Skip to content

පටුනට යන්න

ජෝර්ජියාවේ සමුළුවකදී “ප්‍රාතිහාර්යයන්” දෙකක්!

ජෝර්ජියාවේ සමුළුවකදී “ප්‍රාතිහාර්යයන්” දෙකක්!

ජෝර්ජියාවේ සමුළුවකදී “ප්‍රාතිහාර්යයන්” දෙකක්!

මෙය සිදු වුණේ ජෝර්ජියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් 2006 ජූලි 7 සිට 9 දක්වා පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවකදීයි. “ගැලවීම අත ළඟයි” යන එම සමුළුවට 17,000ක් පමණ සෙනඟක් පැමිණියා. ඇත්තෙන්ම එය ඔවුන්ට තම ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා මහඟු අවස්ථාවක් වුණා. එහි විශේෂත්වය වුණේ “ප්‍රාතිහාර්යයන්” දෙකක්ම සිදුවීමයි.

එම සමුළුව පැවැත්වීමට අදහස් කළේ ජෝර්ජියාවේ අගනුවර වන ටිබ්ලිසිවලයි. දහස් ගණන් පිරිසකට සහභාගි විය හැකි ස්ථානයක්ද විය යුතු නිසා එම වසරේ ජනවාරිවල සිටම වැඩ පටන්ගත්තා. එපමණක්ද නොව දුරකථන පද්ධතියකට සම්බන්ධ කර එම සමුළුව ඒ වෙලාවෙම ජෝර්ජියාවේ තවත් ස්ථාන පහක පැවැත්වීමටත් සැලසුම් යොදමින් සිටියා.

කලින් විරුද්ධවාදිකම් තිබුණත් පසුගිය වසර කීපයේදී ජෝර්ජියාවල සාක්ෂිකරුවන්ට නමස්කාරය සඳහා යම් නිදහසක් ලැබී තිබුණා. එනිසයි ඔවුන් අගනුවරේම සමුළුව පැවැත්වීමට තීරණය කළේ. ජෝර්ජියානු ජාතිකයන් සාමාන්‍යයෙන් ආගන්තුක සත්කාරයට ලැදි මිත්‍රශීලී සෙනඟක් වුණත් සමහර නිලධාරීන් දැඩි ආගමික මත දැරුවා. ඔවුන් තම ආකල්ප වෙනස් කරගෙන සාක්ෂිකරුවන්ට සමුළුව පැවැත්වීම සඳහා යම් ස්ථානයක් කුලියට ගන්න අවසර දෙයිද?

සමුළුව සංවිධානය කළ සහෝදරයන් ක්‍රීඩාංගන, විශාල ක්‍රීඩාගාර වැනි විවිධ ස්ථානවලට ගියා. ඒ තැන්වල කළමනාකරුවන් මුලින් කැමති වුණත්, දින වෙන් කරගත යුතු බව එම සහෝදරයන් පැවසූ විට එම ස්ථාන කුලියට දෙන්න අකමැති වුණා. ඒත් එම සහෝදරයන්ව පුදුමයට පත් කරවමින්, ටිබ්ලිසිවල සුප්‍රසිද්ධ රඟහලක බලධාරීන් එම රඟහල දීමට එකඟත්වය පළ කළා. එම රටේ බොහෝ විශේෂ අවස්ථා පැවැත්වීම සඳහා යොදාගන්නේ නගර මධ්‍යයෙහි පිහිටි මෙම රඟහලයි.

ඉන් දිරිගැන්වුණු එම සහෝදරයන් ටිබ්ලිසිවල මෙන්ම ස්නෝරී, කුටේසි, සුග්ඩිඩි, කාස්පි සහ ගෝරි යන නගරවලත් සමුළු පැවැත්වීමේ වැඩකටයුතු ඇරඹුවා. දුරකථන පද්ධතියක් හරහා එකම වෙලාවේ එකම වැඩසටහනට සවන් දීමට සැලැස්වීම ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. කෙසේවෙතත් සියල්ල හොඳින් සූදානම් කෙරුණා. ඒත් සමුළුවට කලින් සතියේ හදිසියෙන්ම ටිබ්ලිස්හි රඟහලේ කළමනාකරුවන් තම තීරණය වෙනස් කළා. කිසිම හේතුවක් සඳහන් කරන්නේ නැතුව ඔවුන් පැවසුවේ රඟහල දීමට නොහැකි බවයි.

