Skip to content

පටුනට යන්න

සුළු ආසියාවටත් ශුභාරංචිය

සුළු ආසියාවටත් ශුභාරංචිය

සුළු ආසියාවටත් ශුභාරංචිය

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී සුළු ආසියාව (වර්තමානයේ තුර්කිය) පුරාම ක්‍රිස්තියානි සභා බිහි වෙන්න පටන්ගත්තා. ශුභාරංචියට යුදෙව්වන් මෙන්ම අන්‍යජාතිකයන් විශාල සංඛ්‍යාවක්ද හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. එක් බයිබල් ශබ්දකෝෂයක ඒ ගැන පවසා තිබුණේ මෙහෙමයි. “පලස්තීන හා සිරියානු ප්‍රදේශවල හැර, මුල් සියවසේදී සැබෑ ක්‍රිස්තියානි ධර්මය ශීඝ්‍ර වර්ධනයක් අද්දුටුවේ සුළු ආසියාවේයි.”

මේ ප්‍රදේශවල ශුභාරංචිය පැතිර ගිය ආකාරය අධ්‍යයනය කිරීමෙන් අපට ඒ ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න පුළුවන්. එම තොරතුරුවලින් ඉගෙනගත හැකි පාඩම් මොනවාද කියා දැන් අපි සලකා බලමු.

සුළු ආසියාවේ මුල් ක්‍රිස්තියානීන්

සැබෑ ක්‍රිස්තියානි ධර්මය සුළු ආසියාව පුරා පැතිර යෑමට ප්‍රධාන හේතුවක් වූයේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේදී සිදු වූ දෙයයි. එදා පලස්තීන දේශයෙන් පිටත ජීවත් වූ යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු විවිධ භාෂා කතා කළ ජනයා යෙරුසලමෙහි රැස්ව සිටියා. පැමිණ සිටි මේ ජනයාට යේසුස්ගේ ගෝලයන් දේශනා කළා. ඒ ගැන බයිබලයේ වාර්තා කර තිබෙන්නේ කපදෝසිය, පොන්තසය, ආසියා ප්‍රදේශය *, ෆ්‍රිජිය සහ පම්ෆිලිය වැනි සුළු ආසියාව පුරාම විහිදී තිබෙන ප්‍රදේශවලින් ඔවුන් පැමිණ සිටි බවයි. එම පණිවිඩය පිළිගත් 3,000ක් පමණ ජනයා එදින බව්තීස්ම වුණා. නැවත තම ගම් බිම් කරා ගිය ඔවුන්, වැලඳගත් අලුත් නමස්කාර ක්‍රමය ගැන හමු වන අයට පවසන්න පටන්ගත්තා.—ක්‍රියා 2:5-11, 41.

සුළු ආසියාව ගැන බයිබලයේ ඊළඟට සඳහන් වන්නේ එම ප්‍රදේශයේ කළ පාවුල්ගේ දේශනා සංචාරයන් පිළිබඳව වාර්තා කරන විටයි. ක්‍රි. ව. 47/48දී පමණ කළ පළමු සංචාරයට පාවුල් සමඟ තව කිහිපදෙනෙකුත් හවුල් වුණා. ඔවුන් සයිප්‍රසයෙන් නැව් නැඟී සුළු ආසියාවේ පිහිටි පම්ෆිලිය නම් පළාතේ පර්ගායට ගොඩ බැස්සා. රට අභ්‍යන්තරයේ පිහිටි නගරයක් වූ අන්තියෝකියේ (පිසිදියේ) කළ දේශනා සේවයෙන් ඔවුන්ට යහපත් ප්‍රතිඵල ලැබුණු අතර එහි සිටි යුදෙව්වන්ගේ විරුද්ධවාදීකම්වලටද ඔවුන් මුහුණ දුන්නා. ඔවුන් එතැනින් ගිනිකොන දෙසට වූ ඉකෝනියට ගිය විට යුදෙව්වන් ඔවුන්ට අනතුරු කරන්න කුමන්ත්‍රණය කළා. ඒ නිසා ඉන් පිට වී ලිස්ත්‍රාවට පැමිණි අවස්ථාවේදී එහි වැසියන් පාවුල් දෙවියෙකුයයි කියමින් ඔහු ඉදිරියේ වැඳ වැටෙන්න පටන්ගත්තා. නමුත් අන්තියෝකියේදී හා ඉකෝනියේදී විරෝධය පෑ යුදෙව්වන් ලිස්ත්‍රාවට ආ විට කලින් වැඳ වැටුණු ජනයාම පාවුල්ට ගල් ගැසූ අතර ඔහු මැරුණායයි සිතා ඔහුව අතහැර දමා ගියා. එම සිද්ධියෙන් පසු පාවුල් හා බානබස් ලිකෝනියානු භාෂාව කතා කළ මිනිසුන් ජීවත් වූ ගලාතිය නම් පළාතේ පිහිටි දර්බයට පැමිණියා. එහි සභාවන් පිහිටුවා වැඩිමහල්ලන්වද පත් කළා. මේ තොරතුරු දෙස බලද්දී අපට පෙනී යන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේ සිට අවුරුදු 15ක් පමණ ගත වෙද්දී සැබෑ ක්‍රිස්තියානි ධර්මය සුළු ආසියාව පුරාම පැතිර ගොස් තිබූ බවයි.—ක්‍රියා 13:13–14:26.

