Skip to content

පටුනට යන්න

‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’

‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’

‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’

“දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමය.”—ලූක් 12:21.

1, 2. (අ) මිනිසුන් ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න පවා කැමති විය හැක්කේ කුමක් වෙනුවෙන්ද? (ආ) අපට අද දින මුහුණ දෙන්න තිබෙන අභියෝගය කුමක්ද?

ඈත අතීතයේ සිටම නිධාන සෙවීමට මිනිසුන් හට ආශාවක් තිබී ඇති බව අපි කවුරුත් දන්නවා. උදාහරණයකට දහනවවන සියවසේදී සිදු වූ දේ සලකා බලන්න. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කැනඩාව සහ එක්සත් ජනපදය වැනි රටවල රත්තරන් තිබෙන බව සොයාගනු ලැබුවා. එවිට බොහෝ මිනිසුන් තම ගේ දොර, වතු පිටි, නෑදෑ හිතමිතුරන් හා තම පවුලේ අයව පවා අත්හැර දුර ඈත ගොස් ඒවා ලබාගන්න පෙලඹුණා. විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණත් ඔවුන් එම අභියෝගය භාරගත්තේ තමන් ආශා කළ වස්තුව ලබාගන්නයි.

2 ඔබ පෞද්ගලිකවම රත්තරන් සොයාගැනීමට එවැනි වෑයමක් දරන්නේ නැතුව ඇති. නමුත් අද දින ජීවිතය ගෙන යෑමට අපි හැමෝටම ලොකු සටනක් කරන්න සිදු වෙනවා. ඇත්තෙන්ම එය අභියෝගයක් මෙන්ම ඉතා වෙහෙසකර වූ දෙයක්. ඒ නිසා කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් ගැන අපි උවමනාවට වඩා සිතද්දී තවත් වැදගත් දේවල් අපිට අමතක වෙන්න පුළුවන්. (රෝම 14:17) එවැනි තත්වයකට මුහුණ දුන් යම් පුද්ගලයෙකු ගැන යේසුස් උපමාවකින් පැහැදිලි කළා. එය ලූක් 12:16-21හි වාර්තා වී තිබෙනවා.

3. ලූක් 12:16-21හි සඳහන් යේසුස් පැවසූ උපමාව කෙටියෙන් විස්තර කරන්න.

3 මෙම උපමාව යේසුස් පැවසුවේ කලින් ලිපියේ සඳහන් තණ්හාව ගැන උපදෙස් දුන් අවස්ථාවේදීමයි. යේසුස් පැවසුවේ එක්තරා ධනවතෙකු ගැනයි. ඔහුට ධාන්‍ය රැස් කර ඇති ගබඩා තිබුණත් ඔහු ඉන් සෑහීමට පත් වෙන්නේ නැහැ. ඔහු ඒවා කඩා දමා ධාන්‍ය රැස් කළ හැකි වඩා විශාල ගබඩාවන් ඉදි කරනවා. පසුව තම ජීවිතය විවේක සුවයෙන් ගත කරන්න පුළුවන් කියලා ධනවතා සිතුවත් දෙවි කියන්නේ ඔහුගේ ජීවිතය අවසන් වෙන බවයි. ඒ නිසා ඔහු රැස් කර තිබෙන සියල්ල වෙනත් කෙනෙකු භුක්ති විඳින්න යනවා. උපමාව අවසන් කරමින් යේසුස් මෙහෙම කිව්වා. “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමයි.” (ලූක් 12:21) මෙම උපමාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද කියාත් එය අපේ ජීවිතයට අදාළ කරගත හැක්කේ කොහොමද කියාත් අපි දැන් සලකා බලමු.

තීරණයක් ගත යුතු වූ මිනිසෙක්

4. යේසුස් සඳහන් කළ ධනවතා මොන වගේ පුද්ගලයෙක්ද?

