Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම මහත් වරප්‍රසාදයක්

යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම මහත් වරප්‍රසාදයක්

ජීවිත කතාව

යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම මහත් වරප්‍රසාදයක්

සේරා ස්ටයිගර්ස්

මාත් එක්ක පූර්ණකාලීන සේවයේ හවුල් වුණ මගේ ස්වාමිපුරුෂයා 1938දී මිය ගියා. ඒ නිසා මායි මගේ දරුවන් දෙන්නයි තනි වුණා. ටික කාලෙකට මට පූර්ණකාලීන සේවයෙන් ඉවත් වෙන්න සිදු වුණත් මම කොහොමහරි ආපහු ඒ ඉලක්කය අත් කරගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා කියන්න කලින් මගේ ජීවිතයේ ලබපු අද්දැකීම් ටිකක් ගැන කියන්න මට ඉඩහරින්න.

මම ඉපදුණේ 1907 ජූලි 27වෙනිදා එක්සත් ජනපදයේ ඇලබාමාවලයි. ඊට පස්සේ අපේ දෙමව්පියන් මාවයි මගේ නංගිලා දෙන්නවයි මල්ලිවයි අරගෙන ජෝර්ජියාවට ගියා. එහෙන් ටෙනසිවලටත් පස්සේ ෆ්ලෝරීඩාවලටත් යන්න සිද්ධ වුණා. අපි ෆ්ලෝරීඩාවල ඉන්නකොට තමයි “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” නැරඹුවේ. ඒ 1916දීයි. චිත්‍රපටි නිෂ්පාදනය ඒ දවස්වල එච්චර දියුණු තත්වයක තිබුණේ නැති නිසා, හඬ කැවූ නාට්‍යයක් නරඹන්න ලැබුණු එක අපිට අලුත්ම අද්දැකීමක් වුණා.

මගේ දෙමව්පියන් මුරටැඹ සඟරා ඇතුළු බයිබලය මත පදනම් ප්‍රකාශන හරිම උනන්දුවෙන් කියෙව්වා. ඒත් මගේ තාත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණේ නැහැ. හැබැයි අම්මා නම් අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට අරගෙන ගියා. අපි මිචිගන්වල පදිංචියට ගියාට පස්සේ අපිට සිද්ධ වුණා සැතපුම් දහයක් විතර දුර ගෙවාගෙන කෝච්චියෙන් ඉන්ඩියානාවල රැස්වීම්වලට යන්න.

වර්ෂ 1924 ජූලි 22වෙනිදා තමයි මම බව්තීස්ම වුණේ. වැඩි කල් යන්න කලින් මගේ අම්මා යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න පටන්ගත්තා. එදා ඉඳලා මටත් හිතුණා කවදාහරි අම්මා වගේ මාත් පූර්ණකාලීන සේවය කරන්න ඕනෙ කියලා.

සහකරුවෙක් මුණගැසෙයි

වර්ෂ 1925දී ඉන්ඩියානාවල පැවති සමුළුවට ගිය වෙලාවේ චිකාගෝවලින් ඇවිල්ලා හිටපු ජේම්ස්ව මට මුණගැහුණා. එයා යෙහෝවා දෙවිට හරිම උනන්දුවෙන් සේවය කරන කෙනෙක් කියලා මට හිතුණා. හැබැයි අපේ ගෙවල්වල ඉඳලා එයා නැවතිලා හිටපු තැනට කිලෝමීටර් 160ක විතර දුරක් තිබුණා. ඒ දවස්වල චිකාගෝවල තිබුණේ එක සභාවක් විතරයි. රැස්වීම් පැවැත්තුවෙත් කුලියට ගත් කාමරයක. ජේම්ස් නිතරම වගේ මාව දිරිගන්වමින් ලියුම් එව්වා. අපි දෙන්නා විවාහ වුණේ 1926 දෙසැම්බර් මාසයෙයි. ඉන් අවුරුද්දකට පස්සේ අපේ පවුලට අලුතින් කෙනෙක් එකතු වුණා. ඒ අපේ පුතා එඩී.