පාවුල් ඇතුළු කණ්ඩායම දෙවන දේශනා සංචාරයේ යෙදුණේ ක්‍රි.ව. 49 සිට 52දී පමණ කාලයේදීයි. ඔවුන් මෙවර ලිස්ත්‍රාවට යන්න තීරණය කළේ ගොඩබිමෙන්. සමහරවිට පාවුල් තම ගම් පළාත වූ සිලීසියාවේ ටාසස් පසු කර ගමන් කරන්නටත් ඇති. ලිස්ත්‍රාවේ සහෝදරයන්ව යළි බැහැදකිමින් උතුරු දෙසට ගමන් කළ පාවුල් බිතිනිය හා ආසියා පළාත්වල ‘වචනය දේශනා කිරීමට’ උත්සාහ කළා. නමුත් එම ප්‍රදේශ තාවකාලිකව මඟහැර වෙනත් ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කරන්න කියා දෙවිගේ බලයෙන් ඔහුට මඟ පෙන්වූවා. එතැනින් සුළු ආසියාවේ වයඹ දෙසට වෙන්න පිහිටි වෙරළාසන්න නගරයක් වූ ත්‍රෝවසට යෑමට මඟ පෙන්වීම් ලැබූ ඔවුන් යුරෝපයට ගොස් ශුභාරංචිය දේශනා කළා.—ක්‍රියා 16:1-12; 22:3.

ක්‍රිස්තු වර්ෂ 52 සිට 56දී පමණ කළ තුන්වන දේශනා සංචාරයේදී පාවුල් නැවතත් සුළු ආසියාවට පැමිණියා. ඒ වැදගත් වරායක් පිහිටි නගරයක් වූ එෆීසයටයි. පාවුල් ඔහුගේ දෙවන සංචාරයේදීත් එෆීසයට පැමිණි අතර ඒ වන විට ඔහු එහි සිටි ක්‍රියාශීලී ක්‍රිස්තියානීන් සමඟ අවුරුදු තුනක පමණ කාලයක් ගත කර තිබුණා. එම කාලය තුළ ඔහුට බොහෝ දුෂ්කරතා හා අනතුරුවලට මුහුණ පාන්නද සිදු වුණා. ඉන් එකක් වන්නේ ආගමයි ව්‍යාපාරයයි සම්බන්ධ කරගෙන හොඳ හැටි ලාභ උපදවාගනිමින් සිටි රිදීකරුවා ඇති කළ මහා කෝලහලයයි.—ක්‍රියා 18:19-26; 19:1, 8-41; 20:31.

නමුත් එෆීස නගරයේ නැවතී කළ දේශනා සේවයෙන් බොහෝ ප්‍රයෝජන අත් වුණා. ඒ ගැන ක්‍රියා 19:10හි පවසන්නේ මෙහෙමයි. “ආසියා ප්‍රදේශයේ විසූ සියල්ලෝ, එනම් යුදෙව්වරු සහ ග්‍රීකවරු ස්වාමීන්ගේ වචනය ඇසුවෝය.”

