Skip to content

පටුනට යන්න

යුක්තියට ප්‍රිය කරන යෙහෝවා දෙවි

යුක්තියට ප්‍රිය කරන යෙහෝවා දෙවි

යුක්තියට ප්‍රිය කරන යෙහෝවා දෙවි

“යෙහෝවා වන මම යුක්තියට ප්‍රේම කරමි.”—යෙසායා 61:8, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) යුක්තිය සහ අයුක්තිය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ යුක්තිය ගැනත් බයිබලයේ පවසන්නේ කුමක්ද?

යුක්තිය නමැති ගුණාංගය විස්තර කර තිබෙන්නේ ප්‍රතිපත්තිගරුකව, සාධාරණව මෙන්ම පැති නොගෙන කටයුතු කිරීම හැටියටයි. එමෙන්ම අයුක්තිය හඳුන්වා තිබෙන්නේ දුෂ්ට, අන් අයව පහත් කොට සැලකීම සහ නිරපරාදේ අන් අයට හිරිහැර කිරීම හැටියටයි.

2 මීට අවුරුදු 3,500කට පමණ පෙර අපගේ ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවා ගැන මෝසෙස් මෙවැනි දෙයක් පැවසුවා. “දෙවිගේ සියලු මාර්ග සාධාරණය. දෙවි අයුතුකමෙන් තොර වූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි.” (ද්විතීය කතාව 32:4) ඉන් අවුරුදු 700කට පමණ පසු යෙසායාද මේ වචන පැවසුවා. “යෙහෝවා වන මම යුක්තියට ප්‍රේම කරමි.” (යෙසායා 61:8, NW) එමෙන්ම පළමු සියවසේදී පාවුල්ද පැවසුවේ ඊට සමාන දෙයක්. ඔහු සඳහන් කළේ “දෙවි තුළ අයුක්තිය තිබේද? කවදාවත් එසේ නොවේවා!” (රෝම 9:14) පේතෘස්ද පැවසුවේ “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය” කියායි. (ක්‍රියා 10:34, 35) ඇත්තෙන්ම ‘යෙහෝවා යුක්තියට බොහෝසෙයින් කැමති දෙවි’ කෙනෙක්.—ගීතාවලිය 37:28; මලාකි 3:6, NW.

අයුක්තිය වැජඹේ

3. අයුක්තිය පටන්ගත්තේ කොතැනින්ද?

3 වර්තමාන මිනිස් සමාජය තුළ වැජඹෙන්නේ අයුක්තියයි. ආදම් සහ ඒව යන මුල් මිනිස් යුවළ සාතන්ගේ පෙලඹවීම මත දෙවිට විරුද්ධව කැරලි-ගැසුවා. එසේ කිරීමෙන් මේ තිදෙනාම සිදු කළේ අයුක්තියක්, අසාධාරණයක්. ඒ දෙවි ඔවුන්ට දී තිබුණු වටිනා ත්‍යාගයක් වූ තීරණ ගැනීමේ නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීමෙනුයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු මිනිස් වර්ගයාම දුක් ගැහැට කන්දරාවකට සහ මරණයට මුහුණ දෙමින් සිටිනවා. අපිට පාසැලේ, වැඩපොළේ, නිවසේ මෙන්ම බලධාරීන් සමඟ කටයුතු කිරීමේදී පවා මොන තරම් අයුක්තියට මුහුණ දෙන්න සිදු වෙනවාද?—උත්පත්ති 3:1-6; රෝම 5:12; හෙබ්‍රෙව් 2:14.

4. අයුක්තිය පැතිරෙන්න පටන්ගත්තේ කවදා සිටද?