මායි ජේම්සුයි වැඩි කල් යන්න කලින් පූර්ණකාලීන දේවසේවකයන් හැටියට සේවය කරන්න පටන්ගත්තා. අපි ඇමරිකාවේ ජනපද අටකම සේවය කරලා තියෙනවා. ඒ කාලේ තමයි අපි ගොඩක් සතුටෙන් හිටියේ. හැබැයි වැඩි කල් යන්න කලින් ජේම්ස් අසනීප වුණා.

බෙහෙත්වලට ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වුණ නිසා 1936දී අපි චිකාගෝවලට ගිහින් ජේම්ස්ගේ අම්මත් එක්ක ජීවත් වුණා. ඇයත් සාක්ෂිකාරියක්. එහෙදී මම අවන් හලක පොඩි රැකියාවක් හොයාගත්තා. ඒත් අපිට කෑම බීමවලින් නම් කිසි අඩුවක් තිබුණේ නැහැ. මොකද මගේ නැන්දම්මා අපිට අවශ්‍ය කෑම බීම සැපයුවා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් කිසිම මුදලක් ගත්තෙත් නැහැ. පුළුවන් උපරිමයෙන් ඇය අපිට සැලකුවා.

අවුරුදු දෙකක් තිස්සේ දරුණු අසනීපයකින් පෙළුණු නිසා ජේම්ස්ට වාහනය පදවන්නවත්, ගෙයින් ගෙට දේශනා සේවයේ යන්නවත් පුළුවන් වුණේ නැහැ. හැබැයි අනිත් අයට සාක්ෂිදරන එක ජේම්ස් නතර කළේ නැහැ. මේ වෙද්දී පවුල නඩත්තු කරන්න ඕන නිසා මම පූර්ණකාලීන සේවය ටික කලකට නතර කරලා පුංචි රස්සාවක් කළා. ඒ විදිහට මම රස්සාවල් කිහිපයක්ම කළා.

ජේම්ස් මිය ගිහිල්ලා හරියටම දවස් අටකට පස්සේ, ඒ කියන්නේ 1938 ජූලි 30වෙනිදා තමයි මගේ පොඩි පුතා බොබී ඉපදුණේ. පුතාව හම්බ වෙන්න ඉද්දී මගේ නැන්දම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ මම පහසුකම් අඩු රෝහලකට යනවට. ඒ නිසා ඇය සල්ලි වියදම් කරලා මාව හොඳ රෝහලකට ඇතුල් කළා. ඒ ගැන මගේ නැන්දම්මාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

නැවතත් පූර්ණකාලීන සේවයට

බොබීට අවුරුදු දෙකක් වෙනකම් මගේ නැන්දම්මත් එක්කයි අපි හිටියේ. ඒ වෙනකොට ලොකු පුතා, එඩීට වයස අවුරුදු 12යි. මගේ ජීවන රටාව කලින්ට වඩා වෙනස් වුණත්, දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න මට තිබුණේ දැවෙන ආශාවක්. වර්ෂ 1940 මිචිගන්වල පැවති සමුළුවකදී පූර්ණකාලීන දේවසේවයේ යෙදුණු විවාහක යුවළක් මට මුණගැහුණා. දකුණු කැරොලිනාවලට ඇවිත් පූර්ණකාලීන සේවය පටන්ගන්න කියලා ඔවුන් මාව දිරිගැන්නුවා. ඒ නිසා මම ඩොලර් 150කට වාහනයක් අරගෙන මගේ ළමයි දෙන්නත් එක්ක ඒ පළාතට ගියා. එහෙදී මට පුළුවන් වුණා ආයෙත් පූර්ණකාලීන සේවය පටන්ගන්න. ඔය කාලෙදිම (1941) වගේ තමයි එක්සත් ජනපදය දෙවන ලෝක මහා යුද්ධයට හවුල් වුණේ.

