Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

• ග්‍රීක ශුද්ධ ලියවිලිවල “සභාව” යන වචනය යොදාගෙන ඇති ආකාර හතර මොනවාද?

මුලින්ම එය යොදාගත්තේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව හැඳින්වීමටයි. (සමහර පදවල මෙයට යේසුස්ද ඇතුළත්) දෙවනුවට අදහස් කළේ යම් නිශ්චිත කාලයක සිටි සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් යුත් කණ්ඩායමකටයි. තුන්වෙනුව ඉන් අදහස් කළේ යම් ප්‍රදේශයක සිටින සියලුම සැබෑ ක්‍රිස්තියානීන්වයි. හතරවෙනුව මෙය යොදාගත්තේ නිවසක හෝ වෙනත් ස්ථානයක තිබෙන යම් නිශ්චිත සභාවක් හැඳින්වීමටයි.—4/15, පිටු 21-23.

• ක්‍රිස්තියානීන්ව ස්වර්ගික ජීවිතය සඳහා තෝරාගැනීම අවසන් වන්නේ කවදාද?

බයිබලය ඊට කෙළින්ම පිළිතුරක් සපයන්නේ නැහැ. ස්වර්ගීක ජීවිතය සඳහා ක්‍රිස්තියානීන්ව තෝරාගැනීම ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 33දී වන අතර එය අද දක්වා සිදු වෙමින් පවතිනවා. වර්ෂ 1935 පසුව මහත් සමූහයේ අයව එක්රැස් කිරීමේ කාර්යය ඇරඹුණා. නමුත් ඉන්පසුවත් බව්තීස්ම වූ සමහර ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලයෙන් තමන්ට ස්වර්ගීක කැඳවීමක් තිබෙන බව අවබෝධ වී තිබෙනවා. එයින් පෙනී යන්නේ ස්වර්ගීක ජීවිතයක් සඳහා තෝරාගැනීම හරියටම අවසන් වන්නේ කවදාද කියා අපිට නිශ්චිතව කියන්න බැරි බවයි. අභිෂේක ලත් අය දෙවිගේ බලයෙන් වැඩි කොටසක් තමන්ට ලැබෙනවා කියාවත් අන් අය තමන්ට විශේෂ ගෞරවයක් දිය යුතුයි කියාවත් සිතන්නේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තුව කුමක් වුවත් ඇදහිලිවන්තව සිටිමින් දෙවිගේ කැමැත්ත කරන්න ඔවුන් නිතරම උත්සාහ කරනවා.—5/1, පිටු 30-31.

• යෙප්තා දෙවිට දුන් පොරොන්දුවෙන් අදහස් කළේ තම දියණියව දවන පූජාවක් ලෙස ඔප්පු කරන බවද?

නැහැ. ඔහුගේ සිතේ තිබුණේ තමන්ට මුලින්ම මුණගැසෙන තැනැත්තාව, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරාම දෙවිට සේවය කිරීම සඳහා කැප කරන බවයි. එවන් කැප කිරීම් මෝසෙස්ගේ නීතියටද එකඟයි. (1 සාමුවෙල් 2:22) ඔහුගේ එම පොරොන්දුව ඉටු කරමින් යෙප්තාගේ දියණිය ශුද්ධ කුඩාරමේ දිගටම සේවය කළා. මෙම පොරොන්දුව නිසා ඇය විවාහ දිවියට ඇතුල් වුණේ නැහැ. මෙය ඇත්තෙන්ම උතුම් පරිත්‍යාගයක්!—5/15, පිටු 9-10.

• මුල් ක්‍රිස්තියානීන් කෝඩෙක්ස් ක්‍රමය කොතෙක් දුරට භාවිතා කළාද?

