Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

තම විශ්වාසවන්ත දාසයා “නුවණ ඇති” කෙනෙක් කියා කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

“ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස, ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද” යන ප්‍රශ්නය යේසුස් ඇසුවා. (මතෙව් 24:45) ඇත්තෙන්ම විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියා යේසුස් පැවසුවේ කවුරුන් ගැනද? එම විශ්වාසවන්ත ‘දාසයාගෙන්’ නියෝජනය වන්නේ, ඇදහිල්ල ශක්තිමත් කරන “ආහාර” සපයන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. නමුත් යේසුස් ඔවුන්ව “නුවණ ඇති” අය කියා හැඳින්වූයේ ඇයි?

එසේ හැඳින්වූයේ ඇයි කියා තේරුම්ගැනීමට අප යේසුස් පැවසූ දේවල් කිහිපයක් සලකා බලමු. උදාහරණයකට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන ඔහු පවසද්දී මනාලයාගේ පැමිණීම බලා සිටි කන්‍යාවන් දසදෙනා පිළිබඳ උපමාව සඳහන් කළා. මෙම කන්‍යාවන් දසදෙනාගෙන් අපේ සිහියට නැඟෙන්නේ වර්ෂ 1914ට පෙර උතුම් මනාලයා වන යේසුස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. කන්‍යාවන් දසදෙනාගෙන් පස්දෙනෙක් ළඟ අවශ්‍ය තරම් තෙල් තිබුණේ නැති නිසා මනාලයා පැමිණි විට මංගල්‍යයට සහභාගි වීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. නමුත් අනෙකුත් කන්‍යාවන් පස්දෙනා ළඟ අවශ්‍ය තරම් තෙල් තිබුණු නිසා මනාලයා පැමිණි විට මංගල්‍යයට සහභාගි වීමට ඔවුන්ට හැකි වුණා. එයින් ඔප්පු වුණේ ඔවුන් නුවණ ඇති අය බවයි.—මතෙව් 25:10-12.

වර්ෂ 1914දී යේසුස් ස්වර්ගයේ රජ බවට පත් වූ විට අභිෂේක ලත් අයගෙන් වැඩි පිරිසක් ඉක්මනින්ම ස්වර්ගයට ගොස් ඔහු සමඟ හවුල් වීමට කල්පනා කළා. නමුත් ඊට කලින් කිරීමට තව කාර්යයන් රැසක් ඇති බව දැනගත් විට සමහරුන් අසතුටු වුණා. නුවණ නැති කන්‍යාවන් මෙන් ඔවුනුත් ඒ සඳහා සූදානම්ව සිටියේ නැති නිසා තවදුරටත් ආලෝකය දරන්නන් ලෙස සිටීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. කොහොමවුණත් වැඩිදෙනෙක් නුවණ ඇතුව දුර දිග බලා කටයුතු කළ නිසා ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වූ අතර ඉදිරියේදී තව වැඩ කටයුතු රැසක් කිරීමට නියමිත බව දැනගත් විට ඔවුන් ඒ සඳහා සතුටින් ඉදිරිපත් වුණා. මෙසේ ඔවුන් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” බව ඔප්පු වුණා.

යේසුස් මතෙව් 7:24හි “නුවණ ඇති” යන යෙදුම පාවිච්චි කළා. ඔහු මෙසේ පැවසුවා. “මාගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙකුවම, පර්වතය මත තම ගෙය ගොඩනැඟූ නුවණ ඇති මිනිසෙකුට සමාන කරනු ලැබේ.” නුවණ ඇති මිනිසා ගෙය ගොඩනැඟුවේ කුණාටුවකට පවා ඔරොත්තු දිය හැකි ආකාරයකටයි. නමුත් නුවණ නැති මිනිසා තම නිවස වැලි මත ගොඩනැඟූ නිසා ඔහුගේ නිවස කැඩී ගියා. ඒ අනුව නුවණ ඇති තැනැත්තා තමන්ගේම ප්‍රඥාව අනුව යෑම අනතුරුදායක බව කල්තියාම තේරුම්ගන්නවා. ඔහු තුළ තිබෙන මෙම තේරුම්ගැනීමේ සහ හොඳ තීරණ ගැනීමේ හැකියාව නිසා ඔහු තම ක්‍රියාවන්, ඉගැන්වීම් සහ ඇදහිල්ල පදනම් කරගන්නේ යේසුස්ගේ ඉගැන්වීම් මතයි. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කටයුතු කරන්නේත් ඒ ආකාරයටයි.

හෙබ්‍රෙව් ලියවිල්ල තුළත් “නුවණ ඇති” යන යෙදුම යොදාගෙන තිබෙන බව සැලකිල්ලට ගන්න. උදාහරණයක් ලෙස පාරාවෝ රජ යෝසෙප්ව ඊජිප්තුවට ආහාර සැපයීම සඳහා පත් කළා. මෙය යෙහෝවා දෙවි තම සෙනඟට කෑම සැපයීම වෙනුවෙන් කළ සැලසුමේ කොටසක් වුණා. ඒ සඳහා යෝසෙප්ව තෝරාගත්තේ ඇයි? පාරාවෝ රජ ඔහුට මෙසේ පැවසුවා: “ඔබ තරම් දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත තවත් කෙනෙක් නම් නැහැ.” (උත්පත්ති 41:33-39; 45:5, නව ලොව පරිවර්තනය, NW) ඒ හා සමානව අබිගායිල්වත් ‘නුවණ ඇති ස්ත්‍රියක්’ ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා. දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වූ දාවිත්ට සහ ඔහුගේ සේවකයන්ට ඇය අවශ්‍ය ආහාර ලබා දුන්නා. (1 සාමුවෙල් 25:3, 11, 18) එමනිසා යෝසෙප්ව සහ අබිගායිල්ව නුවණැති අය ලෙස හැඳින්විය හැකියි. එයට හේතුව ඔවුන් දෙවිගේ කැමැත්ත තේරුම්ගෙන දුර දිග හිතමින් බුද්ධිමත් තීරණ ගත් නිසයි.

යේසුස් විශ්වාසවන්ත දාසයාව නුවණ ඇති කියා හැඳින්වීමෙන් පෙන්නුම් කළේ එම දාසයාගෙන් නියෝජනය වෙන අය දුර දිග බලා නිවැරදි තීරණ ගැනීමේ සහ තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන අය බවයි. ඔවුන්ට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ තම ක්‍රියාවන් හා ඉගැන්වීම් දෙවිගේ වචනය මත පදනම් කරගෙන ඒ අනුව ඇදහිලිවන්තව කටයුතු කරන නිසයි.