පළමුවෙනි “ප්‍රාතිහාර්යය”

හැම දෙයක්ම කරන්න ඉතිරිව තිබුණේ දවස් කීපයයි. වෙන කරන්න දෙයක් නැති නිසා සහෝදරයන් තීරණය කළා මාර්නෙවුලීවල සමුළුව පවත්වන්න. එය ටිබ්ලිසිවලට කිලෝමීටර් 40ක් ඈතින් පිහිටි ගම්මානයක්. එහි සිටින වැඩි පිරිසක් වගා කටයුතුවල යෙදෙන අයයි. කලින් සමුළු බොහොමයක් පවත්වා තිබෙන්නේ එහි පදිංචි සාක්ෂිකාර පවුලකගේ ඉඩමෙයි. ඒක විශාල වත්තක්. පසුගිය වසර දහය පුරාම ටිබ්ලිසිවල සභාවන්ට පවා සමුළු පවත්වන්න හැකි වුණේ මේ ඉඩමේ පමණයි. කෙසේවුවත්, දරුණු පහරකෑම්වලට සාක්ෂිකරුවන් ලක් වුණෙත් මේ ප්‍රදේශයේමයි.

උදාහරණයකට 2000 සැප්තැම්බර් 16වෙනිදා සිදු වුණ දේ සලකා බලන්න. එහි පැවැත්වුණ සමුළුවකට යමින් සිටි සහෝදරයන්ව පොලිසිය විසින් අතර මඟදී නතර කළා. ඒත් එක්කම ක්‍රිස්තියානි පූජකයෙකුගේ උසිගැන්වීම පිට බස් රථවලින් පැමිණි මැරවර පිරිස් සහෝදරයන්ව වාහනවලින් එළියට ඇදලා අරන් කෲර ලෙස පහර දුන්නා. ඔවුන් සතු දේවල් වගේම ඔවුන්ගේ බයිබල් සහ පොත් පත් පවා පැහැරගත්තා.

මාර්නෙවුලී සමුළු භූමියටත් මැරයන් 60දෙනෙක් විතර ඇවිත් සාක්ෂිකරුවන්ට පහර දුන්නා. හතළිස්දෙනෙක් පමණ තුවාල ලැබූ අතර එක සහෝදරයෙකුගේ පපුවට පිහියකින් ඇන්නා. සමහර මැරයන් ඔවුන්ගේ බලය පෙන්වීමට අහසට වෙඩි තියාගෙන තියාගෙන ගියා. එක්කෙනෙක් ඉඩමේ හිමිකාරියට තුවක්කුව එල්ල කරගෙන ඇගේ මුදල් සහ රන් ආභරණත් බලෙන් අරන් ඇගේ නිවසටත් පැනලා වටිනා බඩු මුට්ටුත් කොල්ල කෑවා. ජනේල කඩා දමා බයිබලය මත පදනම් පොත් පත් ටොන් එකහාමාරක් මෙන්ම සමුළුව සඳහාම සෑදූ බංකුත් පුච්චලා දැම්මා. මේ අපරාධය වළක්වනවා වෙනුවට පොලිස් නිලධාරීන් ඊට හවුල් වුණා. *

ආපහු ඒ වගේ තර්ජනයක් එයිද කියලා කල්පනා කරන ගමන්ම 2,500කට පමණක් ඉඩ තියෙන තැනකට 5,000දෙනෙකුව දැමිය හැක්කේ කොහොමද කියලා කල්පනා කරන්නත් සංවිධායක සහෝදරයන්ට සිදු වුණා. කොහොමද ඔවුන් විසඳුමක් සොයාගත්තේ? සිදු වුණේ ප්‍රාතිහාර්යයක් වගේ දෙයක්. යාබද ඉඩම් දෙකක හිමිකරුවන් ඔවුන්ගේ වතු කුලියට දෙන්න ඉදිරිපත් වුණා.

සමුළුවට කලින් මුළු සතිය පුරාම වර්ෂාව ඇදහැලුණ නිසා සමුළුව පැවැත්වීමට මෙම වතු සුදුසු තත්වයකට ගෙන එන එක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ වතුවල අල වගා කර තිබුණා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි සහෝදර සහෝදරියන්ට අල ගැලවීමට සිදු වුණේ මහ වැස්සෙමයි. ඉඩම් අතර වැටවල් ගලවලා විශාල මඩුවක් ගහන්නත්, ලී බංකු හදන්නත්, අමතර ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරන්නත් ඔවුන්ට සිදු වුණා. ඔවුන් මේ හැම දෙයක්ම කළේ නිදි මරමින් දිවා රෑ දෙකේම වෙහෙස වෙමිනුයි.

හැමෝම කල්පනා කළේ “සමුළුව දවස්වලදීත් වැස්ස පායන්නේ නැතුව තියෙයිද” කියලයි. “එහෙම වුණොත් නං මඩ නාන්නයි වෙන්නේ” කියලා ඔවුන්ට කියවුණා. බිම ඇතිරීමට ඔවුන් පිදුරුත් මිල දී ගත්තා. සියල්ල සූදානම් කර හමාර වෙද්දී ටිකෙන් ටික හිරු එබිකම් කළා! සමුළුවේ මුළු දවස් තුන පුරාවටම භූමිය හිරු කිරණින් නෑවී තිබුණේ සහෝදරයන්ට මද උණුසුමක්ද ලබා දෙමිනුයි.