4 මීට අවුරුදු 6,000කට පමණ පෙර ඒදන් උයනේදී ඇරඹුණු ඒ අයුක්තිය අද මිනිස් සමාජය පුරාම පැතිර තිබෙනවා. සාතන් මේ ලෝකයේ දෙවියා නිසා එය පුදුමයක් නොවෙයි. (2 කොරින්ති 4:4) ඔහුව බොරුවේ පියා ලෙසත් යෙහෝවා දෙවිගේ විරුද්ධකාරයා ලෙසත් හඳුන්වා තිබෙනවා. (යොහන් 8:44) ලොව දසත පැතිර තිබෙන බරපතළ අයුක්තිසහගත ක්‍රියාවලට උල්පන්දම් දෙන්නේ ඔහුයි. උදාහරණයක් හැටියට නෝවාගේ කාලයේ සිටි “මිනිසුන්ගේ දුෂ්ටකම් බහුල බවත් ඔහුගේ සිතේ කල්පනාව නිතරම යොමු වී තිබුණේ නපුරට බවත් යෙහෝවා දෙවි” දැක්කා. ඊට එක් හේතුවක් වූයේ සාතන් ඒ පිටුපස සිටීමයි. (උත්පත්ති 6:5, NW) ඔහුගේ බලපෑම ඒ කාලයට පමණක් සීමා වූයේ නැහැ. යේසුස්ගේ කාලයටද එහි බලපෑම පැතිරුණා. “එක දවසක තිබෙන කරදර ඒ දවසට සෑහෙයි” කියා යේසුස් පැවසුවේ අයුක්තිය වැනි ඉතා පීඩාකාරී තත්වයන්ට දිනපතාම මුහුණ දෙන්න සිදු වන නිසයි. (මතෙව් 6:34) මේ අනුව ‘මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින් වේදනා විඳිමින් සිටිනවා’ කියා අද පවතින තත්වය ගැන බයිබලයේ සඳහන් වීම ඉතාම නිවැරදියි.—රෝම 8:22.

5. වෙන කවරදාකටත් වඩා අපේ කාලයේ අයුක්තිය පවතින්නේ ඇයි?

5 යුක්තිය බරපතළ ලෙස උල්ලංගනය වීම හේතුවෙන් මිනිස් ඉතිහාසය පුරාම ඉතා දුෂ්ට දේවල් සිදු වී තිබෙනවා. ඊට හේතුව කුමක්ද? අප ජීවත් වන්නේ ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක අන්තිම දවස්වල’ නිසයි. අද කාලයේ සිටින මිනිසුන් ගැන බයිබලයේ පුරෝකථනය කර තිබෙන්නේ මිනිසුන් ‘තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය’ කියායි. “එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර” අය වන බවයි. (2 තිමෝති 3:1-5) බොහෝ අයුක්තිසහගත ක්‍රියාවලට හේතු වී තිබෙන්නේ එවැනි ගතිලක්ෂණයි.

6, 7. අද දින මිනිසුන් මුහුණ දෙන්නේ කුමනාකාරයේ අයුක්තිසහගත දේවලටද?

6 පසුගිය අවුරුදු සියය පුරා පමණක් මිනිසුන් මහා පරිමාණයේ අයුක්තිසහගත දේවලට මුහුණ දී තිබෙනවා. ඊට එක් හේතුවක් වී ඇත්තේ ඒ කාලය පුරාම පැවති යුද්ධයි. එක් ඉතිහාසඥයෙක් තක්සේරු කළ ආකාරයට දෙවෙනි ලෝක මහා යුද්ධයේදී පමණක් මිනිසුන් මිලියන 50ත් 60ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. ඉන් වැඩිපුරම මිය ගොස් ඇත්තේ අහිංසක ස්ත්‍රීන්, පුරුෂයන් හා දරුවනුයි. එම යුද්ධයෙන් පසුව පැවති වෙනත් ගැටුම් නිසාද මිලියන ගණනකගේ ජීවිත අහිමි වී තිබෙනවා. නැවතත් ඊට වැඩිපුරම ගොදුරු වී තිබෙන්නේ සාමාන්‍ය ජනයායි. මේවාට හේතුව ගැන බයිබලය කලින්ම පවසා ඇත්තේ මෙසේයි. “යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.” (එළිදරව් 12:12) මේ අනුව සාතන් අයුක්තිසහගත තත්වයන් වඩාත් උග්‍ර කරන්නේ ඔහුගේ විනාශය අත ළඟ නිසයි.