අපි මුලින්ම සේවය කළේ දකුණු කැරොලිනාවල කැම්ඩෙන් කියන ප්‍රදේශයෙයි. පස්සේ අපි සේවය කරන්න කොන්වේවලට ගියා. අපේ නිවස හැටියට අපි පාවිච්චි කළේ ලොකු දිග වාහනයක්. අපි ඒක නවත්වලා තිබ්බේ ඉන්ධන පිරවුම් හලක් ළඟයි. ඒ පිරවුම් හලේ අයිතිකරු හරිම හොඳ කෙනෙක්. අපේ මේ නිවහනට අවශ්‍ය විදුලිය සහ ජලය ඉන්ධන හලෙන්ම ලබාගන්න ඔහු ඉඩහැරියා. හැබැයි යුද්ධය නිසා වාහනේට ඉන්ධන හොයාගන්න එක එච්චර ලේසි වුණේ නැහැ. ඒ නිසා සේවයේ යන්න මම පරණ සයිකලයක් ගත්තා. ටිකක් කල් යද්දී ඒ කියන්නේ 1943දී විතර අපි ළඟ තිබුණු සල්ලිත් ඉවර වේගන ගිය නිසා තවදුරටත් සේවය කරගෙන යන්න බැරි වෙයි කියලා මට හිතුණා. හැබැයි විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පැවරුමක් ලැබුණු නිසා මට සුළු දීමනාවකුත් ලැබුණා. ඒකෙන් අපිට පුළුවන් වුණා වියදම් ටිකක් පියවගන්න. ඇත්තටම යෙහෝවා දෙවි මට උපකාර කරලා තියෙන්නේ පුදුම විදිහටයි!

ඒ දවස්වල කොන්වේවල සාක්ෂිකරුවන් හැටියට හිටියේ අපි තුන්දෙනා විතරක් නිසා දේශනා සේවයේ සහභාගි වෙන එක අමාරු වුණා. ඒ නිසා මම සමිතියට ලියුමක් ලියලා කිව්වා මේ ප්‍රදේශයට තවත් පුරෝගාමියකුව එවන්න කියලා. වර්ෂ 1944දී මගේ ඉල්ලීමට පිළිතුරු හැටියට ඊඩිත් වෝකර් කියන සහෝදරියව අපේ ප්‍රදේශයට එව්වා. ඒ නිසා අපි දෙන්නට පුළුවන් වුණා අවුරුදු 16ක්ම විවිධ ප්‍රදේශවල සේවය කරන්න.

පුදුමාකාර ආශීර්වාද

මට කොන්වේවල හිටපු ඇල්බර්තාව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇයට වයස අවුරුදු 13ක් වුණත්, ඇවිදින්න බැරි ඇගේ ආච්චිවත් මල්ලිලා දෙන්නවත් හොඳින් බලාගත්තා. මම කියලා දුන්න බයිබල් සත්‍යයන් ඇල්බර්තා හරිම ආශාවකින් පිළිගත්තා වගේම ඒවා ගැන අන් අය එක්ක කතා කරන්නත් පෙලඹුණා. පූර්ණකාලීන සේවය ගැන ඇල්බර්තාට ලොකු අගයක් තිබුණු නිසා පාසැල් දිවිය අවසන් කළ පසු ඇය 1950දී පුරෝගාමි සේවය පටන්ගත්තා. අදටත් අවුරුදු 57ක් පුරාවටම ඇය පූර්ණකාලීන සේවයේ නියැලෙනවා!

මාත් එක්ක සේවය කරන්න ආව ඊඩිත්වයි මාවයි 1951දී ටික කාලෙකට දකුණු කැරොලිනාවලට යැව්වා. එහෙ හිටියේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් විතරයි. ඊට පස්සේ අපි දෙන්නා ඇමරිකාවේ ජෝර්ජියාවල අවුරුදු තුනක් සේවය කළා. ආයෙමත් අපි දෙන්නාව දකුණු කැරොලිනාවලට යැව්වා. වර්ෂ 1954 ඉඳලා 1962 වෙන කල්ම මම එහෙ හිටියා. ඒ අතරතුර ඊඩිත්ට ඇති වුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා ඇයට නැවතත් ඔහියෝවලට යන්න සිද්ධ වුණා. මම වල්හලවල සේවය කරනකොට තමයි මට නෙටීව මුණගැහුණේ. ඇය දුර ඈත ප්‍රදේශයක තනිවම ජීවත් වූ වයසක බිහිරි කෙනෙක්. අපි පාඩම කරද්දී මුලින්ම ඇය ඡේදය කියෙව්වා. පස්සේ මම ඡේදයට අදාළ ප්‍රශ්නය ඇයට පෙන්නුවාම ඊට අදාළ උත්තරේ ඇය ඡේදයෙන්ම මට ඇඟිල්ල තියලා පෙන්නුවා.

