Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවියනි, මා කෙබඳු කෙනෙක්දැයි පරීක්ෂා කර බලන්න’

‘යෙහෝවා දෙවියනි, මා කෙබඳු කෙනෙක්දැයි පරීක්ෂා කර බලන්න’

‘යෙහෝවා දෙවියනි, මා කෙබඳු කෙනෙක්දැයි පරීක්ෂා කර බලන්න’

‘සිත් පරීක්ෂා කරන්නේ යෙහෝවා දෙවියි.’ (හිතෝපදේශ 17:3, නව ලොව පරිවර්තනය, NW) මිනිසුන් අන් අයව විනිශ්චය කරන්නේ පිටාතර පෙනුමෙන්. නමුත් යෙහෝවා දෙවි අපේ ‘සිතේ තිබෙන දේ දකිනවා.’ ඒ බව දැන සිටීම මොන තරම් සහනයක්ද!—1 සාමුවෙල් 16:7, NW.

ඇත්තටම අපේ සිතේ ඇති චේතනා හා නැඹුරුවාවන් මොනවාද කියා හරියටම කියන්න අපිවත් දන්නේ නැහැ. එය දන්නේ යෙහෝවා දෙවි පමණයි. ඔහුම ඒ ගැන පවසන්නේ මෙසේයි. “සියල්ලටම වඩා සිත රැවටිලිකාරයි. එය උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටයි. එය තේරුම්ගන්න පුළුවන් කාටද? යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත්ද ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම්ද සෝදිසි කර බලනවා.”—යෙරෙමියා 17:9, 10, NW.

පරීක්ෂාවන් පැමිණීමට හේතුව

දෙවි අප ගැන හොඳින් දන්නා බව දාවිත් තේරුම්ගත් නිසා ඔහු මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරන්න. මා කෙබඳු කෙනෙක්දැයි පරීක්ෂා කර බලන්න. මාගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි තව තවත් පවිත්‍ර කරන්න.” (ගීතාවලිය 26:2, NW) එසේ පැවසීමෙන් ඔහු පෙන්වූයේ තමා කිසි වරදක් නොකළ පුද්ගලයෙක් බවද? නැහැ. ඔහුත් අප හා සමාන වැරදි නැඹුරුවාවන් තිබූ කෙනෙක්. අවස්ථා කිහිපයකදීම ඔහු දෙවිගේ නීති බරපතළ ලෙස කඩ කළා. ඒ වුණත් ඔහු දෙවි ඉදිරියෙහි ‘නිර්දෝෂ සිතකින්’ යුතුව කටයුතු කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 රාජාවලිය 9:4, NW) ඔහුට එසේ කිරීමට හැකි වූයේ තමාට ලැබුණු හික්මවීම් පිළිගෙන වැරදි නිවැරදි කරගැනීමට මහත් වෑයමක් දැරූ නිසයි. එමගින් ඔහු තමන් දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියාත් දෙවි කෙරෙහි මොන තරම් භක්තියක් තිබෙනවාද කියාත් පෙන්නුවා.

අප ගැන කුමක් කිව හැකිද? පව් කිරීමට නැඹුරුවාවක් ඇති අප අතින් වැරදි සිදු වන බව යෙහෝවා දෙවි දන්නවා. අනාගතයේ අප කරන්න යන දේවල් මොනවාද කියා දැනගැනීමට දෙවිට හැකියාව තිබුණත් ඔහු ඒවා කලින්ම තීරණය කර නැහැ. ඊට හේතුව නම් ඔහු අපව මවා තිබෙන්නේ තීරණ ගැනීමේ නිදහස ඇතුව නිසයි.

