Skip to content

පටුනට යන්න

“සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න”

“සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න”

“සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න”

“යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.”—ලූක් 12:15.

1, 2. (අ) අද දින සිටින මිනිසුන් ජීවිතයේ වැදගත් කියා සලකන්නේ කුමන දේවල්ද? (ආ) එම ආකල්පය ක්‍රිස්තියානීන්ට බලපෑ හැක්කේ ඇයි?

අද දින බොහෝ මිනිසුන් තම අනාගතය සුරක්ෂිත කරගන්නත් ජීවිතය සාර්ථක කරගන්නත් මුදල්, පවුල, දේපළ හෝ ලොකු වැටුපක් ගෙවන රැකියාවක් කෙරෙහි මහත් විශ්වාසයක් තබා තිබෙනවා. මුදල් හෝ වෙනත් දේවල් රැස් කරගැනීම වෙත ඔවුන් අවධානය දී තිබෙන්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරවයි. ඒ වෙනුවෙන් ඔවුන් කොතරම් කාලයක් වැය කරනවාද කියනවා නම් දෙවිට නමස්කාර කිරීමට තරම්වත් උවමනාවක් ඔවුන්ට නැහැ.

2 මිනිසුන් එලෙස ක්‍රියා කිරීම පුදුමයට කාරණයක් නෙවෙයි. හේතුව බයිබලයේ ඒ ගැන කලින්ම මෙසේ පවසා තිබීමයි. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, . . . දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය.” (2 තිමෝති 3:1-5) එවැනි පුද්ගලයන් අතරේ ජීවත් වෙන්න සිදු වී තිබෙන නිසා සැබෑ ක්‍රිස්තියානීන්ද ඔවුන්ගේ බලපෑමට හසු වෙන්න පුළුවන්. නමුත් ‘මේ දුෂ්ට සමාජයට අනුව හැඩගැසීම’ සඳහා අපට පැමිණෙන පීඩනයෙන් ජයගන්නේ කොහොමද?—රෝම 12:2.

3. අපි සලකා බලන්න යන්නේ කුමක්ද?

3 එවැනි තත්වයක් හමුවේ අපි කළ යුත්තේ කුමක්ද කියා “ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද” වන යේසුස් අපිට පෙන්වා දුන්නා. (හෙබ්‍රෙව් 12:2) දිනක් ඔහු සමූහයකට ජීවිතය හා සම්බන්ධ ඉතා වැදගත් කාරණා ගැන උගන්වමින් සිටියා. ඒ අය අතර සිටි මිනිසෙක් එක විටම සාකච්ඡාවට බාධා කරමින් “ගුරුතුමෙනි, මා සමඟ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කියන්න” යයි පැවසුවා. එවිට යේසුස් ඔහුටත් එතන සිටි සියලුදෙනාටමත් තණ්හාව ගැන ප්‍රබල ලෙස අනතුරු අඟවමින් එය කාවැද්දවීමට උපමාවක්ද පැවසුවා. ඒ අවස්ථාවේ යේසුස් පැවසූ දේ අදාළ කරගැනීමෙන් අපි හැමෝටම ප්‍රයෝජන අද්දකින්න පුළුවන් නිසා ඒ ගැන සලකා බලමු.—ලූක් 12:13-21.

නුසුදුසු ඉල්ලීමක්

4. සාකච්ඡාවක් මැද පවුලේ කාරණයක් විසඳාගැනීම සඳහා යේසුස්ට බාධා කිරීම නුසුදුසු දෙයක් වුණේ ඇයි?

4 කලින් සඳහන් කළ පරිදි යේසුස් මේ අවස්ථාවේදී කතා කරමින් සිටින්නේ තම අනුගාමිකයන්ට ඉතා වැදගත් වෙන දේවල් ගැනයි. ඒවාට කුහකකමින් වැළකී සිටීම, තමන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් බව නිර්භීතව මිනිසුන් ඉදිරියේ ප්‍රකාශ කිරීම හා දෙවිගේ උපකාරය ලබාගන්නේ කෙසේද යන කාරණා ඇතුළත් වුණා. (ලූක් 12:1-12) එවන් වැදගත් සාකච්ඡාවක් මැදයි ඒ මිනිසා එයට බාධා කරමින් ඔහුගේ පවුලේ ඉඩ කඩම් සම්බන්ධ ප්‍රශ්නය විසඳා දෙන්න කියා යේසුස්ගෙන් ඉල්ලා සිටියේ. ඒ සිද්ධියෙන් අපිටත් වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි.