ඇයට උගන්නපු දෙයක් ගැන ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ දේ කොලයක ලියලා මට පෙන්වනවා. එතකොට මම ඒකට උත්තරේ ඒ කොලේම ලියලා එයාට පෙන්නනවා. ඇය බයිබල් සත්‍යය කොතරම් අගය කරාද කිව්වොත්, රැස්වීම්වලට වගේම දේශනා සේවයේ යන්නත් පටන්ගත්තා. ඇය තනිවම දේශනා සේවයේ යද්දී මම කොයි වෙලේත් ඇය ගැන සැලකිල්ලෙන් හිටියේ යම් උපකාරයක් ඕන වුණොත් එය ලබා දෙන්නයි.

මම වල්හලවල ඉන්නකොට මගේ වාහනේ කැඩුණා. මේ වෙලාවේ ඩොලර් 100කට විතර තවත් වාහනයක් ගන්න අවස්ථාවක් උදා වුණා. හැබැයි මං ළඟ එච්චර මුදලක් නම් තිබුණේ නැහැ. ඒ නිසා මම දන්න කෙනෙකුගෙන් ඒ මුදල ණයට ඉල්ලගත්තා. ඔය කාලෙදිම මගේ නංගිගෙන් මට ලියුමක් ලැබුණා. ඒකේ තිබුණා මගේ තාත්තා මැරෙන්න කලින් අපි වෙනුවෙන් සල්ලි ටිකක් පොතට දාලා තියෙනවා කියලා. මගේ පවුලේ අය කල්පනා කරලා තියෙනවා දැන් මේ සල්ලිවලට මොකද කරන්නේ කියලා. පස්සේ තීරණය කරලා තිබුණා ඒ සල්ලි මට දෙනවා කියලා. ඒකේ තිබුණේ හරියටම ඩොලර් 100යි!

මගේ දරුවන් සමඟ පූර්ණකාලීන සේවයේ

මගේ දරුවන් දෙන්නා පොඩි කාලේ ඉඳලම මාත් එක්ක දේශනා සේවයේ හවුල් වුණා. ඒ දවස්වල මත්ද්‍රව්‍යයි දුරාචාරයයි අද වගේ එච්චර ලොකු ගැටලුවක් වෙලා තිබුණේ නැහැ. ඒ වගේම අපි සරල ජීවිතයක් ගත කරලා දෙවිගේ සේවයට මුල් තැන දීපු නිසා මගේ දරුවන්ව දෙවිගේ සේවය වෙනුවෙන් යොමු කරන එක මට අමාරු දෙයක් වුණේ නැහැ.

පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ එඩීටත් ඕන වුණා මාත් එක්ක පුරෝගාමි සේවය කරන්න. කාලයක් පුරාම අපි දෙන්නා හරිම සතුටින් පුරෝගාමි සේවය කළා. පස්සේ 1947 ඉඳන් 1957 වෙන කල්ම එඩී නිව් යෝර්ක් නුවරේ බෘක්ලින්වල පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කළා. එඩී 1958දී, කලින් මා එක්ක බයිබලය පාඩම් කරපු ඇල්බර්තාව විවාහ කරගෙන පුරෝගාමි සේවයේ හවුල් වුණා. වර්ෂ 2004දී ඒ දෙන්නටයි මටයි එකට පුරෝගාමි සේවා පාසැලට යන්න ලැබුණු එක කොච්චර ලොකු ආශීර්වාදයක්ද!