මුල් ක්‍රිස්තියානීන් පළමුවෙනි සියවසේ අගභාගය දක්වා අකුළන ලියවිලි භාවිතා කළ බව පෙනෙන්නට තිබෙනවා. නමුත් කෝඩෙක්ස් ක්‍රමයට කැමති වූ අය අතර හා අකුළන ලියවිලි භාවිතයට හුරු වූ අය අතර පළමු සියවසේ අගභාගයේ සිට තුන්වන සියවස දක්වා යම් මතභේද ඇති වී තිබෙනවා. විද්වතුන් පවසන ආකාරයට ක්‍රිස්තියානීන් එලෙස කෝඩෙක්ස් ක්‍රමය බහුලව යොදාගැනීම, එය පුළුල්ව ව්‍යාප්ත වීමට මහත් සේ දායක වුණා.—6/1, පිටු 14-15.

• ගෙසෙර් දිනදර්ශනය යනු කුමක්ද?

1908දී ගෙසෙර් නම් පුරාණ නගරයේ තිබී කුඩා මැටි පුවරුවක් සොයාගනු ලැබුවා. පුරාණ ඊශ්‍රායෙලයේ වසරක් පුරා කෘෂිකාර්මික කටයුතු සිදු වූ ආකාරය හෝ සැප්තැම්බර්/ඔක්තෝබර් යන මාසවලදී සිදු කළ අස්වනු නෙළීම මෙන්ම වෙනත් වගාවන් පිළිබඳ සරල වාර්තාවක්ද එහි අඩංගු වුණා. පාසැල් ශිෂ්‍යයෙක් ඔහුට ලැබුණු පැවරුමක් සඳහා එම විස්තරය ලියන්න ඇතැයි බොහෝදෙනෙක් විශ්වාස කරනවා.—6/15, 8වන පිටුව.

• ශුද්ධාත්මයට [හෙවත් දෙවිගේ බලයට] විරුද්ධව පව් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්?

යෙහෝවා දෙවිගේ බලයට එරෙහි වෙමින් සමාව ලැබිය නොහැකි පාපයක් ක්‍රිස්තියානියෙකු අතින් සිදු විය හැකියි. (මතෙව් 12:31) අපි සමාව නොලැබිය හැකි වරදක් කළාද නැද්ද කියා තීරණය කරන්නේ යෙහෝවා දෙවියි. එසේ කර තිබෙනවා නම් ඔහුගේ බලය තවදුරටත් අපිට ලබා නොදීමටත් ඔහුට හැකියි. (ගීතාවලිය 51:11) නමුත් කළ පාපය ගැන අපි මහත් සේ ශෝක වීමෙන් පෙනෙන්නේ අපි අවංකවම පසුතැවිලි වී ඇති බවත් දෙවිගේ බලයට විරුද්ධව පව් කර නැති බවත්ය.—7/15, පිටු 16-17.

• සාවුල් රජ කලින් දාවිත්ව දැනගෙන සිටියත් දාවිත් කාගේ පුතාද කියා ඔහු ඇසුවේ ඇයි? (1 සාමුවෙල් 16:22; 17:58)

සාවුල්, දාවිත්ගේ පියා සම්බන්ධයෙන් අබ්නේර්ගෙන් සහ පසුව දාවිත්ගෙන්ම තොරතුරු විමසීමෙන් ඔහුට අවශ්‍ය වුණේ දාවිත්ගේ පියාගේ නම දැනගන්න විතරක් නෙවෙයි. ගොලියත්ව මරා දැමූ දාවිත්ගේ නිර්භීතකම හා විශ්වාසවන්තකම දුටු සාවුල්ට, එවැනි පුතෙක්ව බිහි කළ පියා මොන වගේ කෙනෙක්ද කියා දැනගන්න අවශ්‍ය වුණා. සමහරවිට සාවුල් දාවිත්ගේ පියා වන යෙස්සේව හෝ ඔහුගේ පවුලේ අනිකුත් අයව තම හමුදාවට බඳවාගන්න කල්පනා කරන්නත් ඇති.—8/1, 31වන පිටුව.