Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාව දෙවිට ළං කරන්න

ඔබේ දරුවාව දෙවිට ළං කරන්න

ඔබේ දරුවාව දෙවිට ළං කරන්න

දරුවෙකුට යෙහෝවා දෙවි සමඟ සමීප මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීම විශාල අභියෝගයක්. (ගීතාවලිය 16:8) ඊට හේතුව බයිබල් අනාවැකිවලට අනුව අද අප ජීවත් වන්නේ ‘කටයුතු කිරීමට අසීරු, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය’ ජීවත් වන ලෝකයකයි. (2 තිමෝති 3:1-5) ඒ නිසා දෙවි කෙරෙහි අවංක ප්‍රේමයක් අද ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන් තුළ සොයාගන්න අමාරුයි.

යෙහෝවා දෙවි කෙරෙහි අවංක ප්‍රේමයක් දරුවන්ගේ හදවත් තුළ ඉබේම ඇති වෙන්නේ නැහැ. දෙමව්පියන් දරුවන්ගේ හදවත් තුළ එය පැළපදියම් කළ යුතුයි. එසේ කරන්නේ කෙසේද?

විවෘත අදහස් හුවමාරුව

දරුවන්ගේ හදවත් තුළ දෙවි කෙරෙහි ප්‍රේමයක් පැළපදියම් කරන්න නම් අපේ හදවත් තුළත් එවැනිම ප්‍රේමයක් තිබිය යුතුයි. (ලූක් 6:40) ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘ඔබේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න. මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය. ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වන්න.’—ද්විතීය කතාව 6:4-7.

දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති කරගැනීමට දරුවන්ට උපකාර කරන්නේ කෙසේද? මුලින්ම දරුවන්ගේ සිත්වල ඇති දේවල් අප දැනගත යුතුයි. ඉන්පසු දෙමව්පියන් හැටියට අපේ සිත්වල තිබෙන දේවල් ඔවුන්ට පෙනෙන්න සැලැස්විය යුතුයි.

යේසුස් තම ගෝලයන් දෙදෙනෙකු සමඟ එම්මාවුස් නම් ගමට යමින් සිටියා. ඒ අතරේදී ඔහු ඒ ගෝලයන්ට, ඔවුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ට යම් වැරදි අදහස් තිබෙන බව දුටු යේසුස් ශුද්ධ ලියවිල්ල මගින් ඔවුන්ව නිවැරදි කළා. නමුත් ඔහු එසේ කළේ ගෝලයන් ඔවුන්ගේ අදහස් පළ කළාට පසුවයි. ඔවුන් පසුව මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. ‘ඔහු අප සමඟ මඟදී කතා කරද්දී අපේ සිත් දැවුණා නොවේද’. විවෘත අදහස් හුවමාරුව සම්බන්ධයෙන් එය මොන තරම් කදිම ආදර්ශයක්ද! (ලූක් 24:15-32) යේසුස් කළාක් මෙන් අපිත් අපේ දරුවන්ගේ සිත්වල තිබෙන දේවල් දැනගන්නේ කෙසේද?

ආදර්ශවත් වැඩිහිටි දරුවන් සහ නහඹරයන් සිටින දෙමව්පියන් සමඟ මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කළා. මෙක්සිකෝවේ සිටින ග්ලෙන් වැඩිහිටි දරුවන් හතරදෙනෙකුගේ පියෙක්. * ඔහු මෙසේ පවසනවා. “දෙමව්පියන් හා දරුවන් අතර විවෘත අදහස් හුවමාරුවක් ඉබේම ඇති වෙන්නේ නැහැ. මමත් මගේ බිරිඳත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අනවශ්‍ය දේවලට කාලය ගත නොකර ඒ කාලය දරුවන් වෙනුවෙන්ම කැප කරන්නයි. මගේ දරුවන්ගේ නහඹර අවධියේදී, සමහර දවස්වලට මම මුළු හැන්දෑවරුවම ඔවුන් සමඟ ගත කළා. ඒ වගේම ඔවුන් කැමති ඕනැම දෙයක් කතා කරන්නත් අප ඔවුන්ට ඉඩහැරියා. කෑම කන වෙලාවේදී ඔවුන්ගේ කතා බහට අපි සවන් දී ගෙන සිටියා. ඒගොල්ලන්ගේ වැරදි අදහස් අපි නිවැරදි කළේ ඔවුන්ටත් නොතේරෙන්නයි.”