5. යේසුස්ගෙන් කළ ඉල්ලීම මගින් ඒ මිනිසා ගැන හෙළි වෙන්නේ කුමක්ද?

5 “කෙනෙක් ආගමික ඉගැන්වීම් කොතරම් බැරෑරුම් ලෙස සලකනවාද යන කාරණය අනුව ඔහු මොන වගේ කෙනෙක්ද යන්න හෙළි වෙන” බව පැවසෙනවා. එම අදහස යේසුස්ට බාධා කළ මිනිසා සම්බන්ධයෙන් සැබෑවක් වුණා. පෙනෙන විදිහට ඔහු යේසුස් පැවසූ වැදගත් දේවලට ඇහුම්කන් දෙනවා වෙනුවට සිතමින් සිටියේ තමාට යම් වාසියක් ලබාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඔහුගේ ඉඩම උරුමයෙන්ම ඔහුට ලැබිය යුතු එකක්ද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. කොහොමවුණත් මේ මිනිසා උත්සාහ කළේ යේසුස් සතු අධිකාරියෙන් හා කාරණා දක්ෂ ලෙස විනිශ්චය කිරීමට ඔහුට තිබූ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නයි. (යෙසායා 11:3, 4; මතෙව් 22:16) ඉන් පෙනී යන්නේ ඇදහිල්ල වර්ධනය කරවන දේවල්වලට ඇහුම්කන් දීමේ ලොකු දුර්වලතාවක් ඔහුට තිබුණු බවයි. අපි ගැන කියන්න පුළුවන් කුමක්ද? උදාහරණයකට රැස්වීම් අතරතුර අපි වෙනත් දේවල් ගැන හිතනවාද? ඒ වෙනුවට අපි උත්සාහ කළ යුත්තේ තොරතුරුවලට හොඳින් ඇහුම්කන් දෙමින් ඒවා අදාළ කරගත හැකි ආකාරය ගැන සිතීමටයි. එමගින් දෙවි සමඟත් සෙසු සහෝදරයන් සමඟත් ඇති මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වෙන නිසා එසේ කිරීම ඉතා වැදගත්.—ගීතාවලිය 22:22; මාක් 4:24.

6. යේසුස් ඒ මිනිසාගේ ඉල්ලීම ඉටු නොකළේ ඇයි?

6 ඔහු එම ඉල්ලීම කළේ කුමන චේතනාවකින්ද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් යේසුස් එම ඉල්ලීම ඉටු නොකර ඔහුගෙන් මෙසේ ඇසුවා. “සියල්ලන් කෙරෙහි විනිශ්චයකාරයෙකු ලෙස හෝ දේපළ බෙදන්නෙකු ලෙස හෝ මාව පත් කළේ කවුද?” (ලූක් 12:14) යේසුස් ඇසූ දේ සෑම කෙනෙකුටම හොඳින් තේරුණා. ඊට හේතුව මෝසෙස්ට දුන් නීතිය තුළ එවැනි කාරණා හසුරුවන්න සෑම නුවරකම විනිශ්චයකරුවන්ව පත් කර තිබුණු බව ඔවුන් දැන සිටීමයි. (ද්විතීය කතාව 16:18-20; 21:15-17; රූත් 4:1, 2) යේසුස් වැඩි අවධානයක් දුන්නේ වඩා වැදගත් දේවලටයි. එනම් දෙවිගේ අරමුණ හා දේවරාජ්‍යය ගැන සත්‍යය මිනිසුන්ට උගන්වන්නයි. (යොහන් 18:37) ඒ හා සමානව අපිත් එදිනෙදා වැඩ කටයුතු සඳහා පමණක් අවධානය යොමු නොකර අපගේ කාලය හා ශක්තිය ශුභාරංචිය දැනුම් දීම හා ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීම’ වෙනුවෙන් යොදවමු.—මතෙව් 24:14; 28:19.

