Skip to content

පටුනට යන්න

පෝලන්ත වැසියන් ලද “වටිනා ත්‍යාගය”

පෝලන්ත වැසියන් ලද “වටිනා ත්‍යාගය”

පෝලන්ත වැසියන් ලද “වටිනා ත්‍යාගය”

ප්‍රාසියාවෙහි ඇල්බ්‍රෙක්ට් ආදිපාදවරයා 1525 ජූලි 6වනදා ලුතරන් ධර්මය රජයේ නිල ආගම ලෙස ප්‍රකාශයට පත් කළා. එවකට පෝලන්තයේ කොටසක් වූ ප්‍රාසියාව, මාටින් ලූතර්ගේ ධර්මය නිල වශයෙන් වැලඳගත් පළමු යුරෝපීය ප්‍රාන්තය බවට පත් වුණා.

නැඟෙනහිර ප්‍රාසියාවෙහි අගනුවර වූ කර්නිග්ස්බර්ග්, රෙපරමාදු ඉගැන්වීම්වල මධ්‍යස්ථානය බවට පත් කරන්න ඇල්බ්‍රෙක්ට් ආදිපාදවරයාට වුවමනා වුණා. ඒ වෙනුවෙන් ඔහු අගනුවර තුළ විශ්වවිද්‍යාලයක් පිහිටෙවූ අතර ලුතරන් ආගමේ ඉගැන්වීම් ඇතුළත් ප්‍රකාශන වෙනත් භාෂාවන්ට පරිවර්තනය කර මුද්‍රණය කරනු ලැබුවා. තම ප්‍රාන්තයේ සිටින සියලුම පෝලන්ත වැසියන් තමන්ගේම භාෂාවෙන් බයිබලයේ කොටසක් කියවිය යුතුයි කියා 1544දී ඔහු නීතියක් පැනෙව්වා. එහෙත් ඔවුන්ට පෝලන්ත භාෂාවෙන් බයිබලයක් තිබුණේ නැහැ.

“එදිනෙදා කතා කරන භාෂාවට” කළ පරිවර්තනයක්

ඒ සඳහා ආදිපාදවරයා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල හෙවත් නව ගිවිසුම පෝලන්ත භාෂාවට පරිවර්තනය කිරීමට හැකියාව ඇති කෙනෙකුව ඔහු සොයන්න පටන්ගත්තා. වර්ෂ 1550දී ලේඛකයෙක්, පොත් බෙදාහරින්නෙක් හා මුද්‍රණ ශිල්පියෙකු වූ යොහානස් සෙක්ලූසියානස් නමැත්තාව ඔහුට හමු වූ අතර ඒ කාර්යය ඔහුට පවරනු ලැබුවා. ලයිප්සිග් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබූ කෙනෙකු වූ යොහානස් රෙපරමාදු ඉගැන්වීම් පතළ කිරීම නිසා කතෝලික සභාවට මහත් හිසරදයක් වී සිටි කෙනෙක්. ඒ නිසා තමන්ට පැමිණි පීඩාවලින් බේරීමට ඔහු කර්නිග්ස්බර්ග් වෙත පැමිණියා.

බයිබලය පෝලන්ත භාෂාවට පරිවර්තනය කිරීම සඳහා යොහානස් තුළ දැවෙන උද්‍යෝගයක් තිබුණා. ඔහුට එම කාර්යය පවරා අවුරුද්දක් ගත වූ විට මතෙව්ගේ සුවිශේෂයේ මුල් පිටපත් මුද්‍රණය කෙරුණා. එහි අමතර විස්තර, හරස් යොමු දැක්වීම්, තීරු සටහන් වැනි තොරතුරු රැසක් අඩංගු වුණා. ඉන් වැඩි කලක් යන්න කලින් සුවිශේෂ හතරම සහිත පිටපතක් මුද්‍රණය කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමට ඔහුව පත් කළා. අවුරුදු තුනක් ඇතුළත ඔහු මුළු ග්‍රීක ලියවිල්ලම මුද්‍රණය කරනු ලැබුවා.

නිවැරදි පිටපතක් බිහි කිරීමට එහි පරිවර්තකයා ග්‍රීක ලියවිල්ල උපයෝගී කරගත්තා. ඊට අමතරව 1551දී කළ සංස්කරණයෙහි හැඳින්වීමේ සඳහන් කර තිබුණේ ඒ සඳහා ලතින් පරිවර්තන මෙන්ම “වෙනත් භාෂාවන්ගෙන් තිබූ බයිබල් පරිවර්තනද” යොදාගත් බවයි. “කිසිවෙකුට නොතේරෙන” “සංකීර්ණ භාෂාවකට” යට නොවී “කියවීමට ආශාවක් ඇති කරන ගලා යන ශෛලියකින්” මෙම පරිවර්තනය කර තිබෙන බව ස්ටැනීස්ලාෆ් රොස්පොන්ඩ් නමැති කතුවරයා එක් පොතක සඳහන් කරනවා. (එම පොත Studies on the Polish Language of the 16th Century) ඇත්තෙන්ම එහි පරිවර්තකයා භාවිත කර තිබුණේ ඔවුන් “එදිනෙදා කතා කරන භාෂාවට ඉතා කිට්ටු” භාෂා ශෛලියක්.

