Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපි පීඩා ජයගත්තා

යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපි පීඩා ජයගත්තා

ජීවිත කතාව

යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපි පීඩා ජයගත්තා

හෙන්රික් ඩෝර්නික්

මම ඉපදුණේ 1926දීයි. අපි ජීවත් වුණේ දකුණු පෝලන්තයේ රූඩ ෂ්ලෝඇස්කා කියන නගරයේයි. එහේ වැඩි හරියක් තිබුණේ පතල්. මගේ දෙමව්පියන් කතෝලික භක්තිකයන් නිසා යාච්ඤා කරන්න, පූජාවලට සහභාගි වෙන්න සහ පාපෝච්චාරණය කරන්න කියලා මටත් මගේ අයියටත් (බර්නාට්) මගේ නංගිලා දෙන්නටත් (එඩීටා සහ රෝසා) උනන්දු කළා.

බයිබල් සත්‍යය අපේ නිවසටත්!

වර්ෂ 1937 ජනවාරි මාසයේ එක දවසක අපේ තාත්තට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලැබිලා තිබුණු නිසා තාත්තා ගෙදර ආවේ හරිම සතුටිනුයි. ඊට පස්සේ තාත්තා මෙහෙම කිව්වා “ළමයිනේ මම බයිබලයක් ගෙනාවා.” ඒ වෙද්දී මගේ වයස අවුරුදු දහයයි. ජීවිතේ පළවෙනි වතාවට එදා තමයි මම බයිබලයක් දැක්කේ.

අපි ජීවත් වුණ රූඩ ෂ්ලෝඇස්කා ප්‍රදේශයේම කතෝලික සභාව සිය අනසක පතුරුවලා තිබුණා. එහේ හිටපු පතල් හිමියන් එක්ක පූජකයන් ලොකු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබුණා. පූජකයන් බලාපොරොත්තු වුණේ පතල්වල වැඩ කරන අය හා ඔවුන්ගේ පවුල්වල අයත් තමන්ට යටත්ව ජීවත් වෙයි කියලයි. හැබැයි බැරි වෙලාවත් පූජාවට හරි පාපෝච්චාරණයට හරි හවුල් වුණේ නැත්නම් ඔවුන්ව නොඇදහිලිකරුවන් විදිහට සලකලා රස්සාවෙනුත් අස් කළා. අපේ තාත්තත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරපු නිසා තර්ජනවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දවසක් අපේ ගෙදරට පූජකයෙක් ආපු වෙලාවේ තාත්තා පූජකයගේ වැරදි එයාගේ මූණටම කිව්වා. ලැජ්ජාවට පත් වුණ පූජකයට ප්‍රශ්නෙ දුර දිග ගෙනියන්න ඕන වුණේ නැති නිසා තාත්තව රස්සාවෙන් අස් කළේ නැහැ.

එදා තාත්තා ඒ පූජකයත් එක්ක කතා කරපු දේවල් ඇහුවට පස්සේ මට හිතුණා බයිබලය ගැන තව දැනගන්න ඕනේ කියලා. මම තවත් වැඩියෙන් දෙවිට ප්‍රේම කරන්න පටන්ගත්තු නිසා දෙවිට තවත් ළං වෙන්න මට පුළුවන් වුණා. දවසක් අපි යේසුස්ගේ මරණය සිහි කිරීමට ගිය වෙලාවේ එතන හිටපු 30දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට කෙනෙක් අපේ තාත්තව හඳුන්වලා දුන්නේ “මේ යෙහෝනාදාබ්” කෙනෙක් කියලයි. පස්සේ තමයි මම දැනගත්තේ “යෙහෝනාදාබ්” පංතියේ අය කියන්නේ පොළොවේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට කියලා. ඒ අයගේ සංඛ්‍යාව වැඩි වෙන්න යනවා කියලත් මම දැනගත්තා. *2 රාජාවලිය 10:15-17.

“පුතේ ඔයා බව්තීස්මයේ බැරෑරුම්කම දන්නවාද?”