4 බහුතරයක් මිනිසුන් යේසුස් පැවසූ මෙම උපමාව ගැන අසා තිබෙනවා. “එක්තරා ධනවතෙකුගේ වත්තෙන් හොඳ පලදාවක් ලැබුණේය” කියා පවසමින් යේසුස් මේ උපමාව ආරම්භ කළා. ඒත් කොයිම අවස්ථාවකවත් ඔහු කිව්වේ නැහැ මෙම ධනවතා පොහොසත් වී තිබෙන්නේ නීති විරෝධී ලෙසවත් වංචාවෙන්වත් කියලා. එම උපමාවෙන් පෙනෙන්නේ ඔහු අනාගතය වෙනුවෙන් සැලසුම් කරමින් මහන්සි වී වැඩ කළ බවයි. සමහරවිට ඔහු එසේ කළේ තම පවුලේ යහපත වෙනුවෙන් වෙන්න ඇති. එයින්ද අපි දකින්නේ ඔහු නොපිරිහෙළා තම වගකීම් ඉටු කරන්න ගත් උත්සාහයයි.

5. ධනවතා නොසිතූ ලෙස මුහුණ දුන්නේ කුමකටද?

5 මෙම ධනවතාට නොසිතූ ලෙස ඔහුගේ වගාවෙන් ලොකු පලදාවක් ලැබුණා. ඔහු කවදාවත් එවැනි දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඇති. නමුත් ඒවා රැස් කර තබාගන්න තරම් ඉඩක් ඔහුගේ ගබඩාවල තිබුණේ නැහැ. ඇත්තෙන්ම එය ඔහුට අවශ්‍ය වූ ප්‍රමාණයටත් වඩා වැඩි වුණා. එවන් තත්වයකදී ඔහු කළ යුතුව තිබුණේ කුමක්ද?

6. දෙවිගේ සේවකයන්ට කුමන ප්‍රස්තාවන් උදා විය හැකිද?

6 ධනවතා මුහුණ දුන්නා හා සමාන තත්වයන්ට අද දින සිටින දෙවිගේ සේවකයන්ටත් මුහුණ දෙන්න සිදු වෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් අවංකව සේවය කරන්න උත්සාහ කරන නිසා ඔවුන් සේවය කරන ආයතනයේ යම් උසස් වීමක් හෝ වෙනත් රැකියා ප්‍රස්තාවක් ලැබෙන්න පුළුවන්. නැතහොත් තමන්ගේම ව්‍යාපාරය තවත් පුළුල් කිරීමේ ප්‍රස්තාවක් ඔවුන්ට උදා වෙන්න පුළුවන්. (කොලොස්සි 3:22, 23) එමෙන්ම ක්‍රිස්තියානි යෞවනයන්ද තම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නිපුණත්වයක් පෙන්වන නිසා, ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක වැඩිදුරටත් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඔවුන්ට උදා වෙන්න පුළුවන්. එවැනි තත්වයන්වලදී ක්‍රිස්තියානීන් ගත යුතු තීරණය කුමක්ද?

7. අස්වැන්න සම්බන්ධයෙන් ධනවතා ගත් තීරණය කුමක්ද?

7 යේසුස් සඳහන් කළ ධනවතාට මහත් අස්වැන්නක් ලැබුණු විට ඔහු කළේ කුමක්ද? ඔහු තීරණය කළා පරණ ගබඩා කඩා දමා ඒ වෙනුවට වඩා විශාල ගබඩාවන් ඉදි කරන්න. එසේ කිරීමෙන් තම අනාගතය ගැන කරදර වෙන්න කිසිම හේතුවක් නැහැ කියා ඔහු සිතුවා. ඒ නිසා ඔහු තමාටම මෙසේ කියාගත්තා. “ඔබ වෙනුවෙන් අවුරුදු ගණනකට වටිනා දේවල් බොහොමයක් රැස් කර තිබේ. විවේක සුවයෙන් හිඳ, කා බී, ප්‍රීති වන්න.”—ලූක් 12:19.

“අඥාන” මිනිසෙක්

8. ධනවතා අසමත් වුණේ කුමක් කරන්නද?