ඒ වුණත් අපට යම් තත්වයන්ට හා අභියෝගවලට මුහුණ දීමට යෙහෝවා දෙවි ඉඩහරිනවා විය හැකියි. එමගින් අපගේ චේතනා හා ආකල්ප මොනවාද කියා දැනගැනීමට දෙවිට අවස්ථාවක් ලැබෙනවා. එපමණක්ද නොව ඔහු කෙරෙහි අපේ ඇදහිල්ල හා පක්ෂපාතකම කොතරම්ද කියා පෙන්වීමට අපටද ප්‍රස්තාවක් සැලසෙනවා. යෙහෝවා දෙවි එවැනි පරීක්ෂණවලට ඉඩහැරීමෙන් අපි ලබන ප්‍රයෝජන මොනවාද? ‘කිසි අඩුවක් නැති, සම්පූර්ණ, කොයිම ආකාරයකින්වත් දෝෂ නැති’ ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවාද කියා සෝදිසි කර බලන්න අපටම අවස්ථාවක් ලැබෙනවා.—යාකොබ් 1:2-4.

ඇදහිල්ල පරීක්ෂණයට ලක් වී

දෙවිගේ සේවකයන්ගේ ඇදහිල්ල තර්ජනයට ලක් වෙන්න පටන්ගත්තේ අද ඊයේ සිට නොවෙයි. එවැනි පුරාණ සිද්ධියක් ගැන බයිබලයේ වාර්තා වෙන්නේ මෙසේයි. “සැබෑ දෙවි, ආබ්‍රහම්ගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද කියා සෝදිසි කර බැලුවේය.” (උත්පත්ති 22:1, NW) ඒ වන විටත් ආබ්‍රහම්ගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද කියා ඔප්පු වී තිබුණා. ඊට දශක ගණනාවකට කලින් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ඉතාම සශ්‍රීක නගරයක් වූ ඌර් අතහැර නොදන්නා දේශයකට යන්න කියා දෙවි, ආබ්‍රහම්ට පවසා තිබුණා. (උත්පත්ති 11:31; ක්‍රියා 7:2-4) ආබ්‍රහම් ජීවත් වූ නගරයේ ඔහුටම කියා නිවසක් තිබූ බව නිසැකයි. නමුත් ඔහු කානාන් දේශයට පැමිණි පසු ස්ථිර නිවසක වාසය කළේ නැහැ. (හෙබ්‍රෙව් 11:9) මෙසේ තැනින් තැන යමින් කූඩාරම් ගසාගෙන ජීවත් වූ ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. උදාහරණයක් හැටියට ආහාර හිඟකම්වලට මෙන්ම සොර සතුරන්ටත් ඒ ප්‍රදේශවල සිටි පාලකයන්ගෙන් පැමිණි කරදරවලටත් ඔවුන් ගොදුරු වුණා. මේ කාලය පුරාම ආබ්‍රහම්ගේ ඇදහිල්ලේ කිසිම අඩුවක් තිබුණේ නැහැ.

නමුත් ආබ්‍රහම් මුහුණ දුන් ඊළඟ පරීක්ෂණය වඩාත් අභියෝගාත්මක එකක්. ‘ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්ව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න’ කියා දෙවි ඔහුගෙන් ඉල්ලා සිටියා. (උත්පත්ති 22:2, NW) ඊසාක්, ආබ්‍රහම්ටත් සාරාටත් සිටි එකම දරුවායි. කානාන් දේශය උරුමයක් හැටියට ලබන්න සිටින්නේ මෙම පුත්‍රයා බවත් මුළු මිනිස් වර්ගයාටම ආශීර්වාද ගෙන එන්නේ ඔහු තුළින් කියාත් දෙවි, ඊසාක් සම්බන්ධයෙන් පොරොන්දු වී තිබුණා.—උත්පත්ති 15:2-4,7.