සමුළුවට පැමිණි අයට දක්නට ලැබුණේ සුන්දර ගැමි පරිසරයක්. එම නිස්කලංක වටපිටාවේ ඉද්දී ඔවුන්ට දැනුණේ ඔවුන්ව මොහොතකට පාරාදීසයට රැගෙන ගියා වගෙයි. සුවපහසුවෙන් අසුන්ගෙන සිටි ඔවුන්ගේ නෙත් හමුවේ ධාන්‍ය මෙන්ම තක්කාලි වතු යායවල්ද, පලතුරු ගස්ද දිස් වුණා. වේදිකාව පිටුපස මිදිවැල් එතී තිබුණේ අලංකාර සැරසිල්ලක් කර තිබෙනවා වගෙයි. වැඩසටහන අතරතුරේ ඉඳ හිට කුකුළන් හඬලන හඬත් ඇසුණා. මෙසේ ගැමි පරිසරයටම ආවේණික හඬවල්වලින් එහි නිහැඬියාව බිඳී ගියත් එය සවන් දෙන්නන්ට හිරිහැරයක් වෙනවා වෙනුවට ආස්වාදයක් ගෙන දුන්නා. ඒවා බාධාවක් කර නොගෙන රැස්ව සිටි සෙනඟ ඉමහත් උනන්දුවකින් මේ විශිෂ්ට බයිබල් අධ්‍යාපනික වැඩසටහනට සවන් දුන්නා. කෙසේවෙතත් මෙම සමුළුවේ සිදු වූ අමතක නොවන සිද්ධීන් ඒවා විතරක්ම නොවෙයි.

දෙවෙනි “ප්‍රාතිහාර්යය”

සිකුරාදා උදේ වැඩසටහනේ අවසන් භාගයේදී පැමිණ සිටි අයව පුදුමයට පත් කළ දෙයක් සිදු වුණා. ශුද්ධ ලියවිලිවල නව ලොව පරිවර්තනය ජෝර්ජියානු භාෂාවෙන් දැන් මුදාහැරෙයි කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්‍රි ජැක්සන් දැනුම් දුන්නා. * පුදුමයෙන් පුදුමයට පත් වූ බොහෝදෙනෙකුගේ නෙත් සතුටු කඳුළින් පිරී ගියා. එක් පවුලක් ඔවුන් අද්දැක්ක සතුට වචනවලට ගොනු කළේ මෙලෙසයි. “මේක නම් පුදුම වැඩක්. ඇත්තෙන්ම යෙහෝවා දෙවි කළ ප්‍රාතිහාර්යයක්. කෙටි කාලෙකින් මේ තරම් දැවැන්ත වැඩක්! ඔහුට කොහොම ස්තුති කරන්නද කියලා අපිට හිතාගන්නවත් බැහැ.”

ඉන් එක සමුළු ස්ථානයකදී දුරකථන පද්ධතිය හරහා වැඩසටහනට සවන් දුන් සහෝදරියක් මෙලෙස පැවසුවා. “සම්පූර්ණ බයිබලය අතට ලැබුණහම දැනුණ ප්‍රීතිය විස්තර කරන්න ඇත්තෙන්ම වචන නැහැ. මේ කදිම දවස් තුනේ සමුළුව වෙනුවෙන් මම ඕගොල්ලන්ට ස්තුති කරන්න කැමතියි. මේක නම් ජීවිතේටවත් අමතක නොවෙන අවස්ථාවක්.” බටහිර ජෝර්ජියාවේ සභාවක සිටින එක පවුලක් මෙසේ පැවසුවා. “මේ වෙනකම් අපේ පවුලටම තිබුණේ එක බයිබලයයි. ඒත් දැන් අපි හතරදෙනාටම නව ලොව පරිවර්තනයේ පිටපත් එක ගාණේ තියෙනවා. දැන් අපිට වෙන වෙනම බයිබලය පාඩම් කරන්න පුළුවන්.”

