Skip to content

පටුනට යන්න

සියල්ලේ නිර්මාතෘව හඳුනාගනිමු

සියල්ලේ නිර්මාතෘව හඳුනාගනිමු

සියල්ලේ නිර්මාතෘව හඳුනාගනිමු

මයිකල්ඇන්ජලෝ. මේ නම ඔබ සමහරවිට අසා ඇති. ඔහු ඉතාලි ජාතික සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් මෙන්ම මූර්ති ශිල්පියෙක්. ඔබ ඔහුගේ නිර්මාණ දැක ඇත්තේ පොත පතින් පමණක් විය හැකියි. ඒ වුණත් මොහු “අද්විතීය කලාකරුවෙකු බව” ඔබ පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ. මයිකල්ඇන්ජලෝ ගැන කතා නොකර ඔහුගේ කලා කෘතීන් ගැන පමණක් කෙනෙකුට කතා කරන්න පුළුවන්ද?

ඒ හා සමානව අප අවට ලෝකයේ දකින්නට තිබෙන ජීවීන්ගේ විවිධත්වයත් ඔවුන්ගේ පුදුමාකාර සැකැස්මත් ගැන කල්පනා කර බලන්න. “අප දකින ජීවමාන දේවල් නිර්මාණය වී ඇති ආකාරය අපිව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. ජීව විද්‍යාවෙන්ද ඒ ගැන තහවුරු කර තිබෙනවා” කියා එක් සඟරාවක සඳහන් වුණා. (එම පොත The New York Times) ඒ අනුව බලද්දී නිර්මාණකරුවෙක් නැතිව එවන් පුදුමාකාර නිර්මාණ අහම්බෙන් සිදු වෙන්න පුළුවන් කියා සිතීම සාධාරණද?

තමා අවට තිබූ දේවල් සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වූ එක් බයිබල් ලේඛකයෙක් වූ පාවුල් “මැවූ තැනැත්තා වෙනුවට මැවිල්ලට භක්තියද නමස්කාරයද පිරිනැමූ” අය ගැන සඳහන් කළා. (රෝම 1:25) පරිණාමවාදයේ බලපෑම නිසා නිර්මාණකරුවෙක් සිටිය යුතුයි යන්න විශ්වාස කිරීමට සමහරුන් අපොහොසත් වී තිබෙනවා. නමුත් පරිණාමවාදය පිළිගත් විද්‍යාවට එකඟද? කතෝලික අග්‍රබිෂොප්වරයෙක් ද නියු යෝර්ක් ටයිම්ස් සඟරාවට මෙසේ පැවසුවා. “ජීවමාන සියල්ල නිර්මාණය වී ඇත්තේ ඉතා කදිම සැලැස්මකට අනුවයි. එය පිළි නොගනිමින් ඉදිරිපත් කරන ඕනෑම මතයක් විද්‍යාවට පටහැනියි.”

නව සොයාගැනීම් ඇණහිටියිද?

සමහරුන් සිතන්නේ නිර්මාණකරුවෙක් සිටිනවා කියා පිළිගැනීමෙන් විද්‍යාවේ නව සොයාගැනීම්වලට බාධාවක් වෙයි කියායි. එවන් බියක් ගැන එක් සඟරාවක වාර්තා වුණේ මෙසේයි. ‘නිර්මාණකරුවෙකු සිටින බව පිළිගැනීමෙන් සිදු වන්නේ නව සොයාගැනීම් සම්භාරයකට තිත තැබීමයි.’ එවැනි බියකට සාධාරණ පදනමක් තිබෙනවාද? කොහෙත්ම නැහැ. ඒ ඇයි?

විශ්වය සහ ජීවය ආරම්භ වුණේ අහම්බෙන් කියා නිගමනය කිරීමෙන් සිදු වන්නේ කුමක්ද? ඊට පිළිගත හැකි පිළිතුරක් නොලැබීමයි. අනෙක් අතට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටිනවා කියා පිළිගැනීමෙන් සිදු වන්නේ කුමක්ද? මේ විශ්වයත් එහි ඇති දේවලුත් ඔහු නිර්මාණය කළේ කෙසේද කියාත් ඔහුට මොන තරම් හැකියාවක් සහ බුද්ධියක් තිබෙනවාද කියාත් වැඩියෙන් සොයා බැලීමට පෙලඹීමයි. මේ ගැන සිතා බලන්න. “මොනා ලීසා” නම් සුප්‍රකට කලා කෘතිය බිහි කළේ ලියනාඩෝ ඩා වින්චි කියා කලා ඉතිහාසය පිළිබඳ ගවේෂකයන් පිළිගන්නවා. එය දැනගත් පමණින්ම ඒ කෘතිය ගැන අධ්‍යයනය කිරීම ඔවුන් නතර කර තිබෙනවාද? නැහැ. ඔහු එය නිර්මාණය කිරීමට යොදාගත්තේ මොන වගේ තාක්ෂණයක්ද සහ කුමනාකාර අමුද්‍රව්‍යද කියා ඔවුන් තවමත් පර්යේෂණ කරනවා. ඒ අනුව බලද්දී නිර්මාණකරුවෙකු සිටින බව පිළිගැනීම, ඔහුගේ නිර්මාණ පිළිබඳ වැඩිදුර සොයා බැලීම් කිරීමට බාධාවක් වෙයි කියා ඔබ සිතනවාද?