අපේ තාත්තා සත්‍ය නමස්කාරයට ආවට පස්සේ මත්පැන් බීම නැවැත්තුවා විතරක් නෙවෙයි හොඳ ස්වාමිපුරුෂයෙක් වගේම හොඳ පියෙක්ද වුණා. ඒත් අම්මා නම් තාත්තගේ අලුත් ආගමට එච්චර කැමති වුණේ නැහැ. ඇයට ඕන වුණේ තාත්තා පරණ ජීවිතේම ගත කරලා හරි කතෝලිකයෙක් විදිහටම ජීවත් වෙනවා දකින්නයි. ඒත් වැඩි කල් යන්න කලින් අම්මත් හරි දේ දැනගත්තා. දෙවන ලෝක මහා යුද්ධය තිබුණ කාලෙදී ජර්මානු හමුදාවට එරෙහිව සටන් කළ පෝලන්ත හමුදාවට ආශීර්වාද කරන්න කියා දවිගෙන් ඉල්ලූ පූජකයම පස්සේ හිට්ලර්ගේ හමුදාවේ ජයග්‍රහණය ගැනත් දෙවිට ස්තුති කරනවා අම්මා දැක්කා. ඒකෙන් පස්සේ අම්මත් 1941දී සත්‍ය නමස්කාරය පිළිගත්තා.

මට ඕන වුණා මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරන්න. ඒත් සභාවේ වැඩිමහල්ලන් හිතුවේ බව්තීස්ම වෙන්න මම පොඩි වැඩියි කියලයි. ඒ හින්දා මට ටිකක් ඉන්න කියලා ඔවුන් කිව්වා. නමුත් 1940 දෙසැම්බර් 10වෙනිදා කොන්රට් ග්‍රබෝවි කියන සහෝදරයා මගෙන් ප්‍රශ්න පහක් ඇහුවා. (ඒ සහෝදරයාවද පසු කාලයකදී ගාල් කඳවුරකට යැවූ අතර එහිදී ඔහු තම විශ්වාසවන්තභාවය රක්ෂා කරගෙන අවසානයේදී මිය ගියා.) ඊට පස්සේ ඔහු තීරණය කළා මම බව්තීස්ම වෙන්න සුදුසුයි කියලා. එදා මගෙන් අහපු එක ප්‍රශ්නයක් තමයි “පුතේ ඔයා බව්තීස්මයේ බැරෑරුම්කම දන්නවද?” ඒ වගේම “දැන් රට පුරාම යුද්ධයක් තියෙන නිසා ඔයාට තීරණය කරන්න වෙනවා ඔයා කීකරු වෙන්නේ හිට්ලර්ටද නැත්නම් යෙහෝවා දෙවිටද කියලා. ඔයා දෙවිගේ පැත්ත ගත්තොත් ඔයාට මැරෙන්න පවා සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද” කියලත් ඇහුවා. ඒ ප්‍රශ්නවලට මම භය නැතුව උත්තර දුන්නේ “ඔව් මම දන්නවා” කියලයි.

පීඩා ඇරඹී

ඇයි කොන්රට් ග්‍රබෝවි කියන සහෝදරයා මගෙන් ඒ වගේ ප්‍රශ්න ඇහුවේ? ඔය කාලෙදිම වගේ තමයි (1939දී) ජර්මානු හමුදාව පෝලන්තය යටත් කරගන්න ඇවිත් තිබුණේ. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙන්න පටන්ගත්තා. සහෝදර සහෝදරියන්ව දවස ගාණේ හිර ගෙවල්වලටත් ගාල් කඳවුරුවලටත් ගෙනියනවා කියලා අපිට ආරංචි වුණා. වැඩි කල් යන්න කලින් අපිටත් මේ තත්වයටම මුහුණ දෙන්න සිදු වෙනවා කියලා අපි දැනගත්තා.

