සිදු වෙන්නේ පාරාදීස පොළොව තුළදීයි.

40:343:17—දේවමාලිගාව මැනීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙන බව ඉන් පෙන්නුම් කළා.

43:2-4, 7, 9—දේවමාලිගාවෙන් ඉවත් කළ ‘රජවරුන්ගේ මළ සිරුරු’ යනු කුමක්ද? පෙනෙන ආකාරයට එම මළ සිරුරු වුණේ යෙරුසලමේ පාලකයන් හා එහි වැසියන් දෙවිගේ ගෘහයේ තැබූ පිළිමයි. එම පිළිම ඔවුන් සැලකුවේ රජවරුන් හා සමානවයි. එසේ කිරීමෙන් ඔවුන් දේවමාලිගාව අපවිත්‍ර කළා.

43:13-20—එසකියෙල් දුටු පූජාසනයෙන් සංකේතවත් වුණේ කුමක්ද? එයින් යේසුස්ගේ ජීවිත පූජාව සංකේතවත් වුණා. එම ජීවිත පූජාව නිසා අභිෂේක ලත් අය ධර්මිෂ්ඨයන් බවට පත් වූ අතර ‘මහත් සමූහයේ’ අයටත් දෙවි ඉදිරියෙහි පවිත්‍ර තත්වයක සිටින්න හැකි වී තිබෙනවා. (එළිදරව් 7:9-14; රෝම 5:1, 2) සලමොන් රජ ඉදි කළ දේවමාලිගාවේ තිබූ “විශාල වටකුරු භාජන” එනම් පූජකයන්ට සෝදාගෙන පවිත්‍ර වීම සඳහා සාදා තිබූ භාජන එසකියෙල් දුටු දේවමාලිගාවේ දක්නට නැත්තේ ඒ හේතුව නිසා විය හැකියි.—1 රාජාවලිය 7:23-26, NW.

44:10-16—පූජක පන්තියෙන් නියෝජනය කරන්නේ කාවද? අද දින සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානි කණ්ඩායම එයින් නියෝජනය කළා. “රිදී උණු කර පිරිසිදු කරන්නාක් මෙන්” දෙවි ඔවුන්ව පිරිසිදු කළේ 1918දීයි. (මලාකි 3:1-5) තම වැරදි ගැන පසුතැවිලි වූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ඒ හේතුවෙන් දිගටම දෙවිගේ සේවයේ නියැලෙන්න හැකියාව ලැබුණා. එතැන් සිට ‘මහත් සමූහයට’ ආදර්ශයක් තබමින් “ලෝකයෙන් කිලිටි නොවී” සිටීමට ඔවුන් ලොකු වෑයමක් දරනවා.—යාකොබ් 1:27; එළිදරව් 7:9, 10.

45:1; 47:1348:29—‘දේශයෙන්’ සහ එය කොටස්වලට බෙදීමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? දේශයෙන් පෙන්නුම් කරන්නේ දෙවිගේ සේවකයන් ක්‍රියාකාරීව කරන සේවයයි. ලෝකයේ කොතැනක සිටියත් සැබෑ නමස්කාරයේ හවුල් වෙනවා නම් ඔවුන් සිටින්නේ ඒ සුරක්ෂිත දේශයෙයි. එය කොටස්වලට බෙදීමෙන් පෙන්නුම් කරන්නේ යේසුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී ධර්මිෂ්ඨ මිනිසුන්ට පොළොවේ උරුමයක් ලැබෙන්න යන බවයි.—යෙසායා 65:17, 21.

45:7, 16—අධිපතියාට සහ පූජකයන්ට සෙනඟ සම්මාදම් දීම මගින් පිළිබිඹු වෙන්නේ කුමක්ද? දෙවිගේ සෙනඟ අතර තිබෙන එකමුතුකම සහ එකිනෙකාගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඔවුන් ගන්නා උත්සාහය ඉන් පිළිබිඹු වෙනවා.

47:1-5—එසකියෙල් දර්ශනයෙන් දකින ආකාරයට දේවමාලිගාවේ සිට ගලාගෙන යන ජලයෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද? අපේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා දෙවි දී තිබෙන සැපයුම් එම ජලයෙන් සංකේතවත් කරනවා. ඊට ප්‍රධාන වශයෙන් අයත් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව සහ දෙවි පිළිබඳ නිවැරදි දැනුමයි. (යෙරෙමියා 2:13; යොහන් 4:7-26; එෆීස 5:25-27) එම ජල දහර ක්‍රමානුකූලව විශාල වීමෙන් පෙනෙන්නේ එම සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීම සඳහා සැබෑ නමස්කාරය වෙත පැමිණෙන සංඛ්‍යාව වැඩි වන බවයි. (යෙසායා 60:22) දහස් අවුරුදු පාලනය තුළදීත් වඩා ශ්‍රේෂ්ඨ ආකාරයකින් ජීවනයේ වතුර ඇති ගංගාව ගලා බසිනවා. ඉන් පෙනී යන්නේ එදාට දිගහැරීමට නියමිත “අකුළන ලියවිලි” සම්බන්ධ අවබෝධය ලබා දෙන බවයි.—එළිදරව් 20:12; 22:1, 2.

47:12—පල දරන ගස් මගින් නියෝජනය කරන්නේ කුමක්ද? මුල් මිනිස් යුවළ පව් කිරීමට කලින් සිටි තත්වයට යළිත් මිනිසුන්ව ගෙන ඒම සඳහා දෙවි ලබා දෙන සැපයුම් ඉන් නියෝජනය කරනවා.