මට මතකයි මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මගේ පොඩි පුතා බොබී දෙවිට යාච්ඤා කරලා කිව්වා මගේ බයිබල් පාඩම්වලට වාහනයෙන් යන්න අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න කියලා. පොඩි කාලේ ඉඳන් එයත් පූර්ණකාලීන සේවයට ගොඩක් කැමැත්තෙන් හිටිය නිසා පස්සේ එයත් ඒ සේවයේ හවුල් වුණා. හැබැයි කාලයක් යද්දී බොබීටත් ගොඩක් දුක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. බොබී විවාහ වෙලා අවුරුදු එකහාමාරකට විතර පස්සේ එයාගේ බිරිඳට නිවුන් දරුවන් ලැබෙන්න හිටියා. ඒත් 1970දී ඇගේ දරු ප්‍රසූතියේදී දරුවන්වයි බිරිඳවයි තුන්දෙනාවම ඔහුට අහිමි වුණා. මම බොබීගේ ළඟින්ම හිටපු නිසා අපි දෙන්නා අතර තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණා.

තවමත් පුරෝගාමියෙක් ලෙස!

වර්ෂ 1962දී මාව ආයෙත් උතුරු කැරොලිනාවලට මාරු කළා. අවුරුදු 45ක් ගිහිල්ලත් මම තාම ඒ ප්‍රදේශයේම සේවය කරනවා. වයස අවුරුදු 80 ගණන්වලදීත් මම මගේ කාර් එක එලෙව්වා. ඒත් දැන් මාව රැස්වීම්වලට වගේම දේශනා සේවයෙත් එක්කරගෙන යන්නේ මගේ ගෙවල් ළඟ ඉන්න සාක්ෂිකාර පවුලක්.

මට රෝද පුටුවක් තිබුණත් මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මට පුළුවන් තනියෙන් ඇවිදින්න. මගේ ඇස් පෙනීම ටිකක් දුර්වලයි. ඒත් මේ වෙනකම් හොඳ ශරීර සෞඛ්‍යයක් ලැබිලා තියෙන එක ගැන මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට අසනීපයක් හැදුණොත් මිසක් මම කවදාවත් රැස්වීම් අතපසු කරන්නේ නැහැ. මම තවමත් පුරෝගාමියෙක් විදියට සේවය කරනවා.

අවුරුදු 70ක පුරෝගාමි සේවයේ අද්දැකීම්වලින් කියන්න පුළුවන් යෙහෝවා දෙවි මේ දක්වාම මට උදව් කරමින් මාව රැකබලා ගත්තා කියලා. * මම දන්නවා මං ඒ තරම් දක්ෂ කෙනෙක්වත්, කාර්යශීලී කෙනෙක්වත් නෙවෙයි කියලා. හැබැයි යෙහෝවා දෙවි දන්නවා මට කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි මොනවාද කියලා. මගේ උපරිමය කරන බව දැනගෙන මාව මේ වෙන තුරුම ඔහුගේ සේවය වෙනුවෙන් පාවිච්චි කිරීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.

අපි යෙහෝවා දෙවිට අනේක වාරයක් ණය ගැති නිසා මට හිතෙන්නේ අපේ උපරිමයෙන් දෙවිට සේවය කරන එක හරිම වැදගත් කියලයි. මගේ ජීවිතය තියෙන කල් පුරෝගාමියෙක් හැටියටම සේවය කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මට ඕනේ නැහැ. ඒක මොන තරම් වරප්‍රසාදයක්ද! මම දෙවිට යාච්ඤා කරන්නෙත් සාදාකාලයටම මාව ඔහුගේ සේවය වෙනුවෙන් පාවිච්චි කරන්න කියලයි.

[පාදසටහන]

^ 30 ඡේ. සහෝදරී ස්ටයිගර්ස් 2007 අප්‍රියෙල් 20වෙනිදා මිය යන විට ඇයට වයස අවුරුදු 99ක්ව තිබුණා. ඇය දෙවිට ඉතා විශ්වාසවන්තව කළ සේවය ගැන සලකා බැලීමෙන් අපි හැමෝම ලොකු දිරිගැන්වීමක් අද්දකිනවා. එමෙන්ම ඇය දැන් ස්වර්ගයේ සේවය කරන බව දැන සිටීමත් අපිට මහත් සතුටක්.

[13වන පිටුවේ පින්තූරය]

මායි මගේ ස්වාමිපුරුෂයායි පුරෝගාමි සේවයේදී පාවිච්චි කළ වාහනය

[14වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1941දී මගේ පුතුන් දෙදෙනා සමඟ

[15වන පිටුවේ පින්තූරය]

මම එඩී සහ බොබී සමඟ