එසේ තිබියදීත් මෙවැනි දෙයක් කිරීමට දෙවි අණ කළේ ඇයි කියා තේරුම්ගැනීම ආබ්‍රහම්ට කොතරම් අමාරු වෙන්න ඇද්ද! යෙහෝවා දෙවි මිනිස් පූජාවක් බලාපොරොත්තු වුණාද? තම මහලු වයසේ ප්‍රීතිය වූ එකම පුත්‍රයාව දෙවි පූජාවක් ලෙස ඉල්ලුවේ ඇයි? *

මේ ප්‍රශ්නවලට පිළිතුරු ආබ්‍රහම් සතුව නොතිබුණත් ඔහු ඊට අප්‍රමාදව කීකරු වුණා. යෙහෝවා දෙවි අණ කළ කන්දට යෑමට ඔහුට දින තුනක් ගත වූ අතර එහි පූජාසනයක් සාදා ඒ මත දර ඇතිරුවා. දැන් සියල්ල සූදානම්! ඔහු තම පුත්‍රයාව මරන්න පිහිය ඔසවද්දීම යෙහෝවා දෙවි දේවදූතයකු තුළින් ඔහුව නවත්වා මෙසේ පැවසුවා. “ඔබ ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා මට දෙන්න පසුබට නොවූ නිසා ඔබට දෙවි කෙරෙහි ගරුබිය ඇති බව දැන් මම දනිමි.” (උත්පත්ති 22:3, 11, 12, NW) ඒ වචන ආබ්‍රහම්ට මොන තරම් සතුටක් ගෙනෙන්න ඇද්ද! ඔව්, ආබ්‍රහම්ට ශක්තිමත් ඇදහිල්ලක් තිබූ බවට වූ දෙවිගේ විශ්වාසය තහවුරු වුණා. (උත්පත්ති 15:5, 6) පසුව ආබ්‍රහම් ඊසාක් වෙනුවට බැටළුවෙකුව පූජා කළා. එවිට යෙහෝවා දෙවි ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණෙන විශේෂ තැනැත්තා ගැන දුන් පොරොන්දුව එම අවස්ථාවේදී ඔහුට තහවුරු කළා. ආබ්‍රහම් ඒ තුළින් යෙහෝවා දෙවිගේ මිත්‍රයා බවට පත් වුණා.—උත්පත්ති 22:13-18; යාකොබ් 2:21-23.

අපගේ ඇදහිල්ලද පරීක්ෂාවට ලක් වේ

දෙවිගේ සේවකයන් වන අපටත් පරීක්ෂාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ආබ්‍රහම්ට කරන්න කියූ දෙය හා සමාන දෙයක් කරන්න කියා දෙවි අපට නොකියන්න පුළුවන්. නමුත් අපට යම් යම් දේවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවි ඉඩහරිනවා විය හැකියි.

පාවුල් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12) එවැනි පීඩා අපට පාසැලේ ශිෂ්‍යයන්ගෙන්, මිතුරන්ගෙන්, නෑදෑයන්ගෙන්, අසල්වාසීන්ගෙන් හා වැරදි තොරතුරුවලින් නොමඟ ගිය බලධාරීන්ගෙන් පැමිණිය හැකියි. මේවා වාචික හා ශාරීරික ප්‍රහාර මෙන්ම වෙනත් ආකාරවලින්ද එල්ල විය හැකියි. ඒ විතරක් නොවෙයි මිනිසුන්ට පොදුවේ පැමිණෙන අසනීප, කලකිරීම්, අසාධාරණය වැනි දේවලටද ක්‍රිස්තියානීන් ගොදුරු වෙනවා. මේ සෑම පීඩාවකින්ම සිදු වන්නේ අපගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වීමයි.

ඉන් අත් වන ප්‍රයෝජන ගැන පේතෘස් පවසන්නේ මෙසේයි. “ඔබ . . . විවිධාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්ව සිටින්නහුය. එසේ වන්නේ, ගින්නෙන් සෝදිසි කරනු ලැබුවත් නැති වී යන රනට වඩා බොහෝ සේ වටිනා, පරීක්ෂාවට ලක්වීමෙන් ඔප්පු වූ ඔබේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වීමේදී ප්‍රශංසාවටත් මහිමයටත් ගෞරවයටත් කාරණයක් බව පෙනෙන පිණිසය.” (1 පේතෘස් 1:6, 7) ඇදහිල්ල පරීක්ෂාවට ලක්වීමෙන් ඇති වන ප්‍රතිඵල, ගින්නෙන් පිරිසිදු කළ රන්වලට සමානයි. රන් පිරිසිදු කිරීමේදී එහි ඇති බොර වැනි බාල ද්‍රව්‍ය ඉවත් වී නියම රත්රන් පමණක් ඉතිරි වේ. අප පරීක්ෂා අද්දකින විට අපගේ ඇදහිල්ලට සිදු වන්නේත් එවැනිම දෙයක්.