විවෘත අදහස් හුවමාරුවකදී දරුවන් පමණක් නොව අපත් අපේ හදවතේ තිබෙන දේවල් නොවලහා ප්‍රකාශ කරන්න අවශ්‍යයි. යේසුස් පැවසුවේ “යහපත් මිනිසෙක් තමාගේ සිතෙහි වූ යහපත් වස්තු ගබඩාවෙන් යහපත් දේ පිටතට ගෙන එයි. මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි” (ලූක් 6:45) ජපානයේ වෙසෙන ටොෂිකිගේ දරුවන් තුන්දෙනාම දැන් පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. ඔවුන් සමඟ පැවැත්වූ අදහස් හුවමාරුව ගැන ටොෂිකි පැවසුවේ මෙලෙසයි. “දෙවි සැබෑ පුද්ගලයෙක් බව විශ්වාස කිරීමට මට තිබෙන හේතු මොනවාද කියාත් ජීවිතයට හොඳම මඟ පෙන්වීම් ලබා දෙන්නේ බයිබලයෙන් පමණක් බවත් මම ඔවුන්ට නිතර නිතර පැහැදිලි කර දුන්නා.” මෙක්සිකෝවේ වෙසෙන තිදරු මවක් වන සින්ඩි මේ විදිහට පවසනවා. “මගේ ස්වාමිපුරුෂයා නිතරම දරුවන් එක්ක එකට ඉඳගෙන යාච්ඤා කළා. ඒ වෙලාවේදී ඔහුගේ හදවතින්ම නැඟුණු අවංක අදහස්, යෙහෝවා දෙවි සෑබැ කෙනෙක් බව තේරුම්ගන්න මගේ දරුවන්ට උපකාර කළා.”

ආදර්ශයේ බලගතුකම

වචනවලට වඩා අපේ ආදර්ශය බලගතුයි. අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියා අපේ ආදර්ශයෙන් දරුවන් දකිනවා. යේසුස් තම පියාට කීකරු වූ ආකාරය දුටු මිනිසුන් ඔහු දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියා වටහාගත්තා. “පියාණන් මට දී ඇති ආඥාව මා පිළිපදින්නේ මා පියාණන්ට ප්‍රේම කරන බව ලෝකය දැනගන්නා පිණිසය” කියා යේසුස් පැවසුවා.—යොහන් 14:31.

එංගලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වන ගැරත් මෙසේ කියනවා. “දෙමව්පියන් වශයෙන් අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද සහ ඔහුගේ ප්‍රතිපත්ති පවත්වන්න මොන තරම් උත්සාහයක් ගන්නවාද කියා දරුවන්ට දකින්න සැලැස්විය යුතුයි. උදාහරණයකට, මගේ අතින් වෙන වැරදිවලට මම අවංකව සමාව ඉල්ලද්දී මගේ දරුවෝ ඒක දැක්කා. පසුව ඔවුනුත් ඒ විදිහටම ඔවුන්ගේ වැරදිවලට සමාව ඉල්ලන්න ඉගෙනගත්තා.”

ඕස්ට්‍රේලියාවේ ග්‍රෙග් පැවසුවේ මෙලෙසයි. “අපේ ජීවිතේ වැදගත්ම දේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය කියලා දරුවන් දැකිය යුතුයි. ඒ නිසා වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වෙන්න කලින්, එය අපේ ක්‍රිස්තියානි වගකීම්වලට බාධාවක්ද කියලා අපි සාකච්ඡා කළා. ප්‍රතිඵලයක් හැටියට 19 හැවිරිදි මගේ දුව දැන් උපකාරික පුරෝගාමි සේවයේ නිරත වෙනවා. ඒක අපට ලොකු සතුටක්.”