තණ්හාවෙන් පරෙස්සම් වන්න

7. එම මිනිසා සම්බන්ධයෙන් යේසුස් තේරුම්ගත්තේ කුමක්ද?

7 මනුෂ්‍යයන්ට වඩා වෙනස්ව යේසුස්ට හැකියි මිනිසුන්ගේ ගැඹුරු සිතුවිලි පවා තේරුම්ගන්න. ඒ නිසා ඉහත සඳහන් මිනිසා කළ ඉල්ලීම පිටුපස ඇති චේතනාව වටහාගත් ඔහු එය ඉටු කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට යේසුස් ඔහුට මෙවැනි උපදෙසක් දුන්නා. “සෝදිසියෙන් සිටිමින්, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න. මන්ද යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.”—ලූක් 12:15.

8. තණ්හාව යනු කුමක්ද? එය භයානක දෙයක් වෙන්නේ ඇයි?

8 තණ්හාව කියන්නේ මුදල් හෝ වෙනත් දේවල් ලබාගැනීමට තිබෙන ආශාවට වඩා වැඩි දෙයක්. එක් ශබ්දකෝෂයකට අනුව, එය “අන් අය සතු දේවල් හෝ මුදල් ලබාගන්න තිබෙන අසාමාන්‍ය වූ ආශාවයි.” තණ්හාව ඇති කෙනෙක් කොතරම් දේවල් තිබුණත් ඉන් සෑහීමට පත් වන්නේ නැහැ. එවැනි කෙනෙක් නිතරම කල්පනා කරන්නේ තමුන් ආශා කරන දේ කොහොම හරි ලබාගන්නයි. එසේ කිරීමේදී ඔහු අන් අය ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. කල් යද්දී එම ගිජු ආශාව මගින් ඔහු සිතන ආකාරය පාලනය කෙරෙන අතර අවසානයේදී එය ඔහුගේ දෙවියා බවට පත් වෙනවා. පාවුල් එවැනි ගිජු අයව රූප නමස්කාරකයන්ට සමාන කළා. ඔවුන්ට කවදාවත් දේවරාජ්‍යය උරුම වෙන්නේ නැහැ.—එෆීස 5:5; කොලොස්සි 3:5.

9. තණ්හාව කුමන ස්වරූපවලින් තිබිය හැකිද? උදාහරණ දෙන්න.

9 යේසුස් ‘සියලුම ආකාරයේ තණ්හාවන්’ ගැන අනතුරු ඇඟවීම විශේෂ දෙයක්. දස පනතේද ඒ ගැන මෙසේ සඳහන් වුණා. “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.” (නික්මයාම 20:17 නව ලොව පරිවර්තනය, NW) තණ්හාවට විවිධ ස්වරූප තිබෙනවා. තණ්හාව ඇතුව සිටි පළමු තැනැත්තා වන්නේ යක්ෂයායි. දෙවිට පමණක් අයිති මහිමය, ගෞරවය හා බලය තමා සතු කරගන්න ඔහු ආශා කළා. (එළිදරව් 4:11) මුල් ස්ත්‍රිය වූ ඒව කැමති වුණේ නැහැ දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න. ඒ වෙනුවට තනිවම හරි වැරැද්ද තීරණය කරන්නයි ඇය ආශා කළේ. (උත්පත්ති 3:4-7) භූතයන්ද පොළොවේ සිටි ස්ත්‍රීන් කෙරෙහි නුසුදුසු ආශාවක් ඇති කරගත් නිසා ‘තම මුල් ස්ථානයෙහි නොසිට තමන්ගේ නියම වාසස්ථානය අත්හැර’ පොළොවට පැමිණියා. (යූද් 6; උත්පත්ති 6:2) එමෙන්ම බාලාම්, ආකාන්, ගෙහාසී සහ යූදස් වැනි අයට සිදු වුණේ කුමක්ද? ඒ හැම කෙනෙක්ම මුදල් කෙරෙහි ඇති කරගත් තණ්හාව නිසා තම විශ්වාසවන්තභාවය නැති කරගෙන අවසානයේදී විනාශයට යන පාර කපාගත්තා.