මේ ගැන සලකා බලන්න. හදිසි අනතුරකින් හෝ ස්වාභාවික විපතකින් කෙනෙකුගේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල විය හැකියි. නමුත් ඔවුන්ට ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවා නම් එයින් ඇති වන කනස්සල්ලෙන් යටපත් වෙන්නේ නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවි දෙන මෙම පොරොන්දුව එවැනි අයට මහත් සහනයක් ගෙන දෙන නිසයි. “මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) ඒ නිසා දෙවිගේ නමස්කාරයට මුල් තැන දෙන විට දෙවි තමන්ගේ අවශ්‍යතා සපුරන බව ඔවුන්ට විශ්වාසයි. මේ අනුව දුෂ්කරතා දරාගැනීමටත් කනස්සලු වී ගැටලු වැඩි කරගැනීමෙන් වැළකී සිටීමටත් ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන්ට උපකාර කරයි.

පරීක්ෂාවන්ට මුහුණ දෙන විට අපේ ඇදහිල්ලේ දුර්වලකම් හෙළි වෙනවා. නමුත් ඒවා නිවැරදි කරගන්නවා නම් ඉන් ප්‍රයෝජන අත් කරගන්න අපිට පුළුවන්. ඒ නිසා අපි මේ ගැන සිතා බලමු. ‘මම මගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්නේ කෙසේද? දෙවිගේ වචනය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමට මීට වඩා කාලය ගත යුතුද? මම රැස්වීම්වලින් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නවාද? මගේ ප්‍රශ්න ගැටලු විසඳාගන්න මම උත්සාහ කරන්නේ තනිවමද? නැත්නම් ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කර උදව් ඉල්ලනවාද?’ එවන් සෝදිසියක් කිරීම අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට තබන පළමු පියවරයි.

ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට නම් දෙවිගේ වචනය කෙරෙහි රුචියක් වර්ධනය කරගන්න අවශ්‍යයි. මේ ගැන පේතෘස් පැවසුවේ මෙසේයි. “දෙවිගේ වචනයේ අමිශ්‍ර කිරිවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.” (1 පේතෘස් 2:2; හෙබ්‍රෙව් 5:12-14) එමෙන්ම අපි ගීතාවලිය පොතේ විස්තර කර ඇති ආකාරයේ පුද්ගලයෙක් වීමට වෑයම් කළ යුතුයි. එහි පවසන්නේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය සිහින් හඬින් කියවන්නේය”—ගීතාවලිය 1:2, NW.

මේ සඳහා බයිබලය නිකම්ම කියවීම පමණක් ප්‍රමාණවත් නැහැ. එහි පවසා ඇති දේ ගැන ගැඹුරින් කල්පනා කර එම උපදෙස් අදාළ කරගැනීම ඉතාම වැදගත්. (යාකොබ් 1:22-25) ඉන් අත් වන ප්‍රයෝජනය නම් දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වැඩිවීමයි. ඒ වගේම අපි කරන අර්ථවත් යාච්ඤා තුළින් දෙවිට වඩා වඩා ළංවීමටත් අපිට හැකියි. එමෙන්ම දෙවි කෙරෙහි ඇති අපගේ ඇදහිල්ලද තව තවත් ශක්තිමත් වෙයි.