7 අයුක්තියේ තවත් පැත්තක් සලකා බලන්න. සෑම වසරකම ඩොලර් ප්‍රකෝටි ගණනක් යුද්ධය සඳහා වැය කරනවා. නමුත් මිලියන ගණනක් ජනයා කන්න අඳින්න නැතිව දුක් විඳිනවා. යුද්ධය සඳහා වැය කරන එම මුදල් මේ අය වෙනුවෙන් වැය කරනවා නම් ඉන් මොන තරම් යහපතක් වෙයිද! එක් පිරිසකට ඕනෑවටත් වඩා ආහාර තිබෙද්දී තවත් බිලියනයක් පමණ ජනයා නින්දට යන්නේ කුසට අහරක් නැතිවයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව සෑම වසරකම දරුවන් ලක්ෂ 50ක් පමණ කුසගින්න හේතුවෙන් මිය යනවා. එය අයුක්තියක් නොවෙයිද? බොහෝදෙනෙක් නොදකින අයුක්තියේ තවත් පැත්තක් නම් ගබ්සාවයි. එක්තරා ගණන් බැලීමකට අනුව එක් වසරකදී පමණක් නූපන් ජීවිත මිලියන 40ත් 60ත් අතර සංඛ්‍යාවක් නිරපරාදේ නැති කර දමනවා. මොන තරම් කම්පා කරවන්නක්ද!

8. යුක්තිය ඉටුවීමට නම් කුමක් සිදු විය යුතුද?

8 වර්තමානයේ සිටින මිනිසුන් ගැන බයිබලයේ පවසා තිබෙන්නේ මෙසේයි. “දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ අනුන්ව නොමඟ යවමින් හා තමන්ද නොමඟ යමින් වඩ වඩාත් නරක් වන්නෝය.” (2 තිමෝති 3:13) මිනිස් සමාජය පුරාම අයුක්තිය ගැඹුරටම මුල් ඇද තිබෙන නිසා අද තිබෙන ගැටලුවලට විසඳුම් ගෙනෙන්න මිනිසාට හැකි වී නැහැ. ඒ සඳහා සාතන්වත් ඔහුගේ භූතයන්වත් දුෂ්ට අයුක්තිසහගත මිනිසුන්වත් මේ පොළොවෙන් මුලින්ම උදුරා දැමිය යුතුයි. එය කළ හැක්කේ යුක්තියට ප්‍රිය කරන යෙහෝවා දෙවිට පමණයි.—යෙරෙමියා 10:23, 24.

ඇයි මෙතරම් අයුක්තියක්?

9, 10. ආසාප්ගේ ඇදහිල්ල තරමක් දුර්වල වුණේ ඇයි?

9 දෙවි යුක්තිය ඉටු කිරීමට මෙතරම් කල්ගන්නේ ඇයි කියා බයිබලය ලියූ සමහර අය කල්පනා කළා. බයිබලයේ 73වෙනි ගීතිකාවේ හැඳින්වීමේ සඳහන් වන ආසාප්, දාවිත් රජුගේ කාලයේ සිටි ලෙවී ගෝත්‍රයට අයත් ප්‍රවීණ සංගීතඥයෙක් හෝ ආසාප්ගේ පෙළපතෙන් පැමිණි කෙනෙක් විය හැකියි. ඔහු සහ ඔහුගෙන් පැවතෙන්නන් රචනා කළ බොහෝ ගීතිකා දෙවිට කරන නමස්කාරයේදී ගායනා කළා. නමුත් එක් අවස්ථාවකදී ආසාප්ගේ ඇදහිල්ල තරමක් දුර්වල වුණා. ඊට හේතු වුණේ දුෂ්ට මිනිසුන් දියුණු වෙමින් කිසි කරදරයක් නැතිව සන්තෝෂයෙන් ජීවත් වෙනවා ඔහු දුටු නිසයි.

