Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සාවුල් රජ කලින් දාවිත්ව දැනගෙන සිටියත් දාවිත් ගොලියත්ව මැරුවට පස්සේ ‘පුතේ, ඔයාගේ තාත්තා කවුද?’ කියා සාවුල් දාවිත්ගෙන් ඇසුවේ ඇයි?—1 සාමුවෙල් 16:22; 17:58; නව ලොව පරිවර්තනය, NW. 

සමහරු හිතන්න පුළුවන් සාවුල් දාවිත්ගෙන් එහෙම ඇහුවේ ඔහුට දාවිත්ව අමතක වුණ නිසා කියලා. නමුත් එය වැරදියි. හේතුව 1 සාමුවෙල් 16:18-23හි සාවුල් දාවිත්ව තමා වෙතට ගෙන්වාගෙන ඔහුට බොහෝ ඇලුම් කර දාවිත්ව තම ආයුධ දරන්නා ලෙස පත් කළ බව වාර්තා වී තිබීමයි. ඒ නිසා සාවුල් දාවිත්ව ඉතා හොඳින් හඳුනාගෙන සිටියා කියා පැවසිය හැකියි.

සමහර බයිබල් විචාරකයන් කියන්නේ 1 සාමුවෙල් 17:12-31 සහ 17:55–18:5 දක්වා ඇති තොරතුරු පසු කාලවලදී බයිබලයට ඇතුළත් කර ඇති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ බයිබල් පරිවර්තනයක් වන ග්‍රීක් සෙප්ටූඅජින්ට් ලියවිලිවලට අයත් සමහර පිටපත්වල එම තොරතුරු සඳහන් නොවීමයි. නමුත් ඒ පිටපත්වල එය සඳහන් නොවූ පමණින් එවැනි නිගමනයකට එළඹීම ඥානවන්ත නැහැ. හේතුව වෙනත් පුරාණ විශ්වාසවන්ත හෙබ්‍රෙව් අත්පිටපත්වල එම වාර්තාව ඇතුළත් වී තිබීමයි. *

සාවුල්, දාවිත්ගේ පියා සම්බන්ධයෙන් අබ්නේර්ගෙන් සහ පසුව දාවිත්ගෙන්ම තොරතුරු විමසීමෙන් එක් දෙයක් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වුණේ දාවිත්ගේ පියාගේ නම දැනගන්න විතරක් නෙවෙයි නමුත් ඔහුගේ පියා මොන වගේ කෙනෙක්ද කියා දැනගන්නයි. සාවුල් හිතන්න ඇති ගොලියත් වැනි යෝධයෙකුව මරන්න තරම් නිර්භීතකමක් දාවිත් තුළ ඇති කළ ඔහුගේ පියා ඇතුළු පවුලේ අනිකුත් අය තුළත් එවැනිම නිර්භීතකමක් තියෙන්න පුළුවන් කියා. ඒ නිසා ඔවුන්වත් තම හමුදාවට බඳවාගන්න සාවුල් කල්පනා කරන්න ඇති.

පළමුවෙනි සාමුවෙල් 17:58හි [NW] සඳහන් වෙන්නේ “මම බෙත්ලෙහෙම්හි ජීවත් වෙන ඔබේ සේවකයා වන යෙස්සේගේ පුතා” කියා දාවිත් දුන් කෙටි පිළිතුර පමණයි. නමුත් “1 සාමුවෙල් 18:1හි ‘දාවිත් සාවුල් සමඟ කතා කළාට පසු’ කියා සඳහන් වෙන නිසා” සී. එෆ්. කයිල් සහ එෆ්. ඩෙලිච් වැනි අය කියන්නේ “එම සාකච්ඡාව දීර්ඝ එකක් වූ අතර ඒ අවස්ථාවේ සාවුල් දාවිත්ගේ පවුලේ වග තුග පවා විමසුවා” කියායි.

සාවුල් දාවිත්ව හොඳින් හඳුනාගෙන සිටි නිසා, ‘පුතේ, ඔයාගේ තාත්තා කවුද?’ කියා විමසීමෙන් ඔහුට ඕන වුණේ තවදුරටත් දාවිත් ගැන දැනගන්න නොව ඔහුගේ පවුලේ අය ගැන දැනගන්න බව පැහැදිලියි.

[පාදසටහන]

^ 4 ඡේ. සෙප්ටූඅජින්ට් ලියවිලිවල දක්නට නැති කොටස් සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures, දෙවන වෙළුමේ 855වන පිටුව බලන්න.—සිංහලෙන් නැහැ.

[31වන පිටුවේ පින්තූරය]

දාවිත් කාගේ පුතාද කියා සාවුල් ඇසුවේ ඇයි?