8 ධනවතා ගත් තීරණය ප්‍රඥාවන්ත බව පෙනෙන්න තිබුණත් වැදගත්ම දේ වන දෙවිගේ කැමැත්ත කිරීමට ඔහු අසමත් වුණා. ඔහු සිතුවේ කෑමෙන් බීමෙන් තමන්වම සතුටට පත් කරගැනීම ගැන විතරයි. “වටිනා දේවල්” බොහොමයක් තිබෙන නිසා වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියා ඔහු සිතන්න ඇති. නමුත් ඔහු සිතූ ආකාරයටම දේවල් සිදු වුණේ නැහැ. යේසුස් කලින් සඳහන් කර තිබූ ආකාරයට “යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැහැ.” (ලූක් 12:15) එදා රාත්‍රියේදීම දෙවි ඔහුට කතා කර මෙසේ පැවසුවා. “අඥානය, අද රාත්‍රියේදීම ඔබේ ජීවිතය ඉල්ලනු ලැබේ. එවිට ඔබ රැස් කළ මේ දේ ලැබෙන්නේ කාටද?”—ලූක් 12:20.

9. උපමාවේ සඳහන් ධනවතාව අඥානයෙක් කියා හඳුන්වන්නේ ඇයි?

9 දැන් අපි යේසුස්ගේ උපමාවේ වැදගත්ම කාරණය ගැන සලකා බලමු. දෙවි එම ධනවතාව අඥානයෙක් ලෙස හැඳින්නුවා. එක් බයිබල් ශබ්දකෝෂයකට අනුව අඥානයා කියා පැවසීමෙන් අදහස් වුණේ, ඔහු නූගත් බුද්ධිය නැති කෙනෙක් බව නෙවෙයි. “නමුත් ඔහු දෙවි කෙරෙහි විශ්වාසය නොතබා ධනය කෙරෙහි විශ්වාසය තබන කෙනෙකු බවයි. එවැනි කෙනෙකුගේ සියලු සැලසුම් අසාර්ථක වෙයි.” (Exegetical Dictionary of the New Testament) යේසුස් ධනවතා ගැන පැවසූ දෙයින් මුල් සියවසේ ලවොදිසීයේ සිටි ක්‍රිස්තියානීන්ට ඔහු පැවසූ මේ වදන් අපේ මතකයට නැඟෙනවා. “ඔබ මෙසේ කියන්නෙහිය. ‘මා ධනවත්ය, මට ධනය ඇත, මට කිසිම දෙයකින් හිඟයක් නැත.’ එහෙත් ඔබ කාලකණ්ණියෙකු බවද, අනුකම්පාව ලැබිය යුත්තෙකු බවද ඔබ නොදන්නෙහිය. එසේම ඔබ දිලිඳුව, අන්ධව සහ නිර්වස්ත්‍රව සිටින බවද ඔබ නොදන්නෙහිය.”—එළිදරව් 3:17.

10. “වටිනා දේවල්” තිබීම වැඩි කාලයක් ජීවත් වීමට සහතිකයක් නොවන්නේ ඇයි?

10 යේසුස් දුන් උපමාවේ ඇති වැදගත් පාඩම ගැන අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි. ඒ ධනවතා මෙන් අපිත් මහන්සි වී “වටිනා දේවල්” රැස් කිරීම ගැන සිතමින් “සදාකාල ජීවනය” ලබාගැනීමට කළ යුතු දේ අතපසු කරනවාද? (යොහන් 3:16; 17:3) බයිබලයේ සඳහන් වෙන්නේ “උදහසේ දවසේදී, වටිනා දේවලින් කිසිදු ප්‍රයෝජනයක් නැත” කියා මෙන්ම “තම වස්තුව කෙරෙහි විශ්වාසය තබන්නා පරිහානියට පත් වෙයි” කියායි. (හිතෝපදේශ 11:4, 28 නව ලොව පරිවර්තනය, NW) ධනවතාගේ උපමාව අවසන් කරමින් යේසුස් පැවසුවේ මෙසේයි. “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමය.”—ලූක් 12:21.

11. ධනය කෙරෙහි පමණක් සම්පූර්ණ විශ්වාසය තැබීම නිෂ්ඵල දෙයක් වෙන්නේ ඇයි?