අප අවට ඇති දේ ගැන වගේම එහි නිර්මාණකරු ගැනත් සොයා බලන්න කියා බයිබලය අපට උනන්දු කරනවා. උදාහරණයක් හැටියට පුරාණයේ සිටි දාවිත් රජ මිනිසාගේ පුදුමාකාර ශරීර සැකැස්ම ගැන මෙවැනි දෙයක් පැවසුවා. ‘ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! ඒ ගැන මා කල්පනා කරන විට මා තුළ භයක් ඇති වන්නේය. ඔබේ ක්‍රියා පුදුමාකාරය. මම එය හොඳින් දනිමි.’ (ගීතාවලිය 139:14, නව ලොව පරිවර්තනය, NW) පුරාණයේ සිටි යෝබ් නමැති මිනිසාගෙන් දෙවි මෙසේ ඇසුවා. “ඔබ පොළොවේ පළල තේරුම්ගත්තෙහිද? ඒ සියල්ල දන්නෙහි නම් කියන්න.” (යෝබ් 38:18) එම ප්‍රකාශයෙන් අඟවන්නේ අප අවට ඇති නිර්මාණ ගැන වැඩිදුර සොයා බැලීම නතර කරන්න කියා නොවෙයි. ඒ වෙනුවට විශ්වයේ නිර්මාණකරු අපට ආරාධනා කරන්නේ අප අවට ඇති ඔහුගේ නිර්මාණ ගැන සොයා බලන්න කියායි. එවැනි ආරාධනාවක් දෙමින් තවත් බයිබල් ලේඛකයෙක් වන යෙසායාද පවසන්නේ මෙසේයි. “අහස දෙස බලන්න. මේවා මැව්වේ කවුද?” (යෙසායා 40:26, NW) ඉන් පෙනී යන්නේ විශ්වය හා එහි ඇති දේ නිර්මාණය කරන්න අතිමහත් බලයක් හා ශක්තියක් අවශ්‍යයි කියා බයිබලය පවසන දේට විද්‍යාවත් එකඟ බවයි.

අප අවට තිබෙන දේවල් බිහි වූ ආකාරය පිළිබඳව නැඟෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු පහසුවෙන් සොයාගැනීමට බැරි බව ඇත්තයි. ඊට හේතු වන්නේ මේ පෘථිවියේ තිබෙන ජීවි අජීවි දේවල් ගැන පූර්ණ අවබෝධයක් නැතිකම සහ එම දේවල් තේරුම්ගැනීමට අපට ඇති සීමිත හැකියාවයි. එය යෝබ්ද තේරුම්ගත්තා. පෘථිවිය හිස් අවකාශයේ කිසිම ආධාරකයක් නැතිව එල්ලෙමින් තිබෙන ආකාරයත් ඝන වැසි වලාකුළු පොළොවට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයත් පුදුමයෙන් යුතුව කල්පනා කළ ඔහු ඒවායේ නිර්මාණකරුට ප්‍රශංසා කළා. (යෝබ් 26:7-9) එමෙන්ම මේවා නිර්මාණකරුගේ පුදුමාකාර ක්‍රියාවල අල්පමාත්‍රයක් පමණක් බව යෝබ් තේරුම්ගත්තා. (යෝබ් 26:14) තවත් බොහෝ නිර්මාණ ගැන දැනගැනීමට ඔහු උනන්දු වූ බව නිසැකයි. දාවිත් රජද පිළිගත්තේ “මෙවන් දැනුමක් මට සිතාගන්නවත් බැරි තරම් පුදුමාකාරය. එය මට තේරුම්ගන්න බැරි තරම් උතුම්ය” කියායි.—ගීතාවලිය 139:6, NW.