10 ඒ ගැන ඔහු සඳහන් කළේ මෙසේයි. “මම පුරසාරම් දොඩන අය ගැනද දුෂ්ටයන් කිසි කරදරයක් නැතිව සිටිනවා දකින විටද ඊර්ෂ්‍යා වුණෙමි. මැරෙන මොහොතේදී පවා ඔවුහු වේදනාවක් අත්නොදකිති. ඔවුන්ගේ බඩ තර වී ඇත. ඔවුහු සාමාන්‍ය මිනිසුන් මෙන් දුක් ගැහැට නොවිඳිති.” (ගීතාවලිය 73:2-8, NW) නමුත් තමන් සිතන විදිහ වැරදි බව ඔහු තේරුම්ගත්තා. (ගීතාවලිය 73:15, 16) තම සිතුවිලි නිවැරදි කරගැනීමට දැඩි වෑයමක් දැරුවත් ධර්මිෂ්ඨයන් දුක් විඳිද්දී දුෂ්ටයන් වැජඹෙන්නේ ඇයි කියා ඔහුට තවමත් ප්‍රහේලිකාවක් වුණා.

11. ආසාප් වටහාගත්තේ කුමක්ද?

11 කෙසේවෙතත් යෙහෝවා දෙවි දුෂ්ටයන්ව විනාශ කොට යුක්තිය ඉෂ්ට කරන බව ඔහු වටහාගත්තා. (ගීතාවලිය 73:17-19) මේ ගැන දාවිත්ද පැවසුවේ මෙසේයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ ගමන් කරන්න. ඔහු ඔබව උසස් කර ඔබට පොළොව හිමි කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නේය.”—ගීතාවලිය 37:9, 11, 34, NW.

12. (අ) අයුක්තිසහගත ලෙස කටයුතු කරන අයගේ අවසානය කුමක්ද? (ආ) ඒ ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?

12 දුෂ්ටයන්වත් අයුක්තිසහගත ලෙස කටයුතු කරන අයවත් විනාශ කර දැමීමට දෙවිට නියමිත කාලයක් තිබෙනවා. මෙය දෙවිගේ පක්ෂපාත සේවකයන්ද විටින් විට මතකයට නඟාගත යුතු කරුණක්. දෙවිගේ අරමුණට විරුද්ධ වන අයට විනාශයත් කීකරු වන අයට ආශීර්වාදත් අත් වෙනවාමයි. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මේ ආකාරයටයි. “ඔහු මනුෂ්‍ය පුත්‍රයන් දෙස බලා ඔවුන්ව සෝදිසි කරන්නේය. යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරයි. ඔහු උගුල්ද ගින්දරද ගෙන්දගම්ද වර්ෂාව මෙන් දුෂ්ටයන් පිටට වැටෙන්න සලස්වයි. . . . යෙහෝවා දෙවි ධර්මිෂ්ඨය. ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරයි.”—ගීතාවලිය 11:4-7, NW.

යුක්තිය රජයන නව සමාජයක්

13, 14. නව සමාජය තුළ යුක්තියත් ධර්මිෂ්ඨකමත් පැවතීමට හේතුව කුමක්ද?

13 සාතන්ගේ පාලනය යටතේ පවතින මේ අයුක්තියෙන් පිරි දුෂ්ට සමාජය විනාශ කිරීමෙන් පසු දෙවි යුක්තිගරුක මිනිසුන්ට මේ පොළොව උරුම කර දෙනවා. ඔවුන්ව පාලනය කරන්නේ ස්වර්ගයේ තිබෙන දේවරාජ්‍යය මගිනුයි. ඒ කාලයේදී අයුක්තිය වෙනුවට යුක්තියත් දුෂ්ටකම වෙනුවට ධර්මිෂ්ඨකමත් ක්‍රියාත්මක වෙයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉල්ලන්න කිව්වේත් ඒ රාජ්‍යයයි. (මතෙව් 6:10) ඒ කාලයේදී මෙම යාච්ඤාවේ සඳහන් දේවල් සම්පූර්ණයෙන්ම ඉටුවීමට නියමිතයි.