11 වස්තුව කෙරෙහි පමණක් සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන අයට ධනවතාට සිදු වූ ‘ඒ දේම’ සිදු වෙන බව යේසුස් පැවසුවා. යමෙක් පොහොසත්ව සිටීම ගැටලුවක් නෙවෙයි. නමුත් වස්තුව කෙරෙහි පමණක් විශ්වාසය තබා දෙවි ඉදිරියෙහි පොහොසත් නොවීමයි ගැටලුව. ඒ ගැන බයිබල් ලේඛක යාකොබ්ද අනතුරු ඇඟෙව්වා. “‘අද හෝ හෙට හෝ අපි අහවල් නගරයට ගමන් කොට එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කොට ලාභ උපයමු’ යයි කියන්නාවූ ඔබ දැන් සවන් දෙන්න. හෙට ඔබේ ජීවිතය කෙසේ වේදැයි ඔබ දන්නේ නැත. . . . එබැවින් ඔබ කිව යුත්තේ, ‘යෙහෝවා කැමති නම්, අපි ජීවත් වී මේ දෙය හෝ ඒ දෙය හෝ කරන්නෙමු.’” (යාකොබ් 4:13-15) කෙනෙකුට මහත් වස්තුවක් හා ධනයක් තිබුණත් ඔහු දෙවි ඉදිරියෙහි පොහොසත් නැත්නම් ඒ සියල්ල නිෂ්ඵලයි. එසේනම් දෙවි ඉදිරියෙහි පොහොසත් වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවි ඉදිරියෙහි පොහොසත් වීම

12. දෙවි ඉදිරියෙහි පොහොසත් වීමට අප කළ යුත්තේ කුමක්ද?

12 තමාටම වස්තු රැස් කරගැනීමත් දෙවි ඉදිරියෙහි පොහොසත් වීමත් අතර ලොකු වෙනසක් තිබෙනවා. යේසුස් පැවසුවේ අපටම වස්තු රැස් කරගැනීම ජීවිතයේ මූලිකම දෙය නොවිය යුතු බවයි. ඒ වෙනුවට අපි උත්සාහ කළ යුත්තේ දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගන්නා ආකාරයෙන් අපි සතු දේවල් යොදාගන්නයි. එසේ කිරීමෙන් දෙවි අපිට බොහෝසෙයින් ආශීර්වාද කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි ඉදිරියෙහි පොහොසත් වීමට අපට හැකි වෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත් කරයි. ඔහු ඊට කිසි දුකක් එකතු නොකරන්නේය” කියායි.—හිතෝපදේශ 10:22.

13. දෙවිගේ ආශීර්වාදය ඊශ්‍රායෙල්වරුන්ව “පොහොසත්” කළේ කෙසේද?

13 තම සෙනඟට ආශීර්වාද කරන විට යෙහෝවා දෙවි ඔවුන්ට ලබා දෙන්නේ හොඳම දෙයයි. (යාකොබ් 1:17) උදාහරණයකට ඔහු ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් පොරොන්දු දේශය “කිරියෙන් හා පැණියෙන් ඉතිරී ගිය” දේශයක්. ඊජිප්තු දේශයද ඒ හා සමාන බව විස්තර කර තිබුණත් යම් සුවිශේෂී ආකාරයකින් පොරොන්දු දේශය ඊට වඩා වෙනස් වුණා. එම වෙනස කුමක්ද? මෝසෙස් පැවසුවේ එය “ඔබේ දෙවි වූ යෙහෝවා සලකන දේශයක්” කියායි. ඉන් අදහස් වුණේ දෙවි ඔවුන්ව රැකබලා ගන්නා නිසා ඔවුන් සමෘද්ධිමත් වෙන බවයි. එම ජාතිය දෙවිට පක්ෂපාතව ජීවත් වූ තාක් කල් දෙවි පුදුමාකාර ලෙස ඔවුන්ට ආශීර්වාද කළා. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනත් ජාතීන්ට වඩා ඔවුන්ට තම ජීවිත සතුටින් ගත කරන්න පුළුවන් වුණා. ඉන් පැහැදිලි වෙන්නේ දෙවිගේ ආශීර්වාදය ඇත්තෙන්ම කෙනෙකුව “පොහොසත්” කරන බවයි!—ගණන් කතාව 16:13; ද්විතීය කතාව 4:5-8; 11:8-15.