හිට්ලර්ගේ නාට්සි හමුදාවට අවශ්‍ය වුණේ සියලුම තරුණ තරුණියන්ව ඔවුන්ගේ ආණ්ඩුව පැත්තට නම්මගන්නයි. ඒත් දෙවිව අතඇරලා හිට්ලර්ට තම පක්ෂපාතකම පෙන්වන්න කියලා අපේ දෙමව්පියන්ට අත්සන් කරන්න දුන්න ලියකියවිලි ඔවුන් ප්‍රතික්ෂේප කරපු නිසා අපි හතරදෙනාව දෙමව්පියන්ගෙන් වෙන් කළා. තාත්තව ඔස්ච්විට්ස්වල පිහිටි ගාල් කඳවුරට යැව්වා. නංගිලා දෙන්නවත් කතෝලික කන්‍යාරාමයකට දැම්මා. මාවයි මගේ අයියවයි 1944 පෙබරවාරි මාසයේ බාල දරුවන් වෙනුවෙන් තියෙන හිර කඳවුරකට යැව්වා. අම්මා විතරක් ගෙදර තනි වුණා. ඔවුන් අපිව දෙමව්පියන්ගෙන් වෙන් කළේ අපිට උගන්වලා තිබුණු දේවල් අපේ මනසෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නයි. හේතුව ඔවුන් හිතුවේ දෙමව්පියන් අපිව මුළා කරලා කියලයි.

මටයි මගේ අයියටයි එහේදී පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා. හැමදාම උදේට නාට්සිවරුන්ගේ ලාන්ඡනය තිබුණු කොඩිය ඉස්සරහට ගිහිල්ලා අපේ දකුණු අත උඩට උස්සලා “හිට්ලර්ට ජයවේවා” කියලා කියන්න අපිට බල කළා. ඒත් අපි එහෙම කළේ නැති නිසා අපි දෙන්නට හොඳටම ගැහුවා. ඔවුන් හිතුවේ අපි හිට්ලර්ට අගෞරවය කරනවා කියලයි. අපි දෙන්නත් එක්ක කේන්තියෙන් හිටපු ජර්මානු භටයන් අන්තිමට අපිට මෙහෙම කිව්වා. “ඕගොල්ලෝ හිට්ලර්ට පක්ෂපාත වෙනවා කියලා මේ ලියවිල්ලේ අත්සන් කරලා හමුදාවට බැඳුණේ නැත්තං ගාල් කඳවුරුවලට තමයි යන්න වෙන්නේ.”

වර්ෂ 1944 අගෝස්තු මාසයේදී අපිව ගාල් කඳවුරුවලට යවන්න නියම කළා. ඔවුන් අපි ගැන මෙහෙම කිව්වා. “මේ අයට මොනවා කරන්න කිව්වත් වැඩක් නැහැ. මොකද මේගොල්ලන්ට කොච්චර දුක් විඳින්න සිද්ධ වුණත් මේ අය ඉන්නේ සතුටින්. මේ කැරලිකාරකම කඳවුරේ ඉන්න අනික් අයටත් බලපානවා.” මට මැරෙන්න ආසාවක් තිබුණේ නැති වුණත් යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු පක්ෂපාතකම නිසා වේදනා වින්දත් මම ඒක ප්‍රීතියෙන් දරාගත්තා. (ක්‍රියා 5:41) මම මුහුණ දෙන්න යන පීඩා කරදර මගේම ශක්තියෙන් දරාගන්න මට බැහැ. ඒ වෙනුවට මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගේ ශක්තිය ඉල්ලපු නිසා මට දේවල් දරාගන්න පුළුවන් වුණා.—හෙබ්‍රෙව් 13:6.