මේ අනුව නිර්මාණකරුවෙකු සිටිනවා කියා පිළිගැනීම, විද්‍යාවේ නව සොයාගැනීම්වලට බාධාවක් වන්නේ නැහැ. දෙවි පිළිබඳවත් අප අවට ලෝකයේ ඇති දේ පිළිබඳවත් සොයා බැලීමට තිබෙන ආශාව කිසිදාක අවසන් වන්නේත් නැහැ. ඊට හේතුව, දෙවි “සදාකාලය ගැන සිතුවිලි මිනිසාගේ සිතෙහි තබා” ඇති නිසයි.—දේශනාකාරයා 3:11, NW.

හිස්තැන් පිරවීමක්ද?

යමක් විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නොහැකි වූ විට ඉන් ගැලවෙන්න මඟක් හෝ “විසඳුමක්” හැටියට “දෙවියන් එය කළා” කියා පවසන බවට සමහරු වාද කරනවා. නමුත් පරිණාමවාදය තුළද විශාල හිස්තැන් හෙවත් පැහැදිලි කිරීමට නොහැකි මූලික කාරණා රැසක් තිබෙනවා. ඒවා විද්‍යාවට එකඟව විස්තර කිරීමට නොහැකි වූ විට ඊට විසඳුම හැටියට ඔවුන් පවසන්නේ එය “පරිණාමය වුණා” කියායි.

සියල්ලේ නිර්මාතෘවරයා දෙවි බව බයිබලයේ පැහැදිලිවම සඳහන් කරනවා. නමුත් “දෙවියන් එය කළා” කියා පැවසීම, යමක් විද්‍යාත්මකව විස්තර කළ නොහැකි අවස්ථාවලදී ලෙහෙසියෙන් ගැලවී යෑමට යොදාගන්නා “විසදුමක්” නම් නොවෙයි. ඊට හේතුව වන්නේ ඔහු මේ දේවල් නිර්මාණය කර ඇති බවට ඕනෑ තරම් සාක්ෂි අප අවට ලෝකයෙන් සොයාගත හැකිවීමයි. ඔහුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ ගැන ගීතිකාකරුවෙක් පැවසුවේ මෙසේයි. “ජීවිතයේ උල්පත ඔබය. ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය කුමක්ද කියා අපි හඳුනාගන්නෙමු.” (ගීතාවලිය 36:9, NW) ‘අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදූ’ තැනැත්තා හැටියට බයිබලයේ ඔහුව විස්තර කර තිබෙනවා. (ක්‍රියා 4:24; 14:15; 17:24) ‘සියල්ල මැව්වේ දෙවියි’ කියා පළමුවන සියවසේ සිටි ගුරුවරයෙක් කළ ප්‍රකාශයත් ඉතාම නිවැරදියි.—එෆීස 3:9.

ඊට අමතරව “අහසේ නියමයන්” හෙවත් ස්වාභාවික නීති පිහිටෙව්වේ දෙවි විසිනුයි. (යෝබ් 38:33) විශ්වය නිර්මාණය වීමට බලපෑ මෙම නීති සම්බන්ධයෙන් විද්‍යාඥයන් තවමත් පර්යේෂණ පවත්වනවා. කෙසේවෙතත් දෙවි මේ පොළොව නිර්මාණය කර තිබෙන්නේ විවිධ වර්ගයේ ජීවීන්ට වාසය කිරීමට හැකි ලෙසයි.

සාමාන්‍ය බුද්ධියටත් වැටහේ

දැන් අපි සාමාන්‍ය බුද්ධියෙන් මෙය තේරුම්ගැනීමට උත්සාහ කරමු. ජෝන් හෝගන් නමැති ලේඛකයා මෙසේ පවසනවා. ‘නිර්මාණකරුවෙක් සිටින බවට විද්‍යාව මගින් සපයා ඇති සාක්ෂි ගැන සම්පූර්ණ අවබෝධයක් අපට නැතත් ඕනෑම කෙනෙකුගේ සාමාන්‍ය බුද්ධියට එය වැටහිය යුතුයි.’