14. දෙවි ඉදිරියෙහි පොහොසත් අය අද්දකින්නේ කුමක්ද?

14 සාමාන්‍යයෙන් ධනවත් අය උත්සාහ කරන්නේ තමන් ජීවත් වෙන ආකාරයෙන් අන් අය ඉදිරියෙහි කැපී පෙනෙන්නයි. එනම් “තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමටයි.” (1 යොහන් 2:16) ඊට හාත්පසින්ම වෙනස්ව දෙවිගේ සේවකයන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ අනුමැතිය සහ මහත් කරුණාව ලබාගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වෙන කොහෙන්වත් ලබාගත නොහැකි සුරක්ෂිතභාවයක් හා සතුටක් අද්දකිනවා. (යෙසායා 40:11) නමුත් දෙවි ඉදිරියෙහි පොහොසත් වීමට අපි කළ යුත්තේ කුමක්ද?

දෙවි ඉදිරියෙහි පොහොසත් වන අයුරු

15. දෙවි ඉදිරියෙහි පොහොසත් වීමට අපි කළ යුත්තේ කුමක්ද?

15 කලින් සඳහන් කළ ලෙස ධනවතා මහන්සි වුණේ තමාටම වස්තු රැස් කරගන්න පමණයි. ඒ නිසයි ඔහුව අඥානයා කියා හැඳින්වූයේ. නමුත් දෙවි ඉදිරියෙහි පොහොසත් වීමට නම් දෙවි වැදගත් කොට සලකන ක්‍රියාකාරකම්වල අපි නිරත විය යුතුයි. ඊට අයත් දෙයක් වන්නේ “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” යන කාර්යයයි. (මතෙව් 28:19) අපේ කාලය, ශක්තිය සහ හැකියාවන් පාවිච්චි කළ යුත්තේ අපේම දියුණුව වෙනුවෙන් විතරක් නෙවෙයි. ඒ වෙනුවට ශුභාරංචිය දේශනා කිරීම හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය සඳහායි. එසේ කිරීමෙන් දෙවිගේ ආශීර්වාද ලැබූ අයගේ අද්දැකීම් දෙකක් අපි දැන් සලකා බලමු.—හිතෝපදේශ 19:17.

16, 17. දෙවි ඉදිරියෙහි පොහොසත් විය හැකි ආකාරය පෙන්වන අද්දැකීම් මොනවාද?

16 එක්තරා ආසියානු රටක ජීවත් වන සහෝදරයෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහු පරිගණක කාර්මිකයෙක් ලෙස ඉහළ වැටුපක් ලබන රැකියාවක නිරත වුණා. කෙසේවෙතත් ඔහුට රැකියාව වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න සිදු වූ බැවින් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඒ නිසා ඔහු තීරණය කළා රැකියාව අත්හරින්න. පසුව ඔහු අයිස් ක්‍රීම් වෙළඳාමක් සුළුවෙන් පටන්ගත් අතර එමගින් දෙවිගේ සේවයේ වැඩිපුර නියැලෙන්න ඔහුට කාලය ලැබුණා. මිත්‍රයන් ඒ ගැන සමච්චල් කළත් ඔහු ගත් තීරණයේ ප්‍රතිඵල ගැන ඔහු පවසන්නේ මෙලෙසයි. “ඉස්සරට වඩා දැන් මම ආර්ථිකව හොඳ තත්වයක ඉන්නවා. ඒ වගේම කලින් රැකියාව නිසා දැනුණ පීඩනයවත් කලකිරීමවත් දැන් මට නැහැ. හැබැයි මම වැඩියෙන්ම සතුටු වෙන්නේ මට යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් වෙලා තියෙන නිසයි.” ඔහු ජීවිතයේ කළ ඒ වෙනස නිසා ඔහුට හැකි වුණා පූර්ණකාලීන සේවය පටන්ගන්න. දැන් ඔහු තම රටේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. මින් පැහැදිලි වෙන්නේ දෙවිගේ ආශීර්වාදය ‘පොහොසත් කරවන’ බවයි.