ගාල් කඳවුරේ

ටික දවසකින් මාව සිලෙසියාවල ග්‍රොස් රෝසන් ගාල් කඳවුරට ගෙන ගියා. මාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා අඳුරගන්න පුළුවන් වෙන විදිහට මගේ ඇඳුමේ දම්පාට ත්‍රිකෝණයකුත් අංකයකුත් දාලා තිබුණා. “හිට්ලර්ට එකඟ නැති සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් ගැන අපිට කිව්වොත් ඔයාව මේ කඳවුරෙන් නිදහස් කරනවා විතරක් නෙවෙයි ඔයාට ජර්මානු හමුදාවේ ලොකු තනතුරක් දෙන්නම්” කියලත් ඔවුන් මට කිව්වා. මේ අවස්ථාව ලැබුණේ කඳවුරේ හිටපු සාක්ෂිකරුවන්ට විතරයි. අනෙකුත් සාක්ෂිකරුවන් දහසකුත්දෙනා වගේම මමත් ඒ “අවස්ථාව” එක හෙළාම ප්‍රතික්ෂේප කළා. එතකොට නාට්සි භටයන් මට මෙහෙම කිව්වා. “ඔහේ අපි කියන විදිහට වැඩ කළේ නැත්නම් කවදා හරි මරලා පුච්චනවා. එතකොට අර පේන දුම් කවුළුවෙන් තමයි ඔහේට නිදහස් වෙලා යන්න වෙන්නේ. ඒ නිසා තමා ගන්නේ මොන තීරණේද කියලා හොඳට හිතලා බලන්න.” එහෙම කිව්වත් මම මගේ තීරණේ වෙනස් කළේ නැහැ. ඒ මොහොතේ ඉඳලා ‘සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානයෙන්’ පිරුණු මගේ හිතට සැනසිල්ලක් ලැබුණා.—ෆිලිප්පි 4:6, 7.

ගාල් කඳවුරේදී මම යාච්ඤා කළා කොහොමහරි මට සාක්ෂිකරුවෙක්ව මුණගස්වන්න කියලා. මගේ ඒ ඉල්ලීම ඉටු කරමින් යෙහෝවා දෙවි ගූස්ටොෆ් බෝමර්ට් කියන සහෝදරයාව මට මුණගැහෙන්න සැලැස්සුවා. ඒ සහෝදරයා මං ගැන ගොඩක් සැලකිලිමත් වුණා. මේ සිද්ධියෙනුත් මට තේරුණා ‘යෙහෝවා දයානුකම්පාවේත්, සියලු සැනසිල්ලේත් දෙවි’ කියලා.—2 කොරින්ති 1:3.

මාස කිහිපයකින් රුසියානු හමුදාව ජර්මානු හමුදාවට මේ කඳවුර අත්හැර යන්න කියලා බල කළා. ඒ නිසා අපිටත් මේ කඳවුරෙන් යන්න වුණා. ඊට කලින් අපි හිතුවා එහා පැත්තේ රැඳවියන්ගේ කඳවුරේ හිටපු අපේ සාක්ෂිකාර සහෝදරියන් 20දෙනාව බලන්න ඕනෙ කියලා. එතන එල්සා ආප්ට් සහ ගර්ට්‍රඩ් කියන සහෝදරියන් දෙන්නත් හිටියා. * ඒ අය අපිව දැක්කම අපි ළඟට දුවගෙන ආවා. පස්සේ අපි එකිනෙකාව දිරිගන්වාගත්තා. ඒ සහෝදරියන් “විශ්වාසය ඇත් වූ පක්ෂපාත වූවන් භය නොවෙති” යන ගීතිකාව ගායනා කළා. * ඒ වෙලාවේ අපි හැමෝගෙම ඇස් කඳුලෙන් පිරුණා.

තවත් ගාල් කඳවුරකට

ජර්මානු භටයන් සිරකරුවන් වන අපිව බඩු ගෙනියන කෝච්චි පෙට්ටිවලට නැග්ගෙව්වා. එක පෙට්ටියකට 100ත් 150ත් අතර ගාණක් පටවලා අපිව මහ වැස්සේම සීතලේ ගැහි ගැහී කෑම බීමවත් දෙන්නේ නැතුව ගෙනිච්චා. සමහරුන්ට උණ හැදුණා. වෙහෙස නිසාම මඟදී ඒ අය මැරිලා වැටුණා. ඒකෙන් පෙට්ටි ටිකෙන් ටික හිස් වුණා. මගේ කකුල් දෙකත් හොඳටම ඉදිමුණු නිසා මට නැඟිටගන්නවත් බැරුව ගියා. දවස් දහයක් තිස්සේ ආපු මේ වෙහෙසකර ගමනින් පස්සේ ජීවිත ගලවගන්න පුළුවන් වුණේ ටිකදෙනෙක්ට විතරයි. අපිව නෝඩවුසන් හි මිට්ල්බාවුඩෝරාවල තිබුණ ගාල් කඳවුරට අරගෙන ගියා. නමුත් පුදුමයට කරුණක් වුණේ මේ දුෂ්කර ගමනේදී එක සාක්ෂිකරුවෙක්වත් මිය නොයෑමයි.