10. යේසුස් පැවසූ ලෙස අපි ‘සෝදිසියෙන් සිටින්නේ’ කොහොමද?

10 සාමාන්‍යයෙන් අනිත් අයට තණ්හාව ඇති බව දකින්න ගොඩක් අය දක්ෂයි. හැබැයි තමා තුළත් ඒ නරක ලක්ෂණය තිබෙන බව හඳුනාගැනීමට ඔවුන් අපොහොසත් වෙන්න පුළුවන්. ඒ නිසා තණ්හාව ගැන අනතුරු අඟවද්දී ‘සෝදිසියෙන් සිටින්න’ කියා යේසුස් පැවසූ දේ කොතරම් උචිතද? එසේ කිරීමේ ඇති වැදගත්කම ගැන පහදමින් පාවුල් මෙසේ පැවසුවා. “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය.” (1 තිමෝති 6:9, 10) යාකොබ්ද සඳහන් කළේ “ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි” කියායි. (යාකොබ් 1:15) ඒ අනුව ‘සෝදිසියෙන් සිටින්න’ කියා යේසුස් දුන් උපදෙසට එකඟව අපි උත්සාහ කළ යුත්තේ අන් අය තුළ තණ්හාව තිබෙනවාද කියා සොයා බලන්න නෙවෙයි. නමුත් අපි තුළම තණ්හාව තිබෙනවාද කියා සෝදිසි කර බලන්නයි. එවිට ‘සියලුම ආකාරයේ තණ්හාවලින් පරෙස්සම්’ වී සිටින්න අපිට හැකියි.

සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක්

11, 12. (අ) තණ්හාව ගැන යේසුස් තවදුරටත් දුන් අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) අපි එම උපදෙස සිතට ගත යුත්තේ ඇයි?

11 අපි තණ්හාවෙන් වැළකී සිටිය යුතු තවත් හේතුවක් ගැන යේසුස් මෙසේ සඳහන් කළා. ‘යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැහැ.’ (ලූක් 12:15) මුදල් හා වස්තුව තිබෙනවා නම් ජීවිතය සාර්ථකයි කියා විශ්වාස කරන කාලයක අපි අද ජීවත් වන නිසා යේසුස්ගේ එම උපදෙස අපි සිතට ගත යුතුයි. ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුට කොතරම් වස්තුව හෝ මිල මුදල් තිබුණත් ජීවිතයේ නියම සතුට ඒ මත රඳාපවතින්නේ නැති බවයි.

12 නමුත් හැම කෙනෙක්ම ඒ අදහසට එකඟ නොවෙන්න පුළුවන්. ඔවුන් සිතන්නේ මිල මුදල් හෝ වස්තුව නැත්නම් සැප පහසුවෙන්වත් සතුටින්වත් ජීවිතය ගත කරන්න බැහැ කියලයි. ඒ නිසා අලුත්ම පන්නයේ විද්‍යුත් උපකරණ හෝ වෙනත් දේවල් ලබාගන්න තම කාලය වැය කරමින් ඔවුන් වෙහෙසී වැඩ කරනවා. එලෙස සිතීමෙන් ඔවුන් යේසුස් පැවසූ වදන්වල නියම අර්ථය තේරුම්ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

13. ජීවිතය හා මිල මුදල් සම්බන්ධයෙන් තබාගත යුතු සමබර ආකල්පය කුමක්ද?