සුළු ආසියාව පුරාම සිදු වූ වර්ධනය

එෆීසයේ ගත කළ අවසන් කාලයේදී කොරින්තියේ සිටි අයට පාවුල් මෙසේ ලියා යැව්වා. “ආසියාවේ සභාවෝ ඔබට සුබ පතති.” (1 කොරින්ති 16:19) පාවුල් මේ සඳහන් කරමින් සිටියේ කුමන සභාවන් ගැනද? සමහරවිට කොලොස්සිය, ලවොදිසීය සහ හියරපොලිස වැනි සභාවන් විය හැකියි. (කොලොස්සි 4:12-16) ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “එෆීසයේ සිටි අය ශුභාරංචිය දේශනා කිරීමට වෙනත් නගරවලට ගියා. ඒ නිසා ස්මර්ණාව, පර්ගමම්, සර්දිස් හා ෆිලදෙල්ෆියාව වැනි ප්‍රදේශවල අලුත් සභා බිහි කිරීමට හැකි වූ බව පැහැදිලියි. එම නගර කරා ළඟාවීමට එෆීසයේ සිට කිලෝමීටර 200ක්වත් යා යුතු වුණේ නැහැ. එමෙන්ම පහසුවෙන් ළඟාවීමට හැකි මහා මාර්ග පද්ධතියක්ද තිබුණා.”එම පොත Paul—His Story.

ඒ අනුව අපට පෙනී යන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේ සිට අවුරුදු 20කට පමණ පසු සුළු ආසියාවේ දකුණු හා බටහිර ප්‍රදේශවලද ක්‍රිස්තියානි සභා පිහිටා තිබූ බවයි. දැන් අපි අනිත් ප්‍රදේශවල සිදු වූ ව්‍යාප්තිය ගැන ටිකක් සලකා බලමු.

පේතෘස් ලිපි යැව්වේ කාටද?

ඉන් අවුරුදු කිහිපයකට පසු දෙවිගේ මඟ පෙන්වීම යටතේ පේතෘස් තම මුල්ම ලිපිය ලිව්වා. ඒ ක්‍රි.ව. 62 සිට 64 දක්වා කාලයේදීයි. ඔහු එය ලියනු ලැබූවේ පොන්තසය, ගලාතිය, කපදෝසිය, ආසියාව හා බිතිනිය වැනි ප්‍රදේශවල ජීවත් වූ ක්‍රිස්තියානීන්ටයි. “දෙවිගේ රැළ රැකබලා ගන්න” කියා වැඩිමහල්ලන්ට උනන්දු කරමින් ලියූ එම ලිපියෙන් පෙනී යන්නේ ඒ ප්‍රදේශවලත් ක්‍රිස්තියානි සභාවන් පිහිටා තිබූ බවයි. එසේනම් එම සභාවන් පිහිටෙව්වේ කිනම් කාලයේදීද?—1 පේතෘස් 1:1; 5:1-3.

පේතෘස් ලිපි යැවූ ගලාතිය හා ආසියාව වැනි පළාත්වල, පාවුල් මීට පෙර දේශනා කර තිබුණා. නමුත් ඔහු කපදෝසිය හා බිතිනිය වැනි පළාත්වලට ගිහින් තිබුණේ නැහැ. මේ ප්‍රදේශවලට සැබෑ ක්‍රිස්තියානි ධර්මය පැතිරුණේ කොහොමද කියා බයිබලයේ සඳහන් නොවුණත් එසේ වූයේ බොහෝවිට ක්‍රි. ව. 33 පෙන්තකොස්ත දිනයේදී යෙරුසලමේ රැස්ව සිටි යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය විසින් විය හැකියි. එය කෙසේ සිදු වුණත් පෙන්තකොස්ත දිනයේ සිට අවුරුදු 30කට පමණ පසු පේතෘස් මෙම ලිපි ලියන විට ක්‍රිස්තියානි සභාවන් “සුළු ආසියාව පුරාම විසිර තිබුණු” බව එක් විශාරදයෙක් පවසනවා.