දුෂ්කර ගමන ඉවර වෙනවත් එක්කම වගේ කඳවුරේ හිටපු අයට අතීසාර වසංගතේ බෝ වුණා. මමත් සහෝදරයන් කීපදෙනෙකුත් ඒකට ගොදුරු වුණා. අපි කඳවුරෙන් දීපු සුප් බොන්නේ නැතුව පාන් විතරක් කාපු නිසා ඉක්මනින්ම සනීප වුණා. වර්ෂ 1945 මාර්තු මාසයේදී අපිට දැනගන්න ලැබුණා ඒ අවුරුද්දේ වාර්ෂික පදය “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියන බයිබල් වගන්තිය කියලා. (මතෙව් 28:19) ඉතා ඉක්මනින්ම මේ කඳවුරේ හිර කරලා ඉන්න සාක්ෂිකරුවන්ට නිදහස ලැබිලා රාජ්‍යයේ ශුභාරංචිය නැවතත් ප්‍රචාරය කරන්න අවස්ථාව ලැබෙන බව අපි දැනගෙන හිටියා. දෙවෙනි ලෝක මහා යුද්ධය උත්සන්න වෙද්දිම දෙවිගේ විනිශ්චය එයි කියලයි අපි විශ්වාස කළේ. ඒ නිසා අපි හිටියේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව සතුටින්. යෙහෝවා දෙවි ඒ දුෂ්කර කාලය පුරාම අපිව ශක්තිමත් කරපු එක කොච්චර ලොකු දෙයක්ද!

නිදහස ලැබී

වර්ෂ 1945 අප්‍රියෙල් 1වෙනිදා ජර්මානු හමුදාවට විරුද්ධව සටන් කරපු මිත්‍ර පාක්ෂික හමුදාව ඇවිත් එක දිගටම ඔවුන්ගේ කඳවුරුවලට බෝම්බ හෙළපු නිසා හුඟදෙනෙක් තුවාල ලැබුවා. සමහරු මැරුණා. ඊළඟ දවසෙත් දිගට හරහට බෝම්බ ප්‍රහාර එල්ල කළා. ඒ අවස්ථාවේදී මාවත් ඒකට ගොදුරු වුණා.

සුන් බුන් අතර හිටපු මම ජීවතුන් අතර ඉන්නවා ඇති කියලා හිතපු සහෝදර ෆ්‍රිට්ස් උල්රික් ඇවිත් මාව එළියට ගත්තා. ටික වෙලාවකින් සිහිය ආවම මට තේරුණා මගේ මූණත් ඇඟත් බරපතළ විදිහට තුවාල වෙලා කියලා. බෝම්බයේ සද්දේ නිසා මගේ කන් ඇහෙන්නේ නැතුව ගියා. ආපහු හොඳට කන් ඇහෙනකම් මට අවුරුදු කීපයක් පුරාම දුක් විඳින්න සිද්ධ වුණා.