13 මෙහිදී යේසුස් මුදල් හෝ වස්තුව ඇතුව සිටීම වැරදි දෙයක් කියා පවසන්නේ නැති බව සැලකිල්ලට ගන්න. ඒ වෙනුවට ඔහු පවසන්නේ ‘කෙනෙකුට කොපමණ වස්තුව තිබුණත්’ ඔහුගේ ජීවිතය ඒ මත රඳා පවතින්නේ නැති බවයි. ජීවිතය පවත්වාගෙන යන්න අපිට ගොඩක් දේවල් අවශ්‍ය නැති බව අපි කවුරුත් දන්නවා. අවශ්‍ය කරන්නේ කන්න අඳින්න හා ඉන්න හිටින්න තැනක් විතරයි. පොහොසත් අයට ඒ දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් දුප්පත් අයට ඒවා ලබාගන්න ගොඩක් වෙහෙසෙන්න සිදු වෙනවා. කොහොමවුණත් අවසානයේදී ඒ දෙගොල්ලන්ටම සිදු වෙන්නේ එකම දෙයයි. මරණයත් සමඟ ඒ සියල්ල ඔවුන්ට අහිමි වෙනවා. (දේශනාකාරයා 9:5, 6) ඒ නිසා අපි කවදාවත් හිතන්න හොඳ නැහැ මුදල් හා වස්තුව අපේ ජීවිතයට සැබෑ සාර්ථකත්වයක් ලබා දෙයි කියලා. දැන් අපි බලමු ජීවිතය සම්බන්ධයෙන් යේසුස් තවදුරටත් පැවසුවේ කුමක්ද කියා.

14. කෙනෙක් සතු දේවලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැහැ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

14 ‘කෙනෙක් සතු දේවලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැහැ’ කියා යේසුස් පැවසුවා. එයින් ඔහු අදහස් කළේ කෙනෙක් දුප්පත් වුණත් පොහොසත් වුණත් ඔහුට කොතරම් දේපළ තිබුණත් ඔහු කොතරම් කාලයක් ජීවත් වෙයිද කියා එයින් තීරණය කරන්න බැරි බවයි. කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවේ “කනස්සලු වීමෙන් තම ආයු කාලයට කිසිවක් එක් කරගන්න ඔබ අතරෙන් කාට පුළුවන්ද” කියායි. (මතෙව් 6:27) එයින් පැහැදිලි වෙන්නේ තම සේවකයන්ට ස්වර්ගයේ හෝ පොළොවේ “සැබෑ ජීවිතය” නොහොත් “සදාකාල ජීවනය” ලබා දෙන්න පුළුවන් එකම තැනැත්තා යෙහෝවා දෙවි පමණක් බවයි. ඊට හේතුව ඔහු “ජීවිතයේ උල්පත” වීමයි.—1 තිමෝති 6:12, 19; ගීතාවලිය 36:9 NW.

15. බොහෝ අය වස්තුව හෝ මිල මුදල් කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්නේ ඇයි?

15 ජීවිතය ගැන මිනිසුන් වැරදි විදිහට හිතන්න පුළුවන් කියා යේසුස් පෙන්නුම් කළා. දුප්පත් වුණත් පොහොසත් වුණත් ඔවුන් හැම කෙනෙක්ම අවසානයේදී මිය යනවා. ඒ ගැන මෝසෙස් පැවසුවේ මෙසේයි. “අප ජීවත් වන අවුරුදු ගණන සැත්තෑවකි. විශේෂ ශක්තියක් ඇත්නම් අවුරුදු අසූවකි. නමුත් එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත. ජීවිතයද වේගයෙන් ගෙවී යයි.” (ගීතාවලිය 90:10 NW; යෝබ් 14:1, 2; 1 පේතෘස් 1:24) ජීවිතය කෙටි නිසා “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු” යන ආකල්පය ඇතුවයි මිනිසුන් සිටින්නේ. ඒ නිසා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. (1 කොරින්ති 15:32) තවත් අය ජීවිතයට කොයි මොහොතක හරි තර්ජනයක් එල්ල වෙයි කියලා තිබෙන බිය නිසා මුදල් හා වෙනත් දේවල් මගින් ආරක්ෂාව පතනවා. සුරක්ෂිතභාවය හා සතුට ලැබෙන්නේ වස්තුවෙන් පමණක් බව එවැනි අය වරදවා තේරුම්ගෙන තිබෙනවා.—ගීතාවලිය 49:6, 11, 12.

සැබෑ සුරක්ෂිතභාවය

16. ජීවිතයේ සැබෑ සතුට තීරණය වන්නේ කුමකින් නොවේද?