යොහානස් පරිවර්තන කටයුතු අධීක්ෂණය කළත් පෙනෙන ආකාරයට එහි පරිවර්තකයා ඔහු නෙවෙයි. එසේනම් එහි පරිවර්තකයා කවුද? ඔහු ස්ටැනීස්ලාෆ් මුර්සිනවුස්කි නැමැත්තායි. යොහානස් මේ භාරදූර කාර්ය ඔහුට පවරන විට ඔහු වයස අවුරුදු 23ක් පමණ වූ තරුණයෙක්.

ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂා ඉගෙනගැනීම සඳහා මුර්සිනවුස්කිගේ පියා ඔහුව කර්නිග්ස්බර්ග් වෙත එව්වා. පසුව ඔහු ජර්මනියේ විටන්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. ඔහුට මාටින් ලූතර්ව හමු වූයේ එහිදී විය හැකියි. එමෙන්ම ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂාවන් තවදුරටත් ඉගෙනගැනීම සඳහා ෆිලිප් මෙලන්තන් නමැත්තාගේ ආභාෂයත් ඔහුට මහත් රුකුලක් වූ බව නිසැකයි. පසුව ඉතාලියට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඔහු නැවත කර්නිග්ස්බර්ග් වෙත පැමිණ ආදිපාදවරයා යටතේ පරිවර්තන කටයුතු කරගෙන ගියා.

“ඉතා වෙහෙසී දක්ෂ විදිහට වැඩ කළත් මුර්සිනවුස්කි තමාට ගෞරවයක් ලබාගන්නවත් උසස් නිලයක් ලබාගන්නවත් උත්සාහ කළේ නැහැ. එම පරිවර්තනයේ ඔහුගේ නම සඳහන් කරන්න කියාවත් ඔහු ඉල්ලා සිටියේ නැහැ” කියා එක් පොතක සඳහන් කරනවා. (එම පොත The Bible in the Polish Language) තමාගේ හැකියාවන් ගැන ආත්ම විශ්වාසයකින් යුතුව කතා කරනවා වෙනුවට ඔහු පැවසුවේ “මට ලතින්වලින්වත් පෝලන්ත භාෂාවෙන්වත් හරියට ලියන්න දන්නේ නැහැ” කියායි. ඔහුට ඔහුගේම හැකියාවන් ගැන එතරම් විශ්වාසයක් නොතිබුණත් පෝලන්ත භාෂාවට බයිබලය පරිවර්තනය කරන්න ඔහුව යොදාගැනුණා. මෙම පරිවර්තනය ගැන යොහානස් විස්තර කළේ එය පෝලන්ත වැසියන් ලද “වටිනා තෑග්ගක්” ලෙසයි.

වටිනාම ත්‍යාගවලින් එකක්

පෝලන්ත භාෂාවට පරිවර්තනය කළ ඒ මුල් බයිබලයෙන් පසුව තව බයිබල් පරිවර්තන රැසක් කර තිබෙනවා. වර්ෂ 1994දී ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයත් 1997දී ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයත් පෝලන්ත භාෂාවෙන් එළිදැක්කා. තමන්ට ගෞරවය ලබාගැනීමට උත්සාහ නොකරන එහි පරිවර්තකයන් මහත් සේ වෑයම් කරන්නේ දෙවිගේ වචනය නිවැරදි මෙන්ම එදිනෙදා කතා කරන භාෂාවට ඉතාම කිට්ටු ශෛලියකින් පරිවර්තනය කරන්නයි.

වර්තමානයේදී බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් හෝ භාෂා 2,400කින් පරිවර්තනය කර තිබෙනවා. ඔබේම භාෂාවෙන් බයිබලයේ නිවැරදි පරිවර්තනයක් ලබාගැනීමට හැකි නම් එය ඔබ ලබන වටිනාම ත්‍යාගවලින් එකක් බව නිසැකයි. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවිගෙන් ලබන වටිනා ත්‍යාගයක්!—2 තිමෝති 3:15-17.

[20වන පිටුවේ පින්තූරය]

පෝලන්ත භාෂාවට “නව ගිවිසුම” පරිවර්තනය කළ ස්ටැනීස්ලාෆ් මුර්සිනවුස්කි වෙනුවෙන් කළ සිහිවටනයක්

[21වන පිටුවේ පින්තූරය]

ස්ටැනීස්ලාෆ් මුර්සිනවුස්කි පරිවර්තනය කළ මතෙව් පොතේ තුන්වන පරිච්ඡේදය

[හිමිකම් විස්තර]

Dzięki uprzejmości Towarzystwa Naukowego Płockiego