48:15-19, 30-35—එසකියෙල් දර්ශනයෙන් දකින නුවරෙන් නියෝජනය වෙන්නේ කුමක්ද? “යෙහෝවා දෙවි එහි වාසය කරයි” යන නාමය දරන එම නුවර පිහිටා තිබුණේ ‘කෙලසුණු’ ප්‍රදේශයකයි. ඒ නිසා එයින් අනිවාර්යයෙන්ම සංකේතවත් කරන්නේ පොළොවේ සිදු වෙන දෙයක්. එනම් ‘අලුත් පොළොවේ’ සදහටම ජීවත් වීමට යන ජනයාගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක වන පරිපාලනයක්. (2 පේතෘස් 3:13) එම නුවරේ එක් එක් පැත්තේ දොරටු තිබීමෙන් අදහස් වන්නේ දෙවිගේ සෙනඟ අතර සිටින අවේක්ෂකයන් පහසුවෙන් එළඹිය හැකි පුද්ගලයන් විය යුතු බවයි.

අපට ගත හැකි පාඩම්:

40:14, 16, 22, 26. සංකේතාත්මක දේවමාලිගාවට ඇතුල් වන දොරටුවල ඇතුල් පැත්තේ තාල වර්ගයේ ගස් සිතුවම් කර තිබීමෙන් පෙනෙන්නේ සදාචාරමය ලෙස පවිත්‍රව සිටින අයට පමණක් එයට ඇතුල් විය හැකි බවයි. (ගීතාවලිය 92:12) අපේ නමස්කාරය දෙවි පිළිගන්නේ අපිත් සදාචාරමය ලෙස පවිත්‍රව සිටියොත් පමණි.

44:23. නවීන දින පූජක පන්තිය වන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපි වෙනුවෙන් කරන සේවය අපි කොතරම් අගය කළ යුතුද! ඔවුන් නිසි වේලාවට ඇදහිල්ල ශක්තිමත් කරවන සැපයුම් ලබා දෙන නිසා දෙවි පවිත්‍ර සහ අපවිත්‍ර කොට සලකන දේවල් පැහැදිලිව හඳුනාගන්න අපට හැකි වී තිබෙනවා.—මතෙව් 24:45.

47:9,11. සංකේතාත්මක ජලයට අයත් එක් වැදගත් දෙයක් වන්නේ නිවැරදි දැනුමයි. එය මනුෂ්‍යයන්ට සදාකාල ජීවනය ගෙන දෙනවා. (යොහන් 17:3) නමුත් එම දැනුම ප්‍රතික්ෂේප කරන අයව “ලුණු වූ ස්ථාන” ලෙස අත්හරිනවා. එනම් විනාශ කරනවා. ඒ නිසා අන් අයට තේරෙන ආකාරයකින් ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන්න අපි ලොකු උත්සාහයක් දැරීම’ කොතරම් වැදගත්ද!—2 තිමෝති 2:15.

“මාගේ ශ්‍රේෂ්ඨ නාමය අනිවාර්යයෙන්ම විශුද්ධ කරන්නෙමි”

දාවිත්ගේ පෙළපතින් පැමිණි අවසාන රජුව ඉවත් කිරීමෙන් පසුව “අයිතිය සතු තැනැත්තා” පැමිණෙන තුරු දීර්ඝ කාලයක් ගත වුණත් දෙවි දාවිත්ට වූ පොරොන්දුව කඩ කළේ නැහැ. (එසකියෙල් 21:27, NW; 2 සාමුවෙල් 7:11-16) දෙවි එසකියෙල්ට දුන් අනාවැකිවල “මාගේ සේවක දාවිත්ව” ‘එඬේරෙක්’ සහ “රජෙක්” කරන බවට දුන් පොරොන්දුද ඇතුළත් වුණා. (එසකියෙල් 34:23, 24; 37:22, 24, 25, NW) එම අනාවැකි අදාළ වෙන්නේ දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස්ටයි. (එළිදරව් 11:15) එම රාජ්‍යය මගින් යෙහෝවා දෙවි ‘තම ශ්‍රේෂ්ඨ නාමය අනිවාර්යයෙන්ම විශුද්ධ කරනවා.’—එසකියෙල් 36:23, NW.

ඉතා ළඟදීම දෙවිගේ නාමයට නින්දා කරන අය විනාශ වී යනවා. නමුත් දෙවිගේ කැමැත්තට එකඟව ඔහුට නමස්කාර කරමින් දෙවිගේ නාමය විශුද්ධවත් කරන අයට සදාකාල ජීවනය ලැබෙනවා. ඒ නිසා අද දින බහුලව ගලාගෙන යන ජීවනයේ ජලයෙන් අපි හොඳින් ප්‍රයෝජන ගනිමු. සැබෑ නමස්කාරය අපේ ජීවිතයේ ප්‍රධානම දේ කරගනිමු.

[පාදසටහන]

^ 2 ඡේ. එසකියෙල් 1:1–24:27 දක්වා තොරතුරු දැනගැනීම සඳහා 2007 ජූලි 1 මුරටැඹ කලාපයේ “එසකියෙල් පොතෙන් විශේෂාංග—පළමුවන කොටස” බලන්න.

[9වන පිටුවේ පින්තූරය]

එසකියෙල් දර්ශනයෙන් දුටු තේජවත් දේවමාලිගාව

[10වන පිටුවේ පින්තූරය]

එසකියෙල් දුටු ජීවනය ගෙන දෙන ජල දහරාවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.