14 පැමිණීමට නියමිත එම ආණ්ඩුව යුක්තියට ළැදි අපි කවුරුත් ඉතා ආශාවෙන් බලා සිටින ආකාරයේ එකක්. එදාට ගීතාවලිය 145:16හි [NW] අනාවැකිය ඉටුවීමට නියමිතයි. එහි පවසන්නේ මෙසේයි. “ඔබේ [යෙහෝවා දෙවිගේ] හස්තය විහිදා ඔබ ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන්නේය.” තවදුරටත් යෙසායා 32:1හි [NW] පවසන්නේ මෙසේයි. “ඒ කාලයේදී, ධර්මිෂ්ඨකම ස්ථාපිත කිරීමට රජෙකුද [ස්වර්ගයේ සිටින යේසුස්] යුක්තිය ඉටු කිරීමට පාලකයෝද [පොළොවේ සිටින යේසුස්ගේ පාලනය නියෝජනය කරන අය] පත් කරනු ලබයි.” යේසුස් සම්බන්ධයෙන් යෙසායා 9:7හි [NW] මෙසේද සඳහන් කර තිබෙනවා. “සදහටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් ස්ථිරව පිහිටුවනු පිණිස ඔහු යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරයි. ඔහුගේ ආණ්ඩුව පොළොව පුරා පැතිරෙයි. සමාදානය සදහටම පවතියි. ස්වර්ගීය සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිට තිබෙන දැඩි උනන්දුව නිසා ඔහු මෙය ඉටු කරන්නේය.” අනාගතයේ එම පාලනයේ යටත්වැසියෙක් වී සිටින ආකාරය ඔබට දැන් සිතින් මවාගන්න පුළුවන්ද?

15. තම පාලනය මගින් දෙවි කිරීමට අරමුණු කර තිබෙන්නේ කුමක්ද?

15 දේශනාකාරයා 4:1හි [NW] ඉතාමත් දුක්ඛිත තත්වයක් විස්තර කරනවා. “ඉර යට සිදු වන සියලු පීඩාකාරී දේවල් ගැන මම නැවත කල්පනා කළෙමි. පීඩාවට ලක් වූවන්ගේ කඳුළු දුටිමි. නමුත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත. ඔවුන්ට පීඩා කරන්නන් බලවත් අය වූ නිසා ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.” නමුත් දෙවිගේ පාලනය යටතේ නම් අපට කෙදිනකවත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වෙන්නේ නැහැ. යුක්තියෙන් පිරි පාරාදීස පොළොවක ජීවිතය මොන වගේද කියා සම්පූර්ණයෙන්ම වටහාගන්න අද අපට අමාරුයි. නමුත් ඒ කාලයේදී අයුක්තිය වෙනුවට යුක්තිය ක්‍රියාත්මක වන ආකාරය දකින්න අපිට පුළුවන්. එමෙන්ම දෙවි සියලු දේ යථා තත්වයට පත් කරන්නේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා වැඩියෙනුයි. ඒ ගැන වාර්තා කිරීමට දෙවි පේතෘස්ට මඟ පෙන්වූවා. ඔහු මෙසේ ලිව්වා. “නමුත් ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.”—2 පේතෘස් 3:13.

16. “අලුත් අහස” සහ “අලුත් පොළොව” දැනටමත් ක්‍රියාත්මක වන්නේ කුමන අර්ථයෙන්ද?

16 “අලුත් අහස” හෙවත් දෙවිගේ රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා අවසන්. එහි රජු වන්නේ යේසුස් ක්‍රිස්තුස්. “අලුත් පොළොව” මගින් නියෝජනය කරන්නේ ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් යුත් නව සමාජයයි. ඒ සඳහා දැනටමත් එවැනි අයව එක්රැස් කරමින් සිටිනවා. ඒ අය මේ වන විටත් රටවල් 235ක ක්‍රිස්තියානි සභා 1,00,000ක පමණ විසිරී සිටිනවා. මිලියන ගණනක් වූ ඔවුන්ගේ එකමුතුකම මිනිස් ඉතිහාසයේ කැපීපෙනෙන දෙයක්. ඊට හේතුව ඔවුන් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨකම හා යුක්තිය ඉගෙනගෙන එක්සත් පවුලක් වී තිබෙන නිසායි. එය ළඟදීම පැමිණීමට නියමිත දෙවිගේ පාලනයේ සුළු පරිමාණ ඉටුවීමක් පමණයි.—යෙසායා 2:2-4; යොහන් 13:34, 35; කොලොස්සි 3:14.