කොහොමනමුත් බයිබල් පිටපත් ගෙන්වාගැනීම ලේසි පහසු වැඩක් වුණේ නැහැ. මෙම නව ලොව පරිවර්තනයේ පිටපත් තොගය මුද්‍රණය කරලා ජෝර්ජියාවට එවා තිබුණත් ජෝර්ජියාවේ ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන් ඒවා භාරගැනීමට අකමැත්ත පළ කරලා තියෙනවා. ඉන්පසු සහෝදරයන් රාජ්‍ය විමර්ශන නිලධාරියාගේ පිහිට පැතුවා. ඔහු පියවර ගත් නිසයි දිස්ත්‍රික් සමුළුවේදී බයිබල් පිටපත් මුදාහැරීමට ප්‍රස්තාව ලැබුණේ. ඔහුගේ කාර්යාලයටත් මේ නව බයිබල් පිටපත් ගෙන්වාගැනීම සඳහා ඔහු නිලධාරියෙකුව මාර්නෙවුලීවල පැවති සමුළුවට එව්වා.

ජෝර්ජියානු ක්‍රමයට සාදරයෙන් පිළිගනියි

මාර්නෙවුලී දිස්ත්‍රික් සමුළුව ජෝර්ජියාවේ සාක්ෂිකරුවන්ට විශේෂ අවස්ථාවක් වුණ තවත් හේතුවක් නම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුගේ පැමිණීමයි. ඔහුව පෞද්ගලිකව උණුසුම් ලෙස පිළිගැනීමටයි සියලුදෙනාටම ඕන වුණේ. ඒ අවස්ථාව ඔවුන්ට සලසා දීමට සහෝදර ජැක්සන්ට සමුළුවට පෙරත්, සැසිවාර අතරේදීත්, ඉන්පසුවත් පැය ගණනක් හිටගෙන ඉන්න සිද්ධ වුණා. ඒත් ඔහු ඒක කළේ හරිම සතුටින්.

මෙවැනිම අගය කිරීමක් 1903දී පැවැත්තුව සමුළුවක අවසානයේදීත් සිදු වී තිබුණා. එක සහෝදරයෙක් කියා තිබෙන්නේ මෙවැනි දෙයක්. “මං දුප්පත් කෙනෙක්. ඒත් මට කීයක් දෙනවා කිව්වත් මේ සමුළුවෙන් ලැබුණ දේවල් නම් මං කාටවත් විකුණන්නේ නැහැ.” සියවසක් ගෙවී ඇතත් ජෝර්ජියාවල 2006දී පැවැත්තුව අතිවැදගත් සමුළුවලට පැමිණි සාක්ෂිකරුවන්ටත් තිබෙන්නේ එම හැඟීමමයි.

[පාදසටහන්වල]

^ 10 ඡේ. ජෝර්ජියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අත්විඳි පීඩා පිළිබඳව වැඩි විස්තර සඳහා 2002 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ 18-24 දක්වා පිටු බලන්න.

^ 16 ඡේ. ජෝර්ජියානු භාෂාවෙන් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල නව ලොව පරිවර්තනය මුදාහැරියේ 2004දීයි.

[19වන පිටුවේ කොටුව]

“කුඩා තැනැත්තා” වර්ධනය වෙයි

“කුඩා තැනැත්තේ දහසක්ද සුළු අය බලවත් ජාතියක්ද වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගවත් කරන්නෙමි” යන වදන් අද ජෝර්ජියාවේ සැබෑවක් වෙලා! (යෙසායා 60:22 නව ලොව පරිවර්තනය) වසර 20කට නොවැඩි කලක් පුරා ජෝර්ජියාවේ රාජ්‍ය ප්‍රචාරකයන් 100කටත් වඩා අඩු ගණනක සිට 16,000ක් වැනි සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබෙනවා. උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන මොවුන් සෑම සතියකම නිවාස බයිබල් පාඩම් 8,000ක් පමණ පවත්වමින් සිටිනවා. ඉදිරියේදීත් ජෝර්ජියාවේ විශාල වර්ධනයක් දැකිය හැකි වෙයි.

[16වන පිටුවේ රූප සටහන/සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

රුසියාව

ජෝර්ජියා

⇨ සුග්ඩිඩි

⇨ කුටේසි

මාර්නෙවුලී ⇨ ගෝරි

⇨ කාස්පි

⇨ ස්නෝරී

ටිබ්ලිසි

තුර්කිය

අසර්බයිජානය

ආර්මේනියාව

[හිමිකම් විස්තර]

Globe: Based on NASA/Visible Earth imagery

[16වන පිටුවේ පින්තූරය]

ටිබ්ලිසිවල ස්මාරකය

[17වන පිටුවේ පින්තූර]

මාර්නෙවුලීවල සමුළුව දුරකථන පද්ධතියක් හරහා ඒ වෙලාවෙම තවත් ස්ථාන පහකත් පැවැත්වුවා

[18වන පිටුවේ පින්තූර]

“නව ලොව පරිවර්තනය” ජෝර්ජියානු භාෂාවෙන් මුදාහරිද්දී පැමිණ සිටි සියලුදෙනාම සිටින්නේ පුදුමය දනවන ප්‍රීතියකින්