එළිදරව් පොතේ සඳහන් සභා සත

යුදෙව්වන් රෝමයට විරුද්ධව දියත් කළ කැරැල්ල හේතුවෙන් ක්‍රි.ව. 70දී රෝම හමුදාව යෙරුසලම විනාශ කළා. එහි ප්‍රතිඵලයක් හැටියට සමහර යුදෙව් ක්‍රිස්තියානීන් සුළු ආසියාවේ විවිධ ප්‍රදේශවල පදිංචි වන්නට ඇතැයි සිතිය හැකියි. *

ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ අගභාගයේදී සුළු ආසියාවේ තිබූ සභා සතකට යොහන් මාර්ගයෙන් යේසුස් ලිපි යැව්වා. ඒවා නම් එෆීසය, ස්මර්ණාව, පර්ගමම්, තියතීරා, සර්දිස්, ෆිලදෙල්ෆියා හා ලවොදිසීය වැනි ප්‍රදේශවල තිබූ සභාවනුයි. මේ ලිපිවලින් පැහැදිලිව පෙනී යන්නේ එම ප්‍රදේශවල සිටි ක්‍රිස්තියානීන් අනාචාරය, නිකාය භේදය හා ඇදහිල්ල අත්හැර යෑම වැනි විවිධාකාර අනතුරුවලට මුහුණ දෙමින් සිටි බවයි.—එළිදරව් 1:9, 11; 2:14, 15, 20.

එතරම් ප්‍රසිද්ධියක් නොලැබුවත්

ඒ කාලයේ ශුභාරංචිය පැතිරවීම ගැන පාවුල් හා පේතෘස් ප්‍රසිද්ධියක් ඉසිලූ බවට බයිබලයේ ක්‍රියා පොතේ සඳහන් වෙනවා. නමුත් ඔවුන්ට අමතරව නමින් සඳහන් නොවූ තවත් බොහෝදෙනා ඊට දායක වූ බව දැන් අපට පැහැදිලියි. සුළු ආසියාවේ ශුභාරංචිය පතළ වූ ආකාරයෙන් පෙනී යන්නේ “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා යේසුස් ක්‍රිස්තියානීන්ට දුන් ආඥාවේ බැරෑරුම්කම ඔවුන් හොඳින් අවබෝධ කරගෙන තිබූ බවයි.—මතෙව් 28:19, 20.

එදා සුළු ආසියාවේ වෙහෙස නොබලා ශුභාරංචිය පැතිරෙවූ අයව බොහෝදෙනා නමින් දැනගෙන සිටියේ නැහැ. ඒ හා සමානව අද දිනත් ලොව වටා කෙරෙන දේශනා කිරීමේ කාර්යයට දායක වන බොහෝදෙනාව අපි නමින් නොදැන සිටිනවා විය හැකියි. නමුත් ඔවුන්ද දේවසේවයෙහි කාර්යබහුලව සිටින අතර පුදුමාකාර තෘප්තියකුත් බොහෝ ආශීර්වාදත් අද්දකිමින් සිටිනවා. ඊට හේතුව වන්නේ අන් අයට සදාකාල ජීවනය ලබාගැනීමට තම ශක්තිය උපරිමයෙන් වැය කරන බව ඔවුන් දන්නා නිසයි.—1 තිමෝති 2:3-6.

[පාදසටහන්වල]

^ 5 ඡේ. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල මෙන්ම මේ ලිපියේද “ආසියාව” කියා සඳහන් කරන්නේ එවකට රෝම අධිරාජ්‍යයට අයිති පළාතක්ව පැවති සුළු ආසියාවේ බටහිර කොටසට මිස ආසියානු මහාද්වීපයට නෙවෙයි.