17 අධ්‍යාපනය ඉහළින් සැලකූ පවුලක හැදී වැඩුණු එක් කාන්තාවකගේ අද්දැකීමද සලකා බලන්න. ඇය ප්‍රංශය, මෙක්සිකෝව සහ ස්විට්සර්ලන්තය ආදි රටවල පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරුවා. ඇය මෙසේ පවසනවා. “මට හොඳ පිළිගැනීමක් තිබුණු නිසා හොඳ රැකියාවන් කරන්න ඕන තරම් අවස්ථා ලැබුණා. ඒත් මට ඒ කිසිම දෙයකින් සතුටක් ලැබුණේ නැහැ.” ඔය අතරේදී ඇයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ලැබුණා. දැන් ඇය පවසන්නේ මෙයයි. “මම සත්‍යය ගැන තව තවත් ඉගෙනගද්දී දෙවි මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද කියලා මම දැනගත්තා. ඒ නිසා මම තේරුම්ගත්තා මට කරන්න තියෙන හොඳම දේ නම් දෙවිට පූර්ණකාලීනව සේවය කිරීම කියලා.” පසුව ඇය රැකියාවෙන් ඉවත් වී බව්තීස්ම වුණා. පසුගිය අවුරුදු 20 පුරාවටම ඇය පූර්ණකාලීන සේවයේ සතුටින් හවුල් වී තිබෙනවා. ඇය තවදුරටත් මෙසේද පැවසුවා. “සමහරු හිතනවා මගේ හැකියාවන් මම නාස්ති කරනවා කියලා. හැබැයි ඒ අය දන්නවා මම ඉන්නේ සතුටෙන් කියලා. මම ජීවිතයට අදාළ කරගන්න ප්‍රතිපත්තිත් ඔවුන් අගය කරනවා. මං හැමදාම යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ ඔහුගේ අනුමැතිය ලබාගැනීම සඳහා නිහතමානීව ජීවත් වෙන්න මට උදව් කරන්න කියලයි.”

18. පාවුල් මෙන් අපිටත් දෙවි ඉදිරියෙහි පොහොසත් විය හැක්කේ කෙසේද?

18 යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට කලින් පාවුල්ටද සමාජයේ ඉහළ තැනකට යන්න අවස්ථාව තිබුණා. නමුත් ඒ ගැන ඔහු කිව්වේ “මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම නිසා සියල්ල අවාසියක්යයි සලකමි” කියායි. (ෆිලිප්පි 3:7, 8) යේසුස් පිළිබඳව පාවුල්ට තිබූ දැනුම ලෝකය ඉදිරිපත් කළ වෙන ඕනෑම දෙයකට වඩා ඔහුට වටිනා දෙයක් වුණා. ඒ හා සමානව අපිත්, අපි වෙනුවෙන්ම ජීවත් නොවී දෙවිගේ කැමැත්ත කරනවා නම් අපිටත් හැකියි දෙවි ඉදිරියෙහි පොහොසත් වී සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න. බයිබලයේ සහතික කරන්නේ මෙයයි. “යටහත් පහත් වීමෙන් සහ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතිව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.”—හිතෝපදේශ 22:4, NW.

ඔබට පැහැදිලි කළ හැකිද?

• උපමාවේ සිටි ධනවතා ගත යුතු වූ තීරණය කුමක්ද?

• එම ධනවතාට අඥානයා කියා පැවසුවේ ඇයි?

• දෙවි ඉදිරියෙහි පොහොසත් වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දෙවි ඉදිරියෙහි පොහොසත් විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

ධනවතාට අඥානයා කියා පැවසුවේ ඇයි?

[27වන පිටුවේ පින්තූරය]

හොඳයයි පෙනිය හැකි යම් ප්‍රස්තාවක් ක්‍රිස්තියානියෙකුට අභියෝගයක් විය හැක්කේ කෙසේද?

[28, 29වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදය පොහොසත් කරයි’