එවන් ඇදහිල්ලක වටිනාකම

ඇදහිල්ල නැතිව දෙවිගේ අනුමැතිය දිනාගැනීමට බැරි බව තේරුම්ගන්නවා නම් අපි අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට හැකි සෑම දෙයක්ම කරනවා. ඊට හේතුව බයිබලයේ සඳහන් කරන්නේ මෙසේයි. “ඇදහිල්ල නැතිව කිසිසේත් ඔහුව සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.” (හෙබ්‍රෙව් 11:6) එක් මිනිසෙක් යේසුස්ගෙන් මෙවැනි ඉල්ලීමක් කළා. “මගේ ඇදහිල්ලේ අඩු පාඩුකම් හදාගන්න මට උපකාර කරන්න!” (මාක් 9:24) අපිටත් හැඟෙන්නේ එසේමද?

අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වෙද්දී එය දකින අන් අයත් ඉන් ප්‍රයෝජන ලබනවා. ඒ කෙසේද? උදාහරණයක් හැටියට අපි ප්‍රේම කරන කෙනෙක් මිය ගියා යයි සිතන්න. නැවත නැඟිටුවීම ගැන දෙවිගේ පොරොන්දුව කෙරෙහි අපි තුළ ඇති දැඩි විශ්වාසය, එම වේදනාව දරාගැනීමට අපිට මහත් උපකාරයක්. වියෝදුක නිසා අපි වැලපෙන බව ඇත්තයි. නමුත් අපි ‘බලාපොරොත්තුවක් නැති අන් අය මෙන් ශෝක වන්නේ’ නැහැ. (1 තෙසලෝනික 4:13, 14) එම වේදනාව දරාගැනීමට උපකාර කළේ අපේ ඇදහිල්ල බව එය දකින අන් අය තේරුම්ගන්නවා. එවිට එවැනිම ආකාරයේ ඇදහිල්ලක් ඇති කරගැනීමට ඔවුන්ද පෙලඹිය හැකියි.

පරීක්ෂණයට ලක් වූ ඇදහිල්ලක් ඇති තැනැත්තාට එවන් ඇදහිල්ලක් කොතරම් වටිනවාද කියා දෙවි දන්නවා. පීඩා පැමිණෙන විට ඒවා විඳදරාගන්න තරම් ප්‍රමාණවත් ඇදහිල්ලක් අපිට තියෙනවාද කියා මැන බලන්නත් එය හොඳ අවස්ථාවක්. අපේ අඩු පාඩු හඳුනාගෙන ඒවා සකස් කරගන්නත් පරීක්ෂා අපට උපකාර කරනවා. එමෙන්ම අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් කරන පීඩාවලට අප සාර්ථකව මුහුණ දෙන විට එය යේසුස්ගේ ගෝලයන් බවට පත් වෙන්න අන් අයවත් පොලඹවනවා. එවන් ශක්තිමත් ඇදහිල්ලක් සතු කෙනෙක් ‘යේසුස් එළිදරව් වීමේදී ප්‍රශංසාවටත් මහිමයටත් ගෞරවයටත්’ හේතුවක් වෙනවා නිසැකයි. (1 පේතෘස් 1:7) එමනිසා අපි අපේ ඇදහිල්ල දිගින් දිගටම ශක්තිමත් කරගන්න අධිෂ්ඨාන කරගනිමු.

[පාදසටහන]

^ 11 ඡේ. ඊසාක්ව “පූජාවක්” හැටියට ඔප්පු කිරීම යන කාරණයෙන් සංකේතවත් කළේ කුමක්ද යන්න ගැන වැඩි විස්තර දැනගැනීමට 1989 ජූලි 1 මුරටැඹ කලාපයේ 22වන පිටුව බලන්න.—සිංහලෙන් නැත.

[13වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ මිතුරෙකු වීමට ආබ්‍රහම්ට හැකි වූයේ ඔහුගේ ශක්තිමත් ඇදහිල්ල නිසයි

[15වන පිටුවේ පින්තූර]

අපිට කොතරම් ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවාද කියා පැමිණෙන පරීක්ෂණවලින් ඔප්පු වෙයි

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the Illustrated Edition of the Holy Scriptures, by Cassell, Petter, & Galpin