^ 17 ඡේ. යූසීබියස් නම් ඉතිහාසඥයා (ක්‍රි.ව. 260-340) සඳහන් කරන ආකාරයට ක්‍රි.ව. 66ට පෙර “යේසුස්ගේ ගෝලයන්ට එල්ල වූ මරණ තර්ජන නිසා ඔවුන් සිටියේ ඉතාම අනතුරුදායක තත්වයකයි. ඔවුන්ව යුදා දේශයෙන් පන්නා දැමුවත් ගිය ගිය තැන්වල ශුභාරංචිය පතළ කළා.”

[11වන පිටුවේ කොටුව]

බිතිනියේ හා පොන්තසයේ සිටි මුල් ක්‍රිස්තියානීන්

බිතිනිය හා පොන්තසය යන පළාත් පිහිටා තිබෙන්නේ සුළු ආසියාවට අයත් කළු මුහුදේ වෙරළ ආශ්‍රිතවයි. රෝමයේ ට්රේජන් අධිරාජ්‍යයාට ඔහුගේ නිළධාරියෙක් වූ කනිෂ්ඨ ප්ලිනි යැවූ ලිපියක් සලකා බැලීමෙන් එදා එම ප්‍රදේශවල සිදු වූ දේවල් ගැන යම් අදහසක් අපට ලබාගත හැකියි.

පේතෘස් විසින් ලිපි යවා අවුරුදු 50කට පමණ පසු සිදු වූ දෙයක් සලකා බලන්න. ඒ කාලයේ සිටි ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයක් ගැන තීරණයක් ඉල්ලමින් ප්ලිනි, ට්රේජන්ට මෙසේ ලියනවා. “ක්‍රිස්තියානීන්ට විරුද්ධව පැවැත්වූ කිසිම නඩුවකට මම මේ දක්වා සහභාගි වී නැහැ. ඒ නිසා ඔවුන්ට කුමනාකාර දඬුවමක් දිය යුතුද කියා මට හිතාගන්න අමාරුයි. බාල, මහලු සෑම තරාතිරමකම ස්ත්‍රීන්වත් පුරුෂයන්වත් නඩු ඇසීමට නොනවත්වාම රැගෙන එන අතර එය නවතින ලකුණුද පෙනෙන්න නැහැ. මේ කරදරකාරී නිකාය, නගරවල පමණක් නොව ඈත ගම් පළාත්වලටද පැතිර ගොස් තිබෙනවා.”

[9වන පිටුවේ රූප සටහන/සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පාවුල්ගේ සංචාරයන්

පළමු සංචාරය

සයිප්‍රසය

පම්ෆිලිය

පර්ගාය

අන්තියෝකිය (පිසිදියේ)

ඉකෝනිය

ලිස්ත්‍රාව

දර්බය

දෙවන සංචාරය

සිලීසියාව

ටාසස්

දර්බය

ලිස්ත්‍රාව

ඉකෝනිය

අන්තියෝකිය (පිසිදියේ)

ෆ්‍රිජිය

ගලාතිය

ත්‍රෝවස

තුන්වන සංචාරය

සිලීසියාව

ටාසස්

දර්බය

ලිස්ත්‍රාව

ඉකෝනිය

අන්තියෝකිය (පිසිදියේ)

එෆීසය

ආසියාව

ත්‍රෝවස

[සභා සත]

පර්ගමම්

තියතීරා

සර්දිස්

ස්මර්ණාව

එෆීසය

ෆිලදෙල්ෆියා

ලවොදිසීය

[වෙනත් ස්ථාන]

හියරපොලිස

කොලොස්සිය

ලිසියාව

බිතිනිය

පොන්තසය

කපදෝසිය

[9වන පිටුවේ පින්තූරය]

අන්තියෝකිය

[9වන පිටුවේ පින්තූරය]

ත්‍රෝවස

[හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com

[10වන පිටුවේ පින්තූරය]

එෆීසයේ රංග භූමියක්.—ක්‍රියා 19:29

[10වන පිටුවේ පින්තූරය]

පර්ගමම්හි සියුස් දෙවියාගේ පූජාසනය පිහිටා තිබූ ස්ථානය. ක්‍රිස්තියානීන් ජීවත් වූයේ “සාතන්ගේ සිංහාසනය” තිබූ ස්ථානයේයි.—එළිදරව් 2:13

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.