දෙවිව හඳුනාගන්න උපකාර කරමු

හඳුනන්නේ නැති කෙනෙකුට ආදරය කරන්න හෝ විශ්වාස කරන්න අපට බැහැ. දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති කරගැනීම සම්බන්ධයෙනුත් එය සත්‍යයක්. ඒ සඳහා අවශ්‍ය කුමක්ද? පාවුල් ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ දේ බලන්න. ‘ඔබ උදෙසා නොකඩවා කරන මාගේ යාච්ඤාව මෙයයි. නිවැරදි දැනුම හා පූර්ණ වැටහීමත් සමඟම ඔබේ ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.’ (ෆිලිප්පි 1:9) දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීමට පේරු රටේ සිටින ෆොල්කනේරියෝ නමැති සිව් දරු පියා කළ දේ බලන්න. ඔහු කියන්නේ මෙසේයි. “දරුවන් සමඟ නිතිපතා බයිබලය කියවා එය අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. නමුත් එය අතපසු වුණාම මට පේනවා දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ ප්‍රේමය ටිකක් අඩු වෙලා කියලා.” ඕස්ට්‍රේලියාවේ ගැරීත් මේ විදිහට පවසනවා. “බයිබලයේ ඇති අනාවැකි ඉෂ්ට වෙන ආකාරයත්, එහි ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනත් මම ඔවුන්ට නිතරම කියලා දෙනවා. ඇත්තෙන්ම දරුවන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න ප්‍රධාන වශයෙන්ම උපකාර කර තිබෙන්නේ අපි නිතිපතා පවත්වන පවුලේ පාඩමයි.”

දරුවෙකුට යමක් තේරුම් කර දෙන විට සන්සුන්, ගෞරවනීය සහ මිත්‍රශීලී ආකාරයෙන් එය කරනවා නම් අපි උගන්වන දේ ඔහුගේ හදවතේ පැළපදියම් කරන්න ඉතාම ලෙහෙසියි. (යාකොබ් 3:18) “පවුලේ පාඩම කරන අවස්ථාවේදී ඔවුන් ටිකක් දැඟලුවත් අපි කවදාවත් දරුවන්ට බැන වැදුනේ නැහැ” කියා බ්‍රිතාන්‍යයේ වෙසෙන ෂෝන් සහ පෝලීන් නමැති යුවළ පවසනවා. තවදුරටත් ඔවුන් පැවසුවේ “අපි අපේ පවුලේ පාඩම කරන විදිහ ටිකක් වෙනස් කළා. සමහර දවස්වල ඔවුන් කැමති විෂයක් ගැන කතා කරන්න අපි දරුවන්ට අවස්ථාව දුන්නා. ඒ වගේම පාඩම වෙලාවේදී යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් නිකුත් කළ වීඩියෝ පටත් අපි නැරඹුවා. ඉන්පසු ඒ ගැන සාකච්ඡා කළා. බ්‍රිතාන්‍යයේ වෙසෙන මවක් මේ විදිහට පවසනවා. “දරුවන්ව හිතන්න පොලඹවන ප්‍රශ්න මම සූදානම් කළා. මේ සඳහා මටත් සිදු වුණා හොඳින් සූදානම් වෙන්න. මේ විදිහට පවුල් පාඩමෙන් අපි ලොකු සතුටක් ලැබුවා.”

ආශ්‍රිතයන්ව තෝරාගැනීම

අපේ දරුවන් ආශ්‍රය කරන්නේ දෙවිට ප්‍රේම කරන අය සමඟ නම් දෙවිට ප්‍රේම කරන්නත් ඔහුව අගය කරන්නත් එය ඔවුන්ට විශාල පිටුවහලක්. ඒත් ගොඩනංවන සුළු කතා බහක යෙදෙන්න පුළුවන් සහ විනෝදය ගෙන දෙන දේවල හවුල් වෙන්න පුළුවන් එවැනි අයත් සමඟ ආශ්‍රය කරන්න ඔවුන්ට අවස්ථාව ලබා දෙන එක නම් ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒ වුණත් එසේ කරන එක බොහොම වටිනවා. පූර්ණකාලීන සේවයේ හවුල් වන අය සමඟ ආශ්‍රය කරන්න දරුවන්ට ඉඩහරිනවා නම් ඉන් බොහෝ ප්‍රයෝජන අත් වෙනවා. අද දින සිටින බොහෝදෙනා පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න තෝරාගෙන තිබෙන්නේත් එවැනි අයගේ හොඳ ආශ්‍රය නිසයි. වෙනත් රටකට ගොස් සේවය කරන සහෝදරියක් දැන් මේ විදිහට පවසනවා. “ගොඩාක් අවස්ථාවලදී මගේ දෙමව්පියන් පුරෝගාමී සහෝදර සහෝදරියන්ව අපේ නිවසට ආරාධනා කළා. ඔවුන් කතා බහ කළ දේවලින් මට තේරුණේ දෙවිට කරන සේවයෙන් ඔවුන් පුදුමාකාර ප්‍රීතියක් ලබන බවයි. ඒ නිසා මටත් ඕනෑ වුණේ කවදාහරි පුරෝගාමි සේවයේ යෙදෙන්නයි.”