දහස් ගණනක් සිරකරුවන් අතරින් මේ බෝම්බ ප්‍රහාරවලින් බේරුණේ ටිකදෙනෙක් විතරයි. අපේ සහෝදරයන්ද මිය ගියා. ඒ අය අතර මට ගොඩක් ආදරේ කරපු සහෝදර ගූස්ටොෆ් බෝමර්ට්ද හිටියා. තුවාල වෙලා හිටපු නිසා මට හොඳටම උණ හැදුණා. ඒ මිත්‍ර පාක්ෂික හමුදා භටයන් අපිව නිදහස් කළා. මිය ගිය සිරකරුවන්ගේ මළමිනිවලින් පැතුරුණු විශබීජ නිසා මට ටයිෆස් උණත් හැදුණා. ඒ නිසා අසනීප වෙච්ච අනිත් අය එක්කම මාවත් රෝහලකට අරගෙන ගියා. දොස්තරවරු කොච්චර මහන්සි වුණත් බේරගන්න පුළුවන් වුණේ අපි තුන්දෙනෙකුව විතරයි. ඒ වෙලාවේ මගේ ඇදහිල්ල ශක්තිමත්ව තියාගන්න උපකාර කිරීම ගැනත් මාව මරණය නමැති “අඳුරු මිටියාවතෙන්” බේරාගැනීම ගැනත් මම යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.—ගීතාවලිය 23:4, NW.

නැවතත් නිවසට

ජර්මනිය යුද්ධයෙන් පැරදුණාට පස්සේ මම උත්සාහ කළා පුළුවන් ඉක්මනින්ම ගෙදර යන්න. හැබැයි ඒක හිතපු තරම් ලේසි වුණේ නැහැ. කතෝලික නිකායකට අයිති හිරකරුවන් මා ගැන සෝදිසියෙන් ඉඳලා තියෙනවා. ඒ අය කෑගහලා කිව්වා “එයාව මරන්න! මරන්න!” කියලා. ඊට පස්සේ ඒ අය මාව බිම දාලා පෑගුවා. ඒක දැකපු වෙන කෙනෙක් තමයි මාව බේරගත්තේ. මම කලින් තුවාල වෙලා ගොඩක් අසනීපෙන් හිටපු නිසා මට තවත් අමාරු වුණා. අන්තිමට මම කොහොමහරි ගෙදර ගියා. ඒ වෙද්දී මගේ පවුලේ අය හිතාගෙන හිටියේ මම මැරිලා ඇති කියලයි. ඉතිං මාව පණ පිටින් දැක්කම ඒ අය ගොඩක් සතුටු වුණා.

අපි ඉක්මනින්ම දේශනා සේවය පටන්ගත්තම හුඟදෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සභාවන්වලට බයිබල් පොත් පත් බෙදා දීමේ වගකීමත් මට පැවරුණා. වෙනත් සහෝදරයන් එක්ක ජර්මනියේ ශාඛා කාර්යාලයේ සහෝදරයන්ව හමු වෙලා එහෙන් පෝලන්තයට මුල්ම මුරටැඹ සඟරා තැපෑලෙන් ගෙන ඒමේ වරප්‍රසාදයත් මට ලැබුණා. පස්සේ අපි පුළුවන් ඉක්මනින්ම ඒ සඟරා පෝලන්ත භාෂාවට පරිවර්තනය කළා. මේ විදිහට පරිවර්තන වැඩ කටයුතු දිගටම සිදු වෙද්දී සභාවන්වලට බයිබල් පොත් පත් නොකඩවාම ලැබුණා. පස්සේ මම පෝලන්තයේ සිලෙසියාවල විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කළා.

වැඩි කල් යන්න කලින් පෝලන්තයේ හිටපු සාක්ෂිකරුවන්ට ආයෙමත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අවස්ථාවේ පීඩා ආවේ කොමියුනිස්ට්වාදීන්ගෙන්. මම දිගටම ඇදහිලිවන්තව හිටපු නිසා මාව 1948දී අවුරුදු දෙකකට හිරේට යැව්වා. මට පුළුවන් වුණා එහෙ හිටපු හිරකරුවන්ගෙන් වැඩිදෙනෙකුට දෙවිට ළං වෙන්න උදව් කරන්න. පස්සේ ඒ අයගෙන් එක්කෙනෙක් දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා.