සාතන්ට අන්ත පරාජයක්

17. සාතන්ගේ අවසාන ප්‍රහාරය අසාර්ථක වන්නේ ඇයි?

17 යෙහෝවා දෙවිට පක්ෂ වූ අයව නැත්තටම නැති කිරීමේ අදහසින් සාතන් ඔහුගේ පිරිවර සමඟ ළඟදීම ක්‍රියාත්මක වීමට නියමිතයි. (එසකියෙල් 38:14-23) එය “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාව” අතරතුරේදී සිදු වන බව යේසුස් පැවසුවා. (මතෙව් 24:21) සාතන්ගේ අවසන් ප්‍රහාරය සාර්ථක වෙයිද? එසේ නොවන බව දෙවිගේ වචනයේ සහතික ලෙස පවසා තිබෙන්නේ මෙසේයි. “මන්ද යෙහෝවා දෙවි යුක්තියට බොහෝසෙයින් කැමතිය. තමාට පක්ෂපාත අයව ඔහු අත් නොහරියි. ඔවුහු සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නෝය. නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:28, 29, NW.

18. (අ) සාතන්, දෙවිගේ සෙනඟට පහර දීමට පැමිණෙද්දී දෙවි කරන්නේ කුමක්ද? (ආ) යුක්තිය ඉෂ්ට වීම සම්බන්ධයෙන් බයිබලයේ ඇති මෙම තොරතුරු සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

18 යෙහෝවා දෙවිගේ සේවකයන්ට විරුද්ධව සාතන් හා ඔහුගේ පිරිවර ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිතයි. එය දෙවිගේ සේවකයන් අයුක්තියට මුහුණ දෙන අවසන් වතාවයි. අනාගතවක්තෘ වූ සෙකරියා තුළින් දෙවි කලින්ම පවසා තිබුණේ “මාගේ සෙනඟට හිරිහැර කළොත් මා එය සලකන්නේ මගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නාක් මෙනි” කියායි. (සෙකරියා 2:8, NW) මොවුන් දෙවිගේ සෙනඟට හිරිහැර කරද්දී එය යෙහෝවා දෙවිට දැනෙන්නේ කවුරුන් හෝ ඔහුගේ කළු ඉංගිරියාවට අතගසන්න උත්සාහ කරනවා වගෙයි. දෙවි ඉක්මනින් ක්‍රියාත්මක වී එවැනි අයව සහමුලින්ම විනාශ කර දමනවා. මේ පොළොව මත සිටින අයගෙන් ප්‍රේමය, එක්සත්කම, සාමකාමීත්වය සහ නීතියට ගරු කිරීම අතින් කැපීපෙනෙනම මිනිසුන් වන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන සෙනඟයි. ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම ඇත්තෙන්ම අයුක්තිසහගතයි. මහත් සේ ‘යුක්තියට ප්‍රේම කරන’ තැනැත්තා වන යෙහෝවා දෙවි එය තවදුරටත් ඉවසන්නේ නැහැ. තම සෙනඟ වෙනුවෙන් ක්‍රියාත්මක වන ඔහු සියලුම සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර යුක්තිය ඉෂ්ට කිරීමට නියමිතයි. එදාට ඉතිරි වන්නේ සැබෑ දෙවිට නමස්කාර කරන අය පමණයි. නුදුරු අනාගතයේදී තව මොන තරම් පුදුමාකාර දේවල් සිදුවීමට නියමිතද!—හිතෝපදේශ 2:21, 22, NW.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අයුක්තිය දසත පැතිර ඇත්තේ ඇයි?

• යෙහෝවා දෙවි අයුක්තිය සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද?

• යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් ඔබේ සිත්ගත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

නෝවාගේ කාලයේ මෙන් අප ජීවත් වන ‘අන්තිම දවස්වලදීත්’ දුෂ්ටකම පැතිර පවතිනවා

[24, 25වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නව සමාජය තුළ දුෂ්ටකම වෙනුවට වැජඹෙන්නේ යුක්තිය හා ධර්මිෂ්ඨකමයි