දරුවන්ගේ ආශ්‍රිතයන් ඔවුන්ගේ හොඳට හෝ නරකට බලපෑ හැකියි. ඔවුන් නරක ආශ්‍රයකට වැටුණොත් ඒක දෙමව්පියන් හැටියට අපට ලොකු පීඩනයක්. (1 කොරින්ති 15:33) ඒ නිසා යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නේ නැති අය සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කිරීමෙන් වැළකීමට හේතුව ඔවුන්ට ඉවසීමෙන් යුතුව පහදා දෙන්න. (හිතෝපදේශ 13:20) කලින් අදහස් දැක්වූ ෂෝන් නැවතත් පවසන්නේ මෙසේයි. “පාසැලේ ළමුන් එක්ක සුහදව කටයුතු කරන්න අපි දරුවන්ට ඉගැන්නුවා. නුමුත් එය පාසලට පමණක් සීමා කරන්න ඔවුන්ට අවවාද කළා. ඒ නිසා පාසැලේ බාහිර ක්‍රියාකාරකම්වල හවුල්වීමේ ඇති අනතුරුදායක පැත්ත ඔවුන් හඳුනාගෙන ඒවාට හවුල් නොවී සිටීමට ඔවුන් තීරණය කළා.”

පුහුණුවේ වටිනාකම

දෙවි කෙරෙහි තිබෙන ඔවුන්ගේ විශ්වාසය අන් අයටත් ප්‍රකාශ කිරීමෙන් ප්‍රීතියක් ලැබීම සඳහා ඔවුන්ට උපකාර කරන්න අපිට හැකියි. එක්සත් ජනපදයේ සිටින මාක් පැවසුවේ මේ ආකාරයටයි. “දේවසේවයේ හවුල් වෙන දවසට විතරක් සීමා වෙන්නේ නැතිව තමන් විශ්වාස කරන දේවල් ඕනෑම අවස්ථාවක පවසන්න අපි දරුවන්ට ඉගැන්නුවා. ඒ නිසා අපි විනෝද වෙන්න යන ඕනෑම තැනකට බයිබලය හා බයිබල් ප්‍රකාශන අපි අරන් ගියා. එවැනි අවස්ථාවලදී හමු වූ මිනිසුන්ට අපි සාක්ෂි දරද්දී ඒවාට හවුල් වීමෙන් අපේ පුතාලා ලොකු ප්‍රීතියක් ලැබුවා.”

මහලු වයසේ පසු වූ ප්‍රේරිත යොහන්, දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති කරගන්න බොහෝදෙනෙකුට උදව් කළා. ඔහු ලිව්වේ “මාගේ දරුවන් සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව ඇසීමට වඩා ස්තුතිවන්ත වීමට හේතුවක් මට නැත” කියායි. (3 යොහන් 4) ඒ හා සමානව අපිත් අපේ දරුවන්ගේ හදවත් තුළ දෙවි කෙරෙහි ප්‍රේමයක් පැළපදියම් කළොත් අපටත් එවැනිම ප්‍රීතිය අත් වෙනවා නිසැකයි.

[පාදසටහන]

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර තිබේ.

[9වන පිටුවේ පින්තූර]

අදහස් හුවමාරුව අහම්බෙන් සිදු වන දෙයක් නොවේ

[10වන පිටුවේ පින්තූරය]

දෙවි කෙරෙහි ඇති ප්‍රේමය අන් අයට ප්‍රකාශ කිරීමට දරුවන්ව පුහුණු කරන්න

[හිමිකම් විස්තර]

Courtesy of Green Chimneys Farm