වර්ෂ 1952දී මම ඇමරිකාව වෙනුවෙන් ඔත්තු බලනවා කියලා මාව ආයෙත් හිරේට දැම්මා. මගේ නඩු තීන්දුව දෙන කල් දිවා රෑ දෙකේම මාව තනි හිරකුටියක දාලා තිබ්බා. මේ අවස්ථාවේදීත් යෙහෝවා දෙවි මාව ගලවගත්තා. ඊට පස්සේ කවදාවත් ඒ වගේ චෝදනාවක් මට ආවේ නැහැ.

විඳදරාගන්න මට උදව් වුණු දේවල්

මම මුහුණ දීපු පීඩා ගැන හිතත්දී මට කියන්න පුළුවන් මට ශක්තියක් වුණේ මොනවද කියලා. මුලින්ම මට විඳදරාගන්න උපකාර කළේ යෙහෝවා දෙවිගේ වචනය වන බයිබලයයි. “සියලු සැනසිල්ලේ දෙවිට” කරපු අයැදීම් නිසාත් මගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. අතින් ලියලා තිබුණු සමහර මුරටැඹ සඟරා කියවීමෙනුත් මම ශක්තියක් ලැබුවා. ඒ වගේම ගාල් කඳවුරුවල උපකාර කරන්න සූදානමින් හිටපු සහෝදරයන්ගෙනුත් මම ශක්තියක් ලැබුවා.

මගේ බිරිඳ මරියා යෙහෝවා දෙවිගෙන් මට ලැබුණු තවත් ආශීර්වාදයක්. අපි විවාහ වුණේ, 1950 ඔක්තෝබර් මාසයෙයි. පස්සේ අපේ දුව හැලීනා ඉපදුණා. ඇයත් යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් විශ්වාසවන්තව සේවය කරනවා. මම විවාහ වෙලා අවුරුදු 35කට පස්සේ මරියාට දරුණු රෝගයක් වැලඳුණු නිසා ඇය මිය ගියා. ඒක මට ලොකු වේදනාවක් වුණත් මම එය දරාගත්තා. (2 කොරින්ති 4:9) මේ තත්වය දරාගන්න යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන මගේ දුවයි, බෑනයි ඔවුන්ගේ දරුවනුයි මට උදව් කළා.

වර්ෂ 1990 ඉඳලා මම පෝලන්තයේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. හැමදාම බෙතෙල් පවුලේ සාමාජිකයන්ව ඇසුරු කරන්න ලැබීම ඇත්තෙන්ම ලොකු ආශීර්වාදයක්. මගේ අහිතකර සෞඛ්‍ය තත්වය නිසා සමහර වෙලාවට මට දැනෙන්නේ මගේ අත පය කඩලා දාලා වගේ කියලයි. කොහොමවුණත් මම අනාගතය දිහා බලන්නේ ලොකු විශ්වාසයකින්. ගීතිකාකරු වගේ මමත් කියන්නේ “යෙහෝවා දෙවි මට බොහෝසෙයින් ආශීර්වාද කර තිබෙන නිසා මම ඔහුට ගී ගයමි” කියලයි. (ගීතාවලිය 13:6, නව ලොව පරිවර්තනය) මම ආසාවෙන් බලාගෙන ඉන්නේ සාතන්ගේ කුරිරු පාලනය නිසා ඇති වෙලා තියෙන හැම හානියක්ම යෙහෝවා දෙවි නැති කරන කාලය පැමිණෙන තුරුයි.

[පාදසටහන්වල]

^ 8 ඡේ. වර්ෂ1998 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 13වන පිටුවේ 6වන ඡේදය බලන්න.

^ 20 ඡේ. සහෝදරි එල්සා ආප්ට්ගේ ජීවිත කතාව කියවීම සඳහා1980 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ 12-15 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැහැ.

^ 20 ඡේ. යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න යන පොතේ 56වන ගීතිකාව.

[10වන පිටුවේ පින්තූරය]

මට ගාල් කඳවුරේදී ලැබුණු අංකය හා දම් පැහැති ත්‍රිකෝණය

[12වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1980දී මගේ බිරිඳ වන මරියා සමඟ