16 යම් කෙනෙකුට ඕන තරම් මිල මුදල් සහ කන්න අඳින්න තිබෙනවා නම් ඔහුගේ ජීවිතය සැප පහසු එකක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට බේත් හේත් ගන්න පහසු නිසා තව වැඩි කල් ජීවත් වෙන්නත් පුළුවන් විය හැකියි. නමුත් ජීවිතයේ නියම සතුට තීරණය වෙන්නේ දිගු කාලයක් ජීවත් වීමෙන්වත් වැඩියෙන් මුදල් තිබීමෙන්වත් නෙවෙයි. මුදල් කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමේ ඇති භයානකකම ගැන පාවුල් මෙලෙස පැවසුවා. “උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන ලෙස, දැන් පවතින සමාජ ක්‍රමයෙහි සිටින ධනවතුන්ට අණ කරන්න.”—1 තිමෝති 6:17.

17, 18. (අ) අපි කල්පනා කර බැලිය යුතු ආදර්ශ මොනවාද? ඒ ඇයි? (ආ) අපි ඊළඟ ලිපියෙන් සලකා බලන්න යන්නේ යේසුස් පැවසූ කුමන උපමාව ගැනද?

17 වස්තුව “අස්ථිර” නිසා ඒ මත සම්පූර්ණ විශ්වාසය තැබීම කොහෙත්ම ඥානවන්ත දෙයක් නෙවෙයි. උදාහරණයකට පුරාණයේ සිටි යෝබ් ගැන හිතන්න. ඔහුට මහත් ධන සම්පත් තිබුණා. නමුත් යෝබ් මුහුණ දුන් දැඩි පීඩා කරදරවලින් ඔහුව ගලවාගන්න ඒවාට හැකි වුණේ නැහැ. ඒ සියල්ලම එක රැයකින් ඔහුට අහිමි වුණා. නමුත් දෙවි සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වය පමණයි ඒ අවස්ථාවේදී ඔහුව ශක්තිමත් කළේ. (යෝබ් 1:1, 3, 20-22) ආබ්‍රහම්ද ධනවත් කෙනෙක්. එහෙත් සියල්ල අත්හැර වෙනත් දේශයකට යන්න කියා දෙවි ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු එය කළා. එම පැවරුම භාරගැනීමෙන් තමාව වළක්වන්න ඔහු වස්තුවට ඉඩහැරියේ නැහැ. ප්‍රතිඵලයක් හැටියට දෙවි ඔහුට ආශීර්වාද කර “බොහෝ ජාතීන්ගේ පියා” හැටියට ඔහුව පත් කළා. (උත්පත්ති 12:1, 4; 17:4-6) එවන් ආදර්ශ ගැන අපි කල්පනා කර බැලීම හරිම වැදගත්. බාල මහලු අපි හැමෝම ජීවිතයේ වැදගත්ම දේ කුමක්ද කියා තීරණය කළ යුතු අතර අප විශ්වාසය තබා ඇත්තේ කුමක් මතද කියාත් සොයා බැලිය යුතුයි.—එෆීස 5:10; ෆිලිප්පි 1:10.

18 තණ්හාව සහ ජීවිතය ගැන යේසුස් දුන් උපදෙස් ඇත්තෙන්ම හරිම වැදගත්. නමුත් යේසුස්ට කියන්න තවත් වැදගත් දෙයක් තිබුණා. එය අඥාන ධනවතා ගැන යේසුස් දුන් උපමාව හා සම්බන්ධයි. ඒ උපමාව අපිට වැදගත් වෙන්නේ ඇයි කියාත් එයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද කියාත් අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• එම මිනිසා කළ ඉල්ලීමට යේසුස් ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• අපි තණ්හාවෙන් වැළකී සිටිය යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද?

• ජීවිතය ධන සම්පත් මත රඳා නැත්තේ ඇයි?

• ජීවිතයේ සන්තෝෂය සහ සුරක්ෂිතභාවය රඳා පවතින්නේ කුමක් මතද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

මේ මිනිසාගේ ඉල්ලීම යේසුස් ප්‍රතික්ෂේප කළේ ඇයි?

[23වන පිටුවේ පින්තූරය]

තණ්හාවෙන් භයානක ප්‍රතිඵල අත් වෙනවා

[25වන පිටුවේ පින්තූර]

ධන සම්පත් සම්බන්ධයෙන් ආබ්‍රහම් නිවැරදි ආකල්පයක් ඇතුව සිටියේ කෙසේද?