මිහිපිට ජීවීන් බිහි වුණේ අහම්බෙන් කියා හෝ නැත්නම් වෙනත් බලවේග හේතුවෙන් කියා සිතීම සාධාරණද? පරිණාමවාදය ලොව පුරා ප්‍රචලිත වී තිබුණත් විද්‍යාඥයන් ඇතුළු බුද්ධිමතුන් බොහෝදෙනෙක් පිළිගන්නේ මේ සියල්ල නිර්මාණය කිරීමට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිය යුතු බවයි. ඒ ගැන අදහස් දක්වමින් එක්තරා විද්‍යා මහාචාර්යවරයෙක් සඳහන් කළේ පොදු ජනයා පවා බුද්ධිමත් ලෙස නිගමනය කරන්නේ අප අවට ඇති සෑම දෙයක්ම “බුද්ධිමත් නිර්මාණ” කියායි. එම නිගමනය බයිබලයේ පාවුල් පැවසූ මේ දෙයට එකඟයි. ඔහු පැවසුවේ ‘සෑම ගෘහයක්ම යමෙකු විසින් ඉදි කරනු ලැබිය යුතු’ බවයි. (හෙබ්‍රෙව් 3:4) ඉන්පසුව ඔහු මෙසේ පැවසීම මොන තරම් තර්කාණුකූලද! ‘සියල්ල ඉදි කළ [හෙවත් නිර්මාණය කළ] තැනැත්තා දෙවියි.’ බයිබලයේ සඳහන් එම තර්කයට අනුව නිවසකට නිර්මාණකරුවෙකු සිටිය යුතු නම් ඊටත් වඩා සංකීර්ණ සෛලයක් අහම්බෙන් ඇති වෙයි කියා සිතීම මොන තරම් අඥාන දෙයක්ද!

නිර්මාතෘවරයෙකු සිටින බව පිළි නොගන්නා එවැනි අය ගැන බයිබලයේ පවසා ඇත්තේ මෙසේයි. “අඥානයා දෙවි කෙනෙක් නැතැයි සිතින් කීය.” (ගීතාවලිය 14:1) තමාගේම මතයේ එල්බගෙන සිටින පුද්ගලයෙකුට කාරණා වඩාත් පුළුල් ආකාරයකින් දකින්න නොහැකියි. නමුත් විශ්වයට නිර්මාතෘ කෙනෙකු සිටිය යුතු බව, කාරණා දෙස විවෘත මනසකින් බලන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.—යෙසායා 45:18.

මේ ගැන ගැඹුරෙන් සිතන බොහෝදෙනෙකුට නම් නිර්මාතෘවරයෙකු සිටිය යුතු බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා.

නිර්මාතෘව හඳුනාගන්න ඔබට හැකියි

ඔහු අපව නිර්මාණය කළේ ඇයි? ජීවිතයේ අරමුණ කුමක්ද? එවැනි ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු ලබා දීමට විද්‍යාවට හැකි වී නැහැ. නමුත් එවැනි මූලික ප්‍රශ්නවලට බයිබලයේ පිළිතුරු සපයා තිබෙනවා. දෙවි අපිව නිර්මාණය කර ඇත්තේ අරමුණක් ඇතුව බව එහි පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ වගේම මිනිස් වර්ගයා වෙනුවෙන් දෙවිගේ අරමුණත් අනාගතය සඳහා බලාපොරොත්තුවකුත් එහි ඇතුළත් වෙනවා.

එසේනම් යෙහෝවා දෙවි කියන්නේ කවුද? අපේ අතිදක්ෂ නිර්මාතෘවරයා එකම ජීවමාන දෙවි බව තේරුම්ගැනීමට ඔබට හැකියි. ඒ සඳහා ඔබට උපකාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආශාවෙන් සිටිනවා. ඔහුගේ නාමය, ඔහුගේ ගුණාංග ඇතුළු තව බොහෝ දේවල් සහ මිනිසුන් සමඟ ඔහු කටයුතු කර ඇති ආකාරය වැනි තොරතුරුද ඔවුන්ගෙන් ඔබට ඉගෙනගත හැකියි. ඒ වගේම යෙහෝවා දෙවිගේ නිර්මාණ අගය කිරීමටත් ඔහුව ගෞරවයට පත් කළ යුත්තේ ඇයි කියාත් බයිබලයෙන් ඔබට ඉගෙනගත හැකියි.—ගීතාවලිය 86:12; එළිදරව් 4:11.

[4වන පිටුවේ පින්තූරය]

මයිකල්ඇන්ජලෝ

[5වන පිටුවේ පින්තූර]

නිර්මාතෘවරයෙකුව සිටින බව පිළිගැනීම පිළිගත් විද්‍යාවට එකඟයි

[6වන පිටුවේ පින්තූරය]

ජීවීන්ගේ විවිධත්වය දක්ෂ නිර්මාණයක දක්නට තිබෙන විශේෂත්වයක්

[7වන පිටුවේ පින්තූර]

සෑම නිර්මාණයකටම නිර්මාණකරුවෙක් සිටිය යුතුයි